– මගෙ රත්තරන් තාත්තා දෙවියන් වහන්සේ විසින් මට ලබාදුන් උතුම් ම තිළිණයක්
– තාත්තාගෙ මිල කළ නොහැකි ආදරය කියාගන්න මට වචන මදි
– තාත්තා මට කතාකළේ කළු පුතා කියලා
– අපෙ තාත්තා තවමත් අප සමඟම ඉන්නවා කියලමයි හිත කියන්නෙ
– තාත්තා අපිව ෂූටිං කරන තැනකටවත් එක්ක ගිහින් නැහැ. සිනමාවට එන්න කියලාවත් නැහැ. අපට කැමැති දෙයක් කරන්නට නිදහස දුන්නා
” මගෙ රත්තරන් තාත්තා දෙවියන් වහන්සේ විසින් මට ලබාදුන් උතුම් ම තිළිණයක්”
මෙවර සරසවිය මවුපිය වරුණ සිරිමත් කරනා මේ අපූර්වතම චරිතාංග රංගන ශිල්පියා සිනමා රසිකයාගේ හදවතින් දුරස්ව නැති බව නම් අවිවාදිතය …එතුමා විදහාලූ රංගන පෞරුෂය සේම එතුමාගේ රූපකායද හඬ පෞරුෂය ද අප මතකයෙන් බැහැරව නොයනා තරමට ආසක්ත යැයි හැඟේ.
සිය ආදරණීය පියාණන් පිළිබඳව මා සමඟ ආවර්ජනයක යෙදෙන්නට සිනාමුසු මුහුණින් යුතුව මා සමීපයේම පසුවන්නේ ඒ තාත්තාගේ නොමඳ ආදරයටම පාත්‍ර වූ ඔහුගේ පුත්‍රයකු වන “කළු පුතා “ය.. නොඑසේනම් තම පියාණන් ගත්මඟ යමින් මේ වනවිට සිනමා රිදී තිරයෙන් ටෙලි නාට්‍යයෙන් අපට හුරුපුරුදු මමෝජ් චින්තක වාස් නම් සම්මානිත රංගන ශිල්පියාය..
මම අපේ ආදරණීය චින්තකට සවන් දෙමි.
” මට නොකියාම බැරි දෙයක් තියෙනවා. අපේ තාත්තාගෙ ඇස් දෙක ගැන කා අතරත් ලොකු කතාවක් තියෙනවා. ඒ කියන්නෙ ඒ ඇස්දෙක අපෙ පවුලේ හැමෝටම පිහිටලා තියෙන නිසා කොහේ හරි දැක්කත් ඕනෑම කෙනෙකු ඔයා වින්සන්ට් වාස්ගෙ කවුරුවත්ද කියල අහන තරමට විශේෂයක් තියෙනවා…”‘
අපේ චින්තක සිනාබර මුවිනි.
අපේ සොඳුරු කතා නායකයා උපන්නේ බේරුවල ග්රාමයේය.
1922ක්වූ නොවැම්බර් මස 07 වනදා ලියෝන් වාස් සහ මොනිකා වාස් මවුපියනට උපන් දූ පුතුන් සත් දෙනකු වූ අතර පස්වැනියා ලෙසින් ජන්ම ලාභය ලැබුවේ මේ අපේ කතා නායකයාණෝය.
ඔහු නමින් අන්දර වාස් පටබැඳීගේ වින්සන්ට් වාස් ය.
තාත්තා මුහුදු රස්සාවේය…නිවසට නුදුරු පෙනෙනමානයේ මහසයුර ඔහුට සුලභ දසුනකි. විවිධ දුක්කම්කටුලු මැද වුවද ලියෝන් වාස් තාත්තා තම දරු දැරියන් මත්තේම සිටිමින් පස්වන පිරිමි දරුවා හෙවත් අපේ ආදරණීය කතා නායකයාට දැක්වූයේ නොමඳ ස්නේහයකි.
අපේ සොඳුරු කතා නායක තෙමේ ඉගෙනුමට පිවිසියේ බේරුවල ශාන්ත ආනා ප්‍රාථමික විදුහලටය. මේ දරු පවුල ආර්ථික අපහසුතා වලින් මිදුණු මොහොතක්ද නැති තරමි. හදිසියේම තාත්තා අහිමිවී යාමෙන් අපේ වින්සන්ට් වාස් දරුවා තවත් අසරණව යමින් අන්තිමට පාසල් ගමන නවතා දමා පවුලේ දහිරියට.. මවට සහය දෙමින් කාලය ගෙවන්නට විය.
ඒ වනවිට හෙතෙම පැමිණ සිටියේ පස්වන පන්තිය දක්වා පමණි.
පවුලේ බර තමන්ටද දැනෙයි. තම පියා මෙන් ඔහුද ධීවර රස්සාවට ගියේය..වරෙක මාළු දැල් අදී. වැල්ලේ තවත් කටයුතුවලය.. එතෙකින්ද නොනැවතී සුළු සුළු රස්සාවලද නිරත වූයේය.
අපේ සොඳුරු කතා නායකයාගේ ජීවන සිරිතේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කරමින් ඔහුගේ නව මාවත නොදැනීම ඉදිවූයේ බුලත්සිංහල, අතුර ප්‍රදේශයේ සිල්ලර කඩයක රස්සාවකට පැමිණීමෙනි.
දැන් අපේ වින්සන්ට් වාස් කොලු ගැටයා කඩිසරව වැඩපළ කරමින් මුදලාලිගේ හොඳ හිතද දිනාගැනීමට සමත් වී තිබේ.
ගමට නුදුරු පයාගල කතෝලික දේවස්ථානය සමඟ සබඳතාවයද වෙසෙසින් කිවයුතුය. තම දෙමවුපියන්ගේ ද ආභාසය ලබමින් දේවස්ථානය තමන්ට හුරුපුරුදු තැනක්ම බවට පත්කරගත් හේ එහි ගීතිකා කණ්ඩායම සමඟ එක්ව ගැයුවේය..ඔහුගේ ගායන කුසලතාව මහත්සේ අගය කළ එහි පියතුමන් ඔහුට බොහෝ දේ පැවරුවේය..ඒ නිසාමය වයලීනයෙහි සර්පිනාවෙහි තබ්ලාවෙහි ගායනයෙහි උපන් සපන්කම් දක්වන්නට හැකිවූයේ…සංගීත කටයුතු වලදී අපේ ප්‍රවීණ සංගීතඥයකු..ගායකයකුද වන මර්වින් පෙරේරා මහතාගේ පියාණන් හර්මන් පෙරේරා මහතාද සංගීත දැනුම ලබාදෙමින් ඔහුට සමීපවම සිටියේය.
දැන් සිල්ලර කඩයේ කටයුතු කරනා ඔහුට විවේකයක් ලැබෙන්නේ රාත්‍රියේදීය. කඩය සුද්ධ පවිත්‍ර කර අවසානයේ අතනොහැරෙන තම වයලීනය ගෙන රාත්‍රිය පුරා ඔහු වයන්නේය. එය ඔහුට මහත් සතුටක් ම ගෙන දෙන්නකි.
මේ වයලීන වාදනය අසන්නට කෙනකු නැති බව සිතුවද එය අසා රස විඳීන්නටද කෙනකු සිටි බවක් ඔහු දැන නොසිටියේය. දිනෙක ඒ රසවතා දහවලෙහි කඩයට ගොඩවැදී මුදලාලිගෙන් මෙසේ ඇසීය.
“මම රෑට මෙතනින් යද්දි වයලීනයක් වයනව ඇහෙනවා…”
“ආ ..ඒ මේ මූට පිස්සු නෙවැ මහත්තයෝ. කඩේ කොලුවනෙ..” යි කී මුදලාලි කොලුවා ඔහු ඉදිරියට කැඳවා ආයේය.
මේ අමුත්තා අන් කිසිවකු හෝ නොව සිය සංගීත ඥානයෙන් රටක් මෝහනය කරවන්නට සමත්වූ අපේ ගෞරවනීය ආර්.මුත්තුස්වාමි නම් මහා සංගීත ගාන්ධර්වයාණෝ ය. එතුමා අපේ වින්සන්ට් වාස් කොලුවා සමග එතැන් සිට මිතුරු වූයේය.
“ඇහුණද..තමුසෙ හොඳ කඩයට නොවෙයි. එනව යන්න මා එක්කල කොළඹ … නායගම් මහත්තයා චිත්‍රපටයකට නළුවෙක් හොයනවා. ” යි කියමින් ඔහු කැඳවා ගියේය. නායගම් මහතා ඔහු දුටු සැණින් කටපුරා සිනාසී “හා..ඔය ළමයාට හොඳ ඇස් දෙකක්නෙ තියෙන්නෙ. මේ මම හොයාපු ඇස් දෙකක්. ඉන්දියාවේ යන්න ලෑස්ති වෙනව චිත්‍රපටයක රඟපාන්න..”
ඒ ඇසූ හෙතෙම මුව අයාගත්වනම බලා සිටියේය. ගමේ කොල්ලො පිස්සු හැදෙයි මේක අහලා”
අපේ වින්සන්ට්ට එකවරම එසේ සිතුණේය.
“එදා අපෙ තාත්තා ඒ ගමනට හදාපු පාස්පෝට් එක පසුකලෙක ගංවතුරට ගියා..අපෙ තාත්තාට එදා පල්ලියෙ පියතුමා ඇතුළු ගමේ මිනිස්සු ඇවිත් සුභ පතල තියෙනවා ”
මෙතුවක් නිහඩව පසුවූ අපේ චින්තක වාස් කීවේය.
“අහංකාර ස්ත්‍රි” චිත්‍රපටයේ ජුවන්ගේ චරිතයට ජීවය දුන්නේ අපේ කතා නායකයාණෝ ය. එක රැයින් රට සුපතළ වූ අපේ වින්සන්ට් වාස් ට චිත්‍රපට ගලා ආවේය.
අපේ වින්සන්ට් වාස් පුතු චින්තක යමක් කීමට සැරසෙයි.
“එදා අපෙ තාත්තා තරුණයි. ඉන්දියාවේ ආභාසය තිබුණු මුහුණක්ලු. සිවාජි ගනේෂන් අනුකරණය කරන නළුවෙක් කියලත් ප්‍රකට වුණානෙ.”
එතුමා සිනමා සිත්තම් එකසිය දහයකට ආසන්න සංඛ්‍යාවක විවිධ චරිත නිරූපණය කළේය.
“මං හිතන්නෙ අපෙ තාත්තා පල්ලියෙ රඟපෑ පාස්කු නාට්‍යවල පන්නරයත් තාත්තා ට එකතු වුණා කියලයි. වැල්ලේ කතාවත් උස්හඬින්මනෙ. හඬ පෞරුෂත්වයත් බලපෑවා වෙන්නැති තාත්තා ලබපු ජයග්‍රහණයට.”
අපේ චින්තක වාස් කියන්නේය.
අපේ ආදරණීය කතා නායක තෙමේ ගායනයෙහි නිපුණව එකල ඩ්ධ්ඉ ර්ඒඉඊඡ්අ’ඉ ඍර්ණධ්ඛ්ඡ් තැටියටද ගී හඬ මුසුකරමින් ගුවන් විදුලියේ ගැයූ ගීත කිහිපයක්ද අදටත් තිබෙන්නේය.
කිතුනු බැතිමතකු වූ ඔහු තුළ දෙවියන් කෙරෙහි භක්තිය නොඅඩුවම තියේ. ඒ නිසාම හේ මතුගම පල්ලියට ද යන්නේය. රටේ කවුරුත් දන්නා අපේ කතා නායක තෙමේ එහි උත්සවයකට ගොස් එහිදී රූපත් යුවතියක දෙස එකවරක් නොව කිහිපවරක්ම බැලුවේය..ඈ ළඟ ඔහු සිත නතර වූ තරම….ඈ පිළිබඳ වංහුං සොයා ඇයගේ නිවසටම ගොස් වැඩිහිටියන් හමුවී ඈ පිළිබඳ කැමැත්ත පවසා සිටියද නළුවකු වීම නුසුදුසුකමක් වී හරහට සිටියේය…එහෙත් තම අදහස මත්තේම පසු වූ හෙතෙම දෙපාර්ශවයේම ආශීර්වාදය මැද එම දේවස්ථානයේ දීම විවාහ ගිවිස ගත්හ.
අපේ සොඳුරු වින්සන්ට් වාස් මහතාගේ ජීවන සහකාරිය වූයේ පේස්තේරුවේ ලියනරාලලාගේ ඇග්නස් කුරේ මෙනවියය.
ඒ 1961පෙබරවාරි මස 11 වනදාය.
මතුගම කන්‍යාරාමයක සිප්සතර ඉහළින්ම හැදෑරූ ඕ තොමෝ ඔහුට වඩා වයසින් අවුරුදු 18කින් ළාබාල වූවාය…එහෙත් බැඳී ප්‍රේමණීය ස්නේහයේ සිරිත සොඳුරු කැදැල්ල හැමතින්ම සිරිමත් කළේය.
අපේ චින්තක මදෙස සිනාසෙමින් බලාගත්වනමය.
“අපෙ අම්මාටයි තාත්තාටයි අපි දූ පුතුන් පස් දෙනයි. අපෙ ලොකු අක්කා මිරානී හයසින්ත් ස්ටෙලා වාස්. ඊළඟට අපෙ අයියා මිලාල් ජෝශප් වාස් අපේ පොඩි අක්කා ජානකී ශිරන්ති වාස්. ඊළඟට මේ මමයි. මට අපෙ තාත්තා කතාකළේ කළු පුතා කියලා..මම මමෝජ් චින්තක වාස්.. මගෙ නංගී ඉමෝකා ඉරෝෂණී වාස් …මේ හැමෝම විවාහකයි. ලොකු අක්කා මෑතකදී අපට නැතිවුණා…”
“දරුවකුට ලැබෙන්නම ඕනා තාත්තාවමයි මට ලැබුණේ. මේ අපේ හොඳම තාත්තා ව අපට දුන්නාට මම දෙවියන් වහන්සේ ට ප්‍රශංසා කරනවා…”
චින්තක ඒ ටික කීවේ මහත් ගෞරවනීය හැඟීමකින් යැයි මට සිතේ.
“අපට වතුපිටි දේපළ මුකුත්ම නැහැ. මග්ගොන පදිංචියට ආපු ගෙයි ඉඩම පර්චස් 20යි. අපෙ තාත්තා අපිව රක්ෂා කළේ රංගනයෙන්. අපිව උස්මහත් කරන්න අම්මා වගේම ලොකු අක්කාත් වෙහෙස වුණා. අපෙ තාත්තාගෙ මිල කළ නොහැකි ආදරයට කියාගන්න මට වචන මදි අමල්…”
ඒ ටික චින්තක කීවේ බිමබලාගත්වනම බිඳුණු ස්වරයකිනි.
තාත්තා චිත්‍රපට රූගත කිරීම් අහවර කොට එන්නේ දුම්රියෙනි. මහ රාත්‍රියේ ගෙටගොඩ වෙන හෙතෙම මරනින්දේ පසුවන තම දරුවන් අවදි කරවන්නේය. රැගෙන ආ ආහාර ඔහුගේ අතින්ම දරුවනට කවන්නේය.
“මිතුරන් එක්කල කාලා බීල එන්න පුළුවන්කම තියෙද්දි අප වෙනුවෙන් තාත්තා ඒවා අරන් එනවා. මං පොඩියිනෙ. මං නිදිකිරා වැටෙනවා. මට දෙනව රිදෙන්න පහරක්. අනික් අය කටවල් පහක් හයක් කද්දී නිදිමරගාතෙ මම කටයි දෙකයි. ඒ අපට තිබුණු ආදරයමයි”
නළු වෘත්තියේ ගරුත්වය ඉහළින්ම සලකා සිටි අපේ කතා නායක තෙමේ නිතර කීවේ මට පේමන්ට් එකේවත් රස්සාවක් කරන්න බැහැ. මොකද මම නළුවකු වූ නිසා..”
පවුලේ අමාරුකම් ඔඩුදුවද්දී නළුවකු වීම ගැන වරෙක දුක් වූයේය. වෙනත් රස්සාවල නිරතව නළුවකුගේ ගරුත්වය බිඳලන්නට නොහැකි බැවිනි.
“මං ගියේ මග්ගොන දියලගොඩ රෝමානු කතෝලික පාසලට. මට ශිෂ්‍යත්වයට ලියන්න අවස්ථාව ලැබුණෙ අඩුආදායම්ලාභී පවුලක දරුවකු නිසා. ”
කොළඹ මරදාන..ශාන්ත ජෝශප් විදුහලට අපේ චින්තක තවත් සිසුවකු වූ නුගේරා සමඟ එයි. තාත්තා රැකවරණය පිණිස ළඟමය. පාසලට ඇතුළු වනවිට තාත්තා විදුහල් භූමියේ සිටි පිරිසක් සමඟ කතාවකය. ඇලරික් ලයනල් ප්‍රනාන්දුගේ ක්‍රිස්තු චරිතය රූ ගත කෙරෙයි. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එහි අධ්‍යක්ෂවරයාය. ක්‍රිස්තු චරිතයට ජීවය දෙන විජය කුමාරණතුංගයන්ට තාත්තා තම පුතු හඳුන්වා දුන්නේය. විජය චින්තක පුතුගේ හිස අත ගා “පුතා ..ඔයා ශිෂ්‍යත්වයට හොඳට ලියන්න ඕනා…” යි කීවේය.
පල්ලියේ පියතුමා වෙත ලද ලිපියකින් කියැවුණේ චින්තක පුතු ශිෂ්‍යත්වයෙන් ඉහළින්ම සමත් ව ඇති බවය.
සමත් පුතු අගහිඟකම් මැද කොළඹ පාසලට යවන්නේ කෙසේදැයි මවුපිය කතාවෙති.
කෙසේ හෝ පුතු කැටුව තාත්තා පාසලට යන්නේය. පුතු බඩගින්නේ බව දත් තාත්තා කෑමට යමක් අරන් දුන්නද තාත්තා සන්තකයේ තිබුණේ එම මුදල පමණක්ම යැයි පුතු නොදනී.
තාත්තා පුතු පාසලට ඇරලවා දිගටම පයින්ම යන්නේ විජයගේ ගෙදරටය. එහි විවිධ ක්ෂෙත්රවල මහ පිරිසකි. තමන් අත සතයකුදු නැති බව විජයටද නොකියා ඔහු හුදෙකලාව ආලින්දයට වී පුවත්පතක් බලමින් සිටී. පිරිසගෙන් මෑත් වූ විජය රහසේම මෙන් අපේ කතා නායක වින්සන්ට් වාස්ගේ ඔඩොක්කුවට රුපියල් පන්සියයේ මෝට්ටුවක් දමා සිනාසී යළි ගොස් පිරිස හා එකතු වූයේය.
“විජයගේ හිතට මගෙ තත්ත්වය ඉබේම දැනෙන්න ඇති. ඒ කළ උපකාරය දන්නේද විජයම පමණි.
“එදා මට කෑමට අරන් දීලා අපෙ තාත්තා ගියේ අතේ සතේ නැතිව බව මං දැනගත්තෙ පස්සෙ දවසක”
අපේ චින්තකගේ දෑස කඳුළට හැරී ඇතැයි පෙනේ. ඔහු එය වසන් කරන්නට වෑයම් කළේය.
“ඇත්තමයි අමල්…කළගුණය අප ළඟ තියෙන්නම ඕන දෙයක්නෙ. විජය මහත්තයා වගේම ගාමිණී ෆොන්සේකා මහත්තයා .. මාලිනී ෆොන්සේකා මහත්මිය රවීන්ද්‍ර රන්දෙණිය..රෙක්ස් කොඩිප්පිලි ..රූබීද මැල්..ජෝ අබේවික්‍රම.. සනත් ගුණතිලක ..සබීතා පෙරේරා ..ටී.එම්. සංඝදාස..වගේ මහත්ම මහත්මීනුත් තාත්තාගෙ සවියට උන්නා. කොහොම හරි මමත් ඉගෙන ගත්තා ”
චින්තක වාස්ගේ මුවග සිනාවක් ඇඳී යයි.
“අපි ගංවතුරට අහුවුණු වෙලාවෙ සනත් මහත්තයා සබීතා මහත්මිය ගංවතුරෙ බැහැගෙන අප බලන්න ආවෙ. මට උගන්වන්න කැපවීම් කළ හැමදෙනාටම මම හෙටත් ආදරෙයි. අද මගෙ පුතාල දෙන්නත් ඒ ශාත්ත ජෝශප් විදුහලේ. දුව ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් පාසලේ…”
අපේ සොඳුරු කතා නායකයා මිත්‍ර සමාගම ප්‍රිය කළේය. ඔහුගේ ගෙදර ඉඩ ලැබෙන විටදී පැදුරු සංගීතයකි. ඔහු වයයි. ගයයි. මධුවිතද ගැවසෙයි. ශාස්ත්‍රීය ගීතය අපේ වින්සන්ට් වාස්ගේ මුවගින් දිග හැරේ.
“ඔව්..අමල් අපෙ තාත්තා හොඳට බොනවා. දුම්වැටියත් එහෙමයි.”
මා ඇසූ පැනයකට චින්තක කීවේය.
නිවස ඉදිරියෙන් පීප්පවල රා පුරවා කරත්ත යති. වින්සන්ට් මාස්ටර් රා බොමුදැයි එහි අයෙක් අසයි. සුපතළ නළුවකුට දක්වන ඒ එක් ආදරයකි.
කරත්තයට නැග්ගත් අපේ කතා නායකයා ගස්ලබු පිත්තක් ආධාරයෙන් ඇතිවනතුරු රා පානය කර බිමට බසී.
විවේකය ගෙවන්නේ ගෙවත්තේ ය. ඔහු අතින් ගෙවතු වගාව සරුවට පෙනේ. සෞඛ්‍ය තත්ත්වය රැකගනු පිණිස ඔහු ඇවිදින්නේය. වෙහෙසව වැඩ කරන්නේය. ධීවර රස්සාව ද..මුහුද අද්දර ජීවිතයද හේතුවෙන් අයිස් නැතිව නොකෑ මාළු වර්ගයක්ද නැති.
“පුතේ..දුවේ..වරදක් කරල උඹලට හැංගිල ඉන්න නම් බැහැ. දැක්ක ගමන් අඳුර ගන්නව මේ වින්සන්ට් වාස්ගෙ දරුවෙක්ය කියලා. මම දන්නවා උඹල මගෙ නම රකිනවා කියලා”
ඒ තාත්තා කී කතාවකි ඒ..
විජය කුමාරණතුංගයන් සාහසික වෙඩි පහරින් අපට අහිමිව ගියදා හෙතෙම අහරක් පවා නොගෙන දින ගණනාවක් බලාගත් අත බලා සුසුම් හෙළුවේය.. ඔහු ගුණ කියමින් පසුවූයේය..
බොහෝ අය අපේ චින්තක වාස් ට පවසන කාරණයක්ද තිබේ. එනම් තාත්තා වගේ වෙන්න…යැයි කියන කතාවය. එයට පිළිතුර දෙන චින්තක ගත්කටටම කියන්නේ “අපෙ තාත්තාගෙ නම තියලා තියෙන්නෙ..ඒ නාමය රැකගන්න එක විතරයි අපට තියෙන්නේ..ඒක මම ඉදිරියටම ගෙන යනවා”
අපේ ආදරණීය වින්සන්ට් වාස් තෙමේ රෝගාතුර වූයේය…ඔහු මුව ඇදව ගියේය. අංශබාග රෝගයෙන් ඇඳටම වැටුණේය. හිසේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් එලෙස වී ඇති බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය.
“අපෙ තාත්තා අපිව ෂූටිං කරන තැනකටවත් එක්ක ගිහින් නැහැ. සිනමාවට එන්න කියලාවත් නැහැ. අපට කැමති දෙයක් කරන්නට නිදහස දුන්නා. ”
චින්තක කියන්නේය.
සංගීතය ඉගෙනුමට චින්තක එඩ්වඩ් ජයකොඩි ශූරීන්ගේ නිවසට යන්නේය. තාත්තා සේම පල්ලියේ කලා කටයුතුවලට චින්තක ද එක්වී සිටි නිසාම ඔහුට ද ඉන් පන්නරය හිමිවී තිබිණි.
දිනෙක එඩ්වඩ් ශූරීන් සමග සිටියදී ජැක්සන් ඇන්තනී කලාකරුවාණන් චින්තක දෙසම බලා සිටියේය. ඒ බැල්ම කෙළවර වූයේ ජැක්සන් ගේ “යෙහෙළි” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට එක්කර ගැනීමෙනි.
පසුකලෙක මිත්‍රශීලී වූ අපේ ජැක්සන් ඇන්තනී චින්තකට කියා ඇත්තේ…
” මම වින්සන්ට් වාස් කියන නළුවාව අනුකරණය කළ කෙනෙක් කියාය…
මේ වනවිට අපේ චින්තක වාස් සිනමා සිත්තම් 20ක පමණද ටෙලි නාට්‍ය 50ක පමණද රඟපා තිබේ.
“ඉස්සර මට කතාවෙදි හොඳටම ගොතයි. ඒකට මම බයෙන් ඉන්න කොට එඩ්වඩ් චරිතා දෙපළ මාව දිරිගැන්වූවා. මම ඒ දෙන්නාට පින් දෙනවා. රඟපාන්න ඇවිත් පළමු දර්ශනයෙදිම මට තිබුණු ගොතය අතුරුදන් වුණා. දෙවියන් මට උපකාර කළා..”
ජනාධිපති ..සහ කුසලතා…සම්මානිත අපේ රංගන ශිල්පී චින්තක වාස් සතුටින් සිනාසෙන්නේය .
“මම රඟපෑ චරිතයක් තාත්තාට පෙන්වල කොහොමද හොඳද ඇහුවාම තාත්තා හ්ම් කියන්නෙ නැහැ… එයාගෙ මුහුණින් ඊට වඩා දෙයක් කියැවෙන බව මට දැනිල තියෙනවා…”
සිනමා ක්ෂෙත්රයේ කාගේත් ආදරයට ගෞරවයට බඳුන්ව ….සිනමා රසික හදවතේද නිදන්වූ අපේ සොඳුරු කතා නායක තෙමේ දැන් දැන් රෝගීව උත්සන්න තත්ත්වයේය..රජයේ රෝහලේ ප්‍රතිකාර ලබා..අනතුරුව ආයුර්වේද රෝහලට ඇතුළත්ව හෙතෙම නිසි ප්‍රතිකාර මැද සුවපත් වූයේය… නීරෝගී වූයේය..
එහෙත්…..වයසින් අවුරුදු 80 වන වියේහි පසුවූ අපේ ආදරණීය වින්සන්ට් වාස් කලාකරුවාණෝ කිසිවකුට හෝ කිසිත් නොකියා..නොදන්වාම යළි අවදි නොවනා දිගු නින්දකට වැටුණේය..
ඒ 2004ක්වූ මැයි මස 06 වනදාය.
චින්තක බිමබලාගත්වනම ය…මම ඔහුට සමුදෙනවිට ඔහු බිදුණු ස්වරයෙන් මෙන් කීවේ…
“අපෙ තාත්තා අපට නැතිවෙලා අවුරුදු 20ක්… ඒ වෙනුවෙන් රාජගිරියේ ගැලවීමේ හමුදා නිවස්නයට දානමය පින්කමක් එක්ක පල්ලියෙ පූජාවක් සිදුකරනවා…අපෙ තාත්තා තවමත් අප සමඟම ඉන්නවා කියලමයි හිත කියන්නෙ.” යි පැවසූ චින්තක වාස් සරසවිය පුවත්පතටත් එහි කර්තෘතුමාටත් මටත් ස්තූතියි කියන්නටද අමතක නොකළේය..
අමල් යශෝමන් ජයසිංහ