නිවස විශේෂාංග රවී-ප්‍රීති ආදර අන්දරය

රවී-ප්‍රීති ආදර අන්දරය

by Thanushika
May 30, 2024 1:59 pm 0 comment

මගේ ජීවන රඟමඩලේ මා හා රඟන්නට පැමිණි ආරෝපරිණාහ දේහයෙන් යුතු ඒ කඩවසම් ඉලන්දාරියා ඔහුගේ සුවඳ මම ආඝ්‍රහණය කළේ මාගේ තාරුණ්‍ය අතිශයින් සුන්දර වකවානුවේ. අප දෙදෙනාගේ ජීවන ගීතය ගයන්නට පදවැල් සැප වූයේ ඔහු අදින් වසර පනහකට පෙරතුව මගේ ජීවිතය සසර ගත චාරිකාවේ මා හා අත්වැල් බැඳ ජීවන මං පෙති. මලින් සදන්නට ජීවිතය දහසක් එකකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන රවීගේ ආදරණීය පතිනිය වී ඔහුගේ ජීවන ගීතය ගයන්නට මා පෙරුම් පිරුවා ඔහු සමඟ ඒ චමත්කාර ලෝකයේ පියවර මනිමින් මේ මගේ ඉරණම ද සසර ගත බැඳීමද එසේත් නැත්නම් දෛවයද?

පනස් වසරක දුරාතීතයේ සිහිවටන සලරුවක් සේ මා ඉදිරියේ මැවී පෙනේ. මේ මතක ගොන්නෙ එක්කාසු කර සටහනක් තබන්නට සුදුසුම වෙලාව යැයි මම සිතමි. මෙවැනි විශිෂ්ටයකුට ජීවන සහකාරිය වී ඔහුගේ දැවැන්ත සෙවණැල්ලක් සේ ඔහුගේ දිවි ගමනට අත්වැල් සපයන්නට වාසනාව හිමි තැනැත්තිය වූයේ මමයි ඔහුගේ රංගන අඩසියවස සපුරන මේ සුවිශේෂී වූ මොහොතේ පනස් වසරක් පුරා ආදරයෙන් බැඳී සිටි මා හට මෙවැන්නක් ලියන්නට ලැබීම වාසනාවක් යැයි මම විශ්වාස කරමි.

රවී දුටු මුල් දිනය මට අද වාගේ මතකයි. ඒ ඔහු ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ නාට්‍ය පාඨමාලාවක් හදාරන අවධියයි. මම පුංචි අම්මා සහ ඇයගේ දියණිය සමඟ ලයනල් වෙන්ඩ්ට් රඟහලට ගියේ වේදිකා නාට්‍යයි නරඹන්නට එය මා නැරඹුව ප්‍රථම වේදිකා නාට්‍යයක්. අපි අසුන්ගෙන සිටියදී කඩවසම් හිස කෙස් සිහින් සුදු උස තරුණයෙක් ස්වර්ණා මල්වාරච්චි සමඟ අප සිටි තැන පසුකර යනවා මා දුටුවා. නැවත ඒ දෙදෙනා අප පසු කර යද්දී එකවරම මේ කඩවසම් ඉලන්දාරියා මා දෙස ඉතා ඕනකමින් බැලුම් හෙලන බව මට හැඟුණා. එවිට මාගේ සොහොයුරිය කනට කොඳුරා මට පැවසුවේ අන්න අරබෝයි ඔයා දිහා බලනවා යන්නයි. කෙසේ හෝ තෙවරක්ම වූ මා පසු කර යද්දී මා දෙස බැලූ ආකාරයේ මාගේ හදවතේ අදටත් තැන්පත් වෙලා තිබෙනවා. ඔහුගේ හැඩරුව තුළින් මම දැක්කේ රාජේෂ් ඛන්නා. හේතුව ඒ දිනවල මා සිටියේ භාරතීය සිනමා නළු රාජේෂ් ඛන්නාගේ උන්මාදයෙන්.

එයින් දෙවසරකට පසු සුමිත්‍රා පිරිස් මහත්මියගේ ගැහැණු ළමයි චිත්‍රපටයේ කුසුම්ගේ චරිතය රඟපාන්නට මාව තෝරාගෙන තිබුණු අවධියේ චිත්‍රපටිය සඳහා මුල්‍යම පහසුකම් නොතිබුණු හේතුවෙන් චිත්‍රපටය රූගත කිරීම් දෙවසරකට පමා වුණා. නමුත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහුගේ දෑස නිසා චිත්‍රපටයේ සුළු චරිතයකට පණ පොවන්නට මට ආරාධනා කළේ ගැහැනු ළමයි චිත්‍රපටයේ කැමරාවට මූණ දෙන ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින්.

මේ අතවරවාරයේ දෑස නිසා චිත්‍රපටයේ රංගන ශිල්පීන් හඳුනා ගැනීම සඳහා වූ සාදයට මටද ඇරයුමක් ලැබුණා. මම එයට සහභාගි වූයේ මාගේ මව සමඟ. එදා ලයනල් වෙන්ඩ්ට් හි දුටු කඩවසම් තරුණයා කොළ පැහැති අත්කොට කමිසයකින් සැරසී සාදයට පැමිණ සිටියා මට පුදුම හිතුණා. මගේ නෙතු සඟල නිරාසයෙන්ම යොමු වුණේ ඔහු දෙසට නමුත් මම මුනිවත රැක්කේ මා තුළ තිබූ ලැජ්ජාශීලීකම නිසයි. පසු කලෙක දෑස නිසා චිත්‍රපටය පිළිබඳ පුවත්පතක පළ වූ ලිපියක කර්තෘවරයා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙන් අසා තිබුණු පැනයක් වූයේ තපසාගේ චරිතයට අලුත් නළුවෙක් තෝරා ගත්තේ ඇයිද යන්නයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පවසා තිබුණේ සිනමාවට උචිත මහා පෞරුෂයක් මේ නළුවා සතුව තිබූ බවයි. ඒ රෙකමදාරුව මත ඔහු දකින්නට කතා කරන්නට මගේ සිතේ කොනක තිබුණේ උත්තේජනයක්. ඒ මගේ හිරිමල් තාරුණ්‍ය නිසා වෙන්නට ඇති. දෑස නිසා රූගත කිරීම සිදු කළේ ගලිගමුව ප්‍රදේශයේ. රූගත කිරීම් පළමු දිනයේ කැමරා ශිල්පී සුමිත්ත අමරසිංහ කැමරා මානය කරගෙන බලා සිටියේ ප්‍රථම කැමරා කාචයට හසුකර ගන්නේ කුමන දර්ශනය යන්න පිළිබඳවයි. ලෙස්ටර් මහතා මට කතා කරලා කිව්වා පී‍්‍රති ඔයා ගල උඩට ගිහින් ඔයාගේ ලස්සන හිනාව පෙන්නන්න කියා. දෑස නිසා චිත්‍රපටය නැකතට ඇරඹුයේ මගේ සිනාවෙන්. මම සිනමාවට කෙතරම් වූවාද කියතොත් සිනමා උන්මාදයෙන් මාගේ යෞවනය පිරී ගියා නිළියක් වීමේ සිහින දකිමින් සිටි මට දෑස නිසා චරිතය මහ මෙරක් වුණා. කෙමෙන් කෙමෙන් මගේ රූගත කිරීම් නිමා වුණා. තාපසයාගේ චරිතයට පණ පොවන රාජේෂ් ඛන්නා ලෙස මා හැඳීන්වූයේ කඩ කඩවසම් නළුවාගේ රූගත කිරීම් ආරම්භ වී තිබුණේ නැහැ. මේ අලුත් රංගවේදියා දකින තෙක් මාගේ හදවතට ඉවසුම් නැහැ. ඔහුගේ දැකුම ප්‍රිය දසුනක්. මගේ සිත මට හොරා යමක් පවසන බව මට දැනුනේ ඔහු නෙත ගැටෙන තෙක් බලාපොරොත්තුවෙන් දල්වාගෙන මා සිටි නිසා නොවේද ඉවසාගත නොහැකි තැන දෑස නිසා ප්‍රධාන චරිතය නඟපෑ ශ්‍රියාණි අමරසේනගෙන් මම ඔහු පිළිබඳ විමසුවා මේ චිත්‍රපටය රඟපාන්න අලුත් නළුවා කවදාද එන්නේ? ශි‍්‍රයාණි අමුතු විදියට සිනාසී මගෙන් විමසුවේ ඇයි අහන්නේ? ඔයා එයාට කැමතිද යන්නයි. මම හෙට ගෙදර ගියොත් අලුත් නළුවා දකින්නට බැරි වෙනවානේ. ඒකයි මම ඇහුවේ. ලැජ්ජාවෙන් ඇඹරෙමින් පැවසුවා. එයා අද එන එකක් නැහැ. ශ්‍රියාණි අක්කා පැවසුවා මගේ හදවත කඩා වැටුණා. හිතට දැනුණේ සියුම් වේදනාවක්. පුදුමයක් වගේ විනාඩි දහයක්වත් ගත වුණේ නෑ. උස රැලි වැටුණ හිස කෙස් ඇති සුදු කඩවසම් තරුණයා අපේ කාමර දොර ළඟ උළුවස්සේ දෑත තබාගෙන කවුද මාව දකින්න ආසාවෙන් ඉන්නේ කියා පැවසුවා. ඔහු එසේ ඇසූ විට මට ඇති වුණේ පොළොව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක්. මම ඔහු දිහා බැලුවා මගේ මුව ගොළු වුණා. ශ්‍රියාණි අක්කා සියල්ලම රවිට පවසා ඇති බව මට වැටහුණේ එවිටයි. මට දැනුණු ලැජ්ජාව කොතරම්දැයි කිව්වොත් එදා ආහාර ගන්නටත් පවා මම ගියේ නැහැ. කෝ මාව බලන්න ආසයි කියපු කෙනා එළියටවත් එන්නේ නැහැ නේ කියා ඔහු නැවත වරක් පැවසුවත් ලැජ්ජා ඉවසා ගන්න බැරි නිසා මම එළියට ගියේ නැහැ. පසුදා රවී පැමිණ මා සමඟ බොහෝ දේ කතා කළා. පවුලේ තොරතුරු මාගේ තොරතුරු පිළිබඳ වැඩිපුර ඇසීමේදී මට පොඩි සැකයකුත් මතුවුණා. ඒ සමඟම වේශ නිරූපණ ශිල්පී ඊබට් විජේසිංහ මගේ අත බලා සාත්තරයක් කිව්වා; වසර දෙකකින් මම විවාහ වෙන බව.

මේ අතරතුරේ මට තිස්ස අබේසේකරගේ සහන් එළිය කෙටි චිත්‍රපටයේ රඟපාද්දී වර්තමානයේ මෙන් සන්නිවේදන පහසුකම් නොතිබුණත් චිත්‍රපට ලෝකයේ ඕපාදූප පියාඹන සන්නිවේදන ක්‍රම ඉහළින්ම තිබූ හේතුව නිසා නිසා වෙන්න ඇති මම යන යන තැන මට ඇහෙන්නේ රවී ගැන. කනින් කොනින් ලද ආරංචි අනුව රවී කියන්නේ විශාල ධනවතෙක්.

ඔහුගේ කඩවසම් රූපකාය සහ මුදල් නිසා තරුණියන්ට පහසුවෙන් සමීප වන්නට ඔහුට හැකියාවක් තිබෙන බවත් මට ඇතැමුන් පැවසුවා. එවැනි දේ ඇසීමෙන් මගේ හිතට දැනුණේ දුකක්. ඇතැම් විට ඒ දුක දරාගන්න බැරුව මම කඳුළු සැලුවා. එනිසා මම හිතුවා රවීගෙන් ඈත් වෙන්න ඕනෑ කියා.

ටික දිනකට පසු රවී රංගන ශිල්පී බුද්ධි වික්‍රම සමඟ මාව සොයාගෙන අපේ නිවසට ආවා. මම විමතියට පත්වුණා. මට හිතාගන්නවත් බැහැ; රවී කොහොමද අපේ නිවස තිබෙන තැන හරියටම දැන ගත්තේ කියා. එදා ඔහු අපේ ගෙදර අය සමඟ අතිශය ලෙන්ගතුව කතා කළා.

මේ අතර ලෙස්ටර් සර් මට පණිවිඩයක් එවා තිබුණා ඔහුගේ ගෝඩ් කිං චිත්‍රපටයේ රජුගේ දියණියගේ චරිතයට මාව තෝරා ගත්තා කියා. මම හොඳටම බය වුණා. හේතුව හැම දෙබසක්ම තිබුණේ ඉංග්‍රීසියෙන්. අනේ සර් මට ඉංග්‍රීසියෙන් දෙබස් කියන්න බැහැ. රඟපාන්න කොතරම් ආසා වුණත් මට මේ චරිතය කරන්න බැරිවෙයි. අවසානයේදී ඔහු මට දෙබස් නොමැති කුඩා චරිතයක් දුන්නා. මේ පිළිබඳ ලෙස්ටර් සහ සුමිත්‍රා මහත්මිය රවීට පවසා තිබුණා. රවී ඒ ගැන දොස් කියලා මට ලිපියක් එවා තිබුණා. අදටත් ඒ ලිපිය මා ළඟ සුරක්ෂිතව තිබෙනවා. ට්ධඤ ඬඪදඨ රඟපාන්නට අනුරාධපුරේ ගිය අවස්ථාවේ තමයි මට විජය කුමාරතුංග ප්‍රථම වරට මුණගැසුණේ. ඔහු මගේ ළඟට ඇවිත් මගෙන් ඇසුවා ඔයා ප්‍රීති සෙනෙවිරත්නද?

ඔව්.

රවී බඳීන්න ඉන්නේ ඔයාව නේද?

මම පුදුමයට පත්වුණා.

මම හිතන්නේ රවි ඔයාව කසාද බඳීවි. හැබැයි ඔයා රඟපාන එක නතර කරන්න එපා.

මමවත් නොදන්න දේවල් විජය කුමාරතුංග දන්නේ කොහොමද? ටික වෙලාවකින් සුමිත්‍රා පීරිස් මහත්මිය මට පණිවිඩයක් එවා තිබුණා. මේකප් රූම් එකට එන්නට කියා. එතනදි සුමිත්‍රා මැඩම් පැවසූ දේ මම විශ්මයට පත්වුණා.

ප්‍රීතිය ඔයා දන්නවද ලෙස්ටර් ඔයා හැඳීන්වූයේ රවීගේ ට්ඪපතටපඪඥදඤ එක් කරගෙන එන්න කියලා. මම නොදන්නවාට චිත්‍රපටියේ රඟපෑ සියලු දෙනාම මාව හැඳීන්වූයේ රවීගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියා. නිවසට පැමිණි පසු රවීගෙන් මට ලිපියක් ලැබුණා; ඔහු මට ඇති කැමැත්ත ප්‍රකාශ කරලා.

වටින් පිටින් ඔහුගෙන ඇසුණු දේවල් පිළිබඳව මං සිටියේ භීතියෙන්. ඒ නිසා මම ඔහුට උත්තරයක් තැපැල් කළා.

මේ භවයේදී මුළු දිය දායේ…

එකතු නොවනු ඇත අප ආයේ…

පවස නිවන…

දිය පොඳක් නොවී ඔබ

ඇයි මහ සාගරයක් වූයේ.

හෙඩිමක් ලියලා ඔහුට තැපැල් කළාට ඊට පසුව රවී කීප වතාවක්ම අපේ නිවසට ආවා. දිනක් රවීට අපේ නිවසට එද්දි මම නානවා ළිඳ ළඟ. රවී දුටුගමන් මම බයවෙලා සබන් පිටින්ම කුස්සියට දුවගෙන ආවා. හේතුව දිය රෙද්ද පිටින් ඔහු මාව දකී කියන ලැජ්ජාවට.

තරංගා චිත්‍රපටයේ සුළු චරිතයක් මම රඟපෑවා. චිත්‍රපටයේ යම් යම් සිද්ධි නිසා මගේ සිත කලකිරී තිබුණා. ඒ නිසා මම රවී එක්ක කතා කිරීම නවතා දැමුවා. රවී කාමරයට ඇවිත් මගෙන් ඇසුවා ඇයි තරහා වෙලාද ඉන්නේ කියලා. මම එකපාරට පැවසුවේ තරහ වෙන්න මම යාළුවෙලා හිටියද කියල. පසු කලෙක ඔහු මට පැවසුවා එවැනි දෙයක් කවුරුත් එයාට එතෙක් පවසා නොතිබුණු බව.

ටික දවසකට පස්සේ සුමිත්‍රා පීරිස් බුද්ධි අයියා අපේ ගෙදර ඇවිත් බුද්ධි අයියා මගෙන් ඇහුවා.

“ උඹ අපේ කොල්ලට පාට් දානවා නේද? ඌ උඹට මැරෙන්න හදනවා. උඹ නිකන් ගණන් ගන්නේ නැතුව ඉන්නවා නේද? කියා බුද්ධි අයියා රවී ගැන පැවසූ බොහෝ දේවල් මගේ හිතට කා වැදුණා. මම යට හිතින් රවිට ආදරෙයි. එහෙත් එක පෙන්නන්න මම කැමති වුණේ නැත්තෙ මම හිතුවා රවී මාත් එක්ක යාළුවෙලා මාව අත හරි කියලා. අවසානයේ මම රවීට කිව්වා ඔයා මට ඇත්තටම ආදරේ නම් අපේ තාත්තගෙන් අහන්න කියලා. මම හිතුවේ නෑ රවී කවදාවත් ඒ දේ කරාවි කියලා. ඒත් රවී තාත්තගෙන් අහලා තිබුණා. තාත්ත රවීට පවසා තිබුණේ මට ඔයාට දෙන්න තියෙන්නේ හොඳට හැදුණු පැහිච්ච කෙල්ලෙක් විතරයි. අපට දෑවැදි දෙන්න නම් සල්ලි නැහැ. මට ඕනේ ප්‍රීති විතරයි සල්ලි නෙමෙයි.

රවී පැවසූ ඒ දේ පිළිබඳව මට ඔහු කෙරෙහි දැනුණේ අසීමිත ආදරයක් සහ ගෞරවයක්. ඒ වගේම ආඩම්බරයක්. මසිත තුළ රවී කෙරෙහි පූර්ණ විශ්වාසයක් ගොඩනැඟුණේ ඒ සිද්ධියෙන් පස්සේ.

මාව එයාගේ ගෙදර එක්කන් ගියා. එය මහා විශාල ගෙයක්. රවීගේ අම්මා මට කැමැත්ත දුන්නා. ඒත් ඇය පැවසුවේ මට කතෝලික ආගමට ඇවිත් පල්ලියෙන් බඳීන්න ඕනේ කියා. මම රවිට තදින්ම ආදරය කරන කාලය මට ඕනේ රවී විතරයි. මම මේ දේවල්වලට කැමති වුණා. රවි අද වෙනතුරු ආගම ගැන මට කිසිම කොන්දේසියක් පනවල නැතත් රවී සතුටු වුණා අම්මගේ ඉල්ලීම මම ඉටු කිරීම ගැන.

දුහුළු මලක් චිත්‍රපටයේ අපි දෙදෙනා රඟපාන කොට අපි පෙම්වතුන් වෙලා ඉවරයි. දුහුළු මලක් කියන්නේ මගේ ජීවිතයේ රවීත් එක්ක ගත කරපු සුන්දර මතකයන් ඉතිරි කළ චිත්‍රපටයක්. විවාහ වන්නට තීරණය කළාට පසු ඔහු පැවසුවේ දිගටම චිත්‍රපටවල රඟපාන්න බලාපොරොත්තුවක් නැති බවයි. ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කිරීමටයි ඔහුට අවශ්‍ය වුණේ. ඒ නිසා ඔහු මගෙන් ඉල්ලීමක් කළා විවාහ වුණාට පස්සේ චිත්‍රපට වලට සමු දෙන්නට පුළුවන්නම් හොඳයි කියා. මම කීකරු පෙම්වතිය ඒ දේ ඉස්මුදුනින් පිළිගත්තා. චිත්‍රපටවලින් සමුගන්නවා කියපු රවී පොරොන්දු ඉෂ්ට කරන්න බැරිව තාමත් රඟපානවා.

රවී මාස තුනක් පමණ ගෝඩ් කින් චිත්‍රපටය හඬකැවීම්වලට එංගලන්තයට ගියා. රවී සමග විජය කුමාරතුංග සහ ජෝ අබේවික්‍රම ගියා. ඒ කාලේ නම් හරිම අසීරු කාලයක්. මම රවීගෙන් ලියුමක් එනතුරු මඟ බලාගෙන හිටියා හිටියා. ඒ කාලේ ඇතුළත මට ක්‍රිස්තියානි ආගම ඉගෙන ගත්තා. සුමිත්ත අමරසිංහ අයියලාගේ ගෙදර නැවතිලා පල්ලියේ පන්තිවලට ගියා. ආදරේ කියන අකුරු හතරට ජීවිතයේ කොතරම් දේවල් වෙනස් කරන්න පුළුවන්ද? මම මගේ ආගමත් වෙනස් කරගෙන ඒ දවස්වල ලැබුණු චිත්‍රපටත් ප්‍රතික්ෂේප කරමින් රවී එනතුරු මඟ බලා සිටියා. ඒ අතර රවි එවන ලිපිවල ඒ තුන්දෙනා එහි ගත කරන ජීවිතයේ රසවත් සිදුවීම් ලියල එවනවා. රවීගේ විජයගේත් ස්වර්ණමය තරුණ වයසේ මොනවද වෙන්න බැරි? මම මේ කාලයේ හිටියේ හරිම කනස්සල්ලෙන්. හරිම දුකින්. අඬන්නේ නැතුව නිදාගත් දවසක් නැතුව ඇති. මාසෙකට පස්සේ ජෝ අයියා ලංකාවට ආවා. රවි ලියුමක් සහ මට තෑගි ඒවා තිබුණා. රවී ලංකාවට ආවේ අපේ මංගල උත්සවයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඇතුළු සියලුම දේ රැගෙන සූට් කේස් එක දැක්කම මම පුදුම වුනා. මම මීට කලින් ඒ වගේ මිල අධික ඇඳුම් පැලඳුම් ඇඳලා නෙවෙයි දැකලාවත් තිබුණේ නැහැ. අපි විවාහයට දින නියම කරගෙන විජය කුමාරතුංග සහ මාලිනී ෆොන්සේකාට ආරාධනා කරන්නට ගියා. විජය මාලිනී අක්කා දිහා හැරිලා බලලා කිව්වා අපි දෙන්නත් එදාටම බඳීමු නේද කියා. දෙන්නම විවාහයට එකඟ වුණා ඒත් ඒක සිද්ධ වුණේ නැහැ. රවීලගේ පවුල් වගේ අපේ පවුල අතපිට සරු නැහැ. දෑවැද්දට ඉඩකඩම් ගෙවල් දොරවල් දෙන්න තරම් අපට සල්ලි නැහැ. රවී බඳීන්නට මට බයක් හිතුණේ අපට ඒ තරම් මුදල් හදල් නොතිබුණ නිසා. නමුත් රවීට ඕන උනෙත් හොඳ හැදිච්ච කෙල්ලෙක් විතරයි. එය සියයට සියයක් මා තුළ තිබුණා. මුදල් හදල් නොවේ මට ඕනෙ ඔයා විතරයි ප්‍රීති. මම කෙරේ විශ්වාසය තියන්න. මම සේරම දේවල් බලාගන්නම්.

මම මනමාලිය උණේ රවී ගෙනත් දුන්නු සාරිය ඇඳලා මගේ අම්මට තාත්තට මට අරන් දෙන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නැහැ. රවී එංගලන්තේ ඉඳලා එද්දි මට ගෙනත් දුන්නා දේවල් එයාගේ අම්මටවත් පෙන්නලා තිබුණේ නැහැ. මම විවාහ වෙලා රවී ගෙදර ගිය දවසේ මම පාවිච්චි කරපු අල්මාරියයි මහන මැෂිමයි කැවිලි පෙවිලි ටිකයි ලොරියක පටවගෙන අම්මල රැගෙන ආවත් ඒ වන විට කාමරයට අවශ්‍ය නවීන පන්නයේ සියලුම ලී බඩු වලින් කාමරය ලස්සනට අසුරා තිබුණා. මම පුදුම උණා. රවී ලීබඩු සාප්පුවකට සල්ලි බැඳලා අවශ්‍ය සියලුම ලීබඩු සහ අත්‍යවශ්‍ය සියල්ලක්ම මිලදීගෙන මනාල යුවළකට සිටිය යුතු ආකාරයට සියල්ලම සැලසුම් කළ බව දුටු මට ඔහු කෙරෙහි ඇති වුණේ අසීමිත ආදරයක්. රවි මාව ගෙදරට කැන්දාගෙන ආවේ සියලු දෑවැදි එයා විසින්ම ගෙනත් දීලා.

කෝටිපති කාන්තාවක් විවාහ කරගන්නට රවීට ඕනෑ තරම් අවස්ථාවක් තිබුණා. ඔහු ඉහල සමාජයේ වැජඹෙන ධනවත් පවුලකින් පැවතෙන තරුණයෙක් නිසා. නමුත් රවී ආදරය කළේ මට. මුදලට නෙමෙයි. ඒ ගරුත්වය අදටත් මගේ හද ගැඹරේ තැන්පත් වී තිබෙනවා. රවිට අවශ්‍ය වුණේ යහපත් පවුල් ජීවිතයක්. මම නිළියක් උණානම් ඒ අවස්ථාව ඔහුට ගිලිහී යන්නට තිබුණා කියා මට සිතෙනවා. මගේ දෛවය ලියවී ඇත්තේ මෙලෙසයි කියා මම සිතනවා. අකමැත්තෙන් හෝ චිත්‍රපට නිළියක් වීමේ හද ගැඹරේ තිබූ ඒ සුන්දර ආශාවන් බලාපොරොත්තු සියල්ලටම අකමැත්තෙන් හෝ නැවතීමේ ලකුණු තබන්නට මට සිදුවුණේ මගේ ඉරණම් ගමනේ ලියැවී තිබුණේ සිනමා තාරකාවක් වී සිනමා අම්බරයේ ආලෝකයේ විහිඳුවන්නට නොව සිනමාවේ ප්‍රතිභා පූර්ණ යුග පුරුෂයකුගේ දයාබර බිරිඳ වී දූ දරුවන් ලැබ යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට බව මට ප්‍රත්‍යක්ෂ වූයේ මා බිරිඳක මවක ලෙස ජීවන රඟමඬලේ මා සතු භූමිකාව සාර්ථක ලෙස රඟදැක්වූ විටයි. කාන්තාවක් ලෙස පවුල් සංස්ථාව ගොඩනගා ගැනීමේ භාරදූර කාර්යය පැවරුණේ මට එය ඉතා හොඳීන් අකුරටම මම ඉටුකළා. ජීවිතය නමැති ගිරිශිඛකරය තරණය කරන්නට රවිත් සමඟ අත්වැල් බැඳගෙන මා ගිය ගමන් මඟ මලින් ඇතුරු මාවතක් නොවේ. ඒ සියලු බාධක බිඳගෙන ආදරණීය සැමියෙකුගේ පහස විඳිමින් මම අද රැජිනක් සේ ජීවත් වනවා. ආපස්සට හැරී බලද්දී මම තෘප්තිමත් ගැහැනියක්. ඒ රවීන්ද්‍ර රන්දෙණිය නැමැති මහා සිනමා නළුවාගේ බිරිඳ වීම පමණක් නොවේ අතිශයින් ජනපි‍්‍රය කාර්ය බහුල යුග පුරුෂයෙකුගේ බිරිඳ ලෙස සියලු ද ඉවසීමෙන් දරාගෙන ඉන්ද්‍රකීලයක් සේ නොසැලී මා ආ ගමන ගැන මට ඇත්තේ සතුටක්. අපේ පවුල නමැති ඒකකය හරිම ශක්තිමත් රංගන ශිල්පියෙකුගේ පවුලක් අතිශයින් සාර්ථක ලෙස ගොඩනගා ගැනීමට ලැබීමත් විරල භාග්‍යයක්. මගේ දරුවෝ තිදෙනා මට අම්මා කියද්දී, මුණුපුරු මිනිබිරියන් ආචිච් කියා ආමන්ත්‍රණය කරද්දි රවි මට ආදරයෙන් දයාබරිතව සලකද්දී මට ලැබෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. රවී කියන්නේ ආදරණීය සැමියෙක්. ආදරණීය තාත්තා කෙනෙක්. ආදරණීය සීයා කෙනෙක්. රවි මට තෑගි කළ දේ බොහෝයි. මට ඉතාමත් හොඳ ගුණවත් දරුවොත් මට තෑගි කළා. ගේ දොර ඉඩකඩම් යාන වාහන සියලු දේ දීල අවුරුදු පනහක් එක ගෙදරක දුක සැප බෙදාගත්තා. දැන් එළැඹී ඇත්තේ අප දෙදෙනාගේ සැඳෑ සමය. මේ ජීවත්වන සුළු කාලය තුළ දරු මුනුපුරන්ගේ සුරතල් බලමින් සතුටින් ගත කරන්නට අවශ්‍ය ශක්තිය නිරෝගීභාවය රවීට ලැබේවා කියා මම මගේ හද පත්ලෙන්ම නැගෙන ආශිර්වාදය ඔහුට පුදකර සිටිනවා.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

දීප්ති ෆොන්සේකා

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT