නිවස කළා පුවත් රවීන්ද්‍ර රන්දෙණිය ආත්මභාෂණය ජුනි 05 වැනිදා

රවීන්ද්‍ර රන්දෙණිය ආත්මභාෂණය ජුනි 05 වැනිදා

by Thanushika
May 23, 2024 12:30 am 0 comment

ප්‍රවීණ රංගනවේදී ආචාර්ය රවින්ද්‍ර රන්දෙණියගේ සිනමා ජීවිතයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් උපහාර උළෙලක් ‘රවී 50 වසරක ආත්මභාෂණය’ නමින් ජුනි මස 05 වැනි දින සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. රවින්ද්‍ර රන්දෙණියගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථාන ඇසුරින් නිර්මාණය වන අලංකාර ප්‍රාසංගික ආකාරයෙන් ඉදිරිපත් වන මෙම උලෙළට සමගාමීව ඔහු පිළිබඳව රචනා වුණු ග්‍රන්ථ ද්විත්යක්ද එළිදකී.ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වෙරගම විසින් විරචිත රවින්ද්‍ර රන්දෙණිය චරිතාපදානය, ග්‍රන්ථය සිංහල බසින්ද උදිත දේවප්‍රිය ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ‘Ravi’ ග්‍රන්ථය ද එළිදකී. සිංහල භාෂාවෙන් රචිත ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයක් ලෙසින්ද, ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථය සුරස ප්‍රකාශනයකි.

වර්ෂ 1974- දි තිරගත වූ තරංගා සිනමා පටයෙන් සිනමාවට එක්වන රවින්ද්‍ර රන්දෙණිය නම් වූ මේ කෘතහස්ත රංගන ශිල්පියා විශිෂ්ට රංගන පෞරුෂයකට හිමිකම් කියමින් තමාට රඟපාන්නට ලැබුණු සෑම චරිතයකටම උපරිමයෙන්ම සාධාරණයක් ඉටුකළ අතර පසුගිය දශක පහක් පුරා ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂක හදවත් තුළ සඳහා නොමැකෙන මතක සටහන් රැසක් තබන්නට සමත් විය.

ඔහු විසිනු දුහුළු මලක්, පොඩි මල්ලි, වීර පුරන්අප්පු, ජනේලය, මායා, ආරාධනා, දඩයම, මංගල තෑග්ග, සාගර ජලය, සෙයිලම, සිරිමැදුර, අනන්ත රාත්‍රිය ඇතුළු සිනමාපට100කට වඩා වැඩි ප්‍රමාණයකට තම රංගන ප්‍රතිභාව මුසු කරමින් ප්‍රේක්ෂකයා සිනමා ශාලාව තුළට කැඳවා ගනිමින් සිංහල සිනමා කර්මාන්තය ඉහළට ඔසවා තැබීමට විශාල දායකත්වයක් ලබා දෙන ලදී. තම චරිතය පමණක් නොව තමා සමඟ රංගනයේ යෙදෙන සහෝදර ශිල්පී ශිල්පිනියන්ගේ චරිතද ඉස්මතු වන්නට උපරිම සහයක් ලබාදෙමින් සිනමා රංගනය කොතරම් සංකීර්ණ හා බැරෑරුම් කාරියක් ද යන්න සෙසු රංගන ශිල්පීන්ටද අවබෝධ වන අයුරින් ඉතා ගෞරවාන්විත ගමන් මඟක ආ මේ සුන්දර කලාකරුවා ශ්‍රී ලංකාව තුළ පැවති සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ, ඕ.සී.අයි.සී සහ විචාරක සම්මාන උලෙළ පහළොස්වතාවකට වැඩි අවස්ථා ගණනාවකදී හොඳම නළුවාගේ සම්මානයෙන් පිදුම් ලැබූ අතර ජීවිතයට එක් වතාවක් පමණක් ලැබෙන Life time Achievements Awards සම්මාන හතකින්ද හොඳම සහාය නළුවා හා ඇගැයීම් සම්මාන රැසකින්ද පිදුම් ලබා ඇත. ඔහු සිනමාව උදෙසා කල සේවාව වෙනුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් පිරිනැමෙන දර්ශන සූරී සම්මාන උපාධියෙන්ද පිදුම් ලබා ඇත. මීට අමතරව ජාත්‍යන්තර සිනමාපට රැසකට තම රංගන දායකත්වයට ලබා දුන් මේ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියා Street child (ප්‍රධාන චරිතය) Mother Teresa, Jungle Heat, Sandokan හා තිරගත වීමට නියමිත Distant Tear Drop සිනමා පටයේ ප්‍රධාන චරිතය ඇතුළු සිනමා පට රැසකට රංගන දායකත්වය ලබා දී ඇත.

දශක පහක් පුරාවට ඔහු ශ්‍රී ලාංකීක සිනමාව උදෙසා කළ සේවාව අගය කිරීම වෙනුවෙන් මෙම උළෙල පැවැත්වෙන අතර, සිනමා කර්මාන්තයට සම්බන්ධ සියලු අංශයන් නියෝජනය කරමින් ඔහුගේ සමකාලීනයන් හා සම්භාවනීය ආරාධිතයන් රැසකගේ රසික රසිකාවන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උලෙළ පැවැත්වෙනු ඇත.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT