“අද වගේ සන්නිවේදන තාක්ෂණික මෙවලම් නැති අවධියේ සිටම උත්තර භාරතීය පැරැණි හින්දි ගීතය ලාංකේය රසිකයාට සමීප කරවන්නට ගත් වෑයම ගැන මම අදටත් ඉහළින්ම සතුටට පත්වෙනවා.”
ලාංකේය සිංහල සංගීතය එදා මුල් යුගයේ පෝෂණය වූයේ උත්තර භාරතීය සංගීතඥයින්ගේ ආභාසය නිසාම යැයි පැවසීම අවිවාදිතය. ශ්‍රී ලාංකික අපේ සංගීතඥයින් ඉන්දියානු ගි තනුව අනුකරණය කළේ එය ලාංකේය ජන සමාජයේ හදගැස්ම වූ නිසාමය.
එවන් යුගයක පැරැණි හින්දි චිත්‍රපට සහ ගීතයට ආසක්ත ව පසුවූ රසිකයා වෙනුවෙන් පිහිටවූ දීප ව්‍යාප්ත රසික සමාජයේ නිර්මාතෘවරයා වූයේද විවිධ සඟරා මුද්‍රණද්වාරයෙන් එළිදක්වමින් උත්තර භාරතීය සංගීත කලාවද එහි විශිෂ්ටයන්ද මෙරටට කැඳවාලමින් හරසර පුදදෙන්නට මුල් වූයේද මේ අපේ කතාවේ ආදරණීය කතා නායකයාණෝය…
පසුගිය දිනෙක ඔහු හමුවන්නට මඟ පෑදූ අපේ ප්‍රකට චිත්‍රපට නළුවකු වූ ඩොමී ජයවර්ධනයන්ගේ මුනුපුරු චමත් ජයවර්ධන සොහොයුරා ටද මෙහිදී මම කෘතඥ වෙමි.
1930 වසරේ සිට 1975 වසර දක්වා කාලය තුළ හින්දි චිත්‍රපට හා හින්දි ගීතයට පෙම්බැඳී අපේ රසිකයා දැනුම්වත් කරමින් විසල් මෙහෙවරක නියැළුණු මෙරට ගීත රසිකයාගේ ආදරයටම බඳුන් වූ ඒ ආදරණීය කලාකරුවා දැන් මා සමීපයේය.
ගාල්ල, ඉමදූවේ උපන් හෙතෙම නමින් ප්‍රියන්ත ගමගේ ය. වෘත්තීයෙන් පරිවෙණාචාර්යවරයකුද වන ඔහු සිංහල, පාලි, හා හින්දි භාෂාවෙහි පරිණතවූවකු සේම පැරණි හින්දි හා සිංහල ගීත පිළිබඳව අපූර්වතම දැනුම් සම්භාරයකින් යුතු වූවෙකි. ඕගනය, එකෝඩීනය, සර්පිනාව ආදී තවත් සංගීත භාණ්ඩ රැසකම දක්ෂ වාදකයකු..ගායකයකු ලෙසින් ද නමක් දිනූ අපේ ප්‍රියන්ත ගමගේ මහතා පැරැණි හින්දි චිත්‍රපට හා හින්දි ගීතයද ඉන්දියානු මහා සංගීතඥයන් , එදා භාරතයේ නළුනිලියන් පිළිබඳව ද දැනුම්වත් කැරෙමින් “ගීත් මාධුරී ” නමින් ග්‍රන්ථ රැසක්ම රචනා කළේද ඔහුමය.
මා විමසූ පැනයකට අපේ ආදරණීය ප්‍රියන්ත ගමගේ සිය කටහඬ අවදි කළේ මෙසේය.
“ඇත්තෙන්ම එදා හින්දි චිත්‍රපටවලට වගේම හින්දි ගීතයට…එහි සංගීතඥයන්ට වගේම ගායක ගායිකාවන්ට..නළුනිළියන් ට අපේ රසිකයා වහවැටී හුන් යුගයක් තිබුණානෙ. නමුත් අද වගේ සන්නිවෙිදන කටයුතු එතරම් නොමැතිකමින් හරිහැටියට දැනුම්වත් වන්නට ඉඩ ඇහිරී තිබුණෙ. ඒ අතරේදී තමයි හින්දි ගීත හා හින්දි චිත්‍රපට පිළිබඳ ඇල්ම ඇති අය වෙනුවෙන් ම රසික රසිකාවන්ගේ සංගමයක් පිහිටුවන්නට මම කටයුතු කළේ…2001. 9. 02 වනදා එහි මුල්ම සභාපති සරණගුප්ත වීරවංශ මහතාගේ නිවසේ තමයි මෙහි ආරම්භය සිදුවුණේ. ක්‍රමයෙන් රසික සාමාජිකත්වය දහසක් ඉක්මවායද්දි මට අවබෝධ වුණා හින්දි ගීතයට..චිත්‍රපටයට අපේ ඇත්තන් මොනතරම් ප්‍රේම කරනවාද කියලා.
ඇත්තම කියනවානම්..අපේ සංගමයේ විශේෂත්වය නම් කිසිදු සාමාජික මුදලක් අය නොකිරීමයි..”
අපේ ප්‍රියන්ත ගමගේ සිනාමුසුව එසේ කියන්නේය..
ලාංකේය ජන සමාජයේ පැරැණි හින්දි ගීත සුරකින රසික පිරිසක් මේ තුළින් බිහිවිණි.
පසුව ගම්පහ, කඩවතේදීද ඉන්පසුව කෙමෙන් රටපුරාම මෙම සංගමයේ ශාඛාවන් ව්‍යාප්ත වී ගියේය. ලංකාවේ වැඩිම සාමාජික සාමාජිකාවන් පිරිසක් එක්වූ එකම සංගමය තමන් පිහිටුවූ පැරැණි හින්දි ගීත හා හින්දි චිත්‍රපට සංගමය බවද ඔහු අවධාරණය කරමින් කියන්නේය.
එදා භාරතීය ගායක ගායිකාවන්ගේ සුමධුර ගීතයට ..එදා අප රට තිරගත වූ චිත්‍රපටද එදා ජන සමාජයේ සුන්දර කතාබහකට ලක්වී තිබූ අන්දම මටද මේ මොහොතේදී සිහිපත් වේ.
එදා රිදී තිරය ඔපකළාවූ හින්දි සිනමා සිත්තම්වලට සේම හින්දී ගීතයට..ගී තනුවට හදපුරා පෙම් බැන්දෝ අසීමිතය. අදටත් එසේමය. වර්තමානයේ හින්දි ගීතයට වඩා එදා පැරැණි හින්දි ගීතයට පෑ නොවක් ආදරය අදටත් මතුවී පෙනේ. ඉන් ලබනා ආස්වාදය මෙතරම් යැයිද කිව නොහැක. මෙය සැබෑවකි.
1930 සිට 1975 කාලය තුළ නිර්මාණය වූ අපද ඇසදුටු…සවන විඳී පැරණි හින්දි ගීත පමණක් එම සමාජය තෝරාගෙන තිබේ. එම කාලපරාසය තුළ නිර්මාණය වූ හින්දි ගීත මෙන්ම හින්දි චිත්‍රපටද ඒ අයුරින් ම රසවිඳීමට මේ රසික සමාජයට ඉඩප්‍රස්තාව ලබාදීම මූලික උවමනාවම විය. එම නිර්මාණ ඇවැසි අයකුට ලබාදීමටද එම සංගමයේ අරමුණ ය…
“ඇත්තෙන්ම රටපුරා රසික පිරිසට ඒ සතුට විඳගන්නට අත්වැලක් වන්නට හැකිවීම ගැන මම හදවතින්ම සතුටට පත්වෙනවා.”
හින්දි ගීත චිත්‍රපට රසික සමාජයේ ප්‍රධාන සංවිධායක අපේ ප්‍රියන්ත ගමගේ සතුටින් කියන්නේය.
මෙම රසික සමාජය මුල්ව හින්දි ගීත මුසුකළ දැවැන්ත සංගීත ප්‍රසංගයන්ද පැවැත්විණි …භාරතීය ගීතයට ඇලුම් පෑ දහසක් රසික දනන් ඒවා නැරැඹීමට වැලනොකැඩී පැමිණියහ.
“එම හින්දි ගී ප්‍රසංග පැවැත්වූයේ නොමිලේ. ඝෝෂාකාරී සංගීතය යොදාගත්තේද නැහැ. සත පහක් අය කළේ නැහැ. මේ ඇතිවූ ප්‍රබෝධයෙන් වසර තුනක් තුළදී සාමාජික සංඛ්‍යාව 5000 ඉක්මවා ගියා. ”
අපේ ප්‍රියන්ත ගමගේ කීවේය.
ඔහුගේ සංවිධායකත්වයෙන් මේ වනවිට ව්‍යාප්ත ව පැවැති එම රසික සංගමයේ ආරාධනයෙන් එවක භාරතයේ මහා සංගීතඥ රවි ශංකර් ශර්මා මහතා ශ්‍රී ලංකාවට කැඳවමින් උපහාර ගීත ප්‍රසංගයක් පැවැත්වීය.
“පින්තුරවලින් පමණක් දැක සිටි භාරතයේ රවි ශංකර් ශර්මා මහා සංගීතඥයා දෑසින්ම දැකගත් අපේ රටේ අය තුළ තිබූ භක්තිමත් බව මම එදා පැහැදිලිව ම දුටුවා..”
සුගතදාස ක්‍රීඩාංගණයේදී මෙය දසදහසක් දෙනාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි . මීට අමතරව හින්දි ගීතයට උනන්දු අයවලුනට දැනුම ලබාදීමටත්…ගායන කුසලතාවෙන් පිරිපුන් අයට ගයන්නටත් වේදිකාවක් ඉදිකළේය. එම ප්‍රසංග ගීත් මාධුරි නම් විය.
මෙම රසික සංගමය පිහිටුවූ මුල් අවධියේදී ආචාර්ය වික්ටර් රත්නායක ..සුජාතා අත්තනායක , සිසිර සේනාරත්න, ඩී.වී.ජේ හරිශ්චන්ද්‍ර, බලන්ගොඩ සරත්මධු, නිහාල් ඩයස් තල්දූව, ප්‍රවීණයන්ද එහි විවිධ තනතුරු හෙබවූ අතර අනුශාසක හා සංවිධායකවරයා වූයේ අපේ කතානායකණෝ ප්‍රියන්ත ගමගේ මහතාය.
“භාරතීය හින්දි ගීතයට වගේම ඊට උනන්දු කෙරෙව්වෙත් මගේ අම්මා. ප්‍රේමා ගමගේ මහත්මියයි. ”
මා විමසූ පැනයකදී හෙතෙම කීවේය.
ලතා මංගේෂ්කාර්, මොහොමඩ් රාෆි, ශ්‍රී රාමචන්ද්‍රන්, මදන් මෝහන්, චිත්‍රගුප්ත, කිෂෝර් කුමාර්, මුකේශ්, එස්.ඩී. බර්මන්, නෞෂාඩ්, හේමන්ත් කුමාර්, ශංකර් ජායිකිෂන්, ආශා බෝන්ස්ලේ, සන්ධ්‍යා මුඛර්ජි, ආදී තවත් බොහෝ භාරතීය ගායක ගායිකාවන්ගේ හද පැහැරගත් නිර්මාණ මෙම රසික සංගමය සන්තකයේ පවතී. භාරතීය ගීත..චිත්‍රපටය ලාංකේය ජන සමාජය තුළ දැනුම්වත් කරවන්නට තමන් ගත් වෑයම පිළිබඳව තමන් තුළ නිදන්ව ඇත්තේ අප්‍රමාණ සතුටක් බවද හෙතෙම කියන්නේය.
“වසර 25 කට ආසන්න කාලයක් ගතවී ඇතත් වරෙක කොරෝනා සමයේදීද විවිධ බාධකයනට මුහුණ පෑමට සිදුවූ බවද යළි අප සංගමය පණගන්වන්නට සාකච්ඡා කෙරෙන බවද පැවසූ හෙතෙම හින්දි ගීතයට..හින්දි චිත්‍රපටයට ආදරය කරන්නවුන් වෙනුවෙන් ලාභාපේක්ෂාවෙන් තොරව විසල් මෙහෙවරක යෙදෙන්නට ඉඩලැබීමත් තමන්ගේ වාසනාවක් සේ සලකන බවද කියන්නේය.
“අප සංගමය බිහිකළාට පසුව තවත් එක එක හින්දි සංගම් ආවත් අදටත් රසික ආදරය එහෙමමයි.
පැරණි හින්දි ගීත එදා වගේම රසවිඳීන්නට අපහසු තත්ත්වයකුත් තියෙනවා. එදා මුල් ගීතය තුළ තිබුණු මිහිරියාව බටහිර සංගීත භාණ්ඩ මුසුකර තිබීමෙන් විශාල හානියක් වී තිබෙනවා. පැරැණි හින්දි ගීතවලට අදාලවන කරුණුකාරණා වගේම හින්දි චිත්‍රපට හා සබැඳුණු කතන්දර දැනගන්නට අපේ රසිකයා බොහොම කැමතියි ..ඒවා තමයි අපේ ගීත් මාධුරී ග්‍රන්ථ හරහා දැනුම්වත් කළේ. ”
ප්‍රියන්ත ගමගේ තමන් සමීපයේ ඇති විදුලි ඕගනය තරමක් වයා මදෙස බලා සිනා වූයේය.
“ආවාරා” චිත්‍රපටය රුසියාවේ තිරගත වනවිට ඔවුන් විස්වාස කළේ එහි රමණීය ගීතය ඉන්දියාවේ ජාතික ගීතයයි කියලා. ඒතරම් ඉහළටම නැගුණා.”
“අපේ අය හින්දි බසට හින්දි ගීතයට ..හින්දි චිත්‍රපටයට දක්වන ආශාව දැකපු මම ඔවුන් දැනුම්වත් කිරීම අරමුණු කරගනිමින් “ගීත් මාධුරී ” ග්‍රන්ථ රැසක්ම එළිදැක්වූවා. ඉන් ප්‍රතිඵල ලැබූවන්ද අසීමිතයි. එයින් හින්දි වචනයෙහි අර්ථය, උච්චාරණය, චිත්‍රපටය, සංගීතය, ආදියෙන් එම ග්‍රන්ථ හරහා දැනුම්වත් කෙරුණා .
භාරතීය මහා ගායක දෙපළක් වන මොහොමඩ් රාෆි සහ මුකේශ් නමින් උපහාර උළෙල පිළිබඳවද මෙහිදී කිවයුතුය.
මෙම රසික සංගමය සමග සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයද අත්වැල් බැඳ ඇත….
රවි ශංකර් මහා සංගීතවේදියාගේ 83 වන උපන්දින උපහාර උත්සවය රසික සංගමය එක්ව ලංකාවේදී පැවැත්වීමද අගනේමය.
විදුලි ඕගනයෙන් එදා හද පැහැරගත් හින්දි ගීතයක වාදනයක කොටසක් වයා සිනාමුසු මුහුණින් මදෙස බැලූ අපේ ආදරණීය ප්‍රියන්ත ගමගේ තවත් යමක් කීවේය.
සෑම ඉරුදිනකම හින්දි හා සිංහල ගීත ගායනයෙහි සමත්කම් පානා අයට අත්වැලක් වනු රිසියෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සංගීත ප්‍රසංගයේ ප්‍රධාන අනුශාසකධූරයද හොබවමින් තමන් සන්තකයේ ඇති හැමදේ ගුරු මුෂ්ටියකින් තොරව ලබාදෙන්නට තමන් ඇපකැප වන බවද මම ඔහුගෙන් සමුගන්නට මොහොතක් තිබියදී මා සුරත අල්වාගත් ගමනින් කීවේ ආදරණීය සිනාවකිනි.
ඔහුගේ දුරකතන අංකය 0718293411
අමල් යශෝමන් ජයසිංහ