Home » ඒ ස්වර්ණමය යුගයට ආයෙත් යන්න ඇත්නම්

ඒ ස්වර්ණමය යුගයට ආයෙත් යන්න ඇත්නම්

- ජ්‍යෙෂ්ඨ ගායනවේදිනී නාලිනී රණසිංහ

by Thanushika
May 9, 2024 12:26 am 0 comment

“මගේ සිත තැන්පත් ය. සන්සුන්ය…තැන්පත්ය..තැන්පත්ය..

පාසලින් මම දකින හොඳම දරුවා මමයි…

පාසලින් මම දකින හොඳම දරුවා මමයි…..”

එදා මගේ ළමාවියේ හිමිදිරියේ ගුවන් විදුලියෙන් විකාශය වූ මා සවනත වැලඳගත් සුමිහිරි හඬකට වරම් ලද ඒ ආදරණීය ගායන ශිල්පිනිය දැන් මා සමීපයේය…

එදා ගුවන් විදුලි ගීතයට පෙම්බැඳී සහසක් රසිකදනන්ගේ නොමඳ ආදරයටද ගෞරවයටද බඳුන් වූ ඕ තොමෝ මේ වනවිට සිය ජීවිතයේ සැඳෑ සමය විඳීමින් පසුවන්නීය.

නුවර පාරේ…කිරිබත්කුඹුර, පොල්ගහමුල හන්දියෙන් හැරී ඈ දැකුමට ඇයගේ නිවස සොයා ගමනේදී ඕ සිනාමුසු මුහුණින් යුතුව පෙරමඟ බලා සිටියාය. එදා යුගය ගායනයෙන් හා වාදනයෙන් රසවත් කළ එතුමිය බැහැදකින්නට මඟ කියූ ඇයගේම සමීපතම යෙහෙලියක වන ප්‍රවීණ ගායිකා ත්‍යාගා එන්.එඩ්වඩ් මහත්මියටත් ඇයගේ දෙටු දියණිය කෞෂාණීටත් සරසවිය වෙනුවෙන් හදවතින්ම මම කෘතඥ වෙමි.

සිය මාධූර්යය කටහඬින් රටක් සනහාලූ සම්මානිත ජ්‍යෙෂ්ඨ ගායිකා නාලිනී රණසිංහ මහත්මිය ය.

තම දෑත එකතුකොට අදරින් මා පිළිගත් ඕ තොමෝ ප්‍රථමයෙන් සිය කටහඬ අවදිකළේ රටට අමතක වූවත් නැතත් තමන් වෙනුවෙන් පැමිණි සරසවිය පුවත්පතටත් එහි කර්තෘතුමාටත් මටත්ය.

“දැන් ඉතිං අපිව පැත්තකටම දමල වගේනෙ. ඉතින් අපට හැමදාම අපට සිහිකර කර සතුටුවන්න පුළුවන් හරිම ලස්සන අතීතයක් ඉතිරිව තියෙනවනෙ. ඒ සතුට එක්ක ජීවත් වෙනවා.. ”

සිනාපිරි මුවින් යුතුව අපේ නාලිනී මහත්මිය එසේ කියන්නීය.

රණසිංහ කොබ්බෑගල සහ චන්ද්‍රා උඩවත්ත දෙපළට දියණියන් දෙදෙනෙකි. එක් පුතෙකි. ඉන් පවුලේ වැඩිමහල් දියණිය මා සමඟ ආදරණීය පිළිසඳරක පසුවන නාලිනීය.

“දැන් ඉතිං මගෙ අම්මා තාත්තා නැහැනෙ. ඇත්තමයි ..මගෙ අම්මා මගෙ කලා ජීවිතයට දුන් අතහිතට මං ණයගැතියි. එතුමිය එදා මගෙ කුසලතා හැකියාවන් දැක මාව දිරිමත් කළ හැටි වගේම මගෙ සෙවණැල්ල වගේ ළඟම හිටිය හැටිත් මට අද වගේ මතකයි.”

අපේ ආදරණීය නාලිනීගේ උප්පැන්නයේ සඳහන් නාමය මාවතුගමගේ අයිරින් නාලිනී රණසිංහය. පේරාදෙණිය, කිරිබත්කුඹුර ඒදඬුවාව ඇය ගේ ගම් පළාතය. උපන්දිනය යෙදෙන්නේ අප්‍රේල් 24 වනදාට බවද ඇය කීවේ අලුත් කරගත් මුව සිනහවකිනි.

ඕ යළි කටහඬ අවදි කරන්නීය.

“මම මුලින්ම ඉගෙනුමට ගියේ කිරිබත්කුඹුර ස්වර්ණජෝති විදුහලටයි. පස්සෙ පේරාදෙණිය මහා විදුහලට ගියා. ඉතිං එහෙම ඉගෙන ගෙන සංගීතයට..ගායනයට ඇති ආසාව නිසාම රජයේ සෞන්දර්යය විශ්වවිද්‍යාලය දක්වා ගියා. ගායනය හා වාදනය හැදෑරුවා. වාදනයට වයලීනය මුලින් ම තෝරා ගත්තේ..පස්සෙ ..පස්සෙ වෙනත් සංගීත භාණ්ඩ වාදනයත් ඉගෙන ගත්තා.”

ඇය එදා ගුවන් විදුලියේ ගැයූ සමය හා එදාමෙදාතුර සසඳන කළ ඇය රුව එතරම් වියපත්ව නැතැයිද නිකමට සිතෙයි.

කිවයුත්ත නොබියව කියන..තම මතය නොසඟවා පවසන තැනැත්තියක යැයිද ඈ පිළිබඳව සිතේ.

පාසල් වියේදී ද ගැයුමට සමත්කම් පෑ එතුමිය සමස්ත ලංකා ජයග්‍රහණයන්ද හිමිකරගත් බව ඈ මා හා කීවේ මහත් සතුටකිනි.

“මට පාසලේ දී ගායනයට අතහිත දුන් සංගීත ගුරුතුමා තමයි ධනපාල වැලිකල මහත්මයා….එතුමා මගෙ ගායනය එදා බොහොම අගය කළා….”

ඉතිං…පස්සෙ ගෙදරට වී ඉන්නකොට පත්තරවල දැන්වීමක් පළවුණා සංගීත විෂයයට ගුරු භවතුන් බඳවා ගන්නවා කියලා. ඒ අනුව මම ගුරු පත්වීමක් ලැබුවා..”

ඒ ඇයගේ ඈතට ගිය යටගියාව ඇයට තවමත් හොඳීන් මතකය…

1972 වසරේ දී බණ්ඩාරවෙල, ඇත්තලපිටිය විදුහලට සංගීත ගුරුවරියක ලෙසින් පත්වීමක් ලද ඇයට එහිදී විජේරත්න රණතුංග, වික්ටර් රත්නායක, සරත් දසනායක, සුජාතා අත්තනායක, දයා හේමන්ත, ආදීහුද මුණගැසිණි.

“මගෙ තාත්තා මං කුඩාවියේදි නැතිවුණා. අම්මා මාව මේ හැමදේටම යොමු කළේ. ගමන් පහසුවට මාව බෝඩිමක නැවැත්තුවා.”

ඕ නිහඬ ව පසුවෙයි. වෙනතක බලා සිට යළි මදෙස බලා සිනාවකින් සංග්‍රහ කර යළි කල්පනාවකට වැටෙන්නීය.

අපේ ආදරණීය ගායිකා නාලිනි රණසිංහ ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයකට පෙනී සිටියාය.

“එදා ගුවන් විදුලිය මේ අද තියෙන ගුවන් විදුලිය නම් නොවෙයි.. හැමදේම වගකීමකින් නූලට වැඩ. සුදුසු අයම සුදුසු තැන්වල. ඉතිං මම ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් “ඒ” ශ්‍රේණියේ සාමාර්ථය ලැබුවා..

“කහවන් ගොයමට රන් දිය වැහැලා…” ඈ ගැයූ ගීතයද මට නිතැතින් සිහි නැගෙයි. එහි රචකයා වූයේ මර්සලීන් ජයකොඩි ගරු පියතුමා ය.

දරදිය ඇදලා..දහදුක් වින්දා..”මළවුන්ගේ නගරයේ (යුග), සුවඳ මලක් වෙන්න බැරිද, පෙම්බර යහළුවනේ, මගේ සිත තැන්පත්ය, අතීතයේ කළු වලාකුළු… “ආදී ඈ එදා ගැයූ ගීත ගොන්න සියයක් පමණ වන බවද ඈ සතුටින් කියන්නිය.

ස්ටැන්ලි එම්.ප්‍රනාන්දු, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, ධර්මදාස වල්පොල, ටියුලින් ජයරත්න, ඩන්ස්ටන් ද සිල්වා, ඩී.ආර් පීරිස්, ආදීන්ගේ ඇසුරට තමන් පාත්‍ර වූවාසේම ඒ හැමදෙනාගෙන් තමන්ට සහය හිමිවූ බවද ඇය කියන්නීය.

තමන් ගායන ශිල්පිනියකව ලද සම්මාන ජයග්‍රහණ සහ තමන් වෙත එන පැසසුම් ද තමන්ගේ සංගීත දිවියට ඉමහත් අත්වැලක්ම වූ බවද ඈ කියන්නීය.

අපේ ආදරණීය නාලිනි රණසිංහ මහත්මිය ළමාවියේ සිටම චිත්‍ර ශිල්පිනියකි. හිතේ පාළුවට තමන් තවමත් චිත්‍ර අඳීන බවද පැවසූ ඕ තොමෝ සුරැකිව තබා හිඳීනා ඈ අතින් කළ රමණීය සිතුවම් රැසක්ම මා හමුවේ තබා පසෙකට වී සිනාමුසුව බලා සිටින්නීය.

සොබා සෞන්දර්යය …මානව රූප…ආදී සිතුවම් බොහෝ ය.

ලේඛිකාවකද වන ඕ සියුමැලි මල්පෙති නමින් ළමා කෘතියක්ද ලියා අධ්‍යාපන දෙපාර්තමේන්තු පුස්තකාලයට බාරදී තිබේ.

ඇය තවත් වරෙක ගීත රචිකාවකි. ලිවීමෙහි සමත්ය. සමස්ත ලංකා පද්‍ය රචනා , සමස්ත ලංකා ගීත තරඟාදියෙන්ද විවිධ අවස්ථාවලදී ප්‍රථම හා දෙවන ජයග්‍රහණ ස්ථාන ලබා සිටින්නීය. තමන් ලද පදක්කම් ..සම්මාන..තිළිණ ආලින්දයේ තැනෙක කුඩා රාක්කයක තබා තිබෙනු ඇය පෙන්වන්නීය.

සරත් විමලවීර, ප්‍රේමකීර්ති ද අල්විස්, ඩෝල්ටන් අල්විස්, චිත්‍රානන්ද අබේසේකර, ආදී ප්‍රවීණ ගීත රචකයන්ද කෘතවේදී ව සිහිපත් කළ ඈ තමන් හා යුග ගායනයෙහි එක්වූ මිල්ටන් මල්ලවආරච්චි, සුනිල් සාන්ත, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ආචාර්ය වික්ටර් රත්නායක, ප්‍රියා සූර්යසේන, විශාරද දයාරත්න රණතුංග ආදීන්ද ඕ සිහිපත් කළේ හදපිරි සෙනෙහසකිනි.

” ඒ රසවත්ම කාලය මට විතරක්ම නෙවි. එදා හුන් හැමෝටම මිහිරිම කාලයක්. ආයෙත් ඒ යුගය එනවානම් තමයි කැමති”

ඕ පුටුවේ හරිබරි ගැහෙමින් සිනාමුවින් කියන්නීය.

ළමා සංගීත, සරල ගී නිර්මාණ, ගායනයෙන් හා බොදු ගී ඇතුළු බොහෝ සංගීතමය වැඩසටහන් ඈ වෙතින් එදා පිළිගැන්විණි.

“කඳු කපා රුවන් හිරු හිනැහෙනවා, සිරිමා බෝ රැකවරණයි, මහවැලි සිසිලේ , ආදී තවත් බොදු ගීත ඈ වෙතින් රසිකයාට පිළිගැන්විණි .

” ඔව්…දැනටත් ආරාධනා මට ලැබෙනවා. රූපවාහිනියෙන් එහෙම. මට කොළඹ ළඟක නැති හින්දා ගමන් අපහසුතා බලපානවානෙ..”

මා විමසූ කරුණකට පිළිතුර ලෙසින් ඇය කියන්නීය.

ඕ චිත්‍රපට පසුබිම් ගායිකාවද වන්නී…මී මැස්සෝ , ජීවන ගංගා, සමනල කුමරියෝ , වැහිලිහිණියෝ , ආදී තවත් චිත්‍රපට කිහිපයකටද ගායනයෙන් දායක වූවාය.

අපේ ආදරණීය කතා නායිකාව නාලිනි රණසිංහ මහත්මිය සමඟ අතිනත ගත්තේ බැංකු ක්ෂෙත්‍රයේ නිලධාරියකු මෙන්ම නීතිඥ වරයකුද වන පර්සි දයානන්ද හික්කඩුව ලියනගේ මහතා ය. ඒ 1972 වසරේ දෙීය.

ඔහු ද අප පිළිසඳරට වරින්වර එක්වෙමින් කතා කරන්නේය.

“අතීතය දෙස බලන විට මම කලාව වෙනුවෙන් මේතරම් දේවල් කරන්න පුළුවන් වුණාද කියා අද වෙලාවකට පුදුමත් හිතෙනවා. ”

ඕ අලුතින් කතාවකට මුල පුරන්නීය.

“මම සංස්කෘතික වැඩ සටහන් කරද්දි අපේ මකුලොලුව මහතාත් සිටියා.. එයට සංගීත ගුරුවරු වගේම නැටුම් ගුරුවරුන්ද එකතු වුණා. එය “පහනින් පහනක්”. ගීත නාටකයක්..නීලා වික්‍රමසිංහ, ටී.එම්. ජයරත්න, මාලනී බුලත්සිංහල අයත් මෙයට එකතු වුණා. මේක පෙන්නුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ජනතා අයිතියට විවෘත වූ දවසේ ..මගේ තනි ගීත නිර්මාණයක්ද ඊට ඇතුළත් වුණා…මේ ඇත්තමයි …අපේ සංගීත සෞන්දර්යය ගුරු විදුහල හැඩ වැඩ කළේ අපේ මකුලොලුව මහත්මයායි.

අපේ නාලිනී 1980 දී පමණ සුජාතා අත්තනායක, නන්දා මාලනී, චන්ද්‍රිකා සිරිවර්ධන, සිය යෙහෙළියන් සමඟ ගුවන් විදුලියේ උපදේශකත්වයෙන් සංගීත මණ්ඩපය නමින් වැඩසටහන් කළාය..ඉන් දක්ෂතාවෙන් පිරිපුන් බොහෝ පිරිසක් බිහිවූ බවද ඈ කියන්නීය.

සුහද කතාව මඳකට නවතා ගෙතුළ කාමරයකට ගිය ඈ සර්පිනාවක් දෑතින් ඔසවා රැගෙනවිත් මා ඉදිරියේ කුඩා ටීපෝවක් මත තැබුවාය…

ඕ තොමෝ සැහැල්ලුවෙන් මෙන් ගීතයක් මුමුන මුමුනා සර්පිනාව වයන්නීය..වරෙක මදෙස බලා සිනාසෙන්නීය. ඈ නිපුණ බව මට හැඟෙයි.

“මේ සර්පිනාව මං අලුතින් ගන්නකොට රු. එකසිය විසිපහයි. තවමත් වයන්න පුළුවන් ”

වයලීනයද..තබ්ලාවද..දෑතට හුරු ඇය කීවේ මගෙ වයලීනය සංගීතය ඉගෙන ගන්න දරුවකුට තෑගි දුන් බවය.

ගී පද හා තනු රචනයෙහිද සමත් අපේ ප්‍රවීන ගායිකා නාලිනි රණසිංහ මහත්මිය සංගීත විෂයයෙහි ගැඹුර සොයාගිය ඇත්තියක යැයි කිවහැක…

“අද ඉතිං ..නවීන තාක්ෂණය කියල දෙයක් ඇවිත් නිසා එදා අපට වගේ ගයන්නට අමාරු නැහැ. ඒත් සවනට මිහිර දෙන පරිපූර්ණ ගීත ඇසෙනවානම් සතුටුයි. අද දක්ෂයන් නැත්තෙ නැහැ”

නාලිනි කියන්නීය.

“අනේ..අපේ ත්‍යාගා එන්.එඩ්වඩ් කියන්නෙ දක්ෂ ගායන ශිල්පිනියක්. ත්‍යාගායි මමයි එකට උන්නේ. අදටත් ත්‍යාගා හා මගේ සමීප යහළුකම එහෙමමයි. යන්න එන්න අපහසු වුණත් නිතර අප දෙන්නා දුක සැප අහගන්නවා..ත්‍යාගාගෙ කෞෂාණී දුවත් මා එක්කල බොහොම කිට්ටුයි.. එයාලා හින්දනෙ අද මෙහෙම අපට කතා කරන්න ලැබුණෙත්…”

ආලින්දයේ තට්ටු රාක්කයක ඇයගේ ජීවිතයේ විවිධ අවස්ථා කියාපානා ඇයගේ ඡායාරූපද ඊට නුදුරුව ඈ ගුවන් විදුලිය සමඟ පැමිණි ගමන්මඟේදී ලද විවිධ සම්මානද තියේ. ඒ අතර කලාභූෂණ සම්මාන ඇතුළු සම්මාන තිළිණ ද දිස්වේ.

“මේ මගේ ගමනට මගෙ අම්මා මට දුන් ශක්තිය ගැන කියන්න වචන මදි. එතුමිය 2009 දී නැතිවුණා. ජීවිතය කියන්නෙ එහෙමනෙ..

මේ ටිකත් කියන්නම්කො. මේ ගමනෙදි ආපු කැපිලි කෙටිලිත් බොහොමයි. ඒ වගේම මනුෂ්‍යත්වය පිරි සොඳුරු මිනිසුන් ද මට හමුවුණා. 60 ගණන්වලදි ගුවන් විදුලියට එක්වී 90 වෙද්දි මෙහෙවර අවසන් වුණේ. ඇත්තෙන්ම මම පැමිණි මඟ ගැන නම් මම තෘප්තිමත් ..”

එදා මගේ ළමාවියේ නිවසේ තිබූ ගුවන් විදුලියෙන් මා ඇසූ…ඒ අසා අහල පහලටද ඇසෙන්නටද මා ගැයූ ඇයගේ ගීත මේ මොහොතේදී ඇයගේ නිවස තුළ යන්ත්‍රයකින් මට ඇසේ. ඒ ඇසෙන කළ මා සිත නිරායාසයෙන් ගොස් නවතින්නේ මගේ ළමා වියේය.

“පැත්තකටම දමල වගේ ඉන්න අපි ගැන මෙහෙම හරි ඇවිත් හොයල බලන එක ගැන හදවතින්ම සරසවිය පත්තරයට ස්තුතිවන්ත වෙනවා..” යි දිගාසිරි පතා ඈ වෙතින් සමුගෙන එනවිටදී අපේ ආදරණීය නාලිනි රණසිංහ මහත්මිය එසේ සිනාපිරි මුවින් කීවාය..

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT