නිවස විශේෂාංග රවී අඩසියවසක අාත්මභාෂණය

රවී අඩසියවසක අාත්මභාෂණය

by Thanushika
June 13, 2024 10:49 am 0 comment

ප්‍රවීණ රංගනවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියගේ සිනමා ජීවිතයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් උපහාර උලෙළක් ‘රවී අඩසියවසක ආත්ම භාෂණය’ නමින් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන්, කලාකරුවන්, සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. රවීන්ද්‍ර රන්දෙණියගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථාන ඇසුරින් නිර්මාණය වූ අලංකාර ප්‍රාසංගික ආකාරයෙන් ඉදිරිපත් වුණු මෙම උලෙළට සමගාමීව ඔහු පිළිබඳ රචනා වුණු ග්‍රන්ථ ද්විත්වයක්ද එළිදැක්විණ. ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම විසින් විරචිත රවීන්ද්‍ර රන්දෙණිය චරිතාපදානය ‘මාස්ටර් සර්’, ග්‍රන්ථය සිංහල බසින්ද උදිත දේවප්‍රිය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ‘රවී’ග්‍රන්ථය මෙම ග්‍රන්ථ ද්විත්වයයි. සිංහල භාෂාවෙන් රචිත ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයක් ලෙසින්ද, ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථය ෆ්‍රීලන් සමාගමේ අනුග්‍රහයෙන් සුරස ප්‍රකාශනයක් ලෙසින්ද එළිදැක්විණ. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි සැන්ඩ්‍රබාබරා අරුණි බොතේජූ ප්‍රමුඛ Ceylon international film festival ජීවිතයේ එක් වරක් ප්‍රදානය කරනු ලබන සම්මානය ප්‍රවීණ ගායන ශිල්පිනි විශාරද ප්‍රදීපා ධර්මදාස විසින් පිළිගැන්වූ අතර, සිනෙස්ටාර් පදනමෙන් පිළිගැන්වූ විශේෂ සම්මානය නිළි රැජින ආචාර්ය මාලිනී ෆොන්සේකා විසින් පිළිගන්වන ලදී.

ඉන් පසුව ඔහු සිනමාවේ රංගනයේ යෙදුණු විශේෂ සිනමා පට පුළුල් තිරයක් මත දිගහැරුම හා ඔහු පිළිබඳ කියැවෙන චරිතාපදානය දිගහැරුණි.

වර්ෂ 1975 දි තිරගත වූ තරංගා සිනමා පටයෙන් සිනමාවට එක්වන රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ මේ රංගන ශිල්පියා විශිෂ්ට රංගන පෞරුෂයකට හිමිකම් කියමින් තමාට රඟපාන්නට ලැබුණු සෑම චරිතයකටම උපරිමයෙන්ම සාධාරණයක් ඉටුකළ අතර පසුගිය දශක පහක් පුරා ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂක හදවත් තුළ සදා නොමැකෙන මතක සටහන් රැසක් තබන්නට සමත් විය. දුහුළු මලක්, පොඩි මල්ලි, වීර පුරන්අප්පු, ජනේලය, මායා, ආරාධනා, දඩයම, මංගල තෑග්ග, සාගර ජලය, සෙයිලම, සිරිමැදුර, අනන්ත රාත්‍රිය ඇතුළු සිනමාපට 100කට වඩා වැඩි ප්‍රමාණයකට තම රංගන ප්‍රතිභාව මුසු කරමින් ප්‍රේක්ෂකයා සිනමා ශාලාව තුළට කැඳවා ගනිමින් සිංහල සිනමා කර්මාන්තය ඉහළට ඔසවා තැබීමට විශාල දායකත්වයක් ලබා දෙන ලදී. තම චරිතය පමණක් නොව තමා සමඟ රංගනයේ යෙදෙන සහෝදර ශිල්පී ශිල්පිනියන්ගේ චරිත ද ඉස්මතු වන්නට උපරිම සහයක් ලබාදෙමින් සිනමා රංගනය කොතරම් සංකීර්ණ හා බැරෑරුම් කාරියක් ද යන්න සෙසු රංගන ශිල්පීන්ටද අවබෝධ වන අයුරින් ඉතා ගෞරවාන්විත ගමන් මඟක ආ මේ සුන්දර කලාකරුවා ශ්‍රී ලංකාව තුළ පැවති සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ, ඕ.සී.අයි.සී සහ විචාරක සම්මාන උළෙලහිදී පහළොස්වතාවකට වැඩි අවස්ථා ගණනාවකදී හොඳම නළුවාගේ සම්මානයෙන් පිදුම් ලැබූ අතර ජීවිතයට එක් වතාවක් පමණක් ලැබෙන Life time Achievements Awards සම්මාන හතකින්ද හොඳම සහාය නළුවා හා ඇගැයීම් සම්මාන රැසකින්ද පිදුම් ලබා ඇත. ඔහු සිනමාව උදෙසා කළ සේවාව වෙනුවෙන් සෞන්දර්ය කලා විශ්වවිාලයෙන් පිරිනැමෙන දර්ශන ශූරී සම්මාන උපාධියෙන්ද පිදුම් ලබා ඇත. මීට අමතරව ජාත්‍යන්තර සිනමාපට රැසකට තම රංගන දායකත්වය ලබා දුන් මේ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියා Street child (ප්‍රධාන චරිතය) Mother Teresa, Jungle Heat, Sandokan ද හා තිරගත වීමට නියමිත Distant Tear Drop සිනමා පටයේ ප්‍රධාන චරිතය ඇතුළු සිනමා පට රැසකට රංගන දායකත්වය ලබා දී ඇත.

දශක පහක් පුරා ඔහු ශ්‍රී ලාංකික සිනමාව උදෙසා කළ සේවාව අගය කිරීම වෙනුවෙන් මෙම උලෙළ පැවැත් වු අතර, සිනමා කර්මාන්තයට සම්බන්ධ සියලු අංශයන් නියෝජනය කරමින් ඔහුගේ සමකාලීනයන් හා සම්භාවනීය ආරාධිතයන්, ආදරණීය ප්‍රේක්ෂකයන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම උලෙළ වර්ණවත් විය.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT