වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
කුලූඳුලෙහි රැඟු ගැහැනු මනුස්සයාට ජූරියේ ඇගැයුමක්

ලාංකේය වේදිකාවේ නූතන අවධියේ කුසලතා පෑ ප්‍රතිභාපූර්ණ නිළියන් අතර නදීශානි පේළිආරච්චිට හිමි වනුයේ වෙසෙස් ආස්ථානයකි. 90 දශකයේ සිට මේ දක්වා ලාංකේය වේදිකාවේ දක්නා ලැබුණු නොයෙකුත් අර්බුද, දුෂ්කරතා හමුවේ වුවද නාට්‍ය කලාව හැර නොගොස්, අඛණ්ඩව මැ නාට්‍යකරණයෙහි නියැළුණු, එයම පයුරුපාසනය කළ, ප්‍රවීණ නාට්‍යවේදීන් අල්පය අතර රාජිත දිසානායකද එක් අයෙකි.
මේ ලිපි පෙළෙහි ප්‍රස්තුතයට අනුව විමැසූ කල්හී ස්ත්‍රී භූමිකා කේන්ද්‍ර කොටගත් නාට්‍ය රාජිතගේ නිර්මාණ අතර හමු නොවේ. ඔහුගේ නාට්‍ය සියල්ලටම පාහේ වස්තු විෂය වූයේ තත්කාලීන සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික විෂමතා මිනිස් ජීවිත කෙරෙහි බලපාන ආකාරය වේ. එහෙයින් රාජිතගේ නාට්‍යවල ස්ත්‍රී චරිත ගොඩනැඟුණේ පුරුෂ භූමිකාවලට සමාන්තරව බැව් පෙනේ. එහෙත් ඔහුගේ නාට්‍ය රැසක (වීරයා මැරිලා, බකමූණා වීදි බසී, ආදර වස්තුව, සිහින හොරු අරන්, සිරිවර්ධන පවුල, ආපසු හැරෙන්න බැහැ, නැතුව බැරි මිනිහෙක්) විවිධ භූමිකා රඟමින් කුසලතා පෑ නිළියක ලෙස නදීශානි මෑතකාලයේ වෙසෙසින් කැපී පෙනුණි.
ඇය ළාබාල වියෙහිදීම රංගනයට ඇලූම් කළාය. තම උපන් ගමේ කඩුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ එහි නාට්‍ය හා රංග කලාව විෂය නොතිබිණ. එහෙත් නාට්‍ය රංගනයට ඇය තුළ තිබුණේ නොතිත් ආශාවකි. 5 වසර පන්තියේ සිසුවියක ලෙස පාසල් වේදිකාවේ ”කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව” නාට්‍යයේ රඟපෑමට මේ දැරියට අවස්ථාව ලැබිණ. තම මවුන්ට වද දී සාරියක් ඉල්ලාගෙන ඉන් සැරසුණු නදීශානි හට මේ නාට්‍යයේ රඟපාන්නට තිබුණේ කැකිල්ලේ රජ්ජුරුවන්ට පවන් සලන්නියකගේ භූමිකාවකි. එහි ඇයට දෙබස් තිබුණේ නැත. ඉන්පසුව ඇය පාසලේ සාහිත්‍ය සමිති සඳහා විවිධ නාට්‍ය රචනා කොට නිර්මාණය කරමින් රඟපෑවාය. මෙහිදී නදීශානිගේ රංගන හැකියාව වටහා ගත් සලිතා නම් ගුරුවරියකගෙන් ලැබුණු දිරිගැන්වීම හේතුකොට අනාගතයේ නිවැරැදි හැදෑරීමකින් පසුව නිළියක වීමේ ඊප්සිතාර්ථය ඇය සිත තුළ ජනිත විය. ඇය 9 ශ්‍රේණියේ සිටියදී කොස්ගම සංස්කෘතික මධ්‍යස්ථානයෙන් නර්තනය හදාළාය. ඒ කුලසිරි බුදවත්ත හා නන්දනී බුදවත්ත යුවළගෙනි. එහිදී නාට්‍ය අභ්‍යාසයක නියැළෙන සිසු සිසුවියන් ඇයට දකින්නට ලැබිණ. සුප්‍රකට වේදිකා නාට්‍ය නිළියක වූ දිලූනි රණසිංහ එහි නාට්‍ය හා රංග කලාව උගන්වමින් සිටියාය. නදීශානි මේ දෙස ඇල්මකින් බලා සිටිනු දුටු දිලූනි ඇයට නාට්‍ය හා රංග කලාව ඉගෙනීමට ඇරැයුම් කළාය. මෙලෙස කොස්ගම සංස්කෘතික මධ්‍යස්ථානයෙන් නර්තනය, නාට්‍ය හා රංග කලාව ඉගෙනුම ලැබූ සමයේ නදීශානිගේ කලා ජීවිතයට පදනම වැටිණ. දිලූනි රණසිංහ යටතේ වසර එක හමාරක පමණ කාලයක් නාට්‍ය හා රංග කලාව ඉගෙනීමෙන් පසුව සමස්ත ලංකා නාට්‍ය තරඟයට ඉදිරිපත් කෙරුණු , දිලූනි රණසිංහ රචනා කොට අධ්‍යක්ෂණය කළ ”පෙරළිය” (2003) නාට්‍යයේ ප්‍රධාන චරිතය ඇයට ලැබිණ. එහි මවගේ භූමිකාව නදීශානි නිරූපණය කළාය.එහෙත් ඇය මෙතෙක් රංගනය හදාරමින් වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ අවබෝධයකින් යම් ගමනක් පැමිණියේ නම් එහි ගෞරවය ප්‍රකට නාට්‍යවේදී මහේෂ් කුමාරට හිමි වේ. මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වූ ”ගෙවන්නෙ නැත්නම් බම්බු ගහගන්නද” නාට්‍යයේ අධ්යක්ෂවරයා ඔහුය. දිලූනි රණසිංහගෙන් පසුව කොස්ගම සංස්කෘතික මධ්‍යස්ථානයේ නාට්‍ය හා රංග කලාව ඉගැන්වූ ගුරුවරයා වූ මහේෂ්ගෙන් ඇයට බොහෝ ගුරුහරුකම් ලැබිණ. වරක් නදීශානි තම ගුරු මහේෂ් පිළිබඳව මා සමඟ මෙසේ කීවාය.
”කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැතිව කලාවෙහි අභිවෘද්ධිය ගැන සිතා,මහත් පරිශ්‍රමයකින් ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ගේ දැනුම වර්ධනය කරන්නට, මඟ පෙන්වන්නට ඇප කැපවූ ඔහු වැනි ගුරුවරු අද හරි විරලයි”
කම්කරු ස්ත්‍රියකගේ ප්‍රධාන නිළි භූමිකාවකින් නදීශානි ප්‍රසිද්ධ වේදිකාවට හඳුන්වා දෙන ලද්දේද මහේෂ් කුමාර විසිනි. ඒ ඔහු අධ්‍යක්ෂණය කළ ”ගැහැනු මනුස්සයා” (2004) නාට්‍යයෙනි.මේ වූ කලී 1997 සාහිත්‍යයට හිමි නොබෙල් සම්මානලාභී, ඉතාලියානු ජාතික සුප්‍රකට නාට්‍යවේදී දාරියෝ ෆෝගේ ර්ණඋ්නසබට මච- :1977)” නමැති නාට්‍යයේ පරිවර්තනයකි. විනාඩි 20 ක් පුරා දිවෙන මේ නාට්‍යයේ අන්තිම විනාඩි කිහිපය දක්වා කේවල රංගනයක නියැළීමට නදීශානිට සිදුවිය. ප්‍රසිද්ධ වේදිකාවට හාපුරා කියා පිවිසෙන නවක නිළියකට මෙය අභියෝගයක් බැව් මා අමුතුවෙන් කිව යුතු නැත. විනාඩි 15 කට වැඩි කාලයක් පුරා පේ්රක්ෂක අවධානය තමාට පමණක් නතුකොට තබා ගැනීමේ අභියෝගය සාර්ථක ලෙස ඕ ජය ගත්තාය. ලොව රූපණ කලාව උඩු යටිකුරු කළ න්‍යායාචාර්ය කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කි වරක් පැවසුවේ රංග ශිල්පියකුට හෝ ශිල්පිනියකට තනිව පේ්රක්ෂක අවධානය දිනාගත හැකි උපරිම කාල සීමාව විනාඩි හතක් බවය. සාමාන්‍ය ජවනිකාවදී විනාඩියක් බවය. තතු මෙසේ හෙයින් නදීශානි මුල්වරට ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය නිළියක ලෙස තැබූ පියවර අභියෝගාත්මක වූවා සේම ආස්වාදනීය විය. එක් අතකින් මේ නාට්‍යයේ රඟපෑමෙන් නදීශානිගේ රංගන ජීවිතයට ඉමහත් පන්නරයක් ලැබුණු අතර අනෙක් අතින් මහේෂ් කුමාරගේ මඟපෙන්වීම ඇයට කදිම අඩිතාලමක් විය. නාට්‍යය නිම වීමට තිබෙන අවසන් විනාඩි කිහිපයේදී අනෙක් චරිතය වූ මේ කම්කරු ස්ත්‍රියගේ සැමියා පේ්රක්ෂක අවධානයට යොමුවේ.එතෙක් නිදාගෙන සිටින ඔහු අවසන් විනාඩි කීපයේදී අවදි වේ. මේ භූමිකාව නිරූපණය කරන ලද්දේ අසේල රුවන් විසිනි. කම්කරු පන්තියේ ගැහැනියකගේ දවස ගෙවෙන හැටි මීට වස්තු විෂය විය. තට්ටු නිවාසයක වාසය කරන ඇය උදෑසන අවදි වන්නේ සිහිනයකින් බිය වී බිමට වැටීමෙනි.එතැන් සිට ඇය ජීවත් වීම උදෙසා සිදු කරනු ලබන අරගලය පේ්රක්ෂක නෙතට ගෝචර වේ. ආහාර පිසීම, දරුවා නැළවීම, අසල්වැසියන් හා රණ්ඩු සරුවල් කිරීම ආදිය මඟින් ජීවතය සමඟ ඇගේ පොරබැදීම මෙහි මැනවින් නිරූපිතය. තවත් මිනිසකු වේදිකාව මත නිදා සිටින බව පේ්රක්ෂක අවධානයට යොමු වනුයේ නාට්‍යයේ මැද හරියේදීය. එතෙක් නදීශානි මෙහි දරුවා සහ අසල්වාසීන් මවා ගනිමින් ඔවුන් හා සංවාදයෙහි යෙදෙමින් කේවල චරිත නිරූපණයක නියැළෙන්නීය. ඉහළ මහල් නිවාසයේ සිට වතුර ගලා ඒම නිසා ඇය අසල්වාසීන් හා ගැටෙන අයුරු පෙනේ. ”ගැහැනු මනුස්සයෙක්” නාට්‍යයේ වේදිකා පසුතලය දැකුම්කලූ අයුරින් නිර්මාණය වී තිබිණ.නාට්‍ය කලාවට උපරිමයෙන් ඇප කැප වුණු නාට්‍ය කණ්ඩායමක් මේ නාට්‍යයට දායක වූ බැව් පෙනේ. කුඩා ඉඩකඩක කම්කරු පන්තියේ නිවසක ගෘහ භාණ්ඩ එහි දක්නට ලැබේ. දවස පුරා යාන්ත්‍රික දිවියක් ගෙවන ඇයට ඒ හේතු කොට මෙදින ඉරු දිනක් බව සිහිපත් වනුයේ පසුවය. ඇයගේ ජීවිතය එතරම්ම යාන්ත්‍රිකය. මේ නාට්‍යයේ විනාඩි 20 පුරාම එක මොහොතක් හෝ ඇය එක් තැනක අසුන්ගෙන සිටින්නේ නැත. නදීශානි මෙහි නිරූපණය කරනුයේ අතිශය ක්‍රියාශීලී භුමිකාවකි. 2006 වසරේ යෞවන නාට්‍ය උලෙළේ දී ස්වකීය කුලූඳුල් ප්‍රසිද්ධ වේදිකා නාට්‍යය වූ ”ගැහැනු මනුස්සයෙක්” උදෙසා හොඳම නිළිය ලෙස නිර්දේශ වීමට නදීශානි හට භාග්‍යය ලැබුණි. ඒ යුගයේ සම්මානවල අගය පිළිබඳ එතරම් අවධානයක් ඇය තුළ නොවීය. සැබැවින්ම නදීශානි ඒ අරභයා සවිඥානක වූයේ තමන් අඛණ්ඩව මැ ඩිප්ලෝමා සමත් වූ, සංස්කෘතික මධ්‍යස්ථානයේ මිතුරු කැල, හොඳම නිළියට ඇය නිර්දේශ වීම අරභයා, එහි එල්ලා තැබූ බැනරයක දිස්වූ සුභ පැතුම දැකීිමෙනි. 2007 වසරේදී රාජ්‍ය නාට්‍ය උලෙළටද මේ නාට්‍යය ඉදිරිපත් කෙරිණ. එහිදී මහේෂ් කුමාර මේ නාට්‍යය අධ්‍යක්ෂණය කිරීමේ කාර්යය මෙහි නළු භූමිකාව රඟපෑ අසේල රුවන්ට භාර කළේය. ”ගැහැනු මනුස්සයෙක්” රාජ්‍ය නාට්‍ය උලෙළට ඉදිරිපත් වූයේ අසේලගේ අධ්‍යක්ෂණයෙනි. රුක්මන් තිලකරත්න අංග රචනයෙන්ද හසිත රාජපක්ෂ වේදිකා පරිපාලනයෙන්ද දිනූෂා ජයකොඩි ඇඳුම් නිර්මාණයෙන්ද මීට දායක වූහ. මෙහිදී නදීශානි රංගනය උදෙසා ජූරියේ විශේෂ ඇගැයීම් සම්මානයට පාත්‍ර විය. ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි තම කුලූඳුල් නාට්‍යය උදෙසාම ඇය සම්මානනීය වීම භාග්‍යයක් බැව් මා අමුතුවෙන් කිව යුතුද ?
මතු සම්බන්ධයි