සිනමාව යනු කුමක්ද? මෙය පහසුවෙන් පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් නොවේ. සිනමාව සතුව පවතින වින්දනීය ගුණාංග ද සාහිත්‍ය ලක්ෂණ ද තවත් විටෙක නාට්‍යමය ලක්ෂණ ද පළ කරයි. සිනමාපටයක රූප පෙළ සිතුවමක හෝ කවියක් මෙන් හැඟෙන්නට ද පිළිවන. අඳුරු කරන ලද ශාලාවක ඇති ආසනයක් මත හිඳ සුදු පැහැති විශාල තිරයක් මත පතිත වන චලනය වන රූප පෙළක විඳීන අත්දැකීම සිනමාව බව ප්‍රකට කියමනකි. සිනමාව කතන්දර කියන මාධ්‍යයක් ලෙස වින්දනය සමඟින් ජීවිතය ද පිළිබිඹු කරන්නට සිනමාකරුවෝ උත්සකු වෙති. ඒ අර්ථයෙන් බැලූ කල වර්ෂ 1988 දී තිරගත කළ ”Cinema Paradiso” ඉතාලි භාෂිත වෘත්තාන්තමය සිනමාපටය හරහා ගෙනඑන්නේ සිනමාවක ඇති බලසම්පන්නබවේ තතු ය.
සිනමාව යනු ජීවිතයේ ප්‍රතිබිම්බය බව බොහෝ දෙනාගේ අදහසයි. කැමරාව හසු කරගන්නා රූප රාමු 24ක වෙිගයෙන් ජීවිතය හසුකර ගැනීමට හැකියාවක් නැත. නමුත් ජීවිතය පිළිබඳ කෙටියෙන් හුවා දැක්විය හැකි ය. කාලය හකුළුවා දැක්වීමට සිනමා කැමරාව සමත් ය. දෙවන ලෝක සංග්රාමයෙන් පසු ඉතාලියේ නගරයක වෙසෙන සය වියැති හුරුබුහුටි කොලු ගැටයකු වන අට හැවිරිදි සැල්වටෝ හෙවත් ටෝටෝගේ ජීවිතය හරහා සිනමාවේ ආශ්චර්ය අප දකිමු. ටොටෝ නිතරම ගැවසෙන නගරයේ අපුරු සිනමා ශාලාවකි. එහි නම “සිනමා පැරඩිසෝ” ය. සිනමා පැරඩ්සෝ සිනමා ශාලාවේ මුලින්ම චිත්‍රපටය නරඹන්නේ පල්ලියේ පියතුමා ය. මන්ද සිනමාපටවල දැක්වෙන සිපගැනීම් දර්ශන හෝ ලිංගික දර්ශන නගරයේ වැසියන්ට පෙන්වීම තහනම් ය.
පියතුමාගේ කාර්යභාර්ය වන්නේ රැඟුම් පාලක මණ්ඩලය මෙන් දර්ශන කපා දැමීමයි. පියතුමා චිත්‍රපටය නරඹන අතරතුර සිපගැනීම් හෝ ලිංගික දර්ශන දුටුවහොත් උරණ වී අතෙහි රැඳී කුඩා ඝණ්ටාව වේගයෙන් නාද කරයි. පියතුමාගේ බස් අසා ප්රක්ෂේපණ යන්ත්‍රය ක්‍රියාකරන ඇල්ෆ්‍රෙඩෝ චිත්‍රපටයේ සේයා පටලයේ සිපගන්නා දර්ශනය කතුරෙන් කපා දමයි. කපා දමන සේයා පට ටොටෝ හොරෙන් ගෙදර රැගෙන යයි. ඇල්ෆ්‍රෙඩෝ සහ ටොටෝ මිතුරෝ ය. ටෝටෝ පල්ලියේ පියතුමාගේ අතවැසියා ද වෙයි. ටෝටෝගේ සහ ඇල්ෆ්‍රෙඩෝ මිතුදමත්, ළෙංගතුබවත්, සිනමා ප්‍රදර්ශනයේ ඇති අපුරුබවත් “සිනමා පැරඩිසෝ” අපුරුවට නිරූපණය වෙයි. සිනමාපටයේ දුට හැකි නිත්‍ය පොදු ලක්ෂණයක් ලෙස මිනිසාගේ හෘදය සාක්ෂිය එනම් මිනිසා තමා සමඟම කරන අරගලය සහ අතීතකාමය (Nostalgic) විමසීමේ ස්වභාවය කැපී පෙනේ. ඩිජිටල් යුගයට පෙර දළ සේයා පටල යුගයේ තිබූ සිනමාව සහ ජන සමාජය පිළිබඳ අර්ථ කථනයක් සපයන්නට “සිනමා පැරඩිසෝ” සමත් වෙයි.
“සිනමා පැරඩිසෝ” චිත්‍රපටයේ අදියුරු වන්නේ ඉතාලි ජාතික “Giuseppe Tornatore” ය. ඔහු ඉතාලි සිනමාව ලෝකයට විවෘත කරන වෙර දරන කෘතහස්ත චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. ඔහු අධ්‍යක්ෂණය කළ ‘මලීනා’ සිනමාපටය ලෝක සම්භාවනාවට පාත්‍රවන්නකි. සිනමා පැරඩිසෝ චිත්‍රපටය රූගත කරන ලද්දේ අධ්‍යක්ෂක ටොර්නාටෝර්ගේ උපන් ගම වන සිසිලියේ බගේරියා හි මෙන්ම ටිර්නේනියානු මුහුදේ සෙෆාලු හි ය. සිනමාපටයේ ප්‍රේක්ෂකාගාරයේ නෙත්, සිත් පැහැර ගන්නා චරිතයවන්නේ සය වියැති “ටොටෝ” ගේ භූමිකාව රඟ දක්වන නළු “Marco Leonardi” ය. නිරායාසයෙන්ම පුංචි ටෝටෝගේ චරිතය වෙනුවෙන් දෙවියන් විසින් මැවු නළුවෙකු මෙනි. ඔහුගේ මුහුණ සහ රංගනය ප්රේක්ෂකයකු මරණාසන්න මොහොත දක්වා මතකයේ තැන්පත්වනු ඇත. “සිනමා පැරඩිසෝ” 1989 දී හොඳම විදේශීය චිත්‍රපටය සඳහා ඔස්කාර් සම්මානය මෙන්ම ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ද දිනා ගත්තේය. එපමණක් නොවේ. වර්ෂ 2010 දී සුප්‍රකට “එම්පයර් සඟරාව” විසින් ලෝක සිනමාවේ එතෙක් මෙතෙක් හොඳම චිත්‍රපට 100 අතර එක් කළේය.
සිනමාව සහ ජීවිතය හමුවන තැන සලකුණු කරන තැන බවට පත්වනුයේ එදා දුවමින් පනිම්න් හැදි වැඩුණු පුංචි ටෝටෝ අද සිනමාකරුවකු ලෙස හැදි වැඩී ඇල්ෆ්රෙඩෝගෙන් සොරකම් කරගත් සේයා පට සංස්කරණය කර තැනු සිපගන්නා දර්ශන පෙළ නරඹන අවස්ථාවේදී ය. සිනමාපටය යනු සැබෑ ලෝකය අත්හැර සිනමාකරුවා මවාපාන මායා ලෝකයෙහි අලුතින් පදිංචි වීමට සිත ආශා කරයි. ඉන් අප ද සිනමා පාරාදීසයේ අකාලික චමත්කාරය දකිමු.
මලින්ත විතානගේ
