Home » Singing Star සමඟ හර්බට් එම්. සෙනෙවිරත්න ගුණ සැමරේ

Singing Star සමඟ හර්බට් එම්. සෙනෙවිරත්න ගුණ සැමරේ

by mavan
April 30, 2026 12:24 pm 0 comment

අතීතයේ විසූ කලාකරුවන් පිළිබඳ සිහි කිරීමේදී හර්බට් එම්. සෙනෙවිරත්න නාමය අමතක කළ නොහැක. ඔහු ගීත රචකයෙකි. අධ්‍යක්ෂවරයෙකි. නිෂ්පාදකවරයෙකි. ඔහු වැඩි ප්‍රියතාවය දැක්වූයේ ගීත රචනා කලාවටය. හර්බට් එම්. සෙනෙවිරත්නයන් ගීත රචනා කිරීමට පෙර අගනා කවි සහ නිසඳැස් ලියන්නෙකු ලෙස කාගේත් ජනාදරයට පාත්‍ර විය. පාසල් වේදිකාවේ නාට්‍යවල ගීත පබැඳුම ඔහුගේය. එමෙන්ම හර්බට් එම් සෙනෙවිරත්නයන් පාසල් කාලයේ දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු විය. “කපුවා කපෝති” සිරිසඟ බෝ, සිරිමල් එතනා, දස්කොන් ආදි වේදිකා නාට්‍යවල ඔහුගේ දස්කම් කැපී පෙනුණි.

1951 දී එඩී. ජයමාන්නගේ උමතු විශ්වාසය චිත්‍රපටයට ගීතයක් රචනා කිරීමට හර්බට් එම්. සෙනෙවිරත්නයන්ට ආරාධනා කරන ලදි. ඒ අනුව ඔහුගේ මුල්ම චිත්‍රපට ගීතය වූයේ ” දුකින් පිරුණු මේ ලෝකේ කිම ආලේ පානා” යන ගීතයයි. ඔහුව දුටු බී. ඒ .ඩබ්. ජයමාන්නයන් හර්බට් එම් සෙනෙවිරත්නයන්ව උමතු විශ්වාසය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා දායක කරගත්තේය. සිනමා තිරය හැඩකළ හැකි රූපයක් හර්බට් එම් සෙනෙවිරත්නයන් සතු වීම ඊට හේතුවිය.

හර්බට් එම්. සෙනෙවිරත්නයන් වැනි ගීත ප්‍රමාණයක් ලියා ඇත්තේ රුක්මණී දේවියටය. ඉන්පසු විශිෂ්ට ගායක ගායිකාවන් රැසකට ඔහු විසින් ගීත රචනා කරඇත. දොස්තර, සිරියලතා, දස්කොන්, හිතට හිත, කැලෑ හඳ, රඳල පිළිරුව, අශෝකා, සත පනහ, පෙරකදෝරු බෑණා ඇතුළු තවත් චිත්‍රපට ගණනාවක රඟපාමින් ගීත රචනා කිරීමේ අවස්ථාවද හර්බට් එම් සෙනෙවිරත්නයන්ට හිමිවීම විශේෂතවයකි. පද්මෙ වඳීමි සිරිපාදේ, පෙම් සිහින මවන රෑ යාමේ, අර රමණී පෙම් හඳ, පුෂ්ප පිපී අතු අග, මගේ ප්‍රේම කතාවේ, ආනන්ද ජවනිකා, ගියේ ඇයිද මා තනිකර, වන මලට ආසාවේ, මේ රාත්‍රි ආවෙමි රොන් සොයා, සාදු සිරිපා, ආදරය නිසා, මා සුකුමාල, ලලිත කලා ඔප කරනා, මා ඔබේ සුදා ඇතුළු තවත් ගීත රාශියක් හර්බට් එම්. සේනාරත්නයන් අතින් ලියවී ඇත.

ඔහු විසින් ලියා ඇති ගීත අදටත් අපට රස විඳීන්නට හැකිය. එනිසා එවැනි ගීත මතු පරපුරට අසන්නට සැලැස්විය යුතුය. ඒ අරමුණ පෙරදැරි කරගෙන හර්බට් එම් සෙනෙවිරත්නයන්ගේ ඥාති දියණියක වූ ලංකා ද සිල්වා එම කටයුත්තට මුල පිරීම සතුටට කරුණකි.

හර්බට් එම් සෙනෙවිරත්නයන් මට නෑ කමට සීයා කෙනෙක්. ඔහු රංගන ශිල්පියෙකු වගේම දක්ෂ ගීත රචකයෙක්. එකල ඔහුව නොදන්නා කෙනෙකු නැති තරම්. ඒත් එතුමා ගැන මතකය වර්තමාන පරපුර අතර නැහැ. රුක්මණී දේවියගේ ගීත ප්‍රචාරය වෙද්දී , ඇය ගැන වැඩසටහන් කෙරෙද්දී, කැලෑ හඳ වැනි චිත්‍රපට ගැන කතා කරද්දී හර්බට් එම්. සෙනෙවිරත්න නම ඇහෙන්නේ නැති එක මට ප්‍රශ්නයක්. මම ඔහුගේ ඥාති මිනිබිරියක්. මට හර්බට් සීයා ගැන ලොකු මතකයක් නැහැ. 1987 දී ඔහු මියයන විට මට අවුරුදු නවයයි. හර්බට් එම්. සෙනෙවිරත්නයන් ඉපදිලා තියෙන්නේ මාතලේ කොස්ගොඩ. මමත් ඉපදුණේ එහේ. ඔහු මගේ තාත්තාට වැඩිපුර ආදරය කරල තියෙන්නේ මගේ තාත්තා හර්බට් සීයාගේ සහෝදරියකගේ පුතෙක්.මගේ තාත්තා බර්ටි ප්‍රැක්ටික් සිල්වා. ඔහු සරල ගී ගායකයෙක්. නළුවෙක්. ඔහුව කලාවට යොමු කරල තියෙන්නේත් හර්බට් එම්. සෙනෙවිරත්නයන්ම තමයි.

මට හර්බට් එම්. සෙනෙවිරත්නයන් ගැන ලොකු මතකයක් නැති වුණත් අපේ ගෙදර ඔහු ගැන පුංචි කාලේ ඉදන් විස්තර දැනගෙන තිබුණා. ඒ කාලේ අපේ ගෙදර ඔහු ගැන කතාවුණා. අපේ තාත්තා ගායනා කළේ නිතරම හර්බට් සීයාගේ ගීත. ග්‍රැමෆෝන් තැටි වලින්. අපේ තාත්තා දවසක් කිව්වා හර්බට් සීයා හඳපාන චිත්‍රපටයෙන් ලැබුණු ආදායමෙන් තාත්තට කඩයකුත් දාල දුන්නලු. ඔහු ඉතාමත් කරුණාවන්ත, ගුණගරුක පුද්ගලයෙක්. අසාධාරණයට ඔහු විරුද්ධයි. ඔහු රසවත් ගීත රැසක් රචනා කරල තියෙනවා. ඒ ගීත නිතර ඇසුණාට අලුත් පරම්පරාව දන්නේ නැහැ. ඒ ගීත රචනා කළේ කවුද කියලා. ” අන්න සුදෝ අර පාට වලා” කියන ගීතය බොහෝ අය ගායනා කරන ගීතයක්. ඒත් ඒක රචනා කළ කෙනා ගැන දන්නේ නැහැ. අද වනවිට විවිධ රූපවාහිනි නාලිකා වල රියැලිටි වැඩසටහන් තියෙනවා. ඒ වැඩසටහන්වල හර්බට් එම් සෙනෙවිරත්නයන්ගේ රචනා කළ ගීත ගැයෙනවා. ඒත් ඒ වැඩසටහන් වලින් ඉස්මතු කරන්නේ ඒ ගීතය ගයන කෙනාව විතරයි. රචනා කළ ගීත තව අවුරුදු සියයක්වත් ඉදිරියට ගෙනි යන්න පුළුවන්. මගේ අරමුණ එයයි.

ඒ අරමුණ පෙරදැරි කරගෙන තමයි මම Singing Star තරඟාවලිය සංවිධානය කරන්නේ. මම හර්බට් එම්. සෙනෙවිරත්නයන් සිහි කරමින් Singing Star මුල්ක ගනිමින් පදනමක් පිහිටුවා ගත්තා. එහි එක් අරමුණක් වන්නේ කලාකරුවන් වෙනුවෙන් රැකවරණ මධ්‍යස්ථානයක් පිහිටුවීම. වයසට යනවිට ඔවුන්ට රැකවරණය අවශ්‍ය වෙනවා. කලාකරුවන් කියන්නේ සම්පතක්. ඉතින් අපේ පදනමේ අරමුණ වෙන්නේ කලාකරුවන් වෙනුවෙන් රැකවරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම.

Singing Star තරඟාවලිය ගැන කතා කළොත් ගීත ගැයීමට කැමති අය තෝරාගෙන ඒ අය අතරින් දක්ෂයන් ඉදිරියට ගෙන ඒම තමයි අපේ අරමුණ. ඉඪදඨඪදඨ ඉබචප තරඟාවලිය සඳහා සහභාගී වන ආධුනිකයන් පුහුණු කරන්නේ විශාරද නාමල් ගුණතිලකයන්. ඔහු මේ සඳහා ඔහුගේ සේවය ලබා දෙන්නේ කිසිදු මුදලක් අය කිරීමකින් තොරවයි. ඔහු වසර එකහමාරක් තිස්සේ අපට සේවය ලබා දෙනවා. තරඟාවලියේ මූලික වට වල විනිශ්චය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ විශාරදවරුන් තිදෙනෙක් අපට සම්බන්ධ කර දුන්නේත් නාමල් ගුණතිලකයන්මයි. ඒ වගේම හර්බට් එම් සෙනෙවිරත්නයන් ගැන තොරතුරු රැසක් ලබා දුන් පාලිත ලක්ෂි සහ ගුවන් විදුලියේ සේවය කරන රවීන්ද්‍ර ගුණසේකරවත් මම මේ අවස්ථාවේ ආදරයෙන් සිහිපත් කරනවා. Singing Star සඳහා ප්‍රචාරක කටයුතු සිදුකරන්නේ සාලිය ලීලානන්ද මහතා. Singing Star අවසන් මහා තරඟයේ විනිශ්චය ලබා දෙන්නේ ප්‍රවීණ සංගීතවේදී නදීක ගුරුගේ මහතා.

හර්බට් එම් සෙනෙවිරත්න සමරු උළෙල සහ Singing Star අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ මැයි 2 වෙනිදා සවස 3.00 ට මරදාන ටවර් රඟහලේදී. මේ සඳහා ප්‍රධාන අමුත්තා ලෙස සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රවීණ රංගවේදිනි ශ්‍රියාණි අමරසේන ඇතුළු ප්‍රවීණ කලාකරුවන් රැසක් සහ මැති ඇමතිවරු සහභාගී වීමට නියමිතයි. එදිනට සිදු කිරීමට නියමිත විශේෂ කටයුත්ත ගැන සඳහන් කළ යුතුමයි. හර්බට් එම්. සෙනෙවිරත්නයන් අගයමින් ප්‍රවීණ සිනමා රංගවේදී රවීන්ද්‍ර රන්දෙණියටත්, ප්‍රවීණ රංගවේදිනි නීටා ප්‍රනාන්දුටත් සමරු සම්මාන ලබා දෙන්න කටයුතු සූදානම් කර තියෙනවා. එදිනට Singing Star ජයග්‍රාහකයන් සඳහා සම්මාන ප්‍රධානයක් සුදු කරනවා.

ටවර් හෝල් අධ්‍යක්ෂ දිසානායක මහතාත් මට විශාල සහයෝගයක් ලබා දෙනවා මේ උළෙල සාර්ථක කරගන්න්. හර්බට් එම් සෙනෙවිරත්නයන්ගේ පුත් චින්තක සෙනෙවිරත්න, සුනෙත් වල්පොල, දර්ශනි චන්ද්‍රසේකර අනුශාසකවරු විදිහට කටයුතු කරනවා. ඔවුන්ගෙනුත් මට විශාල සහයක් ලැබෙනවා. විශේෂයෙන් ලසන්ත අමරතුංග මහතා ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනවා. ඊට අමතරව මනෝජ් සූරියබණ්ඩාර, සුව අරණ දොම්පෙ වෙද මහතා සහ රෝහිත රන්සිරි යන අයත් අනුග්‍රාහකත්වය දැක්වුවා. ඇතුළු තවත් කීපදෙනෙක්ම මට මූල්‍යමය සහය ලබා දෙනවා උළෙල සාර්ථක කරගන්න.

මම මෙතරම් කැපවෙන්නේ හර්බට් එම් සෙනෙවිරත්න නාමය සහ ඔහුගේ සංගීත කලාවට වූ සේවය සදා මතකයේ රඳවා ගන්න. ඒ සඳහා මගේ පවුලේ අය සහ ඥාතීන් උපරිම සහය දෙනවා. මැයි දෙවෙනිදා පැවැත්වෙන උළෙල අති සාර්ථක උළෙලක් ලෙස පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. ඒ වගේම හර්බට් එම්. සෙනෙවිරත්නයන් වෙනුවෙන් පවත්වන මෙම උලෙළ අමතක නොවන සංගීතමය සන්ධ්‍යාවක් වේවි.

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT