Home » ‘වාලුකාවලෝකන’ ෆැන්ටසි ශානරයට අයිති ඓතිහාසික ප්‍රබන්ධයක්

‘වාලුකාවලෝකන’ ෆැන්ටසි ශානරයට අයිති ඓතිහාසික ප්‍රබන්ධයක්

- යොවුන් ලේඛිකා මල්ෂි එන්. ප්‍රනාන්දු

by Thanushika
May 22, 2025 12:16 pm 0 comment

ලාංකේය නූතන සාහිත්‍ය පෝෂණය කරන්න සහ යාවත්කාලීන කරන්න තාරුණ්‍ය ප්‍රජාවගේ මැදිහත්වීම අතිශය වැදගත් වේ. නූතනයේ තාරුණ්‍ය ප්‍රජාව නියෝජනය කරන යොවුන් ලේඛ්කාවක ලෙස මල්ෂි එන්. ප්‍රනාන්දු ලාංකේය සාහිත්‍යය ඇසුරු කරන පාඨක ප්‍රජාව අතර නමක් දිනු ලේඛිකාවකි. මේ වනවිට ද්‍රෝහියාගේ හදවත, ලියේන්ද්‍රා, 13වැනි සිකුරාදා වැනි ජනප්‍රිය නවකතා කිහිපයක් රචනා කර ඇති ඇය විසින් ලියු අලුත්ම නවකතාව වන්නේ ‘වාලුකාවලෝකන’ වේ. ඇය පෙර ලියූ නවකතා කිහිපයට වඩා වෙනස් නවකතාවක් වන ‘වාලුකාවලෝකන’ ඓතිහාසික – ෆැන්ටසි ශානරයේ නවකතාවකි. මෙවර සරසවිය අවකාශයේ ඉඩහසර වෙන්වන්නේ ලේඛිකා මල්ෂි එන්. ප්‍රනාන්දුගේ සාහිත්‍යය දිවි සැරිය පිළිබඳ කතාබහ සමඟිනි.

ඔබෙි අලුත්ම කෘතිය ‘වාලුකාවලෝකන’ නවකතාව පිළිබඳ කතා කරමු…

වාලුකාවලෝකන කියන්නේ ෆැන්ටසි ශානරයට අයිති ඓතිහාසික ප්‍රබන්ධයක්. වාලුකාවලෝකන යන්නෙහි අදහස වාලුකාවෙන් සැඟවුණු අතීතය මතු කර ගැනීම වැනි දෙයක්. මෙහි කතාව පණ්ඩුකාභය කුමාරයාගේ කුඩා කාලයට සමකාලීනව හෙළ ද්වීපයේ පවතින පඬුවස්නුවර නම් ප්‍රාන්ත රාජධානිය පදනම් කරගෙනයි දිවෙන්නේ. මේ අත්භූත රාජධානිය පරිපූර්ණයි. එහෙත් ඒ පරිපූර්ණ සහ ස්වයංපෝෂිත බවේ සැඟවුණු දේවල් එකිනෙක හෙළිවීමයි මෙහිදී සිදු වෙන්නේ. ඒ හා සමාන්තරව මේ රාජධානියේ විශේෂ පුද්ගලයින් දෙදෙනකුගේ ආදර කතාවක්ද අන්තර්ගත වෙනවා.

ඔබට නවකතා ලිවීමේ ආශාව දැල්වුණේ කොහොමද? මොකක්ද ඊට පසුබිම?

මම පුංචි කාලයේ ඉඳන්ම කියවනවා. ඒ කියවීම එක්ක මම එක් දෙයක් දෙස කෝණ කිහිපයකින් බලන්න පුරුදු වෙලා සිටියා. කුඩා කාලයේ ඉඳන්ම මගේ හිතේ ගොඩනැඟුණු කතන්දර තිබුණා. මම නවකතා ලියන්න හේතු වුණේ 2020 දී ඇරඹි කොවිඩ් වසංගතය සහ මගේ අභ්‍යන්තරයේ ඇති අපූරු කතන්දර බව මම විශ්වාස කරනවා. මම මුලින්ම නවකතාවක් මුහුණු පොතට පළ කරන්නේ 2022 දී. ඒ කතාව 2024 දී මුද්‍රණ ද්වාරයෙන් එළි දක්වනවා. සාමාන්‍යෙන් පැටළුණු අභිරහස් දේවල් පිළිබඳ කුතුහලයක් මට තිබෙනවා. ඉතින් මගේ ලියැවිලිවලට මම ඒ කුතුහලය ඇති කරන්න සැම විටම උත්සාහ කළා. ද්‍රෝහියාගේ හදවත කියන්නේ 2022 පෙබරවාරි සිට දෙසැම්බර් තෙක් මුහුණුපොතේ ලියැවුණු කතාවක්. එය දාම ඝාතන කතාවක්. ච්චපඬ ජ්චදබචඵර ශානරය යටතේ ලියැවුණු මේ කතාව, දාම ඝාතකයකුගේ සිද්ධීන් සහ ඒ හා සමාන්තරව ගලා යන ආදර සම්බන්ධතාවයක් සමඟ දිව යන කතාවක්. මේ කතාව 2017 වසරේ සිටම මගේ මනසේ තැන්පත් වුණු වස්තු බීජයක ප්‍රතිඵලයක්.

ලියේන්ද්‍රා කියන්නේ මගේ දෙවැනි පොත. මේ පොතේ ශානරය අඳුරු රෝමාන්තික ශානරය. රෝමාන්තික සම්බන්ධතාවයක අඳුරු පැතිකඩ සමඟ ඒක පාර්ශ්වික ආදර කතාවක් ලියේන්ද්‍රා කතාව තුළ ලියැවෙනවා. ලියේන්ද්‍රා, මම හඳුනන කෙනෙකු ඇසුරෙන් ගොඩනැගුණු චරිතයක්. 13 වැනි සිකුරාදා කියන්නේ ත්‍රාසජනක සහ ච්චපඬ ජ්චදබචඵර කෘතියක්. මෙහිත් කතාව දිව යන්නේ නොවිසඳුණු දාම ඝාතන කතාවක් වටා. ඒ හා සමඟම දිව යන ආදර කතාවක්, මව්පියන් සමග දරුවන් අතර ඇති සංකීර්ණ සම්බන්ධතාවන් සහ බහු පෞරුෂ ආබාධ තත්වය ගැන තමයි මේ කතාව තුළ ලියැවෙන්නේ. මේ කතා තුනම විවිධාකාරයි. ඒවා ලියන්න මට හොයන්නට සිදු වුණු තොරතුරු අපමණයි. මේ අතරින් මුහුණු පොතේ පළ නොවුනේ 13 වැනි සිකුරාදා පමණයි. 13 වැනි සිකුරාදා සහ ද්‍රෝහියාගේ හදවත, මගේ දාම ඝාතන කතා මාලාවේ මුල්ම කෘති දෙක.

ඔබත් ලංකාවෙි අනෙක් ලේඛිකාවන් වගේ ස්ත්‍රීවාදය ප්‍රමුඛ කරගත් ලේඛිකාවක් කියලා හිතෙනවා..ඔබ ඊට එකඟද?

මෙහෙමයි, මම තවම ආධුනික වග මට හැඟෙනවා. අපි හැමෝම ලියන්න පටන් ගන්නේ අපෙන්. ඉතින් ඒ නිසා මගේ ලියැවිලි බොහොමයක ස්ත්‍රීවාදය අඩංගු වන බව මම පිළිගන්නවා. ඉදිරියේදී ස්ත්‍රීවාදයම පමණක් ප්‍රමුඛ කර නොගෙන වඩාත් පුළුල් දෑ ඔස්සේ ලියන්න මම බලාපොරොත්තු වෙනවා.

ඔබ වඩාත් ප්‍රිය කරන කෘති මොනවද කියලා මම ඇහුවොත්?

මම පුංචි කාලයේ ඉඳන්ම විවිධාකාරයේ පොත් වලට කැමතියි. ඒ අතරින් ත්‍රාසජනක ශානරය සහ ෆැන්ටසි කතා වලට මම වැඩියෙන් කැමතියි. මගේ ප්‍රියතම කෘතීන් අතර ඡ්.ඹ්. වොයිනික්ගේ ඇට මැස්සා, තරංගනී රෙසිකාගේ දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය, ඇනා ස්වෙල් ගේ බ්ලැක් බියුටි කියන කෘතීන් තුන ඉදිරියෙන්ම තිබෙනවා..ඊට අමතරව පාවුලෝ කොයියෝ, අගතා ක්‍රිස්ටි සහ ඩෑන් බ්‍රව්න්ගේ කෘතිවලටත් මම ඉතා ප්‍රියයි.

ඔබෙි කෘති රචනා කිරීම, භාෂාව හැසිරවීම ඔබටම ආවෙිණික වුණු එකක්. ඔබෙි සාහිත්‍යමය කටයුතුවලට බලපාන ලද පුද්ගලයන් හෝ සාහිත්‍ය කෘති මොනවාද?

මම මගේ ලියවිල්ල තවම හඳුනා ගනිමින් ඉන්නවා. මම ලියන විට භාවිතා කරන්නේ සරල භාෂාවක්. එහිදී ලිඛිත මෙන්ම අලිඛිත භාෂාවත් මම යොදා ගන්නවා. මගේ සාහිත්‍ය කටයුතුවලට බලපාන විශේෂ පුද්ගලයෙකු කියා මා හඳුනාගෙන නෑ. ඒ වෙනුවට, පරිවර්තන සාහිත්‍යයේ යම් යම් කොටස් මගේ ශෛලියට බලපා ඇතැයි මම සිතනවා.

ඔබ නුතන තාරුණ්‍ය නියෝජනය කරන නවමු ලේඛිකාවක්. වත්මන් තාරුණ්‍යයේ පරම්පරාව සාහිත්‍යට පිවිසිම පිළිබඳ තියෙන්නේ මොනවගේ අදහසක්ද?

සාහිත්‍යය කියන්නේ අපි හැමෝගෙම ජීවිතයේ කොටසක්. බොහෝ දෙනා කියනවා වර්තමානයේ තරුණ තරුණියන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම එක්ක සාහිත්‍යයෙන් ඈත් වී ඇති බව. ඒ වුණත් මම දකින දේ තමයි සමාජ මාධ්‍යවලින් මේ තරුණ තරුණියන් සාහිත්‍ය වෙත ප්‍රවේශයක් ගන්නා බව. මට සමකාලීන සමවයස් ලේඛක ලේඛිකාවන්, කවි කිවිඳීයන් බොහොමයක් මගේ මිතුරු ලැයිස්තුවේ සිටිනවා. කාලෙන් කාලෙට හැම දේම වගේ සාහිත්‍යයත් වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වෙන ලෝකයේ විවිධ මාධ්‍ය වලින් තරුණ පරම්පරාව සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන එක ඇත්තෙන්ම සතුටක්. එයින් වර්තමාන සමාජයේ විවිධත්වය හඳුනාගන්නට අපිට පාලමක් තැනෙන බව මම විශ්වාස කරනවා.

ඔබගේ සාමාන්‍යයෙන් එදිනෙදා ලිවීම කියන කරතව්‍යය සිද්ධවෙන්නේ කොහොමද? ලියන කාලෙට හැසිරීම මොනවගේද?

සාමාන්‍යයෙන් මම හැමදාම ලිවීමේ නිරත වෙන්නේ නෑ. ලියන්න තැනක්ද විශේෂයෙන් නෑ. ලියන්න ඕනෑ කියන හැඟීම ආපු සැණින්, මම එය දුරකතනයෙන් යතුරු ලියනය කරනවා. ලියන කාලයේදී මම බොහොමයක් හුදකලාව ප්‍රිය කරනවා. එක දිගට ලියන කාලයේ දී මගේ හැසිරීම අනෙක් දිනවලට වඩා තරමක් නිහඬ වෙනවා. ඒ වගේම ඒ කාලයේදී මගේ අවධානය ජීවිතයේ සාමාන්‍ය දේවල් වලට පවා යොමු නොවෙන තරම් කියා පවුලේ අය කියනවා. සමහර කතන්දර ගොඩ නැගීමේදී සියල්ලම අමතක වෙන අවස්ථා ද නැතුවා නොවේ.

 

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT