– කලට වේලාවට වැඩ කරන සිරිත තාත්තා අපටත් පුරුදු පුහුණු කළා
– අපෙ තාත්තා ගෙදර කොහෙත්ම විහිළු තහලු නැහැ. හරිම ගම්භීරයි
– “පුතේ..උඹ කවදාවත් මගේ නම පාවිච්චි කරල උඩට එන්න හදන්න එපා
– අදටත් අපෙ තාත්තාගෙ නම කීවාම කාගෙත් සැලකිල්ලක් ලැබෙනවා
” අපෙ තාත්තා ගෙදර කොහෙත්ම විහිළු තහළු නැහැ..හරිම ගම්භීරයි. ඒ වගේම දන්න දා පටන් කලට වේලාවට වැඩ කරන සිරිත තාත්තා අපටත් පුරුදු පුහුණු කළා..”
සිනමා රිදී තිරය මත මෙන්ම රූපවාහිනීයේද..වේදිකා නාට්‍යයේදීද ඔහුගේ හාස්‍ය රසය උපදවන රංග විලාශයද..කතා විලාශයද තවත් බොහෝ කලකට රසික සිත්සතන් කෙරෙන් දුරස්ව නොයනු ඇති. ඒ තරමටම එතුමාගේ රංගන පෞරුෂය ආසක්තය. ආකර්ෂණීය ය..
සරසවිය පාඨක ඔබ වෙනුවෙන් එතුමාගේ යටගිය ජිවන සිරිත පිළිබඳ තතු සොයා ගිය ගමනේදී මට මුණගැසුණු ඔහුගේ නුෂාන් සමන්ත හෙට්ටිආරච්චි නම් එම පවුලේ බාලම පුතු තම ආදරණීය පියාණන් පිළිබඳව බොහෝ දේ කියන්නේය.
ආදරණීය අපේ නුෂාන් සමන්ත මට මුණගස් වන්නට මුල්වූ ගායන ශිල්පිණි ත්‍යාගා එන් එඩ්වඩ් මහත්මියගේ දෙටු දියණිය කෞෂානී එඩ්වඩ් සොයුරියට ස්තුතියි !
ප්‍රකට ඛ්- ර්‍ථඹ්උඉ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයකු හා ගායකයකුද වන අපේ ආදරණීය නුෂාන් සම්පත් හෙට්ටිආරච්චි අප පිළිසඳරට මුලපුරමින් “සරසවිය කියන්නෙ අපේ පත්තරේ යැයි කියමින් එහි කර්තෘතුමාටත් මටත් ස්තුතිවන්ත වූයේය..
“අපෙ තාත්තාට කවුරුත් ආදරෙයි. ඇත්තමයි අයියෙ..පුංචි කාලෙ පටන්ම හරිම සංවේදී චරිතයක්. සරලයි. සැහැල්ලුයි. කොතැනකදීවත් වැඩිපුර කතාබහ නැහැ…තාත්තා එක්ක ඕනම කෙනෙක් ඉක්මනින් මිතුරු වෙනවා”
ප්‍රසන්න පෙනුමකින් හෙබි අපේ නුෂාන් සමන්ත එසේ කියා තවත් දේ කියන්නට වන්නේය.
මෙවර ඔබට හමුවන අපේ සොඳුරු කතා නායකයාගේ උප්පැන්නයේ නම එඩ්මන්ඩ් හෙට්ටිආරච්චි ය. සුනිල් හෙට්ටිආරච්චි වූයේ කෙසේදැයි විමසූ විට ඔහුගේ දූ පුතුන් කියන්නේ ” සිනමාවට එකතු පසුව තාත්තා ම හදාගත් නම එය බවකි. නාවල , වැලිසර දී 1937 ක්වූ අප්‍රේල් මස 08 වන දින උපත ලද ඔහුට වැඩිමල් සහෝදරයන් දෙදෙනකු හා එක් නැගණියක්ද සිට ඇත. ලොකු අයියා මාටින් ය. දෙවන අයියා සොලමන් ය. තෙවැන්නා පීරිස් ය. සිව්වැන්නා අපේ ආදරණීය කතා නායකයාණෝය. නැඟණිය චන්ද්‍රා තෙන්නකෝන් ය. ඔහුගේ මවුපියන් වූයේ වෙදගේ ෆ්‍රැන්සිස්හාමි සහ හෙට්ටිආරච්චිගේ චාල්ස් යන දෙපලය.
කෝට්ටේ ක්‍රිස්තියන් කොලීජියට ඉගෙනුම පිණිස ගිය අපේ ආදරණීය සුනිල් හෙට්ටිආරච්චි විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ සිටියා යැයි කියූ අපේ නුෂාන්ගේ මුවට හදිසි සිනාවක් පහළ වූයේය..
මම ඔහු දෙස බලා සිටියෙමි.
“මේකයි…අපෙ තාත්තා මාර විදිහට ක්‍රිකට්වලට කැමතියි. ඒ වගේම දක්ෂයි. දවසක් රිසව් උන්නෙ අපෙ තාත්තා ලු. දාපු බෝලෙ ඇදිල ඇවිත් වැදුණෙ තාත්තාගෙ කටේ. දත් දෙකක් කැඩිලම ගියාලු. මට ඕන නැහැ ක්‍රිකට් කියලා එදාම තාත්තා ක්‍රිකට් අතහැරියාලු ” යි කියූ නුෂාන් සිනාසෙන්නේය.
අපේ සොඳුරු කතා නායකයාණෝ සැබැවින්ම අවිහිංසකය. කුඩාවියේදී සරුංගල් අරිනවිටදී හවුලට එන තම අයියලා තමන්ට ටොකු ඇන යන බවද ඒවා ඔහේ දරාගත් බවද දිනෙක ඔහු තම පුතුට කීවේය.
“අපෙ තාත්තා කා එක්කවත් අසමගිකම් නැහැ. කලා ක්ෂෙත්‍රයේ වුණත් හැමෝම වගේ මිතුරුයි. පාඩුවේ ඉන්න කැමති මනුස්සයෙක්නෙ. ”
නුෂාන් කියන්නේය.
වේදිකා නාට්‍යවලට මුලදීම සම්බන්ධ වූ හෙතෙම ඉන් නමක් දිනාගන්නට සමතකු විය. බුල්ටෝ මාස්ටර් නමින් ප්‍රකට කලාකරුවකු එකල නාවල ප්‍රදේශයේ සිටියේය. නාට්‍ය තැනීමට රුසියකු වූ ඔහු වෙසක් නාට්‍යද වේදිකාවට ගෙන ආවේය. එම නාට්‍යවල අපේ කතා නායකයාට විශේෂ තැනක් ලබා දී තිබිණි . විල්ෆ්‍රඩ් ජයවීරයන් තැනූ සෙවණැල්ල නාට්‍යයේද තවත් නාට්‍ය රැසක ඔහු කැපි පෙනුණු චරිත රඟපෑවේය. වේදිකා නාට්‍යයේම ඇලී කලක් යාමේදී අපේ පරාක්‍රම නිරිඇල්ලයන් අපේ කතා නායකයා දැක ඔහුගේ “සසර සයුරෙන්” ටෙලි නාට්‍යයේ මිනීමරුවකුගේ චරිතයකට තෝරා ගත්තේය. එම චරිතය ඔහු මැනවින් රඟපෑවේය. හෙතෙම හා පුරා කියා චිත්‍රපටයකට රංගනයෙන් දායක වූයේ රෝයි ද සිල්වාගේ නව නිෂ්පාදනය වූ කඩවුණු පොරොන්දුවේය.
මා සමීපයේ පසුවන අපේ ආදරණීය නුෂාන් තවත් දේ කියන්නේය. ඒ ආදරණීය තාත්තා ගැනමය.
නුෂාන්ගේ කටහඬ ගැඹුරු ය. ළයාන්විත ය. කතාවේදි වචන උච්චාරණ විලාශය සිත්ගනී. ” අපෙ තාත්තා ගැන ඕන දෙයක් අහන්න” යැයි කී නුෂාන් තවත් යමක් කියන්නේය.
“අපි දන්න දා ඉඳලම අපෙ තාත්තාගෙ වැඩ කටයුතු පිළිවෙළයි. හරියට වේලාවට වැඩ…ඒ හොඳ පුරුදු දරුවන් වන අපටත් තාත්තා කියා දුන් නිසා අද අපිත් එහෙමමයි. ඔය ෂූටිං වැඩවලට යන්න වෙලාවටත් කලින් ලකලෑස්ති වී ඉන්නවා. සමහර වෙලාවට එන බව කියපු අය එන්නෙ තවත් පැය හත අට පරක්කු වෙලා. ඉතිං ..තාත්තා තරහ ගන්නේ නැහැ.”
” තාත්තා කරන විහිලු ඔයාලට පුරුදු ඇති නේදැයි මා ඇසූ විටදී හිඳ සිටි අසුනේ තවත් හරිබරි ගැහුණු හේ කීවේ තාත්තාගෙ එක විහිළු පොදක් ගේ හරියක නැහැ. තාත්තා ගෙදරදි ගම්භීරයි. හැබැයි සැහැල්ලුවෙන් ඉන්නෙ. කවට තාත්තා කෙනෙක් නම් නෙවි . ගෙදර ඉන්න කොට එයාගෙ එකම විමෝදාංශය හින්දි චිත්‍රපට බැලීමයි…හින්දි ගීත ඇසීමයි…අපෙ තාත්තාටත් හොඳට ගීත ගයන්න පුළුවන් …ඒ බව හැමෝම දන්නවා..”
තම පියාණන් පිළිබඳ ගෞරවනීය බවක් පුතු නුෂාන් තුළ ඇතැයි මට හැඟේ.
“හැබැයි ..කේන්ති යන වෙලාවටත් එහෙමමයි..”යැයිද නුෂාන් කියන්නේය.
එවක ඔහු පදිංචිව සිටියේ මාලිගාවත්ත මහල් නිවාස වලය. කලාකරුවන් වැඩිම පිරිසක් වෙසෙන එම පුරය කලාපුරයක්මය. පුතු නුෂාන් පාසලට යන්නට අදිමදි කරන්නේය. අම්මා නුෂාන්ව මෙල්ල කරගත නොහැකිව සැමියා දෙස බලන්නීය. සැමියා හුන් තැනින් නැඟිට ආවේ විදුලි වේගයෙනි. පුතුගේ පාසල් බෑගය අතට ගත් හේ ඉහළ තට්ටුවේ පිහිටි තම නිවසේ සිට දන්නා දහිරිය ගෙන විසිකළ තරම කිවහොත් පාසල් බෑගය මහපාෙර්ය.
” මම මාර විදිහට අපෙ තාත්තාගෙන් ගුටි කලා තියෙනවා අයියෙ”
ගෙදරට දිව පැමිණි පිරිසක් මෙසේ කෑ ගෑවේය.
“සුනිල් අයියෙ..ආං..ඔයාගෙ නුෂාන් පුතා බයිසිකලේ ඇක්සිඩන්ට් එකක්. තුවාලයි. අන්න අහවල් තැන..” යැයි කී සැණින් අපේ ආදරණීය සුනිල් වහා එතැනට දිව ආයේය.
පිරිස අතරට වැදුණු හෙතෙම “කෝ මොකද වුණේ…කවුද හැප්පුණේ. කාටද තුවාල…කෝ..”
තුවාල වී ඇත්තේද බයිසිකලේ හැපී ඇත්තේද පිට කෙනකු නොව තම පුතුමය. හැරුණු ගමන් තම පුතුටම අතුල් පහරක් දී කිසිත් නොකියා සුනිල් ගෙදරට පැමිණ කිසිවක් සිදුනොවූ නියාවෙන් පසු වන්නට වූයේය.
“අපෙ තාත්තාගෙ හැටි එහෙම තමයි.”
පුතු කියන්නේය.
දැන් දැන් අපේ ආදරණීය කතා නායකයාණෝ ජනප්‍රියත්වයේය..ඔහු ගැන නොදන්නා කෙනකු නම් නැති.
“අපෙ තාත්තාට මිනිස්සු ගොඩක් ගරුසරු කළා. හොඳ පිළිගැනීමක් තිබුණා .ඔහු අපේ ජෝ අබේවික්‍රමයන්ගේද සමීපතමයකු වූයේය. ජෝ අබේවික්‍රමයන් සැත්තමකට ඉන්දියාවට ගිය ගමනේදී තම තනි නොතනියට කැටුව ගියේ අපේ සුනිල්වය. කලා ලොව අය නිතර ඔහුගේ ගෙදරට එති. යති. හැමෝම පාහේ ඔහුට සුහදය.
අපේ ආදරණීය නුෂාන් යමක් කියන්නට මෙනි.
“ඉතිං මම කොල්ලා කාලෙනෙ. ඔය පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් දාගෙන බයික් වලින් එහෙ මෙහෙ යද්දී පොලීසියට අනන්ත කොටු වෙලා තියෙනවනෙ. අල්ලපු ගමන් මම සුනිල් හෙට්ටිආරච්චිගෙ පුතා කියල කියපු ගමන් මට පොලීසියෙන් චාන්ස් ලැබිල තියෙනවා. ”
“පුතේ..උඹ කවදාවත් මගේ නම පාවිච්චි කරල උඩට එන්න හදන්න එපා. තේරුණාද. මගෙ නම විකුණන්න එපා. ඔයාගෙ දක්ෂකමක් දැකල රටේ මිනිස්සු ඔයාව අගය කරන දාට කියාපන් පුතේ මම සුනිල් හෙට්ටිආරච්චි ගෙ පුතාය කියලා.”
“මට අපෙ තාත්තා ඒ කියපු කතාව තවමත් ඇහෙනව වගේ…එදා තාත්තා කීව ඒ කතාව හරි”
අපේ ආදරණීය කතා නායකයා රස්සාවකට ගියේය. එය “ජුලියන් ඇන්ඩ් ක්‍රීසි”නමැති අධිකරණයට සම්බන්ධ සමාගමක ලිපිකාර තනතුරකි.
රස්සාව කරගත නොහැක්කේ රඟපෑමට පිට පිට අවස්ථා ගලා එන නිසාවෙනි. ඔහු ලිපිකාර රස්සාවට තිත තැබුවේය. රංගනයටම කැපවූයේය.
අපේ සුනිල් සංගීතයට ප්‍රියය. නුගේගොඩට නුදුරුව පිහිටි සංගීතායතනයකට ඔහු ගියේ තබ්ලාව ඉගෙනුමටය. ගායනයටද රුසියෙකු වූ හේ සංගීත පන්තියේ කැපී පෙනුණු ශිෂ්‍යයා වීමෙන්දෝ ගැහැනු ළමුන්ගේද ඇල්ම බැල්මද අඩු නොවිණි. මේ අතර එහි ශිෂ්‍යාවක කෙරෙහි සිත බැඳුණු ඔහු ඇයට පෙම් කළේය. ඇයද තම තිර ප්‍රේමය ඔහුටම පිදුවේය. වසර කිහිපයක ප්‍රේමයකින් පසු අපේ ආදරණීය කතා නායකයාණෝ විවාහ සිරිතට පිය නැගීය.
ඔහුගේ අත ගත් මනාලිය වූයේ ලානී අබේසිංහ මෙනවියය. එකම සංගිත පන්තියකදී හමුවු නිසාදෝ දෙදෙනාට දෙදෙනා ගෙවූ පවුල් ජිවිතය ද රසවත්ම වූ බව පුතු නුෂාන් කීවේ සොම්නස් ස්වරයකිනි. එම විවාහයෙන් ඔවුනට දූ දරුවන් සිව්දෙනෙකි.
මම නුෂාන් දෙස බලමි.
“මගෙ ලොකු අක්කා ආශා. ඊළඟට මගෙ අයියා හේමන්ත ..තුන්වැන්නිය මගෙ පොඩි අක්කා නිශානී. ඉතිං..මම තමයි ඊළඟට උපන්නේ ..මම පවුලේ බාලයා”
දරුවන්ට ගැටලුවක් වුණිද දරුවන් අම්මා තාත්තා සමග විවෘතව කතා කරති. එයට හුරුකළේද තාත්තා ය. අම්මා තාත්තාගේ දෙපාර්ශවයම ඔවුනට සමීපය.
අපේ කතා නායකයා දුම්වැටියට ..මදුවිතට ප්‍රේම කළේය. ඒවා අගුණ බවක් බිරිඳ ලානී පහදා දුන්නී..ඊට වැඩි යමක් ඇය ඔහුට නොකියන්නීය.
ඔහු කාර්ය බහුල ය. නිවසෙහි පසුවන්නේ අහඹුවෙනි. එවිට ඔහු හින්දි චිත්‍රපට හා හින්දි ගීත වින්දනයේය. ඔහු බලවත්සේ අකැමැති විෂයයක් තිබුණේ වී නම් ඒ දේශපාලනයය. එහෙත් හෙතෙම ආර්. ප්‍රේමදාස මහතාට හදවතින්ම ආදරය කළේය. දේශපාලනයට සම්බන්ධ පිරිසක් අතර සිට හෝ ලේබලයක් වදිනවාට ඔහු අකැමැති තරමේය.
“අමල් අයියා..අපෙ තාත්තාව දන්නවද”
නුෂාන් විමසූ පැනයට නැහැ යැයි කියන්නට මට නොහැකිය..මම රඟපෑ ටෙලි නාට්‍ය දෙක තුනකදී ඔහු මට හමුවී අප දෙදෙනා කුලුපග වූ බව මට තවමත් මතකය. දිනෙක මා ඉණ වටා අතක් යවා ඔහු සමීපයටම ගෙන එදා ඔහු රහසේ මෙන් කී දේද තවමත් මතකය
“අමල් මල්ලි ..මගෙ දුවක් ඉන්නවා. ඒ කෙල්ලවත් දීග දුන්නාම මගෙ හිත නිදහස්. බලාපන්කො මල්ලි ..අපෙ දුවට ගැළපෙන හොඳ කෙනෙක්…සල්ලි නෙමේ. හොඳ කෙනෙක් තමයි ඕනා.”
කාලය ගතවී ගියේය..දරුවන් ද උස්මහත්ය..කළහැකි හැම දෙයක්ම ඔහු තම දරුවන් වෙනුවෙන් ඉටු කළේය. දරුවන්ගේ ආදරය ඉහටත් උඩින් ඔහුට හිමිවූයේය.
අපේ සොඳුරු කතා නායක තෙමේ දෑතින් මුහුණ වසාගෙන කුඩා දරුවකු මෙන් හඬන්නට වූයේය. සමීපතමයනට තම දුක කියමින් කඳුළු වැගිරුවේය.
ඒ ඔහුගේ ජීවන අත්වැල වූ ප්‍රිය බිරිඳ ලානී පිළිකා රෝගයකින් නොඑනා ගමන් ගිය දවසේය.
“ඔව්..අපෙ අම්මා ව ගොඩගන්න අමාරුයි කියල අන්තිම කාලෙ වෛද්‍යවරුන් කිව්වා..”
පුතු නුෂාන් බිම බලාගත්වනම කියන්නේය. පෙර මෙන් ඔහුගේ හඬ සවිමත් නැති.
වෙනදාටත් වඩා අපේ සුනිල් මධුවිතට සමීප වූයේය. කොහොමත් වැඩි කතාබහක් නැති අපේ කතා නායකයා තම ආදරණීය බිරිඳ ගැන සිතමින් තනිවම දුක දරාගත්තේ යැයි හැඟේ.
තරමක කාලයක් නිහඬව ම පසු වූ අපේ පුතු නුෂාන්ගෙන් විමසූ පැනයකින් ඔහු මුවගට සිනාවක් ඈඳුණේය.
“අයියා අහන්නෙ අපෙ තාත්තා වඩාත් සතුටු වූ දවස ගැනද…හ්ම්…කියන්නම්කො..මම කසාද බැඳල ගෙදරට එන හෝම් කමිං දවසෙ…අපෙ තාත්තා මං ළඟට ආවා..එයාගෙ සතුට මුහුණෙ දෝරෙ ගලනව වගෙයි මට එදා පෙනුණෙ. තාත්තා මගෙ කනට කිට්ටු කරල මෙහෙම කිව්වා.
“පුතා ..උඹ මගෙ නම්බුව රැක්කා..මට ඒ සතුට හොඳටම ඇති පුතා ”
චිත්‍රපට 100 කට එහා ඔහු රංගනයෙන් දායක වූයේය. ටෙලි නාට්‍ය ද වේදිකා නාට්‍ය ද එසේමය. අමරසෝම සමරක්කොඩි ඔහුගේ හිත මිතුරෙකි. පසු කලෙක අපේ කතා නායකයා විමෝද සමයේද දක්ෂතා පෙන්වූයේය.
විවිධ චරිත නිරූපණයෙන් රසික සිත ඇදබැඳ ගන්නට සමත් වූයේය. ඒ අතරින් හාස්‍යය රසයෙන් රසිකයන් වඩාත් ප්‍රමෝදයට පත්කළා යැයි කිවහොත් වඩාත් නිවැරදි යැයි හැඟේ.
“ලෝකය වටේම තාත්තා සවාරි ගහපු කෙනෙක්. හම්බ කළා. සල්ලි මත්තේම උන්නෙත් නැහැ. සමහර අය රඟපෑවාට තාත්තා ට පොරොන්දු මුදල් ගෙවලත් නැහැ..ඒත් තාත්තා කා එක්කවත් තරහක් නැහැ. ඒවගේම අපෙ තාත්තා ඔය පන්සල් යන ඒවා පින්කම් දෙවල් රටට පේන්න කළෙත් නැහැ.. හරිම සාමකාමී මනුස්සකම රැකපු කෙනෙක්. ඒ ගැන හිතෙන කොට මටත් ආඩම්බරයක්. අදටත් අපෙ තාත්තාගෙ නම කීවාම කාගෙත් සැලකිල්ලක් ලැබෙනවා. ”
තමන් සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවාගේ පුත්‍රයකු වීම ඔහුට අභිමානයක් බව ඒ මුහුණ කියාදෙයි.
අපේ ආදරණීය සුනිල් දැන් දැන් වරින්වර රෝගාතුර වන්නේය…රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේය..ඇතැම් දිනවල තමන් ළඟ පසුවන පුතු හේමන්ත ට ඔහු මෙතුවක් පැමිණි ගමන් මඟේ මතක ඇති තැන් කියන්නේය. තමන්ට ලැබුණු සත්කාර ගැන කියන්නේය.
සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා” සිනමා සිත්තමෙන් තමන් සම්මානිත වීමද ඔහු සතුටින් තෙපලන්නේය. හැමදේම විවේකීව ඔහු පුතු සමඟ කියන්නේය..වරෙක සිනාසෙන්නේය. වරෙක කල්පනාවේ නිමග්නව ඉන්නේය.
ගෙදර දරුවන් නොසන්සුන් වූයේ…තාත්තා පාර්කින්සන් හෙවත් ස්නායු පටල දුර්වල වී හැකිළී යන රෝගයෙන් පෙළෙන බව දත් මොහොතේ දීය.
ඒ එක්කම අපේ ආදරණීය කතා නායකයා අංශබාග රෝගයට ගොදුරු වූයේය. එකතැනටම ඇද වැටිණි. දියණියන් පුතුන් ඔහු සමීපයේමය.
අපේ ආදරණීය නුෂාන් තාත්තා රෝගීවීමත් සමඟ එම නිවසට නුදුරුව පදිංචියට ආයේ තාත්තාගේ සුවදුක් බැලීමට පහසුව පිණිසමය. ඔහු සංගීතඥයෙකි. වෘත්තීය එක තැනෙක නොවේ. සංගිත ප්‍රසංගයක් දෝහා කටාර් රාජ්‍යයේ පැවැත්වෙයි. තම කණ්ඩායමේ සංගීතඥ ජයන්ත රත්නායක සමඟ තවත් අයවලුන් සමග තමන්ද එයට යා යුතුව ඇත.
විදේශ ගතයුතු වෙලාව එදින පස්වරු 6 ටය. සියල්ලෝ සූදානමිනි. ඒ සමඟම නුෂාන්ගේ ලොකු අක්කාගෙන් ලද ඇමතුමින් ඔහු කම්පිතව ගියේය.
” ඒ ප්‍රසංගය ලංකාවෙ නෙමේනෙ. ඒ නිසා මට කරගන්න දෙයක් නැතිවුණා…මම හිතේ මහබරක් තියාගෙන ඒ ගමන ගියා”
පුතු නුෂාන්ගේ හඬ බිඳුණු ස්වරයකි. හේ බිම බලාගත්වනමය ..
අපේ කතා නායක තෙමේ නිවසේ යහන මතදීම කිසිවකුටත් නොකියා රහසේ ම කොහේදෝ නික්ම ගොසිනි.
නුෂාන් හැමතැනකදීම හැඬුවේය ..මිතුරන් හරි..හරි.. කියමින් ඔහු හිත හැදුවේය. ඔහු ලංකාවට එනතුරු තාත්තාගේ නිසල දේහය නිවසේ තැන්පත් කර තිබිණි .
අපේ ආදරණීය සුනිල් ඔහුගේ අන්තිම කාලයේදී කිසිවක්ම කීවේද නැති. ඔහු ඔහුගේ ම ලෝකයක පසුවූවා වැන්න.
කතා කරන්නට අපහසුතා මතුවන්නට පෙර පුතු හේමන්ත සමඟ තාත්තා කියා තිබුණේ මං මැරුණාම ඔය විකාර දේවල් කරන්න නම් එපා. ඔය ස්මාරක වගේ බොරු දේවල් මා නමින් නම් එපා කියාය.
ඔහු බලවත්සේ රෝගාතුරව පසුවන විටකදී ඥාතියකු නිවසට පැමිණියේ තමන් විදේශ ගතවන බව කියා යන්නටය.
අපේ ආදරණීය සුනිල් සිනාසී උස්හඬින් කීයේ
“ඔයා ආපහු ලංකාවට එන්නෙ අවුරුදු පහකින්ද හයකින්ද ඒ එනතුරු මම ජීවත් ව ඉන්නවා කියාය.
එහෙත් ඒ හිත තිබූ බලාපොරොත්තුව සුළඟේ හසුවී ගියා වැන්න.
හාස්‍යය කතාවෙන්..රංගනයෙන් ලොවක් වසඟ කළ ප්‍රවීණ රංගධර අපේ ආදරණීය සුනිල් හෙට්ටිආරච්චි නම් අපේ කතා නායකයාණෝ අප අතැර නොඑනා ගමන් නික්ම ගියේ 2015ක්වූ දෙසැම්බර් මස 03 වනදාය.
අමල් යශෝමන් ජයසිංහ