Home » ප්‍රේක්ෂකයන් ඉල්ලන දේ දෙනවා නිෂ්පාදක රාජ් රණසිංහ

ප්‍රේක්ෂකයන් ඉල්ලන දේ දෙනවා නිෂ්පාදක රාජ් රණසිංහ

by mavan
April 23, 2026 9:42 am 0 comment

‘ජීවිතයෙන් ජීවිතයක්’ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිනමාවට පිවිසි ඔහු තිලක් අතපත්තු සමඟ එක්ව ‘පෙරළිකාරයෝ’ නිපදවමින් සිනමාවේ පෙරළියක් ඇති කළේය. පසුව නොම්බර එකයි, හිත හොඳ පුතෙක්, චෙරියෝ හොල්මන්, ඩබල් ට්‍රිබල්’ කවුද මචං ඇලිස් වැනි චිත්‍රපට නිෂ්පාදනය කරමින් දිගු කලක් පුරා චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැඳී සිටියි. මාර්තු 27 වෙනිදා සිට රිද්මා මණ්ඩලයේ තිරගත වූ ගෝත්‍රා චිත්‍රපටය ඉදිරිපත් කරමි නැවතත් රාජ් රණසිංහ අපට හමුවට එයි. මේ ඔහු සමඟ කළ කතාබහකි.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඔබේ ගමන් මඟ

1976 දී විතර මම සිනමාවට එන්නේ ඒ සඳහා සේන සමරසිංහ මට සහයෝගය දුන්නා. 1982 දී ‘ජීවිතයෙන් ජීවිතයක්’ චිත්‍රපටය නිෂ්පාදනය කළා. සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළේ වාණිජ වශයෙන් ඒක සාර්ථකත්වයට පත්වුණේ නැහැ. තිලක් අතපත්තු සමඟ ‘පෙරළිකාරයෝ’ චිත්‍රපටය කළා. 83 ජූලි කලබල කාලේ චිත්‍රපටය කරද්දි ප්‍රශ්න ඇති වුණා. අපි ඉන්දියාවට ගිහින් තනූජා මුඛර්ජී කියන නිළියව ලංකාවට ගෙන්වා ගෙන චිත්‍රපටය හැදුවා. ඇය නොමිලේම අපේ චිත්‍රපටයට සහයෝගය දුන්නා. මාසයක් විතර ෂූටින් කළා. තනූජා කියන්නේ වර්තමානයේ ජනප්‍රිය නිළියක් වන කාජල්ගේ මව. පෙරළිකාරයෝ අධ්‍යක්ෂවරයා දිනේෂ් පි‍්‍රයසාද්, එහි විජය කුමාරතුංග, සමන්ති, ලැනරෝල් ටෙනිසන් කුරේ ආදි නළු නිළියන් පිරිසක් රඟපෑවා. හිත හොඳ පුතෙක්, චෙරියෝ හොල්මන්, ඩබල් ට්‍රිබල්, ඇතුළු චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කළා. විධායක නිෂ්පාදකයෝ සම්බන්ධ වුණු චිත්‍රපටයත් ඒ අතර තියෙනවා. දමිත් ෆොන්සේකාගේ බෆොලෝ ට්‍රැවල්ස් වගේ.

ගෝත්‍රා ඔබේ ඉදිරිපත් කිරීමක්

ගෝත්‍රා අධ්‍යක්ෂණය කළේ රවී චන්ද්‍රසිරි ඔහුගේ පළමු අධ්‍යක්ෂණය ඔහුට ඒක කරන්න පුළුවන් කියලා මට හිතුණා. මාසයක් විතර පුහුණු වුණා. චිත්‍රපටයේ නළු නිළියෝ වැඩි දෙනෙක් අලුත් 125 දෙනෙක් විතර රඟපෑවා. විල්සන් කරු රඟපෑ අවසාන චිත්‍රපටය ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු, ජනිත වික්‍රමගේ, අංජලි ලියනගේ, අනෝජා වීරසේකර වගේ පළපුරුදු නළු නිළියන් සමඟ නවකයින් පිරිසක් රඟපානවා. කැමරා අධ්‍යක්ෂ ජී. නන්දසේනයි පන්නල ප්‍රදේශයේ රූගත කිරීම් කළා. ටී බෝයි එකේ ඉඳලම අපි ඔක්කොම කණ්ඩායමක් හැටියට එකතු එකතු වෙලා ‘ගෝත්‍රා’ හැදුවා. වික්‍රමසිංහ අසංකා දිසානායක නිෂ්පාදනයෙන් එකතු වුණා.

චිත්‍රපටයේ ප්‍රදර්ශනය කිරීමට යම්කිසි කාලයක් ගත වුණා.

මේ වනවිට චිත්‍රපට 180ක් විතර පෝලිමේ තියෙනවා. ඒ අතරින් තිරගත කරන්න 25ක් විතර තෝරගෙන තියෙනවා. මම 2019 දී මේක තිරගත කරන්න උත්සාහ කරන කාලේ චිත්‍රපට සංස්ථාව කමිටුවක් පත් කරලා චිත්‍රපට වර්ගීකරණයකට සැලසුම් හදමින් හිටියා. ඒ වර්ගීකරණය කරපු චිත්‍රපටය 18 ක් විතර තිරගත කළා. ඒවා දිව්වේ නෑ. කිසිම දෙයක් දන්නේ නැති අය ඒවා තේරුවේ. තේරීමේ කමිටුවේ හත් දෙනෙක් හිටියත් මගේ චිත්‍රපටයක් බලලා තිබුණේ තුන්දෙනයි. චිත්‍රපට තෝරන්න නිර්ණායක 10ක් තිබුණා. තිර නාටකයේ ප්‍රමිතිය, රූප රාමුවල ප්‍රමිතිය, ශබ්දවල ප්‍රමිතියේ ආදී වශයෙන්. ඒත් ඒවා ගැන දැනුමක් තිබුණු අය එතන හිටියේ නැති හින්දා ‘ගෝත්‍රා’ චිත්‍රපටය ගැප් එකට (අතරමැද කාලයකට) දාන්න යෝජනා වුණා. මේවා ගැන කියන්න මම මානව හිමිකම් එකටත් ගියා.

එදා එහෙම වුණාට දැන්..

දැන් මට චිත්‍රපටය ඕපන් රීලිස් එකකට දාන්න පුළුවන් වුණා. මම චිත්‍රපට සංස්ථාවත් එක්ක හුඟාක් රණ්ඩු කළා. ඒ වුණාට දැන් මට චිත්‍රපට සංස්ථාව හොඳ සහයෝගයක් දුන්නා. මට හොඳ හෝල් ටිකක් ලැබුණා. මට ඇත්තටම පුදුමයි. ඒ ගැන හැමෝම සංස්ථාවට බනිනවා. ඒත් ඒක වැරදියි. සංස්ථාවත් අසරණ වෙලා ඉන්න බව මම දන්නවා. ඔවුන්ට එක සිනමා හලක්වත් නෑ. ඉතින් අපි කියන හැමදේම ඔවුන්ට කරන්න බැහැ. ගෝත්‍රා මේ විදියට තිරගත වුණේ නැත්නම් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක දාන්න බලාපොරොත්තුවෙන් හිටියා හුඟක් අධ්‍යක්ෂවරු ඒකට කැමති නැහැ.

අධ්‍යක්ෂවරු ගැන කියද්දි

හුඟක් අධ්‍යක්ෂවරු හොරකම් කරනවා. සමහරු අධ්‍යක්ෂවරුන්ට අහුවෙලා ගෙවල් උගස් තියලා චිත්‍රපට කරනවා. ඔවුන් බොරු කියලා අන්දනවා. ෂූටින් ඉවර කරපු ගමන් චිත්‍රපටය පෙන්නන්න සල්ලි හොයනවා. තව තවත් නිෂ්පාදකවරු අල්ලගන්න ප්‍රිමියර් තියෙනවා. දැන් අලුත් නිෂ්පාදකවරුන්ට නීතිරිතී තියෙනවා.

ගෝත්‍රා කතාව ගැනත්

ගෝත්‍රි‍්‍රකයින් දෙපිරිසක් අතර 17 වන සියවසේදී විතර සිදුවුණායි කියලා හිතන මනඞකල්පිත කතාවක්. විශාල වනාන්තරයක් දෙපැත්තේ ජීවත්වුණු එකිනෙකාට වෙනස් ගති පැවතුම් තිබුණු ගෝත්‍රික පිරිසක් දෙපැත්තක ඉන්නවා කියලා දන්නේ නැතුව ඉන්න අතරේ ගෝත්‍රා කියන පිරිමි දරුවා කැලේ අතරමං වෙලා ඉන්නේ. එහාට හම්බවෙනවා ඒ වයසම ‘අනේරි’ කියන ගැහැනු ළමයව ඒ හමුවීමෙන් දෙපැත්ත අතරේ සටනක් දක්වා දිගට යනවා යනවා. තියෙන්නේ කතාව දෙබස් තිර රචනයේ අධ්‍යක්ෂවරයාගේමයි. මේ කතාව ආදීවාසයේ ස්වරූපයෙන් තිබුණාට ඒ ඇඳුම් සියල්ලම අපි හිතලා නිර්මාණය කළා.

සිනමා ක්ෂේත්‍රයේ සුභ පෙරනිමිති දකිනවාද

චිත්‍රපටයක් කරන්න පටන් ගන්නකොට අපිවත් ගන්න කියලා අඬාගෙන ඇවිත් ගත්තට පස්සේ අද කවුරුවත් නැහැ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලට මට උදව් කරන්න. මම චිත්‍රපටයේ විශේෂ දර්ශන මාධ්‍ය දර්ශන තියන්නේ නෑ. ඒවා බොරු වැඩ. ඒ කාලේ අපේ නළු නිළියෝ වැඩකට ගියාම යන්න පරක්කු වෙනවා කියලා දිව්වේ නෑ. දැන් හරිම වදයක් තියෙන්නේ සමහරු නිළියන්ට ෂූටින්වලට එක්කගෙන යන්න ගෙවල් වලට ගියාම ගෙදර නෑ. ටෙලිෆෝන් ඔෆ් කරලා ඒ කාලෙ දිල්හානිලා වගේ අයව ගන්න යවනවා වාහනේ පරක්කු වුණාත් එයාලා ලෑස්ති වෙලා බලාගෙන ඉන්නවා වාහනේ එනකං වචනයක්වත් කියන්නෙ නෑ.

ඉදිරිය ගැන හිතන්නේ

ඉදිරියටත් මම චිත්‍රපට කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් තිර පිටපතක් සකස් වෙමින් තියෙනවා. අපි ඉදිරියේදී චිත්‍රපට කරන්න ඕන සිනමාහල් හිමියෝ අපේ ළඟට ඇවිත් අපට චිත්‍රපට පෙන්නන්න දෙන්න කියලා ඉල්ලන ප්‍රමිතියේ. ඉල්ලුම තියෙන චිත්‍රපටි තමයි සිනමාව ගොඩගන්න පුළුවන්. දැන් චිත්‍රපට බලන්නේ අලුත් පරපුර. ඔවුන්ට ගැළපෙන්න විදියට කරන්න සිද්ධ වෙනවා. අලුත් පිරිස් යොදා ගන්නත් ඕනැ. යශ් චොප්රා වුණාත් කාළේ ඒ විදියටයි. හැමදේම අලුත් වෙන්න ඕන කොහොම වුණත් මම ඊළඟට නිෂ්පාදනය කරන කරන්න සූදානම් වෙන චිත්‍රපටයට මම කැමති නෑ. ඒත් එක කරන්න වෙනවා. පේ‍්‍රෂකයින්ට ඕනෑ නිසා.

ෂෙරින් පීරිස්

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT