කඳුකරයේ සුන්දර නිවහනකි. මැදිවිය ඉක්මවූ පියාද, මැදිවියේ මවද සමඟ සුන්දර යොවුන් දියණිය සැහැල්ලුවෙන් දවසරින සෙයකි. එහෙත් අප්‍රකාශිත අර්බුදයක් හෝ අර්බුද ඔවුන් වටා සැරිසරන වග ප්‍රේක්ෂකයාට දැනෙන්නේ නොපමාවය. ඔවුන’තර පවත්නා අන්තර් සබඳතා දුරස් වෙමින් තිබෙන බවද පෙනේ. තම තමන්ගේ ලෝක තුළ රැඳී සිටීමට ඔවුන් සතු කැමැත්ත පැහැදිලිය.නමුත් මේ ඔවුනගේ අනන්‍යතා අවධාරණය කිරීමක්ම නොවේ.
මේ ‘වර්ණ’ සිනමාපටයේ පළමු මිනිත්තු කිහිපයයි. අර්බුද කිසිවක් නොමැත්තේ නම් සිනමාපටය ඉදිරියට රැගෙන යා නොහැකි වග පැහැදිලිය. සිනමාකරු අජිත් ධර්මසූරියට පූර්ව සිනමා අධ්‍යක්ෂණ අත්දැකීම් නොමැති වීම ප්‍රශ්නකාරී තත්ත්වයක් සේ නිර්වචනය කිරීම අනුචිත වන්නේ මෙහිලා ප්‍රකට කරන චර්යාව හේතුවෙනි. ඊට හේතු වී ඇත්ත ඔහු විසින්ම රචනා කරනු ලැබ ඇති තිරනාටකයයි. රූපගත කිරීමේදී හා සංස්කරණයේදී සිය තිරනාටකය මතම රැඳී සිටීමට ඔහු උනන්දු වන බව පෙනේ. සිනමාපටයේ රිද්මය සැකසෙන්නේ තිරනාටකය ඔස්සේමය.
මෙහෙයින් ‘වර්ණ’ යනු තිරනාටකය නිසාම යථාර්ථයක් වූ සිනමාපටයක් සේ හැඳීන්වීමටද පුළුවන. මෙතැනදී සිනමාකරු අජිත්ට මහත් සහයක් වන්නේ කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තායි. සමස්ත සිනමාපටයම විවිධ වූ වර්ණ විසින් සමන්විත කරනු ලැබ ඇත. ගෘහ පරිසරයට සමගාමීව බාහිර පරිසරය දෙසද විවෘතව බැලීමට රුවන් කොස්තා දක්වන උනන්දුව සිනමාකරු අජිත්ගේ දැක්මට පටහණි නොවේ. හැම වර්ණයක්ම සතුට දනවන්නට සමත් නොවන බව සිනමාකරු අජිත්ගේ අදහස විය යුතුය. මෙතැන අඳුරු වර්ණද තිබිය හැකි බව ඔහු ඉඟි කරයි. භූමිකා සතර තුළම පවතින්නේ අඳුරු වර්ණය.
අජිත් ‘වර්ණ’ හිදී නිරූපණය කරන්නේ සත්තකින්ම අතිශය සුලබ පුවතකි. මෙබඳු පුවත් සිනමාවට සුපුරුදුය. සෙසු ප්‍රකාශක කාර්යයන් වෙතින්ද මෙබඳු පුවත් දැක ගැනීම කිසි ලෙසකින්වත් අසීරු නොවේ. සිය පළමු සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔහු මෙවැනි සුලබ පුවතක් තෝරා ගත්තේ මන්දැයි යන්න පළමු වටයේදී නම් ප්‍රේක්ෂකයා දවන පැනයක් වේ. අජිත් මෙයට පිළිතුරු සපයන්නේ සිනමාපටය නරඹා හමාර වූ පසු එළැඹෙන මිනිත්තුවේදීය.
සිනමාපටය දිව යන මිනිත්තු අසූවක පමණ කාලය හෝරා කිහිපයක් සේ රසිකයාට දැනෙයි. රූපරචනය පෙළ ගස්වන්නේ මන්දගාමීවය. උද්වේගකර අවස්ථා පවා මේ මන්දගාමී චලනයේ ආධිපත්‍යයට නතු කරලීමට සිනමාකරු අමතක නොකරයි. වැදගත්ම දේ ප්‍රේක්ෂකයා වෙහෙසට පත් නොවීමයි. ඔහු සිනමාපටයේ අවසානය පිළිබඳ කුතුහලයකින් පසුවන වග පැහැදිලිය. එමෙන්ම අදාළ මොහොතේ හැඩ රුව කෙරෙහිද ඔහු සැලකිලිමත් වෙයි. මෙහෙයින් ඔහු සිනමාපටය නරඹා හමාර කරන්නේ පෙර කී මිනිත්තුව පිළිබඳ අවබෝධයකිනි.
මතුපිටින් නිස්කලංක පවුල වෙත එක්තරා පැහැබර දිනයෙක පැමිණෙන ආගන්තුකයකු සමඟ සිය නිර්මාණ අභිලාෂය ප්‍රකට කරන්නටයි සිනමාකරු අජිත් වෙහෙස වන්නේ. මේ විදේශයක සිට පැමිණෙන තරුණ, කඩවසම් පුරුෂයෙකි. පළමු පියවරේ පටන්ම මොහු නිහඬ, ගුප්ත, අවිනිශ්චිත අයකු සේ හඳුන්වා දීමට සිනමාකරු අජිත් උත්සුක වෙයි. දැන් ප්‍රේක්ෂකයා කල්පනා කරන්නේ මොහු කවුදැයි කියායි. සියලු තතු දන්නේ පියා පමණි. ඉන් කොටසක් පසු අවස්ථාවක මව සොයා ගනී. දියණියට සියල්ල රහසකි. අවසන් මොහොතේදී මොහු කවුදැයි යන රහස හෙළිදරව් වන්නේ සැබැවින්ම ප්‍රේක්ෂකයා තුළ එපමණ විමතියක් ඇති නොකරමිනි. සමස්ත පුවත සුලබ වූවක් යැයි කිව හැක්කේ මේ ලකුණද නිසාය. සිනාමාකරු අජිත් පවසන අන්දමට මෙසේ පැමිණෙන්නේ පියාගේ සොහොයුරෙකි. දේපළ බෙදා දීම හා බෙදා ගැනීම යන කරුණු මොහුගේ ආගමනයේ අරමුණුය. පියා සිය පවුලේ බොහෝ දෑ මවගෙන් සඟවා තබා ඇති බවයි මෙතැනදී ගම්‍ය වන්නේ.
සිනමාපටය පුරාම මේ සිව් දෙනාගේ එකඟතා හා නොඑකඟතා නිරූපණය සිනමාකරු අජිත්ගේ පළමු ප්‍රයත්නය සේ පෙනේ. දෙවැන්න වන්නේ ඊට උචිත විලාසයක් සහතික කර ගැනීමයි. තෙවැන්න වන්නේ පියා, මව හා දියණිය අබිබවා ආගන්තුකයා ඔසවා තැබීමයි. සිය පළමු සිනමා අධ්‍යක්ෂණයෙන්ම යම් පරිණත දැක්මක් මත රැඳෙන්නට සිනමාකරු අජිත්ට අවකාශ සැලසෙන්නේම මේ සිව් වැදෑරුම් පිවිසුම නිසාය.
ආගන්තුකයාගේ භූමිකාව ඔසවා තැබීම නිසා සෙසු භූමිකා පිළිබඳ ප්‍රශ්න කිරීමකට ප්‍රමාණවත් අවකාශයක් නොසැලසෙයි. පියා සිය පවුලේ රහස් මවට නොපවසන්නේ මන්දැයි යන ප්‍රශ්නයද මෙසේ යටපත් වන්නකි.
සිනමාපටය හා ප්‍රේක්ෂකයා අතර නව සබඳතාවකට ඉඩ හසර සැලසෙන්නේ ආගන්තුකයා හා මේ පවුලේ දියණිය අතර ගොඩනැඟෙන අවබෝධය හේතුවෙනි. දියණිය දෙමාපිය බලකිරීමද මත එක්තරා පුරුෂ ඇසුරක් අතහැර දමා සිටින බව කියැවේ. පුරුෂ පහසට ඇය මහත් සේ මනාපය. හුදෙකලා නිවහනේදී හා හුදෙකලා බාහිර පරිසරයේදී කඩවසම් පුරුෂයකු හමුවීමට කිසිදු ඉඩක් නැත. පියා එබඳු කිසිවකට අවසර ලබා නොදෙයි. මෙහෙයින් සිදුවන්නේ ආගන්තුකයා කායික පහසකට පොලොඹවා ගැනීමට ඇය සූදානම් වීමය. මෙම රාත්‍රියෙන් අනතුරුව ආගන්තුකයා සියල්ල පවසා අතුරුදන් වෙයි. මේ පියාගේ බාල සොහොයුරකු බව දියණිය නොදනී. සිනමාකරු අජිත් තීන්දු කරන්නේ ඇය ඒ ගැන යමක් දැන කියා ගැනීම ඇවැසි නොවන බවටය.
ආගන්තුකයාගේ චරිතය නිරූපණයේදී ගැඹුරු හා සංකීර්ණ චරිත නිරූපණයකට මෙතෙක් නොපැමිණි , රූපවාහිනී නිර්මාණ විෂයෙහි සරල පෙම්වතාගේ භූමිකාව ඔස්සේ ප්‍රකට වූ විශ්ව කොඩිකාර දක්වන ඉවසීම, කැපවීම හා සන්සුන් බව නිසැක වශයෙන්ම සිනමාපටයේ පැවැත්ම කෙරහි සාධනීය අයුරින් බලපාන බව පෙනේ. මෙවැනි ඇතුළු හදට නැමුණු භූමිකා සිනමාව වෙතින් හමුවන්නේ ඉඳ හිටය. ඉන් සමත්කම් දක්වන රූපණවේදීන්හෝ රූපණවේදිනියන් සුලබ නොවේ. මේ අගනා අවස්ථාව ආයෝජනයක් කොට ගැනීම විශ්ව මත පැටවෙන වගකීමකි.
නවක සිනමාකරුවකු සේ අජිත් ධර්මසූරිය මෙතැනදී පෙන්නුම් කරන නිර්භය පිළිවෙත නොසැඟවිය යුතුය.සෙසු භූමිකා නිරූපණයේදී ලක්ෂ්මන් මෙන්ඩිස්, ජයනි සේනානායක හා චමත්කා ලක්මිණි වෙතින් ඔහු ලබන සහයද අවතක්සේරු කළ යුතු නොවේ. කෙසේ වුවද සවිමත් භූමිකාවකට වුවමනා ගුණාංග වැඩිපුරම ලැබෙන්නේ විශ්ව කොඩිකාරටය.
‘වර්ණ’ පළමු වටයේ ප්‍රදර්ශනය වන්නේ වසර ගණනාවකට පෙරාතුව නිර්මිත ‘සිහිනයකි ආදරේ’, ‘1970 ලව් ස්ටෝරි’, ‘බඹර වසන්තේ’ යනාදී රසාලිප්ත අංග සහිත ලාංකේය සිනමාපට කිහිපයක් සමඟය. එමෙන්ම ‘අපේ ප්‍රින්සිපල්’ හා ‘රිදී සීනු’ යන ළමා ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වන සිනමාපට සමඟය. මෙය නියත වශයෙන්ම අභියෝගාත්මක තත්ත්වයකි. මහජන ප්‍රදර්ශනය සඳහා සිනමාශාලා වෙත සිනමාපට මුදා හැරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවද මෙහිදී සිහිපත් වේ. නමුත් සිනමාකරු අජිත් හා නිෂ්පාදක පාර්ශ්වය සුළුතරයක් වන විදග්ධ ප්‍රේක්ෂකයා කෙරෙහිමයි විශ්වාසය තබන්නේ.
තුසිත ජයසුන්දර