ලාංකේය සිනමාව පසුගිය වසර කිහිපය පුරා කර්මාන්තයක් වශයෙන් යම් සාර්ථකත්වයක් අත්කර ගත්තද ගුණාත්මක සිනමාපටවල අඩුව පිළිබඳ ප්‍රේක්ෂකාගාරය දැඩි සේ මැසිවිලි නඟන්නට විය. එකම වට්ටෝරුවේ තැනෙන චිත්‍රපට ද රජ කතා ශානරයේ චිත්‍රපට ද වාණිජමය වශයෙන් කර්මාන්තයේ පැවැත්ම උදෙසා තීරණාත්මක ලෙස බලපෑමක් සිදු කළේ නැත. සත්‍ය කාරණය නම් ලාංකේය සිනමා කර්මාන්තය පැවැත්ම තිබුණේ ලංකාවේ බොහෝ සිනමාශාලාවල ප්‍රදර්ශනය කරන විදෙස් සිනමාපට නිසා ය. නමුත් 2025 වසර ලාංකේය සිනමා නව ප්‍රබෝධයක් ඇති වීම පිළිබඳ නිරික්ෂණය කළ යුතුය. විශේෂයෙන් මෙම වසරේ තිරගත වූ රාණී, නෙළුම් කුලුන, වාලම්පුරි, ක්ලැරන්ස්, මෝඩ තරිඳු වැනි ගුණාත්මක වූ වාණිජමය චිත්‍රපට පෙළ ඇල්මැරුණු ප්‍රේක්ෂකාගාරය අවදි කරන්නට සමත් විය. එම සඳහන් කළ සියළු චිත්‍රපට ආදායම් වාර්තා තබමින්, විචාරකයන්ගේ ඉහළ ප්‍රතිචාර හිමිකර ගත්හ.
2025 වසරට අදාළව තිරගත වූ චිත්‍රපට වන්නේ
1.රාණි – අධ්‍යක්ෂ අශෝක හඳගම
2.ගොවි තාත්තා – අධ්‍යක්ෂ දර්ශන රුවන් දිසානායක
3.නෙළුම් කුලුන – අධ්‍යක්ෂ ඉලංගෝ රාම් 4.වාලම්පුරි හෙවත් හීන හතහමාරක් – අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න
5.ක්ලැරන්ස් : රිදම් ඔෆ් ගිටාර් – අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ
6.අයිස්ක්‍රීම් – අධ්‍යක්ෂ ප්‍රදීප් ධර්මදාස
7.කාසි වාසි – අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්
8. බහුචිතවාදියා – අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය
9.තේජා – අධ්‍යක්ෂ නිලන්ත හපන්වීර
10.ආයු – අධ්‍යක්ෂ චත්‍ර වීරමන්
11.රෝස ආදරේ – අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද
12.එළ ද බ්‍රා – පූජිත ගුණතිලක
13.සෝණා – අධ්‍යක්ෂ ශාන් ජයරත්න
14.දේවි කුසුමාසන – අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි
15.මදර් ලංකා – අධ්‍යක්ෂ අනූෂ එදිරිමුනි
16.සූර්යා – අධ්‍යක්ෂ මහේෂ් මුණසිංහ
17.සිහින සරුංගල් – සම අධ්‍යක්ෂණය ආචාර්ය උපුල් වීරසිංහ සමඟ තාරක අධිකාරි
18.නීරා – අධ්‍යක්ෂ වාසව බදුගේ
19.හෙලෝ ෆ්‍රොම් ද අදර් සයිඩ් – අධ්‍යක්ෂිකා විනෝෂා කිරිවන්දෙණිය
20.මෝඩ තරිඳු – අධ්‍යක්ෂ තිසර ඉඹුලාන
21.හවුස්ෆුල් – අධ්‍යක්ෂ ශ්‍රී ලාල් ප්‍රියදේව
22.සාරි ගප්පි – අධ්‍යක්ෂ මාලක නන්දන
23.69 – අධ්‍යක්ෂිකා වින්ද්‍යා හාරිස්පත්තුව
24.කපුටු කොහෝ – අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක
25.රැයක් හෝ පැයක් – අධ්‍යක්ෂ ලාල් වීරසිංහ
26.මාරියා – අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන
27.සයනයිඩ් – අධ්‍යක්ෂ නලීන් රාජපක්ෂ
යන සිනමාපට 27 වේ.
මෙම වසරේ ලාංකේය සිනමාවට අත්පොත් තබන නවමු සිනමාකරුවන් බොහෝමයකි. ඒ අතර ‘නෙළුම් කුලුන’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ‘ඉලංගෝ රාම්’, ‘බහුචිතවාදියා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ‘මාලක දේවප්‍රිය’, ‘වාලම්පුරි හෙවත් හීන හතහමාරක්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ‘ලක්මාල් ධර්මරත්න’, ‘අයිස්ක්‍රීම්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ‘ප්‍රදීප් ධර්මදාස’, ‘ගොවි තාත්තා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ‘දර්ශන රුවන් දිසානායක’, ‘තේජා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ‘නිලන්ත හපන්වීර’, ‘මදර් ලංකා’ අධ්‍යක්ෂණය කළ ‘අනූෂ එදිරිමුණි’, ‘‘සෝණා’ අධ්‍යක්ෂණය කළ ශාන් ජයරත්න, ‘සාරි ගප්පි’ අධ්‍යක්ෂණය කළ ‘මාලක නන්දන’, ‘හෙලෝ ෆ්‍රොම් ද අදර් සයිඩ්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ‘විනෝෂා කිරිවන්දෙණිය’ සහ ‘‘69’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ‘වින්ද්‍යා හාරිස්පත්තුව’ යන සිනමාකරුවන් සහ සිනමාකාරියන් දෙපළ කැපී පෙනේ. මෙම සිනමාපට අතරින් විචාරකයන් සහ ආදායම් අතින් සාර්ථකත්වය ලබා ගත් චිත්‍රපට වන්නේ ‘නෙළුම් කුලුන’, ‘රාණි’, ‘ක්ලැරන්ස් : රිදම් ඔෆ් ගිටාර්’, ‘දේවි කුසුමාසන’, ‘නීරා’, ‘මෝඩ තරිඳු’, ‘වාලම්පුරි හෙවත් හීන හතහමාරක්’ යන චිත්‍රපට පෙළයි. ඇතැම් චිත්‍රපට ප්‍රේක්ෂකාගාරයෙන් සෘණාත්මක ප්‍රතිචාර ලබමින් සිනමාශාලාවලින් දින කිහිපයක් ගැලවී ගියේ ප්‍රේක්ෂකාගාරය සොයන සිනමාත්මකබව සහ ගුණාත්මකබව නොමැතිය යන්න එම සිනමාටයන් අධ්‍යක්ෂවරයන් වෙත සංඥා කරමිනි.
2025 වසරේ ආපදාන (Biography) ශානරයේ චිත්‍රපට දෙකක් ලාංකේය සිනමාවට දායාද වීම කැපී පෙනේ. ප්‍රවීණ සිනමාකරු ‘අශෝක හඳගම’ අධ්‍යක්ෂණය කළ ‘රාණි’ චිත්‍රපටයේ මරා දැමුණු මාධ්‍යවේදි රිචර්ඩ් ද සොයිසාගේ මව වන වෛද්‍ය මනෝරාණී සරවනමුත්තුගේ යුක්තිය උදෙසා සිදු කරන දේශපාලනික ක්‍රියාදාමය කේන්ද්‍ර විය. අනෙක් චිත්‍රපටය වන්නේ ලංකාවේ සුප්‍රකට ගායක ක්ලැරන්ස් විජේවර්ධනගේ ජීවිත කතාව අලළා ‘තේජා ඉද්දමල්ගොඩ’ අධ්‍යක්ෂණය කළ ‘ක්ලැරන්ස් : රිදම් ඔෆ් ගිටාර්’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපට ද්විත්වය ප්‍රේක්ෂකාගාරය දැඩිව වැලඳගත් අතර විචාරක ප්‍රසාදය ද නොමඳව හිමි විය. විශේෂයෙන් ආපදාන සිනමාව ලාංකේය සිනමාවට නව මුහුණුවරක් ඇති කරන ලදි.
”ඉලංගෝ රාම් විසින්’ තම කුලුඳුල් චිත්‍රපටය වන ‘නෙළුම් කුලුන’ චිත්‍රපටය විදෙස් සම්මාන ගණනාවකින් පිදුම් ලබමින් ප්‍රේක්ෂකාගාරය වෙත Black – Comedy ශානරයේ යටතේ අරුත්බරව විනෝදාස්වාදය සැපයු චිත්‍රපටයක් විය. විශේෂත්වය වන්නේ ලාංකේය සිනමාවේ මීට පෙර සිදු නොවූ විශේෂ චිත්‍රපටයක් වීමයි. එනම් ‘නෙළුම් කුළුණ’ චිත්‍රපටය විදෙස් රටවල ප්‍රතිනිර්මාණය කිරීමයි. සාමාන්‍යයෙන් විදෙස් රටවල සිනමාකෘතියක් ලංකාවේ චිත්‍රපටයක් ලෙස ප්‍රතිනිර්මාණය වීම සිදු වේ. නමුත් ලාංකේය චිත්‍රපටයක් විදෙස් රටවල් ගණනාවක විවිධ භාෂාවෙන් ප්‍රතිනිර්මාණය වීම ආඩම්බර විය යුතු අවස්ථාවකි.
2025 වසර ලාංකේය සිනමාවේ ස්වර්ණමය වසරක් ලෙස සඳහන් කරන්නේ සිනමාව වෙත අන් කවරදාටවත් වඩා ප්‍රේක්ෂකාගාරය චිත්‍රපට නැරඹීමට ඇති දැඩි උද්යෝගය ප්‍රවණතාවක් ලෙස ස්ථානගත වීමයි. 21වැනි සියවසේ සිටින ලාංකේය ප්‍රේක්ෂකයා සිනමාශාලා වෙත පැමිණෙන්නේ 60, 70, 80 දශකය තුළ තිබු සිනමාවක මෙන් නොවේ. වත්මන් ප්‍රේක්ෂකාගාරය බහුල ලෙස බටහිර සහ ඉන්දියානු සිනමාව සමඟ ගනුදෙනු කරයි. විශේෂයෙන් තාරුණ්‍ය නියෝජන කරන පරම්පරාව ලෝක සිනමාව පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කරයි. එම නිසා ලාංකේය සිනමාව තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ අන් රටවල සිනමාපට මෙන් ගුණාත්මක චිත්‍රපට ය. මෙම තත්ත්වය අරපරෙස්සම්න් වටහාගත යුතු වන්නේ එම නිසා ය. 2025 වසරේ බොහෝ චිත්‍රපට ලැබූ වාණිජමය සාර්ථකත්වය සහ ධනාත්මක ප්‍රතිචාර නිසා ඉදිරි වර්ෂවලදී චිත්‍රපට නිර්මාණය සඳහා අංකුර නිෂ්පාදකයන් පෙළ ගැසෙනු ඇතිබව ලියුම්කරුගේ පෞද්ගලික විශ්වාසයයි. එය ලාංකේය සිනමා කර්මාන්තයට ඉතා යහපත් තත්ත්වයකි.
සිනමා කර්මාන්තයක පැවැත්ම සඳහා වාණිජ සිනමාපට විසින් ඉටු කළ යුතු කාර්යය අතිශය වැදගත් ය. ප්‍රේක්ෂකාගාරය ඉල්ලා සිටින අන්තර්ගතයන් සහ නවමු තේමාවන් සහිත චිත්‍රපට නිර්මාණය කළහොත් කර්මාන්තයේ පැවැත්ම ශක්තිමත්වනු ඇත. මන්ද මීට දශක කිහිපයකට පෙර තිබූ සිනමාවක් වත්මනෙහි දක්නට නැත. එය යාවත්කාලීන වී තිබේ. සිනමාව, කලාත්මක සම්භාවනීය හා විවාදාත්මක ආකාර හරහා භාවිත කරන සිනමාකරුවන් ද, සිනමාව සරල විනෝදාත්මක අරමුණු උදෙසා භාවිත කරන සිනමාකරුවන් ද මෙම තත්ත්වය අවබෝධ කරගත යුතුය. මේ නිසාම ලාංකේය සිනමා කර්මාන්තය පවත්වාගෙන යන්නට ගුණාත්මක වූ වාණිජ සිනමාපට නිර්මාණය කිරීමේ වැදගත්කම සිනමාකරුවන් වටහා ගත යුතුයි. 2026 වසර ද 2025 වසර මෙන් අති සාර්ථක ලෙස පවතිනු දැකීම සිනමාලෝලීන්ගේ නිසැක අපේක්ෂාවයි.

මලින්ත විතානගේ
[email protected]
