නිවස විශේෂාංග සරසවිය පුවත්පත කියන්නෙම මගේ සමීපතම නෑයෙක්…

සරසවිය පුවත්පත කියන්නෙම මගේ සමීපතම නෑයෙක්…

අතුල කල්දෙමුල්ල

by Test User
March 21, 2024 1:18 pm 0 comment

ඔහු පිළිබඳව කියන්නට ලියන්නට බොහෝදේ ඇතැයි මට සිතේ. වරෙක ඔහු ග්‍රැෆික් නිර්මාණකරුවකු ලෙසින් නමක් දිනාගත්තේය. තවත් වරෙක හෙතෙම නිර්මාණාත්මක ලේඛකයකු මෙන්ම වෙළෙඳ දැන්වීම් කලාවෙහිද….තව වරෙක ගීත රචකයකු හා කලාත්මක නිර්මාණකරණයේහි කලා අධ්‍යක්ෂකවරයකු ලෙසින් ද සම්මානිත ඔහු මේ වනවිට ප්‍රකටය.

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන ඔහු එහි “ක්‍රියේටිව් ටච් ” හි හිමිකරු හා නිර්මාණාත්මක අධ්‍යක්ෂකවරයාද වන අපේ සම්මානනීය අතුල කල්දෙමුල්ල සමග සරසවිය වෙනුවෙන් පැවැති සුහද කතාබහකි මේ

ඉතිං ..කොහොමද ඔබේ අලුත් තොරතුරු..?

ලංකාවේ සිටියදීත් කලා ක්ෂේත්‍රයේ පැති කිහිපයකට ම සම්බන්ධව කටයුතු කළා වගේම මේ රටේ සිටියත් ඒ කටයුතුවල නිරත වෙනවා. උපන් රට අමතක වෙන්නෙ නැහැනෙ.

ග්‍රැෆික් කලාවට සමත්කම් දක්වන ඔබ අපේ සරසවිය පුවත්පත සමග පවතින ඔබ කියන ඥාති සම්බන්ධය ගැන කීවොත්.

ඇත්තෙන්ම සරසවිය පුවත්පත මගෙ නෑයෙක්…ඊට ඉතිහාසයක් තියෙනවා. අපේ ජේ‍්‍යෂ්ඨ පුවත්පත් කලාවේදී ඒ.ඩී. රන්ජිත් කුමාර මහත්මයා සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘධූරය හොබවන කාලයේ එතුමා සමඟ මට වැඩ කරන්න අවස්ථාව ලැබීම මගෙ භාග්‍යයක්සේ අදත් මම දකින්නේ. ඉතිං..එතුමා සරසවිය පුවත්පතට ලොකු කාර්භාරයක් කරන අතරේදී මා ගැන ලොකු විශ්වාසයකින් සරසවිය පත්තරේ වගේම මුල් කවරයත් නවතාවයකින් කරමු කියා එතුමා මට උපදෙස් දුන්නා. මඟ පෙන්වූවා. ඒ 1989 විතර කාලෙදි. එතුමාගෙ හිත පිරෙන විදිහට මමත් කටයුතු කළා. කොහොම හරි මම එතුමාගෙ විස්වාසය රැකගත්තා. මම මුලින්ම සරසවිය මුල් කවරය සැරසුවේ ලකී මාලනී දෙපල ඉන්නා පින්තුරයකින්. ඒ කාලෙ දැන් වගේ ඩිජිටල් තාක්ෂණ මුකුත්ම නැහැනෙ. ඕෆ්සෙට් මුද්‍රණයෙන් කළේ.. අවම සම්පත් සහ අවම පහසුකම් යටතේ. මට මතකයි සරසවිය මුල් කවරය ගැන බොහෝ දෙනකුගේ කතාබහට ලක්වුණා. මට පින්තුර ලබා දෙන්න හොඳ දක්ෂ ඡායාරූප ශිල්පියොත් එක්ක සරසවියෙ එදා හිත හොඳ ටීම් එකකුත් හිටියා. උපාලි ෆොන්සේකා, සුසන්ත ලියනවත්ත, ප්‍රියංජන් සුරේෂ් ද සිල්වා ආදීන් තමා මට පින්තුර ලබා දුන්නේ. ඒ පින්තුර නිර්මාණාත්මකව සරසවිය කවරයට විවිධ ක්‍රමෝපායන් මුසු කරලා ඇහැ යන විදිහට වැඩේ කළා. රන්ජිත් කුමාර මහත්තයගෙ පැසසුමටත් මාව පාත්‍ර වුණා. මටත් හොඳ අත්දැකීමක් වුණා.

අපේ අතුල කල්දෙමුල්ලයන් මුල් වූ සරසවිය මුල්ම සිනමා සමරු කලාපය ද ඔහුගේ නිර්මාණයකි.

එක්වරම යමක් මතක්වූවාක් මෙන් ඔහු සෘජුව මදෙස බැලුවේය.

පත්තරය ලේ අවුට් එක, පිටු සැකැස්ම මට අත්දැකීම් වුණා. අපේ අමරදේව මහත්තයා “ආදර හැඟුම්” කැසට් පටය එළිදක්වන අපේ ප්‍රියන්ජන් ෆොටෝ කළේ. ඉතිං මේ පින්තුරයට පසුබිමක් දමන්න ඕනා ..එතුමා වාඩිවී උන්නෙ කවිචිචියක. ඩිජිටල් එදා නැහැනෙ. උදේට කවරය දෙන්නත් ඕනා. කල්පනා කරමින් ඉන්නකොට අපේ කාර්යාලයේ ඇටික් එකේ පරණ පුටුවක් තිබුණා. ඒ පුටුව පෙරළලා අලුත් ක්‍රමවේදයක් හදාගෙන පින්තුර කවරය හදා ගත්තා. (අතුල සිනාසෙන්නේය)

ඔබ මෙතෙක් පැමිණි ගමන් මඟ ගැන මතක් කළොත්…?

ඔව්..දුර ගමනක් ඇවිත් තියෙනව විවිධ කලා නිර්මාණ තුළින්. මුලින්ම මම පාසල් යන කාලෙ මිහිර පත්තරය එක්ක සම්බන්ධව කටයුතු කළානෙ. මම මිහිරට සිඟිති කවයට අඳීනවා. මට මතකයි ඒ කාලෙ නොයෙල් හසන්ත මහත්තයා මිහිරෙ හිටියා. පසුව මම බන්ධුල හරිශ්චන්ද්‍ර මහත්තයා ලඟ චිත්‍ර පුහුණුවත් ලැබුවා. ඉන් පස්සෙ මට ගුවන් විදුලියෙ පිටපත් කියවන්න අවස්ථාව ලැබුණා.

සිරස ආරම්භයේදීම සිරසට සුදුසුම ලාංඡනය ගැන නිමල් ලක්ෂපති මහත්තයා ඇතුළු පිරිසක් එක්ක සාකච්ඡාවකින් පස්සෙ එම ලාංඡනය නිර්මාණය කරන්න මට බාර දුන්නා. සිරස ලාංඡනය මම සාර්ථකව නිම කළා.

අතුල ඔබ වෙළඳ දැන්වීම් කලාව ගැනත් නමක් දිනා සිටිනවා නේද..?

එයටත් මට පාර පෙන්නුවෙ සරසවිය කර්තෘ ඒ.ඩී. රන්ජිත් කුමාර මහත්තයා. වෙළඳ ප්‍රචාරක මාධ්‍ය කලාව කියාදී මට එතුමා අත හිත දුන්නා. ඒක මම කෘතවේදීව සිහිපත් කරනවා. ඒ නිසාම වෙළඳ දැන්වීම් කලාවෙනුත් රූපවාහිනී දැන්වීම් කලාවෙනුත් මම මේ වනවිට යම් තැනක ඉන්නවා.

ඔබ ගුවන් විදුලියට සම්බන්ධ වීමෙන්…

ළමා ගුවන් විදුලි හා විදුල ළමා ගුවන් විදුලි වැඩ සටහන් ඔබටත් මතක ඇති. එහි ලාංඡනයත් කරන්න මට අවස්ථාව ලැබුණා. ඇඩ්වටයිසින් ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් මට ඇසුරු කරන්නත් ලැබුණා.

ජීවිතයට එක්වරක් පමණක් හිමිවන ග්‍රැෆික් නිර්මාණකරණය වෙනුවෙන් සුමති ටෙලි සම්මාන උළෙලේදී යූ.ඩබ්ලිව් . සුමතිපාල සම්මානයෙන්ද පිදුම් ලද අපේ ආදරණීය අතුල කල්දෙමුල්ල එම වැඩ සටහන ආරම්භයේදීම එය සංකේතවත් වන ලාංඡනය සකස් කිරීමේ කාර්යයද පැවරුණේ ඔහුටමය. එයද ඔහුගේම නිර්මාණයකි.

“කලාකරුවා කියන්නෙ නෙළුමක් . ලෝකය සියපත මත…” ඒ පිළිබඳව ඔහු අදහස් දැක්වූයේ එලෙසය.

අපේ අතුල කල්දෙමුල්ලයන්ගේ නිර්මාණාත්මක ලාංඡනයන් තුළින් ඔහුගේ සමත්කම් මැනවින් පෙනෙයි.

ETF –  – රැකියා භාර අරමුදල ( නිර්මාණය )

Phoenix Ogilvy &Mather  සඳහාද ඔහුගේ ලාංඡන නිර්මාණයන්.

Vidula FM (SLBC ළමා නාලිකාව)  Sri lankan y~ FM සහ Miyuru FM – Sri Lankan Community Redney in Sydney.
Nexus Corp international (Aus) Pty Ltd Vikasitha Australliya  ආදිය වේ.

අපේ අතුල කල්දෙමුල්ල එක්ව මහාචාර්ය මෛත්‍රී පනාගොඩ, කිත්සිරි කරුන් ග්‍රත්න සිඩ්නි පදනම් කරගත්  Sri Lankan Lesuire Entertainment (SLE) Online Multimedia සඟරාව.

සරසි, සරසවිය පුවත්පත් ඇතුළු ප්‍රධාන සිංහල පුවත්පත් සමඟ සමීපව කටයුතු කළ අපේ අතුලයන් 1994 දී සරසවිය ලේඛක සහ පිටුසැකසුම් නිර්මාණකරු ලෙසින්ද ග්‍රාන්ට් මැකන් එරික්සන්හි ග්‍රැෆික් නිර්මාණකරුවකු ලෙසින් ද දස වසරක සේවා කාලයක් නිමා කළේය. ෆීනික්ස් ඔගිල්වි සහ මාතර් සමඟ වසර 9ක් පුරා කලා අධ්‍යක්ෂකවරයකු සහ නිර්මාණාත්මක ලේඛකයකු ලෙසින් කටයුතු කළේය.

ඔබේ ගීත රචනා කලාව ප්‍රකටයි. ප්‍රවීණ ගායන ශිල්පීන් වගේම නවක අයත් ඔබේ ගීත රචනා ඉදිරියෙන් තබා ගායනා කරනවා. ඒ ගැනත් කතා කළොත්..

සාෆ් ගීත රචනා තරඟාවලියට දසදෙසින් ගීත රචනා දහස් ගණනක් ලැබී තිබුණා. මගේ ගීත රචනාව වෙනුවෙන් එම තරඟාවලියේදී මට දෙවන ස්ථානය හිමිවුණා .

අයිවෝ ඩෙනිස් ගායන ශිල්පියා ගැයූ සිව්දෙසින් අත් සිත් එකට බැඳී” එම ගීතයයි. එහි සංගීතය රෝහණ වීරසිංහයන්ගෙ.

ඇත්තෙන්ම මේරියන්ස් නායක නලීන් පෙරේරා , විශාරද එඩ්වඩ් ජයකොඩි. ආදීන් වගේම දර්ශන වික්‍රමතුංග, වගේ මාව අගය කරන බොහෝ පිරිසක් ඉන්නවා. මම වෙළඳ ප්‍රචාරක මාධ්‍ය කොන්සර්ට් කරන කෙනෙක්නෙ. වෙළඳ ප්‍රචාරක නිර්මාණකරණය අතරේ මගේ එකම විමෝදාංශය තමයි ගීත රචනා කලාව.

සුන්දරයි සුන්දරී..” ” කඩියෝ ඩියෝ..ඩියෝ… – නලීන් පෙරේරා .ගව්වෙන් ගව්ව ටෙලි නාට්‍යයේ එඩ්වඩ් ජයකොඩි ගයන ” ගව් ගණන් දුර මාවතේ..” නානාච්චි…රුක්ෂාන් මාර්ක්..”ආයුබෝවන් කියන්න ” ” දියකිඳුරී” ෂෙහාන් නොයෙල් ..සංගීතය ලසිත් නිරෝෂණ…” මාර ගසට මල් ” ඉඳු ප්‍රේමතිලක..සංගීතය නවරත්න ගමගේ.. ගුවන් විදුලියේ නව ගායනයක් වන “උස්කඳු අතරින්.” ඩබ්ලිව් . ඩී. ආරියසිංහ.සංගීතය ඩී.ආර්. පීරිස්. “විලාසිනියේ සිනාසෙන්” ටිරෝන් මද්දුමගේ .සංගීතය ආත්මා ලියනගේ… “දේවී” බොනී ප්‍රනාන්දු ..සංගීතය නලීන් පෙරේරා “සියපතට පෙම් බැඳී නිති ” උපුල් මහේන්ද්‍ර ..සංගීතය රෝහණ ධර්මකීර්ති …”සඳ එළිය” රෝහණ ධර්මකීර්ති “සදා කාලයක්” තාමර දර්ශන ගුණතිලක සංගීතය දර්ශන වික්‍රමතුංග ..ආදී තවත් ගීත රැසක් ඔහු අතින් ලියැවී තිබෙයි.

වර්තමානය ගැනත් කතා කළොත්…?

මම 96 දි ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආවෙ. මගේ මේ ගමනට හැම අතින්ම අත දුන්න ඒ.ඩී. රංජිත් කුමාර මහත්තයා මට හැමදාම මතකයි. එතුමාගෙ ආශීර්වාදය තමයි මේ දුර මාව රැගෙන ආවෙි.

කොහොමද ඔබේ ජීවන තොරතුරු එහෙම…?

මගේ බිරිඳ සමඟ මට දූලා පුතාලා දෙන්නයි. මගෙ වැඩ වලට මට නිදහස තියෙනවා. ලංකාවෙන් එපිට උන්නත් ලංකාව හිතේ තියාගෙන ජීවත් වෙන්නෙ. ලංකාව සමඟ එදා තිබූ සම්බන්ධකම් අදටත් එහෙමමයි.

කලා ක්ෂෙත්‍රයේ විවිධ විෂයයන් රැසකටම තම කුසලතාවයම එක්තැන් කරමින් සම්මානයෙන් පිදුම් ලද අපේ ආදරණීය අතුල කල්දෙමුල්ලයන්ගේ දුරකතන අංකය + 610455068555 වේ. ඔහුගේ විද්්‍යුත් ලිපිනය වන්නේ [email protected]

ඔහු අවසාන වශයෙන් කෘතවේදී ව කීවේද සරසවිය මගේ සමීප ඥාතියකු වන බවමය..

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT