නිවස සංවාද ‘අම්මා කියන්නේ මම බඩේ ඉද්දිත් අංගම්පොර සටන්වලින් පයින් ගැහුවා කියලා’

‘අම්මා කියන්නේ මම බඩේ ඉද්දිත් අංගම්පොර සටන්වලින් පයින් ගැහුවා කියලා’

- ළමා රංගන ශිල්පී දමිතු ඩියුක් ප්‍රනාන්දු

by Thanushika
May 16, 2024 12:30 am 0 comment

ඉකුත්දා ඉන්දියාවේ පැවැති Silver Screen අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී “Our Love Is Forever” කෙටි චිත්‍රපටයේ රංගනය උදෙසා ‘හොඳම ළමා නළුවා’ සම්මානය දිනාගත් දමිතු ඩියුක් ප්‍රනාන්දු රංගනය මෙන්ම අංගම්පොර සටන් කලාව, නිවේදනය, හඬකැවීම් ආදී අංශයන්ගෙන් ද දක්ෂතා පෙන්වුම් කරන්නෙකි. ඔහුගේ අන්තර්ජාතික ජයග්‍රහණය පිළිබඳවත් සිය කලා නිර්මාණ දිවිය පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් සරසවිය හා ඔහු මෙසේ එක්විය.

ඉකුත්දා ලොව හොඳම ළමා නළුවා සම්මානය ඔබට හිමිවුණා. ඒ පිළිබඳ සඳහන් කළොත් ….?

ඉන්දියාවේ පැවැති Silver Screen  අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ “Our Love is Forever”  කෙටි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මට හොඳම ළමා නළුවා සම්මානය හිමිවුණේ

එකී සම්මානයට නිර්දේශ වූ “Our Love is Forever ” චිත්‍රපටයට සම්බන්ධ වූ ආකාරය සිහිපත් කරනවා නම් …..?

ඒ දවස්වල මම රඟපෑ ටෙලිනාට්‍ය, වෙළෙඳ දැන්වීම් එහෙම නරඹලා තමයි “Our Love is Forever “,, චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ධනුෂ ප්‍රනාන්දු මාමා මාව මාව බලන්න ආවේ. එහිදී ඔහු මගෙන් ඇහුවා මේ චිත්‍රපටයේ රඟපාන්න කැමැති ද කියලා. මමත් කැමැත්ත පළකරලා රූගතකිරීම්වලට සහභාගි වුණා.

“Our Love is Forever “, කෙටි චිත්‍රපටයේ අන්තර්ගතය සහ ඔබේ චරිතය පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත් සහ එකී චරිතය නිරූපණයට සූදානම් වූ ආකාරය සිහිකළොත් …..?

ඒ කතාවේ හැටියට මම මියගිහින්..මම මියගිය නිසා අපේ අම්මාත් මානසිකව වැටිලා ඇයත් මියයනවා. අපි දෙන්නම මියයෑමේ දුකට තාත්තාත් මානසිකව කඩාවැටීමකට ලක්වෙලා ඔහුට මැවී පේන්න ගන්නවා මමයි අම්මයි ජීවතුන් අතර්ස් ඉන්නවා වගේ. එයා අපිට සලකන විදිහ පේන්න ගන්නවා. ඒ තාත්තාගේ හැසිරීම් අනෙක් මිනිස්සු දැකලා ඔහුව පොලිසියට රැගෙන යනවා. මිනිස් මානසිකත්වය, මනස පිළිබඳ කියැවෙන කතා පුවතක් තමයි මේ කෙටි චිත්‍රපටයට පාදකවෙන්නේ. මනස පිළිබඳ යම් කියවීමක් මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ධනූෂ ප්‍රනාන්දු මාමා මාව මුණගැහිලා පිටපත ලබාදුන්නට පස්සේ ඒ චරිතයට මම හැඩගැසුණා..

එහි රූගතකිරීම් සිදුකළ සමය පිළිබඳවත් අධ්‍යක්ෂවරයා ඇතුළු නළු නිළි, කාර්මික පිරිසගෙන් ඔබේ චරිතය සංවර්ධනයට ලැබුණු සහය ගැන කීවොත්…..?

මම හැමතිස්සේම හැමෝමත් එක්ක ඉතා සුහදව වැඩ කරනවා. ඒවගේම අනෙක් පිරිසගෙන් ගොඩාක් දේවල් ඉගෙනගන්නවා. අධ්‍යක්ෂ, නළුනිළියන්, කාර්මික පිරිස ඇතුළු අය සමඟ මම හොඳීන් වැඩකරගෙන ඉන්නවා.එයාලා මට මේ චරිතය නිරූපණයට උදව් කළා

මේ දිනවල දායක වන ටෙලි-සිනමා නිර්මාණ මොනවාද…..?

මේ දිනවල රූගතකිරීම් තරමක් අවසන් කළ “ධවල දිගිරාව, දුම්කොළ මහත්තයා, වෛතාල්” ටෙලිනාට්‍යවල රඟපානවා. මේ ටෙලිනාට්‍ය රූපවාහිනී නාළිකාවකට භාරදුන් පසු ඉතිරි රූගතකිරීම් ආරම්භ කරනවා. ඊට අමතරව පෝය ටෙලිනාට්‍ය, ටෙලි-සිනමා සිත්තම් ආදියේත් රඟපානවා

මුලින්ම කැමරාවකට මුහුණදුන් මොහොත කොයිවගේ අත්දැකීමක් වුණා ද…..?

මම මුලින්ම කැමරාවක් ඉදිරියේ රඟපාද්දි මට අවුරුදු 03යි. ඒ ගීතයක විෂුවල් එකක රඟපෑවේ. එතකොට මට ලොකු දැනීමක් තිබුණේ නැහැ මට මොනවගේ හැඟීමක් ද කැමරාව ඉදිරියේ දැනෙන්නේ කියලා. අවසානයේ මම වැඩේ හොඳට කරගෙන ගියා.

රංගනයට ආභාසය ලැබුණේ කෙසේද….? රංගනය පිළිබඳ යම් හැදෑරීමක් කර තිබේද….?

එහිදී මගේ තාත්තාගෙන් තමයි ගොඩක්ම ආභාසය ලැබුණේ. ඔහු තමයි නාට්‍ය සහ රංගන කලාව ගැන මට බොහෝදේ ඉගැන්වුයේ. තාත්තාට ඒ පිළිබඳ අත්දැකීම් තිබෙනවා. ඊට අමතරව පෞද්ගලික ආයතන දෙකකින් රංගනය පිළිබඳ හැදෑරුවා.මගේ පාසල මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය. පාසලේ තිබෙන නාට්‍ය සංගමයේ මමත් නාට්‍යකරුවෙක් ලෙස ඉන්නවා. දැනට වේදිකා නාට්‍ය 04කත් රඟපා තියෙනවා

ඔබ තුළ සිටින ළමා නිවේදකයා අවදි කළොත්….?

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයන්හි ප්‍රාථමික අංශය සංවිධානය කළ කලා උළෙලේදී නිවේදනය වෙනුවෙන් මම හොඳම නිවේදකයා ලෙස පළමුවැනි ස්ථානය ගත්තා. ඒවගේම කනිෂ්ඨ අංශයේත් හොඳම නිවේදකයා ලෙස නැවතත් පළමු ස්ථානය හිමිවුණා. එසේම අපේ වේල්ස් කුමාර විද්‍යාලයේ පැවැති කලා උළෙලේදී හොඳම කථිකයා, හොඳම නිවේදකයා , හොඳම නළුවා වශයෙන් මම තේරුණා. මොරටුව විශ්වවිද්‍යාලය සහ හෙළකුරු සංවිධානයෙන් පවත්වපු සමස්ත ලංකා කථික තරගාවලියේ මහේෂ් අබේවික්‍රම අනුස්මරණ විවාද තරගාවලියේ දක්ෂතම කථිකයා සමස්ත ලංකා පළමුවැනියා බවට පත්වුණා

නිවේදනයට යොමුවෙන්න අවස්ථාව ලැබුණේ කෙසේද……?

මම ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායක වෙලා සිටිද්දී උත්සවයක කතාවක් පැවැත්වුවා. ඒක දැකපු අපේ පාසලේ විදුහල්පතිතුමා මාව මාධ්‍ය අංශයට යොමුකළා. එතැනින් තමයි මම මාධ්‍ය තරගවලින් ජයග්‍රහණය කළේ. ඒ වෙනුවෙන් විදුහල්පතිතුමා වන හසිත කේසර වෙත්තිමුණි මහතාට විශේෂ ස්තුතියක් කරනවා.

රංගනය-නිවේදනයට අමතරව ඔබ සටන් කලාව ද හදාරා තිබෙනවා. ඔබේ පියා ද දක්ෂ සටන් ශිල්පියෙක්. පියාගේ ආභාසය ඔබටත් බලපාන්න ඇති. ඔබ සටන් කලාව ප්‍රගුණ කළ ආකාරය පැහැදිලි කළොත් ……?

මට තේරෙන වයසේදී තාත්තා සටන් කරනවා දැකලා තිබෙනවා. ඒත් එක්කම සටන් අංශයට මගේ ආසාවකුත් තිබ්බ නිසා මම සටන් කලාව තාත්තාගෙන් ඉගෙනගත්තා. තවමත් ඉගෙනගන්නවා. සටන් සංදර්ශන කිහිපයකටත් ඉදිරිපත් වුණා. අම්මා නම් කියන්නේ මම බඩේ ඉද්දීත් අංගම්පොර සටන් කරනවා කියලා. බඩේ ඉද්දීත් අංගම්පොරවලින් පයින් ගහනවා කියලා අම්මා කියනවා.

ඔබ තුළ සැඟවුණු නර්තන ශිල්පියෙක් ද සිටිනවා …..?

මට නර්තන හැකියාවක් තිබෙනවා. පාසලේ විවිධ ප්‍රසංගවලදී නර්තන ඉදිරිපත් කළා. නර්තන හැකියාවට මම වැඩි අවධානයක් දුන්නේ නැහැ. මට නර්තනයට අවස්ථාව ආවොත් ආසාවෙන් කරනවා

මෙතෙක් රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ ගැන සිහිපත් කළොත් …..?

හිරු නාළිකාව නිෂ්පාදනය කළ “අකුරු මැකී නෑ” ටෙලිනාට්‍යයේ “අභිෂේක් (අභී)” නමැති ප්‍රධාන චරිතය කළා. “මහ පොළොව” ටෙලිනාට්‍යයේ ‘”සිරිනා”ලෙසත් “දුම්කොළ මහත්තයා “ටෙලිනාට්‍යයේ “උක්කුං” ලෙසත් “වෛතාල්” ටෙලිනාට්‍යයේ “අකිල” ලෙසත් “ළංවී” ටෙලිනාට්‍යයේ “චූටි චිකන්” ලෙසත් “ධවල දිගිරාව” ටෙලිනාට්‍යයේ ගොළු චරිතයක් වන “ගංගු” ලෙසත් “කම්බිලි” චිත්‍රපටයේ සුළු කොටසකටත් රංගනයෙන් දායක වුණා. ඊට අමතරව “උන්මත්තකයෝ, පරිත්‍යාග, දිට්ඨධම්ම” වැනි “සසර සෙවණැලි” පෝය ටෙලිනාට්‍ය රැසකටම දායක වුණා. “මවු පිය සෙනෙහස, පිය සෙනෙහස, මගේ අයියා, අප්පච්චි, පාට සොයන සමනල්ලු , රැහැන් , මතක වැස්ස, ඉරි තැළුණු මල්පෙති” වැනි ටෙලි ෆිල්ම්ස්වලටත් රංගනයෙන් දායකවුණා

රංගනයෙන් දායක වූ නිර්මාණ අතර සුවිශේෂී නිර්මාණ තිබේ ද…..? එසේනම් ඒවා සුවිශේෂී වීමට හේතු මොනවාද …….?

මම රඟපෑ සුවිශේෂීම නිර්මාණය තමයි “අකුරු මැකී නෑ” ටෙලිනාට්‍යය . එය කොටස් 208යි. එහි “අභී”නමැති ප්‍රධාන චරිතය මම කළේ. ඒ රංගනය තුළින් මට ළමා පිරිසගේ වගේම වැඩිහිටියන්ගේත් සිත් තුළට යන්නත් හැකියාව ලැබුණා . එය අධ්‍යක්ෂණය කළේ කසුන් තරින්ද මාමා. ඒවගේම සුමිත් රත්නායක මාමා අධ්‍යක්ෂණය කළ “මහ පොළොව” ටෙලිනාට්‍යයේ “සිරිනා” චරිතයත් මගේ රංගන ජීවිතයේ විශිෂ්ටතම චරිතයක් .

වෙළෙඳ දැන්වීම් සඳහාත් දායක වී තිබෙනවා නේද…….?

ඔව්. මම වෙළෙඳ දැන්වීම් 15කට වගේ රංගනයෙන් දායකත්වය ලබාදුන්නා.

ඔබේ කලා දිවියට පාසලින් ලැබෙන අනුග්‍රහය කොයිවගේ ද ……?

මගේ පාසලින් හොඳ සහයක් මට ලැබෙනවා. මට විවිධ චරිත රඟපෑමේදී කොණ්ඩය වවන්න සිදුවෙනවා. එහිදී මගේ පාසල වන මොරටුව වේල්ස් කුමාර විදුහලේ විදුහල්පතිතුමා මට විශේෂ ලිඛිත අවසරයක් දී තිබෙනවා කොණ්ඩය වවන්න. ඒ අවසරය මට ඉතා වටිනවා.. පාසල් මට්ටමින් තිබෙන නාට්‍ය තරගාවලීන්, නිවේදන තරගාවලීන් සඳහා මාව පාසලින් රැගෙන යනවා

සටන් කලාව තුළ අංගම්පොර ශිල්පය හැදෑරූ ඔබ ඒ අංශයෙන් ඉදිරි බලාපොරොත්තු මොනවාද …..?

අංගම්පොර සටන් ශිල්පය හැදෑරීමෙන් මම මූලිකව බලාපොරොත්තු වෙන්නේ මගේ ශරීර සුවතාවයි ආත්ම ආරක්ෂාවයි ප්‍රගුණ කරගන්න. ළමා රංගන ශිල්පියෙක් ලෙස සටන් කලාව හැදෑරීම මට අමතර වාසියක් වෙනවා

රංගනය – නිවේදනය – සටන් කලාව – නර්තනය ආදී අංශයන්ගෙන් විශේෂ කැමැත්තක් දක්වන අංශයක් තිබේද…..?

මම මේ සියලු අංශවලට කැමැතියි.

ඔබ ළමා හඬකැවීම් ශිල්පියෙක් ද වෙනවා…….?

ඔව්. හිරු නාළිකාවේ විකාශය වීමට නියමිත කාටුන් වැඩසටහනක ප්‍රධාන චරිතයකට හඬ කවනවා. සුරංග මාමා තමයි එයට උදව් කරන්නේ. එහි හඬින් තමයි සියල්ල කරන්නේ…එය සාමාන්‍ය දෙයක් නෙවෙයි. සෑම හැඟීමක්ම , සෑම වචනයක්ම හඬින් දෙන්න ඕනේ. සෑම තැනකදීම හඬයි මූලික වෙන්නේ. එහිදී බොහෝ දේ ඉගෙනගන්න තිබෙනවා

දමිතු ඩියුක් ප්‍රනාන්දු නමැති ගායකයකු අපට අනාගතයේදි දැකගන්න ලැබේවි ද…..?

ගායකයකු කෙසේවෙතත් දමිතු ඩියුක් නමැති වාදකයෙක් නම් අනාගතයේදී සිටින්න පුළුවන්. මම කාලයක් තිස්සේ දිනුෂ් කරුණාරත්න සර් ළඟ ගිටාර් වාදනය පුහුණුවෙනවා.

ඉදිරීයේදී ප්‍රේක්ෂකයාට් ඔබේ රංගනයන් දැකගත හැකි ටෙලිනාට්‍ය-සිනමා නිර්මාණ පිළිබඳ යම් ඉඟියක් දුන්නොත් …?

“ධවල දිගිරාව, දුම්කොළ මහත්තයා, වෛතාල්” විකාශයට සූදානම්. හඬකවමින් සිටින කාටුන් නිර්මාණයත් විකාශයට නියමිතයි.. “කම්බිලි” චිත්‍රපටයත් තිරගතවීමට නියමිතයි.

මෙරට සිනමාව-කලාව පිළිබඳ ඔබට දැනෙන හැඟීම කවරාකාරද ……?

ලංකාව කුඩා රටක්. කලාකරුවන්ට කලා ක්ෂේත්‍රයේ යාමට තිබෙන ඉඩකඩ ප්‍රමාණය සීමිතයි. ඒ නිසා එය අනෙකාගේ රසාස්වාදනයට සහ තමන්ගේ ආත්මතෘප්තියටයි කරන්න පුළුවන් ලංකාව ඇතුළේ. එහෙත් කලාව වෘත්තියක් වශයෙන් කරන පිරිසකුත් ඉන්නවා. මම නම් කැමැති අනෙකාගේ රසාස්වාදනයට හා තමන්ගේ ආත්මතෘප්තියට රංගනය සිදුකරන්න. ඒවගේම මම නම් දකින්නේ කලා කටයුතු කරන අතරේ මගේ ප්‍රධානම දෙය ලෙස අධ්‍යාපනයයි..මගේ අම්මා, තාත්තා කියන්නේත් පළමු තැන අධ්‍යාපනය කියලයි.

ඔබේ පවුලේ විස්තර සහ කලා කටයුතු සඳහා පවුලේ අයගෙන් ලැබෙන සහය සිහිපත් කළොත් …..?

මගේ පවුලේ 04දෙනෙක් ඉන්නවා. අම්මා, තාත්තා, අයියා සහ මම. අම්මා රදීෂා ප්‍රනාන්දු. ඇය ගෘහණියක්. අම්මා තමයි මාව කලා කටයුතුවලට එක්කගෙනත් යන්නේ. තාත්තා සඳුන් ප්‍රනාන්දු. ඔහු ඇඟලුම් මෝස්තර නිර්මාණකරුවෙක්. කලා කටයුතු ගැන මට උගන්වන්නේ තාත්තා. ඔහු කථික නාට්‍ය, නිවේදන යන අංශ සියල්ල උගන්වනවා. අයියා සමිතු ප්‍රනාන්දු. ඔහු තවම ඉගෙනගන්නවා. එයා තමයි 06 වසරේදී ගෝල්ඩ් මෙඩ්ල් එකක් ලංකාවට ගෙනා කෙනා. කලාවට අයියා එතරම් කැමැත්තක් නැහැ. ඔහු විද්‍යාව අංශයෙන් ඉගෙනීමටයි වැඩියෙන් යොමුවී සිටින්නේ. අයියා ඔලිම්පියාඩ් කරනවා. අයියා විද්‍යාව අංශයේ දේවල් මට කියාදෙනවා. මගේ පවුලේ අය මගේ ගමනට විශාල සහයෝගයක් දෙනවා. අනෙක් පවුල්වලට වඩා මට මගේ පවුල හොඳීන් දැනෙනවා.

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT