දැන් මගේ නිර්මාණය නරඹන්නන්ට බාරයි

සකර්ම තැනූ පි‍්‍රයන්ත ප්‍රනාන්දු
ජුනි 10, 2021

 

 

දැන් මගේ නිර්මාණය නරඹන්නන්ට බාරයිනයන ඉම, සඳ විනිවිද, ඉලන්දාරී හැන්දෑව ආදී ප්‍රේක්ෂක සිත් ආදරයෙන් වැලඳගත් ටෙලි නිර්මාණ ඔබට දායාද කළ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ නවතම ටෙලි නිර්මාණය 'සකර්ම' සති අන්තයේ රාත්‍රි 8.30ට ස්වාධීන රූපවාහිනී නාළිකාව ඔස්සේ ඔබට රසවිදිය හැකියි. තම නිර්මාණ පිළිබඳ මාධ්‍ය සමඟ එතරම් කතාබහට නොවන මේ නිර්මාණකරුවා ඔහුගේ නවතම නිර්මාණය පිළිබඳ සරසවිය අප සමඟ කතා කළේ මේ ආකාරයෙන්...

මගේ කලා ජීවීතයේ මම අවුරුදු විසිගාණක් ඉන්නවා. ඒත් මගේ ලිපි ඵළ වී ඇත්තේ ඉතාම අතළොස්සක්. නිර්මාණයක් බිහි කළායින් පසුව මගේ කාර්යභාරය අවසානයි. එය ප්‍රේක්ෂකයාට භාරයි. ඒ ගැන කතා කිරීමට යාමට වඩා ඒ දෙස බලා සිටීම වටිනවා. ඔහු හඩ අවදි කළේ එලෙසින්...

'සකර්ම' කොහොමද ආරම්භ වෙන්නේ?

ශාන්ති දිසානායකගේ 'පරඬැල්' නවකතාව ආශ්‍රයෙන් තමයි මේ නිර්මාණය බිහි වෙන්නේ. මේ නවකතාවෙන් ටෙලි නාට්‍යයක් කරමු කියලා මෙහි නිෂ්පාදක චන්දන ලියනගුණවර්ධන මට ආරාධනා කළා. ඉන් පසුව නවකතාව කියවීමෙන් අනතුරුව මෙහි තිරපිටපත් ලාල් වසන්ත කරුණාරත්න සමඟ සාකච්ඡා කළා. නවකතාවට හානියක් නොවන පරිදි එය තිරපිටපතට ගැනීමට. ඔය ආකාරයෙන් තමයි අපි 'සකර්ම' ආරම්භ කරන්නේ.

 

මෙය මුද්‍රණද්වාරයෙන් පළවුණු ප්‍රේක්ෂකයාට මින් පෙර මුණ ගැසුණු කතාවක්. එය සජීවීකරණය කිරීම අභියෝගයක් වුණාද?

නවකතාවට අවශ්‍ය පරිදි පසුතල නිර්මාණය කරගැනීමට සිදු වුණා. එයට සෑහෙන වියදමක් දරන්න වුණා. බොහෝ වෙලාවට පෙර නිර්මාණයක් ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීම අසීරු කටයුත්තක්. විශේෂයෙන්ම නවකතාවක් වගේ නිර්මාණයක්. එය තවත් අසීරු කටයුත්තක් වන්නේ ලංකාව වගේ රටක එය සිදු කිරීමේදී. එවැනි අවස්ථාවලදී ඒ සඳහා විකල්ප ක්‍රමවේද භාවිත කරනවා නිර්මාණයට හානියක් නොවන පරිදි.

 

ඔබට 'සකර්ම' තුළත් එවැනි විකල්ප ක්‍රමවලට යන්න සිදු වුණාද?

ඔව් මේ නිර්මාණය තුළත් එහෙම තිබුණා. මෙහි ප්‍රධාන චරිතයක් ලෙස නවකතාවේ පූසෙකුගේ චරිතයක් තිබුණා. ඒ පූසා වෙනුවට මම එයට විකල්ප චරිතයක් භාවිත කළා. නවකතා කරුවා ඒ චරිතය පිළිබඳ ගැඹුරින් රචනා කර තිබුණත් ප්‍රායෝගිකව එය නිර්මාණය කිරීම අසීරුයි.

 

නළු තුසිත් ලක්නාත්ගේ චරිතය මෙහිදී විශේෂයි?

තුසිත් ඉතා දක්ෂ වේදීකා නාට්‍ය නළුවෙක් සහ ඔහු විශ්වවිද්‍යාල මට්ටමින් යම් පරිචයක් ලබා ඇති අයෙක්. වගකීමක් විශ්වාසයෙන් දිය හැකි යමක් කළ හැකි කෙනෙක්. නමුත් මේ ක්ෂේත්‍රය තුළ පවතින තත්ත්වය සමඟ ඔවුන්ගේ පැවැත්ම සඳහා විවිධාකාර නිර්මාණ සමඟ සම්බන්ධ වීමට සිදු වනවා. නමුත් ඔවුනට මෙවන් නිර්මාණයකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණු පසු ඒ අය එයින් උපරිම ප්‍රයෝජනය ගන්නවා.

දර්ශනතල සහ දර්ශන ඉසව් පිළිබඳ කතා කළොත්?

නවකතා පොතේ තිබුණ ප්‍රධානම කාරණාව තමයි නුග ගසක් ළඟ ගෙයක් පිහිටා තිබීම.

නවකතාවේ එන නුග ගස යට ගෙය පිහිටා තිබීම ස්වාභාවිකව සොයා ගැනීමට අපි අපොහොසත් වුණා. ඒ වෙනුවෙන් නුග ගසක් සොයාගෙන එතැන නිවසක් ඉදිකළා. නුග ගස සොයා ගන්නටත් ඒ ඉදිකිරීම් කරන්නටත් ඉතා ලොකු පරිශ්‍රමයක් දරන්නට සිදු වුණා. සෙට් එකක් වුවත් එය කොතරම් ස්වාභාවික ආකාරයට ඉදි කරන්නට හැකි වුණාද යත් රංගන ශිල්පීන් දන්නෙත් නෑ මෙය සෙට් එකක් කියලා. අප ඉදිකළ එම නිවෙසයි මේ නිර්මාණයේදී පෙනෙන්නේ.

රූ ගත කිරීම් කළේ මහව ගල්ගමුව ඉපලෝගම, ඉඟිනිමිටිය, නවගත්තේගම වගේ ප්‍රදේශවල.

නළු නිළියන් යොදාගැනීම තරමක් වෙනස් ආකාරයටයි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම පබෝදා සංදීපනී තුසිත් ලක්නාත් වගේ අයගේ ගැළපීම?

පබෝධා මීට පෙර මගේ නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවා. මෙහිදීත් මට ඇය පිළිබඳ විශ්වාසයක් තිබුණා. මේ සියලුම නළු නිළියන් මට අවශ්‍ය පරිදි නිර්මාණයට දායක කරගන්න මට පුළුවන් වුණා. මේ එක් අයෙක් හෝ රංගනයේදී එකිනෙකාට දෙවෙනි නෑ. ඒ අයගේ උපරිමය මේ නිර්මාණයට ලබා දුන්නා. තුසිත් සමඟ මම වෙන නිළියක් මෙයට යොදා ගත්තා නම් තුසිත් ඔහුගේ කොටස ඉටු කළත් අනෙක් චරිතයෙන් නිර්මාණයට ලැබිය යුත්ත නොලැබෙන්න පුළුවන්.

 

ඔබ මේ නවකතාව තුළින් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වූ අවසානය කරා එන්නට හැකි වුණාද?

රූ ගත කිරීම් සම්පූර්ණයෙන්ම ඉවරයි. මේ දිනවල සංස්කරණ කටයුතු සිදු කරනවා. මට සාර්ථකව නිමා කරගන්න හැකි වුණා. එයට මම මගේ නිෂ්පාදකවරයාට විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන. බොහෝ වෙලාවට මගේ නිෂ්පාදකවරයාට මේ නිර්මාණ තුළින් ලොකු ලාබයක් නොලැබෙන්න පුළුවන්. නමුත් ඔහු මුදල මත නිර්මාණාත්මක ගුණය හීන කරේ නෑ.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

විශේෂයෙන්ම මෙම නවකතාවේ රචිකාවිය ශාන්ති දිසානායක මෙහි පළමු කොටස් කිහිපය නරඹා ඉතා සතුටට පත් වූ බව කියා සිටියා. ඒ වගේම සතුටු විය හැකි ප්‍රතිචාර ලැබෙනවා තවමත් කොටස් ඉතා සුළු ප්‍රමාණයක් විකාශය වෙලා තියෙන්නේ. එහෙත් ලැබෙන ප්‍රතිචාර ඉතා හොඳයි.