දැවෙන සිත් වෙනුවෙන් කලාකරුවෝ අගරදගුරුතුමන් හමු වෙති

මැයි 16, 2019

මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම විපතක කම්පනය පසුගිය පාස්කු ඉරිදා අප රටේ සෑම සංවේදී හදවතකටම තදින් දැනුණා. කුඩා දරුවන් ඇතුළු නිරායුද අහිංසක බැතිමතුන් සිය ගණනකගේ ජීවිත බිලි ගනිමින් සහ තවත් සිය ගණනකට දරුණු ආබාධ සිදු කළ මෙම ඛේදවාචකය මෙරට ජන ජීවිතය ශෝකයෙන්, බියෙන් සහ සැකයෙන් අඩාළ කරන්නට හේතු වුණා. විශේෂයෙන් කතෝලික ජනතාව වෙත එල්ල වූ මෙම අමානුෂික ප්‍රහාරයේ වින්දිතයින්, ඔවුන්ගේ නෑ හිතවතුන් ඇතුළු සංවේදී ජනතාවගේ කඳුළු සහ සුසුම් තවමත් වියැකී ගිගින් නැහැ. එවන් වූ ව්‍යසනයෙන් සංවේගයට පත් අපගේ කලාකරුවන් පසුගියදා ඔස්කා සහ සිනෙස්ටාර් සංවිධානවල සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ මූලිකත්වයෙන් ඒකරාශී වූයේ ඔවුනට තවදුරටත් නිහඬවම මේ ශෝකී හැඟීම් දරා ගත නොහැකි වූ නිසයි.

ඒ වන විටත් සභාපතිතුමා සිය නවලෝක රෝහල තුළින් ලබා දිය හැකි වෛද්‍යාධාර සඳහා පියවර ගෙන තිබුණා. විපත සැළ වූ මොහොතේ සිට ගිලන් රථ, හදිසි ප්‍රතිකාර, ශල්‍යාගාර සේවා සහ දැඩි සත්කාර පහසුකම් නොමිලේ සැපයීම ආරම්භ කොට මේ දක්වා කෙරීගෙන යන බව එහිදී අප දැනගත්තා. විපතට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් කලාකරුවන්ට කළ හැකි උපකාරයන් පිළිබඳව දැනුම්වත් වන්නටත් මේ දරුණු ත්‍රස්ත ක්‍රියාවෙන් කැලඹුණු කතෝලික ප්‍රජාවගේ සිත් නිවාලමින් සාමය ආරක්ෂා කර ගන්නට දේවාශීර්වාදයේ නායකත්වය ලබා දුන් අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ට ප්‍රණාමය පුදන්නටත් සැවොම තීරණය කළා. පසුගිය දහ වැනිදා පෙරවරුවේ අගරදගුරු නිල නිවාසයේදී සිනමා සහ සංගීත කලාකරුවන් පිරිසකට එතුමා බැහැ දැකීමේ අවස්ථාව උදා වුණේ ඒ අනුවයි.

ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් නිර්මල වූ ශාන්ත පරිසරයකදී කලාකරුවන්ට, එතුමන් සමඟ සිය ගෞරවය පෙරදැරි වූ සුහද පිළිසඳරක යෙදීමේ මාහැඟි වරප්‍රසාදය හිමි වුණා. කතෝලික ජනතාවට සිදු වූ මෙම ඛේදවාචකය පිළිබඳව ශෝකය පළ කරමින් පිළිසඳර ආරම්භ කළ ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා මෙවන් අනපේක්ෂිත ප්‍රහාරයකදී සිය අනුගාමික ජනතාව සන්සුන් කර රටේ සාමය ආරක්ෂා කර ගැනීමට දුන් ශ්‍රේෂ්ඨ නායකත්වය වෙනුවෙන් සැමගේ ප්‍රසාදය සහ ගෞරවය රදගුරුතුමන් වෙත පුද කරමින් අදහස් පළ කළා.

නවලෝක රෝහල මේ සිදුවීම වූ දා සිට පීඩාවට පත්වූවන්ට වෛද්‍යාධාර පහසුකම් නොමිලේ සලසා ඇති බවටත්, අවශ්‍ය ශල්‍යකර්ම, දැඩි සත්කාර සේවා ඇතුළු සියලුම ප්‍රතිකාර අවශ්‍යතා සඳහා රෝගීන් යොමු කළ හැකි බවටත් රදගුරුතුමන් දැනුම්වත් කළ ධර්මදාස මහතා ඉදිරියටත් මේ කලාකරුවන්ගේ එකමුතුවෙන් කළ හැකි සෑම උපකාරයක්ම කිරීම තම අපේක්ෂාව බවත් පැවසුවා.

මෙහිදී ඔස්කා සහ සිනෙස්ටාර් සංවිධාන මඟින් සහන සේවා සඳහා පිරිනැමෙන මූල්‍යමය පරිත්‍යාගයක් ඔහු අගරදගුරුතුමන්ට භාර දුන්නා.

දේවස්ථානවලට පහර දී බැතිමතුන් ඝාතනය කිරීම දැඩි මහජන කැලඹීමකට තුඩු දෙන බිහිසුණු ක්‍රියාවක් බවත් එහි ප්‍රතිඵලය ලෙස ඇතිවීමට තිබූ ප්‍රකෝපකාරී ක්‍රියා රදගුරුතුමන්ගේ කඩිනම් මැදිහත්වීමෙන් වළකා ගැනීමට හැකි වීම මේ රටේ ජනතාවගේ භාග්‍යක් බවත් කී නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මිය ඒ වෙනුවෙන් මුළු මහත් ජනතාවගේම ගෞරවය එතුමන්ට හිමි වන බව පැවසුවාය.

පැසසුම් පිළිබඳව ස්තූතිය පළ කළ අගරදගුරුතුමන් අදහස් දක්වමින් කිසිම ආගමකින් මනුෂ්‍ය ඝාතන අනුමත නොකෙරෙන බවත්, මේ ත්‍රස්ත ක්‍රියා පසුපස සිටින්නේ මනුෂ්‍යත්වය නොහඳුනන සීමිත අන්තවාදීන් පිරිසක් බවත් නිසා ඔවුන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා ඉඩ නොතැබීමට අපි බුද්ධිමත් විය යුතු බවත් ප්‍රකාශ කළා.

මේ රට ආගම් කිහිපයක් අදහන ජනතාවකගෙන් සැදුම් ලත් රටක්. ඒ විවිධත්වය රටකට අලංකාරයක්. විවිධත්වය තුළ සමානාත්මතාවය දකිමින් එකිනෙකාට ගරු කරමින් ආදරය කරමින් ජීවත් වුණු සාමකාමී ජනතාවක් මෙහි දිගු කලක් වාසය කළා. මේ සංහිඳියාව පලුදු කරන අන්තවාදී අදහස් විදේශයන්ගෙන් මෙරටට ඇතුළු වන බව පෙනෙනවා. මේ පිළිබඳව අවදියෙන් සිටීම සහ දැනුම්වත්වීම සැමගේම වගකීමක්.

සම්මානනීය නළු රවීන්ද්‍ර රන්දෙණිය අදහස් දක්වමින්, මේ අමානුෂික ප්‍රහාරයේ ඉලක්කය වුණේ අහිංසක කතෝලික ජනතාවයි. ඔවුන්ට සිදු වූ විපත පියවි නෙතින් දකින්න බැරි තරම් සංවේදී දසුනක් වුණා. ඒ වේදනාව, ගැහෙන හදවතින් නිහඬව දරාගෙන අපේ කතෝලික ජනතාව මහා පරිත්‍යාගයක් කළා. ඔබ වහන්සේගේ ඉල්ලීම හිස නමා පිළිගෙන ඉවසීමෙන් සියලු දුක විඳ දරා ගත්තා. ඒ තුළින් සැමට සැනසීම ලබා දුන්නා. ඉතිහාසයේ පළමු වතාවට ඉරිදා පූජාවට නොයන ලෙස අපෙන් කළ ඉල්ලීමට අප අවනත වුණා. එහෙත් ගරු පියතුමනි! ඒ පරිත්‍යාගයට අපට සාධාරණය ඉටුවන බවක් ඔබ වහන්සේට පෙනෙනවාද? ඔහු ඉතා හැඟීම්බරව විමසා සිටියා.

මේ රටේ යහපත් ජනතාවගේ ඉවසිලිවන්තභාවය වෙනුවෙන් ඔවුනට මා දේවාශීර්වාදය පතනවා. මේ බැරෑරුම් අවස්ථාවේදී අප රටේ වගකිව යුත්තන්ට, විශේෂයෙන් දේශපාලන නායකයන්ට අප සෑම කරුණක්ම ඉතා හොඳින් පැහැදිලි කර දුන්නා. ඒවා පිළිගැනීම සහ පිළිපැදීම ඔවුන් සතු කාර්යයක්. දේශපාලනය අපේ කාර්යභාරය නොවෙයි. අපට හැකි වන්නේ නිවැරැදි මාර්ගය පෙන්වා දීම පමණයි. ඒ සඳහා මා හැම විටම සිටින්නේ මේ රටේ ජනතාවගේ පැත්තේයි.

මේ විපතේදී අපෙන් වියෝ වූවන්, දැනටත් ප්‍රතිකාර ලබමින් සිටින සහ ආබාධිත වූ අය වගේම ජීවත්ව සිටින තවත් විශාල පිරිසක් මානසිකව කඩා වැටුණු තත්ත්වයකට පත්ව සිටිනවා. බිරිඳ අහිමි වූ සැමියන්, සැමියා අහිමි වූ බිරින්දෑවරුන්, දෙමාපියන් අහිමි වූ දරුවන්, තනි වූ සොහොයුරු සොහොයුරියන් ආදී විශාල පිරිසක් මානසික අසරණභාවයට පත්ව සිටිනවා. ඔවුන්ගේ දිවි පැවැත්ම සඳහා අවශ්‍ය උපකාර කිරීමට අප කැප වෙනවා. ඒ සඳහා මූල්‍යාධාර පරිත්‍යාශීලීන්ගෙන් ලැබෙනවා. නමුත් මානසිකව ආතතියට පත් වූ අය යථා තත්ත්වයට ගැනීම ඊට වඩා දුෂ්කර කටයුත්තක්. ඒ සඳහා කෙතරම් කාලයක් ගතවේදැයි කියන්නට බැහැ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කෙසේ වෙතත් ඔවුන් සියල්ලන්ම පෙර පරිදි සමාජයට පිවිසෙන තෙක් අප ඔවුන් බලා ගන්නවා. ඔවුන් සමඟ සිටිනවා.

කාදිනල්තුමාගේ පැහැදිලි කිරීමට පිළිතුරු දෙමින් අනෝජා වීරසිංහ පැවසුවේ මානසික දුබලතාවන්ට පත් වූ එවන් අය සඳහා ප්‍රායෝගික වැඩමුළු පවත්වා උපදේශන සේවා තුළින් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. ඒ සඳහා ඔවුන් සිටින තැන්වලට යෑමට ඇය සූදානම් බව ප්‍රකාශ කළ විට සෙසු කලාකරුවෝද එයට එක්වීමට කැමැත්ත පළ කළා. ඒ සඳහා සම්බන්ධීකරණ කටයුතු සලස්වන මෙන් ද ඔවුන් ඉල්ලා සිටියා.

අගරදගුරුතුමාගේ ජනතාවාදී චින්තනයත්, අපක්ෂපාතීභාවයත්, අදීනනත්වයත් මාර්ගෝපදේශකත්වයත් රෝහණ වීරසිංහ සහ ජැක්සන් ඇන්තනි යන කලාකරුවන්ගේ අගැයීමට ලක් වුණා. සාමයික සමගිය සහ ජාතීන් අතර සහෝදරත්වයෙහි අගය පිළිබඳ එතුමාගේ අදහස් සැවොම හැඟීම්බරව අසා සිටියා. එතුමා අබිමුව ගත කළ හෝරාවකට ආසන්න කාලය කලාකරුවන්ගේ සිතිවිලි අවදි කළ අගනා වැඩමුළුවක් මෙන් ඵලදායී වූ බව සැමගේ පිළිගැනීම වුණා. අද එතුමා සර්වාගමික නායකයකු ලෙස මෙරට සියලුම ජන කොටස්වල ප්‍රසාදයටත්, ගෞරවයටත් ලක් වී ඇති බව කලාකරුවන්ගේ අදහස වූ අතර අගරදගුරුතුමන් ඉටු කරන ජනහිතවාදී ක්‍රියාදාමයේදී කලාකරුවන් ද එතුමන් සමඟ සිටින බව සපථ කරමින් සියල්ලෝම උන් වහන්සේට ප්‍රණාමය පළ කරමින් සමුගත්තා.

ඔස්කා සහ සිනෙස්ටාර් කලාකරු එකමුතුව

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.