මැදිවියේ රූමත් විදුහල්පතිනියක් පැමිණෙන්නේ නගරාසන්න හෝ නාගරික අඩු පහසුකම් සහිත, දිළිඳු දරුවන් ඉගෙන ගන්නා පාසලකටය. පාසල අවුල් ජාලාවකි.සිසු විනය මුළුමනින්ම වාගේ පිරිහී ඇත. ගුරු මණ්ඩලයද එසේමය. ඇතැම් සිසුහු මත්පෙති ගිල දමති. එක් ගුරුවරයකු සූදු පොළේය. තවෙකෙක් අසල වෙළෙඳ සැළේය.උප විදුහල්පති මුදලට ගිජුය. ලිපිකාරිනිය මුහුණු පොතේය.
නව විදුහල්පතිනිය කෙටි කලකින් පාසල ජයග්‍රාහී තැනකට රැගෙන යයි. ජාතික මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ ආදියෙනි. සිසු විනය සවිමත් කෙරේ. පාසල් පරිශ්‍රය දැන් අලංකාරය. සිසුහු කට්ටි නොපනිති. සිසුවියන් වඩාත් සුරක්ෂිතය. මත් උවදුර දැන් නැත. ප්‍රදේශයේ මත් රකුසා පොලිස් අත්අඩංගුවේය.
ප්‍රේක්ෂක බහුතරයක් සැනසුම් සුසුම් හෙළමින් සිනමාශාලාවෙන් පිටව යති. සෙස්සෝ සිනමාපටය අමතක කර දමති. ප්‍රශ්න කරන්නට සූදානම් වන්නේ අතළොස්සකි.
සියලු දොස් නොපමාව දුරු කරන ක්ෂණික වීරයන් හෝ වීරවරියන් හඳුන්වා දීමට සිනමාව අතිශයින්ම සමත්ය. සැබැවින්ම අතීත හා වර්තමාන බොහෝ සිනමා වීරයන්ද, වීරවරියන්ද පවසන්නේ සිනමාවේ යහ පැවැත්ම උදෙසා මේ උචිතම සාධකයක් වන බවයි. මෙතන යථාර්ථයද තිබේ. උපකල්පනද තිබේ. උපකල්පන යථාර්ථය විෂයෙහි පවතින අවස්ථාද, නොපවතින අවස්ථාද මෙහිලා දත හැකිය. අදාළ වීරයන්ගේ හා වීරවරියන්ගේ තීන්දු සේම ක්‍රියාකාරිත්වයද සාපේක්ෂ අරුත් දනවන පරිදි විශ්ලේෂණයට විචාර කාර්යයන් අවතීර්ණ වන්නේ එකම ආකාරයෙන් නොවේ. ඒ ඒ සිනමාපට නිශ්චය කරගත් ක්‍රමවේද ඔස්සේ විචාර කාර්යයන් වඩා ප්‍රායෝගික වීම වැදගත්ය.
ක්‍රිස් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ‘අපේ ප්‍රින්සිපල්’ සිනමාපටයෙන් හමුවන මේ වීර විදුහල්පතිනියට සමාන විදුහල්පතිනියක් සිව් වසරකට පෙරාතුව හමුවූයේ ඉන්දීය සිනමාකරු සියැඩ් ගෞතම්රාජ්ගේ ‘රාට්චාසි’ සිනමාපටයෙනි. එහි වීර විදුහල්පතිනිය වූ නිළි ජෝතිකා තරමටම ‘අපේ ප්‍රින්සිපල්’ හි වීරවරිය වන දිල්හානි අශෝකමාලාද ප්‍රේක්ෂක අවධානය නොමඳව දිනා ගනී. මෙවැනි චරිත නිරූපණය දිල්හානිට කිසිදු අභියෝගයක් නොවන බව පැහැදිලිය. සරල හා පැතලි චරිත වෙත ආකර්ෂණීය හැඩයක් ලබා දීමට ඇය සමත් වූ වාර ගණනාවකි. එහෙයින්ම එබඳු සිනමාපට නිර්මාපකයන්ද, නිපැයුම් පාර්ශ්වද දිල්හානි පිළිබඳව තබන්නේ ඉහළ විශ්වාසයකි. ඇත්ත වශයෙන්ම ‘අපේ ප්‍රින්සිපල්’ ඇදගෙන යන්නේම දිල්හානිය. ඇය වෙනුවට රූපණ සමත්කම් රහිත හෝ අවම නිළියක එක කර ගත්තේ නම් සිනමාකරු ක්‍රිස් ඇන්තනිට සිදුවනු ඇත්තේ මහත් ව්‍යසනයකි. එනම් සිරිලක සිනමාවේ නවාතැනක් මේ මොහොතේදී සහතික කර ගත නොහැකි වීමය.
මූලාශ්‍රයක් තිබීමේ වාසිය ක්‍රිස් පළමු වටයේදීම නෙළා ගන්නා අයුරු රහසක් නොවේ. විශේෂයෙන්ම තිරනාටකය සම්පාදනය වඩා පහසු කාර්යයක් වූ සැටියකි. අභිනව අරුතක් කුළුගැන්වීමේ අදහසක් ඔහු තුළ නොතිබීමේ වාසියද ඔහුම හිමි කර ගනී. ඔහුට ඉතිරිව ඇත්තේ වෙළෙඳ පොළ ජයග්‍රහණ ශක්ති පමණින් වාර්තා කිරීමය.
මෙතැනදී ක්‍රිස් මුහුණ දෙන මුල්ම අභියෝගය වනු ඇත්තේ පාසල් පාදක කර ගනිමින් හෝ පාසල් කේන්ද්‍ර කර ගනිමින් නිර්මිත සිනමාපට කිහිපයක්ම මෑත කාලීනව සිරිලක සිනමාවේ ප්‍රදර්ශනය වීමයි. ඉන් ඇතැම් සිනමාපටයක් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුවේ මෙරටදී මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද සම්මාන හා ඇගැයීම් සතු කර ගනිමිනි. ප්‍රේක්ෂක ප්‍රතික්ෂේප කිරීමට පාත්‍ර වූ සිනමාපටද මෙතැන තිබිණි. ‘අපේ ප්‍රින්සිපල්’ මෙබඳු සිනමාපට අතර විශේෂත්වයක් ප්‍රකට කරවනු පිණිස සිනමාකරු ක්‍රිස්ට කළ හැක්කේ සුළු කාර්යයක් පමණකැයි සිතේ.
ක්‍රිස් සිනමාපටය නිමා කරන්නේ පාසල ප්‍රතිසංවිධානය කළ වීර විදුහල්පතිනිය අන් පාසලක විදුහල්පතිනිය සේ ස්ථාන මාරුවීමක් ලැබ පිටත්වන අවස්ථාව හුවා දක්වමිනි. ඇය පවසන්නේ සිය සේවය තවත් පාසලක අභිවෘද්ධිය පිණිස ලබා දිය යුතු බවය. සිනමාපටයේ රූපමය තලය හොඳ හැටි විඳගන්නා ප්‍රේක්ෂකයන් විදුහල්පතිනියගේ මෙම ප්‍රකාශය අසා මහත් වූ සතුටක් ලබනු ඇත.
එහෙත් සැබෑ ගැටලු මතු වන්නේ ඉන් අනතුරුවය. අවාසනාවකට සිනමාකරු ක්‍රිස් ඒ කෙරෙහි අවධානය යොමු නොකරයි. මූලාශ්‍රය ඔහුව අකර්මණ්‍ය කරන්නේ යැයිද සිතේ. මෙය මෙතනට පැමිණෙන බොහෝ සිනමාකරුවන් මුහුණ පාන තත්ත්වයකි.
පොලිස් අත්අඩංගුවට පත්වන මත් රකුසා නිරුපද්‍රිතව ප්‍රාදුර්භූත වීමට ඉඩ තිබේ. මත් පෙති විකුණන කුඩා වෙළෙඳ සැල මුද්‍රා තැබූ පමණින් සිසු ප්‍රජාවගේ මත්ලෝලී බව දුරුවනු ඇතැයි කිව හැකි නොවේ. නීති ගරුක පොලිස් නිලධරයා දේශපාලනඥයකුගේ ගොදුරක් බවට පත්වීමටද පුළුවන. වරින් වර යතුරු පැදියකින් හොල්මන් කරන හිතවතා අනාවරණය නොකිරීමට ක්‍රිස් උත්සුක නොවීමද මේ මාදිලියේ සිනමාපට සඳහා වූ පොදු කාරණාවකි.
මෙවැනි සිනමාපට සම්බන්ධයෙන් විචාරශීලි වීම අනුචිතය යන්න කියැවෙන වාර බොහෝය. එනමුදු මේවා විසින් සිදු කරනු ලබන මැදහත්වීම් නොතකා හැරීම සුදුසු නොවේ. ලඝු කළ උද්වේගකර පුවතකින් ප්‍රේක්ෂක සන්තර්පණයකට අවකාශ සලසා ගැනීමේ වාසි හා අවාසි පිළිබඳ කතා බහකට මෙය අගනා නිමිත්තක් වනු ඇත.
අලුත් ප්‍රේක්ෂක පාර්ශ්ව ඇද ගැනීමට මෙවැනි සිනමාපට දරන වෙහෙස අවතක්සේරු නොකළ යුතුය. පාසල් දර්ශන , දහම් පාසල් දර්ශන අනුචිත නොවන බව වටහා ගැනීම තුළින් ප්‍රේක්ෂක සමාජය පුළුල් කර ගැනීමට ලැබෙන පිටිවහල නොවැදගත් නොවේ. ගෙවුණු සමයේදී නිර්මාණශීලී අංග රහිත හා අවම සිනමාපට කිහිපයක්ම මෙවැනි දර්ශන වාර නිසා ගොඩ යාමේ මං පෙත් විවර කර ගත බව පැහැදිලිය. සිනමාශාලා වැසි යද්දී නව හා ප්‍රතිසංස්කරණය කළ සිනමාශාලා දෙකතුනක් විවෘත වන්නේ මෙසේ හිමිවන අවස්ථාද මහෝපකාරී කොට ගෙනය. මෙයද ‘අපේ ප්‍රින්සිපල්’ සිහිපත් කරන කාරණාවකි.
තුසිත ජයසුන්දර