Home » සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය අන්තර්ජාතික ප්‍රමිතීන් සමඟ සමපාත වෙනවා

සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය අන්තර්ජාතික ප්‍රමිතීන් සමඟ සමපාත වෙනවා

ප්‍රවීණ රූපණවේදී නිශ්ශංක දිද්දෙණිය

by Manjula
March 7, 2024 12:52 pm 0 comment

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “පේමතෝ ජායතීසෝකෝ, සිංහබාහු” සහ රංජිත් ධර්මකීර්තිගේ “අංගාරා ගඟ ගලාබසී” වැනි විශිෂ්ට වේදිකා නාට්‍යවල රංගනයෙන් දායකවූ නිශ්ශංක දිද්දෙණිය නම් විශිෂ්ට රංගනවේදියා සෞන්දර්ය විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කර තිබේ. සිනමාව තුළ “එයා දැන් ලොකු ළමයෙක්, බිත්ති හතර, තිලක හා තිලකා” චිත්‍රපටවලද රඟපෑ ඔහු වේදිකා නාට්‍ය සම අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කර ඇත. සිය කලා නිර්මාණ දිවිය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් හෙතෙම සරසවිය හා මෙසේ එක්විය.

මුලින්ම අපි ඔබේ ළමා කාලයට යමු. පාසල් අවධියේ කලාවට තිබූ නැඹුරුව සිහිපත් කළොත්….?

පිටිසර සරල ජීවන රටාවකින් යුතු පවුලක දරුවකු ලෙස මා ඉපදුණේ. පාසලට ඇතුළත් වෙනකම් ලොකු අයියා, පුංචි අයියා ටීටර් ගායනා කරද්දී ඒ කෙරේ සිත ඇදීගියා. තාත්තා සවසට ශබ්ද නගා බණ පොත් කියවන ගීතවත් විලාසයත් අම්මා කුඹුරුවල ගොයම් නෙළද්දි අනෙක් කාන්තාවන් එක්ක නෙළුම් කවි ගායනා කිරීම කරන විලාසය අධ්‍යයනය කිරීමත් මගේ මුල් කාලයේ කලා දිවියට අඩිතාලම වැටුණු සිදුවීම් කියන්න පුළුවන්

ඔබ හැදීවැඩුණු ගමේ ආභාසයත් කලාවට නැඹුරුවෙන්න හේතුවුණාද…..?

කලාවට නැඹුරුවීමේ සාධක අතරින් ගමේ සුන්දරත්වය ප්‍රධානයි. පැල්මඬුල්ල සහ කහවත්ත අතර පිහිටි “පනාවැන්න” මගේ ගමයි. අපේ මහගෙදරට තරමක් ඈතින් ගණ කැලෑවක් තිබුණා.වෙල් යාය, රබර්, තේ, පොල් වගාවන් වගේම දෙල්, කොස්, මී ගස් , කැකුණ, හොර වැනි වනස්පතීන් වගේම කළු ගං නිම්නයේ පිහිටා ඇති ඇළදොළ, දියඇළි ආදියත් නිසා ගමේ සුන්දරත්වය වැඩිවුණා. සැලළිහිණිය පාසල් කාලයේ කියවද්දී ඒ ගස් වර්ග, පරිසරය මට ඉතා සමීපවුණා. කලාවේදී ඒ මතකයන්, අත්දැකීම් මගේ ජීවිතයට ඉතා සමීප වුණා.

අධ්‍යාපනය ලබන අවධියේ කලා කටයුතු තුළින් ජයග්‍රහණ ලබන්නත් ඇති……?

පනාවැන්න ධර්මාරාම විදුහල සහ පැල්මඬුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලවල මා ඉගෙනුම ලැබුවා. ඒ කාලයේ ජනගායනා තරඟවලින් පළමු ස්ථානය ලැබුවා. 1963දී සබරගමුව පළාත් සමස්ත ලංකා ඒකල ගායනා තරඟයෙන් “නරිඋගුල” නාට්‍යය පළමු තැන දිනාගත්තා. පාසල් මුද්‍රා නාට්‍ය තරඟයෙන් “තක්ක ජාතකය” දිස්ත්‍රික් තරඟාවලියේ දෙවැනි ස්ථානය ලැබුවා. මගේ නර්තන කලා හැකියාව ඊට බලපෑවා

විශ්වවිද්‍යාලයට පිවිසීමත් එක්ක ඔබට කලාවට නැඹුරුවීමේ දොරටුව තවතවත් විවෘත වූවා කියා මා සිතනවා….?

ඔබ හරි. මට පෙර පරපුරවල වගේම පසුකාලීනවත් , සමකාලීනවත් කලාවට නැඹුරුවූ දැවැන්තයන්ගේ ජීවන චරිතාපදාන කියවීම්වලදී සරසවි වරමින් දොරටු විවරවීම් ඔවුන්ගේ තෘප්තියටත්, ජාතික මට්ටමින් ශ්‍රීලාංකේය කලා ක්ෂේත්‍රයේ පරිධිය විශාලනය වීමටත් සුවිශේෂ බලපෑමක් කර ඇති බව ප්‍රකට කරුණක්. සාහිත්‍ය, කලා, කවිය, ගීතය, චිත්‍ර, ප්‍රතිමා, සිනමා, නාට්‍යාදී බොහෝ කලා මාධ්‍ය ඇසුරේ මෙය හඳුනාගත හැකියි. මහගමසේකර, කේ. ජයතිලක, ගුණදාස අමරසේකර, රත්න ශ්‍රී විජේසිංහ, ආරියවංශ රණවීර, සිරි ගුණසිංහ, නන්දන වීරසිංහ, අශෝක හඳගම, වසන්ත ඔබේසේකර, ජයලත් මනෝරත්න, පරාක්‍රම කොඩිතුවක්කු, බුද්ධදාස ගලප්පත්ති වගේ මහා පිරිසක් ඉන්නවා. එහෙම නොවෙන අයත් ඉන්න බව කිවයුතුයි. විශේෂයෙන් මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී.සේනානායක වැනි අය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සමග එම අවධියේ ඔබේ සුසංයෝගය කවරාකාරද …..? එය සුන්දරයි. මගේ විශ්වවිද්‍යාල සිහිනය පාරමිතාවක් වුණේ 1960 ගණන්වලදී ලංකාව පුරා විසිරී පැවතුණු ‘”සරච්චන්ද්‍ර නාට්‍ය කලා සහ සාහිත්‍ය කලා ප්‍රබෝධයයි”. එය එක් අතකට උන්මාදයක් තරමට වර්ධනය වුණා දැයි සැකහිතෙන්නේ ශෛලීගත නාට්‍ය ප්‍රවාහයක් ලෙස අනුකාරත්වය පමණක් උඩින්මත්තෙන් ගෙන අවගමනය වූ නිසයි. සරච්චන්ද්‍රයන් එහි වරදකරුවකු නෙවේ. ඔහුගේ “පේමතෝ ජායතී සෝකෝ” (1969) නාට්‍යයේ මා රඟපෑමෙන් පසු සිංහබාහු චරිතයට ද මා තෝරාගැනීම මාව විමතියට පත්කළ කරුණක් වුණා. සරච්චන්ද්‍ර, දිද්දෙණිය සුසංයෝගයේ ගැඹුරු අනන්‍යතාව පුරුද්දාපු සංධිස්ථානය එයයි. ජපන්, ශ්‍රී ලංකා සංස්කෘතික සංචිත සන්ධානය මඟින් ප්‍රථම වතාවට පැවැත්වූ “බුන්කා” සම්මාන උළෙලේ නාට්‍ය කලා සම්මනලාභියා වීමට සරච්චන්ද්‍රයන් මගේ නම යෝජනා කිරීම සරච්චන්ද්‍ර, දිද්දෙණිය සුසංයෝගය උත්කර්ෂයට නැංවීමක් ලෙස මා සලකනවා

වෘත්තියමය වශයෙන් රංගනවේදියකු ලෙස ඔබ ස්ථාවරවූ අයුරු පැහැදිලි කරනවා නම්….?

වෘත්තියමය වශයෙන් රංගනවේදය යන ප්‍රකාශය නිවැරදි භාවිතය නෙවෙයි. ඊට හේතුව වෘත්තියමය නාට්‍ය කලාවක් අප රටේ තවමත් ස්ථාපිතව නොමැතිවීම. තිබෙන්නේ ආධුනික නාට්‍ය කලාවක්. මගේ වෘත්තිය ජීවිතය කලාවට කිසිදු අයුරකින් යානොදෙන එකක් වුණා. සමහරු කියන්නේ බෝල්ට් ඇණයි පරිප්පුයි වගේ උදාහරණ. මම අභ්‍යන්තර වෙළෙඳ පරීක්ෂක වෘත්තියෙන් විශ්‍රාම ගියා. ඒ රැකියාව ක්ෂේත්‍ර රැකියාවක් නිසා මගේ වෘත්තිය නොවන රංගනවේදය පවත්වාගෙන යාමටත් එය අධ්‍යාපනික මට්ටමින් හැදෑරීමටත් පහසුවුණා. ඒ නිසා පසුකාලීනව සංගීත විශාරද (භාත්ඛණ්ඩේ), පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (ජ’පුර සරසවිය ) හා ශාස්ත්‍රපති උපාධිය (කැලණිය) දිනාගැනීමට හැකිවුණා. රංගන ශිල්පියකු විදිහට අපේ රසික සමාජය ඇතැම්විට මා හඳුනාගෙන ඇත්තේ මගේ රැකියාව රඟපෑම කියාද කියා දන්නේ නැහැ. ගැමි රඟමඩල, පාසල් රඟමඩල, විශ්වවිද්‍යාල රඟමඩල හා ප්‍රසිද්ධ වේදිකාව යන සිවු ඈදුතු සම්බන්ධතාව මතින් මෙතෙක්දුර රංගනවේදීයකු ලෙස තරණය කළ සෞන්දර්ය චාරිකාව ස්ථිර වැටුපක් හෝ වෙනත් ප්‍රතිලාභ, වරප්‍රසාදවලට විධිමත් හිමිකම් නොලැබූ තත්ත්වයක් තියෙන්නේ. මෙය අප රටේ කලාකරුවන්ට පොදුවේ පවත්නා තත්ත්වයක්. මා මෙන්ම මා වැනි අනෙකුත් කලාකරුවන් ද ක්ෂේත්‍රයේ ස්ථාවර වී ඇත්තේද ඔවුන්ගේ ප්‍රතිරූප, ඔවුනොවුන්ගේ ප්‍රතිභාප්‍රභා දැල්වීමෙන් සහ භාවිතය ඇසුරින් බව පැහැදිලියි.

විශිෂ්ට නාට්‍යවේදීන්ගේ කලා භාවිතය හා ඇසුර (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති, සුගතපාල ද සිල්වා, සෝමලතා සුබසිංහ, දයානන්ද ගුණවර්ධන, ජයලත් මනෝරත්න) ඔබේ කලා දිවියට බලපෑ අයුරු පැහැදිලි කළොත්….?

නාට්‍ය කලා භාවිතය සම්බන්ධයෙන් පමණක් නොවෙයි පාසල් මට්ටමේදී උගත් සිංහල සාහිත්‍යය හා විශේෂයෙන් කලා විචාරය සම්බන්ධයෙන් යුගකාරක ප්‍රඥයකු වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඇසුර මගේ දැනුම් මණ්ඩලය පෘථුල කරගැනීමට බලපෑවා..සිංහල විෂයය මගේ උපාධි පාඨමාලාවේ ප්‍රධාන විෂයයක් වීමද ඊට හේතුවක් වුණා. හෙන්රි ජයසේනගේ “මකරා” නාට්‍යය නිෂ්පාදනයේදී මා ඔහුගෙන් උගත් දෑ බොහෝයි. ගුණසේන ගලප්පත්තිගේ “මහ හේනේ කතාව” නාට්‍යයට සම්බන්ධ වීමෙන් ස්ටැනිස්ලස්කි රංගවිධි ක්‍රමය ගැන බොහෝ දෑ මම උකහාගත්තා. ඔහුට ආවේණික විධික්‍රම අන් අයට වඩා සුවිශේෂී බව දැනුණා. සුගතපාල ද සිල්වාගේ ආශ්‍රය මගින් තත්ත්වානුරූපී නාට්‍ය ප්‍රවර්ගය ගැන න්‍යායාත්මක කරුණු මෙන්ම අධ්‍යක්ෂණය සම්බන්ධවත් බොහෝ දේ අත්පත් කරගත්තා. ඔහුගේ නාට්‍යවල භූමිකා නිරූපණය කර නැහැ. සෝමලතා සුබසිංහ, දයානන්ද ගුණවර්ධන, ජයලත් මනෝරත්න ආදීන් සරච්චන්ද්‍රයන්ගේ අග්‍රගණ්‍ය ගෝලයෝ. මනෝ මගේ සරසවිය සමකාලීන සගයා. ඔහුගේ කුලුඳුල් නාට්‍ය නිර්මාණය “මහගිරිදඹ” හීත් මා රඟපෑවා. අප දෙදෙනාගේ කලා කුසලතා ගැන කිව්වොත් එය අන්‍යෙන්‍ය වශයෙන් බලපෑවේ ඔහුගේ තත්වානුරූපී රඟපෑමත් මගේ නාට්‍යධර්මී රඟපෑමේත් විශේෂතා හුවමාරුවීමෙන්.

අද වනවිට මෙරට වේදිකාවේ වත්මන් තත්ත්වය ඔබ දකින්නේ කෙසේද….? පැතිමාන දෙකකින් මා එය දකිනවා. සතුටුවිය හැකි මෙන්ම අසතුටුදායක කාරණාද ඊට ඇතුළත්. වේදිකා නාට්‍ය කලාවේ ආකෘතිකමය වර්ධනය අත්හදාබැලීම් වශයෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා. මෙය කෙටි නාට්‍ය ශානරයේ වැඩි වශයෙන් සිදුව තිබෙනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ ද නාට්‍ය රංග කලා විෂයය අධ්‍යයනය උපාධි මට්ටමින් හැදෑරීමේ මාවත පෑදී තිබීම අනෙක් කරුණයි. ටවර්හෝල් රඟහල පදනම හා ජාතික තරුණ සේවා සභාව යන ආයතනවල ද නාට්‍ය රංග කලා විෂයය සම්බන්ධයෙන් අධ්‍යයන පාඨමාලා සේම ඒ පිළිබඳ දිරිගැන්වීමේ වැඩසටහන් දියත්වුවද දේශපාලනීකරණය තුළින් ඒවායේ දුබලතා මතුවී තිබෙනවා. විෂයය පිළිබඳ, නාට්‍ය පිටපත් රචනය, අධ්‍යක්ෂණය හා බොහෝවිට චරිත නිරූපණය සම්බන්ධයෙන් කලඑළියට ආ නළුනිළි පිරිසක් ඒ ආයතන නිසා බිහිවීම සතුටට කරුණක්. උදාහරණ ලෙස සුමිත් රත්නායක, මාදනී මල්වත්තගේ වැනි අය හඳුන්වන්න පුළුවන්. ඒවගේම කලා මණ්ඩලය මඟින් වසරකට වරක් රාජ්‍ය නාට්‍ය උත්සව පැවැත්වීමට වැඩි දෙයක් නාට්‍ය කලාවේ අභිවර්ධනයට කෙරෙනවාද යන්න ප්‍රශ්නයක්. ජෝන් ද සිල්වා රඟහලේ අලුත්වැඩියාවන් අතරමඟ ඇනහිටීම ගැටලුසහගතයි. පරාක්‍රම නිරිඇල්ල, අශෝක හඳගම, රාජිත දිසානායක, බුද්ධික දමයන්ත, ප්‍රියංකර රත්නායක වැනි අය නාට්‍ය කලාවේ නිරතව සිටීම සතුටට කරුණක්.

අපේ වේදිකා නාට්‍ය අන්තර්ජාතික මට්ටමේ තිබෙන ස්ථානය ගැන කිව්වොත් සහ අන්තර්ජාතික ජයග්‍රහණ ලැබීමට අපේ වේදිකා නාට්‍ය කලාව කොතරම්දුරට සංවර්ධිත විය යුතුදැයි ඔබ සිතන්නේ ද..?

සිනමාව තරමටම ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට එතරම් සැලකිය යුතු ස්ථානයක් ලැබී ඇතැයි කියන්න බැහැ. ආචාර්ය ලෙස්ටර්, පතිරාජ, ටයිටස් වැන්නන්ගේ සිනමා නිර්මාණවලට අන්තර්ජාතික පිළිගැනීම තිබෙනවා. ඒවගේම ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, සෝමරත්න දිසානායක, සංජීව පුෂ්පකුමාර, ජගත් මනුවර්ණ වැන්නන්ගේ නිර්මාණත් ඇගයීමට ලක්වෙනවා. එහෙත් අපේ නාට්‍ය කලාව ගැන එසේ සුබවාදීව සතුටුවෙන්න බැහැ. සිනමාව හා නාට්‍ය කලාව යන මාධ්‍ය දෙකේ වෙනස ඊට බලපෑමක් ඇති කළා කියන්නත් පුළුවන්. අන්තර්ජාතික මට්ටමේ වේදිකා නාට්‍ය නිර්මාණය නොවෙනවා නොවේ. සිදුවන්නේ ජාත්‍යන්තරයට ඒවා ගෙනයාමට ස්ථිර වැඩපිළිවෙළක් රටේ ස්ථාපිතව නොමැතිකමයි. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය, ජාත්‍යන්තර ප්‍රමිතීන් සමඟ සමපාත වෙනවා. ඉන්දියාවේ තත්ත්වය බැලුවොත් ඔවුන් අපට ඉදිරියෙන් සිටිනවා. දිල්ලි ඩ්‍රාමා ඇකඩමිය හරිම ක්‍රියාශීලියි.

සිනමාව තුළ “නිශ්ශංක දිද්දෙණිය” භූමිකාව පැහැදිලි කළොත්……?

ශ්‍රී ලාංකේය සිනමාව තුළ මගේ භූමිකාව ඉතා දිළිඳුයි. සිනමා කෘති කිහිපයක පමණයි මා රඟපෑවේ. ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ “එයා දැන් ලොකු ළමයෙක් ” ප්‍රධානයි. පරාක්‍රම සිල්වාගේ “බිත්ති හතර” , අමරනාත් ජයතිලකගේ “තිලක හා තිලකා”, සුගතපාල සෙනරත් යාපාගේ “පියා සහ දරුවෝ” ආදියේ මා රඟපෑවා. සිනමා රංගනය ගැන මට උනන්දුවක් තිබුණේත් නැහැ. පෞද්ගලික මට්ටමින් මා ඉතා හොඳීන් දන්නා හඳුනන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සහය පතා මම අයැදුම් කර නෑ

සිනමාව තුළ අද වනවිට තරුණ අධ්‍යක්ෂවරුන් (සංජීව පුෂ්පකුමාර, ජගත් මනුවර්ණ ) අන්තර්ජාතික ජයග්‍රහණ ලබමින් පවතිනවා. ඔවුන්ගේ එම ජයග්‍රහණ ලාංකේය සිනමාවේ ඉදිරි ගමනට කොතෙක්දුරට සාධනීය ලෙස බලපාන්නේ දැයි ඔබේ මතය පැහැදිලි කළොත් ……? ඔවුන් කුසලතාපූර්ණ තරුණ අධ්‍යක්ෂවරු හැටියට නමක් දිනාගෙන තිබෙන්නේ. ඒ කාලය කැපකර සිනමා මාධ්‍ය න්‍යායාත්මකවත්, ප්‍රායෝගිකවත් අධ්‍යයනය කිරීමෙන් බව පැහැදිලි වෙනවා. ඔවුන් පවසා ඇති දේ අනුව සත්‍යජිත් රායි, අදූර්ගෝපාල් ක්‍රිෂ්ණන්, සාජි එන්. කරුන් වැනි පොදුවේ භාරත සිනමාවේ ඉදිරි ගමනට දායකවූවා සේම ඉහත කී අයගේ සිනමා නිර්මාණවල අන්තර්ජාතික ජයග්‍රහණයන්ද නිසැකවම දේශීය සිනමාවේ අභිවෘද්ධියට බලපාන බව කිවයුතුයි.

90 දශකයේ බිහිවූ විශිෂ්ට ටෙලිනාට්‍ය කලාව සහ අද විකාශය වන මෙගා යැයි හඳුන්වන නිර්මාණ අතර වෙනස සහ එම වෙනස කොතෙක්දුරට මෙරට ටෙලිනාට්‍ය කලාවේ ප්‍රගමනයට හෝ අවගමනයට බලපාන්නේ දැයි යන්න පිළිබඳ ඔබේ මතය කෙබඳුද…..?

90 දශකයේ බිහිවූ ටෙලිනාට්‍යවල මුල, මැද, අග කතා අනුසාධනය හා ලයමානය එහි සාර්ථකත්වයට හේතුවුණා. බටහිර සෝප් ඔපෙරා යැයි හඳුන්වන මෙම කලා මාධ්‍ය විශිෂ්ට නාට්‍යවේදී ධම්ම ජාගොඩයන් “ඊඡ්ඹ්ඡ්ච්අඒර්ඒ” නමින් හඳුන්වනු ලබමින් “පළිඟු මැණිකේ, එක මවකගේ දරුවෝ” වැනි නිර්මාණ හරහා අත්හදාබැලීමක් කළා. ඒවා අද බිහිවන බොහෝ හරසුන් ටෙලිනාට්‍යවලට වඩා සාර්ථකයි. එපිසෝඩ්කරණය අද වෙනස්වී ටෙලිනාටක නළුනිළියන් දවසේ කුලීකරුවන් බවට පත්වෙලා. මේ නිසා සාර්ථක ටෙලි නිර්මාණකරුවන් බොහෝදෙනෙක් මෙම ටෙලිනාට්‍ය කලාවෙන් ඉවත්වෙලා

රංගනය යන විෂයය හැදෑරීමට මෙරට ස්ථාවර මට්ටමේ ආයතන නොමැතිවීම ගැටලුවක් බව පැවැසෙනවා. ඒ අදහස ඔබ දකින්නේ කෙසේද…..?

රංගනය, රූපණය, සමාරෝපය යන පදාර්ථ පුළුල් අරුතින් විෂයමූලිකව රූපණවේදය යන ගාම්භීරාර්ථයට සමීප කළහැකියි. රඟපෑම වෙනත් ක්‍රීඩාවන් වගේ පුහුණු කළහැකි දැයි ගැටලුවක් පවතිනවා. ඔය කොයිදේටත් උපතින් ගෙනෙන කුසලතාපූර්ණලාභීන් අන් අය අතරේ කැපී පෙනෙනවා. රඟපෑම හා රඟනොපා සිටීම වැනි උපදෙස් ලෝකධර්මී සම්ප්‍රදායේ සැලකිල්ලට ලක්වී තිබෙනවා. එහෙත් ස්ටැනිස්ලොව්ස්කිගේ රඟපෑම හා බැඳුණු රූපණ විධික්‍රමය එක්තරා කාලවකවානුවක ලොව පුරා ව්‍යාප්ත වූ ප්‍රවණතාවක් බවට පත්වුණා. එහෙත් ලෝකය ඉදිරියට යාමේදී එයද සිරගතවූ තත්ත්වයක් බවට පත්ව වෙනත් රංගමය න්‍යායයන් බිහිවෙන්නට පටන්ගත්තා. ප්‍රතිභාසම්පන්න නළුවාට රංගනය සම්බන්ධයෙන් ලොව ප්‍රචලිත වී ඇති රූපණ විධික්‍රම සියල්ල දැන හදාරා සිටීම ඔහුව උසස් ස්ථානයක් කරා ගෙනියනවා.

නවක දක්ෂ රංගන ශිල්පීන්ට සිය දක්ෂතා එළිදැක්වීමට හොඳ ගුණාත්මක නිර්මාණ සහ අධ්‍යක්ෂවරුන්ගේ හිඟයක් පෙනෙනවා…..?

වේදිකාවේත් වීදිනාට්‍ය වැනි විකල්ප නාට්‍ය ශානරවල හා සිනමාව, ටෙලිනාට්‍ය වැනි විද්‍යුත් කලා මාධ්‍යවල දක්ෂතා ප්‍රදර්ශනය කරන නළුනිළියන් බොහෝමයක් අපට ඒ නිර්මාණවලදි මුණගැසෙනවා. ඒ සම්බන්ධව තරුණ අධ්‍යක්ෂවරුන් බිහිවීමද සතුටක්. එහෙත් එක් දෙයක් පැවැසිය යුතුයි. සංකීර්ණවූත්, ගැඹුරු සනාතනවූත්, සර්වත්‍රිකවූත් මිනිස් හැසිරීම් රැගත් නාට්‍ය නිර්මාණ බිහිවීම ගැන සතුටින් කතා කළ නොහැකියි. තත්කාලීන සමාජ ගැටලු හා මිනිස් හැසිරීම් අපූර්වත්වයෙන් යුතුව තේමා කරගත් කෙටි නාට්‍ය අධ්‍යක්ෂවරුන් බොහෝමයක් කෙටි නාට්‍ය උළෙලවලදී අපට හමුවෙනවා.

ටෙලිනාට්‍ය රංගනය තුළ ඔබේ භූමිකාව පැහැදිලි කළොත් …..?

කලක් මම ටෙලිනාට්‍ය කලාවේ භූමිකා රංගනයේ යෙදුණා. ටයිටස් තොටවත්ත, විමලරත්න අධිකාරි, ජයලත් මනෝරත්න, රොඩ්නි විදානපතිරණ, දී.ග. සෝමපාල, විජය ධර්මශ්‍රී, ආනන්ද අබේනායක වැනි අධ්‍යක්ෂවරුන්ගේ ටෙලිනාට්‍යවල රඟපෑවා. දැන් නම් ඒ භාවිතයේ ඇත්තේ නැතිතරම්.

ඔබ රංගනයෙන් දායකවූ වේදිකා නාට්‍ය තුළ ඔබට සුවිශේෂී වූ නිර්මාණ වේ නම් එයට විශේෂිත වූ හේතුද සමඟ පැහැදිලි කළොත් ….?

මෙහිදී සරච්චන්ද්‍රයන්ගේ ” පේමතෝ ජායතී සෝකෝ” නාට්‍යයේ රඟපෑම විශේෂයි. එතුමාගේ නාට්‍යයක පළමුවරට රඟපෑවේ එහිදීයි. සරච්චන්ද්‍රයන් මගේ නාට්‍යධර්මී රූපණ කුසලතාව ඉහළින්ම වටහාගත්තෙක්. “ලෝමහංස” නාට්‍යයේ “බ්‍රහ්මදත්ත” චරිතයත් විශේෂයි. විශේෂයෙන් “සිංහබාහු”හි “සිංහබාහු” චරිතය මහැදුරු සුචරිත ගම්ලත්, ප්‍රවිණ නාට්‍ය හා සාහිත්‍යවේදී සයිමන් නවගත්තේගම වැනි විද්වත් රසික සම්භාවනවට පාත්‍රවූයේ එම චරිතවලින් මා ඉස්මතු කළ අර්ථකථනය ඔවුන්ගේ නාට්‍ය රසභාව අවදි කළ නිසා විය යුතුයි. එසේම මනමේ නාට්‍යයේ මනමේ කුමරුගේ චරිතයට වඩා මම ඇලුම් කළේ වැදි රජුගේ භූමිකාවටයි. රංජිත් ධර්මකීර්තිගේ “අංගාරා ගඟ ගලාබසී” හි සර්ජිගේ චරිතයටත් මම ඇලුම් කරනවා. එය බොහෝ රසික විද්වත් පාර්ශ්වවල කතාබහට ලක්වූ චරිතයක්

වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණ භූමිකාව තුළ ඔබේ දායකත්වය ගැන කතා කළොත් ….?

මම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණ කාර්යයට සම්බන්ධ වුණේ ඉතා අඩුවෙන්.බන්දුල ජයවර්ධනගේ “ස්වර්ණමාලි” වේදිකා නාට්‍යයේ සම අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා..බොහෝවිට මම අධ්‍යක්ෂණය කළේ සංගීතමය වාර්තා රංග ශෛලියේ ප්‍රසංග.

“නිශ්ශංක දිද්දෙණිය” නමැති විශ්වවිද්‍යාල දේශකවරයා, ගුරුවරයා යන භූමිකා තුළ ඔබේ දායකත්වය පැහැදිලි කළොත්….? මම නාට්‍ය හා රංග කලා විෂයය ගැන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේත් කැලණිය විශ්වවිද්‍යාලයේත් බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළා. විශ්වවිද්‍යාල සිසුන් සමඟ වැඩ කිරීම මට හරිම ආස්වාදජනක දෙයක් වුණා.පාසල්වල, රාජ්‍ය ආයතනවල රසවින්දන වැඩසටහන් කිරීමෙනුත් මම තෘප්තියක් ලබනවා.

විදෙස් සංචාරයන් තුළදී කලාව පිළිබඳ මෙන්ම විදෙස් නාට්‍ය අධ්‍යක්ෂවරුන් , නිෂ්පාදකවරුන් සමඟ කටයුතු කිරීමෙන් ඔබ ලද අත්දැකීම් මොනවගේද….?

මේ සම්බන්ධව යමක් පැහැදිලි කළයුතුයි. විදෙස්හි රූගතකිරීම් සඳහා බොහෝවිට මා සම්බන්ධ වී ඇත්තේ පැරණි හා නව නාට්‍ය ගීත ප්‍රසංගවලටයි. විදෙස් නාට්‍ය අධ්‍යක්ෂවරුන් අපට මුණගැසී ඇත්තේ අපේ රටට ඇවිත් වැඩමුළු පැවැත්වීමේදීයි. එයින් ප්‍රධාන කෙනෙක් තමයි ජර්මන් ජාතික “ෆි‍්‍ර රිට්ස් බෙනොවිට්ස්”. ඔහු බර්ට්‍රෝල්ට් බ්‍රෙෂ්ට් එක්ක නාට්‍ය වැඩ කළ දක්ෂයෙක්.තවද ඉංග්‍රීසි ජාතික “ජේමිස් තොම්සන් ” නම් නාට්‍යවේදියා ද මෙහි පැමිණ වැඩමුළුවක් ද පැවැත්වුවා

වේදිකා නාට්‍ය සමඟ විදෙස් සංචාරයන්හි නිරතවූ අවස්ථාවන්හි අමතක නොවන රසවත් සිදුවීම් එහෙමත් සිදුවෙලා ඇති…..? විදෙස් සංචාරවලදී නාට්‍ය ගීත, නාට්‍ය රඟදැක්වීමේදී අපි විශාල ආස්වාදයක් ලබනවා. සිංගප්පූරුවේදී “සිංහබාහු” රඟදක්වද්දී සිංහයාගේ භූමිකාව රඟදැක්වූ ජය ශ්‍රී චන්ද්‍රජිත් කඩතිර කැඳවුමට පැමිණි අවස්ථාවේ ප්‍රේක්ෂකාගාරයෙන් බ්‍රාවෝ හඬ නැඟුණා. එය ඔවුන්ගේ ප්‍රසාදය හඟවන්නක්. කැනඩා සංචාරයකදී ලෝකප්‍රකට “ෆිල්ඩර් ඔෆ් ද රූෆ්” නාට්‍යය නැරඹුවේ එරීනා රඟමඩලක. එය අපූර්වතම අත්දැකීමක්

මෑතකාලීනව ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණ ගැන සිහිකළොත් …..?

මෑතකාලයේ රංගනයෙන් දායකවුණේ මහාචාර්ය මංගල සේනානායකගේ “සින්දුකාර කවි නළුව” නම් නාට්‍යයටයි.

ලේඛන කලාව තුළ ඔබේ වපසරිය පිළිබඳ සාකච්ඡා කළොත්….?

ලේඛන කලාව සම්බන්ධයෙන් මගේ එතරම් දායකත්වයක් නැහැ. එහෙත් පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා නිමග්න වූ ශාස්ත්‍රාලීය කටයුතුවල නිබන්ධන මුද්‍රණය කර තිබෙනවා

ඔබ තුළ විශිෂ්ට ගායනවේදියකු ද අප දකිනවා. එම ගායනවේදියා මීට වඩා ඉදිරියට ආවානම් කියා ඔබට සිතෙන්නේ නැද්ද…….? මේ ප්‍රශ්නය ඉතා වැදගත්. ඊට කෙටිම පිළිතුර මා රඟපා ඇති බොහෝ උසස් නාට්‍ය සංගීත නාටකවල එක්තරා ප්‍රවර්ගයක් කීවත් වරදක් නැහැ. මගේ කරහඬ මුවහත් වී ඇත්තේ නාට්‍ය ගීතවලටයි. සරල ගී ගායනය ඊටවඩා සියුම් කලා මාධ්‍යයක්. මම මුලින්ම සරලගී ගායනයට යොමුවූයේ නම් බොහෝවිට ගායන ක්ෂේත්‍රයේ රසික සමාජයේ ග්‍රහණයට බෙහෙවින් හසුවීමට තිබුණා කියා සිතෙනවා. ඒත් නාට්‍ය ගීතවලට ඇලුම් කරන පිරිස්ද අපට සුළුකොට තකන්න බැහැ. එය සුවිශේෂී තත්ත්වයක්

ඔබ වඩාත් ආසක්ත වන්නේ නිශ්ශංක දිද්දෙණිය නම් රංගනවේදියාටද…? අධ්‍යක්ෂවරයාටද…? ගායනවේදියාටද……? දේශකවරයාටද…..?

කලාකරුවෙක් හැටියට අධ්‍යක්ෂවරයා යන්න බැහැර කළවිට රංගනයට හා ගායනයට මා විශේෂයි කියා රසික සමාජයේ පිළිගැනීමයි.

නිශ්ශංක දිද්දෙණිය නම් අධ්‍යක්ෂවරයා අතින් ඉදිරියේදී අපට යම් කලා නිර්මාණයන් දැකගත හැකිද……?

ඔව්. එහෙම දෙයක් ගැන සිතේ බලාපොරොත්තුවක් තියෙනවා . මේ දිනවල මගේ ස්වයං චරිතාපදානය ලියමිනුයි ඉන්නේ

පසුගිය සමයේ අවගමනයට ලක්ව තිබූ වේදිකා නාට්‍ය කලාවේ දැන් යම් පිබිදීමක් ඇතිව තිබෙනවා . ඒ පිළිබඳ ඔබේ දැක්ම කෙසේද…..?

ඔබ හරි. සමාජ සන්දර්භය තුළ ඇතිවන කැලඹීම් නාට්‍යකරුවන්ට බලපානවා කියන දෙය යථාර්ථයක්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හා කැලණිය විශ්වවිද්‍යාලය ඇසුරේ නාට්‍ය හා රංගකලා කටයුතු සතුටුදායක ලෙස සිදුවෙනවා . ස්වාධීන නාට්‍යවේදීන් අතර ද කෘතහස්ත නිර්මාණ බිහිවන බව නාට්‍ය උළෙලවලදී අප දකිනවා

කලාවට පිවිසෙන නවකයන්ට ජ්‍යෙෂ්ඨයකු ලෙස ඔබට දියහැකි උපදෙසක් වේ නම්…..?

කලාව හැකිතාක් ප්‍රගුණ කළයුතුයි. ක්‍රිස්තු පූර්ව අවධියේ සිය ගෝලයන්ට සොක්‍රටීස් දාර්ශනිකයා පැවැසුවේද එයයි.

කලාව තුළ ඔබ ගුරුකොටගත් පිරිස හෝ ඔබේ නිර්මාණයන්ට ආභාසය ලද පිරිසක් වේනම් ඒ ගැන පැහැදිලි කළොත් ….?

විශේෂයෙන් රූපණ කාර්යයයේදී මා ආභාසය ලද මට වඩා ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගෙන් බොහෝදෙනෙක් සාහිත්‍යවේදීන්. ඒ හැරුණුකොට නාට්‍යවේදීන් කියා පොදුවේ කිවහැකියි. සංගීත ක්ෂේත්‍රයේ අමරදේව, සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන් වගේම වත්මන් තරුණ ප්‍රශස්ත ගායන ශිල්පීන්, ශිල්පිනියන්ගේ ගායනා ද අපගේ අස්ථානය සම්බන්ධයෙන් තක්සේරු කර බැලීමට උදව් වන බව කිවහැකියි.

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන යම් ඉඟියක් දුන්නොත් …..?

මගේ ස්වයං චරිතාපදානයට කාලය වැයකරනවා. කේවල ගායන ප්‍රසංගයක් පැවැත්වීමේ අදහසක් ද තිබෙනවා

පවුලේ විස්තර කීවොත් සහ ඔවුන්ගෙන් ඔබේ නිර්මාණ කලා දිවියට ලැබෙන සහය සිහිකළොත් …..?

මෙහිදී මුලින්ම මගේ ප්‍රිය බිරිඳ මතක් කළයුතුයි. ඇය විනීතා. මා වෘත්තිය කලා කටයුතුවලට නිවෙසින් පිටත ගතකරද්දී මගේ පුතා මනුජ සහ දියණිය පබසරාගේ අධ්‍යයන කටයුතුවල ජයග්‍රහණ මුළුමනින්ම සිදුවුණේ ඇගේ කැපවීම නිසයි. අපට ලැබෙන තත්ත්වයන් යටතේ සීරුවෙන් ජීවිතය ගෙනයාම කළේ ඇයයි. මම දැන් අත්තා කෙනෙක්. දරු දෙදෙනාත් මුහුකුරා ගිය තාරුණ්‍යයේ වෙසෙන්නේ. ඔවුන් මගේ කටයුතු දෙස අවධානයෙන් හිඳීමින් දෙන සහයෝගය මට විශාල ශක්තියක්.

 

[email protected]

 

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT