Home » මගේ ගීතවල අරමුණ රසිකයා සතුටට පත් කරවීම

මගේ ගීතවල අරමුණ රසිකයා සතුටට පත් කරවීම

යොවුන් ගායක ගැමුණු මේනක

by Thanushika
March 6, 2025 1:37 pm 0 comment

ගීතයට කලාවට බැඳුණු සිත සොඳුරුය.ප්‍රීතිමත් ය. ඒ ප්‍රීතිය බෙදා හදා ගැනීමට මාවත් සොයයි. නිරන්තරයෙන් ඒවායේ ඇවිද යයි. ඒ සංචාරයන්හි හමුවන දෑ සමඟින් ලස්සන වියමන් ද කරයි .ඉනුදු නොනැවතී අලංකාර ලෙස ඉදිරිපත් කරයි.

මෑත කාලයේ නූතන පරපුර නියෝජනය කරමින් කලාවට පිවිසෙන මේ සුවිශේෂ තරුණයා ද නිර්මාණකරණයේ වෙනස් ඉසවු සොයන්නට නොබිය නිර්මාණකරුවකු ලෙස හැඳීන්වීමේ වරදක් නැත. කොළඹින් බොහෝ ඈත කලාවට මැනැවින් උත්තේජන සපයන සොඳුරු පරිසරයක ඉපිද හැදී වැඩෙමින් නොනැවතෙන ඔහු සංගීතයට ළැදි ගමන ජයගැනීමට අන්තර්ජාතික තලය නියෝජනය කරන රියැලිටි වේදිකාවටත් පා තබන්නේ ඒ උත්සාහයත් ළැදියාවත් මතය. එහි අපූරු ප්‍රතිඵලයක් ලෙස නූතන ප්‍රසංග වේදිකාවේ හඬ පමණක් නොව තමාටම අනන්‍ය වූ පෙනුමෙන් ද සිය රසිකයන් අතරට ගිය යොවුන් නිර්මාණකරුවකු ලෙස ගැමුණු මේනක හඳුනාගත හැකිය. නමුත් ඔහු රසිකයන් ගේ ආදරය දිනා ගන්නේ ‘ ගැමා ‘යන අපූරු අනන්‍යතාවත් සමඟිනි.

කලාවේ ඔබෙ ගමන් මඟ ගැන ටිකක් පැහැදිලි කරමු.

මම සංගීතයට නැඹුරු වෙන්නෙ පාසල් අවධියේමයි. මීට අවුරුදු දහසයකට විතර කලින්. පාසල් මිතුරන් එක්ක පුංචි බෑන්ඩ් එකක් හදාගත්තෙ මුලින්ම. පාසලේදි සංගීතය විෂයක් විදීයට කළේ නෑ. නමුත් සංගීතය ට තිබුණු දැඩි කැමැත්ත මත පාසල් අවධියේ සංගීත කණ්ඩායමක් හදාගෙන සංගීත කටයුතුවලට යොමු වුණා. ඒ අතරතුරම අපේ ප්‍රදේශයේ ම තිබුණ ඛ් ඉඩඪදඥ කියන සංගීත කණ්ඩායමට සම්බන්ධ වී වසර දොළහක් විතර වැඩ කළා. වාදකයකු ලෙසයි මා මුලින්ම ඊට සම්බන්ධ වුණේ. නමුත් පසුව ගායනයෙනුත් සම්බන්ධ වී වැඩ කළා.

මගෙ පළමුවෙනි නිර්මාණය කළේ මීට අවුරුදු අටකට විතර කලින්. ‘ අඳුරන්න බැරි වුණා’ කියල. ඊට පස්සෙ මම දිගටම මගේ නිර්මාණ කරන්න ඕන කියන අදහසට ඇවිත් නිර්මාණකරණයේ යෙදුණා. මගේම ශබ්දාගාරයකුත් ඒ අතර ආරම්භ කරමින් තමයි නිර්මාණ කටයුතු කරන්න ගත්තේ. ඒ අතරෙ තමයි මට දක්ෂ නිර්මාණ ශිල්පියකු වන ෂර්ලි අයියව හඳුනාගන්න ලැබෙන්නෙ.

කොහොම ද ඔහු ඔබේ නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙ ?

ෂර්ලි රෝසා කියන්නෙ අංශ ගණනාවකින් දක්ෂතා පෙන්වන නිර්මාණ ශිල්පියෙක්. ඔහු දක්ෂ ගායකයෙක්. ඉතා ලස්සන ට ගයන්න පුළුවන්. ඒ වගෙම දක්ෂ පද රචකයෙක් හා තනු නිර්මාණ ශිල්පියෙක්. ඉතා දීර්ඝකාලයක සිට සංගීත කටයුතුවල නියැළී ඉන්න කෙනෙක්. ඉතාමත් ලස්සන නිර්මාණ ගණනාවක් ඔහු සතුයි. මේ වන විට විදේශගතව සිටිමිනුයි ඔහු නිර්මාණ කටයුතුවල නියැළෙන්නේ. අපි නිර්මාණ කටයුතු ඔස්සේ හඳුනාගැනීමෙන් පසු ඔහු එක්ක කරපු පළවෙනි නිර්මාණය තමයි ‘ ඒ මගෙ කෙල්ල’ කියන්නෙ. එහි පදරචනය ඔහුගෙ. ඒ වගෙම එහි තනුවෙ මූලික අදහසත් ඔහුගෙ. ඒ නිර්මාණය මගෙ අතට ලැබුණහම එහි අවශ්‍ය වෙනස්කම් කීපයක් කරමින් සංගීතය හා ගායනය සම්පූර්ණ කර මම ඒ ගීතය එළිදැක්වීමට කටයුතු කළා. ඇත්තෙන්ම ඒ වකවානුවේ ඒ මගෙ කෙල්ල ගීතය ගොඩක් කතා බහට ලක්වුණා. බොහෝ දෙනෙක් ඒ නිර්මාණය හා එහි අන්තර්ගත තේමාව ගැන කතා කළා. නූතනයේ අපට හමුවන පදරචනා ගත් විට ෂර්ලි අයියගෙ පද රචනා හරි වෙනස්. බොහොම ගැඹුරු සමාජ කාරණා පවා ඔහු හරිම සරල ව නමුත් ඉතා නිර්මාණශීලිව ඉදිරිපත් කරන්න දක්ෂ යි. ඒ නිසයි මට ඔහු එක්ක එකතු වෙලා ඒ ගීතය නිර්මාණය කරන්න හිතුණෙ. ඔහුගෙ පදවලට මම සංගීතය නිර්මාණය කරල පෙන්නුවාම ඔහු ගොඩක් සතුටු වුණා. ඒ ගීතය ගැන මිනිස්සු අතරෙ ඇතිවුණ කතා බහත් එක්ක තමයි මට හිතුණෙ ඒ වගෙ නිර්මාණ ටිකක් කරන එක හොඳයි කියලා. මම ගොඩක් ම කැමති රෙගේ සහ බයිලා ආරට. මේ ගීයත් ඒ වගෙ එකක්.

ඒ ගීයට ලැබුණ හොඳ ප්‍රතිචාරත් එක්ක මම ඊළඟට කළේ ‘ මගෙ සිකුරා’ කියන නිර්මාණය. ඒක ෂර්ලි අයිය ලියපු ඒ මගෙ කෙල්ල කියන ගීතයේම දිගුවක් විදියට නිර්මාණය කළ එකක්. ඊළගට නැවත ඒ ගීයේම තවත් දිගුවක් විදියට කළ ගීයක් වුණේ ‘ ඒ කපුවා’ කියන ගීතය . මේ ගීත තුනම එකම තේමාවක් ඔස්සේ නමුත් වෙනස් සිදුවීම් පාදක කරගෙන ලියවුණු ගීත. ඉන් පස්සෙ තමයි මම ‘ හෙණ හත වැදීයන්’ කියන ගීතය නිර්මාණය කළේ.ඒක මගෙ අනිත් නිර්මාණ අතර වෙනස් නිර්මාණයක්. ඒක මම මුදා හැර සතියක් ඉක්මවූ මොහොතේ නැරඹුම් වාර මිලියනය ඉක්මවා තිබුණා. මේ වන විට එය යූ ටියුබයේ නරඹා තිබෙන පිරිස තිස්දහස ඉක්මවා තිබෙනවා. ඒ නිර්මාණය රසිකයන් අතර කතාබහට යොමු වී තිබෙන අවධියේ තමයි නැවතත් ෂර්ලි අයියයි මමයි තවත් ලස්සන නිර්මාණයක් කළේ. ඒක කපිරිඤ්ඤා ආරේ ගීයක්. ‘ස රි ග ම’ කියල. එහි රචනය හා තනුවත් ෂර්ලි අයියගෙ. ඒකත් බොහෝ දෙනෙක් අතරට ගිය ඉතා ලස්සන ම ගීයක් මම ගායනා කළ.

හිරු ස්ටාර් හා සිරස වොයිස් වේදිකාවේ අත්දැකීම් ගැනත් කතා කරමු

හිරු ස්ටාර් තරඟාවලියට සහභාගි වුණේ ගිය වසරේ. එහි අවසන් තරගකරුවන් සිය දෙනා අතරට පැමිණියා. ඉන් අනතුරුව සිරස වොයිස් තරඟාවලියට සහභාගි වුණේ ගිය වසරේ. එහිදී බ්ලයින්ඩ් ඔඩිෂන් වටය තෙක් පැමිණියා. ඇත්තෙන්ම ඒ තරඟාවලිය මට වෙනස් අත්දැකීම් රැසක් හිමිකර දුන් බව මා විශ්වාස කරනවා. මොකද මම එහි අවසන් දිනයේ ගායනා කළ ගීය ට්‍රෙන්ඩින් වුණා යු ටියුබයේ. ඉතාමත් සුවිශේෂ විදියට. ඒ අවස්ථාවෙන් පස්සෙ තරඟාවලියෙන් ඉවත් වුණත් තවදුරටත් එහි කළමනාකාරිත්වය මගෙ ඉදිරි ගමනට මඟ පෙන්වීමක් කරන්න මා සමඟ සිටීම මට ශක්තියක්. ඒ අතරෙ ම තමයි මම මගෙ ශබ්දාගාරය දියුණු කරගන්නත් පෙලඹුණේ. මොකද මගෙ වෘත්තියත් සංගීතය සමඟම බැඳීල තිබුණු නිසා. ඒ අතරෙම මගෙම වාදක මණ්ඩලයක් පිහිටුවා ගන්න ඕන කියන අදහසත් ඇතිවුණා. මේ වෙනකොට ඒ අරමුණත් යථාර්ථයක් වෙලා තියෙනවා.

‘ගැමා විත් ප්‍රෙන්තො’ මගෙ බෑන්ඩ් එක. විවිධ උත්සව සඳහා ලැබෙන ආරාධනා සඳහා මේ වන විට සහභාගි වෙනවා.

නිර්මාණකරණයේදි වඩා නැඹුරුව කටයුතු කරන්නේ කුමන සංගීත ආරයන් ඔස්සේද ?

මම වඩා කැමැති රෙගේ සහ බයිලා ආරය ඔස්සේ මගෙ නිර්මාණ කරන්න. අනිත් පැත්තෙන් නූතන තරුණ පරපුර බැලුවොත් ඔවුන් අපටත් වඩා නැඹුරුයි රැප් හා එබඳු රිද්මයේ සංගීතයට. ඔවුන් රස විඳීන්නේ ඒවා. සංගීතය ට ඔවුන් ලොකු නැඹුරුවක් පෙන්වුවත් රැප් හා ඒ ගණයේ සංගීතය තමයි ඔවුන්ගෙ ජීවිතයට ගොඩක්ම සමීප. ගැටලුව තිබෙන්නේ ඒ කුමන ආරක සංගීතය වේවා ඔවුන් එය යහපත් පැත්තට යොදා ගන්නවාද කියන කාරණයයි. මොකද ඔය ඕනෑම දෙයක හොඳ හා නරක දෙපැත්තට ම පාවිච්චි කරන්න පුළුවන් නිසා.

නිර්මාණකරුවකු විදියට බාහිර පෙනුමෙන් ඔබ වෙනම අනන්‍යතාවක් පෙන්වනවා. කලාකරුවකුට එවැන්නක් වැදගත් වන්නෙ ඇයි?

ඒකට මම කැමතියි. නිර්මාණකරුවකුට සිය හැකියාව වැදගත් කියන එක අවිවාදිත යි. මොකද ගායකයකුට කටහඬ හා ගායන හැකියාව තමයි වැදගත් ම. ඒක ගැන ගැටලුවක් නෑ. නමුත් නිර්මාණයක් අරන් රසිකයන් ඉදිරියට යද්දී මාව වෙනම විදියකට ඔවුන් හඳුනගන්නවාට මම කැමැති යි. මොකද ප්‍රංසග වේදිකාවේ ගායනය රස විඳීන්න වගෙම නෙත පිනවීමටත් රසිකයන් කැමැතියි කියන දේ මම විශ්වාස කරන නිසා. ඉතින් ඒ වෙනුවෙන් වගෙම මගෙ ගායන ශෛලීන් සමඟත් සසැඳෙන විලාසිතාවක් එක්කම තමයි මම නිතරම රසිකයන් අතරට එන්නෙත් ඒ වගෙම ගීත ගායනා කරන්නෙත්. ඒකට ප්‍රේක්ෂකයනුත් හරි කැමැතියි.

නිර්මාණකරණයේදී ඔබේ දැක්ම පදනම් වෙන්නෙ කෙබඳු කාරණා මතද ?

මම ෂර්ලි රෝසා කියන ඒ සුන්දර නිර්මාණකරුවා එක්ක වැඩ කරද්දී හිතපු දෙයක් තමයි මිනිස්සු දුකින් ඉන්න ඕන නැහැ කියන එක. මගෙ නිර්මාණයකින් රසිකයාගේ සිත සතුටට පත් කරන්න මම කැමැතියි. කෙනකු දුකෙන් හිටියත් විරහවක හිටියත් එය නිවා දාන්න පුළුවන් ශක්තියක් තිබෙන ඒවගේම කෙනෙකුගෙ හිතේ තිබෙන සතුට තව වර්ධනය කරන්න ඉවහල් වන ආකාරයේ ගීත ගයන්න, සමාජයේ පොදු සිදුවීම් සමඟ සම්බන්ධ වූ මිනිසුන්ට සරලව ඉක්මනින් වටහා ගන්න පුළුවන් ආකාරයේ ගීත නිර්මාණය කරන්න මම ආසයි. කෙසේ වෙතත් වෘත්තීය වශයෙන් සංගීත කටයුතුවල නියැළෙන කෙනකු විදියට වෙනත් කෙනකුගේ නිර්මාණයක් එක්ක වැඩ කිරීමේදි වර්ගීකරණයකට කොටු වී කටයුතු කරන්නේ නෑ.

ලස්සන හරවත් නිර්මාණ ඔස්සේ රසිකයන් අතර රැඳෙන්න පුළුවන් විදිහට නිර්මාණ සැලසුම් කරන්නයි මම උත්සාහ ගන්නේ.

 

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT