Home » සරසවිය කුටුම්භය ගැන හිටපු කතුවර මතක…

සරසවිය කුටුම්භය ගැන හිටපු කතුවර මතක…

by Mahesh
March 28, 2024 12:30 am 0 comment

ආචාර්ය නුවන් නයනජිත් කුමාර

සරසවියේ සත් ඇත්තන් ගැන ලියා දෙන්නැයි කතුවර නුවන් ඇරියුම් කළේ බොහෝ හැඟීම්බරවය.

“අයියට තමයි මට මේක කියන්න හිතුණේ…”

ඔහුගේ ඉල්ලීමට පිටු නොපාන්යැයි මගේ හදවත මට තෙපලුවේය. එතැන් පටන් ලිපිය ආරම්භයට පුස්තුතයක් සොයමින් මනසින් වෙහෙසුනෙමි. ඒ මගේ ලේඛනයේ හැටිය.

පසුගිය පෙබරවාරි 18 දින උදයවරුවේ පදනම් ආයතනයට මම යන විටත් මනස සිතුවිලි අතර එබෙමින් ගිලෙමින් සිටියෙමි. ආචාර්ය රෝහණ වීරසිංහයන් ගාන්ධර්වවේදියාගේ හැත්තෑ පස්වන ජන්ම දිනයට සමගාමීව පැවැති සොඳුරු සංගීත රසෝඝය එම එකමුතුවේ නිමිත්තයි. විද්වත් ඇමතුම් මණ්ඩලයේ අවසාන කථිකයා ලෙස පූරක සමන් අතාවුදහෙට්ටිගෙන් ඇරයුම් ලැබුවේ ආචාර්ය නුවන් නයනජිත් කුමාරය.

ඔහු කථන ආධාරකය අභියසට පැමිණියේය. සුපුරුදු විලසටම ඔහු අත තමන්ගේ දේශනය වෙනුවෙන් කිසිදු කෙටි සටහනක් හෝ නොමැත්තේය. ආචාර්ය රෝහණයන්ගේ රසභාව අතීත ස්මරණයන් සමඟ නිදර්ශනාත්මක උදාහරණ, තොරතුරු අන්තර්ගත ඔහුගේ දෙසුම අර්ථපූර්ණය. ප්‍රතිභාන්විතය. මනා වූ මානසික ඒකාග්‍රතාවයෙන් ගොනුකරගත් ප්‍රාමාණික කියැවීමකි.

ඔහුගේ දෙසුම්වල මා දකින සුවිශේෂිතත්වය වනුයේ කිසිදු කෙටි සටහන් ආධාරයක් නොමැතිව දැඩි මානසික සංවර සමාධියකින් ඉදිරිපත් කිරීමය. නුවන් සිනමාව පිළිබඳව දැනුමින් පෝෂිත වයසටත් වඩා මුහුකුරා ගීයැත්තෙකි.

මා නුවන්ව හැඳීන ගන්නා විට ඔහු පාසල් වියේ කුඩා පැංචෙකි. කෙසඟ සිරුරකි. හැමවිටම මුහුණ පුරා පැතිරුණ සිනහවකින් සරසා ගත්තෙකි. දෙමටගොඩ මහල් නිවාසයක ජීවත් වුවද කුඩා නුවන් වැඩිපුර මිතුරන් ඇසුරට කල එළියට නොබැස්සේය. අසල්වාසී නිවාස කීපයක සිටිනා මිතුරන් පිරිසක් ඔහුට සිටියේය. කුඩා නුවන්ගේ සෙවණැල්ල සේ ඔහුට මඟ පෙන්වමින් පූර්වාදර්ශී චරිතයක් වූයේ සීයාය. (නුවන්ගේ මෑණියන්ගේ පියා) නුවන්ගේ පියතුමන් සමඟ අප එකට සේවය කළ නිසා බොහෝ අවස්ථාවන්හිදී නුවන්ලාගේ නිවසට යාමට ඊමට අපට සිදුවිය. එනිසාම නුවන් උස්මහත් වූයේ අප දෑස් ඉසව්වේය. කොළඹ ආනන්ද මහ විදුහලේදී මගේ පියාගෙන් නුවන්ගේ පියාණන් (රන්ජිත් කුමාරයන්) ශිල්ප හදාරා තිබීම නිසා අප අතර විශේෂ සබැඳීයාවක්, ආදරණීය ගෞරවයක් තිබිණ.

කුඩා නුවන් උස්මහත් වී නැණින් නුවණින් දැනුමෙන් ඥානයෙන් පෝෂිතව දිරියෙන් ඉදිරියටම පැමිණෙනු මා බලා සිටියේ හෘදයාංගම වූ ඉමහත් සතුටකිනි. නුවන් දැනුමෙන් පෝෂණය වූවා පමණක් නොව තමන් සොයාගත් දැනුම මහා සමාජයට අනලස්ව බෙදා දෙමින් මහෝපකාරී ග්‍රන්ථ රැසක් දේශයට දායාද කළේය. දේශීය සිනමාවේ මහාර්ඝ තොරතුරු රැසක් එක්කළ “ශ්‍රී ලාංකේය සිනමාවංශය” නමැති ග්‍රන්ථය නුවන්ගේ ග්‍රන්ථකරණයේ උපරිම ස්ථානයකි.

නුවන් දැයට දායාද කරන්නේ ඉමහත් වෙහෙසකර ව්‍යායාමයකින් රෑ නිදිවරමින් සොයා පාදා ගන්නා දැනුමය. ඔහු ඒ වෙනුවෙන්ම වෙහෙසෙන, ඒ වෙනුවෙන්ම නිර්මිත චරිතයකි.

සිංහල සිනමාවට ඔහු වැන්නකුගේ සේවය, දැනුම, ඥානය ඇවැසිම කාල වකවානුවක නුවන් සරසවිය කතු පදවියට පත් වුවද සරසවිය පුවත්පත සතිපතා මුද්‍රණය නොවීමේ අබග්ගයෙන් ඔහු ප්‍රමුඛතම සපිරිවර සන්තාපයට පත්ව සිටී.

නුවන් නයනජිත් කුමාර සරසවිය කර්තෘ පදවියට පත්වීම මෙරට පත්‍ර කලා ඉතිහාසයේ සුවිශේෂ වාර්තාවකි. පියා සහ පුතා එකම පුවත්පතේ කර්තෘවරුන් ලෙස සේවය කිරීම එම සුවිශේෂීත්වයයි. පියා ඒ.ඩී. රන්ජිත් කුමාර සරසවියේ හිටපු කතුවරයාය. පුතා නුවන් නයනජිත් වර්තමාන කතුවරයාය. එදා අප දෝතට ගත් පුංචි පැංචා වර්තමානයේ පරිසමාප්ත සිනමා ඥානයේ කෝෂ්ඨාගාර සිටුවරයකුව සිටි.

මේ දිරිමත් ගමනේ මහා රහස වනුයේ දැනුම් පිපාසයේ සතනාභ්‍යාසයේ අනලස් වීර්යයයි. අවසානයට නුවන්ට කීමට ඇත්තේ ඔහු මෑණියන් සමඟ ගැයූ ගීතයක පද අරුතය.

“ආ මඟ කෙටිය. යා යුතු දුර බොහෝය” ඒ මඟෙහි ඉදිරියටම නුවන් යහතින්ම යනු දැක්ම අප නේත්‍රාභිලාෂයයි.

හේමාලි විජේරත්න

කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිතව ප්‍රායෝගික මාධ්‍ය දැනුම වඩාත් ඔපමට්ටම් කර ගැනීමේ අභිලාෂයෙන් හේමාලිත් ඇගේ අනෙක් දිවි සහායිකාව වූ මනෝලි සුභසිංහත් මා සරසවිය කතු පදවියට පත්වන විට එහි සිටියහ. ඒ හේමාලි දැකුම්කළුය. ඇගේ ලේඛනය සිත්කලුය.

එවකට තරුණ ජවයෙන් පිරුණු හේමාලිගේ ලේඛන ශෛලිය සරසවියේ ආරයට මනා සේ ගැළපුණි. එදා මා හේමාලිගෙන් දුටු සුවිශේෂී ගති සොබාව වූයේ ඇයට පැවරෙන කාර්යය කෙරෙහි ඇගේ අනුකූලතාවය සහ කැප කිරීමය. එයට රැයක් දවාලක් නැත. දහවලේදී කළ සම්මුඛ සාකච්ඡාව ඇය රැයෙහිදී ලියයි. එකල අද මෙන් රෙකෝඩර් අයිපෑඩ්, මොබයිල් නැත සියල්ල අතින්ම සටහන් කර ගත යුතුයි. සිතින් සකසා ගත යුතුයි. ඇතැම් විට ඇය මා හා මෙසේ පවසයි.

“ඊයෙ රෑ ලියන්න පටන් ගත්තා. නිදිමතකුත් ආවා… හරියට ලියවුණේ නෑ. මං ආයෙත් ලියන්නම්.” එදා ආධුනික වූ හේමාලිගේ ඒ කියමන ඇගේ වර්තමාන සාර්ථකත්වයට මොනවට සාක්ෂියෙකි. ඇය ඇයගේ ලේඛනයත් ඇයගේ හදවතට පරිසමාප්ත වනතුරු නිමකර අප අතට නොදෙයි. “හේමාලි විජේරත්න” නම් වූ වත්මන්හි ප්‍රකට සිනමා ලේඛිකාව බිහි වූයේ එවන් තමා විසින්ම තක්සේරු කර ගන්නා පසුබිමක් ගොඩනඟා ගනිමින්ය.

අප ඇයට ලියන්නට, සිතන්නට, නියැළෙන්නට අවශ්‍ය ඉඩහසර සම්පාදනය කර දුන්නද ඒ හේමාලි ගොඩනැඟුණේ ඇගේ ස්වෝත්සාහයෙන් අපරිමිත කැපවීමෙනි. ඒ කැපවීමට උපහාරයක් ලෙසින් හේමාලිත් ඇගේ මිතුරිය මනෝලිත් ලේක්හවුසියේ ස්ථිර සේවයට අනුයුක්ත කර ගැනීමට මා හට හැකිවීම වියපත් මා හදවතට අදත් සතුටක් ගෙන එන්නේ ඔවුන්ගේ දියුණුව දැකීමෙනි. එය මරණ මංචකයේදීද මා හට අස්වැසිල්ලක් වන බව පවසනුයේ නිහතමානීවය.

හේමාලි ඉතා කෙටි කලක් තුළ සිනමා – සංගීත විෂය ක්ෂේත්‍රයේ විශේෂ ප්‍රාගුණ්‍යයෙන් හෙබි ලේඛිකාවක වූවාය. බොහෝ විශේෂ අවස්ථාවලදී මේ විෂය ක්ෂේත්‍ර දෙකෙහිම සංඛ්‍යාලේඛනාත්මක සහ හරයාත්මක ලිපියක් ලියා දීමට හේමාලිගේ පෑන පොහොසත්ය.

අප එදා හේමාලි ප්‍රමුඛ අප හා සිටි පරපුර යොමු කළේ නළු නිළි සංගීතඥ ගායක, ගායිකා, කලා ශිල්පී ගෙවල්වල අගුපිළෙහි ලැග ඔත්තු බලා ලියන්නට නොවේ. ඉදිරිපස දොරින් ඇතුළු වන්නටය. ඕපාදූප, කේලාම්, කෙටවීම්, ගැටුම්, හැප්පිලි ඇති කරන සිනමා මාධ්‍ය කලාවකට හේමාලිලා නැඹුරු කරවන්නට කිසි විටෙක උත්සාහ නොකෙළෙමි. අපහාස, උපහාස ලිවීමේ මාධ්‍ය කලාවෙන් හේමාලිලා බැහැරව ප්‍රශංසනාත්මක හරයාත්මක තමන්ට ආවේණික ශෛලියකින් දිගු කාලයක් මේ මාධ්‍ය කලාවේ නියැළීම කොතරම් අගනේද…?

කැලෑ පත්තර කලාව සරසවියට අරක් ගත් සමයේ හේමාලි සරසවියෙන් සිය වෘත්තීය ජීවිතයේ ප්‍රගමනයන් වෙනුවෙන් විතැන් විය. ඒ වකවානුවේ වුව හේමාලි කලාලොව තුළ තම සබඳතා අත්හැරියේ නැත. වඩ වඩා සමීප වෙමින් නිරතුරු කලා ලොව සැරි සැරුවේය.

හේමාලි වෘත්තිමය ලෙසින් ඇතැම් විට ඇයට ගෝචර නොවූ පරිසරයක සිටියත්

ඇය හදවතින් ජීවත් වූයේ සරසවිය සමඟය. ඇය යළිත් වටම ගොස් සුපුරුදු මහ ගෙදරට පැමිණ සිටි. සරසවියේ ඇය හුරුපුරුදු කාරියෙකි. “හේමාලි“ යැයි කියූ පමණින් කලා ලෝකයම ඇය හඳුනයි.

ඒ හැඳීන්වීම ඒ පළපුරුද්ද සරසවියේ අභිවෘද්ධියට කතුවර නුවන් නයනජිත්ට මහත් ශක්තියක්, පිටිවහලක්ම වනු ඇත.

හේමාලි විජේරත්න වත්මන්හි පරිසමාප්ත ලේඛිකාවක බවට පත්ව සිටි. ඇය පාඨක ප්‍රසාදය ලබමින් පරිසමාප්ත ලේඛිකාවක වූයේ අප්‍රතිහත ධෛර්යය සහ දැඩි කැපවීමක අධිෂ්ඨාන පූර්වක ගමනකින් පසුවය. ඇය එම සතුටින් ජීවිතය ජීවත් කරවීම ඇය දෙස බලා සිටින අපට සංතෘෂ්ටියෙකි.

චන්දන දයාසිරිවර්ධන

චන්දන තරුණයාට කලින් මම දැන හඳුනාගෙන සිටියේ චන්දනගේ පියතුමන් ය. මම ඔහු සමඟ ‘ජනතා’ කර්තෘ මණ්ඩලයේ එකට සේවය කළෙමි. දයාසිරිවර්ධන මහත්මයා නිවැරැදි සිංහල භාෂාව පිළිබඳ දැනුමැත්තෙකි. සංස්කෘත පාලි භාෂාව නිපුණත්වයකි. ඔහු ‘බුදුසරණ’ පත්‍රයේ කතුවරයා ලෙසද සේවය කළ නිපුණ මාධ්‍යවේදියෙකි. ලේක්හවුස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ දරුවන්ට ලේක්හවුසියේ වැඩමුළු, සම්මන්ත්‍රණ, පුහුණුවීම් සැසි රැසක්ම පැවැත්විණි. ඒවා මෙහෙයවමින් එම පත්‍ර කලා විද්‍යාලයේ මහ පුටුව හෙබ වූයේ මහා පත්‍ර කලාවේදී ඩී. එෆ්. කාරියකරවන ශූරීන්ය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ දරුවන් රැසක්ම මෙහි පුහුණුව ලැබූ අතර දක්ෂතා පෙන්වා සමත් වූවන් ලේක්හවුසියේ ආධුනික මාධ්‍යවේදී පත්වීම් ලැබුවෝය.

චන්දන තරුණයා ද මෙයින් එක්කෙනෙකි. මා සරසවියේ කතුපදවියට පත්ව එන විට චන්දන එහි සිටියේය. මා පත්වී දින කීපයක් ඇවෑමෙන් මට අවශ්‍ය නොවන්නේ නම් චන්දන සහ එහි සිටි තවත් සිනමාව ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇති මාධ්‍යවේදියෙකුට ස්ථාන මාරු දිය හැකි බව දන්වන ලදී.

මම ඒ තිරස්චීන අකටයුත්තට විරුද්ධ වීමි, චන්දනත් එම මාධ්‍යවේදියාත් මම සරසවියේම රැක ගත්තෙමි. චන්දන මේ පිළිබඳව කොතෙක් දුරට දැනුම්වත්ව සිටියේදැයි මම නොදන්නෙමි. පසු කලෙක චන්දනගේ ඇතැම් ක්‍රියාවලියන්ගෙන් මට හැඟී ගියේ ඔහු නොදන්නවා විය හැකි බවය.

මම චන්දනගේ අතින් අල්ලා ගත්තෙමි. ඔහුට යම් යම් වගකීම් පැවරුවෙමි. ඔහු ඒවා අකුරටම ඉටු කළේය. මුල් කාලයේ අද වාගේ චන්දන මුඛරි නොවූ නිසා නිශ්ශබ්ද විලියම්ගේ චරිතය රඟපෑවේය. මට එවක ලොකුම හිසරදය වූයේ නම් චන්දනගේ අත් අකුරු කියවා ලිහා ගැනීමය. ඒ සියලු කරුණු කාරණා මැද චන්දන සිනමා පත්‍ර කලාවේ කරුණු කාරණා උගත්තේය. පිටු සැකසීම කෙරෙහිද චන්දන වැඩි උනන්දුවක් දැක්වූයේය. චන්දනගේ මා දුටු සුවිශේෂී ලක්ෂණයක් වූයේ යම් බඳු වූ කාරණාවක් පිළිබඳව එක් වරක් පමණක් දැනුම්වත් කිරීම සෑහීමය.

ඉන්පසු ඔහු අතින් ඒ වරද නැවත සිදු නොවේ. අනෙක චන්දන කිසිවිටක වැඩට කම්මැළි නැත. නමුත් සේවා කාලය සවස අවසන් වූ විගස විනාඩියක් හෝ නො රැඳී කෝච්චියට දුවන්නේය. මේ බව දැන දැනම කුමන හෝ වැඩක් අවසන් මොහොතක පැවැරූ විට චන්දන ගේ මුහුණත්, කන් දෙකත් රතුවේ. පුපුරන කේන්තියෙන් ඔහු මේසෙහි මූණ ඔබාගනියි. මේ දර්ශනය දැකීමෙන් පසු “හරි හරි දැන් අවශ්‍ය නෑ. හෙට උදේට කරන්න” යැයි කියමින් චන්දනව නිදහස් කරන්නෙමි. මෙවැනි සූත්තර වැඩ කරන්නට එවක සමත්කම් දැක්වූයේ තවත් මාධ්‍යවේදියෙකුගේ පුතෙකුª ලෙස සේවයට බැඳී සරසවියේ සිටි දර්ශන ගුණරත්නය.

චන්දන ඉක්මනින්ම පත්තර රස්සාවේ හැඩ කලාව අතින් ගොනු කරගත් සූරයෙකු වූයේය. ඔහු දිනෙන් දින දියුණුවට පත් උන්නතිකාමී යෞවනයෙකි. චන්දන තමන්ගේම ලේඛන ශෛලියක්, රටාවක් සකසා ගන්නේ නම් වඩාත් හොඳය. ඔහුගේ උනන්දුව නිසාම දීර්ඝ කාලයක් සරසවියේම රැඳී සේවය කරන්නේය. එසේ වීමෙන් ඔහුට හෝ ඇයට ලැබෙන්නා වූ හාත්පස අධ්‍යයනය පත්‍ර කලාවේදියෙකුට අතිශය වැදගත්ය. ඒ අතින් චන්දන පොහොසත්ය. චන්දන දයාසිරිවර්ධන පියාගේ ගෞරවය රකිමින් සෘජු කශේරුකාවක් සහිත මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටීම ප්‍රශංසා කටයුතුය. දැන් සරසවියේ බර අඳින්නා චන්දනය. එය අතිශය සතුටට කාරණාවකි.

සමුද්‍රිකා වර්ණකුල

මේ මාධ්‍යවේදිනිය සමඟ මගේ සේවා අත්දැකීම් නැත්තේමය. ඇයගේ පියා සමඟ මා සේවය කළා යැයි යම් බඳු මතකයක් ශේෂව ඇත.

කෙසේ නමුත් ඇය පිළිබඳව මා අසා ඇත. ලිපි කීපයක් කියවා ඇත්තෙමි. සෞඛ්‍ය අංශයේ වාර්තාකරණයේ ඇගේ දස්කම් මා දැක ඇත්තෙමි. වවුලාගේ මඟුල් ගෙදර ගියා නම් එල්ලී සිටිය යුතු යැයි කතාවක් තිබේ. දැන් ඉතින් සමුද්‍රිකා සරසවියේ එල්ලී සිටිය යුතු නැත. ඇය එහි සන්නද්ධව සිටිය යුතුය. ඒ සන්නද්ධ වීම සඳහා ඇයට දැනුම් සයුරක් ලෙසින් පොහොසත් කතුවරයකු සිටි බොහෝ ඇසූ පිරූ තැන් ඇති හේමාලි සොයුරියත්, චන්දන සොයුරාත් දෙපසින් සිටියි. ඔවුන් සහෝදරත්වයේ දෑත දිගු කර ඇයව පිළිගනු නිසැකය. පෑනෙහි හුරුව ඇති සමුද්‍රිකාට සරසවි හුරුව ඇතිකර ගැන්ම කිසිදාක අසීරු නොවනු ඇත. සරසවියේ සාරවත් කාලවකවානුවල පුස්තකාලයේ සුරක්ෂිත සරසවිය කලාප පරිශීලනය කරන්න. එවිට ඔබට පැහැදිලි අවබෝධ ඥානයක් ලැබෙනු නිසැකය.

දැනටම ඇය නිසි පරිදි සරසවිය පිවිසුම් මඟෙහි සිටිනු පෙනේ. ඇය දිරියෙන් එමග යනු නිසැකය. සරසවියේ සවිය ඇත්තවුන් පිළිබඳ තව කියන්නට බොහෝ දේ ඇත.මා සමඟ සිටි මගේ ආදරණීයයන්ගේ හපන්කම්, පුරසාරම් බොහෝ විය.

නිශ්ශංක විජේරත්න

ඕනෑම සිනමා කලා උත්සවයක කැමරාවක් මානාගෙන නිශ්ශංක විජේරත්න නම් තරුණ ඡායාරූප මාධ්‍යවේදියා ඉදිරි පෙළින්ම සිටි. ඇතැම් සිනමා කලා උත්සව අවස්ථාවන්හිදී පරණ ආදරණීය පුරුද්දට ‘සරසවි’යෙන් කවුරුන් හෝ පැමිණ සිටිනවාදැයි දැක ගැනීමට, දැන ගැනීමට ම සිත සංවිභගශීලි වෙයි. ඉදිරිපස බැලීමේදී නිශ්ශංක ගේ රුව නෙත ගැටෙයි. ඇතැම්තන්හි නිශ්ශංක පමණය.

නමුත් සරසවියට එපමණක් සෑහේ.

නිශ්ශංක ඡායාරූප ගැනීමෙන් සෑහීමකට පත් නොවේ. ඔහු වාර්තාකරණයටත්, ලේඛනයටත් දක්ෂය.

නිශ්ශංක ගේ ඡායාරූප මාධ්‍යකරණය (නඩධබධ බ්ධභපදචතඪඵථ) සරසවියට ආභරණයකි. ඡායාරූපකරණයේදීත් ඔහු දෙඅංශයක දක්ෂයෙකි. ප්‍රවෘත්තිමය ඡායාරූප සහ කලාත්මක ඡායාරූපකරණයේ ද නිශ්ශංකගේ හුරු බුහුටි දස්කම් කැපී පෙනේ. ඇතැම්හු තම බහුවිධ දක්ෂතාවන් සිය හිසට බර වැඩි ඔටුණු පළඳවා ගෙන අකාලයේ විතැන් වේ. එනමුදු නිශ්ශංක අවබෝධයෙන් තම මාධ්‍ය ජීවිතයේ ඉදිරියටම යෑම ප්‍රශංසා කටයුතුය. ඡායාරූප ලේඛන මාධ්‍යවේදියකු ලෙස නිශ්ශංකට සප්‍රයෝජන ඉදිරි ගමනක් ඇති බව පෙනේ.

චක්සුු අබේවික්‍රම

සරසවිය වැනි කලා පුවත්පතකට නේත්‍රාංජනය නැතුවම බැරි අංගයකි. චක්ෂු අබේවික්‍රම දැනට කාලයක් පුරාවම පිටු සැකැස්මේ සිරි අසිරියක් සරසවියට ලබා දෙමින් සිටී. ආචාර්ය රංජිත් ඇල්.අබේවික්‍රම නම් වූ චක්සුගේ පියතුමන් අප සමඟ සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකි. ඔහු ඉතිහාසය, භාෂාව පිළිබඳ බොහෝ මතවාදයන් ඉදිරිපත් කළ මාධ්‍යවේදියෙකි. චක්සු ලේක්හවුසියට ආවේද තාත්තාගේ මඟ පෙන්වීම ඔස්සේය. නමුත් චක්සු ලේඛනය තෝරා නොගෙන රූ රටා සැකස්මේ නිපුණයකු වුයේය.

චක්සුගේ මා දකින විශේෂත්වය ඔහු දිනෙන් දිනම යාවත්කාලීන වන රූ රටා නිර්මාපකයකු වීමය. ඔහු සිය නිර්මාණ කාර්යයට යල්පිනු දේ නොවන දිනපතාම නව ආර නව රටාව ගෙන හැර පායි. එය සරසවිය වැනි පුවත්පතකට අත්‍යාවශ්‍යම නව දැක්මකි.

චක්සු එම දැක්මෙන්, කුසලතාවෙන් පරිපුර්ණය. ඒ පරිපුර්ණත්වය සරසවියට හැමදා ආලෝකයක් ගෙන එනු ඇත.

නිලක්ෂි ආරියරත්න

සරසවිය ලේඛනයන්ගේ ලිපි ලේඛන මුද්‍රිත පරිගණක අකුරින් සැකසීමේ වගකීම නිලක්ෂි සතුවෙයි. දක්ෂ පරිගණක යතුරු පුවරු සරන්නියක වන්නට නම් තමන්ට අනුගත වේගයට සාපේක්ෂව භාෂාමය ඥානයකින් ද සමන්විත විය යුතුමය. ණ, න, ළ, ල භේදය, වියරණ පිළිබඳ යම් බඳු වූ දැනුමැත්තියක වීම තුළ නිවැරැදිවම තම කාර්ය ඉෂ්ට සිද්ධ කළ හැකිය. නළු, නිළියන්ගේ, කලා ශිල්පීන්ගේ නම්, ගම්, නිවැරැදි්ව දැන සිටීම ද වඩා පහසුය.

උදාහරණයක් ලෙස බොහෝ පුවත්පත්වල සිනමා අදියුරු උදයකාන්ත වර්ණසුරිය නම මුද්‍රණය කරනුයේ වර්ණකුලසුරිය ලෙසින්ය. ඒ කොතැනක හෝ සිදුවන වරද නිවැරැදි අවබෝධයක් ඇති පරිගණක යතුරු ක්‍රියාකරවන්නියකට පහසුවෙන් නිවැරැදි කළ හැකිය.

නිලක්ෂි මේ හැම පිළිබඳව අවබෝධයෙන්, ඉදිරි දැක්මක් සහිතව ඉදිරියටම යා හැකි යෞවනියක වීම සරසවියේ වාසනාවෙකි.

හෙට පොහොය (පෙබරවාරි 23) දිනයකි. පැහැදිලි අහසේ සොළොස් කලාවකින් පිරී පුන්සඳ මෝදු වී නැඟ එයි. පුන්සඳ වටා තරු රෑනකි. ‘සරසවිය’ යනු සිනමා අඹරේ පත්‍ර කලාව ඒකාලෝක කළ පුන්සඳය. තරු බැබළුණේ ඒ වටාය.

මගේ පත්තර කලා දිවි මඟ ඒකාලෝක කළ සරසවි සඳරැසට මම තවමත් අසීමිතව ප්‍රේම කරමි. හදපුරා ආදරය කරමි. අසනී බලවේග මාපන්නා දැමූවද මියෙන තුරාවට ‘සරසවියට බැඳී. ඒ ප්‍රේමනීය බැඳීම එලෙසින්ම මා හදවත පුරා තැන්පත්ව පවතින බව දිවුරා කියන්නෙමි.

“අනේ මම තවමත් සරසවියට ආදරෙයි!”

අනුර බණ්ඩාර රාජගුරු – සරසවිය හිටපු කර්තෘ 
ඡායාරූප – ශාන් රූපස්සර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT