තරුණ චිත්‍රපට අධ්‍යක්ෂ ශමීර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය වූ ‘සිහින නෙළුම් මල්’ හි ගීත ජනගත කිරීම වෙනුවෙන් සුවිශේෂී සංගීත ප්‍රසංගයක් ඉකුත්දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වූයේ සිනමාපටයට දායක වූ රංගන ශිල්පීන් සහ ගායක ගායිකාවන් රැසකගේ දායකත්වයෙනි. එකී ප්‍රසංගය පිළිබඳවත් ‘සිහින නෙළුම් මල්’ චිත්‍රපටය සහ සිය සිනමා භාවිතය පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් ශමීර රංගන නාඔටුන්න මෙසේ සරසවිය හා එක්විය.
ඔබේ නවතම සිනමා සිත්තම වන “සිහින නෙළුම් මල්” හි ගීත ජනගත කිරීම ඉකුත්දා පැවැත්වුවා. ඒ පිළිබඳ පැහැදිලි කළොත් ……?
“සිහින නෙළුම් මල්” කියන්නේ මගේ අලුත්ම හෙවත් දෙවැනි සිනමා පටය. එය නුදුරේදීම තිරගත වීමට නියමිතයි. චිත්‍රපටය තිරගත වීමට පෙර එම චිත්‍රපටයේ ගීත ජනගත කිරීමක් තමයි මෙහිදී සිදුවුණේ. මෙවැනි ඓතිහාසික කර්තව්‍යයක් ලංකාවේ පළමුවරට තමයි සිදුවුණේ. නෙළුම් පොකුණ රඟහලේ දැවැන්ත ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේදීයි ගීත එළිදැක්වීම හෙවත් ජනගත කිරීම වුණේ. ලංකාවේ පළමුවරට ප්‍රසංග වේදිකාවයි සිනමාවයි එකතුවීමෙන් තමයි මේ කර්තව්‍යය සිද්ධවුණේ. ඒක වෙනස්ම වැඩක්. කවුරුත් මීට පෙර මේවගේ කාර්යයන් කර තිබුණේ නැහැ. මෙයට ඉතා හොඳ ප්‍රතිචාරත් ලැබුණා. ප්‍රසංග වේදිකාවක් ඇතුළේ තිරගතවීමට නියමිත සිනමා පටයක ප්‍රචාරක පටය සහ එහි ගීත එම චිත්‍රපටයේම ගීත ගායනා කරන ගායක ගායිකාවන් විසින්ම සජීවීව ඇසීමට ලැබීම සහ චිත්‍රපටයේ එකී රූපරාමු ද ප්‍රේක්ෂකයාට එහිදි දැකගන්න ලැබුණා. එය විශේෂ අවස්ථාවක්. සාර්ථකව ප්‍රසංගය සිදුවුණා. මේ චිත්‍රපටයේ ඉතා අලංකාර ගීත 03ක් ඇතුළත් වෙනවා. එකී ගීත 03 මා විසින්මයි රචනා කළේ. මෙහි සංගීත අධ්‍යක්ෂණය මිලින්ද තෙන්නකෝන්. ශෂිකා නිසංසලා, ආක්ෂා, අමිල පෙරේරා ඒ ගීත ත්‍රිත්වය ගායනා කරනු ලබනවා.
මේ සඳහා “මාත්‍රා” නමින් සජීවී ගී ප්‍රසංගයක් පවත්වන්න සූදානම් කළේ කුමන පදනමකින් ද….? එය කාගේ අදහසක් ද…..?
ඇත්තෙන්ම අපට චිත්‍රපටයක ගීත 03ක් සමඟ ප්‍රසංගයක් කරන්න බැහැනේ. ඒ නිසා අපි සිතුවා බිලී ප්‍රනාන්දුගේ බෑන්ඩ් එකත් එක්ක මාත්‍රා ලයිව් ඉන් කොන්සර්ට් කියලා කොන්සර්ට් එකක් පවත්වලා ඒ කොන්සර්ට් එක අතරමැද කාලයක මේ ගීත ජනගත කිරීමට. මේ අදහස චිත්‍රපටයේ නිෂ්පාදක වරුණ අරඹගේ මහතාත් මමත් කතා කරලා ගත්ත තීරණයක්. වරුණ අරඹගේ මහතාත් මේ වැඩේට ඉතා කැමැති වුණා . පසුව බිලී ප්‍රනාන්දුට කතා කරලා ඔහුගේ සංගීත කණ්ඩායමත් එක්ක අපි චිත්‍රාල් සෝමපාල මහතාටත් ආරාධනා කළා. මේ ප්‍රසංගයේදී චිත්‍රපටයේ ගීතවලට අමතරව චිත්‍රාල් සෝමපාල, බිලී ප්‍රනාන්දු, ශෂිකා නිසංසලා, මිහිඳු ආරියරත්න යන ගායක පිරිස තමන්ගේ ස්වාධීන ගීතත් ගායනා කළා
“මාත්‍රා” ගී ප්‍රසංගයට ලැබුණු ප්‍රතිචාර කොයිවගේද……?
මේ “මාත්‍රා” ප්‍රසංගයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා . එංගලන්තයේ ඉඳන් මේ ප්‍රසංගය බලන්න ආව අයත් සිටියා . ලංකාවේත් ගාල්ල, කුරුණෑගල , මහනුවර ආදී විවිධ ප්‍රදේශවල සිටින ප්‍රේක්ෂක පිරිසක් මෙයට සහභාගි වුණා. සිනමා ප්‍රේක්ෂකාගාරය එන්න එන්න කුඩාවෙද්දී එළිමහන් ප්‍රසංගවලට තමයි ප්‍රේක්ෂකයා යොමුවෙන්නේ. මේ ප්‍රේක්ෂකාගාරය අපි දිනාගන්න ඕනේ. ඒ නිසයි මෙවැනි වැඩක් අපි සැලසුම් කළේ. ප්‍රේක්ෂකාගාරයට අපේ සිනමාපටය, අපේ අදහස රැගෙන යන්න පුළුවන් අලුත් ප්ලැට් ෆෝර්ම් එකක් විදිහටත් මම මේ වැඩේ දකිනවා. මෙයට පැමිණි ප්‍රේක්ෂකයා අපට කිව්වා අනිවාර්යයෙන් චිත්‍රපටයත් නරඹනවා කියලා.
චිත්‍රපටයක වාණිජමය සාර්ථකත්වයට එකී ගීත කොතරම්දුරට ඉවහල් වූයේ දැයි ඔබ සිතන්නේද……?
චිත්‍රපටයක ගීත කියන්නේ ප්‍රේක්ෂකාගාරය දිනාගත හැකි ඉතා වැදගත් මෙවලමක් ලෙසයි මම දකින්නේ. චිත්‍රපටයක අලංකාර ගීත තිබුණොත් ප්‍රේක්ෂකයා චිත්‍රපටය නැරඹීමට ඇති නැඹුරුවත් වැඩියි. “සිහින නෙළුම් මල්” හි ගීතත් ඉතා සංවේදී , මිනිස්සුන්ට දැනෙන, සමීප ගීතයි.චිත්‍රපටයේ ප්‍රදර්ශනයට මෙහි ගීතවලින් ලැබෙන පිටිවහල ඉතා වැදගත් වේවි.
“සිහින නෙළුම් මල්” හි ප්‍රධාන චරිත නිරූපණය කරන හේමාල් රණසිංහ සහ දුෂේනි මියුරංගිගෙන් ප්‍රසංගයට ලැබුණු දායකත්වය ගැන කීවොත් ….?
හේමාල් සහ දුෂේනි මෙකී ප්‍රසංගයට ලොකු සහයක් ලබාදුන්නා. විශේෂයෙන් හේමල් රණසිංහ ගැන කිවයුතුයි. අපේ අදහස ඔහුට කීවාම ඔහු බොහෝම කැමැති වුණා. ප්‍රේක්ෂකයා වෙත චිත්‍රපටයක් රැගෙනයන්න අපි අලුත් විදිහට හිතන්න ඕනේ. අලුත් ප්‍රචාරණ විධි ගැන සිතන්න ඕනේ. මෙහිදී ප්‍රේක්ෂකයාට චිත්‍රපටයේ ගීත රසවිඳීමට අමතරව එහි ප්‍රධාන නළුනිළියන් සමඟ කතා කරන්න, ෆොටෝස් ගන්න අවස්ථාව ලැබුණා. ඒකත් චිත්‍රපටයේ ප්‍රචාරණයට වඩාත් හොඳ උපක්‍රමයක් තමයි.හේමාල් සුවිශේෂී සහයෝගයක් වැඩේට් ලබාදුන්නා. ඔහුට මගේ පෞද්ගලික ස්තුතියත් චිත්‍රපට කණ්ඩායම වෙනුවෙන් ස්තුතියත් පුදකරන්න කැමැතියි.
“සිහින නෙළුම් මල් ” ඔබේ සිනමා දිවිය තුළ සුවිශේෂී වන්නේ කවර හේතු නිසාද……?
සිනමාකරුවකුට ඔහුගේ සියලුම නිර්මාණ සුවිශේෂී නිර්මාණයි. “සිහින නෙළුම් මල් ” කියන්නේ “මෝටර් බයිසිකල්” චිත්‍රපටයෙන් පසු මගේ දෙවැනි සිනමා නිර්මාණය.”මෝටර් බයිසිකල් “වලින් මම කතා කළේ කොළඹ නගරයේ ජීවත්වන තරුණ යුවළකට තමන්ගේ ආදරය හා ජීවිතය පවත්වාගෙන යන්න තිබෙන බාධක සහ නිදහස සම්බන්ධයෙන් . “සිහින නෙළුම් මල්”වලින් කතා කරන්නේ විවාහ පත්වුණු එහෙත් දරුවකු නැති දරුවකු බලාපොරොත්තුවෙන මධ්‍යම පාන්තික තරුණ යුවළක් ජීවිතයට, සමාජයට මුහුණදෙන්නේ කොහොමද කියනදේයි. මේ අත්දැකීම අඩු වැඩි වශයෙන් සමාජයේ බොහෝ අයට තිබෙනවා. ඒ නිසා මේ චිත්‍රපටයට බොහෝ අය සංවේදී වේවි.
චිත්‍රපටය සඳහා රංගන ශිල්පීන් තෝරාගැනීමේ ක්‍රමවේදය ගැන පැහැදිලි කළොත් ……?
රංගන ශිල්පීන් තෝරාගැනීමේදී අපි සිතුවා මේ චරිතවලට කවුරුන්වද දායකකරගන්නේ කියලා. නිර්මාණ කණ්ඩායමේ සාකච්ඡාවකුත් තිබ්බා.පෞද්ගලිකව මගේත් පොඩි සාකච්ඡාවක් තිබ්බා.ජනප්‍රිය ධාරාවේ සිටින දක්ෂ පිරිස මෙයට යොදාගන්න ඕනෙ කියලා අපි සිතුවා. එකී පදනම මත සිටයි හේමාල් රණසිංහ, දුෂේනි මියුරංගි වැනි පිරිස ප්‍රධාන චරිතවලට තෝරාගත්තේ. හේමාල් විවිධ චරිත සිනමාවේ නිරූපණය කර තිබෙනවා. අනෙක මේ චිත්‍රපටය ඔහුට සුවිශේෂියි. ඔහු මෙවැනි චරිතයක් මීටපෙර රඟපාලා නැහැ. ඔහුගේ රංගන දිවියට වෙනස්ම මානයේ අත්දැකීමක් ලැබුණා කියා මම සිතනවා .
අනෙකුත් වාණිජ චිත්‍රපට සමඟ “සිහින නෙළුම් මල්” කවර තැනක ස්ථානගත කළ හැකිද…..?
ඒකට මට මෙහෙම තක්සේරුවක් දෙන්න පුළුවන්. “සිහින නෙළුම් මල්” චිත්‍රපටය කියන්නේ බොහෝදෙනාට හොඳීන් නැරඹිය හැකි වගේම හදවතට දැනෙන කතාවක්.පවුලේ සැමටම නැරඹිය හැකි චිත්‍රපටයක්. විශාල ප්‍රේක්ෂකාගාරයක් මේ චිත්‍රපටය ආකර්ෂණය කරගනීවි කියා මා විශ්වාස කරනවා
මෙරට ප්‍රේක්ෂකයාට “සිහින නෙළුම් මල්” කවදානම් නැරඹීමට හැකිවේද…..?
මේ චිත්‍රපටය ජාතික චිත්‍රපට සංස්ථාවේ රිද්මා මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසයි එළිදැක්වෙන්නේ. බොහෝදුරට ජුනි, ජූලි මාසවෙද්දී චිත්‍රපටය ප්‍රේක්ෂකාගාරයට මුදාහරින්න පුළුවන් වේවි. අවස්ථාව ලද සැනින් ඉතා ඉක්මනින් මෙය ප්‍රේක්ෂකයාට පෙන්වනවා. ඒවගේම මැයි මාසයේ අග වෙද්දී චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකම ප්‍රදර්ශනයට කටයුතුත් සූදානම්
“මෝටර් බයිසිකල්” ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. එය අධ්‍යක්ෂණය තුළින් තමයි බොහෝ දෙනා ඔබව හඳුනාගත්තේ ……?
මගේ පළමු සිනමා නිර්මාණය වූ “මෝටර් බයිසිකල් “හරහා ඉතා විශාල ප්‍රේක්ෂකාගාරයකට ආමන්ත්‍රණය කරන්න මට අවස්ථාව ලැබුණා. සිනමාකරුවෙක් ලෙස ලාංකේය ප්‍රේක්ෂකාගාරය මාව හඳුනාගත්තේ “මෝටර් බයිසිකල්” හරහායි.එය මගේ දිවියේත් කඩඉමක්. දේශීය සිනමාවේත් එක්තර සංධිස්ථානයක් ලෙස විචාරකයන් පවා නම් කර තිබෙනවා .
ඔබේ සිනමා දිවියේ ආරම්භය සිදුවූ ආකාරය සිහිපත් කරනවානම්…..?
මගේ සිනමා දිවිය අරඹන්නේ සිනමා රංගන ශිල්පියෙක් ලෙසයි. ඉන්පසු දෙවැනි සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට දමින්ද ඩී. මඩවල යටතේ චිත්‍රපට රැසකම වැඩකළා. ඉන් අනතුරුවයි අධ්‍යක්ෂවරයෙක් ලෙස මගේ පළමු නිර්මාණය වෘත්තාන්ත චිත්‍රපටය වන “මෝටර් බයිසිකල් ” රචනා කර අධ්‍යක්ෂණය කරන්නේ.
පාසල් අවධියේත් කලාවට යොමුවුණාද…..?
පාසල් අවධියේ ප්‍රාදේශීය වශයෙන් ළමා සමාජයක් තිබුණා. එකී ළමා සමාජය හරහා නැටුම්, නාට්‍ය, බෙරවාදන ආදිය ඉගෙනගත්තා. ළමා නාට්‍ය උළෙලට අපි නාට්‍යයකුත් නිර්මාණය කළා. මම එහි නිරූපණය කළ ප්‍රධාන චරිතයට සම්මානත් ලැබුණා. ඉන්පසුව තරුණසේවා සභාවේ නාට්‍ය හා රංගකලාව පාඨමාලාව හැදෑරුවා. ඒ හරහා යෞවන නාට්‍ය උළෙලට, රාජ්‍ය නාට්‍ය උළෙලට නාට්‍ය නිර්මාණය කළා.
මෙරට තරුණ සිනමාකරුවන් (සංජීව පුෂ්පකුමාර , ජගත් මනුවර්ණ වැනි) අන්තර්ජාතික වශයෙන් යම් යම් ජයග්‍රහණ ලබා සිටිනවා. ඒ පිළිබඳ ඔබේ මතය කවරාකාරද ….?
ලංකාවේ සිනමාකරුවෙක් අන්තර්ජාතිකව ලබාගන්න ජයග්‍රහණය ඉතා වැදගත්. ඒ හරහා ශ්‍රීලාංකේය සිනමාව මඟින් අන්තර්ජාතික ප්‍රජාවට යම්කිසි අවධානයක් සහ අදහසක් අපට ඇතිකරන්න පුළුවන්. සිනමාව කර්මාන්තයක් ලෙස දියුණුවෙන්න නම් අපට අන්තර්ජාතික වශයෙන් ලබන ජයග්‍රහණ සහ එකී වෙළෙඳපොළට ප්‍රවේශවීම ඉතා වැදගත්. අන්තර්ජාතිකව කොතරම් ජයග්‍රහණ ලැබුවත් මෙරට ප්‍රේක්ෂකාගාරයත් අපි දිනාගත යුතුයි. තරුණ පරපුර ඉතා හොඳ සිනමා කෘති නිර්මාණය කරනවා. හෙට දවසේදී වඩාත් හොඳ සිනමාවක් වෙනුවෙන් ජයග්‍රහණ, කැපකිරීම් ආදිය අතිශය වැදගත් .
ඔබේ සිනමාකරණයට බලපෑ දෙස්, විදෙස් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් පිළිබඳ කතාකළොත්….?
සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස දෙස්, විදෙස් චිත්‍රපට මම ලද සෑම මොහොතකම නරඹනවා. දේශීය අධ්‍යක්ෂවරුන් ලෙස ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්, වසන්ත ඔබේසේකර, බූඩි කීර්තිසේන යනාදීන්ගේ සිනමාවට මම හරිම කැමැතියි. විදෙස් අධ්‍යක්ෂවරුන් ගත්තොත් බොහෝ පිරිසක් ඉන්නවා. අකිර කුරොසාවා, සත්‍යජිත් රායි. ඒවගේම මම ඉරාන සිනමාවට බොහෝසෙයින් කැමැතියි. එහි සිටින අස්ගා ෆරොහාඩ්, මජිඩ් මජුඩි, අබ්බාස් කියරොස්තාමි වැනි පිරිසටත් කැමැතියි. ඔවුන්ගේ නිර්මාණ මම නිරන්තරයෙන්ම නරඹනවා. ඉන්දියාවේ ගත්තොත් එහි අනුරාග් කාශ්‍යප්ටත් කැමැතියි .
අද වනවිට මෙරට සිනමාශාලා සංස්කෘතිය සෝදාපාළුවට ලක්වෙමින් පැවැතීම ඔබ කෙසේද දකින්නේ……?
එක්තරා විදිහකට සිනමාශාලා සංස්කෘතිය සෝදාපාළුවට ලක්වෙමින් තිබෙනවා. අනෙක් අතින් සිනමාශාලා සංස්කෘතිය නවීකරණය වෙමින් මල්ටිෆ්ලැක්ස් වැනි සිනමාශාලා නිර්මාණය වී තිබෙනවා. ඒවාට විශාල ප්‍රේක්ෂකාගාරයකුත් හැදෙනවා. කොළඹ PVR වැනි සිනමාශාලාත් අනෙකුත් ප්‍රදේශවල මල්ටිෆ්ලැක්ස් වැනි සිනමාශාලාත් ඉඳීවෙමින් පවතිනවා. හැමදේම උනච්චබඥ වෙද්දී සිනමාශාලාත් උනච්චබඥ විය යුතුයි. සිනමාශාලාවේදී ප්‍රේක්ෂකයාට ගෙදර චිත්‍රපටයක් නරඹනවාට වඩා අපූර්වත්වයක් දැනෙනවා. ඉතා පැහැදිලි රූප දකින්නෙත් ඉතා හොඳ ශබ්ද අහන්නත් පුළුවන් වපසරියක සිනමාශාලා උනච්චබඥ වෙන්න ඕන. ඡ් සිනමාව වගේ ප්ලැට්ෆෝම් නැතිවෙලා ගිහින් 2ම් වගේ සිනමාශාලා ඉඳීවෙන්න ඕනේ. පවුලේ අය චිත්‍රපටයක් නරඹන්න යද්දී එය විඳීය හැකි පරිසරයක් අපි හදන්න ඕනේ.. තව වසර 04ක් 05ක් යද්දී මේවා සම්පූර්ණයෙන් උනච්චබඥ වෙයි කියා මම සිතනවා. ප්‍රදර්ශනය නිදහස් කිරීමත් සමඟ තරඟකාරීත්වය ඇතිවේවි. ඒ තරඟකාරීත්වය එක්ක සිනමාවේ යම් යම් අංශ ද දියුණුවේවි කියාත් සිතෙනවා
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසෙන්න අදහසක් නැද්ද …..?
ටෙලිනාට්‍ය කිහිපයක් අධ්‍යක්ෂණයට මට ආරාධනා ලැබුණා. විවිධ නාළිකා සමඟ තිබූ සාකච්ඡාවලදී එකඟ නොවිය හැකි සමහර කරුණු නිසා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට තාවකාලිකව ඉඩ තිබ්බා. ටෙලි ෆිල්ම්ස්, ඒකාංගික ටෙලිනාට්‍ය කිහිපයක් නම් අධ්‍යක්ෂණය කළා.. මගේ අදහසක් තියෙනවා කොටස් 30,40ක වගේ හොඳ මට්ටමේ ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න. අධ්‍යක්ෂවරයාට ස්වාධීනව, නිදහසේ ටෙලිනාට්‍යයක් කරන්න අවස්ථාව ලැබුණොත් අනිවාර්යයෙන් බාරගන්නවා.
වෙළෙඳ දැන්වීම්, වාර්තා වැඩසටහන් අධ්‍යක්ෂණය තුළ ඔබේ භූමිකාව පැහැදිලි කළොත් ….?
රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කර්මාන්තය දැන්නම් විශාල පරිහානියක තිබෙන්නේ. ඒවායේ ප්‍රමිතීන් ද නැතිවෙලා. මූල්‍යමය වටිනාකමත් එන්න එන්නම හෑල්ලුවෙනවා. පසුගිය සමයේ වෙළෙඳ දැන්වීම් කිහිපයක් කළා. ඊට අමතරව වාර්තා වැඩසටහන් නිර්මාණකරණයේත් යෙදෙනවා.ඒකට මම ආසයි. ලංකාවේ නොයෙක් ප්‍රදේශවලට ගිහින් විවිධාකාර මිනිස්සු හමුවී විවිධ අන්දමේ අත්දැකීම් මම ලබනවා.විවිධ ආයතනවලට වගේම විවිධ ව්‍යාපෘති සඳහාත් මම වාර්තාමය වැඩසටහන් කර තිබෙනවා. කර්මාන්ත පිළිබඳ , මිනිස්සු පිළිබඳ , විවිධ සංස්කෘතීන් පිළිබඳ මම නිර්මාණය කළ විශාල වාර්තා වැඩසටහන් තිබෙනවා
1990 දශකයේ බිහිවූ විශිෂ්ට ටෙලි නිර්මාණ සහ අද බිහිවෙන මෙගාරැල්ලේ ටෙලිනාට්‍ය ගැන ඔබේ තක්සේරුව කවරාකාරද ……?
එදා ඒ නිර්මාණ සහ අද බිහිවෙන නිර්මාණ අහසට පොළොව වගේ. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට බොහෝ පිරිස එන්නේ නැහැ. ඉතිරිවන සමස්තය තමයි ටෙලිනාට්‍යකරණයේ දැනට ඉන්නෙ. හැමදේම වැඩිවෙද්දී ටෙලිනාට්‍යයක කොටසකට ගෙවන ගණන අඩුවෙලා. එවැනි ප්‍රශ්නත් බලපානවා හොඳ නිර්මාණ බිහිනොවෙන්න. අනෙක අපේ රටේ හොඳ තිරපිටපත් රචනයේ විශාල ප්‍රශ්නත් තිබෙනවා. අද ටෙලිනාට්‍යවල කිසි ප්‍රමිතියක් නැහැ. එවැනි හේතු නිසා ටෙලි නිර්මාණ ක්ෂේත්‍රය ඉතා විශාල අර්බුදයකට ලක්වෙලා. අතරින්පතර එක්කෙනෙක් දෙන්නෙක් හොඳ නිර්මාණ කරනවා
සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන නවක පිරිස ගැන ඔබේ දැක්ම මොනවගේද ….?
විශිෂ්ට නිර්මාණ බිහිකළ හැකි තරුණ පිරිස් මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න බලනවා. ඉතා දක්ෂ නව පරපුරක් ඉදිරියේදී මේ ක්ෂේත්‍රයට එකතුවේවි. වෘත්තියමය භාවයක් නොමැතිව මේ කර්තව්‍යයේ නිරත වෙන පිරිසකුත් ඉන්නවා. ඒවගේම සමහරු ඉන්නවා ඔහේ ඇවිත් රඟපානවා. රංගනය වගේ විෂයයක් එහෙම කරන්න පුළුවන් ද කියා මමනම් දන්නේ නැහැ. දක්ෂ, කැපකිරීම් කරන පිරිස වගේම මේක ඉතා සැහැල්ලුවෙන් අරගෙන දඟලන පිරිසකුත් ඉන්නවා.
මෙරට සිනමා සම්මාන උළෙලයන්හි ප්‍රමිතිය පිළිබඳවත් ඒවායෙහි විනිශ්චයන්හි තීරණ පිළිබඳවත් යම් යම් ගැටීම් අපි දකිනවා. එකී කරුණු ඔබ කෙසේද දකින්නේ…..?
විවිධ සම්මාන උළෙලවල සිටින ජූරිය ගත්තහම ඒ තීරණය ලැබෙන්නේ ජූරියට සාපේක්ෂව..සමහර චිත්‍රපට ඇගයීමට ලක්වුණත් ඇතැම් සම්මාන උළෙලයන්හි එකී චිත්‍රපටයට කුසලතා ඇගයීමක්වත් නැහැනේ. ජූරිය සිතන විදිහ අනුව ඒ ඒ තීරණ වෙනස් වෙනවා. නිර්මාණයකට ඇගැයීමක් ලැබීම කලාකරුවකුට අතිශය වැදගත් වෙනවා. සමහර සම්මාන උළෙලවල සම්මාන දීමේදී අවංකවම ද ජූරිය ඒ ඒ තීරණ ගත්තේ කියා ප්‍රශ්නයක් අපට තිබෙනවා. ජූරිවල සිටින අයගේ න්‍යායපත්‍ර අනුව ඒ ඒ දේවල් වෙනස්වෙනවා.
තිරරචනා කලාව තුළ “ශමීර නාඔටුන්න” භූමිකාව පැහැදිලි කළොත්….?
මම තිරනාටක රචකයකු ලෙසත් අධ්‍යක්ෂවරයකු ලෙසත් වැඩකරනවා. තිරරචනා ලියන්න ගොඩාක් කැමැතියි. ලංකාවේ විශිෂ්ට තිරනාටක රචකයන් නැහැනේ. එහි විශාල රික්තකයක් තිබෙනවා. තිරනාටක රචනයේදී මම ගොඩාක් මහන්සි වෙනවා.ඒක අධ්‍යයනය කරනවා වගේම ඒ තුළ ජීවත්වෙමින් මහන්සිවෙලා තිරරචනය ලියනවා. මට “මෝටර් බයිසිකල් ” සඳහාත් හොඳම තිරනාටක රචනයට හිමි සරසවිය සිනමා සම්මානය පවා ලැබුණා..අනෙක් සම්මාන උළෙලවලත් නිර්දේශ වුණා. චිත්‍රපටයක ඉතා වැදගත්ම දේ තමයි තිරරචනය. හොඳ තිරරචනයක් ලිව්වා කියන්නේ චිත්‍රපටයේ වැඩවලින් සියයට පනහකට වඩා අවසන් කියා කියන්න පුළුවන් . විශ්වවිද්‍යාල සිසුන් සමඟ තිරනාටක රචනය පිළිබඳ සාකච්ඡා කරනවා. හොඳ තිරනාටක රචනා කරන පිරිසක් තැනීමට බලාපොරොත්තු වෙනවා . ඒ පිරිස අනාගතයේදී මේ සිනමා කර්මාන්තයට, නිර්මාණ කලාවට යම්කිසි දෙයක් කළ යුතු නිසා එවැනි පරපුරක් බිහිකරන්න ඕනෑ…
ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන යම් ඉඟියක් දුන්නොත් ……?
මා විසින් ලියන ලද තිරනාටක කිහිපයක්ම තිබෙනවා. කොවිඩ් කාලයේ ගෙදර ඉද්දි ලිව්ව තිරරචනා තමයි ඒවා. එයින් කිහිපයක් දැනටමත් සාකච්ඡා මට්ටමේ තිබෙන්නේ. බොහෝදුරට “සිහින නෙළුම් මල්” චිත්‍රපටයෙන් පසුව මගේ ඊළඟ චිත්‍රපටයේ වැඩ ආරම්භ වේවි.
මනෝජ් රුක්මල් කුමාරසිංහ