Home » මනමේ මුල් නිෂ්පාදනයේ අවසන් බලකණුව සමුගනී

මනමේ මුල් නිෂ්පාදනයේ අවසන් බලකණුව සමුගනී

එදා මනමේ වැදි දෙටු වූ ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරී ලේක්හවුස් හිටපු සභාපති ලයනල් ප්‍රනාන්දු සූරීන්ගේ අභාවය නිමිත්තෙනි

by Mahesh
July 11, 2024 12:30 am 0 comment

– ඒකාලේ අපි සරච්චන්ද්‍ර මහත්තයාගේ මූණ බලපුවම දන්නව කොයි විදිහටද රඟපාන්න ඕනේ කියලා
– මනමේ නාටක‍ෙය්දී නළු නිළියන් පරීක්ෂණයේදී මම ගායනා කළේ සී. ටී. ප්‍රනාන්දු ගේ ගීතයක්

එම කුඩා දැන්වීම දමා තිබුණේ සෙනෙට් ගොඩනැගිල්ලේ වූ දැන්වීම් පුවරුවේ ය.

එම දැන්වීම ශ්‍රී ලාංකික නාට්‍ය ක්ෂේත්‍රයෙහි සුවිශේෂම හැරවුම් ලක්ෂ්‍යය විය හැකිය. එම දැන්වීම කියවූ එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම කළ කිසිදු මානවක මානවිකාවක් සිතන්නට නැත

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නවතම නාටකය සඳහා නළු නිළියන් තෝරා ගැනීමට පරීක්ෂණයක් පැවැත්වෙන බව එහි සඳහන් විය.

ඒ 1956 ජූනි මාසයේ දිනයකය.

ලයනල් ප්‍රනාන්දු පේරාදෙණිය සරසවියේ ඉගෙනුම සඳහා ඇතුළත්ව වැඩි දවසක් ගතව තිබුණේ නැත.

විශ්වවිද්‍යාලට එන්න ඉස්සරත් මට සරච්චන්ද්‍ර මහත්තයා ගැන ලොකු ලැදියාවක් තිබුණා. එයාගේ කල්පනා ලෝකය පොත ඒ කිට්ටුව තමයි පිටවෙලා තිබුණේ. ඒකාලෙ සංස්කෘත සඟරාවට සිනමාව ගැන අලුත්ම පන්නයේ අදහස් ලියලා තිබුණා. එතෙක් මේ රටේ කිසිම අයෙකු සිනමාව ගැන ඉදිරිපත් නොකළ අලුත්ම පන්නයේ අදහසක් ඉදිරිපත් කරලා තිබුණා…….ලයනල් ප්‍රනාන්දු පැවසීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වූ ඔහු, සිංහල විෂයක් වශයෙන් තෝරා ගත්තේ ද, මහාචාර්ය සරච්චන්ද්‍රට සමීප වීම සඳහා ය.

සරච්චන්ද්‍ර ඉතා සරල පුද්ගලයකු බව අවබෝධ කරගත්තේ පේරාදෙණිය සැරසවියට ඇතුළු වූ පසුවය.

……….එතුමා හරි චාම් සරල පුද්ගලයෙක්. නිතරම ඇන්දෙ අත් දිග චෙක් ෂර්ට් එකක්. කලිසම බොහෝ විට කළු පාට හරි නිල් පාට හරි එකක්. පටි සෙරෙප්පු තමයි දැම්මෙ. ප්‍රොපෙසර්ගේ ඇඳුම සරල වගේම හැසිරීමත් සරලයි …..සරල බව ඇඳුමේ කැඩපතක් වුණා ද එහෙම නැතිනම් හදවත ඇඳුමේ කැඩපතක් වුණාද කියලා කියන්න අදවත් මට හිතා ගන්න බෑ ……..

මනමේ නාටකය සඳහා නළු නිළියන් තෝරාගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වුණේ සෙනෙට් ගොඩනැගිල්ලේ උඩ තට්ටුවේ වූ පහළොවයි පහළොව ප්‍රමාණයේ කුඩා කාමරයකය.

…..මම හිතන්නේ ඒ නළු නිළි පරීක්ෂණයට වැඩිපුර ඇවිල්ලා හිටියේ මම වගේම නවක සරසවි සිසුවියන්.වැඩිහිටි ශිෂ්‍යයෝ කීප දෙනෙකුත් හිටියා ….

ලයනල් ප්‍රනාන්දු පැවසූ ලෙස සරච්චන්ද්‍රයන්ට සිසුවකු දුටු සැණින් හෝ ගීතයක් ගැයීමට කියූ සැණින් චරිතයකට සුදුසු ද නැතිද කියා මැනගැනීමේ සුවිශේෂ හැකියාවක් තිබුණේ.

….ප්‍රොෆෙසර් එන හැම කෙනෙකුටම කිව්වේ සින්දුවක් කියන්න කියලයි. මට හරියට මතක නෑ. මම ගායනා කළේ සී. ටී. ප්‍රනාන්දු ගේ ගීතයක් …….

ලයනල් ප්‍රනාන්දු ට මනමේ නාටකයේ දෙටු වැදි චරිතය රඟපාන්න ලැබුණේ එසේය

එම පරීක්ෂණයේදී ෂාමේන් ජයසිංහ පොතේ ගුරු ලෙසත්, බෙන් සිරිමාන්න මනමේ කුමරු ලෙසත්, ට්‍රිලිෂියා අබේකෝන් මනමේ කුමරිය ලෙසත් තෝරා ගනු ලැබිණි.

අනික් වැදි සෙනගට ඇම් බී. අධිකාරම්, පියතිලක වීරසිංහ, ඩී.වී බී හේරත් සහ කරුණාදාස ගුණරත්න ද තෝරා ගැනුණි.

……….ඒත් ටික දවසක් යනකම්ම වැදි චරිතයට කෙනෙකුව සරච්චන්ද්‍ර මහත්තයා තෝරගත්තේ නෑ. පරීක්ෂණයට ආපු කට්ටියෙන් සුදුසු කෙනෙකුව එතුමාට අහු නොවෙන්න ඇති ………

මෙලෙස වැදි රජෙකු නැතුව සතියක් දෙකක් ගෙවී ගියේය .

………දවසක් අපේ කට්ටිය ආරංචියක් ගෙනාව, බෝගම්බර කානිවෙල් එකේ සින්දු කියන අපේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයෙක් ගැන

ඔහු එඩ්මන් විජේසිංහය.

ඔහු විශ්වවිද්‍යාලයේ, අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරමින් සිටියේ ය.

මහාචාර්ය සරච්චන්ද්‍ර කිසිදු පරීක්ෂණයක් නැතුවම එඩ්මන්ඩ් විජේසිංහව හෝ වැදි රජුගේ චරිතය සඳහා තෝරා ගත්තේය.

රාජගුරු චරිතය රඟපෑම ද ඔහුටම බාර විය.

නාට්‍ය පුහුණුව සිදුකළේ ද සෙනෙට් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ නාට්‍ය සඳහා නළු නිළියන් තෝරා ගැනීමට පරීක්ෂණය සිදු කළ කාමරයේ ම ය.

……පැරණි නාඩගම්වලට අයත් සිංදු රාග සපයලා දුන්නේ බලපිටියෙ අම්පෙ චාර්ලිස් ද සිල්වා ගුරුන්නාන්සේයි ……අපි හුඟ දෙනෙකු කිව්වෙ අම්පෙ ගුරුන්නාන්සෙ කියලා. මනමේ පුහුණු කරන කාලයේත් අම්පෙ ගුරුන්නාන්සේට වයස අවුරුදු හැට පහක් විතර ඇති. අඩි පහමාරක් විතර උසේ ඇති. සරමයි, අත් දිග සුදු කමිසෙහි අඳීන්නේ ………මනමේ පුහුණු කරන්න අම්පෙ ගුරුන්නාන්සේ සරච්චන්ද්‍ර මහත්තයා තරමට මහන්සි වුණා …..ලයනල් ප්‍රනාන්දු පුරාවෘත්තියක කවුළු හැර දැමුවේය.

ඔහු පැවසූ ලෙස සරච්චන්ද්‍ර මහතා ඒ කාලයේ පදිංචිව සිටියේ පේරාදෙණිය සරසවි භූමිය වූ සුන්දරම ස්ථානය වූ, සංඝමිත්තා කඳු මුදුනේ ඉදිකරන ලද කුඩා නිවසකය. එක් පැත්තකින් සංඝමිත්තා ශාලාව ද ,තවත් පැත්තකින් මහවැලි ගඟ ද, තවත් පැත්තකින් හිඳගල පාරද පෙනෙන තෙක්මානී පිහිටි මෙම නිවස ඉදිරිපිට පලසක් වැනි වූ තණකොළ පිට්ටනියක් පිහිටියේය.

එම අවධියේ සරච්චන්ද්‍ර මහතාට ඡ්ව් 497 අංකය ඇති වොක්ස්වැගන් කාර් රථයක් විය. ඔහු නිවසේ සිට පුහුණුවීම්වලට ආවේ එම කාර් රථයේ ය.

ලයනල් ප්‍රනාන්දු, මහාචාර්ය සරච්චන්ද්‍රයන් හට කෙතරම් ඇලුම්ව සිටියේදයත් පසු කලෙක ඔහු මිලදී ගත්තේ ද වොක්ස්වැගන් මෝටර් රථයකි.

බටහිර නාට්‍ය මෙන්ම, පෙරදිග සංස්කෘතිය නාට්‍යය ගැනත් කෝලම් සොකරි ඇතුළු අපේ ගැමි නාඩගම් ගැනත් සරච්චන්ද්‍රයන්ට විශාල දැනුමක් තිබුණි. එනිසාම උසස් රංගනයක් ඉදිරිපත් කිරීම සඳහා නළුවෙකුට නිළියෙකුට උපදෙස් දීම මෙන් ඔවුන් පුහුණු කිරීම ද සරච්චන්ද්‍රයන්ට එතරම් අසීරු වූයේ නැත.

……..එතුමා එතුමාට අවශ්‍ය දේ අපිට කියලා දෙනවා. අපි නිදහසේ රඟපානවා එතුමා ශාලාව වටේ ඇවිදිමින් අපි රඟපාන හැටි බලාගෙන ඉන්නවා ..එය වගේම ඕනෑ නළුවෙක් හෝ නිළියක පුහුණු කරන විට ඔහු හෝ ඇය වෙහෙස කරවමින් පුහුණු කරන්නේ නෑ. ඒකාලේ අපි සරච්චන්ද්‍ර මහත්තයාගේ මූණ බලපුවම දන්නව කොයි විදිහටද රඟපාන්න ඕනේ කියලා ……….මනමේ නාටකයේ දෙටු වැදි පැවසිය.

මනමේ නාට්‍ය පුහුණු කරන කාලය පුරාවට අම්පෙ ගුරුන්නාන්සේ නතරවී සිටියේ සංඝමිත්තා කඳු මුදුනේ වූ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ කුඩා නිවසේය.

සාමාන්‍යයෙන් නාටකයෙහි පුහුණුවීම් සිදු කළේ සවස පහේ සිට රාත්‍රී හත දක්වාය. සෙනසුරාදා සහ ඉරිදා දිනවලද පුහුණුවීම් සිදු විය. මේ සියල්ලම සිදු වූයේ නාට්‍ය පුහුණු කරන්නන් මෙන්ම පුහුණු වෙන්නන්ද අතර සිදුවෙන සාකච්ඡාමය එකඟවීම් වලින් පසුවය

……අම්පෙ ගුරුන්නාන්සේ පැදුරක් දාලා වාඩිවෙලා මද්දලය වාදනය කරලා තාලයක් දෙනවා.ඒ අනුව තමයි මනමේ කුමාරි ඇතුළු අපි කවුරුත් නටන්න ඕනේ …………

මෙසේ නාටකය පුහුණුවෙන අතර ට්‍රිලීෂියා අබේකෝන් හෝ වෙනත් නළුවෙකුගේ රංගනය, අම්පේ ගුරුන්නාන්සේට නො සෑහෙන්නේ නම් , ඔහු මද්දල වාදනය නවත්වා, නැටුම සිදුවිය යුතු ආකාරය රංගනයෙන්ම කියා දෙයි.

මනමේ කුමරු සහ වැදි රජු අතර සිදුවෙන යුද්දේ සහ අනෙකුත් වැදි නැටුම් වසන්ත කුමාර විසින් නිර්මාණය කළ ඒවාය.ඒවා පුහුණු කොළේ ද අම්පෙ ගුරුන්නාන්සේමය.

දෙටු වැදි ලෙස ලයනල් ප්‍රනාන්දුට කුඩා ගීත ඛණ්ඩයක් ගායනා කිරීමට තිබුණි.

මෑ වේ මා දුටු කොමල ලියා
දෙස බලනුයේ රජතුම
චිත්ත නොම වේද තුටු
බැද්දෙ මෙම ඇවිදින
දැක්ක වෙලේ සිට මම
ඇද්ද මේ සදිසි ලද
සිද්ධ වූයේ අරුමෙද
දෙන්න මට නොමසරු
තෑගි භෝග දෙක පඩුරු
ගන්න හැක මේ අයුරු
ලද්දේ මාව අමයුරු

ඔය ගීතය මට පුහුණු කළේ සරච්චන්ද්‍ර මහත්තයයි. අත්ලපිට අත්ල වරින් වර තට්ටු කරමින් තුන් හතර පාරක් පුරුදු කළා ……..වැදි දෙටු හන්තාන මතකයන් සිහිපත් කරන්නට විය.

……අම්පෙ ගුරුන්නාන්සෙ මද්දල වාදනය කරද්දීත් හරිම රොමැන්ටික් හඬක් එන්නේ.දැනටත් ගුවන් විදුලියකින් මද්දල් හඬක් ඇහෙද්දි ඒ නොස්තැල්දියාව ඇතිවෙනවා..

මනමේ නාටකයේ මද්දල් වාදනයට චාර්ලිස් ද සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ හැරුණු කොට විශ්වවිද්‍යාල සිසුවකුද විය.

ඔහු හේමපාල විජේවර්ධනය. ඔහු සිංහල විශේෂ, හතර වසරේ සිසුවකු විය

මෙයට අමතරව වෙනත් තුර්ය භාණ්ඩ වාදනය සඳහා කිත්සිරි අමරතුංග, රම්‍යා තුමපෑල, සෝමරත්න එදිරිසිංහ, එච් එල් සෙනෙවිරත්න, එල්.ආර් මුදලි හාමි ද විය.

මනමේ නාටකයේ පුහුණුවීම් සිදුව යන අතරතුර ට්‍රිලීසියා අබේකෝන් සමහර දිනවල ඇයට රඟපෑම් කටයුතු සදහා පැමිණීමට නොහැකි විය හැකි බැවින් තවත් අතිරේක නිළියක ඒ සඳහා පුහුණු කළ යුතු යැයි යෝජනා කළාය.එනිසා ආරම්භයේ පටන් මනමේ නාටකයේ කුමරියන් දෙදෙනකු විය.

ඒ ට්‍රිලීෂියා අබේකෝන් සහ හේමමාලි ගුණසිංහය

මනමේ නාටකයේ ප්‍රථම දින රංගනයේදී මනමේ කුමරු වූයේ ට්‍රිලීෂියා අබේකෝන්ය.

මනමේ දෙවැනි වර රංග ගත කරන විට බෙන් සිරිමාන්න සහ එඩ්මන්ඩ් විජේසිංහ දුනු හී අමෝරාගෙන සටන්වැදුණේ හේමමාලි ගුණසිංහ එනම් මනමේ කුමරිය දිනා ගැනීමටය.

නමුත් මනමේ ටික කාලයක් රංග ගතවන විට සත්‍ය වශයෙන් එම මනමේ කුමරිය එනම් හේමමාලී ගුණසිංහ අයත්වූයේ වෙනත් කෙනෙකුට ‍ය. ඒ කරළියේ සැරසීම හා නිළියන්ගේ වෙස් නිර්මාණය කළ සිරි ගුණසිංහටය.

මනමේ නාටකය නිසා මල්හිසර වැදුණේ හේමමාලි ගුණසිංහ සහ සිරි ගුරුසිංහට පමණක් නොවේ. එඩ්මන්ඩ් විජේසිංහ අත්වැල් ගායිකා ඉන්ද්‍රානි පීරිස් සමග විවාහ විය. මනමේ පුහුණුවීම් බැලීමට පැමිණි එරික් සිල්වා අත්වැල් ගායිකා ට්‍රික්ෂි සිල්වා සමඟ විවාහ විය.

සෙනෙට් ගොඩනැගිල්ලේ උඩුමහලේ මෙන්ම සංඝමිත්තා කඳු මුදුනේ පිහිටි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නිවසේ ද මනමේ පුහුණුවීම් සිදු විය.

මහාචාර්ය සරච්චන්ද්‍ර මනමේ පුහුණුවීමේදී නළු නිළියන්ට අවශ්‍ය පරිදි රංගනයේ යෙදීමට නිදහස දුන්නා සේම අර්ථකථනය නමැති මැට්ට ඔහු ක්‍රම ක්‍රමයෙන් තමන්ට අවශ්‍ය රූපයෙහි මෝස්තරයට නිර්මාණ කර ගත්තේය.

නාටකය ඉදිරිපත් කිරීමේදී ඔහු ගායනය, නර්තනය, වාදනය එමෙන්ම අංග රචනය සහ ඇඳුම් ගැනද ද විශේෂ උනන්දුවක් දැක්වූයේය. එම නිසා එම කාර්යයන් සඳහා සුදුසුම අය තෝරා ගත්තේ ය

කරළිය සැරසීම හා නිළියන්ගේ වෙස් නිර්මාණය කිරීම සිරි ගුණසිංහට භාර විය.අංග රචනය අයිලින් සරච්චන්ද්‍රයට භාර වූ අතර,කේඩී සෝමරත්න, විමලධර්ම දි යසේන සහ ඩබ්ලිව්..අමර වර්ධන ඇයට සහාය විය. වේදිකා ආලෝක පාලනය මහින්ද ඩයස් සහ පීට ලෂේ සිදුකළ හ..

මනමේ නාටකය මාස හයක පමණ කාලයක් පුහුණුවීම් සිදු විය .නමුත් ඒ දිනපතාම නොව එකිනෙකාට පහසු දිනවල ය.

මනමේ නාටක කණ්ඩායම ඊබට් සිල්වා බස් රථයකින් පේරාදෙණියේ සිට කොළඹට ආහ.

ඒක්දහස් නමසිය පනස්හයේ නොවැම්බර් තුන්වෙනි දාය

නාටකය රංගගත වූයේ කොළඹ ලයනල් වෙන්ටඩ් ශාලාවේ සවස හයයි තිහට ය

මනමේ ප්‍රථම රංගනය නැරඹීමට පැමිණ සිටියේ නරඹන්නත් තිස් එක් දෙනෙක් පමණි.

එයද කොළඹ හතේ නිවෙස්වල මෙහෙකාරයන් සහ රියැදුරන්ය.

නමුත් අද මනමේ රංග ගත වෙන්නේ සම්පූර්ණයෙන්ම පිරී ගිය ප්‍රේක්ෂාගාරවලය.

පීටර් කැනියුට් පෙරේරා

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT