Home » මෙවර රිදී රැයක් ආදායම ආපදාවට පත් ජනතාවට ලබාදෙනවා

මෙවර රිදී රැයක් ආදායම ආපදාවට පත් ජනතාවට ලබාදෙනවා

by mavan
December 18, 2025 10:24 am 0 comment

කලා ලොවේ තරු එකම වේදිකාවක බබළන රාත්‍රිය ” රිදී රැයක්” දෙසැම්බර් 20 දා කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. ඒ අසිරිමත් රාත්‍රියට ඇත්තේ තවත් දින දෙකක් පමණි. පසුගිය සති කිහිපය සිනමා තරු වලට අතිශය කාර්‍යබහුල කාලයක් විය. තම තමන්ගේ රූගත කිරීම් අතරතුර රිදී රැයක් ප්‍රසංගයේ නර්තන පුහුණුවීම් වලටද ඔවුන්ට සහභාගී වීමට සිදුවිය. එහෙත් පසුගිය දිනයන්හිදී අපේ ලක්මෑණියන්ට සිදුවූ ව්‍යසනය අප කාගෙත් සිත් සසල කරවන්නක් විය. අපේ කලාකරුවන් සෑම දෙනාම පාහේ තම තමන්ට හැකි අයුරින් අපේම සහෝදර ජනතාවට ශක්තියක් වූහ. සිනෙස්ටා පදනම විසින් සංවිධානය කරන මෙවර රිදී රැයක් ප්‍රසංගයේ ආදායමද ආපදාවන්ට ලක්වූ ජනතාව වෙනුවෙන් වෙන්කරන බව සඳහන්.

මේ දිනවල අපේ රංගන ශිල්පීන් ශිල්පිනියන් කඩිමුඩියේ නර්තන පුහුණුවීම්වල නිරත වෙති. ඒ බව විපරම් කිරීමට සරසවියේ මටද ආරාධනා ලැබුණි. පසුගිය සතියේ දින දෙකක් මම ඒ වෙනුවෙන් වෙන් කළෙමි.

මට වේලාව ලබා දුන්නේ පස්වරු එකේ සිටය. රිදී රැයක් නර්තන පුහුණුවීම් තිබුණේ චන්න විජේවර්ධනගේ දෙහිවල පිහිටි නිවසේය. සැලසුම් කරගත් පරිදි පළමු දින මන චන්න විජේවර්ධනයන්ගේ නිවසට ගියෙමි. මා එනතෙක් නදීකා ගුණසේකර රංගන ශිල්පිනිය මඟ බලා සිටියාය. රිදී රැයක් ප්‍රසංගයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ ඇය විසිනි. මා එහි යන විට පුහුණුවීම් සඳහා රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු පැමිණ සිටියහ. ඒ අතරතුර ඉහළ මාලයේ ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන සහ යොවුන් රංගන ශිල්පිනී දුෂේණි මියුරංගී පුහුණුවීම්වල නිරතවී සිටින බව මට දැනගන්නට ලැබිණි. ඒ අතරේ නදීකා අක්කා මගෙන් වියයුතු දේ ගැන පැහැදිලි කිරිමක් කළාය. තමන්ගේ පුහුණුවීම් වාරය එනතුරු ශ්‍රියන්ත සහ කුසුම් රේණු දෙපළ අපත් සමඟ කතාබහේ නිරත වූහ. ඒ අසල ජීවන් කුමාරතුංගගේ බිරිඳ ශෙරීන්ද වූවාය. ඇය රිදී රැයක් සංවිධාන කටයුතු වල ක්‍රියාකාරී සමාජිකාවකි. අප කතාබහේ නිරත වී සිරින අතරේ එතනට පැමිණියේ උපුලී පණීභාරත නර්තනාචාර්‍යවරියයි. ඇය අප සැවොම සුහදව පිළිගත්තාය.

” චන්න සර් ගෙන් පණිවිඩයක් ආවාහම ඔයා උඩට යන්නැයි ඇය පැවසුවාය.

ඉන් ටික වේලාවකට පසු චන්න විජේවර්ධනයන්ගේ ගෝලයෙකු පැමිණ පුහුණු කිරීම් කරන ඉහළ මාලයට අපව කැඳවාගෙන ගියේය.

මඳ සීත නළ රැල්ල දැගලිල්ල පා…….

මේ මියුරු ගීතයට නර්තනය පුහුණු වෙමින් සිරියේ ජනප්‍රිය යොවුන් නළු රොෂාන් රණවන සහ ජනප්‍රිය යොවුන් නිළි දුෂේනි මියුරංගිය. ඔවුන් පුහුණුවන අතරතුර මම ඔවුන්ව මගේ ජංගම දුරකතනයේ කැමරාවට හසු කර ගතිමි. චන්න සර් ඔවුන් දෙදෙනාට උපදෙස් ලබා දෙමින් ඔවුන්ගේ නර්තනය හැඩ කරමින් සිටියේය. ඔහුගේ දියණිය අසේකාද එයට සහය දුන්නාය. ටික වේලාවකින් රොෂාන්ගේත් දුෂේනිගේත් පුහුණුවීම් නිමවිය. මමත් ඔවුන් සමඟ නැවතත් පහළ මාලයට පැමිණියෙමි. ඒ ඔවුන් සමඟ වචනයක් හෝ කතා කළයුතු නිසාවෙනි. පළමුවෙන් මා අසලට පැමිණියේ රොෂාන්‍ ය.

” අවුරුදු විස්සකට ආසන්න කාලයක් මම රිදී රැයක් සඳහා සහභාගී වුණා. මෙවරත් මම සහභාගී වුණේ බොහෝම කැමැත්තෙන්. මෙවර රිදී රැයක් හි විශේෂත්වයක් තියෙනවා. පසුගිය දිනවල ලංකාව ඉතා බැරෑරුම් ව්‍යසනයකට මුහුණ දුන්නා. ඒ වෙනුවෙන් රිදී රැයක් පෙනී සිටිනවා. යුතුකම් පෙරදැරිව ආපදා වෙනුවෙන් කෙරෙන උතුම් කටයුත්තට මෙවර සිනෙස්ටා පදනම මූලිකත්වය ගෙන තිබෙනවා. රිදි රැයක් ප්‍රසංගයෙන් ලැබෙන ආදායම අපේම අසරණ වූ ජනයාගේ සුබසාධනය උදෙසා වෙන්කිරීමට තීරණය වී තිබෙනවා. මීට පෙර කඩුවෙල ප්‍රදේශයේ ආපදාවන්ට ලක්වූ දරුවන්ට පාසල් උපකරණ ලබා දුන්නා. අවතැන් වූ ජනතාව්ට ආහාරපාන ලබා දුන්නා. සමහර විට ඔබ සිතයි රිදී රැයක් ප්‍රසංගය කරන්නේ අපේ ප්‍රීතිය, විනෝදය සඳහා කියලා. නැහැ. රිදී රැයක් තිරය පිටුපස කෙරෙන්නේ දැවැන්ත සුබ සාධනයක්.

ඉන්පසුව මා හා අදහස් දැක්වීම්ට එක්වූයේ දුෂේනිය. මමත් රිදී රැයක් ප්‍රසංගයට සහභාගී වුණේ හරිම සතුටින් . මම රිදී රැයක් ප්‍රසංගය සඳහා සහභාගී වන තුන්වන අවස්ථාව තමයි මේ. සිනමාවේ සිටින හැමෝම පාහේ එකතු වන ප්‍රසංගයක් ලෙස රිදී රැයක් හඳුන්වන්න පුළුවන්. මෙවර රිදී රැයක් ප්‍රසංගයෙන් අපේ රටේ ඇතිවූ ව්‍යසනයෙන් කරදරයට පත්වූ ජනතාවට උපකාර කරන්නත් බලාපොරොත්තු වෙනවා. එය ඉතා වටිනා කටයුත්තක්.

මට මෙවර රොෂාන් එක්ක නර්තනයේ යෙදෙන්නේ. ඉතාමත් මියුරු ගීතයකට අපි දෙන්නා නර්තනයේ යෙදෙනවා. චන්න සර්, උපුලී මිස් සහ අසේකා අක්කා යටතේ පුහුණුවීම් කරන්න ලැබීම මගේ ජීවිතයේ මා ලද භාග්‍යක්.

එසේ පැවසූ දුෂේනි මගෙන් සමුගත්තේ නැවතත් දිනෙක සරසවිය සමඟ එක්වීමේ පොරොන්දුව ඇතිවය. ඔවුන් දෙදෙනා සමුගත් පසු මා නැවතත් ඉහළ මාලයට ගියේ ශ්‍රියන්ත සහ කුසුම් රෙණුගේ නර්තන පුහුණුවීම් දැකබලා ගන්නටය.

මෙම…. ගිම්හාන…..
මෙම….ගිම්හාන…..
ග්‍රීෂ්ම වු කාලේ….
අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා වේ……

ඒ අපූරු නුර්ති ගීතය පසෙකින් වාදනය විය. එයට තාලයට පා තබා නර්තනයේ යෙදෙන රංගන ශිල්පීන් වන ශ්‍රියන්ත සහ කුසුම් දෙස අප සැවොම බලා සිටියේ ඉතාමත් සතුටිනි. මන්ද ඔවුන් කිසිදු චකිතයක් නොපෙන්වා ඔවුන්ගේ නර්තනය කිහිපවාරයක්ම අපූරුවට පුහුණු වූහ. එයින් ඔවුන් තුළ තිබෙන ප්‍රවීණත්වය මැනෙවින් කැපී පෙනුණි. පුහුණුවීම් අවසන් වූ ශ්‍රියන්ත අසල අසුනක වාඩිවිය. මම හෙමිහිට ඔහු අසලට ගියෙමි.

” ශ්‍රියන්ත අයියේ සරසවිය වෙනුවෙන් වචනයක් දෙකක් කතා කරමුද යැයි මා ඇසූ සැණින් ඔහු එයට එකඟ වූයේය.

ඇත්තටම රිදී රැයක් විශේෂ ප්‍රසංගයක්. කලා මාධ්‍යයේ සැවොම එකතු වෙන ප්‍රසංගයක්. ඒ නිසා එහි විචිත්‍ර බවක් ගැබ්වී තිබෙනවා. ඒ වගේම විනය උපරිමයෙන් තියෙනවා. නිර්මාණයකදී වැදගත්ම සාධකය වන්නේ විනය. විශේෂයෙන් නර්තනයේදී විනය ඉතා වැදගත්. ඒ වගේම චන්න විජේවර්ධන කියන්නේ මතක ගබඩාවක්. රිදී රැයක් සඳහා යොදා ගන්නා ගීත චිත්‍රපටයට, ගීතය ගයන ගායකයා ගායිකාවට රංගනයේ යෙදුණ ශිල්පීන්ට හානියක් නොවන පරිද්දෙන් ඔහු නර්තනාංග නිර්මාණය කරනවා. මෙය සමාජ සත්කාරයක් ලෙසයි මා නිතරම හඳුන්වන්නේ. අපි හැමෝම මෙයට සහභාගී වන්නේ නොමිලේ. කවුරුවත් මුදල් අයකරන්නේ නැහැ. අසරණ වූ කලා කරුවන්ට, රෝගාතුර වී සිටින කලාකරුවන්ට සවියක් වෙන්න තමයි රිදී රැයක් ප්‍රසංගය පවත්වන්නේ. මෙවරත් සමාජ සත්කාරයක් සිදු කෙරෙනවා. ගංවතුර, නායයෑම් නිසා අසරණ වූ අපේම ජනතාවට පිහිට වෙන්න සිනේස්ටා පදනම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙය මා විශේෂයෙන් කියනව.රිදී රැයක් කියන්නේ වර්ෂ අවසානයේ කලාකරුවන් වෙනුවෙන් කරන ශාන්ති කර්මයක්.

එදින පුහුණුවීම් ආවරණය අවසන් කළ මම නිවසට යාමට සැරසුණෙමි. එහෙත් උපුලී මිස් සහ ෂෙරීන්ගෙන් තේ පැන් සංග්‍රහයක් සඳහා ආරාධනා ලැබුණි. කෙටි ආහාර වර්ග කිහිපයකින් සහ කිරිතේ කෝප්පයකින් සප්පායම් වුණ මා උපුලී මිස් සමඟ ටික වෙලාවක් කතාබහේ යෙදුණෙමි.

අපි මේ දවස්වල කාලය ගත කරන්නේ සතුටින්. ඒකට හේතුව මේ දවස්වල අපේ ගෙදර කලාකරුවන්ගෙන් පිරිලා. මට මේ වෙලාවේ මාලිනි අක්කාව මතක් වෙනවා. එයා ඉන්න කොට සාලෙත් නටනවා. හරිම විනෝදෙන් තමයි මාලිනි අක්කා රිදී රැයක් ප්‍රසංගය සඳහා සහභාගී වුණේ. මාලිනි අක්කා නැති අඩුව නම් මට තදින් දැනෙනවා. එසේ කී ඇගේ දෑස් කඳුලින් දිලිසෙන්නට විය. ඇය කී දෙය සැබෑවකි. මාලිනි ෆොන්සේකා නොමැති අඩුව රිදී රැයක් ප්‍රසංගයේදි කාටත් තදින් දැනෙණු ඇති. අඳුර වැටී ගෙන ආ නිසා ඔවුන්ගෙන් සමුගත් මා නිවස බලා ඒමට පිටත් වුණෙමි. නිවසට ආ විගස මා කළේ රිදී රැයක් පුහුණුවීම් වලදී මා ආවරණය කරගත් සියලු දේ සරසවිය ප්‍රධාන කර්තෘතුමාට දැන්විමය.

” මම හෙටත් යනවා”

දෙවැනි දිනයේ රාජකාරිය කිරීමට මම ඒ අවස්ථාවේම අවසර ලබා ගතිමි.

පසුදින දිවා ආහාරයෙන් පසුව මම මගේ රාජකාරිය කිරීමට පිටත් වුණෙමි. දෙහිවල හංදියෙන් බැස මුහුදු බඩ මාර්ගය ඔස්සේ ඇවිද ගියේ මුහුදු සුළං ගත දැවටෙන සිසිලසද විඳගනිමිනි. චන්න සර් ගේ නිවස පිහිටා තිබෙන්නේ දෙහිවල ප්‍රනාන්දු මාවතේය. මා එහි යන විට ශිල්පීන් කිහිපදෙනෙකු පුහුණුවීම් සඳහා පැමිණ සිටියහ. වීණා ජයකොඩි, ජීවන් කුමාරතුංග, ජනිත් වික්‍රමගේ ඒ අතර වූහ. තවත් කිහිපදෙනෙකු පැමිණීමට නියමිතව තිබුණි.

එදින මට පහළ මාලයේම රැඳී සිරීමට සිදුවිය. එදින පැමිණි ශිල්පීන්ගේ පුහුණුවීම් වල අරම්භක දිනය එදින වූ නිසා ඔවුන් පුහුණුවන ස්ථානයට යාමට මට අවසර නොලැබුණි. මා ගියහොත් පුහුණුවීම් වලට බාධාවක් වන නිසාය. ඒ නිසා ඔවුන්ගේ පුහුණුවීම් වල ඡායාරූපයක් හෝ ගැනීමට නොහැකිවීම කනගාටුවට කරුණකි. මම එදින මිදුලේ තියාතිබූ සිමෙන්ති අසුනට බර දී කාලය ගත කළෙමි. පුහුණුවීම් නිමකර යන ශිල්පීන්ගෙන් අදහස් විමසීමට පමණක් අවසර ලැබුණි. මගේ කම්මැලිකම දුටු නිසාදෝ රූමත් හැඩැති නර්තන ශිල්පිනියක් මට තේ කෝප්පයක් රැගෙන ආවාය.

ටික වේලාවකින් සිනහවක් පාමින් මා අසලට පැමිණියේ ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංගය.

” රිදී රැයක් කියන්නේ අපේ මෞලිමංගල්‍යය. මේ ප්‍රසංගය නරඹන්න විදේශ රටවල සිටින අය පවා පැමිණෙනවා. මගේ නර්තනය තියෙන්නේ යශෝධා සමඟ. ඇයටත් මටත් සිනමාවේ එකට වැඩ කරන්න ලැබී නැහැ. මේ ප්‍රසංගයේදී එකට වැඩ කරන්න ලැබීම ගැන සතුටුයි. රිදී රැයක් මඟින් කෙරෙන්නේ අපේ වයෝවෘද්ධ කලාකරුවන්ගේ සෞඛ්‍යය රක්ෂණය සඳහා දායකවීම සහ ඔවුන්ගේ සුබසාධනය උදෙසා දායක වීම. එහෙත් මෙවර විශේෂ සත්කාරය වන්නේ ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීම. සුනාමිය ආ වෙලාවේත් ගෙවල් සියයක් ඉදිකර දීමට සිනෙස්ටා පදනම දායකතවය දැක්වූවා.

ජීවන් අයියා අදහස් දැක්වීමෙන් පසුව පැමිණියේ යොවුන් නළු ජනිත් වික්‍රමගේය.

” ඉතින් කොහොමද අක්කේ”

ඒ ඔහුගේ සුපුරුදු ආමන්ත්‍රණයයි. අප සිටි තැනට යාබද කාමරයේ රොෂාන් පිලපිටිය නර්තන පුහුණුවේ යෙදී සිටියේය. ජනිත් ද ඒ අසලට කිට්ටු විය. ඒ වෙලාවේම එතනට පැමිණියේ අසේකාය. ජනිත් හොඳ විහිළුකාරයෙකි ඕනෑම වේලාවක විහිළුවක් කරමින් අසල සිටින්නන් හිනස්සන්නට ඔහු රුසියෙකි.

” වැඩක් නැහැ අනේ ඔයා නම්”
“මගේ ඩාන්ස් එක බලන්න ඔයා ආවෙ නැහැනේ”
ඔහු එසේ කීවේ අසේකාටය.
” ඉතින් නටන්නකෝ”
” මම බලා ඉන්නම්”
ඒ අසේකාගේ ප්‍රතිචාරය විය.
” බෑ අයියෝ”
” මට ලැජ්ජයි”

ඇත්තටම මේ පුහුණුවීම් කාලය කෙතරම් නම් සුන්දරද. විනෝදයිද.
” මේ ඔයාල හිනාවෙනවයි, කතාවයි විතරයි නේද, ප්‍රැක්ටිස් කරන්නේ නැද්ද.
එසේ පවසමින් අප දෙසට පැමිණියේ චන්න සර් ය.
” ජනිත් කැමති නැහැ ඔයාල බලන් ඉන්න කොට නටන්න”
චන්න සර් එසේ කියූ නිසා මම හනික එතනින් ඉවත් වුණෙමි.
සාලය මැද තවත් නිලන්ති ඩයස් නර්තන පුහුණු වෙමින් සිටියේ රොෂාන් පිලපිටිය සමඟය.

ආරාධනා ඉවසා
ආදරේ මල් ගවසා…..
රණඹරේ……
සඳ ලෙසේ…….
සැරසිලා ආවදෝ…..

මිල්ටන් මල්ලවාරච්චි සමඟ ඇන්ජලීන් ගයන ඒ ගීතයට නර්තනයේ යෙදෙන්නේ රොෂාන් පිලපිටිය සමඟ නිලන්ති ඩයස්ය. ඒ සොදුරු නර්තනය මම වීඩියෝ ගතකරගතිමි. ඒ සරසවිය යූ ටියුබ් නාලිකාව සඳහාය. එහෙත් එසේ වීඩියෝ කර නොගන්නා ලෙස මට දැනුම් දුන්නේ ශෙරීන්‍ ය. එයට හේතුව ලෙස ඇය කියා සිටියේ රිදී රැයක් ප්‍රසංගය විකාශය අයිතිය ලබා ගත් ආයතනය බාහිර කිසිම කෙනෙකුට වීඩියෝ කිරීමට අවසර නොදෙන ලෙස දැනුම් දුන් බවයි. එවේලේම මම එම කාරණාව සරසවිය ප්‍රධාන කර්තෘතුමා වෙත දැනුම් දුන්නෙමි.

මා දුටු ඇය සුන්දර සිනහවක් පෑවාය. ඇයත් සුන්දරය. ඇගේ සිනහවත් සුන්දරය. එමෙන්ම ඇය කවදත් සරසවිය සමඟ ළෙන්ගතුය. ඇය මා ඉදිරියේ ඇගේ හඬ අවදි කළාය.

“රිදී රැයක් පටන් ගත් දා සිට මම එහි සිටියා. අවුරුද්ද අන්තිමට කලාකරුවන් වූ අපි එකට මුණ ගැසීමට ලැබෙන එකම අවස්ථාව. මුල ඉදන් අපි එක්ක හිටපු සමහර කලාකරුවන් ජීවිතයෙන් සමුඅරන්. ඒ ගැන දුකයි. අපි මේ ප්‍රසංගය කරන්නේ හරිම එකමුතුකමින්. සහෝදරත්වයෙන්, ආදරයෙන්. රිදී රැයක් ප්‍රසංගයේ තියෙන්නේ අපේ දස්කම්. අපිම නටල,, ගයලා, රඟලා ලැබෙන දේ අපේම සහෝදර කලාකරුවන් වෙනුවෙන් යොදවන උතුම් කටයුත්තක් රිදී රැයක් කියන්නේ. පිටරට වල අපිට ආදරය කරන අය මේ ප්‍රසංගය බලන්න එන්නේ හරිම ආදරයෙන්. ඔවුන් අපිට ආදරෙයි. සිනමාවට ආදරෙයි. අපිට කලින් පරපුරේ සිටි ශිල්පීන් වන එඩී ජයමාන්න, රුක්මණී දේවි, ක්ලැරිස්ද සිල්වා, රෝහිණී ජයකොඩි, වගේ තවත් බොහෝ ශිල්පීන් කළ රැඟුම්, අපි වේදිකාවේ කරන විට දැනෙන හැඟීම් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. ඒ වගේම මේ කටයුත්තට උරදෙන ජයන්ත ධර්මදාස මහත්මාව ආදරෙන් මතක් කරනවා. ඔහු අපට ශක්තියක්. එසේ පවසමින් වීණා ජයකොඩි රංගන ශිල්පිනිය මට සමුදුන්නේ මට දේවාශිර්වයද ලබා දෙමිනි.

එදින මට හමු නොවුනත් ශ්‍රියානි අමරසේන ජ්‍යෙෂ්ඨ රංගවේදිනිය මෙවරත් රිදී රැයක් ප්‍රසංගය හැඩ කිරීමට නියමිත බව ඇය විසින් මට එවා තිබූ කෙටි පණිවිඩයක සටහන් වී තිබුණි.

මෙහිදී විශේෂ තරු යුගලයක් ගැන ගැන සඳහන් කළ යුතුය. ක්ලැරන්ස් චිත්‍රපටයෙන් අතිශය ජනාදරයට ලක්වූ දමිත් විජයතුංග සග නිහාරි පෙරේරාද මෙවර රිදී රැයක් ප්‍රසංගය සඳහා සහභාගී වන බව මට දැන්ගන්නට ලැබුණි. මා ගිය දෙවැනි දින නිහාරි පුහුණුවීම් සඳහා පැමිණ සිටියත් ඇය පුහුණුවීම් කටයුතු වල සිටි නිසා මම එයට බාධා නොකළෙමි. දමිත්වද මට මුණ ගැසුණේ නැත. එහෙත් එදින රාජකාරිය නිම කොට නිවසට ගිය විගස මා කළේ මට අවශ්‍ය දේ සඳහන් කර දමිත් හට කෙටි පණිවිඩයක් යැවීමය. එසැණින් ඔහු එයට ප්‍රතිචාර දක්වා තිබුණි. රිදී රැයක් ප්‍රසංගයට ඔහු ලබා දෙන දායකතවය පිළිබඳ ඔහු මට දන්වා එවා තිබුණි. දමිත් තුළින් මා දකින නිහතමානී ගුණය එයයි. ඔහු සරසවිය සමඟ ගනුදෙනු කරන ආකාරය ඉතාමත් ප්‍රසංශනීයයි. කලාවට, සිනමාවට අවැසි එවැනි නිහතමානී චරිතය.

අක්කේ මම රිදී රැයක් සඳහා සහභාගී වන පළමු වතාව තමයි මේ. පුංචි කාලේ ගෙදර අයත් එක්ක එකට එකතු වෙලා බලපු රිදී රැයක් ප්‍රසංග වේදිකාවට මටත් ගොඩවෙන්න ලැබුණ එක මට හීනයක් වගේ. එය මට මගේ රංගන ජීවිතයේ වෙනස්ම අත්දැකීමක්. ඒක පුංචි බයක්ද, තිගැස්මක්ද, නොඉවසිල්ලක්ද මොකක්ද කියල හිතා ගන්න බැරි හැඟීමක් මගේ හිතේ තියෙනවා. මේ වටිනා අවස්ථාව මට වගේම නිහාරිටත් උදාවුණා. අපි හරිම සතුටින් රිදී රැයක් ප්‍රසංගය සඳහා සහභාගී වෙන්නේ. මම ආරාධනා කරනවා ඔබ සැමටත් දෙසැම්බර් 31රෑ රිදී රැයක් පසංගය නරඹන්න කියලා.

දින දෙකක් පුරාවට චන්න උපුලී රංගායතනයේ රැඳෙමින්‍ රිදී රැයක් පුහුණුවීම් අතර සිටි මා මේ ලිපිය ලියන්නේ ඉමහත් සතුටිනි. මට මේ අවස්ථාවට මඟපාදා දුන් සරසවිය පුවත්පතේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී හේමාලිටත්, ප්‍රවීණ රංගවේදිනී නදීකා ගුණසේකරටත් චන්න උපුලී රංගායතනයටත් රිදී රැයක් ප්‍රසංගයට දායක වන කලාකරුවන් සැමටත් මගේ ප්‍රණාමය පුද කිරීමට අමතක නොකරමි. එම දෙදින මට දැනුණේ සිනමා පටයක මමත් රඟපානවා යැයි හැඟීමකි. සිනමා තරු සමඟ කතාබහ කරමින්, විහිළු තහළු කරමින් ගෙවුණු ඒ දින දෙක මටද කිසිදා අමතක නොවනු ඇත.

අපි කවුරුත් විනෝදයෙන් ගත කළත් සැම දෙනාගේම සිත්තුළ රැඳී තිබුණේ අපේ රටට වූ වි්‍යසනය ගැනය. මා සමඟ කතාබහ කළ සියලුම රංගන ශිල්පී ශිල්පිනියන්ගෙන් කියැවුණේ අපේ රටට මුහුණ පාන්නට සිදුවූ ආපදා තත්වය ගැනය. ඒ වෙනුවෙන් සිනෙස්ටා පදනමෙන් සිදුකරන මෙහෙය ගැනය.

සිනමා ලොව තරු එකම වේදිකාවක සිය දස්කම් පෙන්වන රිදී රැයක් ප්‍රසංගය සඳහා තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් සහභාගී වීමට නියමිතයි.

රිදී රැයක් ප්‍රසංගයට සියලු කලාවට සවිය සපයන සරසවියෙන් උණුසුම් සුබ පැතුම්.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT