නිවස සංවාද රුසියානු බසින් ගීතයක් ලිවීම මගේ ලොකුම  සිහිනයක්

රුසියානු බසින් ගීතයක් ලිවීම මගේ ලොකුම  සිහිනයක්

- යොවුන් ගීපද රචක ඩිලාන් ගෞතමදාස

by Thanushika
May 23, 2024 12:30 am 0 comment

තමන්ටම ආවේණික වූ ස්වකීය ආරකින් ගීපද රචනාවේ නියැළෙමින් රුසියානු භාෂාව කතා කරන සංචාරක මාර්ගෝපදේශකවරයකු ලෙස ද කටයුතු කරන ඩිලාන් ගෞතමදාස නමැති තරුණයා සංගීත කණ්ඩායම් සංගීතයට ද විශේෂ ළැදියාවක් දක්වන්නෙකි. ඩිලාන් සිය ගීපද රචනා කලාවේ ශෛලිය පිළිබඳවත් සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යයන් පිළිබඳවත් සාකච්ඡා කිරීමට සරසවිය හා මෙසේ එක්විය.

මේදිනවල ඔබේ නවතම නිර්මාණ කාර්යයන් පිළිබඳ සිහිකළොත් ….?

මම වෘත්තියමය වශයෙන් රුසියානු භාෂාව කතා කරන සංචාරක මාර්ගෝපදේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. සෑම වසරකම අපිට අප්‍ර්‍රේල් අවසානයෙන් පසු මාස 02-03ක විවේකයක් ලැබෙනවා. ඒ කාලය මම හිතන්නේ මට ගීත ලියන්න ලැබෙන කාලයක් කියලා. සෑම වසරකම අප්‍රේල් මාසය අවසානයෙන් පසු මගේ නිර්මාණ සඳහා සූදානම් වෙනවා. පසුගිය වසර 02ක් ඇතුළත මගේ නව නිර්මාණයක් එළිදැක්වුණේ නැහැ. මේ වසරේ මෙසේ ලැබුණු විවේකය උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන දැනටමත් නව නිර්මාණ කිහිපයක් සිදුකරමින් පවතිනවා.

එකී නිර්මාණ කාර්යයන් සඳහා පසුබිම සකස්වූ ආකාරය කෙසේද…..?

ගීපද රචකයකුට නිරවුල් , නිදහස් මනසක් තිබිය යුතුයි. අදහස් සිතන්න, අදහස් ගලාගෙන එන්න එවැනි මනසක් තියෙන්න ඕන. රැකියාවේ ලැබෙන විවේක කාලයේදී මගේ මනසත් නිදහස් වෙනවා. නව අත්දැකීම් ලබනවා. සෑම කෙනෙක්ම සෑම තත්පරයකම ජීවිතයේ නව අත්දැකීම් ලබනවා.එසේ ලබන අත්දැකීම් මානසික නිදහස සමඟ මිශ්‍ර වුණාම අදහස් ගලාඑනවා නව නිර්මාණයකට. ලැබෙන විවේකය ඒ සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය කරනවා.

ඔබේ ගීපද කලාවේ ආරම්භය සහ ඔබේ මුල්ම ගීතය නිර්මාණය වූ ආකාරය සිහිපත් කළොත් …..?

මම ගීපද රචනය පටන්ගත්තේ පාසල් අවධියේදී. ලාංකේය ගීත ක්ෂේත්‍රයට ගීපද රචකයෙක් වශයෙන් කලඑළි බහින්නේ උසස්පෙළින් පසුවයි.. ඒ යුගයේ තමයි මගේ මුල්ම ගීතය ලියවෙන්නේ . මගේ මුල්ම ගීතය නිර්මාණය කිරීමේදී විශාල සහයෝගයක් දුන්නේ මගේ අම්මා. ඒ ගීතය කරන්න මට සල්ලි දුන්නේ අම්මා. අම්මා කිව්වේ “පුතේ ඔයා පාඨමාලාවක් හදාරනවා කියා හිතලයි මේ සල්ලි දෙන්නේ ” කියලා. ඒක අද වෙද්දී වැරදුණේ නැහැ. ගායනය හෝ සංගීත විෂයය පිළිබඳව මම කිසිම හැදෑරීමක් කර නැහැ . ගීපද රචනය මට උත්පත්තියෙන්ම ලැබුණු හැකියාවක් කියා මම විශ්වාස කරනවා . මගේ අම්මාගේ මුදලින් කළ මගේ මුල්ම ගීතය නිර්මාණය කරලා මට සිදුවුණා වසරක් විතර ඒ ගීතය කිසිදු ප්‍රචාරණයකින් තොරව ගෙදර තියාගෙන ඉන්න..ඒ ගීතය මා විසින්මයි ශ්‍රවණය කළේ. එම මුල්ම ගීතය හොඳ ආයෝජනයක් කියා මම හිතනවා. එය ප්‍රචාරය කරන්න මමමයි මාර්ගය හොයාගත්තේ. ගීතය ලියා වසරකින් පසුව අන්තර්ජාලය හරහා එය අසන්නට සලස්වලා මමම හැමදේම සොයාගෙන ගියා. ගීත නිර්මාණයේ නීතිමය පදනම කෙසේද, කොහොමද නිර්මාණ ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන්නේ, ප්‍රචාරණය කරන්නේ කෙසේද යන කරුණු සොයාගත්තේ මා විසින්මයි. මාධ්‍ය ක්ෂේත්‍රය මට විශාල ලෙස උදව් කළා. ඒ උදව් මට අමතක නැහැ . ඒ මගේ මුල්ම ගීතයේ නම “හිමිවෙන්නේ නැති තරම් ඔයා”. එහි සංගීත අධ්‍යක්ෂණයෙන් සහයවෙන්නේ චමත් සංගීත්.. ගායනා කරන්නේ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ සුමිත් කල්දේරා. මුල්ම ගීතයෙන් පසු තවතව නිර්මාණවලට පෙළඹුණා.

පාසල් සමයේත් ගීත රචනා කළාද…..? ඔව්, අනිවාර්යයෙන්ම. 06 වසරේදී පද්‍ය රචනා තරගවලට පාසල් මට්ටමින් ඉදිරිපත් වීමේ අවස්ථාව ලැබුණා. එයින් ජයග්‍රහණත් ලැබුණා.එදා 06 වසරේ ඉගෙනගනිද්දී ගීපද රචනා කිරීමෙන් ආරම්භ කළ ගමන තමයි අද “ඩිලාන් ගෞතමදාස ” නමැති ගීපද රචකයා දක්වා ගමනක් පැමිණියේ. පාසල් කාලයේ ගුරුවරුන් මට විශාල සහයෝගයක් දැක්වුවා. මගේ පාසල වුණේ පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය. ඒ පාසලෙන් අදටත් මට මහඟු සහයක් ලැබෙනවා. මට ගීත ලිවීමේ හැකියාවක් තිබෙන බව දැනගත්තේ පාසලේ තරගවලට ඉදිරිපත් වීම තුළින්.

ඔබේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වූ “ශුංගාරී” ගීතයේ නිර්මාණ පසුබිම සැකසුණු ආකාරය පැහැදිලි කළොත් …..?

මම මුල්ම නිර්මාණය කර තවතවත් නිර්මාණ සඳහා යොමුවීමේදී එක්තරා අවස්ථාවක මට හමුවුණා ෂෙනුක එච්. පීරිස් නමැති සංගීත අධ්‍යක්ෂවරයා. ඔහු කිව්වා “මල්ලි අපි සින්දුවක් කරමු” කියලා. එයා මට තාලයක් එව්වා. “මේ තාලයට මට වචන ටිකක් දාලා එවන්න” කියලා. ඒ විදිහට වචන ටිකක් යැවුවම ඒ ගීතය රහල් අල්විස් ගායනා කළා. ඒක තමයි “ශුංගාරී” ගීතය. “ශුංගාරී” මගේ ගීපද රචනා කලාවේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් හරි. ඒවෙද්දී මම ගීත 15ක් පමණ ලියා තිබුණා .මට ගීත රචකයෙක් ලෙස සංගීත ක්ෂේත්‍රයේ “ඩිලාන් ගෞතමදාස ” කියන නම හැදෙන්න මූලික වුණු ගීතය තමයි “ශුංගාරී” ගීතය…අද වෙද්දී එය මිලියන 02ක් පමණ නරඹා තිබෙනවා

ගීපද රචනයෙක් ලෙස අන්තර්ජාතික තලයේ ලියාපදිංචිය ලබාගැනීම සුවිශේෂී කරුණක්. ඒ පිළිබඳ පැහැදිලි කළොත් ….?

අද වෙද්දී මම ගීත 57ක් ලියා තිබෙනවා .ඒ සියල්ල අන්තර්ජාලයේ තිබෙනවා. යාවත්කාලීන වෙමින් පවතින සමාජයේ නව ඩිජිටල් මාර්ග නිර්මාණය වෙමින් පවතිනවා. අපේ ගීතයක් ලෝකයටම අස්වන්නට හැකි වාතාවරණයක් අද පවතින ඩිජිටල් ලොව තුළ පවතිනවා..ඒ අතරතුර එක් දෙයක් තමයි ගීපද රචකයෙක් ලෙස සංගීත ව්‍යුහය තුළ තමන්ගේ කර්තෘ භාග උදෙසා ලියාපදිංචියක් අවශ්‍ය වීම . ඒ වෙනුවෙන් අපට ලැබෙනවා ධ්ර්‍ථධ් කේතය කියලා කෝඩ් එකක්. එය අපේ ජාතික හැඳුනුම්පත් අංකය වගේ එකක්. එය සංගීත ව්‍යුහයේ අනන්‍යතාවට තිබෙන අපේ අංකයක්. මෙයින් අප සිදුකරන නිර්මාණවල සුරක්ෂිත බවක් ඇතිවෙනවා. ඒවගේම අපේ කර්තෘභාග වෙනුවෙන් තමයි මේ ගීත අන්තර්ජාතික සංගීත ව්‍යුහයේ ලියාපදිංචි කරවීමක් වෙන්නේ. ඒ කෝඩ් එක ලබාගත්තම අපි අන්තර්ජාතික මට්ටමේ ලියාපදිංචි ගීපද රචකයෙක් වෙනවා. අද වෙද්දී සෑම ගීපද රචකයෙක්ම එසේ අන්තර්ජාතික තලයේ ලියාපදිංචි වී සිටිනවා කර්තෘභාග යන කරුණ වෙනුවෙන්. මටත් වාසනාව ලැබුණා ඩිලාන් ගෞතමදාස නාමය අන්තර්ජාතික තලයේ ලියාපදිංචි කරන්න.

ගීපද රචනයට ඔබ ආභාසය ලැබුවේ කාගෙන් ද….? ක්ෂේත්‍රය තුළ ඔබ ගුරුතත්හිලා සලකන පිරිස සිහිකළොත් ….?

මේක මගේ උත්පත්තියෙන්ම ලද හැකියාවක් කියා සිතනවා. මම පොත් කියවන්නේ නම් නැහැ. මට විවේකයක් ලැබුණම චිත්‍රපට නරඹනවා, නැත්නම් අලුත් දෑ සොයනවා, ඉගෙනගන්නවා. අත්දැකීම් ඔස්සේයි මම දැනුම ලබාගන්නේ. ස්වයං අත්දැකීමයි මට මූලිකවෙන්නේ. මට ඕන විදිහටයි සෑම ගීතයක්ම ලියවෙන්නේ. ගීත රචනයේදී මටම හදාගත් මගේම ආරක්, රටාවක් තිබෙනවා. මට උපදෙස් දෙන අල්ප පිරිස හදවතින්ම මට සහය දෙනවා.

රචනා කළ ගීත අතරින් ඔබේ දිවියට බලපෑමක් ඇති කළ නිර්මාණය හෝ නිර්මාණ වේද……?

අපි සින්දු ලියන්නේ ඇත්තෙන්ම අත්දැකීම්වලින්. මා ලියූ ගීතවල මගේ ජීවිතයට සම්බන්ධ සිදුවීම් නැහැ. සමහරු අහනවා විරහ ගී ලියන්නේ විරහ වේදනාව විඳලා නිසාද කියලා. මම විරහව අත්වින්ඳත් එය ගීතයකින් ලියන මට්ටමට වැටිලා නැහැ. මා ලියූ සියලු ගීත අත්දැකීම් ඔස්සේ වචන ගලා ඇවිත් ලියූ ගීතයි. සමාජයට පණිවිඩයක් දෙන්න ඕන කියා හිතලා ලියූ ගීතයි. ඩිලාන් ගෞතමදාස නමින් ගීපද රචකයෙක් සිටිනවා කියා සමාජයට මාව හඳුනාගන්න ලැබීම මිනිස්සු අතරට යන්න ලැබීම මේ ගීවලින් මගේ දිවියට කළ ලොකුම බලපෑමයි.

මෙරට ගීපද කලාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකිද…..?

ගීපද රචනා කලාව එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්වෙන දෙයක්. ඔවුන්ගේ අදහස්, සිතුවිලි, අත්දැකීම් එකිනෙකට වෙනස්. මේ ඩිජිටල් ලෝකයේ දවසින් දවස විවිධ අවස්ථා උදාවෙනවා. අද තිබෙන ගීපද රචනා මම විවේචනය කරන්නේ නැහැ. අසන්නාගේ රසය හා රචකයාගේ අත්දැකීම්, හැකියාව අනුව තමයි එය තීරණය වෙන්නේ. ඩිජිටල් ලොව තුළ ඕනෑම දෙයක් අන්තර්ගත කර ගීතයක් නිර්මාණය කළත් එයටත් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒකයි මම කීවේ රසය අනුව තමයි ගීත කලාව නිර්මාණය වෙන්නේ කියලා

ගීපද රචනය තුළ ඔබටම අනන්‍ය වූ සුවිශේෂතා පැහැදිලි කරනවා නම් …..?

මගේ ගීත සියල්ලේම තිබෙන්නේ ගලායාමක්.විරහ ගීතයක් ලිව්වත් එය විරහවෙන් අවසන් වෙන්න ලියනවා මිස නැවත එය ආදරයක් බවට පත්වෙන්න ලියන්නේ නැහැ. විරහව නම් විරහව. ආදරය නම් ආදරය. මම සෑම වචනයක්ම ගළපන්නේ අද සමාජයට ගැළපෙන විදිහට. මගේ ගීතවල ඉලක්කය තරුණ පරපුරයි. තරුණ පරපුරට මගේ ගීතය දීලා එය වැඩිහිටි පරපුරටත් අහන්න සුදුසු ගීතයක් බවට පත්කිරීමයි මගේ කාර්යය. මම ගීතය ගළපන්නේ මට ඕන විදිහට නෙවෙයි රසිකයාට ඕන විදිහටයි…..

වත්මන් තරුණ ගීපද රචකයන්ගේ නිර්මාණශීලීත්වය පිළිබඳ ඔබේ දෘෂ්ටිය කවරාකාරද …..?

අද වෙද්දි දවසට ගීත 10ක්වත් නිකුත්වෙනවා.ඒ තරමටම සංගීත ක්ෂේත්‍රයේ තරගකාරීත්වයක් නිර්මාණය වෙලා. මම ගීපද රචකයෙක් ලෙස තවත් ගීපද රචකයෙක්ට උදව් කරනවා. එය අද කාලයේ සිදුනොවන තරම් දෙයක්.. නව තරුණයන්ට මම කියන්නේ මට වඩා හොඳට සින්දු ලියන්න කියලා.වත්මන් පරපුරේ වෙනස්ම ආරක ගීත භාවිතවෙන්නේ…ඩිජිටල් ලොව යාවත්කාලීනවීමත් එක්ක සංගීත ආරයන් වෙනස්වෙනවා. නැවුම් අදහස් ඇති දක්ෂ තරුණ ගිපද රචකයන් අද සිටීම සතුටක්.ඔවුන්ට මම අතහිත දෙනවා. තරුණයෙක් විදිහට මම තරුණයන්ගෙන් දෙයක් ඉගෙනගන්නවා

සංගීත ක්ෂේත්‍රය තුළ කණ්ඩායම් සංගීතය ඔබට බලපෑම් කරනුයේ කවරාකාරයෙන් දැයි පැහැදිලි කරනවා නම් …….?

සංගීත විෂයයට ආසාවක් ඇතිවෙන්න තදබල ලෙස බලපෑවේ කණ්ඩායම් සංගීතයයි..කුඩා කාලයේ කණ්ඩායම් සංගීත සංදර්ශන එකක්වත් මගහැරියේ නැහැ .අදටත් ඒවා නරඹනවා. මට සංගීත උණක් ඇතිකරවන්න හේතුවුණේත් කණ්ඩායම් සංගීතයයි. සංගීත කණ්ඩායම්වල ආධුනික ශිල්පීන්ට තමයි මම බොහෝ ගීත ලිව්වේ.

ගීපද රචනය, තනු නිර්මාණය, සංගීත අධ්‍යක්ෂණය, ගායනය ආදී අංශයන්ගේ මිශ්‍රණයෙන් නිර්මාණය වන ගීතයක සාමූහික කාර්යභාරය ඔබ අර්ථකථනය කරන්නේ කවර ලෙසින් ද……?

ගීතයක් නිර්මාණයේදී මම මූලිකත්වය දෙන්නේ ගායකයාගේ කැමැත්තට. මේ ගායකයාව තමයි රසිකයා මුලින්ම හඳුනාගන්නේ… ඉන්පසුවයි රචකයා , සංගීත අධ්‍යක්ෂ, තනු නිර්මාණකරු හඳුනාගන්නේ…. ගායකයාව පිනෙව්වොත් තමයි අපට සාර්ථක නිර්මාණයක් කරගන්න ලැබෙන්නේ. මටයි ගායකයාටයි අවශ්‍ය විදිහට සංගීත අධ්‍යක්ෂ ලවා සංගීත අධ්‍යක්ෂණය කරගන්නවා. ඔහුගේ දැනුම, අදහස්, අත්දැකීම් සහ ඔහුටත් නිදහස දීලා ඒ දේ කරගන්නවා. මේ තුන්කට්ටුවේ මිශ්‍රණයෙනුයි සාර්ථක නිර්මාණයක් බිහිවෙන්නේ. මෙය සාමූහික කාර්යයක්. මෙහිදී මට අවශ්‍ය ලෙසටත්, සංගීතඥයාට, ගායකයාට අවශ්‍ය විවිහටත් ගීතයක් නිර්මාණය කරන්න බැහැ .

ගීත රචනයට අමතරව තනු නිර්මාණකරණය තුළ ඔබේ දායකත්වය කවරාකාරද ……?

ඒ දායකත්වය ගීතයෙන් ගීතයට වෙනස්වෙනවා. සමහරවිට මම ගීතයක් ලියන්නේ සංගීත අධ්‍යක්ෂ එවන තනුවකට, සමහරවිට මම සංගීත අධ්‍යක්ෂට යවන වචනයට සංගීත අධ්‍යක්ෂවරයා ඔහුගේ අත්දැකීම් සමඟ අදහස් ගළපා තනුවක් නිර්මාණය කරනවා. තවත් විටක මමම ඔළුවෙන් තනුව හදාගෙන ඒකට මුමුණලා මුමුණලා වචන ලියලා සංගීත අධ්‍යක්ෂට යැව්වට පසුව ඔහු එය නිර්මාණයට පෙලඹෙනවා. ලේසිම විදිහ තමයි මම තනුවක් නිර්මාණය කරනවට වඩා සංගීත අධ්‍යක්ෂ තනුවක් එවලා ඒ තනුවට ගීතය ලියන එක. එය සාර්ථක ක්‍රමයයි. මම ලියා යවන ගීවලදී සංගීත අධ්‍යක්ෂ සංගීතය නිර්මාණයේදී සංගීතය එක්ක වචන නොගැළපීම් වුණොත් ගීතයේ වචන වෙනස් කරන්න වුණොත් සම්පූර්ණ ගීතයේම අර්ථය වෙනස් වෙනවා. පහසුම දේ තමයි තනුවට අනුව ගීතය ලිවීම. එසේ ලියූ ගීතයක් තමයි “ශුංගාරී” ගීතය

ටෙලිනාට්‍ය, සිනමා නිර්මාණ සඳහා ගීපද රචනයෙන් දායක වී තිබේද ……?

ඒ සඳහා බලාපොරොත්තුවෙන් සිටිනවා .තවම අවස්ථාවක් ලැබී නැහැ. එය විශාල වගකීමක්, කාර්යභාරයක්. එසේ අවස්ථාව ලදොත් මම මගේ උපරිමය එයට යොදවනවා.

ඔබ රුසියානු භාෂාව ද මනාව හසුරුවන තරුණයෙක්. එකී භාෂාව සහ සිංහල භාෂාව සම් මිශ්‍රණය කරමින් රසිකයාට නව අත්දැකීමක් දෙන්න අදහසක් නැද්ද ……..?

මම රුසියානු භාෂාව ඉගෙනගත්තේ මීට අවුරුදු 10කට කලින්. ඒ 2014දී. කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී ඉගෙනගත්තේ. අදටත් එම ආයතනයෙන් මගේ නිර්මාණ කටයුතු සඳහා විශාල සහයක් ලැබෙනවා. රුසියානු භාෂාව කතා කරන සංචාරක මාර්ගෝපදේශකවරයෙක් විදිහට මෙන්ම ඒ භාෂාව හසුරුවන තරුණයකු ලෙස මගේ ලොකුම සිහිනයක් තමයි රුසියානු භාෂාවෙන් ගීතයක් ලිවීම. එයට අඩිතාලම දමමින් පවතින්නේ. එය ගායනා කරන්නේ කවුදැයි තවම තීරණය කර නැහැ .එය මම ගායනා කරන්න දෙන්නෙත් ලංකාවේම ගායකයෙක්ටයි. සමහරවිට එය මමම ගායනා කරන්න ඉඩ තිබෙනවා . එය වෙනස්ම විදිහක ගීතයක් වගේම රුසියානුවන් ආදරයෙන් වැලඳගන්න ගීතයක් වේවි කියා සිතනවා. මට ඒ ගීතය නිර්මාණයට රුසියාවෙන් විශාල සහයක් ලැබෙනවා . මාත් සමඟ වැඩකළ සංචාරයේ ගිය සමහර රුසියානු ජාතිකයෝ ඒ රටේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය. ඔවුන් නිතරම මට කියන්නේ ගීතයක් කරන්න , රුසියාවේ ප්‍රචාරය කරන්නම් කියලා . රුසියානු භාෂාවේ වචන උච්චාරණය අමාරුයි . ඒක දන්නේ ඒ භාෂාව දන්න කෙනාමයි.මට ගායනා කරන්න බැහැ .ඒත් උත්සහ කර බලනවා.

විදේශයත් සමඟ ඔබේ සංගීත දිවිය බද්ධ වන වපසරිය කවරාකාරදැයි පැහැදිලි කළොත් …..?

මම රුසියානු භාෂාව කතා කරන මාර්ගෝපදේශකවරයෙක් නිසා මම කරන්නේ රුසියානු සංචාර විතරයි.මම නිතරම රුසියානුවන්ට කියන්නේ මම මාර්ගෝපදේශකවරයෙක් විතරක් නෙවෙයි ලංකාවේ ගීපද රචකයෙක් කියලා.. එහිදී ඔවුන් බොහෝ සතුටු වෙනවා. ඔවුන්ට මගේ ගීත අහන්න, පුවත්පත්වල මා ගැන ලියූ ලිපි බලන්න සලස්වනවා. ඔවුන් මෙරට භාෂාව නොදැනවුවත් ගීත රසවිඳීනවා. මට හොඳ ප්‍රතිචාර ඒ භාෂාවෙන් දෙනවා. ඔවුන් මාව දිරිමත් කරනවා හොඳට භාෂාව හසුරුවන නිසා රුසියානු භාෂාවෙන් ගීතයක් ලියන්න කියලා.

අද වනවිට ගීපද රචනා කලාව තුළ සිදුවී ඇති පරිවර්තනයන් පිළිබඳ ඔබේ දෘෂ්ටිය කවරාකාරද …..?

ඕනෑම ක්ෂේත්‍රයක නව පරිවර්තනයන්ට යන්න වෙනවා. 1980, 90 දශකයේ ගීත කලාව නෙවෙයි අද තියෙන්නේ. රැප් මියුසික් කියලා වෙනම කලාවක් තිබෙනවා. පෙර කී ලෙස එය තීරණය වෙන්නේ රසිකයාගේ රසය අනුවත් රචකයාගේ අත්දැකීම් අනුවත්. අද වෙද්දී ගීපද කලාවේ ලොකු පෙරළියක් වී තිබෙනවා.

කාර්යබහුල සමාජ පසුබිමක් තුළ අද ජනතාවගේ ගීත රසවින්දන අවකාශය කවර ස්ථානයක තිබේදැයි ඔබ සිතන්නේද …..?

ඒ කාලයේ අපි ගීතයක් ඇහුවේ අපේ විවේක කාලයේ මහන්සිය නිවාගන්න. තව සමහරු රසවින්දනයට ගීත අහනවා. මම වගේ කෙනෙක් ගීත අහන්නෙ සංගීතයට ගීතයට ඇති ඇල්ම නිසා. අද රටේ තත්ත්වය, කාර්යබහුලත්වය සමඟ මිනිසුන්ට ගීත රසවිඳීන්න අවකාශයක් නැහැ. අද මිනිස්සු එදිනෙදා ජීවත්වෙන්න, දවස ගෙවාගන්න ලොකු වෙහෙසක් දරනවා. අද අලුතින් එන ගී මොනවද කියලවත් මිනිස්සු දන්නේ නැහැ. ඒත් මිනිසුන්ගෙ රසවින්දනය එතැනමයි..

වෘත්තියමය වශයෙන් ඔබ ගීපද රචකයෙක් ද…..?

දැන් වෘත්තියමය වශයෙන් ගීපද රචනා සිදුකරනවා. ඉස්සර මියුසික්වලට තිබූ ආසාව නිසාම තදබල විදිහට ගීත ලිව්වා. සමහර අවස්ථාවල මෙය විනෝදාංශයක් කියලත් මම කියලා තිබෙනවා . මේ තැනට එන්න ගොඩක් කටු කෑවා… නින්දා, අපහාස වින්දා , ප්‍රශංසා ලැබුවා. ගොඩක් අය කකුලෙන් ඇද්දා. කලක් යද්දී හිතුණා ඇයි මම මේක විනෝදාංශයක් ලෙස කරන්නේ කියලා.

ඔබේ මියුසික් ප්‍රඩක්ෂන් හවුස් ද්විත්වය තුළින් සංගීත කලාවට සිදුවන සේවාව පිළිබඳ සඳහන් කරනවා නම්……?

මම ගීත ලියන්න හදද්දිම හැදුවා මගේම කියලා ච් ර්‍ථපධඤභජබඪධද (ඩිලාන් ප්‍රඩක්ෂන් ) නමින් ප්‍රඩක්ෂන් හවුස් එකක්. ඒකෙන් තමයි මම මෙතෙක් ලියූ සියලු ගීත නිෂ්පාදනය කළේ. ර්‍ණදඥ ර්‍ථපධ නමින් නව ප්‍රඩක්ෂන් හවුස් එකක් තිබෙනවා . මම ගීත ලියන අයට උදව් කරනවා .ඒ ගීත ලියන අයගේ නිර්මාණ නිෂ්පාදනය කළයුතු නිසා ර්‍ණදඥ ර්‍ථපධ ප්‍රඩක්ෂන් හවුස් එක නිර්මාණය කළා. මම ගීත ලියූ අයගේ ගීත ප්‍රචාරණය උදෙසා නිෂ්පාදන ක්‍රියාවලිය කරන්නේ මේ ආයතනයෙන්…

ඔබ අතින් ලියවුණු ගීතවලින් නිර්මාණය වූ රූප රචනා පිළිබඳ මතකාවර්ජනය කළොත් ….?

මම රූප රචනා නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරනවා. මම ලියූ ගීත කිහිපයකට රූප රචනාත් කළා.ඒ අතරින් ගායිකා ජින්ජර්ට මම නිර්මාණය කළා “දුක දන්නේ නම් ඇස් මගේ” නමින් ගීතයක්.. එහි රූප රචනය කළේත් මමයි සුවින් ජේසන් නමැති අධ්‍යක්ෂවරයායි. එයට රංගනයෙන් අනුෂා එදිරිසිංහ , සුවින් ජේසන්, ශිරාන් චන්දන ගායකයාත් එකතු වුණා.එය ජින්ජර් නමැති ගායිකාව වෙනස්ම මානයකට රැගෙන ගිය ගීතයක්. ඒ ගීතය ලිව්වේත් මමයි . ඊට අමතරව පොල්ගහවෙල හොරයිසන් සංගීත කණ්ඩායමේ “ෂමූ සිංග්” ගයන “මියැදෙන මොහොතක් කීවේ” ගීතය ලිව්වේත් රූප රචනාව කළේත් මමයි. මගේ රූප රචනා කරන්න වෙනමම සහෝදරයෝ කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අතර දර්ශන නුවන්, ඉසුරු ප්‍රනාන්දු සහ දිල්ෂාන් කියා කෙනෙකුත් ඉන්නවා. ඔවුන් තමයි කැමරා සහ සංස්කරණ අංශයෙන් මට සහය වුණේ.

සංගීත දිවියේ අමතක නොවන මතක එහෙමත් ඇති……?

2013 ඉඳන් මෙතෙක් ආ ගමනේ රස තැන් වගේම ඊට සාපේක්ෂව දුක් මුසු තැන්, අමතක නොවන සොඳුරු සිදුවීම් රැසක්ම තියෙනවා . ගීත රෙකෝඩින්වලදී අපට වුණු සිදුවීම් , රූප රචනාවලදී වුණු සිදුවීම් බොහෝමයක් තිබෙනවා .ඒවා මම ගළපවා ගන්නේ මට සිදුවුණු සොඳුරුතම සිදුවීම් කියලා

සංගීත අධ්‍යක්ෂණය , රංගනය, ගායනය, නිවේදනය වැනි ක්ෂේත්‍ර තුළ ඔබේ භූමිකාව කවරේද…….?

බොහෝ අය කියනවා මම ” ඕල් රවුන්ඩ්‍රර්” කෙනෙක් කියලා. මම ගීපද රචකයෙක් වගේම නිෂ්පාදකවරයෙක්., රූප රචනා අධ්‍යක්ෂවරයෙක් . සංචාරක මාර්ගෝපදේශකවරයෙක් . ඉහත කී ක්ෂේත්‍ර තුළ මම මමමයි. මම ගීපද රචක ඩිලාන් ගෞතමදාස . ඊට පරිබාහිරවයි අනෙක් අංශයන් නියෝජනය කරන්නේ.

මෙතක් පැමිණි සංගීත දිවිය තුළ ආපසු හැරී බලද්දී දැනෙන හැඟීම කොයිවගේද ……?

ආපසු හැරී බලද්දී මට හිතෙනවා මම මුල්ම ගීත රචනා කළ තැනට ආපසු යන්න. එතැනට ගිහින් අද මට පේන අඩුපාඩු හදාගෙන එතැන ඉඳන් අලුත් ගමනක් පටන්ගන්න ඕන කියා සිතෙනවා. ඒවගේම මම මේ ගමන ආවේ තනියෙන්. මම කාගේවත් ගීත කොපි කරලාවත්, කාටවත් මඩ ගහලාවත් නැහැ. මම මගේ ස්ව උත්සාහයෙන් ආව ගමනක් මේක. සල්ලි දීලා ගන්න බැරි අත්දැකීම් රැසක් මම ලබාගත්තා. බොහෝ පාඩම් ඉගෙනගත්තා. 2013 සිට මේ දක්වා ආ ගමන මට ජීවිතයේ එක් පරිච්ඡේදයක් කිව්වොත් හරි. ඒ පරිච්ඡේදය තවම අවසන් නැහැ.

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන යම් ඉඟියක් දුන්නොත් …..?

ගීත නිර්මාණ කිහිපයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම මගේ දිවියේ ලොකු කර්තව්‍යයක් තිබෙනවා මට කරන්න. මගේ තාත්තා පොලිස් පරීක්ෂකවරයෙක්. මගේ පිටුපසින් හිඳ මට ගුරුහරුකම් දෙන නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙන්නෙක් ඉන්නවා.එක් කෙනෙක් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා. අනෙත් කෙනා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මහතා. ඔවුන් දෙදෙනා මට තාත්තා කෙනෙක් වගේ මගේ පිටුපසින් හිඳ ලොකු සහයක් දෙනවා..ඉදිරියේදී මම කරන්න හිතාගෙන ඉන්නවා මම ලියූ ගීතවලින් හොඳම ගීත 16ක් එකතුකරලා ඇල්බමයක් නිර්මාණය කර ඒ ඇල්බමය ශ්‍රීලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පිළිගන්වන්න.

පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබේ කලා දිවියට ලැබෙන සහය කොයිවගේද ……?

පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි. මව ගෘහණියක්. මම රූප රචනා කරද්දී මගේ තාත්තා කැමරා කණ්ඩායමේ සහයකයෙක් වෙනවා. ඔහු මට විශාල සහයක් දෙනවා. අම්මා තමයි මගේ මුල්ම ගීතය කරන්න සල්ලි දුන්නේ. අම්මයි තාත්තයි කවදාවත්ම මට සංගීතයට එපා කියලා නැහැ. අද වෙනතෙක් ඔවුන් දෙදෙනා උපරිම ශක්තියක් මගේ ගමනට ලබාදෙනවා. ඔවුන්ගේ සිහින මම සැබෑ කර තිබෙනවා.. ඔවුන් ඒ සහය දෙන්නේ ආදරය, සෙනෙහස, ආශීර්වාදය කැටිකරලයි..ඒ නිසා එම සහයෝගය දරුවකුට කවදාවත්ම වරදින්නේ නැහැ.

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT