නිවස විශේෂාංග මගේ සමහර ගීත ගුවන් විදුලි මාධ්‍යයෙන් යටපත් වුණා

මගේ සමහර ගීත ගුවන් විදුලි මාධ්‍යයෙන් යටපත් වුණා

- ගායනවේදිනී යමුනා විනෝදිනී

by Thanushika
June 6, 2024 10:41 am 0 comment

“ප්‍රේමයයි වෛරයයි අතරේ
වෙනස කෙස් ගසකට සමයි
බිඳුණු දා පූජාව ප්‍රේමයෙ
ඔහුගෙ ආගම වෛරයයි..”

ඉමහත් ජනප්‍රියතාවකට බඳුන් වූ මේ ගුවන් විදුලි ගීතය ගීත ශ්‍රාවකයනට අමතකව නැති තරමට මතකයේ නිදන්ව ඇතැයි හැඟේ.

ඕ තොමෝ එදා ගැයූ ..

“අසුරු සැණින් එක මොහොතකදී…

කාලය නැවතී යළි ඇරඹී..

විශ්වය අලුතින් බිහිවේවා..

ඔබේම වී මා මගේම වී ඔබ

අපේම වී යළි ඉපදේවා…”

මේ රසාලිප්ත ගැයුම් සිරිත හැම සිතකම සිරිමත් වූ බව අවිවාදිතය …

” මං පැමිණි දුර මදි කියල මට වරෙක හිතෙනවා. යමක් අපට ලැබෙනවනම් ලැබෙන්නේ අප ගෙනාපු විදිහටනෙ. එහෙම හිතල හිත හදාගෙන ඉන්නවා ”

එදා ගුවන් විදුලියට පෙම්බැඳී රසික දනන් ගැයුමට ආශක්තව රුව නොව හඬ හඳුනාගත් ගායක ගායිකාවන් අතරින් ඉහළම නමක් තබන්නට සමත් වූ අපේ ඒ ආදරණීය ගායන ශිල්පිනිය දැන් මා සමීපයේය…ඕ මුවපුරා නැඟුණු සිනාවතිනි.

“දැන් ඉතින් අපි වගේ අය පැත්තකට වෙලා බලා ඉන්නව මිසක් වෙන කුමක් කරන්නද…”

කොළඹ, කළුබෝවිල ගාර්දි හේවාවසම් වෙල්ගමගේ මාලනී පෙරේරා සහ ආඩම්බරගේ ලෙස්ලි අසෝකා ද සිල්වා යන මවුපිය දෙපළට හිමිවූ දූ පුතුන් පස්දෙනකු අතරින් එම පවුලේ දෙවැන්නිය වූයේ මෙවර අප හමුවන අපේ ආදරණීය කතා නායිකාවය. ලසන්තා චාන්දනී, මහේන්ද්‍ර, ශාමන් සහ ඉමෝකා ද අල්විස් ඇයගේ සහෝදර සහෝදරියන් ය..

මේ එදා ගුවන් විදුලියෙන් ශ්‍රාවක සිත්සතන් සිය ගැයුම් ලතාවෙන් ඇදබැඳ තබාගත් ගායන ශිල්පිනිය ආඩම්බරගේ යමුනා විමෝදිනී ද අල්විස් හෙවත් ආදරණීය රසිකයාට හුරුපුරුදු නමින් යමුනා විමෝදිනී මහත්මිය ය..

ඕ සිනාබරව සිය කටහඬ අවදි කරනා විටදී මට හැඟුණේ අප සවනතට හුරු ඇයගේ හඬ සිරිත තවමත් වෙනසක් වී නැති බවමය.

මම නිහඬව ඇයට සවන් දෙමි.

“අද හැමෝටම වගේ අපව අමතකව ගිහින් වගේ දැනුණත් අපව මතක් වෙලා සොයාගෙන ආපු කවදත් ආදරය කරපු සරසවියට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තමයි ..ගොඩක් සන්තෝෂයි …”

අපේ සොඳුරු කතා නායිකාව යමුනා මුල්වරට ඉගෙනුමට ගියේ කළුබෝවිල ශ්‍රී ගුණාලංකාර විදුහලටය. අනතුරුව කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලයටත් පසුව වැඩිදුර අධ්‍යාපනයට පිවිසියේ මහරගම බුවනෙකබා මහා විද්‍යාලයටය.

මා ඇයගේ මව්තුමිය පිළිබඳව විමසූ පැනයට පමාවෙමින් ඕ බිම බලාගත්වනම පසුවන්නීය. අනතුරුව මදෙස බැලූ ඕ පහත් ස්වරයෙන් කතා කරන්නීය.

” මගේ අම්මා මට වයස අවුරුදු 10ක් වෙද්දී අපට නැතිවුණා .. නැතිවන්නට තරම් හේතු වන අසනීපයවත් හරිහැටි තේරුමක් නැහැ…මගෙ අම්මාගෙ නැතිවීම මගෙ ජීවිතයට මරු පහරක් වගේම වුණා…”

ඈ හඬ බිඳුණු ස්වරයකි. අපේ ආදරණීය යමුනාගේ ආදරණීය මෑණියන් ගුරු පත්වීමකට සූදානමින් සිටියදී වියෝවීම ඇයටත් පවුලේ සෙසු දූ දරුවන්ටත් දූ පුතුන්ගේ පියාණන්ටත් අදහාගත නොහැකි තරම් විය..

“මගේ තාත්තාව අමල් දන්නව ඇතිනෙ. ගුවන් විදුලියේ වාදක මණ්ඩලයේ වාද්‍ය ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් මගෙ තාත්තා …ඒ වගේම තනු නිර්මාපකයෙක්..ලෙස්ලි අසෝකා…අම්මා අහිමිව යාම තාත්තාගෙ හිසට අහස කඩා වැටුණා වගේ වුණා. ..”

කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිය අතැර මහරගම ප්‍රදේශයේ පදිංචියට ඔවුන් පැමිණියේද අපේ යමුණාට බුවනෙකබා විදුහලට ඇතුළත් වන්නටය.

අපේ ආදරණීය යමුනා පාසල්වියේදීද විවිධ අවස්ථාවලදී ගායනයෙන් කුසලතා පෙන්නුම් කළාය. ජීවන මගෙහි මුල් අවධියේදීම අම්මාද අතහැරුණු දියණිය යමුනාට තාත්තා සවියක්ම වූයේය..දියණිය සතු කුසලතා මැනවින් හැඳීන පසුවූ ලෙස්ලි අසෝකයන් තම දියණියද කැමැත්තෙන් පසුවන ගායන ලොවට පිවිසීමට දියහැකි උපරිම දායකත්වය ලබා දුන්නේය.

අපේ ආදරණීය කතා නායිකා යමුණාට වයසින් අවුරුදු හතරේදී පමණ ගුවන් විදුලියට කැඳවා පැමිණි තාත්තා එදා ප්‍රකට “හඳමාමා ” ළමා වැඩසටහනට ඇතුළත් කළේය.

“ඔව්. අමල් ..මං මගෙ ජීවිතයේ හාපුරා කියා ගීතයක් ගායනා කළේ හඳමාමා වැඩසටහනින්.

“ලස්සන වනමල් ගස්වල පිපිලා..

ලස්සන බඹරුන් එති පියඹාලා…”

ඈ ගැයුම් ලතාව අදටත් එලෙසමය.

“ඒ ළමා ගීතයේ තනුව මගෙ තාත්තාගෙ. ඒ ලද අවස්ථාවෙන් මා ගැන අන් අයට විශේෂත්වයක් දැනෙන්නත් ඇති. ජිවිතයේ පළමුවරට මයික්‍රෝෆෝනයක් ඉදිරිපිට ගීතයක් ගැයූ අවස්ථාව කොහොම අමතක වෙන්නද….””

ඕ සිනාසී කියන්නීය.

ආදරණීය තාත්තා වෙනුවට තමන් යන යන හැමතැනදී අම්මා සිටියේ නම් කියා ඇයට සිතුණු වාරද අනන්තය. අම්මා වෙනුවට තාත්තා අත ළඟමය.

“ඉතිං ඔන්න..මං ගුවන් විදුලියේ සරල ගී වැඩසටහන්වලටත් එකතු වුණා කියමුකො. එදා මම ගැයුවේ අම්මා ගැන කියැවෙන ගීතයක්.

ඕ එය මා හමුවේ මිහිරට ගයන්නීය.

“මිහිරි රසය කලතා…

මා බිහිකළ බුදු මෑණී…

උපදින හැම වාරයකම

ඔබ වෙන්න මගේ මෑණි ..””

අපේ ආදරණීය යමුනා වහා බිම බලා ගන්නට වූවාය. ඒ තම පෙම්බර මෑණියන් පිළිබඳ හිත මෝදුව ආ දුකකින් යැයි මට සිතේ.

තවත් ටික වේලාවක් නිහඩවම පසුවූ ඈ යළි කටහඬ අවදි කළාය.

“ඒ මවුගුණ ගීතය රචනා කළේ ටියුඩර් සමරවික්‍රමයන්. එතුමා අපෙ තාත්තාගෙ මිතුරෙක්. මගෙ තාත්තා තමයි එම ගීතයටත් තනුව දැම්මේ..”

තම දියණිය යමුනා පිළිබඳව නොතිත් සතුටකින් පසුවන තාත්තා හැකි හැම අවස්ථාවකදීම දියණියට ගායනයෙන් ඉදිරියටම යන්නට මඟහසර සලසා දුන්නේය.

පාසලේදී හැම උත්සව අවස්ථාවකදීම පාහේ අපේ ආදරණීය කතා නායිකාවට ගැයුමට ආරාධනය නොලද දවසක් නම් නැති. එතෙකින් නොනැවතී ඕ සමස්ත ලංකා ගායනා තරඟවලටද ඉදිරිපත් වෙමින් ප්‍රථම හා දෙවන ස්ථාන ලබමින් තිළිණ හරසර පිදුමින්ද සම්මානිත වූවාය. ඒ දැක තාත්තා රහසේ සතුටු කඳුළින් නෙත පුරවා ගත්තේය. පාසලේ විවිධ ප්‍රසංග ආදියේදී නාට්‍යවලද රඟපාමින් එහි ගැයුම් ලතාව ඔප කළාය.

අපේ සොඳුරු කතා නායිකාව යමුනා විමෝදිනී අවිහිංසක තැනැත්තියක යැයි මට සිතේ.

“ඔව්..මං කාගෙවත් හිතක් රිදවන්න කැමතිම නැහැ. මට පාඩු වෙන දෙයකදි වුවත් මම එය දරාගන්නව මිසක් කා ගැනවත් මං තරහ හිතන්නෙ නැහැ. ඒක මගෙ ජීවිතයටම ඇලුණු ජන්ම ගතියක්. කවරදාවත් මා ළඟ දඩබ්බර ගතිපැවතුම් තිබිල ම නැහැ. අදටත් මං එහෙමයි. පුංචි කාලෙදිත් මං එහෙමයි.

“දන්නවද අමල් ..ඒ කාලෙ පැදුරු පාටි එහෙමත් තිබුණානෙ..අනේ අපෙ තාත්තා පැදුරු පාටි වලටත් මාව එක්ක ගෙන ගියානෙ. ”

ඕ ඒ ටික කීවේ සිනාබරිතවය..

ගැයුම් සිරිත සිරිමත් කරනා තම දියණිය සතු ගායන කුසලතාව මැනවින් අවබෝධ කොට සිටි තාත්තා ඔහුගේ ගුවන් විදුලි වැඩ සටහන් වලට දියණිය ද සහභාගි කරවා ගත්තේය. එතැනදී නම් ඈ වැඩිපුර ගීත ගායනයේහි යෙදුණාය.

දැන් අපේ කතා නායිකාව සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව උසස් පෙළ විභාගයට පෙනී සිටින්නීය. මේ අතරේදී ය සෞන්දර්යය විශ්වවිද්‍යාලයට (රජයේ සංගීත විද්‍යාලයට) ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගන්නා බවට දැනුම්වත් වූයේ. ඕ වහා ඊට ඉල්ලුම් කළාය. ඉන් ඈ තේරී පත්වූවාය. ඉගෙන ගනිමින් සිටියදී උත්තර භාරතීය සරල ගී පරීක්ෂණයටද පෙනී සිටියාය…ඈ ඉන් සමත් ව ගුවන් විදුලියේ ” ඒ” ශ්‍රේණියේ ගායන ශිල්පිනියක වූයෙන් ගුවන් විදුලියේ සංගීත වැඩ සටහන් ඇය වෙත ගලා ආවාය.

“මගෙ තාත්තාත් සරල ගී ශිල්පියෙක්නෙ. උපන් රට ගැන, අම්මා ගැන , මගෙ තාත්තා සමග මං යුග ගීත ගායනා කළා..”

1981 වසරේදී අපේ කතා නායිකාව පළමු සරල ගී වැඩසටහන ඉදිරිපත් කළාය. සෞන්දර්යය විශ්වවිද්‍යාලයේදී ප්‍රථම වරට ඈ ඇස දුටුවන් අතර විශාරද එඩ්වඩ් ජයකොඩි ඉහළ පන්තියක සිටි අතර නිරංජලා, නිර්මලා ශිල්පිනියන්ද එහි සිටියහ.

අපේ ආදරණීය කතා නායිකාව යමුනා හමුවන්නට මට මඟ කියාදුන් ප්‍රවීණ ගායන ශිල්පිනී නාලිනී රණසිංහ මහත්මිය පිළිබඳව ද කතාකළ ඈ ….

“ඔව් අමල් ..නාලිනී මහත්මිය මට වඩා ජේ‍්‍යෂ්ඨයි. එතුමිය සංගීතය පැත්තෙන් ඉහළටම ගියා. හැබැයි මම නාලිනී රණසිංහ මහත්මිය සමඟත් යුග ගීත ගායනා කර තියෙනවා..

“බෝසත් බෝමුල් මට පෑගෙනවා..

බුදු සමිඳේ මට සමාව දෙනවා..”

එතුමිය තමයි මාව යුග ගායනයට ගත්තේ. මම ගොඩක් ගෞරව කරන ගායිකාවක් එතුමිය .”

යි කී ඕ හිඳසිටි පුටුවේ තවත් හරිබරි ගැහෙමින් සිනාසෙමින් කීයේ ” එදා මා එක්කම සිටි සහෝදර ගායිකාවන් හැමදෙනාම වගේ මට පුදුම ආදරයක් තිබුණේ. “කියාය.

“නාලිනී මහත්මිය අපෙ තාත්තාගෙත් මිතුරියක්නෙ. ගීත කිහිපයක්ම අපි දෙන්නා ගැයුවා..”

ආදරණීය යමුනා ගුවන් විදුලියේ සේවයට ගියේ 1981 දීය. විශ්වවිද්‍යාලයේ සිටියදීම ගුවන් විදුලියේ ගීත සම්පාදන නිලධාරින් බඳවා ගැනීමේ පරීක්ෂණයෙන්ද සමත් වූ තවත් එක් අයකු වූයේ අපේ කතා නායිකාවය.

දැන් අපේ ආදරණීය යමුනා ගුවන් විදුලියේ රාජකාරියට යන්නීය. එහිදි ඇයට බොහෝ දෙනකු හඳුනා ගන්නට අවස්ථාවද ලැබිණි .

“එදා හමුවීම් ජීවිතය පුරාම තිබුණු ආදරණීය හමුවීම්. එකිනෙකාට ළෙන්ගතුයි. මේ වෙද්දි ඒ ගොඩක් අය ජීවතුන් අතරත් නැහැ.

ඇයගේ ගැයුම් සිරිත අගයකට බඳුන් කැරෙමින් බොහෝ ගායකයෝ ඇය සමග යුග ගී ගායනයට ඉදිරිපත් වූහ. අපේ සොඳුරු කතා නායිකාව ගැයූ ගීත ගොන්න 131ක් පමණ වෙතැයි ඕ කියන්නීය.

“ඇත්තෙන්ම කාටවත් දොසක් කියනව හෙම නෙවෙයි. මගෙ ගීත බොහොමයක්ම ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණේම නැහැ. ඒ ගැන නම් හිතේ තියෙන්නෙ ලොකු කනගාටුවක්…මේ සත්‍ය කතාව මට විතරක්ම නෙවි. අනෙක් ශිල්පිනීන්ටත් පොදුයි. කොටින්ම මගෙ දරුවන්වත් මගෙ ගීත අහල නැහැ. අනේ..ඉතිං ඒ නිර්මාණ අපත් සමඟම වැළලිලාම යන්න තියලා වගේ…”

” අමල් ..මේ අහන්න ..දවසේ වැඩසටහන්වලට ප්‍රචාරය වන ගීත ලැයිස්තුව හදන්නෙ අපි. සත්තකින්ම ..මේ මං කවදාවත් ඒ බලය අතට අරගෙන මගේ ගීත මම එයට ඇතුළත් කරල නැහැ.. අදත් ඒ ගැන හිත පිරිසිදුයි. මම හිතට එකඟව වැඩ කළේ…”

අපේ ආදරණීය යමුනා යටගිය තතු පැහැදිලි මතකයෙන් කියා යන්නීය. ඇයගේ කතා ලතාවද ගීතයක් බඳුය.

“මා එදා ගැයූ ගීතයක් අද ඇහෙන කොට මට ඇතිවන සතුට නිම්හිම් නැහැ. අමල් ..යමක් අපට ලැබෙන්නේ අප ගෙනාපු විදිහටනෙ. ලැබීම්, නොලැබීම් නේද..මං පැමිණි දුර මදි කියලමයි මගෙ හිත කියන්නෙ. එකක් තමයි මං කිසිවක් පස්සෙ හඹාගෙන එළවගෙන ගියේ නැහැ. අනික මගෙ අම්මාගෙ වියෝව..හිතන්න අමල් ..ගැහැනු දරුවකුට එහෙ මෙහෙ නිතර යන්න එන්න…අත අල්ලාගෙන ආරක්ෂා කරන්න පුළුවන් එක්කෙනා අම්මානෙ. තනියම එළියට බහින්න එදා බැහැනෙ. අද වගෙ නෙවෙයිනෙ. මගෙ ගමනට ඇවැසි සවිය මට ලැබුණෙ නැහැ. අනේ..මගෙ අම්මා සිටියානම් මගේ ගමනට මට සවියක්මනෙ. මගේ තනියට කෙනෙක් නොවීමෙන් මගේ ගමන ආපස්සට ගිහින් තියෙනවා.. ”

ඇයගේ මවුපියන් විවාහ වූයේ තනි මතයකිනි. එහිදී සිදුවූයේ එතුවක් හුන් දෙපාර්ශවයේ ඥාතීන් දුරස්වීමය. ඒ තුළින් සිදුවූයේ දරුවන් වන අප හුදකලා වීම යැයි ඈ පහත් හඬකින් කීවාය.

“එදා සමාජය අදට වඩා හරිම වෙනස්. අද හැමදේම මුදලට. එදා මනුස්සකම ..හිතවත්කම. කුසලතාවයට ඉඩක් තිබුණා. ඉගෙනීමේ පැත්තෙන් මම ඉදිරියටම ආවා. මගෙ අම්මා අහිමි වෙනකොට මගෙ අක්කාට වයසින් අවුරුදු එකොළහමාරයි. අපෙ තාත්තා ස්ථිර සේවකයෙක් වුණෙත් අපෙ අම්මා නැතිවූ අවුරුද්දේමයි. 1969 දි. අම්මා ගුරුවරියක්. ඒ ගමනත් අම්මාට අහිමිව ගියා…මගෙ අම්මා තාත්තා හරිම අහිංසකයි. මට කෙනෙක් බැන්නත් මම තනිවම අඬලා හිත හදා ගන්නවා. ඒ මවුපියන්ගෙ ගතිගුණ තමා අපටත්. අපෙ අම්මා හරි ලස්සනයි. තරුණ කාලෙදිම එතුමිය යන්නම ගියා..”

අපේ ආදරණීය යමුනා නෙත නැඟි කඳුළක් මට වසන් කරමින් පිසදාගත්තද ඈ නෙත අග කඳුළක් දුටිමි. ඕ බිම බලාගත්වනමය …

විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී අපේ වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගයේ අත්වැල් ගායනයටද ඈ සිටියාය. එඩ්වඩ් ජයකොඩි, ෂෙල්ටන් පෙරේරා, ආදී තවත් ගායන ශිල්පීන් සමඟ ඇය යුග ගායනය කළාය.

සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ මිතුරියක මාර්ගයෙන් අපේ කතා නායිකාව යෝජිත විවාහයකින් යුග දිවි ගමනට එක්වූයේ නෙවිල් පෙරේරා මහතා සමඟිනි. ඒ වනවිට පියාණන් රෝගාතුරව ගිලන් යහනේ වැතිරගත් ගමනිනි. එතුමාගේ පවුලේ අයද සංගීතයෙහි ප්‍රියයන් වීම අපේ ආදරණීය යමුනාට සම්පතක්ම විය. ඇගේ තීන්දු තීරණ වලදී ඈ මැනවින් හඳුනා සිටින නිසාවෙන්ම ඔහු ඇයගේ කිසිවකට තහංචි බාධා නොකළේය.

පුලින හසන්ත පෙරේරා දරුවන් අතර පළමුවැන්නාය. හර්ෂණ මාධව පෙරේරා දෙවැන්නාය. හේ සංගීතයට අම්මා සේම ඉදිරියෙනි. තාත්තා සතු කුසලතාවන් පුතු හර්ෂණ සතුව තියේ. සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ උපාධිය හැදෑරුවේද හර්ෂණ ය. හසන්ත පුතු බැංකු ක්ෂෙත්‍රයේ ය.

ඈ දිගු සුසුමක් හෙළන්නීය.

“මට ආපු බාධා කම්කටුලු දිහා ආපසු බලනකොට ඇත්තමයි …මං පැමිණි මේ දුර ගැන තෘප්තිමත් ..මම දිනල ඉන්නෙ ඉතින් ..මට දුක්වන්නට කරුණුකාරණා නැහැ…”

ඕ තිර හඬකින් කියන්නීය.

” කවදාවත් මුදල් ගැන හිතල ඒ පස්සෙ යමින් සතුටුවන හිතක් කවදාවත් තිබුණෙ නැහැ. ජනප්‍රියතාවය තාවකාලිකයි. මගේ දරුවන්ට බයක්බනැතිව මේ මගෙ අම්මා කියල කියන්න පුළුවන් තැනක මම ඉන්නෙ. ඒක තමයි මගෙ ඉහළම සතුට”

“අද එදා ගුවන් විදුලියක් නැහැ. එදා හුන් අදීන විශිෂ්ටයන් අද එහි නැහැ. පාළුවටම ගිහින් . ගුවන් විදුලියේ ගෞරවය නැතිවී යමින් පවතිනවා…

අනේ..මම එදා වගේම අදත් හෙටත් ගුවන් විදුලියට හිස නමා ගරු කරනවා. මගේ නාමය ලොව රැන්දූ ගුවන් විදුලියට මා ගරු කරනවා.

ගුවන් විදුලිය අද සුසුමක් වුණත් මතු පරපුරට මෙය තිබිය යුතුමයි. දන්නවද අමල්..ඉන්දියාවෙත් නැති පැරණි ගීත අපේ ගුවන් විදුලියේ තියෙනවා.

ඈ දෑස අග කඳුළක් පෙනේ.

“මගෙ රත්තරන් අම්මා තාත්තා වගේමයි මට ගුවන් විදුලියත්.

අපේ ආදරණීය කතා නායිකාව කතා කරනුයේ හද ඉතිරිව ගිය වේදනාවකින් යැයිද මට හැඟේ.

මම ඇසූ පැනයකට පිළිතුරු දුන් ඇය කීවේ මේ ටිකය.

“අනේ ඔව්..මට තවමත් ගයන්න පුළුවන්. මට ප්‍රසංග වේදිකාවට ආරාධනයක් ලැබුණොත් එය පිළිගන්නවාමයි..”

අපේ ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පිණියගේ ලිපිනය අංක. 275/1, පරණ නුවර පාර..දළුගම.. කැළණිය..දුරකතන අංකය 0112914543.

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT