නිවස කළා පුවත් 35 වැනි සරසවිය සම්මාන උලෙළ මාර්තු 28 වැනිදා BMICH හිදී

35 වැනි සරසවිය සම්මාන උලෙළ මාර්තු 28 වැනිදා BMICH හිදී

by Test User
March 18, 2024 9:51 am 0 comment

35 වැනි සරසවිය සම්මාන උලෙළහෙළයේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන සරසවිය සම්මාන උලෙළ මේ මස 28 වැනි බ්‍රහස්පතින්දා  සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. සරසවිය පුවත්පතට වසර 60ක් පිරීම මෙන්ම මෙවර 35 වැනි වරට  සරසවිය සම්මාන උලෙළ පැවැත්වීම සම්බන්ධව මාධ්‍ය දැනුම්වත් කිරීම පසුගියදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැතියේ ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ සියලු කර්තෘවරුන්,  යුනිලීවර් ශ්‍රි ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂිකා ශමාරා සිල්වා, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන, මෙවර නිල බැංකු සහකරු ලෙස ඉදිරිපත්වන කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී අලෙවිකරණ ඉරෝෂා වෙත්තසිංහ, සරසවිය ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.

ලක්ස් වෙළෙඳ නාමයට සිය වැනි වසර සපුරන යුනිලීවර් (ලක්ස්) ආයතනය වසර 30කට පසුව සරසවිය සම්මාන උලෙළට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දීම පිළිබඳ බෙහෙවින් සතුටට පත්ව සිටින ලේක්හවුස් සභාපති හරේන්ද්‍ර කාරියවසම් මහතා මෙවර සම්මාන උලෙළ LUX සරසවිය සම්මාන උලෙළ ලෙස සංවිධානය වන බව ද පවසා සිටියේය. සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර කෙටි සමාලෝචනයක යෙදෙමින් සරසවිය පුවත්පත සහ සරසවිය සම්මාන උලෙළ ආරම්භය පිළිබඳව පැමිණ සිටි පිරිස  දැනුම්වත් කිරීමට කටයුතු කළේය.

පත්තර මහගෙදරින් පිදෙන හෙළ සිනමාවේ මහා මංගල්‍යය සරසවිය සම්මාන උලෙළ

මෙරට පළමු සිනමා පුවත්පත ලෙස ‘සිනමා’  පුවත්පත ඇරැඹෙන්නේ 1952 වසරේ දී රොබට් ජයවර්ධනයන්ගේ පුරෝගාමීත්වයෙනි. ඉන් වසර එකොළහකට පසුව පත්තර මහගෙදරින් සරසවිය පුවත්පත බිහිවන්නේ රංජිත් විජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන්  1963 අප්‍රේල්  10 වැනිදා ය. එය මෙරට බිහිවූ 46 වැනි සිනමා පුවත්පත ලෙස ඉතිහාසයට එක්වන්නේ සුප්‍රකට කවියකු මෙන්ම තිර පිටපත් රචකයකු වන පී. කේ. ඩී. සෙනෙවිරත්නයන් විසින් යොදන ලද සරසවිය නාමය ද සමඟිනි. සරසවිය පුවත්පත ඇරැඹීමේ නැකත බඹරැන්දේ සිරි සීවලී හිමියන් විසින් සාදා දුන්හ. මේ සියල්ලේ  විශේෂ ගෞරවය හිමිවිය යුත්තේ පත්තර මහගෙදර නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ටය. සරසවිය පුවත්පතට සමගාමීව  1964 මැයි 9 වැනිදා සරසවිය සම්මාන උලෙළ බිහිවූවේ ද  රංජිත් විජයවර්ධනයන්ගේ මූලිකත්වයෙනි.  ගෙවුණු වසර 60  පුරා විවිධ හැඩයෙන් සිනමා පුවත්පත් 115ක් බිහිවුව ද මේ වන විට ඉන් 114ක්ම නැවතී සරසවිය පුවත්පත පමණක් කලාවේ උන්නතිය උදෙසා අභිමානවත් ලෙස වැජඹෙමින් සිටියි.

මෙවර සරසවිය පුවත්පත සමරනු ලබන්නේ වසර 60 පිරීමේ වජ්‍ර ජයන්තියයි. ඊට සමගාමීව යමින් සරසවිය සම්මාන උලෙළ ද සිය අභිමානවත් 60 වැනි වසර සමරයි. විවිධ හේතූන් මත මගහැරුණු  අවස්ථාවන් හැරුණු විට මෙවර සරසවිය සම්මාන උලෙළ සමරනු ලබන්නේ 35 වැනි සම්මාන රාත්‍රියයි. වසර 30කට පසුව නැවතත් ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස  ශ්‍රී ලංකා යුනිලීවර් (ලක්ස්) ඉදිරිපත් වීම ද සරසවිය අභිමානය තවදුරටත් ඉහළ නංවන්නකි. ලොව වටා නිළියන්ගේ ප්‍රතිරූපය හා බැඳුණු කීර්තිමත් වෙළෙඳ නාමයක්  වන ලක්ස් මෙවර සියවැනි සංවත්සරය සමරනු ලැබීම ද විශේෂත්වයකි.

හෙළයේ මහා කලා මංගල්‍ය ලෙස සැලකෙන සරසවිය සම්මාන උලෙළ සඳහා නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව අත්වැල්  බැඳගන්නා අතර  නිල මාධ්‍ය සහයෝගීතාව  සහෝදර අයි.ටී.එන්. මාධ්‍ය ජාලයෙනි.

රටේ පැවති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් 2018 වසරින් පසුව සම්මාන උලෙළක් පැවැත්වීමට නොහැකි වුවද   විශේෂාංගවලින් සමන්විතව මෙවර  එය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතී.

මේ මස 28 වැනි බ්‍රහස්පතින්දා සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන සරසවිය සම්මාන උලෙළ   සඳහා පාදක වන්නේ 2019/2020 වසර දෙකෙහි තිරගත වූ චිත්‍රපට පමණකි. 2019 වසරේ චිත්‍රපට 30ක් සහ  2020 වසරේ දී  චිත්‍රපට 12ක්  තිරගතවී ඇති අතර  මෙවර සම්මාන සඳහා නියමිත සමස්ත චිත්‍රපට ගණන 42කි.  අදාළ වසර දෙක සඳහා වෙන වෙනම සම්මාන පිරිනැමෙන අතර සමස්ත සම්මාන සංඛ්‍යාව 56කි.

නවීණ තාක්ෂණ ක්‍රම හා යමින් හොලිවුඩ් ඔස්කාර් සම්මාන උලෙළ මෙන්ම ෆිල්ම්ෆෙයා සම්මාන උලෙළේ ආභාසය ලද සරසවි සම්මාන උලෙළ මෙරට අනෙක් සියලු සම්මාන උලෙළවලට පුර්වාදර්ශයක් සපයමින් නියම ප්‍රමිතියෙන් හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වන ප්‍රමුඛ සම්මාන උලෙළ ලෙස ද සඳහන් කළ හැකිය. එය ජාත්‍යන්තරයේ අවධානයට ලක්වී  තිබීම ද රටක් වශයෙන් ආඩම්බර  විය හැකි කරුණකි.  එහි ප්‍රමිතිය සහතික කරන එක් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැක්කේ හොඳම චිත්‍රපටය ලෙස ගම්පෙරළිය සිනමා පටය සරසවිය සම්මාන උලෙළේ සම්මානිත වූවාට පසුව ඒ සඳහා ඉන්දියානූ අන්තර්ජාතික සම්මානයක් ද පිරිනැමීමයි. ජාත්‍යන්තර සිනමා උලෙළවලට චිත්‍රපට ඉදිරිපත් කිරීමේ දී කොතරම් සරසවිය සම්මාන ලබා තිබෙන්නේ ද යන්න විමසීම ද සරසවිය සම්මාන උලෙළ ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්වූ බවට තවත් උදාහරණයක් ලෙස සඳහන් කළ හැකිය. පසුගිය සම්මාන උලෙළ ගැන විමසා බැලීමේ දී ඉන්දියානු කලාකරුවන් අප සිනමා උලෙළ නියෝජනය කිරීම ද සරසවිය සම්මාන උලෙළේ ප්‍රමිතිය ගැන කියාපාන්නකි.

අද වනවිට බොහෝ කලා උලෙළවල ගායනා කෙරෙන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත අමරදේවයන් විසින් සංගීතවත් කොට ගායනා කරනු ලබන ජගන් මෝහිනී සරසවි අභිනන්දන ගීතය ද සරසවිය සම්මාන උලෙළේ අභිමානයට හේතු සපයන්නකි.  එමෙන්ම සරසවිය සම්මානයේ ආකෘතිය නිර්මාණය කළ හිටපු ලෝ ප්‍රකට ප්‍රවීණ මූර්ති ශිල්පී තිස්ස රණසිංහයන් ද මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

මෙහිදී ජනප්‍රිය චිත්‍රපටය තෝරාගනු ලබන්නේ  ඒ ඒ අවුරුද්දේ චිත්‍රපට සංස්ථාවෙන් ලබාගන්නා ආදායම් වාර්තා අනුව ඉහළම ආදායම් වාර්තා ඉපැයූ චිත්‍රපට තෝරාගැනීමෙනි. වසර දෙකෙහිම තිරගත වූ චිත්‍රපට ආදායම් වෙන වෙනම සලකා බලනු ලබයි. එමෙන්ම සිනමා ආකර්ෂණීය චිත්‍රපටය තෝරනු ලබන්නේ විනිශ්චය මණ්ඩලය විසිනි.

35 වැනි සරසවිය සම්මාන උලෙළ සඳහා විනිශ්චය ලබාදෙන ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට විනිවිදභාවයෙන් යුතුව ස්වාධීන තීරණ ගැනීමට කිසිදු බාධාවක් නොවේ.  ඒ සඳහා තෝරාගනු ලබන්නේ ද සිනමාව පිළිබඳ විවිධ අංශයන්ගෙන් දක්ෂතා දක්වා ඇති සිනමාව හැදෑරූ, සිනමාවේ  ප්‍රායෝගිකව නියැළෙන සුදුසුකම් සපිරූ 5 දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයකි.

මෙවර  සරසවිය සම්මාන උලෙළේ දී ජීවිතේ එක්වරක් පමණක් පිදෙන රණතිසර සම්මානය ද සුවිශේෂී මුහුණුවරක් ගෙන තිබේ.  2019 සහ 2020 යන වසර දෙක සඳහාම පිරිනැමෙන මෙය දශක ගණනාවක් පුරා සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා ජ්‍යෙෂ්ඨ කලාකරුවන් දෙදෙනෙකුට පිරිනැමෙන්නකි.  මේ වසරේ සිට එය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මානය ලෙස නම් කර තිබීම ද විශේෂත්වයකි. ඊට අමතරව රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍යය සම්මානය ද 2019 සහ 2020 වසර දෙක සඳහා වෙන වෙනම  පිරිනැමෙන අතර එය ලේඛන, පුවත්පත් කලාව, සිනමා විචාරය වැනි අංශයන්ගෙන් දායක වුණු ජ්‍යොෂ්ඨ කලාකරුවන් උදෙසා පිරිනැමෙන්නකි.

එදා මෙදා තුර ගෙවුණු වසර 60ක අභිමානය රන් අකුරින් ඉතිහාසගත කළ  කතුවරුන්  ලෙස  මීමන ප්‍රේමතිලක,  විමලසිරි පෙරේරා, ධර්මදාස බොතේජු, ග්‍රැන්විල් සිල්වා, ඒ.ඩී. රන්ජිත් කුමාර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුසිල් ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු, දීප්ති ෆොන්සේකා, සුනිල් මිහිඳුකුල, ගාමිණී සමරසිංහ, අරුණ ගුණරත්න යන කතුවරුන් ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. එමෙන්ම  ආචාර්ය නුවන් නයනජිත් කුමාර වත්මන් සරසවිය පුවත්පතේ කර්තෘ ධුරය හොබවමින් මෙවර සම්මාන උලෙළ සංවිධානයේ ප්‍රමුඛයා වෙමින් ‘සරසවිය‘ අභිමානවත් අනාගතයක් කරා ගෙන යන්නට වෙර දරන්නේය.

මෙවර පිරිනැමෙන සම්මානයන් 

ජනප්‍රිය චිත්‍රපටය  – 2019/2020

හොඳම නැඟී එන නිළිය/නළුවා – 2019 ලක්ස් සම්මානය

හොඳම නැඟී එන නිළිය/නළුවා – 2020 ලක්ස් සම්මානය

ලක්ස් ජනප්‍රිය නිළිය/නළුවා

ජනප්‍රිය නිළිය /නළුවා – 2019/2020  (ලේක්හවුස් ආයතනයේ පුවත්පත් කූපන මඟින් හා කෙටි පණිවුඩ මඟින් පාඨක මනාපයෙන් තෝරාගනු ලබයි.)

හොඳම සිනමාකර්ෂණීය චිත්‍රපටය – 2019

හොඳම සිනමාකර්ෂණීය චිත්‍රපටය – 2020

කුසලතා සම්මාන – 2019 (සම්මාන 3)

කුසලතා සම්මාන – 2020 (සම්මාන 3)

හොඳම ගායිකාව – 2019/2020

හොඳම ගායකයා – 2019/2020

හොඳම ගේය පද රචක – 2019/2020

හොඳම සංගීත අධ්‍යක්ෂ – 2019/2020

හොඳම ශබ්ද පරිපාලනය – 2019/ 2020

රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානය – 2019/2020

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මානය – 2019/2020

හොඳම වේශ නිරූපණය  – 2019/2020

හොඳම කලා අධ්‍යක්ෂණය – 2019/2020

හොඳම සංස්කරණය – 2019/2020

හොඳම කැමරා අධ්‍යක්ෂණය – 2019/2020

හොඳම තිරරචනය – 2019/2020

හොඳම සහාය නිළිය – 2019/2020

හොඳම සහාය නළුවා – 2019/2020

හොඳම නිළිය -2019/2020

හොඳම නළුවා – 2019/2020

හොඳම අධ්‍යක්ෂණය – 2019/2020

හොඳම චිත්‍රපටය – 2019/2020

මෙවර සම්මාන උලෙළ සඳහා සලකා බැලෙනුයේ 2019 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා තිරගත වූ චිත්‍රපට 30ක් හා 2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා තිරගත වූ චිත්‍රපට 12 ක් ඇතුළුව සමස්ත චිත්‍රපට 42කි. 2019 සහ 2020 වසර සඳහා වෙන වෙනම සම්මාන පිරිනැමෙන අතර ජනප්‍රිය නළුවා සහ නිළිය සඳහා හිමි සම්මාන ද වසර ද්විත්වය සඳහාම පිරිනැමේ.

2019 වසරේ තිරගත වූ චිත්‍රපට  – 30

ගින්නෙන් උපන් සීතල, සංගිලි, තාල, නැති බැරි ටාසන්, දැකල පුරුදු කෙනෙක්, අසන්ධිමිත්තා, සුළඟ අප රැගෙන යාවි, සාම කුමරු කතාව, සංසාරයේ දඩයක්කාරයා, කතා කරන හීන, වැලි පවුරු, ඉස්කෝලෙට මං ආවා, තිත්ත ඇත්ත, සුභා තෙරණිය, ෆේස් ටු ෆේස්, සිකුරු යෝගය, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්, ජය ශ්‍රී ඇමැතිතුමා, හුස්ම,මානය, රෂ්, විජයබා කොල්ලය, යූ ටර්න්, පාර්තිබන්, ගෝරි, එක රෑනේ කුරුල්ලෝ, රී ලෝඩ්, සකී, උලලේනී, විෂම භාග

2020 වසරේ තිරගත වූ චිත්‍රපට – 12

පාංශු, මිස් ජෙනිස්, සුනාමි, ද නිවුස් පේපර්, රූකඩ පැංචී, ඇවිළෙන සුලුයි, සූස්ති, ඊතලය, සේද මාවත, ෂෙලීනා, සුපර්ණා, හෝන්

2019/2020 ජනප්‍රියම නළුවා හෝ නිළිය සඳහා ලේක්හවුස් ආයතනය මඟින් නිකුත් කරන පුවත්පත්වල අඩංගු කූපනය පුරවා එවීමෙන් හා LS(හිස්තැනක්) වර්ෂය (හිස්තැනක්) ඔබ කැමතිම නළුවාගේ හෝ නිළියගේ නම ඉංග්‍රීසියෙන් සඳහන් කර 0767074734 දුරකතන  අංකයට  කෙටි පණිවුඩයක් (SMS) යොමුකිරීමෙන් ඔබේ  කැමැත්ත පළ කළ හැකිය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT