වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
American Horror Story

හැරී ගාඩ්නර් නවකතාකරුවෙකි. හැරී සිය ගැබිණි බිරිය ඩොරිස් සහ දියණිය ඇල්මා සමඟ ශීත සෘතුව ගත කිරීම සඳහා මැසචුසෙට්ස් හි හුදෙකලා වෙරළ නගරයක් වන ප්රොවෙන්ස්ටවුන් වෙත යයි. සාමකාමී පරිසරයක් යටතේ සිය කෘතියක් සම්පූර්ණ කිරීම හැරීගේ අභිප්‍රාය වන අතර ඔහු මේ කාලයේ ‘writers block’ නමින් හැඳීන්වෙන ලිවීමේ අපහසුතාවයෙන් පෙළෙයි. දිනක් රැයක මියුස් නම් අවන්හල වෙත පියනඟන හැරී හට සංගීත රචකයෙකු හා ගායකයෙකු වන ඔස්ටින් සොමර්ස් සහ අනුරාග නවකතාකාරිණියක වන සාරා කනිංහැම් මුණගැසේ. ඔවුන් හා කුළුපග වන හැරී හට ඔස්ටින් විසින් අද්භූත කළු පෙත්තක් පිරිනමන අතර ඔහුගේ ලිවීමේ අපහසුතාවය මඟහැර නිර්මාණශීලීත්වය අතිශයින් දියුණු කරන්නක් බව ඔස්ටින් පවසයි. මුලින් පෙත්ත ගැනීමට අදිමදි කළ ද සිය වෘත්තීය ජීවිතය ගැන සලකා හැරී එය පානය කරයි. තමා ආරම්භ කළ නවකතාවේ පළමු අදියර පැය හතරක් වැනි කෙටි කාලයකින් අවසන් කරන හැරී කළු පෙත්ත ගැන බෙහෙවින් පැහැදේ. කෙසේ වුවත් වැඩි කලක් නොගොස්ම හැරීහට දරුණු පිපාසාවක් හටගනී. මේ නම් එසේ මෙසේ පිපාසාවක් නොව, තවත් කෙනෙකුගේ රුධිරය පානය කරන්නට අවැසි වන පිපාසාවකි.
FX රූපවාහිනී ජාලය සඳහා රයන් මර්ෆි සහ බ්‍රැඩ් ෆල්චක් විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු කතන්දර ත්‍රාසජනක රූපවාහිනී කතාමාලාවක් වන American Horror Story, මීට වසර දහයකට පෙර තිරගත වීම ඇරැඹි අතර 2021 අගෝස්තු මස 25 වන දින තිරගත වීම ඇරැඹි Double Feature නම් වූ එහි දස වැනි අදියර ඉහත දැක්වූ ලෙසින් මුලපිරේ. සෑම අදියරකින්ම අලුත් කතාවක් ගැන කියවෙන ‘Anthology’ ගණයට අයත් මෙම කතා මාලාවේ එක් එක් කතාවක් නව කාලයක්, ස්ථානයක් සහ චරිත පදනම් කරගෙන ගොඩනැඟී ඇති අතර ඇතැම් අදියරවල තිරගත වූ කතාවන්ට සත්‍ය සිදුවීම්ද දළ වශයෙන් සම්බන්ධ බව පැවසේ. Anthology කතා මාලාවක් වුවද මෙහි බොහෝ අදියරයන්හි ඊවාන් පීටර්ස්, සාරා පෝල්සන් සහ ලිලී රබේ යන රංගන ශිල්පී ශිල්පිනියන් ප්‍රධාන චරිත රඟ දක්වා ඇත.
මේ කතා මාලාවේ පළමු අදියර මියගිය පැරැණි පදිංචිකරුවන් විසින් හොල්මන් කරන ලද නිවෙසකට පැමිණෙන අලුත් පවුලක් කේන්ද්‍ර කර ගන්නා අතර දෙවැනි අදියර 1964 දී මැසචුසෙට්ස් හි පවත්වා ගෙන ගිය උන්මත්තකාගාරයක් කේන්ද්‍ර කොටගෙනද, තෙවැන්න 2013 වසරේ දී ලුසියානා හි නිව් ඕර්ලියන්ස් හි වෙසෙන මායාකාරියන් සමූහයක් පදනම් කරගෙන ද ගෙතී ඇත. මෙහි සිව්වැනි අදියර 1952 දී ෆ්ලෝරිඩාවේ ජුපිටර් හි පැවති 'හොල්මන් මන්දිරයක්' කේන්ද්‍ර කරගෙන ගෙතී ඇති අතර පස්වැන්න 2015 දී කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පවතින අද්භූත හෝටලයක කාර්ය මණ්ඩලය සහ අමුත්තන් වටා ද හයවැන්න 2014–2016 කාලය තුළ උතුරු කැරොලිනා හිරොනොක් නම් ජනපදයේ හුදෙකලා ගොවිපොළක සිදු වන අද්භූත සිදුවීමක් පදනම් කරගෙනද, හත්වැනි අදියර, 2016 වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පසු මිචිගන් හි වැසියන් ත්‍රාසයට පත් කළ මැර කල්ලියක් වටාද, අටවැන්න ලෝක විනාශයක් වැළැක්වීමට වෙහෙසෙන මායාකාරීන් සමූහයක් ගැනද, නවවැන්න 1984දී ලොස් ඇන්ජලීස් නගර ආසන්නයේ සිදුවූ සමූලඝාතනයක් ගැනද, පසුගිය අගෝස්තු මස තිරගත වීම ඇරැඹි දස වැන්න වෙරළාසන්න පෙදෙසක නිවාඩුව ගත කිරීමට යන ගාඩ්නර් පවුල බියවද්දන ප්‍රදේශවාසීන් වටාද ගෙතී ඇත.
American Horror Story හි අදියර සියල්ලම විචාරකයන්ගෙන් බොහෝ පැසසුම් ලබා ඇති අතර රෝට්න් ටෝමාටෝස් අඩවියේ දර්ශකයන්ට අනුව සෑම අදියරක්ම විචාරකයන්ගෙන් 72% ක් සහ 100% ක් අතර ප්‍රතිශතයක් අනුමත කර ඇත.