නිවස ලාංකිය සිනමාව මේ චිත්‍රපටය නරඹලා බොහෝ ප්‍රේක්ෂකයන් කඳුළු සැලුවා

මේ චිත්‍රපටය නරඹලා බොහෝ ප්‍රේක්ෂකයන් කඳුළු සැලුවා

- ‘හොරා අන්කල්’ අධ්‍යක්ෂ හර්ෂණ වික්‍රමසිංහ

by Thanushika
September 19, 2024 8:56 am 0 comment

මේ දිනවල කුඩා ළමුන්ගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගනිමින් තිර ගත වන චිත්‍රපටයක් ලෙස ‘හොරා අන්කල්’ චිත්‍රපටය හැඳින්විය හැකිය. නිවසට හොරෙන් ඇතුළුවන පුද්ගලයකු හා එම නිවසේ වෙසෙන කුඩා දරු දෙදෙනකු වටා ගෙතුණු මෙම කතාව කුතුහලය, ආදරය, අනුකම්පාව, අනුන්ට උදව්කිරිම ඇතුළු කාරණා රාශියක් සමාජය හමුවේ තබන කතාන්දරයකි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාවට නවතම අධ්‍යක්ෂවරයෙකු පැමිණේ. ඔහු හර්ෂණ වික්‍රමසිංහය. හර්ෂණ සිය කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන් බොහෝ කාලයක් පෙරුම් පුරා බලා සිටි අයෙකි. දැන් උදාවී ඇත්තේ හර්ෂණ ගේ වාරයය. මෙවර අපේ කතා බහ යොමු වූයේ ‘හොරා අන්කල්’ අධ්‍යක්ෂවරයා වූ හර්ෂණ වික්‍රමසිංහ සමඟය.

හර්ෂණට ‘හොරා අන්කල්’ චිත්‍රපටය හදන්න මූලික පසුබිම වුණේ මොකක්ද?

මම මේ ක්ෂේත්‍රය ට පැමිණිලා දැන් අවුරුදු විසි දෙකකට වඩා වැඩියි. මම ඉස්සරලාම අවතීර්ණ වුණේ වේදිකා නාට්‍යවලට. ඒ වගේම මම සහාය අධ්‍යක්ෂවරයෙක් විදියටත් දිර්ඝ කාලයක් වැඩ කරලා තියෙනවා. ඉතින් මගේ මූලික අභිප්‍රාය වෙලා තිබුණේ අධ්‍යක්ෂවරයෙක් වීම. ඒ නිසා තමයි මම මුලින්ම සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරන්න හේතු වුණේ. ඇත්තටම මට සිනමා අධ්‍යක්ෂවරයෙකු වීම ලොකු සිහිනයක් වෙලා තිබුණේ.එතැනට එන්න ඕන මාර්ගය පැහැදිලි කර ගන්න තමයි මම සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට ඉඳගෙන වැඩ කරලා දිනා ගත්තේ. මම වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍යය, චිත්‍රපට ගණනාවක සහාය අධ්‍යක්ෂවරයා විදියට වැඩ කරලා තිබෙනවා. පස්සේ කාලෙක රංගන ශිල්පියෙක් විදියටත් චිත්‍රපට සහ ටෙලිනාට්‍යය වල වැඩ කළා. මේ වගේ අත්දැකීම් ලබා ගන්න අතරතුරම මට ස්වයං අධ්‍යයනයක් තිබුණා. ඒ අධ්‍යයනයත් එක්ක තමයි මම චිත්‍රපට අධ්‍යක්ෂණයට එන්නේ.

මේ අධ්‍යයනය කරන්නට ඔබ කිසියම් ආයතනගතව කටයුතු කළාද?

ඇත්තටම මුල් කාලයේ සහාය අධ්‍යක්ෂණයට පිවිසෙන්න හේතු වන්නේ ඒ කාලයේ මම සිරස ආයතනයේ රැකියාවක නියුතු වීම නිසාවෙන්. ඉන් පස්සේ මම ජාතික තරුණ සේවා සභාවේ පාඨමාලාවක් හදාරන්න පටන් ගත්තා. ඊටත් කලින් මම රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වේදිකා නාට්‍යයක ප්‍රධාන චරිතයකට එක්වෙමින් ඒ නාට්‍යය සමඟ රටවටා ගියා එතැනිනුත් මට ලොකු අත්දැකීම් ටිකක් ලැබුණා. ඊට පස්සේ මම ශී‍්‍ර ලංකා ශේක්ස්පියර් කේන්ද්‍රයට සම්බන්ධ වෙලා ඔතෙලෝ, මැක්බත්, හැම්ලට් වැනි නාට්‍ය වල රඟපෑවා. එතැනින් මම ශේක්ස්පියර් නාට්‍යය ගැන ලොකු දැනුමක් ලබා ගත්තා. ඒ සමඟම තමයි මම නාට්‍ය හා රංග කලාව හදාරන්න ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධ වෙන්නේ. එතැන මම අවුරුද්දක ඩිප්ලෝමා පාඨමාලාවක් කළා. ඉන් පස්සේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා කටයුතු කළා. නාට්‍ය තරගවලට ඉදිරිපත් වුණා. යෞවන සම්මාන නාට්‍ය තරගාවලියට ඉදිරිපත් වුණා. ජයග්‍රහණයන් හිමිකර ගත්තා. මේ විදියට තමයි මෙ විෂය පිළිබඳ මම හැදැරිම් කරන්න පටන් ගත්තේ.

ඔබට පාසල් වියේ සිටම කලාව පිළිබඳ උනන්දුව තිබුණද?

ඇත්තටම මම පාසලේදි වෙනත් විෂයන් හදාරපු කෙනෙක්. මගේ ගම වෙන්නප්පුව. මම ඉගෙන ගත්තේ වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙන්. අපේ පවුල් පසුබිම ටිකක් නාට්‍යයට සම්බන්ධයි. අපේ තාත්තා නාට්‍ය කාරයෙක්. තාත්තා ගම වුණේ රාගම. ඒ ඉන්න කාලේ තාත්තා නාට්‍යකාරයෙක් විදියට හරි ප්‍රසිද්ධයි. අපේ තාත්තා රත්නපාල වික්‍රමසිංහ. ඒ කාලේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ජැක්සන් ඇන්තනි මහත්මයා ආදින් පවා හොඳට දන්නවා. අපේ ගෙදර නාට්‍ය පිටපත් කිහිපයකුත් තිබුණා. නමුත් මම මේවා පරිහරණය කරනවටවත්, මම නාට්‍යය පැත්තට යොමු වෙනවට වත් තාත්තාගේ කැමැත්තක් තිබුණේ නැ. මාව වැඩියෙන් උනන්දු කළේ අධ්‍යාපනය පැත්තට. ඒ නිසා තමයි මම උසස් පෙළට ගණිත විෂයන් තෝර ගත්තේ.

නමුත් එක තැනකදි මට නාට්‍යය පිළිබඳ ලොකු පිස්සුවක් හැඳුණා. තාත්තටත් හොරෙන් මම කොළඹට පනිනවා. ඒකට මට අම්මා තමයි උදව් කරන්නේ. රත්නා පුෂ්පකුමාරි ගේ නාට්‍යයට සම්බන්ධ වෙන්න මම කොළඹ සුදර්ශි ආයතනයට පැමිණෙනවා. එයින් පස්සේ මගේ අධ්‍යාපන කටයුතු මම වැඩිදුර ගෙනියන්නේනෑ. නාට්‍ය කලාව තෝරා ගන්නවා. ඊට පස්සේ මට හමුවෙනවා රංගනය පැත්තෙන් මම හෙව්ව දේ ලබා ගන්න හොඳ ගුරුවරයෙක් .ලෝකේ තිබෙන මෙතඩ් ඇක්ටින් කියන දේ, ඒ කියන්නේ ස්වභාවිකව රංගනයේ යෙදෙන්නේ කොහොමද? මේ අතර අපේ සිනමාව තුළ එවැනි ගැඹුරු රංගනයක යෙදෙන නළු නිළියන් කවුද කියලා මම හොයලා බැලුවා. මට හමුවෙනවා ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා වැන්නෝ. ඔවුන් ගැන හොඳට හොයලා බලනවිට ඔවුන්ට හමුවෙලා තිබෙනවා හොඳ ගුරුවරු. මගේ කාලයේ ඒ වතාවරණයක් මට තිබුණේ නෑ. මට තිබුණේ සොයා යෑම පමණයි. ඒකට මට පොඩි ඉවක් තිබුණා. මම මගේ කාලයේ මේ ගැන අධ්‍යයන කරමින් ඉන්නකොට මට ගුරුවරයෙක් හමුවුණා. ඒ තමයි මහේන්ද්‍ර පෙරේරා. ඔහු ළඟ මම අවුරුදු ගණනාවක් ඉගෙන ගත්තා. මගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ මහේන්ද්‍ර පෙරේරා. රංගනය පිළිබඳ මම යථාර්ථය හඳුනා ගන්නේ ඔහුගෙන්. සිනමාව පිළිබඳ බොහෝ දේ මම ඉගෙන ගන්නේ සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කිරීමෙන්. ඒ විදියට විසිරිලා තිබුණු විෂයට මම හොයා ගත්තා. බොහෝ දෙනෙක් මගේ මේ චිත්‍රපටය බලලා කියනවා ආධුනිකයෙක් කරපු චිත්‍රපටයක් විදියට මේක පේන්නේ නෑ කියලා. ඇත්තටම ඒකට හේතුව වෙන්න ඕන මගේ මේ හැදෑරීම.

දැන් ඔබ කියනවා ඔබ සිනමා රංගනය ඇතුළු බොහෝ දේ ඉගෙන ගත්තේ මහේන්ද්‍ර පෙරේරාගෙන් කියලා. ඔබ මේ චිත්‍රපටය හරහා ඔබේ ගුරුවරයා අධ්‍යක්ෂණය කරනවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නෙ?

ඒ ගැන මට බොහෝ දේවල් කියන්න තියෙනවා. මට මහේන්ද්‍ර පෙරේරා කියන නළුවව දැක්කේ මගේ විෂය දරා ගන්න පුළුවන් කැපැසිටියක් තියෙන නළුවෙක් විදියට. මම එහෙම පොඩ්ඩක් බරට හිතන්න උත්සාහ කළා. රංගනයේ යටි පෙළ මොකක්ද? වැනි කාරණා පිළිබඳ හොඳීන් අනුගත වුණු නළුවෙක් තමයි මහේන්ද්‍ර පෙරේරා. ඔහු හොරා අන්කල් චිත්‍රපටයේ ඔහුගේ රංගනය විවිධ අන්දමින් ප්‍රකට කරනවා. ඔහු දරුවන් සමඟ ක්‍රියා කරන විට වෙන විදියක්. ඔහු වැඩිහිටියන් සමඟ රඟපාන්නේ වෙන විදියකට. ඒ වගේ ඔහුගේ රංගනයේ විවිධ වේරියේෂන්ස් තියෙනවා. ඉතින් මේ චරිතයේ තිබුණු මේ විවිධත්වය පෙන්වන්න මට හිටිය හොඳම නළුවා මහේන්ද්‍ර පෙරේරා.

මේ චිත්‍රපටයේ පිටපත ලියන්නේ නිහාල් පීරිස් නේද?

ඔව් එතුමා මම බොහෝ කාලයක් දැන හඳුනාගෙන සිටින අපේ මිත්‍රයෙක් මම ඔහු හමුවීමට මුලින්ම යන්නේ ටෙලි නාට්‍යයක් කරන්න පිටපතක් ලියවා ගැනීමේ බලාපොරොත්තුවෙන්. පස්සේ දවසක් ඔහු මට මේ කතාව කියලා පොඩි සාරංශයක් එව්වා ඔහුම යෝජනා කළා චිත්‍රපටයකට හොදයි වගේ කියලා. කොහොම හරි ඔහු මෙ තිරපිටපත ලියලා තිබුණා. හැබැයි ඔහුගේ තිර පිටපත මිට වඩා දිගයි. අපි සෑහෙන සංවාද කරලා ඔහුට මාව වදයක් වෙන තරමට සංවාද කරලා මේක කෙටි කර ගත්තා. මගේ හිතේ තියෙන්නේ සිනමැටික් කියන කාරණය. මට ඕන රූප රාමු. එයා ලොකුවට දිගට මේ කතාව ලියලා තිබුණා. නමුත් මට ඕන වුණේ මේක කෙටි කර ගන්න. එහෙම කර ගන්න මම සෑහෙන්න සටන් කළා.ඉන්පස්සේ එයාට කිසි ගැටලුවක් තිබුණේ නෑ. මම ඒ පිටපත මගේ ගුරුවරයා මහේන්ද්‍ර පෙරේරාට දුන්නම ඔහු බලලා මට කතා කළා. මේ පිටපතේ පොඩ් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. කතා කරගන්න එන්න කියලා. මම එයාගේ ගෙදර ගිහින් අපි දෙන්න එකතු වෙලා මේ ගැන සාකච්ඡා කළා. ඔහුත් සම පිටපත සංශෝධනය කළා. ඒකටත් මට නිහාල් පීරිස් මහතා අනුමැතිය දුන්නා.

හොරා අන්කල් ඔස්සේ ඔබට කියන්නට ඕනෑ කළේ කුමක්ද?

ඇත්තටම අද වර්තමාන සමාජයේ දෙමාපිය දූ දරු සබඳතාවය දුරස් වෙලා. ළමුන් බොහෝ දෙනෙක් ටැබි වලටයි කොම්පියුටර් වලටයි හුරුවෙලා. ඔවුන් අතර මානුෂිය සබඳතා නැති තරම්. සංවේදි වීම් අනුන් ගැන හිතා බලන ආකාරය. අනුකම්පාව, ආදරය, යහළු මිත්‍රකම් වැනි බොහෝ දේ දුරස් වෙලා මේ චිත්‍රපටය හරහා කියන්නේ එක්තරා තැනකදි ළමයින්ගේ සංවේදිභාවය කොයි තරම්ද කියනවා නම් මේ දෙමාපිය දෙන්නා අසරණ භාවයට පත් වෙනවා. ඊට පස්සේ ඔවුන් මේ දරුවෝ දෙන්නව තේරුම් ගන්නවා. ළමයි දෙන්නා මානුෂිය පැත්තෙන් මහා ඉහළ තැනක ඉන්නේ. ඒ ඉහළ තැනක සිටින කෝණය අද වර්තමාන සමාජයට අවශ්‍යයි. මෙතැනදි කරන්නේ හොරෙක් නිවැරැදි කරනවා නොවෙයි. හොරකමට ඔහු එන්නේ ඇයි කියන කාරණය මතු කරන එක. එහෙම නැතුව හැම හොරාම සාධාරණීකරණය කරන එකත් නොවෙයි. මේ හොරා සමාජයෙන් හැමදාම බැට කාලා, තව හොරෙකුටත් අහුවෙලා අසරණ වෙලා ඉන්න පුද්ගලයෙක්. ඒ තරමට බැට කාපුවම මිනිස්සුන්ට කර තියා ගන්න දෙයක් නැති වුණාම හොරකමට පෙලඹෙන කෙනෙක්. දෙමාපියකුට ලෝකයේ තිබෙන ලොකුම වස්තුව තමුන්ගේ දරුවා. ඒ දරුවා වෙනුවෙන් තමයි මේ පුද්ලගයත් හොරකමට පෙලඹෙන්නේ

චිත්‍රපටය තිරගතවිමෙන් පසු ලැබෙන ප්‍රතිචාර මොනවද?

ඉතාම හොඳ ප්‍රතිචාර මේ දිනවල ලැබෙමින් පවතිනවා. මේක පවුල් පිටින් ගිහින් නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. ඇත්තටම මගේ බලාපොරොත්තුව සමාජයට මෙයින් යහපත් පණිවිඩයක් රැගෙන යෑමයි. මම චිත්‍රපටයක් කළාට ඒක සමාජයට දානකම් මම දන්නෙනෑ මිනිස්සු ඒක මොන විදියට බාර ගනීද කියලා. නමුත් මේ චිත්‍රපටයට නම් ඉතාම හොද ප්‍රතිචාර ලබමින් තියෙනවා. ඇත්තටම මේක මම හිතුවටත් වඩා හොදට මිනිස්සු බාර අරගෙන තිබෙනවා.

ඔබේ කුලුඳුල් අධ්‍යක්ෂණය ගැන ඔබ සතුටුයිද?

අනිවාර්යයෙන්. මොකද මේ චිත්‍රපටය නරඹලා බොහෝ දෙනෙක් ශාලාවෙන් එළියට එන්නේ කදුළු සලමින්. සමහර දෙමවිපියෝ ඉන්නවා මාව වැලද ගන්නවා. මට ඒවා හරියට දැනුණා. සමහරුන්ට අවසානයේ කිසියම් නිශ්ශබ්දතාවයකට එනවා. ඒ කියන්නේ ඔවුනගේ හදවතට යමක් දැනිලා තියෙනවා කියන එකනේ. ඉතින් සිනමා ප්‍රේක්ෂකයාට මේ වගේ බලපෑමක් චිත්‍රපටයක් හරහා මට කරන්න පුළුවන් වුණේ මගේ හැදෑරිම නිසා කියලා මම විශ්වාස කරනවා.

හොරා අන්කල්ට පසු ඔබේ ඊලග නිර්මාණ ගැන කිවුවොත්?

ඊළඟ නිර්මාණයට මම විසින් ලියන ලද පිටපත් තුනක් දැනට මා සතුව තිබෙනවා. මීළඟ චිත්‍රපටයත් බොහෝ විට ළමා චිත්‍රපටයක් වෙයි. දුෂ්කර ගම්මානයක නැටුම්වලට දක්ෂ දරුවෙක් පිළිබද ලියවුණක්. මට හැමවෙලාවෙම තියෙන්නේ සතුටින් ඉවර වෙන කතාවක් තමයි. මිනිස්සු ෆැන්ටසිවලට ආසයි. මිනිස්සු නැති ආදරයක් චිත්‍රපටවල දකින්න ආසයි. ඒක හින්දා තමයි මිනිස්සු චිත්‍රපට බලන්න යන්නේ. තමන් ගාව නැති හයියක් චිත්‍රපටයකින් දකින්න ආසයි. තමන්ගේ හිතේ තිබෙන, ආදරය දකින්න ආසයි චිත්‍රපටයකින්. හැම වෙලාවේම පොසිටිව් තින්කින්ග්.

මේ චිත්‍රපටයේ අපි දකින අනිත් විශේෂ ලක්ෂණය තමයි සංගීතය සහ ගීත. ඒ ගැන විශේෂ යමක් කියන්න තිබෙනවාද?

මේ තේරීම මගේයි. මම නවරත්න ගමගේව මේ චිත්‍රපටයේ සංගිත අධ්‍යක්ෂණයට තෝරා ගන්නවා.ඔහු හරිම නිහතමානි මනුස්සයෙක්. චිත්‍රපටයට මනාව ගැළපෙන, එහි එන ගීතවලට මනාව ගැළපෙන සංගීතයක් ඔහු අතින් නිර්මාණය වුවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටයට මම ගීතයකුත් ලිව්වා. මම ඒ ගීතය නවරත්න ගමගේ මහත්මයාට පෙන්නපුවම ඔහු ඒක අගය කළා. ඇත්තටම සංගීතවත් කිරිමේදි මම මගේ රුචිකත්වයන් ඔහුට කියන්න ඔහු මට විශාල ඉඩ කඩක් ලබාදුන්නා. මේ චිත්‍රපටයේ සමහර ස්ථානවලට යොදා ගත හැකි සමහර සංගීත භාණ්ඩ පිළිබඳ යෝජනා කරන්නට පවා ඔහු මට අවස්ථාව සලසලා දුන්නා.

ඉදිරියටත් ඔබ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස රැඳී සිටින්නද බලාපොරොත්තු වෙන්නේ?

ඔව්. මගේ අභිප්‍රාය වුණේ ඒක. එතෙන්ට මම හිමින් හිමින් ළඟා වුණා. ඒ ගමනෙදි මට විශාල ශක්තියක් වුණේ මගේ බිරිඳ. ඇය මා වෙනුවෙන් බොහෝ දේවල් ඉවසමින්, මගෙන් බොහෝ දේවල් බලාපොරොත්තු නොවෙමින් නිදහසේ කටයුතු කරන්න මට අවස්ථාව සලසලා දුන්නා. ඒ නිසා තමයි මෙපමණ දුරක් මට ගමන් කරන්න අවස්ථාව සැලසුණේ.

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT