කලාවට කවදා හෝ ශෝකය සැබවින්ම සුව කළ හැකිද? නැතහොත් එය හුදෙක් ශෝකයට ස්ථිර ස්වරූපයක් ලබා දෙනවාද? මෙම ප්‍රශ්නාර්ථ ද්ව්ත්වය මතු වූයේ “හැම්නට්” චිත්‍රපටය නරඹා අවසන් වීමෙන් පසුව ය. “හැම්නට්” සිනමාපටයේ කතා පුවත බැඳෙන අත්දැකීමි සමුදාය ගෙතෙන්නේ ලෝක පූජිත විලියම් ශේක්ස්පියර් නම් ශ්‍රේෂ්ඨ නාට්‍යවේදියාගේ දිවි පෙවත පිළිබඳ සංවේදී තොරතුරකි. ෂේක්ස්පියර්ගේ කුඩා පුත් හැම්නෙට්ගේ මරණය ලිවීමට බලපෑ ආකාරය චිත්‍රපටය මඟින් පරිකල්පනය කරයි. ෂේක්ස්පියර්ගේ කුඩා පුත් හැම්නෙට්ගේ හදිසි මරණය “හැම්ලට්” නාට්‍ය පිටපත ලිවීමට බලපෑ ආකාරය චිත්‍රපටය හරහා පරිකල්පනය කරයි. විලියම් ශේක්ස්පියර්ගේ විඳවීම, පශ්චාත්තාප වීම ප්‍රේක්ෂකයා කම්පනයට පත් කරයි. දරුවකුගේ අහිමි වීම පියෙකු විසින් දරාගන්නේ කෙසේද? එය අපහසු දෙයකි. විලියම්ට වඩා ඇගේ බිරිඳවන ඈන් හෑත්වේ හෙවත් ඇග්නස් හෑත්වේ හැම්නට්ගේ අහිමිවීම දරාගත නොහැකිව විඳවයි. සිනමාපටයේ අප දකින්නේ විලියම් සහ ඇග්නස්ගේ ශෝකාලාපයයි.
ශෝකය, මතකය, මාතෘත්වය සහ කලාත්මක නිර්මාණය බිහිවීම පිටුපස ඇති චිත්තවේගය පිළිබඳ භාවනාවකි වැනි සිනමාපටයක් ලෙස “හැම්නට්” චිත්‍රපටය හැඳීන්විය හැකිය. නවක නළු පෝල් මෙස්කල් විසින් විලියම් ෂේක්ස්පියර් ලෙස නිරූපණය කරයි. “හැම්නට්” සිනමාපටයේ අදියුරු වන්නේ “ක්ලෝයි ෂාඕ” නම් චීන ජාතික චිත්‍රපට අධ්යක්ෂවරියකි. ඇය කලාත්මක ශානරයේ සිනමාපට නිර්මාණයෙහිලා සමත්කම් දක්වන අදියුරුවරියකි. ක්ලෝයි විසින් 2020 වසරේ තිරගත කරන ලද “නෝමැඩ්ලෑන්ඩ්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම වෙනුවෙන් ඔස්කාර් සම්මාන උලෙළෙහි හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මානයෙන් පිදුම් ලැබීය.
නිළි ජෙසී බක්ලි විසින් විලියම් ශේක්ස්පියර්ගේ බිරිඳ වන ඇග්නස්ගේ චරිතය නිරූපණය කරයි. ප්‍රේක්ෂකයගේ අවධානය නතු කරගන්නට ජෙසී බක්ලිගේ මුහුණින් මතුවන සියුම් ඉංගිත වෙනස්වීම පවා හේතු වෙයි. ඇග්නස්ගේ දෘෂ්ටිකෝණය හරහා දරුවෙකු අහිමි වීමේ විනාශකාරී බලපෑම සහ පවුලේ සාමාජිකයන්ගේ ශෝකයට ඉඩහසර වෙන් කරන ක්‍රම පිළිබඳ ගවේෂණය කරයි. ඇග්නස් ලෙස බක්ලිගේ රංගනය විචාරකයින්ගෙන් පුළුල් පැසසුමට ලක් වූ අතර, ඇය හොඳම නිළිය ලෙස මෙම වසරේ ඔස්කාර් සම්මානය හිමි විය. පවුලේ වගකීම් සහ කලාත්මක අභිලාෂය අතර සිරවී සිටින මිනිසෙකු ලෙස ෂේක්ස්පියර් නිරූපණය කරමින් මෙස්කල් සංයමයකින් යුත් රංගනයක් ඉදිරිපත් කරයි.
ඓතිහාසික කෘති සාක්ෂි දරන “හැම්නට්” ඇග්නස් සහ ශේක්ස්පියර් අතර වයස් පරතරයක් ද තිබේ. සැබැවින්ම ඇග්නස්, විලියම් ෂේක්ස්පියර්ට වඩා අවුරුදු 8කින් වැඩිමල් ය. ඔවුන් දෙපළ මුණගැසෙන විට ශේක්ස්පියර්ට වයස අවුරුදු 18ක් වූ අතර ඇග්නස්ට වයස අවුරුදු 26කි. මෙම චිත්‍රපටයේ ඇග්නස් ලෙස රඟපාන නිළි ජෙසී බක්ලි රූගත කිරීම් අතරතුර වයස අවුරුදු 34කි. ෂේක්ස්පියර් ලෙස රඟපාන පෝල් මෙස්කල්ගේ වයස අවුරුදු 28කි. නළු නිළි දෙපළගේද විශාල වයස් පරතරයක් ඇත.
ඇග්නස් ශාරීරිකව ශෝකය අත්විඳීන අතර මොවුන් දෙපළගේ වෙනසේ සටහන තබන්නේ හැමිලට් නාට්‍යයේ මංගල දර්ශනය අවස්ථාවේ ඇග්නස් දක්වන ප්‍රතිචාරයේ ස්වභාවය මත ය. ෂේක්ස්පියර් ශෝකය අභ්‍යන්තරීකරණය කර නිර්මාණාත්මක කාර්යයන් වෙත යොමු කරයි. නමුත් ඇග්නස් භෞතිකව පශ්චාත් වෙති. මෙම වෙනස චිත්‍රපටයේ කේන්ද්‍රීය ආතතීන්ගෙන් එකක් බවට පත්වේ. චිත්‍රපටය යෝජනා කරන්නේ ශ්‍රේෂ්ඨ කලාව උපත ලබන්නේ ආශ්වාදයෙන් පමණක් නොව දුක් විඳීමෙන් ද එය නිර්මාණය වන බවයි. ෂේක්ස්පියර් විසින් තම පුත්‍ර රත්නය අහිමි වීමේ ශෝකය සමඟ සංහිඳීයාවට පැමිණෙන්නේ පිහාටු පෑනෙන් ලියු “හැමිලට්” නාට්‍යයේ පිටපත හරහාය. එය නැරඹීම හරහා අප ද විලියම් සමඟ සමාධිගත වන්නෙමු.
