– දිනිතිගේ ලක්ෂණ අපි හැමෝගෙම අඩු වැඩි වශයෙන් තිබෙනවා
– ඕනෑම අභියෝගාත්මක චරිතයක් භාරගන්න මම සූදානම්
– වත්මන් සමාජයේ මට දිනිතිලා අනන්තවත් මුණගැසී තිබෙනවා
– මම වැඩිපුරම කාලයක් ජීවත්ව සිටින්නේ වේදිකාවේයි
මෙවර පැවැති 35 වැනි සරසවිය සිනමා සම්මාන උලෙළේදී 2019 වසරේ හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවේ මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ ‘දැකලා පුරුදු කෙනෙක්’ චිත්‍රපටයේ දිනිතිගේ චරිතය රඟපෑ සමාධි ලක්සිරිය. සමාධි සිය සම්මානය ලබාගැනීම දක්වා පැමිණි කලා ලොවේ ගමන්මඟ පිළිබඳවත් සම්මානිත වූ දිනිතිගේ චරිතය පිළිබඳවත් සිය අදහස් දැක්වූයේ මෙසේය.
මෙවර සරසවිය සිනමා සම්මාන උළෙලේ ඔබ 2019 වසරේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍රවුණා. ඒ පිළිබඳ දැනෙන හැඟීම මොනවගේද …..?
සම්මානයක් ලැබෙනවා කියන්නේම රංගන ශිල්පියකුගේ රංගන දිවියට වෙනමම වටිනාකමක් .මෙය මගේ රංගන දිවියේ සුවිශේෂ සලකුණක් ලෙස මම දකිනවා.
“දැකලා පුරුදු කෙනෙක් ” සිනමා කෘතියේ “දිනිති”ගේ චරිතය ඔබට දැනුණු ආකාරය පැහැදිලි කළොත් …..?
දිනිතිලා අපේ සමාජය තුළ ඕනෑතරම් ඉන්නවා. දිනිතිගේ ලක්ෂණ අපි හැමෝගෙම අඩුවැඩි වශයෙන් තිබෙනවා. දිනිති මුහුණදෙන ප්‍රශ්න වෙනත් කාන්තාවකට මුහුණදෙන්න වුණානම් එය විවිධාකාර වෙනවා. දිනිති ඒවාට මුහුණදෙන විදිහයි අපි චිත්‍රපටයේ දකින්නේ. ඇත්තෙන්ම මට විශේෂයෙන්ම දැනුණු චරිතයක් දිනිතිගේ චරිතය. මගේ සම වයස්වලට ඒක අදාළයි. ඒ කාන්තාව විඳීන පීඩිත ජීවිතය මට ගොඩාක්ම දැනෙන්න ගත්තා.
“දැකලා පුරුදු කෙනෙක්” රංගනයේදී අධ්‍යක්ෂවරයා සමඟ ඔබේ ගනුදෙනුව සිදුවූයේ කවරාකාරයෙන්ද ….?
මෙහි අධ්‍යක්ෂවරයා වන මලිත් හෑගොඩ සමඟ වැඩකරන එක ඉතා පහසු වුණා. ඒකට එක් හේතුවක් ඔහු මගේ හොඳ මිත්‍රයෙක්. ඔහු ඉතා නිර්මාණශීලීව අපි සෑම කෙනාවම මෙහෙයවූවා. සිනමාව පිළිබඳ මට ලොකුවට අත්දැකීම් තිබුණේ නැහැ. මම ඒ ගැනත් ඔහු එක්ක කතාකළා. අධ්‍යක්ෂවරයා සමඟ කතා කරගෙන ඔහුට අවශ්‍ය දේ චිත්‍රපටය ඇතුළේ කරන්න මම සෑමවිටම උත්සාහ කළා. අධ්‍යක්ෂවරයාගේ දැක්ම කුමක්ද, ඔහුගේ අදහස කුමක්ද කියන දේවල් මම උපරිමයෙන් කරන්න උත්සහ කළා. නිර්මාණයකදී අධ්‍යක්ෂවරයා තෘප්තිමත් නම් එය එහි සාර්ථකත්වයට මූලිකම දෙයක් විදිහට මම දකිනවා. මලිත්ගෙන් මට ලොකු සහායක් ලැබුණා. පිටපත අතට ගත්ත මොහොතේ ඉඳන්ම මේ චිත්‍රපටය ගැනමයි මලිත් එක්ක මම කතා කළේ. ඉතාම හොඳීන් අපේ එම ගනුදෙනුව සිද්ධවුණා.
මෙහි ඔබේ සැමියා ලෙස රංගනයේ යෙදෙන බිමල් ජයකොඩි සහ සෙසු ශිල්පීන්ගෙන් දිනිතිගේ චරිතය පෝෂණයට ලද සහය කවරාකාර දැයි සඳහන් කළොත් ….?
ඇත්තෙන්ම බිමල් අයියා එක්ක තමයි මට මෙහින් ලොකු ධාවන කාලයක රංගනයේ යෙදෙන්න තිබුණේ. ඔහුත් එක්ක රඟපෑම ඉතා පහසුවුණා. අපි හොඳ මිත්‍රයෝ. ඔහුත් එක්ක කතා කරලා මේ චරිතය මට රඟපාන්න පුළුවන් වුණා. ඔහු සිනමාවේ අත්දැකීම් බහුල රංගන ශිල්පියෙක්. ඔහුගෙන් වගේම අනෙක් නළුනිළියන්ගෙනුත් මට උපරිම සහයෝගය ලැබුණා. මෙහි රඟපෑ නළුනිළියන්ගෙන් 99%ක්ම වේදිකාවත් එක්ක වැඩකරන අය. අපි එකතුවෙන හැම මොහොතකම එතැන යම් පවුලක් වගේ හැඟීමක්, කණ්ඩායම් හැඟීමක් තිබුණා .අපි හැමෝම එකිනෙකාට සහයෝගයෙන් වැඩකළා.
වත්මන් සමාජයේදීත් ඔබට දිනිතිලා හමුවෙලා තිබේද….? සැබෑ ජීවිතයේ දී ඔබ දිනිති වූවානම් ඔබේ හැසිරීම කවරාකාර වේදැයි ඔබ සිතන්නේද….? වත්මන් සමාජයේ මට දිනිතිලා අනන්තඅප්‍රමාණ මුණගැසී තිබෙනවා. මෙහි රූගතකිරීම්වලට පෙරත් දිනිතිලා වගේ පිරිස ගැන මම අසා තිබුණා, අධ්‍යයනය කළා. චිත්‍රපටයේ රූගතකිරීම් අවසන් කළාට පසුවත් ඇත්තෙන්ම දිනිතිගේ වගේ අත්දැකීමකට මුහුණදීපු කෙනෙක් ගැන මට අසන්නට ලැබුණා ..මට ඇයට යෝජනා කළා “දැකලා පුරුදු කෙනෙක් ” බලන්න කියලා. මට ඇත්තටම ඒවගේ දෙයකට මුහුණදෙන්න වුණානම් මම සිතනවා දිනිතිට වඩා මම ශක්තිමත් කියලා. මොකද මම තීරණයක් නොගෙන වැට උඩ ඉන්න හරිම ඇකැමැතියි. හරි හෝ වැරදි වේවා කල්පනා කරලා ගන්න පුළුවන් හොඳම තීරණය මම ගන්නවා. මෙහි ඇත්තෙන්ම දිනිතිට තීරණයක් ගන්නවත් අවස්ථාවක් නොමැතිවීම තමයි මෙතැන තිබෙන බරපතළම කාරණය. ඇත්තෙන්ම ඒ ප්‍රශ්නයට මුහුණදීලම බලන්න ඕන මොකද්ද කළයුත්තේ කියලා.
මෙහි තිරපිටපත කියවද්දි මුලින්ම දිනිතිව ග්‍රහණය කරගත්තේ කෙසේද ….? එකී චරිතය ඔබට අභියෝගයක් වුණාද……?
මෙහි පිටපත කියවීමේදී දිනිති සංකීර්ණ චරිතයක් විදිහට තමයි මම දැක්කේ. අධ්‍යක්ෂවරයා සහ තිරරචකයා එක්ක කතා කරගෙන ඒ චරිතයට අදාළ බොහෝ දේ නිරාකරණය කරගත්තා. අපි හැමෝම එකිනෙකා ගත්තොත් ගනුදෙනු කරන ආකාරය වෙනස්වෙනවා. තිරපිටපත මුලින්ම කියවද්දී නම් මට දිනිති ගැන ලොකු අදහසක් ආවේ නැහැ . පිටපතට ආසක්ත වෙලා එය කියෙව්වා. අධ්‍යක්ෂවරයා සහ තිරරචකයා චිත්‍රපටය ආරම්භයට පෙර සිටම කරුණුමය වශයෙන් ඉතාම සන්නද්ධව සිටියා .
“දැකලා පුරුදු කෙනෙක් ” හි දිනිතිගේ චරිතය වෙනත් සම්මාන උළෙලවලත් සම්මානිත වුණා නේද….?
2019 ර්‍ණඛ්ධ්ඛ් සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙසත් 2019 ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙසත් මීට පෙර දිනිතිගේ චරිතය වෙනුවෙන් සම්මානයට ලක්වුණා. සරසවිය සම්මානයත් ඇතුළුව දිනිතිගේ චරිතය සඳහා හොඳම නිළිය සම්මාන ත්‍රිත්වයක් ලැබුණා.
සංකීර්ණ චරිත ලක්ෂණ පෙන්වුම් කරන දිනිතිගේ චරිතය ඔබේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් කියා මට සිතෙනවා ….?
ඔව්. ඇත්තෙන්ම සමහර චරිත රඟපෑම අපේ ජීවිතවලත් හැරවුම් ලක්ෂ්‍යයන් වෙනවා. දිනිතිගේ චරිතය මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් තමයි. සිනමාවට මාව හඳුන්වාදීමම එක් හැරවුම් ලක්ෂ්‍යයක් කියන්න පුළුවන්. බොහෝ අය සමාධි ලක්සිරි කියන කෙනා ගැන කතා කරන්න ගත්ත අවස්ථාවක් තමයි මේ දිනිතිගේ චරිතය. ප්‍රධාන චරිතයක් නිරූපණය කළ පළමු අවස්ථාවත් මෙයයි. මට වැඩක් ලැබුණම කිසිම ප්‍රතිලාභයක් ගැන නොසිතා මගේ කාර්යය සියයට දෙසියකින් මම ඉෂ්ට කරන්න උත්සාහ කරන කෙනෙක්.
ඔබ කලාවට යොමුවූ ආකාරය සිහිපත් කරනවා නම්….?
පාසල් කාලයත් සමඟයි මම කලාවට යොමුවෙන්නේ. එහෙත් පාසල් කාලයේ කවදාවත් මම වේදිකාවේ රංගනයෙන් දායක වී නැහැ. මම නර්තනය පමණයි කරලා තිබුණේ. මගේ අදහස තිබුණේ නර්තන අංශයෙන් කථිකාචාර්යවරියක් වෙන්නයි. ඒ සියලු දේ අමතක කර මම නාට්‍ය විෂයය තෝරාගන්නවා විශ්වවිද්‍යාලයේදී ..
විශ්වවිද්‍යාලයේදී තමයි මම නාට්‍යකරණයට පිවිසෙන්නේ.
පාසල් අවධියේදීත් කලා කටයුතුවලට යොමුවුණා ද……?
මම ගියේ ඇඹිලිපිටිය ජාතික පාසලට..පාසල් කාලයේදි මම රංගනයට යොමුවුණේ නැහැ .නර්තනයට විතරයි මම පාසල් වේදිකාවට නැගලා තියෙන්නේ . විශ්වවිද්‍යාලය හරහා තමයි මම රංගනයට පිවිසෙන්නේ .
ප්‍රථමවරට කැමරාවකට මුහුණදුන් මොහොත සිහිකළොත්….?
මම උසස්පෙළ කරන අවධියේ අපේ ගම් පළාතේ රූගත කළ “මායා අග්නි” ටෙලිනාට්‍යයේ රංගනයට අවස්ථාව ලැබෙනවා .ඒ අවස්ථාවට පෙනීසිටින්න මගේ කැමැත්තක් තිබුණේත් නැහැ. අම්මාගේ බලකිරීමටයි ඒක සිද්ධවුණේ. මට තිබුණේ එහි එක් දෙබසක් කියන්නයි. එහි රිහසල් එකකුත් අධ්‍යක්ෂවරයා බැලුවා. මම ඒ චරිතය තුළ ඉන්න උත්සාහ කළා කියලා ඒ ගැන ඔහු ඉතා තෘප්තිමත් වුණා. සෙන් තිලකවර්ධන මහතා එහි අධ්‍යක්ෂවරයා. එතකොට මට අවුරුදු 17ක් වගේ වෙනවා. කිසිම දෙයක් නොදැනයි මම මුලින්ම කැමරාවට මුහුණදුන්නේ. ඒ වෙලාවේදී මටත් සිතුණා කවදාහරි කොහොමහරි මේ ගැන ඉගෙනගන්නවා කියලා. එසේ කැමරාවකට මුහුණදුන්නා කියා මට කිසිම බයක් දැනුණෙත් නැහැ
වේදිකාවේ “සමාධි ලක්සිරි” ,භූමිකාව පිළිබඳ පැහැදිලි කරනවා නම් …..?
මම වැඩිපුරම කාලයක් ජීවත්ව සිටියේත් වේදිකාවේ. ටෙලිනාට්‍ය, චිත්‍රපටවලට අඩු වශයෙන් තමයි සම්බන්ධ වුණේ. වේදිකාවේ මම ඇගයීමට ලක්වෙලා තිබෙනවා. වේදිකා නාට්‍ය 34කට විතර මම සම්බන්ධවෙලා තියෙනවා විශ්වවිද්‍යාල අවධියේ සිටම. හෙට වැඩක් කළත් මම කැමැති වේදිකා නාට්‍ය එක්ක කටයුතු කරන්නයි..වේදිකාව සජීවී මාධ්‍යයක්නේ..ශක්තියක්, ජවයක් , හොඳ මානසික මට්ටමක් වගේම ප්‍රායෝගිකව පුහුණු කළ දේවල් තිබෙන්නම ඕන වේදිකාවේ රඟපාන්න. වේදිකාවේ රැඳී ඉන්න මම හරිම ආසයි.
වේදිකාව තුළ ඔබේ රංගනයේ සුවිශේෂී සංධිස්ථාන මොනවාද……?
වේදිකාවේ රඟපෑ සෑම නාට්‍යයක්ම මගේ ජීවිතයේ සංධිස්ථාන ලෙසයි මම සලකන්නේ..මා කළ චරිත සියල්ලම එකිනෙකට වෙනස් චරිත. වේදිකා නාට්‍ය එකදෙකක වගේ තමයි මා ඇගැයීමට ලක්නොවුණේ…..
වේදිකාවේ සම්මානිත වූ අවස්ථා ගැන කතා කළොත් ……?
වේදිකාවේ හොඳම නිළිය සම්මානය කිහිපවරක්ම මා ලබාගත්‍තා. හොඳම සහාය නිළිය, ජූරියේ විශේෂ කුසලතා ආදී සම්මානයන්ට මම පාත්‍රවී තියෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙල, යෞවන නාට්‍ය උළෙල ආදියේදීත් සම්මානිත වුණා.
ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වූ ආකාරය සහ මුල්ම ටෙලිනාට්‍ය රංගනය පිළිබඳ මතකය නැවත ආවර්ජනය කළොත් ……?
සෙන් තිලකවර්ධන මහතා අධ්‍යක්ෂණය කළ “මායා අග්නි” මා රංගනයෙන් දායකවූ මුල්ම ටෙලිනාට්‍යය. ඇඹිලිපිටිය මගේ ගම් පළාතේ රූගතකිරීම් කළේ. මෙය මට අහම්බයෙන් ලැබුණු අවස්ථාවක් .
මෙරට වෘත්තියමය වශයෙන් රංගනයට තිබෙන ස්ථානය පිළිබඳ තෘප්තිමත් විය හැකිද…..?
මම ඒ ගැන තෘප්තිමත් නැහැ. ඒ ගැන කතා කරන්න මට එක්තරා විදිහකින් අයිතියකුත් නැහැ. මොකද මම වෘත්තියමය රංගන ශිල්පිනියක් නෙවෙයි. මේක වෘත්තිය කරගත් අපේ සහෝදර ශිල්පීන් රැසක්ම සිටිනවා. ඔවුන්ට ජීවිතය ගැටගහගන්න තෝරාබේරාගැනීමකින් තොරව රඟපාන්න සිද්ධවෙනවා. ඔවුන්ට අවසාන කාලයේ යැපෙන්න විශ්‍රාම වැටුපක්වත් නැහැනේ.
රංගනය ප්‍රායෝගිකව හැදෑරීමට අප රටේ තිබෙන පාඨමාලා සහ රංගන පාසල් ගැන ඔබේ මතය දැනගන්න කැමැතියි ….?
රංගනය ප්‍රායෝගිකව හදාරන්න අප රටේ තියෙන්නේ ඉතාම සුළු ස්ථාන කිහිපයක් විතරයි. විශ්වවිද්‍යාල අතින් ගත්තත්, නාට්‍ය පාසල් විදිහට ගත්තත් ඒවා රංගනය පිළිබඳ හැදෑරීමට ප්‍රමාණවත් මදි කියා සිතෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයට හා කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන්න පුළුවන් . විශ්වවිද්‍යාලයයට නොඑන කෙනෙක්ට ටවර්හෝල් නාට්‍ය පාසල, තරුණ සේවා සභාව යන ආයතන දෙක තමයි තියෙන්නේ. පෞද්ගලිකව කරන වැඩමුළු වෙනම තියෙනවා. මෑතකාලයේ සිට නාට්‍ය හා රංගකලාව විෂයයට විශාල පිබිදීමකුත් තියෙනවා. ඔවුන්ට සම්බන්ධ වෙලා වැඩකරන්න මෙරට තිබෙන ආයතන ප්‍රමාණවත් නැහැ කියා සිතෙනවා. එහෙම ආයතන තව බිහිවුණොත් හොඳයි
ටෙලි, සිනමා, වේදිකා සම්මාන උළෙලවල විනිශ්චය මණ්ඩල තීරණවල ගැටීම් ඇතිවන අවස්ථා අපි දකිනවා. සම්මාන ලැබිය යුතු නිර්මාණවලට සහ රංගන ශිල්පීන්ට සම්මාන නොලැබී ගිය අවස්ථා මෙන්ම සම්මාන නොලැබිය යුතු නිර්මාණවලට සම්මාන ලැබුණු අවස්ථාත් තිබුණා..එකී කරුණ පිළිබඳ ඔබේ තක්සේරුව කෙබඳුද …..? ඕනෑම සම්මාන උළෙලක විනිශ්චය කියන්නේ එක්තරා විනිශ්චය මණ්ඩලයක සිටින කිහිප දෙනෙක්ගේ අදහසක් විතරයිනේ. එහිදී හොඳ නිර්මාණ ඇගයීමට ලක්නොවූ අවස්ථා තිබෙන්න පුළුවන්. එය සමස්තයේ අදහස නෙවෙයි. ඒ මොහොතේ සිටින විනිශ්චය මණ්ඩලයේ අදහසයි. අපි නිර්මාණයක් තරගයකට ඉදිරිපත් කරද්දි එය දැනගත යුතුයි එහිදී සිදුවෙන්නේ කිහිපදෙනකුගේ තේරීමක් පමණයි. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය. ඒ අදහසට කැමැති නම් විතරයි අපි අපේ නිර්මාණ, සම්මාන උලෙළවලට දාන්න ඕනේ.
මෙතෙක් රඟපෑමට නොහැකිවූ රඟපෑමට කැමැත්තෙන් සිටින චරිතයක් වේද…..?
එහෙම විශේෂ චරිතයක් ගැන මට හිතෙන්නේ නැහැ. ඕනෑම අභියෝගාත්මක චරිතයක් භාරගන්න මම සූදානම්. එය වේදිකාව ද සිනමාව ද රූපවාහිනිය ද කියන දේ මට අදාළ නැහැ. මට කුඩා චරිතයක් රඟපාන්න තිබ්බත් ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්නයි මම බලන්නේ. මට කරන්න තිබෙන චරිතයට මම වගකියනවා
සිනමාව, ටෙලිනාට්‍ය, වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයේ රංගනයේදී ඔබ වඩාත්ම කැමැත්තක් දක්වන්නේ කවර මාධ්‍යවලට දැයි කීවොත්….? සහ එයට හේතුවත් පැහැදිලි කළොත් …?
මම කැමැත්තක් දක්වන්නේ වේදිකා නාට්‍ය කියන කලා මාධ්‍යයටයි.ඒක හරිම සුවිශේෂියි. මම ජීවිතයේ වැඩිම කාලයක් කැපකිරීම් කළේ වේදිකාවත් එක්කයි. වේදිකාව තමයි මට දැනෙනම තැන. සිනමාවටත් ඉතාම ආදරෙයි. ටෙලිනාට්‍යවලටනම් මම 2012න් පසුව සම්බන්ධ වුණේ නැහැ. මම තෝරලා බේරලා අතළොස්සකයි වැඩ කරන්නේ. එක්තරා අවස්ථාවක මට ලැබුණු චිත්‍රපටයක් අතහැරලා වේදිකාව එක්කත් මම හිටියා.වේදිකාව තුළ මට ඕනෑතරම් වැඩ තියෙනවා. ඒත් තෝරලා බේරලයි ඒවාට දායකවෙන්නේ.
1990 දශකයේ බිහිවූ විශිෂ්ට ටෙලි නිර්මාණ සහ අද බිහිවන මෙගා රැල්ලේ ටෙලිනාට්‍ය අතර වෙනස ඔබ දකින්නේ කෙසේද…..?
මෙහෙමයි. මම මෙගා විරෝධී කෙනෙක් නෙවෙයි. “දූදරුවෝ” ටෙලිනාට්‍යය ගත්තත් ඒකත් මෙගා ගණයට අයිතියි. එය ගුණාත්මක බවිනුත් ඉහළයිනේ. දැන් බිහිවෙන ටෙලි නිර්මාණවල එම ගුණාත්මක බව නැහැ. එකම රංගන ශිල්පියා මෙගා ටෙලි දෙකතුනක ඉන්න අවස්ථා අපි දකිනවා. ඒවගේ අග මුල සොයාගන්නත් බැහැ. අනෙක මෙගා දිනපහේම විකාශය වෙද්දී ඒවගේ අපූර්වත්වයත් නැතිවෙනවා. ඉතා හොඳ ටෙලිනාට්‍යත් මේ යුගයේ බිහි නොවෙනවාම නෙවෙයි.
කලා ක්ෂේත්‍රයට පිවිසෙන නවක පිරිස ගැන ඔබේ දැක්ම කවරාකාරද …..? වේදිකාවේ ඉඳලා ටෙලිනාට්‍යවලට ගිහින් එතැනින් එය වෙනත්ම ගමන් මාර්ගයක් කරගන්න අයත් ඉන්නවා. වේදිකාවෙන් ඇවිත් නව නිර්මාණ කිහිපයකට දායකවෙලා තවමත් වේදිකාවේ රැඳී ඉන්න පිරිසකුත් අපි දකිනවා. මෙගාවල පමණක් ඉන්න පිරිසක් මම දැකලා තිබෙනවා. මම කියන්නේ අපි මොන ක්ෂේත්‍රයේ සිටියත් අපේ වෘත්තියට ගරුකරන්න ඕනේ..වෘත්තියට ගරුකරමින් ඉද්දී තමයි වෘත්තියට වටිනාකමක් ලැබෙන්නේ. සමාජයේ පිළිගැනීමක් ලැබෙන්නේ. නවකයන්ට කියන්න තියෙන්නේ කලාව පිළිබඳ හදාරන්න කියලයි. නාට්‍ය පාසල්වලට යාමම නෙවෙයි හැදෑරීම කියන්නේ. නාට්‍ය බලන එකෙන්, චිත්‍රපට බලන එකෙන්, තවකෙනෙක් රඟපාන දිහා බලලා අපට හැදෙන්නත් පුළුවන්. රංගනය නමැති භාෂාව ප්‍රගුණ කළ යුතුයි. අපි තව ඉගෙනගත යුතුයි. කතිකාවන් ඇතිකර ගත යුතුයි. ඒවාට අපේ නවක පිරිස තවම විවෘත නැහැ. ඔවුන් ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වයයි බලන්නේ. වෘත්තියට ගරු කරන්න. එය හදාරන්න. ඒකයි මම නවකයන්ගෙන් ඉල්ලන එකම දේ
රංගනයට අමතරව ඔබේ වෙනත් කලා හැකියාවන් පිළිබඳ යමක් සඳහන් කළොත් …?
මම නර්තනය කියන දේ රංගනයට වඩා හදාරපු කෙනෙක්. බෙර ගහද්දි තවමත් මට නටන්න හිතෙනවා. නැටවෙන කෙනෙක්. ඊට අමතරව ලිවීමේ හැකියාවත් මට තියෙනවා.ගායනයටත් දක්ෂතාවක් තියෙනවා. ඒත් ඒවාට මම මූලිකත්වය දෙන්නේ නැහැ. ලියන්න ලැබෙන අවස්ථාවලදී මම ලියලත් තිබෙනවා.
රංගනයේදී ඔබ වඩාත් කැමැත්තක් දක්වන අධ්‍යක්ෂවරුන් සිටිනවාද…..?
මම පෞද්ගලිකව වැඩකරන්න කැමැති අධ්‍යක්ෂවරුන් ඉන්නවා. අහවලාගේ නිර්මාණයක වැඩකරන්න තිබ්බානම් කියලා මටත් හිතෙන අවස්ථා තියෙනවා. ඒක මම මාධ්‍යය ඉදිරියේ ප්‍රකාශ කරන්න කැමැති නැහැ. මාව සුදුසුයි කියලා හිතෙන අධ්‍යක්ෂවරයෙක් මට කතා කරාවි
ඔබගේ ඉදිරි කලා නිර්මාණ ගැන යම් ඉඟියක් දුන්නොත් …..?
වේදිකා නාට්‍ය 02කට සම්බන්ධ වෙන්න නියමිතයි. ටෙලිනාට්‍ය නම් මම භාරගෙන නැහැ. චිත්‍රපටත් භාරගෙන නැහැ. “දැකලා පුරුදු කෙනෙක්” වගේම චිත්‍රපටයකට ආරාධනා ලැබුණත් ඒකට සම්බන්ධ වුණේ නැහැ
ඔබ රාජ්‍ය සේවිකාවක්. ඒ ගැනත් යමක් කීවොත් …..?
ඔව්. වෘත්තියෙන් මම රාජ්‍ය සේවිකාවක්.මම වැඩ කරන ස්ථානය ළඟදී මාරු වුණා. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ඉඳලා දැන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ. මම කලා කටයුතු කරනවා කියලා ඒ ආයතනවල දන්නේ නැති පිරිසකුත් ඉන්නවා.කිහිපදෙනෙක් විතරයි ඒවා දන්නේ. ඒක ඇත්තෙන්ම රාජකාරියට පහසුවක්. සමහර ආයතනවලින් මගේ කලා කටයුතුවලට ලොකු සහයෝගයක් දීලා තියෙනවා. සමහර තැන්වලින් නොදීපු අවස්ථාත් තිබ්බා. ඒ සෑම අවස්ථාවකම මම කළේ හොඳට වැඩකරපු එකයි. ඒවා මම ප්‍රශ්නයක් කරගත්තේ නැහැ
පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබේ කලා දිවියට ලැබෙන සහාය කවරාකාරද …..?
අම්මා ජීවතුන් අතර ඉන්නවා. ඇයත් රාජ්‍ය සේවයේ සිටි කෙනෙක්. තාත්තා ජීවතුන් අතර නැහැ. ඔහු පොලිස් නිලධාරියෙක්. මගේ පවුලේ ගැහැනු ළමයින්ම පස්දෙනෙක්. මම හැර ඉතිරි හතරදෙනාම ගුරුවරියෝ. මම විවාහවෙලා ඉන්නේ සාරංග මොරගොඩ එක්කයි. මගේ කලා කටයුතුවලට ඉතා හොඳ සහායක් ඔහු ලබාදෙනවා .සමහර නිර්මාණ මම ප්‍රතික්ෂේප කරද්දි ඒවා ප්‍රතික්ෂේප කරන්න දෙන්නේ නැති එකම කෙනා තමයි මගේ සැමියා. රැකියාව එක්ක කලා කටයුතු කරන්න අමාරුවෙයි කියලා මම කිව්වත් ඒ තීරණය ගන්න ඔහු ඉඩදෙන්නේ නැහැ. ඔහු කියන්නේ අත හරින්න එපා, ඒවා කරන්න කියලා. ඔහුගේ ඒ ශක්තිය ආශීර්වාදයක් ලෙස මම දකිනවා. මගේ පුතා ඕවියන් මොරගොඩ. එයාට අවුරුදු 09යි. කලාවට ඔහුත් හරිම ආදරෙයි. එයා අවුරුදු 07විතර ඉඳන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න හීන දකිනවා. පිටපතකුත් ළඟ තබාගෙන ඉන්නේ. මම ඔහුට හැමවිටම උදව් කරනවා. කලා කටයුතුවලට ඔහුව හැම මොහොතකම මම රැගෙන යනවා. මේ කලාවම ඔහු කරනවාට මම කැමැතියි. කලාවෙන් අපි ලබන සතුට, ආත්ම තෘප්තිය මගේ පුතාත් විඳීනවා දකින්න මමත් කැමැතියි. ඒත් මම ඔහුට බලපෑම් කරලා නැහැ. එයාට හරිම නිදහස් ගමනක් යන්න මම ඉඩදීලා තියෙන්නේ.
මනෝජ් රුක්මල් කුමාරසිංහ ඡායාරූප : පැතුම් දසනායක