ආදරයේ අමිහිරි කතාව අක්කර පහ

ජුනි 6, 2019

කුමාරි, සඳවතී හා තෙරේසා, එකිනෙකට වෙනස් වූ තිදෙනෙකි. ඒ චරිත ත්‍රීත්වය තුළ මතුපිටින් පෙනෙන දෙයට වඩා බොහෝ දෑ අප දකින්නේ ඇතුළන්තයේය. හදවත තුළ හිර කර ගත් බොහෝ දේවල් ඔවුන් එළියට දමන්නේ නැත. ඒවා අපට දැනෙන්නේ ඔවුන්ගේ මුහුණු වල නැගෙන සිනාවන් තුළිනි.

කුමාරි සියලු දෙයම දරා ගෙන, සිටින බවක් අපට පෙනෙන්නේ ඇයගේ අව්‍යජ්‍ය සිනාව තුළිනි. ඇයට දුක් කම්කටුලු, පරාජයන්, දරිද්‍රතාවයන්, කොතෙක් පැමිණියද, එය දරාගෙන අර අව්‍යාජ්‍ය සිනා මුසු මුහුනින්ම සිටී.

එහෙත් සඳවතී, එසේ නොව, කුමාරිට මෙන් අර හැමදේම ඇයට දරාගත හැකි වුවද, ප්‍රේම වියෝගය නම් උහුලන්නට නොහැකි විය.

තෙරේසා මතු පිටින් සිනාසුණද, උසුළු විසුළු කලද, හදවත ඇතුළින් හඬන බවක් දැනෙයි. ඇගේ සිනාව තුළින් කියා පෑවේ, ඇතුළාන්තයේ ඇති ශෝකී බවකි. එහී තිබුනේ අතෘප්තිබවකි.

කුමාරි හා සඳවතී, ඉපදී, හැඳී වැඩුනේ ගම්බද පරිසරයක් තුලය. එහෙයින් ඔවුන් ඉබේටම විනයානුකූල විය. ජීවිතයේ බලාපොරොත්තුන් අවමය. ඔවුනගේ ජීවිත එක රාමුවක් තුලකට සීමා වී තිබුණි.

නමුත් තෙරේසා හැදුණේ, වැඩුණේ නගරයේය. ඇයගේ හැසිරීම් රටාවන් සංකරය. එහී විනයක් තිබුනේ නැත. ඇය විසේකාර විය. එමෙන්ම කඩිසරය, චතුරය, දඟකාරය.

කුමාරිට ආදරය එක් බලාපොරොත්තුවක් පමණි. පවුලේ දරිද්‍රතාවය විසින් ඇයගේ ආදර බලාපොරොත්තුන් ගිලගෙන තිබුණි. එහෙයින් ඇය ඒ නුහුරු, එහෙත් මිහිරි ආදරයට පිපෙන්නට ඉඩ නොදුණි. අන් අතකට ඇයට ආදරයක් ඇතිකර ගැන්මට කෙනෙක් සිටියේද නැත. ආදරය මෙසේ වනු ඇතැයි ඇතැම් විට ඇය සිතින් ස්පර්ශ කරන්නට ඇත.

එහෙත් සඳවතීට නම් ආදරය යනු අහස තරම්ය. අහසේ සීමාවක් නොමැති, සේ සඳවතීගේ ආදරයේත් සීමාවක් නොවීය. සඳවතීලගේ, කුමාරිලගේ හදවත් තුළ පිළිසිඳුනුයේ හරිම පිරිසිදුවූත්, සුන්දර වූත් අව්‍යාජ්‍ය ආදරයයි. ඒවා වලට සියුම් හෝ පළිදුවක් ඇතිවූවහොත්, ඔවුනට එය කිසිසේත්ම දරා ගත නොහැකි වේ.

එහෙත් තෙරේසාගේ ආදරය එසේ නොවේ. එය රසයට මුසුවී ඉපදෙන ආදරයන්ය. රසය විදූ පසු එය අත්හැර තවත් රසයක් කරා යනු ඇත. තෙරේසාගේ ආදරය පිදෙන්නේ, සල්ලිකාර, කඩවසම් අයටය. එහීද වැරද්දක් නැත. තෙරේසලා ජීවත් වූයේ තම නිවසේ කාමර බෝඩිංකරුවන්ට දීමෙනි. ඒ අනුව තෙරේසලාගේ ආර්ථීකත්වය සිතා ගත හැක. එහෙයින් තෙරේසා සල්ලි තිබෙන අත්තක් අල්ලන්නට යෑම වැරදි නොවේ. අන් අතකට, තෙරේසා රූමත්ය, හැඩකාරය, දඟකාරය. එවන් කෙනෙක් කඩවසම් පුද්ගලයෙක් තේරීම ගැනද දොසක් කීමට නොහැක. නමුත් ප්‍රශ්නෙ තිබෙන්නේ, තෙරේසා පෙම්වතුන් මාරු කරනුයේ ඇඳුම් මාරු කරනවාක් බඳු නිසාය.

කුමාරි, සඳලතා හා තෙරේසා, අපට හමුවන්නේ මඩවල එස්.රත්නායකගේ 'අක්කර පහ' කෘතිය තුළිනි. මේ තිදෙනාව අප ජීවමානව දකින්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ "අක්කර පහ" චිත්‍රපටය හරහාය. රත්නායකගේ පොත තුළ දැනෙනවාට වඩා ලෙස්ටර් ජේම්ස්ගේ චිත්‍රපටය තුළින් ⁣කුමාරි, සඳවතී, හා තෙරේසා අපට දැනෙන්නට විය. කුමාරි හා සඳවතී එකිනෙකා හඳුනාගෙන සිටියද, ඔවුන් දෙදෙනාම තෙරේසාව හඳුනන්නේ නැත. එහෙත් රත්නායකගේ මුළු කෘතියම උඩුකුරු කරවන්නට තෙරේසා සමත් විය.

විශාල ව්‍යවසනයක් කුමාරිගේ පවුලට සිදුවූයේ තෙරේසා නිසාය. සඳවතීගේ අහස සේ අසීමාන්ත වූ ආදරය ඝන කළු වලාවකින් වැසුනේද, ඇයට බොහෝ කලක් ආදරයේ විප්පයෝගය තුළින් කඳුළු බොන්නට සිදුවූයේද, තෙරේසා නිසාය. කොටින්ම, කුමාරිලාගේ පවුලේ සැමට, එතෙක් තමන් ජීවීතය ගෙවූ ඒ සුන්ද⁣ර ගම්මානයෙන් පිටවී දුෂ්කර පලාතක රජයෙන් දෙන ඉඩමකට යන්නට සිදුවූයෙත් තෙරේසා නිසාය. මෙලෙස ව්‍යවසනයක් සිදුවී ඇති බවක් හෝ තෙරේසා දැන සිටියේ නැත. එලෙසම තෙරේසා වැන්නෙක් නිසා මෙවැනි ව්‍යවසනයක් සිදුවූ බවක් කුමාරි හා, ඇයගේ පියා හෝ මව වත්, දැන සිටියේ නැත. සඳලතා වත් දැන සිටියේ නැත.

⁣සේන මැදවත්ත ග්‍රාමිය පවුලක සමාජීකයෙක් විය. අම්මා ,තාත්තා, සහෝදරිය සමඟ ඔවුන් සරල ජීවිතයක් ගත කළහ. සේනගෙ පෙම්වතිය සඳවති, තම ඇවැස්ස නෑනාය. ඉස්සර නවකථාවල චරිත හැදෙන්නේ ඒ විදියටය. ගම්වල ආදරය ඇති වෙන්නෙත් ඇවැස්ස මස්සිනාලා, නෑනලා අතරය. හැබැයි ඒවා ටිකක් බෝරිංය. මොකද ඒ ගොල්ලො ලෝකෙත් එක්ක ඉදිරියට යන්නෙ නැත.

සේන තරමක් ඕලාරික චරිතයක් විය. කොහොමත් බෝරිංය. ලෙස්ටර්ට 'ඩිවෙලප්' කරන්න වුනේ මේ බෝරිං චරිතයය. සේනත් හරියට ගොළු හදවතේ සුගත් වගේය. ඇතැම් විට ලෙස්ටර් 'අක්කර පහ' තෝර ගන්නට ඇත්තේ මේ ඕලාරික චරිතය නිසා වන්නට ඇත.

සුගත් වගේ චරිතයක් ගෙනා ලෙස්ටර් ආයෙත් එයටම සමාන සේන වැනි චරිතයක් ගෙන ඒමත් ප්‍රේක්ෂකයන්ට බෝරිං විය . 'අක්කර පහ' වැඩි අවධානයක් දිනාගැන්මට නොහැකි වීම එය හේතුවක් විය හැකිය.

සේන ගමේ ඉස්කොලෙන් නගරයේ , 'හයර්ස්ටඩිස්"වලට කොළඹ කොලෙජ් එකකට දැමීමට බණ්ඩා මැදවත්ත නොහොත් සේනගේ පියා උත්සුක වන්නේ කවදා හෝ තම පවුල ගොඩ දාන්නේ සේන යැයි සිතාය. සේනව ලොකු කොලේජියකට දැමීමට තම ආර්ථීකය ශක්තිමත් නොවුනද, ඔහුට ඉහළට ඉගැන්වීම තම යුතුකම හෙයින් ඔහු තමන් සිටිනා ගේ, ඉඩම උගස් කළේ සියල්ලන්ගේම යහපත තකාය. ඒ, සේන ඉහළටම ඉගෙන ගෙන තම මුළු පවුලම ගොඩ දාගනිවී යන අපේක්ෂාවෙනි.

ගමෙි ඉස්කෝලෙට ගිය සේන, කොළඹ කොලීජියකට යෑම හරියට අගුණකොළපැලැස්සේ සිට ලන්ඩන් ගිය වගේය. ගමක සිට නගරයක ට අනුගතවීමේ අපහසුව සේනට තිබුණි. එයට සේනගේ ඕලාරීක කමත් අවාසියකට සිටියේය.

සේනව මුලින් මුලින් හැම තැනින්ම කොන් විය. සේන නැවති සිටි නිවසේ බෝඩිම් ඇන්ටිගේ දියණියන් වූ තෙරේසා හා ලීනා ද සේනට සැලකුවේ ගමෙන් ආ ගොඩයෙක් ලෙසය.

එක් දිනක් කොලීජියේ සෙල්ලම් කරන වෙලාවක, සේන සිටියේ පිට්ටනිය කෙළවර පොතක් බලමින්ය. සේනගේ පන්ති සඟයන් වූ සමරේ හා ගුණේ පිට්ටනියේ රගර් ක්‍රීඩාවේ යෙදෙමින් සිටියහ. එක්වරම ඔවුන් සෙල්ලම් කරමින් සිටි රගර් බෝලය සේන ලගට පැමිණීය. සේන සිතුවේ එය ෆුට් බෝලයක් කියාය. සේන එයට පයින් ගැසීය. සමරේ, හා ගුණේ එයට කොක්කක් දා ගති.

"ඇයි හිතුවද මේක ෆුට් බෝලයක් කියලා කකුලෙන් ගහන්න" ගුණේ සේනට 'කෝචොක්' කළේය. සමරෙද පැමිණ සේනට තර්ජනය කළද, පසුව ඔවුන් සියල්ලම හිතවත් විය.

සේනට නගරයේ ජීවිතයට අනුගත වීමට නොහැකි විය. ඔහුට නිතරම ඔහුගේ දුප්පත් කම හරහට සිටියේය. මුලින් ලීනා හා තෙරේසා සේනට පහත් ලෙස සැලකුවද, පසුව ඔවුන් හිතවත් විය. ඒ අතරට, තෙරේසා හා ලීනාගේ කිට්ටුම මිතුරිය සුජාතාද එක්විය.

දිනක් ඔවුන් සාප්පු සවාරියක යන විට, ඔවුන් සමඟ යෑමට සේනටද ඇරයුම් කළහ. සාප්පුවට ගොස් තෙරේසා සුවඳ විලවුන් බෝතලයක් ගැනීමට ගිය විට, එය තරමක් මිල අධික විය. එතරම් මුදලක් තමා ලඟ නැතැයි සාප්පු සේවකයාට කී තෙරේසා සේනටද හින්ට් එකක් ගැසුවේ ' අපෝ අපි හරි එක්කෙනෙක් එක්කනෙ සාප්පු ආවේ. අපිට කිසිම දෙයක් අරන් දුන්නෙ නැහැනේ" කියමිනි. තමාගේ දුප්පත් කම යලිත් තමාට බැට දෙනවා නොවේදැයි ඔහුට සිතුණි.

ඊළඟ නිවාඩු දිනයන් හී සේන ගමට ගොස් තම නිවැසියන්ට කීවේ, තමාට විභාගයක් තිබෙන බවත්, එයට අත්‍යාවශ්‍ය පොත් වගයක් ගන්නට මුදල් උවමනා බවක්ය.එහෙත් නිවැසියන් ළඟ එවැන් මුදලක් තිබුණේ නැත. නමුත් කුමාරි ළඟ කැටයක් තිබුණි. ඇය ඇයට ලැබෙන ශත පහ, දහය, විසිපහ කාසී එම කැටයට එකතු කර තිබුණේ, කවදා හෝ තමා විවාහ වන දාකට ගැනීමටය. එහෙත් ඇය තම මල්ලී වූ සේනගේ පොත් ගැනීම සදහා එම කැටය බින්දේය. එය චිත්‍රපටයේ ඉතාමත් සංවේදි වූ ජවනිකාවක් විය. කුමාරි එම කාසි සියල්ලම එකතු කර සේනට දුනි. සේන කෙළින්ම ⁣ගියේ එදා තෙරේ⁣සා සුවඳ විලවුන් බෝතලයක් ගැනීමට මිල ඇසූ සාප්පුවටය. ඔහු ඒ විලවුන් බෝතලය ගත්තේ අර කුමාරි කැටය කඩා දුන් සිල්ලර කාසි වලින්ය. ඔහු එය කෙළින්ම ගොස් දුන්නේ තෙරේසාටය.

ගමේ හැදුනු සේනට, තම කුලෑටි බවෙන් කෙසේ හෝ මිදෙන්නට උවමනා විය. ඔහුට ගමේ පෙම්වතිය වූ සඳවතීගේ ආදරය බෝරිං විය. ඔහු එදා ගමට ගිය සැනින්ම නැවත බෝඩිමට පැමිණියේ සඳවතී සමඟ හවසට පන්සල් යාමට ඇයට පොරොන්දු වූ පසුවය.

සඳවතීවෙලාසනින්ම කුමාරිගේ නිවසට පැමිණියේ සේන සමඟ එක්වී පන්සල් යාමටය. එහෙත් ඒ වන විට සේන තම බෝඩිමට ගොස් හමාරය. එය හරියට ඔහු සඳවතීට අතුල් පහරක් දුන්නාක් බඳුය.

ඇත්ත වශයෙන්ම ඔහු අතුල් පහර දුන්නේ සඳවතීට නොව, තමා ගමතුළ එතෙක් ගත කල සුන්දර ජීවිතයටය. දැන් සේනට එය පෙනෙනුයේ අසුන්දර ලෙසයටය. නගරයේ ජීවිතය මොන තරම් විනෝදද? තෙරේසා මොන තරම් හැඩද,? මොන තරම් සමාජශීලීද. ඇයට ඕනෑම තැනක ඕනෑම කෙනෙක් සමඟ ඇසුරු කිරීමට හැක. තෙරේසා සමඟ සසඳන විට සඳවතීට කළ හැක්කෙ මොනවාද?. ඇය නිකංම නිකං මැටි පිඩකී. එහෙයින් තමාට සඳවතී වැනි කෙනෙක් ගැළපෙන්නේ නැත. තමාට ගැළපෙන්නේ තෙරේසා වගේ දඟකාර ,හැඩකාර, නවීන පන්නයට ගැලපෙන යුවතියකි. එහෙයින් ඔහු සඳවතීව සිතෙන් ඈත් කර, තෙරේසාව සිත තුළට තුරුල් කර ගතී.

සේනව වැටෙන්න යන අමාරුව සමරේ තේරුම් ගතී. තෙරේසා යනු කව්දැයි හොඳාකාරව දන්නේ සමෙර්ය. ඒ සමරේද තෙරේසාගේ එක් පෙම්වතෙක් වී සිටි නිසාය. එහෙත් එය චිත්‍රපටය තුළ හඟවන්නේ වචන කීපයකිනි. ඒ සමරේ පාසැලින් අස්වී වෙනස් පාසැලකට යන විටදීය. එය ප්‍රෙක්ෂකයාට හැඟුණද සේනට වැටහෙන්නේ නැත. ඒ , සේන තෙරේසාගේ ආදරයට අන්ධ වී සිටි නිසාය.

මඩවල එස් රත්නායක ට අවශ්‍ය වී තිබුණේ, ගමෙන් නගරයට පැමිණෙන අහිංසක තරුණයන් නාගරීක තරුණියන් විසින් බොරු ආදරයක් පෙන්වා නන්නත්තාර කිරීම ගැන කියන්නටය. එකල බොහෝ විට යථාර්ථය එය විය. ගම්වලින් නගරයට සක්‍රමණය වන තරුණයන් බොහෝ විට 'බැක්වර්ඩ්' වේ. සේන මැදවත්තද එසේ බැක්වර්ඩ් වුණු චරිතයකි.

තෙරේසා මෙම ආදරය සැහැල්ලු ලෙස සැලකුවද, එය සේන පමණක් නොව, සේනගේ මුළු පවුලම විනාශ කෙරීය. ඉගෙන ගන්නට කියා ගිය සේන කළේ ආදරය කිරීමය. අවසානයේ සේනගේ ඉගනීමද කඩාකප්පල් විය. සේනගේ පියා වූ බන්ඩා මැදවත්තගේ බලාපොරොත්තු සුන් වූවා පමණක් නොව, අවසානයේදී උගසට තිබු ගේ දොර පවා බේරා ගැන්මට නොහැකිව සින්න විය. ඔවුනට එතෙක් කල් සිටිය ගම අතහැර අනුරාධපුරය පැත්තෙන් රජයෙන් දුන් ඉඩම් කට්ටි වලට යන්නට සිදුවන්නට තරම් තෙරේසාගේ රැවටීම බලවත් විය. එය එතනින් නොනැවතුනි. මේ සියල්ලම සිදුවූයේ තමා නිසා බව සිතූ සේන, නිවසින් පිටවී නන්නාදුනන පලාතකට ගොස් ලී මෝලක රැකියාවක් කරන්නට විය. අවසන සේනගේ නිවැසියන්ට සේනව මුණ ගැසුනේ ඔහුට මැලේරියා උණ රෝගය වැලදී ආණ්ඩුවේ රෝහලකය. ඒ වන විට කුමාරි පාසැලක උගන්වමින් සිටියාය. ඇයට පෙම්වතෙක්ද වූ අතර, ඔවුන් විවාහයටද ලෑස්ති වී සිටියහ.

"මල්ලිව හොයා ගන්න කල් අපි විවාහය කල් දැම්මේ" කුමාරි සේනට රෝහලේදී කීය.

"අක්කර පහ" අවසන් වූයේ කුමාරිගේ විවාහයෙන්ය. සඳවතී සමඟ ඇයගේ මවත් මෙම විවාහයට වේලාසනින්ම පැමිණීය. අවසන් ජවනිකාව වූයේ කුමාරි තම මනමාලයා සමඟ මංගල රථයෙන් පිටත් වෙනවා තරමක කඳු බෑවුමක සිට සඳවතිත් සේනත් බලා සිටින දර්ශනයකින්ය. යළි සඳවති හා සේන එකතුවෙන ඉඟියකින් චිත්‍රපටය අවසන් වේ.

අක්කර පහ චිත්‍රපටයේ දක්ෂතම රඟපෑම මා දුටුවේ අතුරු චරිතයක් වූ කුමාරි ලෙස රඟපෑ මාලනී ෆොන්සේකාය. කුමාරිගේ චරිතය ක්‍රියාකාරීව හැල හැප්පීම් නොවුනද, හදවත තුළ බොහෝ දේ හිර කර ගනිමින් උපේක්ෂාවෙන් රඟපෑ යුතු චරිතයක් විය. එවකට නවක නිළියක්ව සිටි මාලනී ෆොන්සේකා අතීශයින්ම දක්ෂ ලෙස මෙම චරිතය තුළ ජීවත් විය. දඩබ්බර චරිතයක් වූ තෙරේසාට පණ පෙව්වේ ජානකී කුරුකුලසූරියය. මාලනී සේම, ජානකීද තම චරිතය මැනවින් අවබෝධ කරගෙන තිබුණි. ඇය කොතැනකදීවත් චරිතය වට්ටාගෙන තිබුණේ නැත. ජානකී කුරුකුලසූරිය ගේ ඉතාමත් සුළු රංගන ජීවිතයේදී මා දුටු හොඳම රංගනය මේ තෙරේසාගේ චරිතයයි.

"රැයත් දවාලත්" කෙටි චිත්‍රපටයෙන් පැමිණුනු අනෝමා වත්තලදෙනිය මෙහී සඳවති විය. ඇය අක්කර පහට 'සඳක්' මෙන් ආලෝකමත් විය. මිල්ටන් ජයවර්ධන 'සේන' විය. මඩවලගේ පොතට අනුව තිස්ස අබේසේකර ලියූ තිරනාටකය තුළ සේනගේ තිබූ ඕලාරික ස්වරූපය මිල්ටන් ජයවර්ධන හඳුනා ගෙන තිබූ බවක් පෙනුණි.

සුළු චරිතයක් වුවද සමරේ නොහොත් සමරසේකර ලෙස රැඟු ඩග්ලස් රණසිංහ චිත්‍රපටයට දැඩි ආකර්ෂනයක් විය. අමරසිරි කලංසූරිය ගුණේ විය. ශිරාණි කුරුකුලසූරිය ලීනා වූ අතර, ශ්‍රියානි පෙරේරා සුජාතා විය. රංජිත් වූයේ බැසිල්ද සේරම්ය. ගාමිණී විජේසූරිය සේනගේ හ කුමාරිගේ පියා වූ බන්ඩා මැදවත්ත විය. ශාන්ති ලේඛා, රුබීද මෙල්, මාපා ගුණරත්න, විජේරත්න වරකාගොඩ, සීතා කුමාරි, ලයනල් දැරිණියගල සෙසු චරිත රඟපෑහ.

තිස්ස අබේසේකර තිරනාටකය ලියු අතර, එම් එස්. ආනන්ද කැමරා අධ්‍යක්ෂක විය. සංගීත අධ්‍යක්ෂනය ඩබ්ලියු ඩී අමරදේවය. සංස්කරණය සුමිත්‍රා පීරිස් වූ අතර ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂනයක් වූ "අක්කර පහ" චිත්‍රපටය නිශ්පාදනය කළේ පී.ඊ.ඊ. ඇන්තනී පිල්ලේය. ඒ සිලෝන් ස්ටුඩියෝ වෙනුවෙනි.

"අක්කර පහ" 1970 මැයි මස 08වන දින සිට තිරගත කිරීම ආරම්භ කළේය.

 

(තවත් චිත්‍රපටයක් ලබන සතියේ)

ශෝන් මැක්ස්මස් දිසානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.