” අපෙ තාත්තාට පුතෙක් නොසිටි නිසාදෝ තාත්තා මටයි අක්කටයි ලොකු පුතා..පොඩි පුතා කියලමයි කතාකළේ..අපෙ තාත්තා කොහි හරි ඉඳන් අප දිහා බලා ඉන්නවා කියල අපට හොඳටම විස්වාසයි. ”
ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අමිල නිමල උත්තුංග මෙහෙවරක යෙදුණු එතුමා අද මෙන්ම හෙට දවසේදීත් අපගේ මතකයෙන් බැහැරව නොයනු ඇතැයි විශ්වාසය.
මෙවර සරසවිය තුළින් ඔබ හමුවට කැඳවා එන අපේ සොඳුරු කතා නායකයා සිය සංගීත රසයෙන් රටක් ජාතියක් තමන් වෙත ඇදබැඳ තබාගත් අයුරු වචන පෙළකට පමණක් ගිණිය හැකි නොවේයැයි සිතේ.
මානස විල, සොඳුරු වර්ණදාසී, දොරමඬලාව, අග්නි ආදී සම්භාව්‍ය සංගීත ප්‍රසංග ඔපෙරාව හඳුන්වාදෙමින් රටක් මෝහනය කළ මේ අන් කිසිවකු හෝ නොව අපේ ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා නම් මහා සංගීත ගාන්ධර්වයාණෝ ය. නොඑසේනම් අපේ ආදරණීය ප්‍රේමසිරි කේමදාසයන් ය. එතුමා මෙතුවක් රසික දනන් හට තිළිණ කළ සම්භාව්‍ය කාර්යභාරය තම උරමත තබාගනිමින් ඒ වෙනුවෙන් ම කැපව තම පියාණන් ගත්මඟ යමින් පසුවන එතුමාගේ කනිටු දියණිය දැන් මා සමීපයේය. ඇය නමින් ගයත්‍රී ධනේෂා කේමදාස මහත්මිය ය.
ඕ මුවපුරා නැගුණු ප්‍රසන්න සිනාවතකිනි.
තම ආදරණීය පියාණන් පිළිබඳව හද ජනිත ගෞරවනීය බවකින් යුතුවම ඕ මා හා කතාකරන්නී….ඈ බොහෝදේ කියන්නීය..
කළුතර, වාද්දුවේ සීමන් පෙරේරා සහ ඇලන් පෙරේරා දෙපළට දූ පුතුන්ම දහතුන්දෙනෙකි. 1937 ක්වූ ජනවාරි මස 25 වනදා මෙළොව එළිය දුටු පවුලේ බාලයා නොඑසේනම් දහතුන්වැන්නා වූ අපේ ආදරණීය කතා නායක තෙමේ තම අන් සහෝදර සහෝදරියන්ට සේම ඔහුගේ කුඩා අවධියද දුක්පීඩාවෙන් ගහණ විය. වඩාත්ම ඔහු ළමාවිය දුකටම පාත්‍රවූයේ ඔහුට වයසින් අවුරුදු නවයේදී පමණ තම ආදරණීය පියාණන් හදිසියේ මෙලොව හැරයාමෙනි. එවිට ඔහුගේ ලොකු අයියාට වයස අවුරුදු විස්සකි.
දිරිය කතක වූ අම්මා සිය හිමි නැතිවම දරුවන් වෙනුවෙන්ම පේවී දිවා රෑ වෙහෙසුණාය.
අපේ කතානායක ප්‍රේමසිරි කේමදාසයන් ඉගෙනුමට පළමුවරට පා තැබුවේ ශාන්ත ජෝන් විදුහලටය. පසුව සුමංගල විදුහලට ගියේය. ගෙදර ගව පට්ටියේ එළදෙනුන්ගෙන් කිරිදොවමින්.. පැදුරු වියමින්.. තවත් දහසකුත් වැඩපළ කැරෙමින් තම ස්නේහවන්ත දරුකැල රැකගනිමින් ඉගෙනුමටම අත දුන්නාය. හැම දරුවකුම පාහේ බොහෝ දුක්ගැහැට ලබමින් ඉගෙනුමින් ඉහළට යද්දී අපේ ආදරණීය ප්‍රේමසිරි දරුවාද ඉගෙනුමට කැපව ඉහළටම ගියේය.
තවමත් සිනාබර මුවින් පසුවන අපේ ආදරණීය ගයත්‍රී සිය කටහඬ අවදි කරන්නීය.
“අපෙ තාත්තා ඉගෙනුමට බොහොම දක්ෂයෙක්ලු. ඉතිං ..ඒ දක්ෂකම නිසාම තාත්තා ට 6 වන පන්තියේදී ඩබල් ප්‍රමෝෂන් එකකට නිර්දේශ වී තියෙනවා. එය තාත්තා ට දීල නැහැ. ඒ ගැන කියන්න විදුහල්පති ළඟට ගියාම එයත් බැනල තාත්තාව එලවගෙන තියෙනවා. අතට කෝටුවකිනුත් ගහලා. මොකද අපෙ තාත්තා ඒ කාලෙදිත් ඕනම කෙනකුට කියන දේ මුහුණටම කියන ගතිය එහෙමම තිබිල තියෙනවා. ඒ වෙච්ච අසාධාරණයට කතා කරන්න ගිහින් එහෙම දඬුවම් විඳල තියෙන්නේ.”
හෙතෙම නිර්භයය. කෙළින් කතාකරන චරිතයකි. ඒ එඩිතර හිත තුළ අතිශය සංවේදී හිතක්ද තිබුණු බව තීයේද ඇයය.
” අපෙ තාත්තා මුලින්ම ඇසුරු කළේ බටනළාවයි. බටනළාවට පුදුම විදිහට ආදරය කළාලු. ”
අපේ ගයත්‍රී කියන්නීය.
ගුවන් විදුලියේ වාදක මණ්ඩලයේ බටනළා වාදකයකු ලෙසින් එක්වූ අපේ කතා නායකයා ඉන් කුසලතාව මොනවට පෑයේය.
” අපෙ තාත්තා සංගීත මංජරිය ආරම්භ කරන්නට තිබුණු උවමනාව හින්දා ගුවන් විදුලියෙන් ඉවත් වුණා. එතකොට 60 දශකයේ විතර. මුලින්ම තාත්තා ඉදිරිපත් කළේ ගීත නාටක. එදා ඒවා බලන්න ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහත්මයාත් ඇවිත් ඉඳල තියෙනවා…එතුමා අපෙ තාත්තාව බොහොම අගය කරලත් තියෙනවා.”
මා සමඟ පිළිසඳරක පසුවන අපේ ගයත්‍රී ද බටනළාවට හුරුවූයේ පියා මෙන්ම කුඩාවියේදීමය.
තනිවම සංගීත ඥානය ලැබගන්නට අපේ කේමදාසයන් කුඩාවියේ සිටම ගත් දහිරියද සුළුපටු නැති. ඒ අනුව මුලින්ම අතට හිතට හුරුකරගත් බටනළාවක් ඔහු අත රැඳෙන්නේ සුළු කාලයකි. ඉන්පසුව එය නවතින්නේ මුළුතැන්ගෙයි ලිප අස්සේය.
“ඔව්. අපෙ ආච්චි තාත්තා සංගීතයට බටනලාවට යොමු වෙනවාට චුට්ටක්වත් කැමැති වෙලාම නැහැ. ගේන ගේන බටනළාව තරහින් ළිපට දාලා. ආච්චිට ඕනවුණේම තාත්තා ව ඉගෙනුමින් ඉහළටම යවන්නයි.”
ගයත්‍රී එසේ කියමින් සිනාසෙයි.
මගේ කාලයේ මවුනි “සංගීත සංධ්වනිය” ඔහුගේ ය. ඊට සියල්ල සූදානමිනි. තමන් ස්වෝත්සාහයෙන් උපයා සපයාගත් සංගීත ශිල්ප ඥානය ලාංකේය රසිකයා හා බෙදාහදාගන්නට ඔහුගේ එකම සතුටය. මෙතුවක් තමන්ට සෙවණැල්ලසේ පසුවෙමින් බැරිම තැන තමන් යන සංගීත ගමනට තුන්සිතින්ම ආශීර්වාදය පෑ තම ආදරණීය මෑණියන්ට මේ සංගීත සංධවනියේ ප්‍රධාන අමුත්තිය ලෙසින් සහභාගිවන්නැයි කළ ආරාධනය ද ඕ ඕනෑකමින් පිළිගත්තාය.
එහෙත් …එහෙත් ඔහුගේ උතුම් අපේක්ෂාව එසැණින් සුළඟේ ගසාගෙන ගියාවැන්න.. එදිනම ඔහුගේ මෑණියන් නොසිතූ ලෙසින් සදහටම නෙත්පියා ගන්නට වූවාය…මෑණියන් නමින් වෙන්කොට තැබූ ආසනය එහෙමම හිස්ව තිබිණි .
“මගෙ අම්මාට මම අම්මාගෙ පුතාය කියල ආඩම්බර වන්නට පුළුවන් විදිහටයි මම කටයුතු කළේ”. අපේ කේමදාසයන් සමීපතම අයකුට ශෝකී ස්වරයෙන් එසේ කීවේය.
“අපෙ තාත්තා ට සංගීතයෙන් තොර ජීවිතයක් තිබිලාම නැහැ. මහපාන්දර අවදි වූ වේලේ පටන් සංගීතයේමයි. මට තවමත් මතකයි. අලුත් නිර්මාණ කරන්න මහන්සි වෙනකොට අපි එක්කත් තාත්තා අදහස් බෙදාහදා ගන්නවා.. සාකච්ඡා කරනවා…”
ඒ ටික කීවේද අපේ ගයත්‍රී ය
අපේ සොඳුරු කතානායක තෙමේ රටතොට සුපතළය. ඔහුගේ නවමු ගමන්මඟ පිළිබඳව සංගීත ලොව කතාබහ බොහෝ ය. කෙතරම් කාර්යබහුල වුවද තම ගෙදරදොර කටයුතු තම දරුවන්ගේ කටයුතු වලින් නම් මඳකටවත් දුරස්වූයේද නැති.
උදෑසනින් තම දුවණියන් පාසලට කැඳවා යන හෙතෙම පාසල් ගේට්ටුව සමීපයේ සිට දියණියන් දෙස බලා හිඳී. ලොකු දුව අනූපා වසන්තා කේමදාස දියණිය ද ගයත්‍රී දියණිය මෙන්ම තාත්තාගේ ඇසුර ප්‍රිය කළාය.
“අනේ නැහැ අමල්…කවදාවත් අපෙ තාත්තා අපට සංගීතය තෝරගන්න කියලා නම් කියලම නැහැ. තාත්තාගෙ සතුට නිසාම අපිව ලංකාවේ හොඳම ගුරු භවතුන් ළඟට එක්කගෙන ගියා. ” මා විමසූ පැනයකදී ගයත්‍රී එසේ කියන්නීය.
මේ වනවිට ලොකු දුව කැනඩාවේ වෙසෙයි. ඕ ඉංජිනේරුවරියකි. චිත්‍ර ශිල්පිනියකි. චෙලෝ වාදනයෙහි හපනියකි.
“තාත්තාගෙ පවුලේ අය බොහොම දුක් මැද ඉගෙන ගත්තෙ. ඒ වගේම විවිධ වෘත්තීන්වල ඉහළම තනතුරු ලැබුවා. සංගීතය කළේ නම් අපෙ තාත්තා විතරමයි.”
අපේ ආදරණීය කේමදාසයන් විභාගයකට ලියන්නට හිඳගත් සැණින් නොසන්සුන් ව නැගිට තම සාක්කු පිරික්සා බලා නැවත ඉඳගත්තේය. නැවතත් නැඟිට සිටියේය. විභාගයට ලියන්නට නොහැක. පෑනක් ගෙනැවිත් නැත. ඔහුට හීන් දහදිය දැම්මේය.
එදෙස බලාහුන් ළඟම අයකු කාරණය දැන පෑනක් දුන්නේය..ඔහු සිත සැනසුණේය. ලියූ විභාගයෙන් ඉහළම ලකුණු ලබන්නට අපේ කතා නායකයා සමත් වී තිබිණි . තමන්ට පෑන දුන් කෙනා සොයා ගියේය. දැන් දෙදෙනා ගජ මිතුරන් ය. මිතුරාගේ ආරාධනයක් ඒ නිවසට ගියවිට ඔහු අපේ කේමදාසයන් පෙන්වා මෙයා ට තමයි මං පෑනක් දුන්නේ. ඉහළින්ම සමත්වුණෙත් මෙයාමයි.”
අපේ ප්‍රේමසිරි කේමදාස කෘතවේදී සිනාවකින් ඒ හැමදෙනාටම සංග්‍රහ කරද්දී ඔහු දෙස බලාගත්වනම පසුවූ මිතුරාගේ සහෝදරියගේ දෑස ළඟ ඔහු දෑස නැවතුණේය. පෑනේ කතන්දරය දුරකට යමින් ඔහුත් ඇයත් සමීප ඇසුරකට පැමිණ පසුව ආදරයකට පාත්‍රවූහ. දැන් අපේ කේමදාසයන් ඇයගේ නිවසට යන්නේය. මිතුරාට වඩා ඔහු එනතුරු මගබලා හිඳීන්නේ ඇයය.
“අපෙ තාත්තාට එකෝඩියන් එකක් ගන්න ඕනවෙලා…ඒ ගැනම තාත්තා කල්පනා කර කර ඉඳල තියෙන්නෙ. ඒත් සල්ලි නැහැනෙ. ..”
ඔහුගේ නිතර කල්පනාව කුමක්දැයි විමසූ පෙම්වතිය ට කාරණය දැනගන්නට ලැබී එයට ඉදිරිපත් වූයේ පෙම්වතියගේ අම්මා ය.
“මං ළඟ එකතු කරපු සල්ලි වගයක් තියෙනවා පුතා. පුතා එකෝඩියන් එක ගන්න. “යි කියමින් ඕ ඔහු අත මුදල තැබුවාය.
අපේ ආදරණීය ගාන්ධර්වයාණන්ගේ ජීවන සහකාරිය වූයේ තම මිතුරාගේ සහෝදරිය වූ බණ්ඩාරගම සෝමලතා කේමදාස මෙනවියය. ඒ 1966ක්වූ පෙබරවාරි මස 17 වනදාය.
එම විවාහයෙන් අපේ කතා නායක තෙමේ පියකු වූයේය. ඒ අනුෂා සහ ගයත්‍රී දියණියනටය.
“අපෙ තාත්තා රස්සාවක් කරලම නැහැ. මට මතකයි අවුරුද්දක් විතර මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක තනතුරක හිටියා. සංගීත ගුරු භවතුන් ට සංගීත වැඩමුළු පවත්වලා තියෙනවා. පස්සෙ තාත්තා ඉවත් වුණා. ”
එසේ කී අපේ ආදරණීය ගයත්‍රී මහත්මිය මතකයට ආ දෙයකින් සිනාපහළ කළාය.
“අපෙ තාත්තා තමයි ගෙදර අල තියෙනවද..ලූණු තියේද.. අරව මේව හොයා බැලුවෙ. සමහරදාට අපෙ අම්මාගෙන් අහනව කුස්සියේ බඩු දැන් ඉවරවෙන්න ළඟ ඇති නේද කියලා. අම්මාව නම් තාත්තා කොහිවත් යවන්නෙ නැහැ. තාත්තා තමයි හැමදේම කරල දෙන්නෙ. කොටින්ම අපට තනියෙන් පාර පනින්නවත් තාත්තා දෙන්නෙ නැහැ. අපෙ අතින් අල්ලගත්ත ගමන්ම තමයි. ”
ගයත්‍රීගේ මුහුණට අඳුරු සේයාවක් ආවාසේය.
“මම අවුරුදු 16දි තරම චෙකොස්ලොවැකියාවට යනවිටත් එහි මාර්ග නීතිරීති කියාදුන්නා. ”
ඈ බිමබලාගත්වනම කියන්නීය.
නිතර ගෙදර සැමදෙනාගේ දුකසැප පිළිබඳව උනන්දුවෙන් කටයුතු කළ හේ සමාජයේ විවිධ තලයේ අය හා සම්බන්ධතාවද වැඩිය. සංගීතය, දේශපාලනය වැනි මාතෘකා පිළිබඳ කතාබහ මැදසාලයේ හිඟ නැත. “කෑම මේසයට හැමවිටම දහයක් දොළහක් එකතු වන බව ඈ කීයේ ඒ නිසාමය.
ඔහුගේ කතාවේදී නිතර ඔහු මුවින් පිටවූ වදනක් දියණිය ගයත්‍රී ට හොඳීන් මතකය.
“මං කවදත් ඉන්නෙ මිනිස්සුන්ගෙ පැත්තෙ තමයි.”
“දේශපාලනයට තාත්තා ව නම්මාගන්න සමහරු උත්සහ කළාට තාත්තා කැමති වුණේ නැහැ.”
අසාධාරණ තැනක් දෙයක් දුටුවිට හෙතෙම තැන නොතැන බලා කෑ ගැසුවේය. ඒ ඔහුගේ හැටිය. එතැනදී ලොකු පොඩි භේදයක් ගෑවිලාවත් නැත.
තමන්ට පුතකු නැති බව කියැවෙන මානසිකත්වයක් නිසාදෝ ලොකු දුවට ඇමතුවේ ලොකු පුතා කියාය. දෙවන දියණිය පොඩි පුතාය. හැමවිටකදීම ඕනෑම කරුණක් පිළිබඳව පුළුල්ව සිතා බලන පුරුද්දකින් හෙබි හේ අධ්‍යාපනයේදී ප්‍රායෝගික බවට වඩාත් සිත යොමු කළේය.
“ඉගෙන ගත්තෙ නැතිනම් කිසිම දේකින් වැඩක් නැහැ.” යි තම හිමි නිතර කී බවක් අප සමග කීවේ ඔහුගේ ආදරණීය බිරිඳ සෝමලතා මහත්මිය ය.
“අපිව වෙනස්ම විදිහට හදන්න උත්සහ කළ දෙන්නෙක් තමයි අපෙ අම්මයි..තාත්තායි දෙන්නා”
ගයත්‍රී එලෙස කීවේ අවධාරණයෙන් මෙනි.
අපේ සොඳුරු ගාන්ධර්වයාණන්ගේ මානස විල ආදී නිර්මාණවලදී රසික පිරිස මහත් අගැයුමකින් තමන් සමඟ පසුවන බව දැකීමෙන් එතුමා මහත්සේ සතුටට පත්වූයේය.
කේමදාස සලකුණ යටතේ සිය නිර්මාණ පිළිබඳව රුහුණු විශ්වවිද්‍යාලයෙන් 2002 වසරේදී පිරිනැමූ උපාධියකින් සම්මානිත වූයේය.
“අපෙ තාත්තා ගොඩක් ම දුක්වුණේ තාත්තාගෙ අම්මා නැතිවූ දවසේ … ”
තම ලොකු දුව විදේශ ගතවන්නට සූදානම් වෙද්දි හැමතින්ම උපකාරයට කැපවී සිටි හෙතෙම දියණිය විදේශ ගතවූදා කුඩා දරුවකු මෙන් හඬන්නට විය. ඒ ඇසූ ලොකු දුව කීවේ ” තාත්තා දුක් වෙනවානම් මං ආපසු ලංකාවට එන බවකි. එවිට ඔහු නිහඩව හිත හදාගන්නට වෑයම් කළේය.
බොහෝ පිරිසක් ඔහු ඇසුෙර්ය. වසන්තේ දවසක් චිත්‍රපටයේ අධ්‍යක්ෂ තංගරාජා අර්ජුන මහතා සමීපතම හිතවතකු විය.
මේ වනවිට අපේ කතා නායක තෙමේ දෙස් විදෙස් ප්‍රසංග ආදියෙන් ඉමහත් ජනප්‍රියතාවකට පත්ව සංගීත ලොව හිණිපෙත්තේ ය. ෆුල්ලෝව්කා සිංහම් අන්කල් තාත්තාට විදෙස් ප්‍රසංගවලදී ළඟම හිටියා. අදටත් ඒ අන්කල් අප ගැන සොයා බලනවා…”
දුම්පානය ප්‍රිය නැති ඔහු සවස් වරුවකදී මධුවිතට පෙම් කළේය. එයද සීමාවක සිටය. ආගම් භේද නැති අපේ කතා නායකයාණෝ විහාරස්ථානයට සමීපව සිටියේය. දානමාන පින්කම් කෙරෙහි භක්තිවන්ත වූයේය. උදාසනින් ගංගාරාම විහාරස්ථානයේ සිද්ධාර්ථ හිමියනට හීල් දානය රැගෙන යන්නේ ඔහු තම අතින්මය.
විවේකයක් ලද කල්හි කවදත් ඔහු ප්‍රියකළ බූන්දල මුහුදු වෙරළට තම බිරිඳ දරුවන් කැඳවා යන හෙතෙම එහි බොහෝ වේලාවක් හුදෙකලාව පසුවන්නට දැක්වූයේ නොතිත් ආශාවකි.
තම ආදරණීය බිරිඳට ඔහු අමතන්නේ ළමයා යනුවෙනි.
මුල් යුගයේදී කැලෑමල් ගීත නාටක ඉදිරිපත් කළ හේ පසුව ලාංකේය රසිකයාට ඔපෙරාව හඳුන්වා දුනි.
එය 1600 වැනි වසරවලදී පැවැති සංගීතයේ පැතිකඩක් හඳුන්වා දීමක් යැයි කී ගයත්‍රී අපට කීවේ මානසවිල බිහිවීමත් සමග ඒ පිළිබඳ කාගේත් උනන්දුව වැඩිවූ බවද එම නිර්මාණ අපේ ජන රිද්මයන් හඳුනාගෙන කළ බවද ඈ කියන්නීය.
“තාත්තා ට සතුරු අයගෙන් අපට කරදර වේවිද කියන සැකබියක් අපෙ තාත්තා ට තිබුණා. අම්මා එක්කත් එහෙම කියල තියෙනවා.”
අපේ ආදරණීය ගාන්ධර්වයාණෝ දැන් වරින්වර රෝගාතුර වන්නේය. දියවැඩියාවට ගොදුරුවූයේ වයසින් 35 සිටමය. වකුගඩු ආබාධ හටගෙන ලංකාවේ වයසින් වැඩිම වකුගඩු රෝගියා ලෙසින් වකුගඩු බද්ධ කිරීමේ සැත්තමකට බඳුන් වූයේ අපේ කතා නායකයා ය. ඒ 2005දීය. ඊට වකුගඩුවක් පරිත්‍යාග කළේ රුවන්වැලි සෑසේ නායක හිමිගේ හිමිනමක් විසිනි.
රෝගාතුර වුවද පැත්තකට වී ඉන්නට ඔහු අකැමැති විය. ඒ නිසාම ඔහු දිවියේ අවසන් භාගයේදී පමණ අග්නි ඔපෙරාව ඉදිරිපත් කළේය. නිතර අලුතින් නිර්මාණ වෙනුවෙන් වෙහෙස වූයේය. ගිලන් වාට්ටුවේ දී සෙසු රෝගීන් සමග අපූර්වතම සබඳතාවයකින් පසුවූයේය.
සිය පියාණන් ගිය මඟට පිළිපන් දියණිය ගයත්‍රී පියාණන් මෙන්ම සම්මානිත වූවාය. දෙස් විදෙස් ප්‍රසංගවලදී පියාණන් ට නොදෙවැනි දියණියක ලෙසින් පියා කියා දුන් මග ඔස්සේ යමින් ජයග්‍රහණ රැසක්ම මේ වනවිට දිනා සිටින්නීය.
“කේමදාස පදනමට” නව ජීවයක්ව අපේ ගයත්‍රී මේ වනවිටද ඒ නමින් කැපවන්නීය.
අපේ කතා නායකයාගේ අවසන් සංගීත අධ්‍යක්ෂණය තණ්හා රතී රඟා…චිත්‍රපටය ය. ඉන් එතුමා සම්මානිත විය.
2022දී ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ද නිවුස් පේපර් චිත්‍රපටය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූයේ එතුමාගේ දියණිය ගයත්‍රී මහත්මිය ය. එහි හොඳම තනුව..හොඳම සංගීත අධ්‍යක්ෂණයට සම්මානිත වූයේ අපේ ගයත්‍රී ය.
“2014 දි ඔපෙරාව කරන්න කියල ඇමෙරිකාවෙන් ආරාධනයක් ලැබුණා. එය මම බාර ගත්තා. යුරෝපයේ ඔපෙරාව අවස්ථා කිහිපයකදීම ඉදිරිපත් කරන්න මට අවස්ථාව ලැබුණා වගේම සම්මානිත වන්නටත් අවස්ථාව ලැබුණා.
“අපෙ තාත්තාගෙ සංගීත චින්තනයෙන් හා ආභාසයෙන් මෙලෙසින් මාව අගැයීමට පාත්‍ර වෙද්දි..මම සම්මානය ලබද්දී .. මා හිතට එන්නේම අපෙ තාත්තා කොහි හෝ ඉන්න තැනක ඉඳන් මට ආශීර්වාද කරන බවමයි”
සම්මානිත අපේ ගයත්‍රී මහත්මිය එසේ කියන්නීය.
අපේ සොඳුරු ගාන්ධර්වයාණෝ නැවතත් රෝගීව රෝහල් ගත කෙරිණි. තත්ත්වය යහපත් නැති. වෛද්‍යවරුන් අලුතින් ප්‍රතිකාර දෙන්නට කතිකා කළහ. හොඳ අතට හැරුණොත් හොඳයි …නැත්නම්…..”
වෛද්‍යවරුන් මුහුණට මුහුණු බලාගත්වනමය .
අපේ රටක් වටිනා ආදරණීය ගාන්ධර්වයාණෝ කිසිවකුට හෝ රහසින්වත් නොකියා ඒ වනවිට කොහේදෝ නික්මගොස් තිබුණේය.
වයසින් අවුරුදු 71ක ආයු වින්දනය අතැර එතුමා අපද අතැර නික්ම යන්නට වූයේ 2008ක්වූ ඔක්තෝම්බර මස 24 වනදාය.
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ