ලේඛනයට නැඹුරු වූ සිත නිරන්තරයෙන් සෙවීමට බරය. සිත තුළ මතුවෙන හැඟුම් මතු නොව සමාජය ට වැඩදායි කරුණු කාරණා රාශියක් ඔහුගේ පෑන් තුඩ ගොනු කළ හැක .ධම්මික ජයරංජන් එබඳු ය. ලේඛකයකු ලෙස අංශ ගණනාවකින් ඔහුගේ මතු වීම කැපී පෙනෙන සුලුය.
බොරැල්ල සුසමයවර්ධන මහා විද්‍යාලයේ සිප්සතර හදාරන අවධියේම ලේඛනයට හිත යොමුවීමත් සමඟ පුවත්පත ඔස්සේ ලිවීම ඇරැඹූ ගමන් මඟ ග්‍රන්ථ කතුවරයකු ලෙස සම්පූර්ණ කරන ඔහු සිය ලේඛන දිවිය මෙන්ම මෙතෙක් ලියූ ග්‍රන්ථ කීපය පිළිබඳ ද කළ කතා බහකි මේ.
ග්‍රන්ථකරණයට මුලින්ම පිවිසුනේ කුමන අවධියකදී ද?
මුලින්ම පොතක් ලිව්වේ විජය කුමාරතුංග මහත්තයා ගැන. එතුමාගේ අභාවය වන අවධියේ අපි පාසල් යන ළමයි. විජය කුමාරතුංග මහත්මයා ගැන ලොකු පැහැදීමක් ආදරයක් ඇතිව කටයුතු කරපු කාලයක් තිබුණා. එතුමාගේ අභාවයට පෙර එක වතාවක් මුණ ගැසී තිබුණා. ඒකත් විශේෂ අවස්ථාවක්.
ඒ දවස්වල ජය අපටයි චිත්‍රපටයේ දෙබස් තේරීමේ තරගයක් ඒ දිනවල පත්තරේ තිබුණා. ඒ අතරෙ මගේ දෙබසකුත් ජයග්‍රහණය කරලා තිබුණා. ඒකට තෑගි දෙන උත්සවය තිබුණේ වත්තල ගැමුණු සිනමා ශාලාවේ. තෑගි දෙන්න ආවෙ විජය කුමාරතුංග මහත්තයයි. ඒ හඳුනා ගැනීමෙන් පස්සේ
එතුමාට ලිපි ලියන්න පුරුදු වුණා. එතුමාත් ඒ කාලෙ ඒ ලිපි වලට පිළිතුරු එවන්න පුරුදු වෙලා හිටියා. ඒ කාලෙ දුරකථන තිබුණු යුගයක් එහෙමත් නෙවෙයිනේ. ඒ එවපු ලියුමකුත් තවම මා ළඟ තියෙනවා.
ඉතින් එතුමා ගැන පුවත්පත්වල ලියවුණු ලිපිත් සමඟ 2018 වසරේදී එතුමාගේ තිස් වැනි ගුණානුස්මරණයේදී “ආදරණීය විජයගේ අදහස් අද සමාජයට” කියා පොතක් ලිව්වා. ඒ එතුමා ජීවත්ව සිටියදී කළ ප්‍රකාශ ඇසුරෙන්. එය තමයි මගේ පළවෙනි පොත. ඒකට බන්දුල පද්ම කුමාර මහත්මයා කාලෝ ෆොන්සේකා පද්මසිරි කොඩිකාර මහත්මයා රූපා කුමාරතුංග මහත්මිය ආදීන් උදව් කළා.
ඊළඟට දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ සහ ආරම්භක පසුබිම කියලා පොතක් කළා. ඒ පොතේ සමාප්තිය හා එළිදැක්වීම දක්වාත් ගොඩක් අය උදව් කළා. එහිදී හිටපු විදුහල්පති ඩබ්ලිව්.එස්.බොතේජු මහතා ඇතුළු ගුරුදෙගුරුන් හා දරුවන් වගේම උනින්දුවෙල සුමනසාර නාහිමිපාණන් ඇතුළු සමස්ත හිමිපාණන් වහනසේලාටත් ස්තුති කළ යුතුයි.
ඊළඟට කළේ හැදියාව සහ ළැදියාව කියන පොතක්.
ඒ නැදුන්ගමුවේ ඇතා පිළිබඳ. ඒ වෙලාවේ නැදුන්ගමුවෙ ඇතා හිමි වෙද මහත්මයා හර්ෂ ධර්ම විජය මහත්තයා ඒ පිළිබඳ උපදෙස් ලබා දෙමින් මග පෙන්වීම් කළා.
ඊළඟට කොසොල් රජු දුටු සිහින දහසය පදනම් කරගනිමින් අද කාලයට ගැළපෙන පොතක් කළා. ඊට පස්සේ කළ පොත තමයි දන්නා ගීතයක සැඟවුණු අරුත් කියන පොත.
මේ පොත ටිකක් විශේෂයි නේද?
ඔව්. අපි රසවිඳින ගොඩක් ලස්සන ජනපි‍්‍රය ගීත ගැන ලියැවුණ පොතක්.
එතනදි මේ පොතේ අඩංගු හැම ගීතයකම පද රචකයා මුණගැහුණා. ඔහු හිටියේ නැතිනම් රචකයාගේ පවුලේ ඒ පිළිබඳ වගකීම ගත හැකි සමීපතමයකු මුණගැසුණා. එහෙම සොයාගත් ලස්සන තොරතුරු ටිකක් මේ පොතේ තියෙන්නේ.
මෙවැනි පොතක් කරන්න මූලිකව බලපෑවේ මොකක්ද?
මේ බොහොමයක් ගීත 1980 1970 දශකයේ ගීත ඒ අතරේ අලුත් ගීත තියෙනවා.
මූලිකව ගත්තොත් අපිට මේ ගීත ගැන ලොකු හැඟීමක් තිබෙනවා වගේම
මේ සමහර ගීතවල සැඟවුණු අරුත් පිළිබඳ වටහා ගන්නත් ලොකු කැමැත්තක් තිබෙනවා. මතුපිට අර්ථයට වඩා වක්‍රාකාරව ගැබ්වුණු අදහස සොයා යෑම මේ ග්‍රන්ථයේ මූලික අරමුණ වුණා. සමහර අතිශයින් ජනප්‍රිය ගීතවල නිදාන කතාවක් නැති බව පවා මේ සෙවුම්වලදි මට දැනගන්න හැකි වුණා.
උදාහරණයක් විදිහට ගත්තොත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ කඩමණ්ඩියේ දොළ අයිනේ ගීතය එබඳු ගීතයක්.
රැකියාවේ කටයුතුත් එක්ක මේ කටයුතුවලට කාලය වෙන්කර ගැනීම සිදුවන්නේ කොහොමද?
ගමනාගමන මණ්ඩලයේ මම සේවය කරන්නේ. ඊට අමතරව දහම් පාසල් ගුරුවරයෙක් සහ දහම් පාසල් නියෝජ්‍ය විදුහල්පතිවරයකු විදිහටත් කටයුතු කරනවා. නමුත් මේ කටයුතු සමබරව කරගන්න මට හැකියාව ලැබී තිබෙනවා.
අපි ඇසූ ජනප්‍රිය ගීතවල තේරුම සමහරවිට හාත්පස වෙනස් යැයි ඔබ පැවසුවා.
ඔව් මටත් ඒ ගැන තමයි සොයන්න වුවමනාවක් තිබුණේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් නිහාල් නෙල්සන් මහත්තයාගේ ලස්සනට පිපුණු වනමල් කියන ගීතය එවැන්නක්.
අපි සිතූ අදහස නොවෙයි රචකයාගේ සිතුවිලි අතර තිබුණේ ඊළඟට බලන්ගොඩ ආනන්ද මෛත්‍රය ස්වාමීන් වහන්සේ ගීත ලියූ බවට වැඩි ප්‍රසිද්ධියක් නැහැනෙ. නමුත් උන්වහන්සේගේ ගීතයක් පවා මෙහි ඇතුළත් වෙනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ඉදිරියේදී දරුවන් වෙනුවෙන් ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මාගේ මව ජීවත්ව සිටියදී ලියූ කවි එකතුවක් මා සතුයි. ඉනුත් ග්‍රන්ථයක් එළි දක්වන්න බලාපොරොත්තුවක් තිබෙනවා.
තව විශේෂ පොතක් කරන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. එච්. ආර්. ජෝතිපාල උපහාර ග්‍රන්ථයක් විදියට. එතුමාගේ දියණිය සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම දැනට මම රැකියාව කරන ගමනාගමන මණ්ඩලය යනු වටිනා ආයතනයක්. දරුවන් රැගෙන යන පාසල් බස් රථයේ සිට පොදු මගියාට දෙන සේවය ලොකු වටිනාකමකින් යුතු එකක්. නමුත් මිනිසුන්ගේ සිත්වලින් ඒ හැඟීම යම් පමණකට දියාරු වී ගොස් තියෙන්නේ. ඉතින් මිනිසුන්ට මෙහි වටිනාකම නැවත සිතට ඇතුළු කරන්න මට ඕන කමක් තියෙනවා , පොතක් ඔස්සේ . ඒ සියලු බලාපොරොත්තු ඉදිරියට තියෙනවා. මගෙ බිරිඳ සමුදිකා ජයවර්ධන මේ සඳහා ගොඩක් උදවු කරනවා. ඒ වගේම සංඛ ජයවර්ධන කියන පුතා තමයි ගොඩක් විට මගෙ ග්‍රන්ථවල කවර නිර්මාණය කරන්නේ.ඒ වගේම මගෙ සේවා ස්ථානයේ හිතවතුන් බොහෝ දෙනෙක් මට මේ කටයුතු වෙනුවෙන් ලොකු සහයක් ලබා දෙනවා.
ලේඛකයකු විදියට මොනවාද මේ දිනවල අත්දකින ප්‍රායෝගික ගැටලු ?
මුද්‍රණ වියදම් එක්ක මේ කාලයේ පොතක් එළිදක්වන්න පහසු නැහැ. ඒක මූලික අභියෝගයක්. පිරිවැය ගාස්තුවල ඉහළ යෑම නිසා පොතක මිල දැන් වැඩියි. මිනිස්සුන්ගෙ ජීවන ගැටලු එක්ක මිනිස්සුන්ට පොතක් මිලදී ගැනීමත් පහසු නැහැ.
මේ කාලයේ පාඨකයන්ගේ ප්‍රතිචාර මොන වගේද ?
කියවීම හරි අඩුයි. පුස්තකාලයකට පොතක් කියවන්න එන පිරිස ඉතා අවමයි. කොරෝනා ගැටලුවත් ලොකු බලපෑමක් වුණා. විශේෂයෙන් දරුවන් ට මේක ලොකු බලපෑමක් ඇති කරල තියෙනවා. කියවීම අඩු දරුවන් ට අද පුංචි රචනාවක් ලියාගන්න අපහසු වෙලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක් විදියට දකින්න බැහැ. ඒත් යථාර්ථය ඒකයි. ලේඛකයකු විදියට ඒක අපරාධයක් විදියට මම දකින්නෙ. නමුත් අභියෝග රැසක් මැද පොතක් එළිදක්වන්නෙ විශාල හැඟීමකින්. ඒක සතුටක්.
සමුද්‍රිකා වර්ණකුල