තිස්ස අබේසේකර කියන්නේ ඒ කාලේ අපේ අම්මා හරියට ආදරේ කරපු චරිතයක්. සිනමාවේ අතළොස්සක් දෙනා හිටියා අපේ අම්මා නිතර මුණගැසුණු. ඒ අය අතරින් එක්කෙනෙක් තමයි තිස්ස අයියත්. මේ හැම කෙනෙක් එක්කම පස්සේ කාලෙක සිනමාවේ මම වැඩ කරනවා. ආචාර්ය ලෙස්ටර් පීරිස්, සුමිත්‍රා පීරිස්, ඩී.බී. නිහාල්සිංහ ආදීන් මේ අය අතර හිටියා. නමුත් මේ සියලු දෙනාම මට චරිත දුන්නේ මම අම්මගේ දුව නිසා සලකලා නොවෙයි. ඔවුන්ගේ ඒ නිර්මාණවල චරිතවලට මාව ගැළපෙන නිසා. ඒ වගේම තමයි තිස්ස අබේසේකරගේ හමුවත්. මම වැලිකඩ පදිංචි වෙලා හිටපු කාලේ අපි නිතර තිස්ස අයියගේ නිවෙසට යනවා එනවා. ඒ කාලේ ඔවුන් පදිංචි වෙලා හිටියෙත් වැලිකඩ. අපි නිතර හමුවෙනවා. කෑම කනවා. ඒ වගේ ළඟ සම්බන්ධයක් තිබුණා.
සරත් ගුණරත්නත් මා ගැන දැනගත්තේ අම්මා නිසා. ඔහු මීට කලින් තිස්ස අබේසේකරයන් සමඟ චිත්‍රපටයක් කළා. ‘ලෝක හොරු’ කියලා. ඒ චිත්‍රපටයේ අපේ අම්මත් රඟපෑවා. ඒ ආශ්‍රයත් සමඟ මා ගැන දැනගෙන ඉන්න ඇති. ඒ කාලයේ අලුත් අධ්‍යක්ෂවරුන්ට ලොකු උවමනාවක් තිබුණා ක්ෂේත්රයට අලුතින් එන නවක මුහුණුත් එක්ක වැඩ කරන්න. ඒ පසුබිමත් ‘වත්සලා අක්කා’ චරිතය මට ලැබෙන්න හේතුවක් වුණා කියලා මට හිතෙනවා. මින් ඉහත මගේ නිර්මාණ ජීවිතේ මට හමුවුණේ මගේ සම වයසේ තරුණ නළුවන් සමඟ රංගනයට එක් වෙන්න. නමුත් වත්සලා අක්කා මට අලුත් සබඳතාවයක් සිනමාව ඇතුළේ නිර්මාණය කළා. තිස්ස අයියා නිරූපණය කරන්නේ මැදිවියේ චරිතයක්. ඔහුට යොවුන් වියේ පසුවන දියණියක්ද සිටිනවා. ඔහුගේ පළමු බිරිය මියගොස්, දෙවැනි විවාහයක් කර ගත්තෙක්. චිත්‍රපටයේ මැද හරියට පැමිණෙන විට දෙවැනි බිරියත් මිය යනවා. ඔහුව මගේ චරිතයට මුණගැසෙන්නේ ඔහුගේ දියණිය තිළිණි ඉගෙන ගන්නා පාසලට පැමිණෙන සංගීත ගුරුවරිය මම නිසා. ඔහුගේ දියණියත් වත්සලා අක්කාත් අතර ඉතාම සමීප සබඳතාවයක් ගොඩනැඟෙනවා. තිළිණි ඇයගේ කුඩම්මාට දක්වන අප්‍රසාදය නිසා සමහර විට ඇය වත්සලා අක්කාට ළං වෙන්න ඇති. තමන්ගේ දියණියට ආදරේ කරන මේ ගුරුවරිය කෙරෙහි කැමැත්තක් ඇතිවෙන්න ඇගේ පියාටත් ඒක හේතුවක් වෙන්න ඇති.
මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ ගැඹුරු මානසික සිතිවිලි ධාරාවන් සමඟ පොරබදන ප්‍රේමයක් පිළිබඳවයි. සාමාන්‍යයෙන් තරුණයෙක් සහ තරුණියක් අතර ඇතිවන සරල සුන්දර ප්‍රේමයෙන් වියුක්ත වුවක්, දෙවරක් විවාහ වූ යොවුන් දියණියක සිටින මිනිසෙකුගේ ප්‍රේමයට ගොදුරු වෙන්නේ නව යොවුන් විය ඉක්මවූ තරුණියක්. මේ දෙදෙනා අතර පවතින අසමාන දුරස්ථභාවය චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රතිනිර්මාණය කරන්න සිද්ධ වුණා.
ඇත්තටම වත්සලා අක්කා ධනුකට ආදරය නොකළා නොවේ. ධනුකගේ දියණිය තිළිණි වත්සලා අක්කාට සමීප වීම නිසා ඔවුන් දෙදෙනා අතරත් ආදරණීය බැඳීමක් ඇති වෙනවා. තිළිණි කොහොමත් ඇයගේ කුඩම්මාට කැමැත්තක් තිබුණේ නැහැ. නිවෙසේ තිබුණු ඇය අප්‍රිය කරන පරිසරය නිසා වන්න ඇති ඇය නිතැතින්ම වත්සලා අක්කාට සමීප වෙන්නේ. නමුත් තිළිණි සිය පියාගේ ප්‍රේමය වත්සලා අක්කාට හිමි වෙනවාට හෝ ඔවුන් විවාහ වෙනවාට කිසිසේත්ම කැමැත්තක් දක්වන්නේ නැහැ. වත්සලා අක්කා ධනුකට කරපු ආදරය ගැන ඇය ධනුකට ලියන ලිපියේ සඳහන් වෙනවා. මට තාමත් ඒ ලිපිය මතකයි.
“දයාබර ධනුක,
කිව යුතු දේ ඔබේ මුහුණට කෙළින්ම කීමට බැරි බැවින් ලිපියකින් කීමට සිදුවීම ගැන මුලින්ම මම ඔබගෙන් සමාව අයදිමි. ඔබ මගෙන් බලාපොරොත්තු වූ පිළිතුර ඔබට දීමට හැකියාවක් මට තිබුණි නම්, මම අද මෙසේ පලා නොයමි. මා නෙත් අභියස ඔබේ බලාපොරොත්තු කැඩී බිඳී යන අයුරු මට බලා සිටිය නොහැකිය.
ධනුක, සැබවින්ම මම ඔබට බෙහෙවින් ආදරය කරමි. ඒත් අහිංසක දැරියකගේ සුරංගනා ලොවක් විනාශ කිරීමට තරම් මට කුරිරු විය නොහැකි බව ඔබ තේරුම් ගන්නේ නම් මට ඒ ඇති. තිළිණි මා නෙත ගැටෙන තාක් කල් මට ඔබ අමතක කළ නොහැකි බව මම දනිමි. සිත දැඩි කරගෙන මා මෙසේ ගමට යාමට තීරණය කළේ අප කාගේත් යහපත ගැන සිතීමෙන් අනතුරුවය.
මා වැන්නියක් ඔබට හමුවූ බව අමතක කරන ලෙස මම ඔබගෙන් බැගෑපත්ව ඉල්ලමි. තිළිණිත් චූටි දියණියත් හොඳින් හදා ගැනීමට ඔබට අවශ්‍ය ධෛර්යය නිරතුරුවම ඔබට ලබා දෙන මෙන් මම දෙවියන්ගෙන් අයදින්නෙමි. යළි උපදින හැම භවයකදීම මීට වඩා වෙනස් අයුරින් හමුවීමට ප්‍රාර්ථනා කරමින් මට ඔබගෙන් සමුගැනීමට අවසර.
වත්සලා”
ධනුකට මේ ලිපිය ලියලා තියලා තමයි වත්සලා අක්කා කන්‍යාරාමයට පිටත් වෙන්නේ.
ලබන සතියේ…. වත්සලා අක්කා අත්දැකිම් තවත්
