Home » තාත්තා උපන්නෙත් මියගියෙත් එකම දිනයක

තාත්තා උපන්නෙත් මියගියෙත් එකම දිනයක

ඇල්. ඇම්. පෙරේරාගේ පුතු චතුර පෙරේරා කියයි

by Thanushika
April 25, 2024 12:30 am 0 comment

” තාත්තාගෙ හිතේ ලොකු කලකිරීමක් තිබුණා. ලංකාව උතුම් රටක් වුණත් කලාකරුවකු වී මේ රටේ නැවත උපදින්න එපා කියා තාත්තා නිතර කියනව මට ඇහිලා තියෙනවා..”

ලාංකේය ජනහද කලා රසයෙන් සිරිමත් කළ අපේ යටගිය ආදරණීයයන් පිළිබඳව කියැවෙන” මවුපිය වරුණ” කතාබහෙන් මෙවර ඔබ හමුවට එන රසවතාණෝ සිහිපත් වන කළ නිරායාසයෙන් මුවඟට නැගෙන්නේ සිනා පොදකි. ඒ සිනහව නොදැනීම යටපත් වී සෝකී සිතිවිල්ලකින් හද රිදුම් දෙන්නේ මෙවන් ආදරණීයයන් අප අතැර ගොසින් නොවේදැයි සිතෙන විටදීය…

මීගමුවේ රෙස්ට් හවුස් කීපර්වරයකු වූ විලියම් පෙරේරා සහ රක්වානේ බර්ටිනස් පෙරේරා යුවළට උපන් දූ පුතුන් හයදෙනකු අතරින් සිව්වැන්නා ලෙසින් උපත ලද්දේ මේ අපේ සොඳුරු කතා නායකයාණෝ ය…1931 ක්වූ අගෝස්තු මස 21 වනදා මෙලොව එළිය දුටු මෙපුතු තම සෙසු දරුවනට වඩා වෙනස් ගතිපැවතුමින් යුතු වූවකු නිසාම හෙතෙම මවුපියන්ගේ වැඩි ආදරයට ද පාත්‍ර වූයේය.

මේ අපේ සොඳුරු කතා නායකයා ලාන්ස් ආරච්චිගේ මාටිනස් පෙරේරා හෙවත් පසුකලෙක රටක් විකට රසයෙන් මෝහනය කළ අපේ ආදරණීය ඇල්.ඇම්. පෙරේරා ය.

අපේ ආදරණීය ඇල්.ඇම් මූලික අධ්‍යාපනයට පිවිසියේ රක්වානේ විද්‍යාලයටය..පසුව මීගමුවේ හරිශ්චන්ද්‍ර විදුහලට ගියේය.

අපේ අනුර මහතා මුණගැස්වූ සිනමා හා ටෙලි තිරයේ රංගන ශිල්පියකු වන චතුර පෙරේරා දැන් මා සමීපයේය…

මම ඔහුට සවන් දෙමි.

“අපෙ තාත්තාට ළමාවියේදිත් තිබුණෙ චිත්‍රපට පිස්සුවලු. ඉස්කෝලෙ කට් කරල චිත්‍රපට බලන්න යනවලු. යාලුවො එක්කල නාට්ටි බලන්න ගිහින් එන්නෙ මහ රෑලු. ඉතිං තාත්තා තාත්තාගෙ අම්මාගෙන්..අපෙ ආච්චිගෙන් නම් ඇතිවෙන්න ගුටි කාලා තියෙනවා. තාත්තාගෙ අක්කලා නම් හොඳට ඉගෙන ගත්තා…ඒ කාලෙ තාත්තා හරිම දඩබ්බර චරිතයක්ලු.”

චතුර සතුටු සිනහවෙන් එසේ කියන්නේය.

දමිළ බස දැනුම අපේ කතා නායකයාට මැනවින් තිබුණේ රක්වානේ වතුකරයේ දමිළ ගැටයන් සමග එකට හැදී වැඩුණු නිසාමය..පසුකලෙක ඉංග්‍රීසි බසෙහිද ඔහු සමතකු විය.

පාසලේ අට සමත් අපේ ඇල්.ඇම්. හාපුරා කියා රස්සාවකට ගියේ එවක ප්‍රකට චරිතයක් වූ ජබීර් ඒ.කාදර් මහතා ළඟටය. ඔහුට මුලින්ම ලැබුණේ සිලෝන් තියටර්ස් සමාගමේ මුරකාර තනතුර ය. පසුව එහි කැෂියර් විය.තම වැඩිමහල් සොහොයුරකුට රජයේ රස්සාවක් ලැබීමෙන් මවුපියන් ලොකු පුතුට කීවේ මල්ලීටත් රජයේ රස්සාවක් සොයා දෙන ලෙසටය. එහෙත් ඇල්.ඇම්.ට වැලඳී තිබුණේම චිත්‍රපට පිස්සුවකි.

“කපටි ආරක්ෂකයා” චිත්‍රපටය සිනමා ශාලාවේ ප්‍රදර්ශනය වෙයි. සිනමා රසිකයන්ගෙන් ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගොසිනි. හෙතෙම සිනමාහලේ එළිපත්තට වී බලා සිට අනතුරුව එහි දොරටුපාලක වෙත ගියේය.

“මමත් ආවෙ චිත්‍රපටය බලන්න ”

” හවුස් ෆුල්…” දොරටුපාලක කීවේය.

“කමක් නැහැ..මට ඒකෙන් එකක් දෙන්නැ..” යි කී විටදී ඊට උරණව ගිය දොරටුපාලකයා ඔහුගේ බෙල්ලෙන් අල්ලා පිටතට තල්ලු කළේය..

“එහෙම අපෙ තාත්තාට වුණානෙ. තාත්තා ඒ හෝල් එක ඉස්සරහම හිටගෙන අධිෂ්ඨානයක් කළාලු..මමත් කවදා හරි නළුවෙක් වෙලා මේ හෝල් එකට එනවමයි කියලා..”

ඒ ටික කීවේ අපේ චතුරය.

සිංහල චිත්‍රපට දුලබ දමිළ චිත්‍රපට වැඩි එකල අපේ කතා නායකයා ඒ චිත්‍රපට නරඹා ගෙදරට ඇවිත් එහි නළුවන් අනුකරණය කරන්නේය. එවක පරසිදු දේශපාලකයන්ගේ හඬට සමාන හඬින් කතා පවත්වා අනුන් හිනස්සවන්නේය.

“අපේ තාත්තාට හොඳට පුළුවන් දේශපාලකයන් වේදිකාවේ කතාකරන තාලෙටම කතා පවත්වන්න. දහනායක මහත්තයා කතා පවත්වන කොට වචන දෙකකට හුළං යන හැටි එහෙමම තාත්තා කරනවාලු. පාසලේදීත් මේවාට තාත්තා හරියට ප්‍රසිද්ධ වුණාලු. ”

කාලය සෙමින් ගලා ගියේය. තම අරමුණ අත් නොහළ හේ ඒ වෙනුවෙන් වෙහෙසුණේය.

“සුරතලී”චිත්‍රපටයේ තිරනාටකය අපේ සිරිල් පී. අබේරත්නයන්ගේය. එහි විකට නළුවා වූයේ එඩී ජයමාන්නයන්ය. එහි තේ හදන්නට..අත්වැඩ සපයන්නට පැවරුණේ අපේ ඇල්.ඇම්.ටය.

“ඒ කාලෙ එඩී ජයමාන්න රඟපාන්නට රු.25000ක් ගන්නවාලු. ජබීර් මහත්තයා ගණන අඩු කරන්න කීවාම 500ක් අඩු කරලා. කොහොම හරි අපෙ තාත්තාගෙ හැකියාවක් ජබීර් …සිරිල්..මහත්වරුන් හඳුනාගෙන තියෙනවා. ඒ නිසාදෝ සුරතලී චිත්‍රපටයෙ කැඩිච්ච සිංහලෙන් කතා කරන දමිළ මනුස්සයකුගේ චරිතයක් රඟපාන්න තාත්තාට දීල තියෙනවා”

අපේ ආදරණීය චතුර සිනාපිරි මුවිනි. සිය පියාණන් පිළිබඳව ඔහු තෙපලන්නේ සිත පිරි අපමණ සතුටකින් යැයි මට සිතේ.

අපේ පිළිසඳර අතරේදීද චතුර සරසවියට කෘතවේදී වන්නේය..

අපෙ තාත්තා වැනි කලාවටම පෙම්බැඳී එදා අයවලුන් අමතක නොකොට මෙලෙසින් නැවත රටට කියාපෑම සරසවිය ඉටුකරන මහඟු මෙහෙවරක් යැයිද කියන්නේය.

අපේ සොඳුරු කතා නායක තෙමේ සුරතලී වෙනුවෙන් ඉන්දියාවට ගියේය. ඒ ගමනට ජෝතිපාලයන්ද ඔහු සමග සිටියේය. රූ ගතකිරීම් එහි වාහිණී චිත්‍රාගාරයේය.

සුරතලී චිත්‍රපටයේ මුහුරත් උළෙලට එදින ප්‍රධාන ආරාධිතයා වූයේ බණ්ඩාරනායක අගමැතිතුමාය. චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන නළු නිළියන් එතුමා වටකරගෙනය. බණ්ඩාරනායක මහතා වටපිට සොයන්නේය. බලන්නේය..

“කෝ..මේ අපේ පොඩියන්”

සමීපයට ආ විගස අපේ ඇල්.ඇම් ගේ පිටට සෙමින් පහරක් ගැසූ එතුමා

” ආ..උඔ මාව හොඳටම හිනැස්සුවා නේදැයි..” පැසසුම් වදනින් සිනාසෙමින් කීයේය.

පසුදා පුවත්පත්වල මුල් පිටුවේ පළවූයේ මෙලෙසිනි.

“බණ්ඩාරනායකගෙන් තට්ටුවක් ඇල්.ඇම් ට..”

එතැන් සිට අපේ ආදරණීය කතා නායකයාට චිත්‍රපට ගලා ආයේය.. මේ අතරේදී ය තමන්ද චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළයුතු බවට ඔහුගේ තීරණය වූයේ..

“වෙන අය තිරනාටකය ලියන්නෙ ඔක්කොම දේවලට කලින්නෙ..අපෙ තාත්තා එහෙම නැහැ. රූගත කිරීම් කරන තැනදිමයි ඔළුවෙ තබාගෙන ඉන්න කතාවේ දෙබස් ආදිය ලියන්න ගන්නෙ. වෙන අය තිරනාටක ලියන්නෙ ගෙදරදි හෝ කොහි හරි නිදහස් තැනකනෙ. අපෙ තාත්තා එතැනදිමයි”

මෙලෙස එතැනදීම තිරනාටකය ලිවීම ගැන එතැන සිටි අය සරදමින් බැලූ හා රහසේ කතා වූ දෙබස් ද තම කතාවට හෙතෙම ඇතුළත් කරන විට ඔව්හු ඉන් කැලඹෙති.

ඒ අපේ ඇල්.ඇම්.ගේ හැටිය.

එවක ප්‍රකට සංගීතඥයකු වූ ටී.ආර්.පාපාගේ උපන්දිනදා ඔහු විස්කි බෝතල් දෙකක් ඔහුට තෑගි කළේය. එදා ඔහු සුරත අල්වාගත් පාපා මෙසේ කීවේලු.

” උඹ චිත්‍රපටයක් කරන කොට සංගීත අධ්‍යක්ෂණයට එන්නෙ මමයි. ” යි කියමින් මේ මෙලඩි එක මං ගානෙ උඹට දෙනවා ” යැයි කියා වැලඳ ගත්තේය.

ඉන්දියාවෙන් ලංකාවට පැමිණි විගස ඔහු ගියේ අපේ කරුණාරත්න අබේසේකරයන් හමුවන්නටය. එතුමා අත තමන් සතුව තිබූ මෙලඩිය තැබුවේය .

කරුණාරත්න අබේසේකරයන් අතින් එම මෙලඩියට ලියැවුණු ගීතය වන්නේ ජේ.ඒ.මිල්ටන් පෙරේරා ගැයු “උම්බෑ කිය කියා මරණ බයේ..// ” නමැති අතිශය සංවේදී ගීතයය. අපේ ආදරණීය කතා නායකයාණෝ තමන්ගේ ප්‍රථම චිත්‍රපටය වූ “හතර මහ නිධානය”ට එම ගීතය එක්කර ගත්තේ එලෙසිනි.

“ඒ චිත්‍රපටයට අපෙ තාත්තා වැය කළේ ලක්ෂ දෙකහමාරයි. ජෝන් මුදලාලි සමඟ සුමතිපාල මුදලාලි එහි නිෂ්පාදනයේ කොටස්කරුවන් වුණා..”

චතුර කියන්නේය.

ඒ සමඟින් හෙතෙම ශ්‍රී ධර චිත්‍රපට සමාගම බිහිකළේය. හතර කේන්දරේ ඉන්පසු තිරයට නැඟිණි. බොක්ස් ඔෆීස් වාර්තා තැබූ මේ චිත්‍රපට අතරේදී නුගේගොඩ ශ්‍රී ධර කාර්යාලය ඉදිවුණේය.

අනතුරුව “හතර පෙරළිය ” ගීතමය නාටකයක් ඇසුරින් නිපදවිණි. එහි දෙබස් දෝලනය වූයේ ගීතමය තාලයකටය. එලෙසින් ලොව චිත්‍රපට හැදුණේ දෙකක් බවද චතුර කියයි.

මේ කියන කාලයේ අපේ ඇල්.ඇම්. පදිංචි ව සිටියේ කිරුළපන පොල්හේන්ගොඩය. සිගරට් ටින් එක එක් අතෙක නොවරදී. හදිසියේ ආ අදහසක් නිසාවෙන් පිරිසක් ද සමග ඉන්දියාවට ගිය හෙතෙම දඹදිව සිද්ධස්ථාන ලෙස හැඳීන්වූ ස්ථානයන් රූ ගතකර පැමිණ තම චිත්‍රපටයට එක්කාසු කළේය.. කරුණාරත්න අබේසේකරයන් ගුවන් විදුලියෙන් හැඩකර කීවේ සත 55ට දඹදිව සියැසින් දැකගන්නට හතර පෙරළිය නරඹන ලෙසටය. ඒ ඇසූ රටවට මහපිරිස හතර පෙරළිය බලන්නට කොළඹට ඇදී ආහ.

ලොරිවල ඉදිරියෙහි පුවක් මල්..පොල් මල් ගසාගෙන කොළඹට පැමිණි පිරිස් රෑ පුරා සිනමා ශාලා අසල නවතා සිටි බවද චතුර කීවේය.

ශ්‍රී ධර චිත්‍රපට සමාගම ඉවත්ව පසුව ශ්‍රීකර විය. හතර වටේ තිරගත වූයේ 1972දීය.

හවුල් නිෂ්පාදනයෙන් බැහැරව තනිවම හැදූ හතර සම්මාන චිත්‍රපටය රූගත කිරීම් මධ්‍යයේම අතරමග ඇනහිටිණි. 83 කොලහලයේදී එය ගිනිබත් විණි.

“ඇල්.ඇම්..තමුසෙ වැටුණා නේදැ “යි හිතවතකු ඇසූ පැනයට ගත් කටටම දුන් ඔහුගේ ක්ෂණික පිළිතුර වුයේ “නෑ.මම ලිස්සුවා විතරයි” කියාය. ඒ අයුරින් ම හෙතෙම කිසිවක්ම ගණනකට නොගත්තේය.

“බුදුන් වහන්සේ සතර පෙර නිමිති දැක බුදු වුණා නම් මට හතර වරදින්න විදිහක් නැහැනෙ..”

ඔහු ප්‍රසිද්ධියේ කීයේය.

හතර ඉලක්කමට තාත්තා පෙම් බැන්දේ ඇයිදැයි චතුරගෙන් මම විමසූ විට ඔහු කීයේ

“තාත්තාගෙ පවුලේ හතරයි. ළමයි හතරයි. මගෙ නමටත් හතරයි. ඔය වගේ විශේෂ හේතු තිබුණා ” කියාය.

අපේ ආදරණීය ඇල්.ඇම්. පෙරේරා අතිනත ගත්තේ හතර පෙරළියේ රඟපෑමට පැමිණි රූපත් යුවතියක සමඟිනි. ඇය නෙත ගැටුණේ රක්වානේ රූපගත කිරීමකදීය. ඕ තොමෝ ජයන්තා කිරිවත්තුඩුව මෙනවියය.

“අපෙ තාත්තා ට වඩා අපෙ අම්මා වයසින් අවුරුදු 17ක් 18ක් බාලයි. තාත්තායි අම්මායි හරි ආදරයෙන් උන්නා…”

එම විවාහයෙන් උපන් පළමුවැන්නා පුතු චතුර ලකිඳුය..දෙවැන්නා මධුජිතය..තෙවැන්නා හරිඳු වරුණ ය. සිව්වැන්නිය දියණිය වාසනාය.

තාත්තාගේ චිත්‍රපට නිර්මාණවලදී පුතු චතුරටද වැඩ පැවරිණි. දිනෙක ඔහුට හිතවතකු කීවේ තම පුතාට ටී බෝයි තනතුරක් දී තිබීම වරදක් ලෙසටය. ඊට පිළිතුරු දුන් හෙතෙම කීයේ මේ මගේ ක්‍රමය බවත් චිත්‍රපටයක් හදනවිට මේ හැම දෙයකම අවබෝධයක් පුතුද ලැබිය යුතුම බවත්ය. මෙයා දන්නවා චිත්‍රපටයක් හදනකොට සීනි කිලෝ එකකට හදන තේ ගණන කොච්චරක්ද කියලා…”

” සුනිල් සෝම පීරිස් ගෙ චිත්‍රපටයක පොඩි කෑල්ලකට මාව දැම්මා. ඔයා ඇල්.ඇම්. වෙන්ඩ එපා. ඔයා චතුර වෙන්න..ඒ තාත්තා මට දුන්න උපදේශයක්..පුතේ ඔයා ඇල්.ඇම් වුණොත් ගමන කෙටියි. චතුර වුණොත් ගමන දිගයි. එහෙමත් තාත්තා මට කිව්වා”

අපේ චතුර කියන්නේය.

“කඳ සුරිඳු” නමින් තවත් චිත්‍රපටයක් නිපදවන්නට කටයුතු කළේය. හිතවතකු වූ ඩී.එච්.ප්‍රනාන්දු එහි නිෂ්පාදක විය. ජෝති, ලතා, වික්ටර්, අමරදේව එයට ගී ගැයූහ. එය රූ ගත කිරීම් අතරේදී ම අතරමගදී නැවතිණි.

ඔහු සැලුණේ නැති.

“තාත්තාට මං ළඟ නැතිව නින්ද යන්නේ නැහැ. මට වයස අවුරුදු 19ක් වනතුරු ම මං නිදාගත්තෙ තාත්තා ළඟමයි.”

අපේ ආදරණීය ඇල්.ඇම්. දැන් දැන් මදුවිතට ඉහවහා ප්‍රේමයකි. තමන් සමග අතගත් බිරිඳ නැවතත් ඇයගේ මවුපිය සෙවනේය..අපේ කතා නායකයා තම සෙවණේය.

චතුර බිමබලාගත්වනම ය.

“අම්මා අපෙ තාත්තා ට වැරදි කීවෙත් නැහැ. තාත්තා අපෙ අම්මා ට දොස් කීවෙත් නැහැ. අමනාපෙකුත් නැහැ. ඒත් ඒ දෙන්නා වෙන්වුණා. පිරිමි දරුවන් තුන්දෙනා තාත්තා ළඟ. නංගී අම්මා ළඟ තියන් හිටියා. අම්මා සහ තාත්තා දෙපිරිස අතර නොයෙක් කාරණා නිසා අපෙ අම්මා ට වෙනස්කම් වුණා..හැකිතරම් අම්මා දරාගත්තා .පස්සෙ අම්මා ඈතට වුණා..මොකද තාත්තාගෙ සහෝදරයන් තාත්තාගෙ සල්ලි දේපළ පිට යනවාට විරුද්ධ වුණා. දෙන්නා කතාබහ කළා. තරහක් නැහැ.. ඉඳහිට අපිව බලන්න අම්මා ආවා. පිටකෝට්ටෙ තිබුණු දේපළ විකුණුවා. ඉන්පස්සෙ අම්මා ආවෙම නැහැ. ”

චතුරගේ කටහඬ මලානිකය.

ශ්‍රීලනිපයට මැරීගෙන වැඩකළ හෙතෙම සිරිමාවෝ මැතිනියට ද ළෙන්ගතුව සිටියද ඔහුගේ ඡන්දය නම් නොදුනි.

“තාත්තා ජීවිතේට ඡන්දය පාවිච්චි කරල නැහැ”

අපේ කතා නායකයා තැනූ හැම චිත්‍රපටයකින්ම රට ජාතිය ආගම ගැන ඉහළින්ම කතා කළේය. හතර කේන්ද්‍රයෙන් “චක්‍රාවාටයෙන් හදාපු තේජනීය ලංකා භූමියයි..සක්වල ගල මෙපිට උපන් විකුමැති සිහලයිනේ…

අප ඉපදෙන හැදෙන වැඩෙන එකම රටයි…මේ බිමයි..

මේ බිම නැතිවුන දවසට සිංහලයිනේ..මළගමයි..” ගීතය නාරද දිසාසේකර ගැයුවේය.

“ප්‍රාණඝාත චෝර කර්ම මුසාවාද රහමෙරේ…හතර මහ නිධානයට ධර්මදාස වල්පොලයන් ගැයීය.

“අපෙ තාත්තා ගෙදරදිත් හරිම විකටයි. අපි වැඩුණෙ නැන්දලගෙ දූලා එක්කමයි. හැබැයි සිතේ දුකක් තිබුණා . කවදාවත් ඒ දුකක් තාත්තා පිටට පෙන්නුවේම නැහැ. මං ඉපදුණු දවස තමයි තාත්තාගෙ සතුටුම දවස…”

චතුර කියන්නේය.

හතර මහ නිධානය චිත්‍රපටය තිරගත වන දවසක අනුරාධපුරයේ සිට කොළඹ දෙසට පැමිණි මරණයට රැගෙන ආ හරක් රැගත් ලොරියක් තේ කඩයක් අසල නැවතුණේය. ඉන් බැසගත් රියදුරා තේ එකක් බොමින් සිටියදී ගුවන් විදුලියෙන් ඔහුට ඇසෙන්නට වූයේ “උම්බෑ කිය කියා මරණ බයේ. ” ගීතයය.

ඒ ඇසූ ලොරි රියදුරු මුදලාලිගෙන් විමසුවේ මේ සින්දුව කාගේද යනුවෙනි . ගීතයද..ගීතයට අදාළ චිත්‍රපටය ද කියා එය ඇල්.ඇම්.පෙරේරාගේ චිත්‍රපටයක් බවද මුදලාලිගෙන් අසාගත් රියදුරා ලොරියේ යතුර සමඟම ලොරිය ද එතැනම නවතා තබා අපේ කතා නායකයා සොයාගෙන ආවේය.

“අනේ මහත්තයො..මං මෙච්චර කල් රස්සාවට කළේ මස් මඩුවට හරක් පටවන් ආපු එකයි. අදින් පස්සෙ මම ඒ රස්සාවට යන්නෙ නැහැ..” කියා ආපසු යන්නට හැරෙද්දී තමුසෙට මං ගාව රස්සාවක් දෙන්නම් කියා අපේ ඇල්. ඇම්. තමන්ගේ කාරයේ රියදුරු ලෙස බඳවා ගත්තේය..

“ඒ ඩ්‍රැයිවර් මහත්තයා අවුරුදු 25ක් අපෙ තාත්තා ළඟ විස්වාසෙන් වැඩ කළා..”

දිනෙක ඇල්.ඇම්. තම රිය විකුණා දැමුවේය. රියදුරා හඬන්නට වන්නේය.

“ඔය යකඩ ගොඩකට හඬන්න එපා මනුස්සයො. මම කාර් එකක් ගත්තාම ආයෙත් තමුසෙටම කතා කරනවා”

“මට මහත්තයාව මතක් වෙන්න මොනව හරි දෙන්න”

රියදුරු ඇස කඳුළින් කීයේය. හේ වහා තම අතැඟිල්ලක පැලැඳ හුන් තම මංගල රන් මුදුව ගලවා ඔහු අත තැබුවේය.

ඔහු හැඳසිටි ඇඳුම ලස්සනයි යැයි කිසිවකු කිවහොත් එතැනදීම ඔහු එය ගලවා දෙන්නේය. පරිත්‍යාගශීලී බව ඒ හදවතෙහි උතුර උතුරා තිබිණි . මුදලට තණ්හා නැති හේ කිසිවක්ම බදාගෙන නොසිටියේය.

“මට දැනුත් මතක් වෙනවා. අම්මාත් ගෙදර නැතිව අප එනතුරු මග බලන් ඉඳලා තාත්තා උයාපු කෑම එයාගෙ අතින්ම අපට කවනවා…අපේ තාත්තා පව්. හරිම සංවේදියි. අපි තුන්දෙනාටම බත් කවනවා”

අපේ ආදරණීය චතුරගේ කටහඬ මට ඇසෙන්නේ බිඳුණු ස්වරයක් ලෙසිනි. ඔහු බිමබලාගත්වනම ය.

චතුර ගැනද කිවයුතුය. මේ වනවිට චිත්‍රපට 150කට පමණ රංගනයෙන් දායක වී ඇති චතුර මෙගා ටෙලි නාට්‍ය රැසකටද එක්වී ඇත. සුනිල් සෝම පීරිස්, උදයකාන්ත වර්ණකුලසූරිය, ඩොනල්ඩ් ජයන්ත, ප්‍රීතිරාජ් වීරරත්න ඇතුළු තවත් අධ්‍යක්ෂකවරුන්ගේ සිනමා නිර්මාණ රැසකටද එක්වී සිටී.

අපේ සොඳුරු කතා නායකයා ඇතිවනතුරු ම මධුවිතට පෙම්කොට සැණෙකින් එය අත්හළේය.

“බීම නැවැත්තුවා .තාත්තා එකපාරටම කෝමා තත්ත්වයට පත්වුණා. ”

හෙතෙම රෝහලට ඇතුළත් කෙරිණි . තාත්තාගේ ගිලන් යහන ළඟම පසුවූ පුතු චතුර අවශ්‍යතාවකට ගෙදරට ආවේය..

තම පියාණන් පිළිබඳව ඇසූ පුවතින් කම්පිතව චතුර වහා රෝහල් වාට්ටුවට දිව ගියේය..

“කවුද චතුර කියන්නෙ” හෙදියක් ඇසුවාය.

“මේ මං ..”

” මේක ඔයාගෙ තාත්තා ඔයාට දෙන්න කිව්වා…”

තාත්තා සහමුලින්ම සුදුපැහැ රෙද්දකින් වසා තිබේ…හෙදිය චතුර අතට දුන්නේ තාත්තා ළඟ තිබූ නිල් මැණිකක් ඔබ්බවූ මුද්දය…ඔහු නෙතින් කඳුළු කඩා වැටිණි.

“සාධාරණයි කියල එකෙක්වත් නැහැ. ඔක්කොම හොරු..”

තාත්තා ගෙදරදී කී කතා ඔහුට ඇසෙන්නාසේය .

“කලාකරුවකු වෙලා නම් මේ රටේ මං ආපසු උපදින්න එපා. ලංකාව උතුම් රට වුණාට..”

තාත්තාගේ මුහුණද වසා තිබූ සුදු රෙද්ද මෑත්කොට චතුර තාත්තා දෙසම බලා සිටියේය….

හෙළ සිනමාවට…අප්‍රමාණ මෙහෙවරක යෙදෙමින් රටක් විකට රංගනයෙන් සිනාසයුරේ ගිල්වූ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු.. අසහාය රංගධරයකු වූ ආදරණීය ඇල්.ඇම්.පෙරේරා සහෘදයාණෝ ඔහු ලොවට ජනිත වූ උපන්දිනදා ම …එනම් 1990ක්වූ අගෝස්තු මස 21 වනදා වයසින් අවුරුදු 59ක් ආයුවින්දනය කෙරෙමින් රහසේම කොහේදෝ නික්ම ගියේය….

 

සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT