නිවස සංවාද පවුලේ ඔක්කොම එකට රඟන චිත්‍රපටයක් ළඟදීම එනවා

පවුලේ ඔක්කොම එකට රඟන චිත්‍රපටයක් ළඟදීම එනවා

-ජනප්‍රිය රංගන ශිල්පිනී ඩිනක්ෂි ප්‍රියසාද්

by Thanushika
June 6, 2024 10:30 am 0 comment

තමා සතු නිරහංකාර ගති පැවතුම් නිසාම ලක්ෂසංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් තමන් වටා රොද බැදගෙන සිටින ඈ මේ වන විට මෙරට ජනපි‍්‍රය රංග ශිල්පිනියන් අතරේ ඉදිරියෙන්ම වැජඹෙන තැනැත්තියක් බවට මේ වනවිටත් පත්ව ඇත. රංග ශිල්පිනියක ලෙසින් මෙන්ම නර්තන ශිල්පිනියක නිවේදිකාවක ලෙසින් ද රසික ප්‍රේක්ෂක ආදරය නොවඩුව අත්විඳින ඈ මේ දිනවල අතිශයින් පේ‍්‍රක්ෂක ආදරය දිනමින් තිරගතවන විසල් ආදරේ චිත්‍රපටයේ ‘සාරා’ ලෙසින් පේ‍්‍රක්ෂකයන් අතරට එක්වන ඩිනක්ෂි පි‍්‍රයසාද් හා කතාබහට එක්වෙමු.

ඩිනක්ෂි කොහොමද මේ දවස්වල විසල් ආදරේ වෙනුවෙන් ඔබට ලැබෙන ප්‍රේක්ෂක ආදරය?

හොඳයි… හොඳයි…. හොදායි…. ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ආදායම් වාර්තා තියමින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මධ්‍යයේ චිත්‍රපටය තිරගත වෙනවා. සති දෙකක් තුළ පමණක් ලංකාව තුළ තිරගතවීම තුළින් රුපියල් ලක්ෂ 325ක ආදායමක් මේ වන විට චිත්‍රපටය උපයලා තියනවා. චිත්‍රපටය තිරගතවීම ඇරඹිලා දවස් දහයක් තුළ විතරක් රුපියල් ලක්ෂ 259 චිත්‍රපටය උපයා තිබුණා. පිටරටවල තිරගතවීම්වල ආදායම් නැතුව, ලංකාවේ මේ චිත්‍රපටය තිරගත වීමට සමගාමීව කැනඩාව, ඕස්ට්‍රේලියාව රටවලත් ඉහළ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලබමින් තිරගත වෙනවා. මේ දවස්වල මිනිස්සු හිතාගන්න බැරි තරමව චිත්‍රපටයට ආකර්ෂණය වෙලා තියනවා.

මොන වගේ පේ‍්‍රක්ෂක ප්‍රජාවක් ද විසල් ආදරේ හා රොද බැඳ සිටින්නේ?

අපි හිතුවේ තරුණ කොටස් විතරක් මේ චිත්‍රපටය හා අත්වැල් බැඳගනියි කියලා. නමුත් තරුණ අය වගේම වැඩිහිටි අම්මල තාත්තලත් මේ චිත්‍රපටයට ඇලුම් කිරීමක් දකින්න තියනවා. චිත්‍රපටය ඇතුලේ තරුණ අයගේ ආදරය විතරක් නොවෙයි අම්මල තාත්තාලාගේ සබඳතා ළමයින්ට කොයි ආකාරයෙන් බලපානවද ඒ අයගේ ආදර සබඳතා ගැනත් මේ චිත්‍රපටය තුළ කතා වෙනවා. ඒක නිසා මම මේ චිත්‍රපටය දකින්නේ පවුලේ චිත්‍රපටයක් ලෙසින් වයස් භේදයන් තොරව කට්ටිය මේ චිත්‍රපටය බලන්න එනවා.

මේ ඔබේ කීවෙනි සිනමා දිග හැරුමද රංගනය පැත්තෙන්?

මුලින්ම මම චිත්‍රපට රංගනය ආරම්භ කළේ කුඩා කාලයේ තාත්තාගේ දිනේෂ් ප්‍රියසාද්ගේ. අපායේ තත්පර අසූහාරදාහ චිත්‍රපටයේ රංගනයත් සමඟ. ඊට පස්සේ මම පේ‍්‍රක්ෂකයන් හැමෝම අතරට ගියේ චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ මේ වගේ ආදරයක් චිත්‍රපටය තුළින්. මේ චිත්‍රපටය තුළින් තමයි මම සම්මානනීය ඇගැයුමටත් ලක්වුණේ ඊට පස්සේ මම චිත්‍රපට කීපයකට දායක වුණා. සුපර්ණා, යාළුවෝ ද යාළුවෝ ආදී චිත්‍රපට කීපයක රඟපෑවා. ඒ අතරින් හිට් වුණේ මේ දවස්වල තිරගත වනන විසල් ආදරේ.

ඩිනක්ෂි පීක් වෙන්නේ ආදරේ සමඟම ද? ආදරේ ආදරය කියන අකුරු එකතුව ඩිනක්ෂිට වාසනාව ගෙන එනවා නොවේද?

ආදරයත් එක් කරන් කොයි දේත් ඉස්සරහට යනවා ප්‍රේක්ෂකයන්ගේ ආදරය, නොවඩුව ලැබෙන නිසානේ මම තවමත් ක්ෂේත්‍රයේත් රැඳිල ඉන්නේ. එහෙම බලපුවහම ආදරේ නේද හැමදේකම පදනම.

මෙරටදී සිනමා රංගශිල්පියෙකු ශිල්පිනියක් ලබන ඉහළම සම්මානය වූ සරසවිය සම්මාන ගෞරවයට පවා පාත්‍රවන නිළියක් ඔබ?

මම මේ වනවිට දෙවතාවක් සරසවිය සම්මානයට පාත්‍ර වූ තැනැත්තියක්. මුල්වරට 2015 වසරේ මේ වගේ ආදරයක් චිත්‍රපටයේ රඟපෑම උදෙසා සරසවිය කුසලතා සම්මානය මට ලැබුණා. පසුගිය දා පැවති තිස් පස්වන සරසවිය සම්මාන උලෙළේදී 2020 වසරේ ජනපි‍්‍රයම නිළිය ලෙස මට සරසවිය සම්මානය හිමිවුණා.

සරසවිය ජනප්‍රියම නිළිය සම්මානය ලැබීම පිළිබඳ ඔබේ අදහස කොයි වගේද?

සතුටුයි. ජනපි‍්‍රය වෙන්න ලේසියි. නමුත් ඒක පවත්වාගෙන ගන්න තමයි අමාරු. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු ගණනාවක් වෙනවා ඒ කාලය තුළ ජනපි‍්‍රයත්වය තියාගෙන ඉන්න ලැබීම ගැන මට සතුටුයි. මාව ගොඩක් නිර්මාණවලට අධ්‍යක්ෂවරු දායක කරගන්නවා වගේ මම ඒ නිර්මාණවලට කැපවෙලා මගේ රංගනය එකතු කරනවා. අධ්‍යක්ෂවරු, නිෂ්පාදකයෝ මාව ඔවුන්ගේ නිර්මාණ වෙත සහභාගි කරවා ගන්නවා සේම, මගේ ආදරණීය පේ‍්‍රක්ෂකයෝ මාව දිරිගන්වමින් මගේ නිර්මාණ රසවිදිනවා. ඒ ආදරණීය බව අවංකව ලැබෙන කොට ඇත්තෙන්ම සම්මානීය වීම ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්.

ජනපි‍්‍රය නිළිය වෙන එකත් අද ලේසි පහසු නෑ නේද?

තමන්ට මනාප දාගෙන තමන්ම ජනපි‍්‍රය වෙන කාලවකවානුවක මට ලැබුණු ගෞරවය ගැන මම නිහතමානීව සතුටු වෙනවා. මේ තරඟය එළියට ආවත් සමඟ මාත් සමඟ ගැටුණු අනෙකුත් අය සමඟ සන්සන්දනය කරමින් බොහෝ දෙනා පැවසුවේ මේ තරඟයෙන් මට සම්මානය ලැබෙන්න ඕනෙ කියලා. මගේ ප්‍රේක්ෂකයෝ සමාජ මාධ්‍ය හරහා ගොඩක් උදව් කළා. රසිකයෝ පෙලඹෙව්වා මට මනාපයක් දෙන්න කියලා. ඒ ලැබුණු මනාප මත තමයි මට සම්මානය හිමිවුණේ.

කලාව හා බැඳුණු පවුලක ඔබේම නංගිලා සමඟත් තරඟයක් තියෙනවාද? රංගනය වෙනුවෙන්?

අනේ නෑ. තරඟයක් නෑ. තුන්දෙනාම කතා බහ කරල වැඩ කරන අවස්ථා තියෙනවා. මට කරන්න බැරි වැඩක් මම නංගිලාට දෙනවා.

අවස්ථාවක් එහෙම ලැබුණේ නැද්ද ඔබලා තිදෙනාටම එකම නිර්මාණයක එකට රඟපාන්න?

මමත් ශේෂාද්‍රිත්, ශනුද්‍රිත් තුන්දෙනාම එකට රඟපානවා. තේජා ඉද්දමලගොඩ අධ්‍යක්ෂණය කළ ඉදිරියේදී තිරගත වෙන්න තියෙන 60,70, දශකයේ සංගීතවේදියෙක් වටා ගෙතුණු ලස්සන කතාවක් රැගත් චිත්‍රපටයක. මේ චිත්‍රපටයේ බොහෝ වැඩ අවසන් කරලා මේ දවස් වල සවුන්ඩ් මික්ස් කරමින් ඉන්නේ. මම හිතන්නේ අපි තුන්දෙනාම එකට රඟපාන මුල්ම චිත්‍රපටය මේක කියලා අපි තුන්දෙනාට අමතරව අපේ තාත්තා දිනේෂ් පි‍්‍රයසාද් වගේම මගේ සැමියා සාරංග දිසාසේකරත් මේ චිත්‍රපටයේ එකට රඟපානවා.

තේජාගේ අලුත් චිත්‍රපටය ඔබලාගේ පවුලේ චිත්‍රපටයක් වෙලා?

මේ චිත්‍රපටයේ ප්‍රේම් එකට අඩු මගේ අම්මත් මගේ පුංචි දුවත් විතරයි. නොකියා කියන්න තියෙන්නේ මේ චිත්‍රපටය ඇත්තෙන්ම අපේ පවුලේ චිත්‍රපටයක් වෙලා කියන එක තමයි.

ඉදිරියේදී තිරගත වෙන්න ඇති ඔබ රඟපෑ චිත්‍රපට?

හර්ෂ උඩකන්ද ගේ රෝස ආදරේ, රන්දික නදීෂාන් විජේමාන්ගේ විශ්ම තේජා ඉද්දමල්ගොඩගේ දැනට නමක් නොදාඇති චිත්‍රපටයත් ඒ අතර තියෙනවා.

විශ්ම චිත්‍රපටයේ ඔබ රංගනයෙන් දායක වන්නේ ඔබේ සැමියා සාරංග සමඟ?

මම සාරංග සමඟ එකට රඟපෑ මුල්ම චිත්‍රපටය විශ්ම. මේ චිත්‍රපටයේ රඟපානකොට අපි යාළුවෙලත් නෑ. ඊට පස්සේ අපි දෙන්නා එකට රඟපෑ නිර්මාණ කීපයක්ම ප්‍රේක්ෂකයන් අතරට ආවා.

වර්තමානයේ සිනමා ශාලා කරා ඇදෙන ප්‍රේක්ෂකයන් දකින කොට රංග ශිල්පිනියක් වශයෙන් සිනමා කර්මාන්තයට උර දී සිටින තැනැත්තියක් ලෙස ඔබට මොකද හිතෙන්නේ?

මම හිතන්නේ කොයි මොහොතකවත් සිනමාව කඩා වැටිලා නෑ කියලා. සිනමාව කඩා වැටුණා වැටිල කියල කිව්වට එහෙම දෙයක් මම දකින්නේ නෑ. පේ‍්‍රක්ෂකයන් ආකර්ෂණය කරගන්න නිර්මාණවල යම් අඩුවක් තියෙන්න ඇති. රටේ දේශපාලන සමාජ ප්‍රශ්නත් එක්ක මිනිස්සුන්ට චිත්‍රපට ශාලාවකට එන්න බැරි තත්ත්වය ඇති වෙන්න ඇති කියල මම හිතනවා. අනිවාර්යෙන්ම ආර්ථිකයත් බලපෑවා දැනටමත් ආර්ථික ප්‍රශ්න තියාගෙන සිනමා රසවින්දනයට මිනිස්සු ඇදෙන්නේ මේ තියන ප්‍රශ්නවලින් තරමක් දුරට හෝ ගැලවෙන්න තියෙන්නේ කලාව නිසා මිනිස්සුන් පීඩනය නැති කරගන්න චිත්‍රපට බලන්න සිනමා ශාලාවලට, වේදිකා නාට්‍ය බලන්න රංග ශාලාවලට මිනිස්සු ඇදෙනවා. මේ දවස්වල අනික් පැත්තෙන් මට හිතෙනවා මිනිස්සු ආකර්ෂණය කරගන්න පුළුවන්. හොඳ නිර්මාණ ටිකක් නිර්මාණකරුවන් විසින් එළියට දාගෙන එනවා කියල. මේ විධියට ගත්තහම වැඩි පේ‍්‍රක්ෂක නැඹුරුවක් මේ වනවිට සිනමාව පැත්තට ඇතිවෙලා තියෙනවා.

ඩිනක්ෂි සිනමා නිළියක් ලෙස හඳුන්වනවාට ද කැමති ටෙලි නාට්‍ය නිළියක් ලෙස හඳුන්නවාටද?

භේදයක් නෑ. මම මේ රංගන වෘත්තීය ආරම්භ කළේ ටෙලි නාට්‍ය නිළියක් ලෙස සෑහෙන කාලයකට පස්සේ තමයි මේ වගේ ආදරයක් චිත්‍රපටයට මම දායක වෙන්න ලැබුණේ. මම ඇත්තම කිව්වොත් ටෙලි නාට්‍ය නිළියක් හැබැයි දැන් වැඩි වශයෙන් මම සිනමාවට යොමුවෙලා තියනවා. මගේ වැඩි කැමැත්ත සිනමාවට. ඕනෙම කෙනෙක්ට ඒක පොදුයි. එහෙමයි කියල ටෙලි නාට්‍ය අතහැරල නෑ. ඒවායෙත් මම වැඩ කරනවා. හොඳ වැඩක් ලැබුණොත් සිනමාව ද ටෙලි නාට්‍යය ද කියලා බලන්න නෑ. මම ඒ දේ රඟපෑමට භාරගන්නවා.

නිවේදිකාව කියන භූමිකාව අද ඔබ අතහැරල ද?

නෑ. නෑ. කරනවා මම පොඩි කාළේ ඉඳල කරපු දෙයක් නිවේදනය. මම හරි ආසයි නිවේදනයට මේ දවස්වල හිරු ටීවී නාළිකාවේ විකාශය වන ඇගේ කතාව වැඩසටහනේ නිවේදිකාව ලෙස වැඩකරනවා. පසුගිය කාලේ රියලිට් වැඩසටහන් කීපයකට නිවේදන කටයුතු කළා. දැනට ඇගේ කතාව තුළ නිවේදනය කරගෙන යනවා. අත හරින්න බැරි නිසා පුංචි දෙයක් හරි කරගෙන ක්ෂේත්‍රය තුළ ඉන්නවා.

කොහොමද ඔබේ වේදිකා රංගනයන් එහෙම?

පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍ය ගොඩක් ජනපි‍්‍රය වුණා. මේ නාට්‍ය 2018 වසරේ තමයි මුලින්ම වේදිකා ගත වුණේ. දර්ශනවාර තුනක් හතරක් නැතුව තිරගත වූ හැම වාරයකදීම ප්‍රේක්ෂකාගාරය හවුස් ෆුල් වුණා. හාස්‍ය මුසු වූ මේ නාට්‍ය සඳහා බලන පේ‍්‍රක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණා. මේ වෙනකොට දර්ශන වාර සියයකට කිට්ටු වෙන්න ලංකාව පුරාම පාහේ මේ නාට්‍යය අපි කරල තියනවා.

වේදිකාවෙන් ප්‍රේක්ෂකයා බැහැර වෙලා කියලා හඬක් නඟන කොට ඔබ වේදිකාවේ හවුස් ෆුල් වීමක් ගැන කතා කරනවා. පිරිමියෙක් ගෙන් පැමිණිල්ලක් ගැන කියමින්?

මම දැක්ක දේ අවංකව කියනවා. සාරංගත් මේ නාට්‍යයේ රඟපෑවා. එයාගේ තියන ජනපි‍්‍රයත්වයත් එයාගේ රසිකයොත්, හිතවතුනුත් මෙතනදී ලොකු ශක්තියක් වුණා. අපි නාට්‍ය හරහා ලොකු පණිවිඩයක් සමාජ ගත කළා පිරිමි ගැහැනු භේදයකින් තොරව අපි කටයුතු කළ යුතුයි කියලා මේ පණිවිඩය නිසාමත් මිනිස්සු මේ නාට්‍ය බලන්න පැමිණියා.

පිරිමියෙක්ගේ පැමිණිල්ලක් හැරුණු කොට ඔබ තව දායක වූ වේදිකා නිර්මාණ නැද්ද?

දමයන්ති ෆොන්සේකාගේ ගාස්තුව කීයද, චම්පා බුද්ධිපාල ගේ ආශාවේ වීදිරිය නාට්‍යවල රඟපෑවා. මෑතකදී නම් වේදිකා නාට්‍ය නිර්මාණයක් භාරගත්තේ නෑ. කාලවේලා අපහසුතා නිසාවෙන් ලොකු කැපකිරීමක් කරන්න මේ දවස්වල අලුත් වේදිකා නිර්මාණයකට හිත යෙදෙව්වේ නෑ.

රංගනයට දක්ෂ නර්තනයට දක්ෂ ඩිනක්ෂි ගායනයට රැචිකත්වයක් නැද්ද?

ගායනයට මම වැඩි රැචිකත්වකයක් දක්වන්නේ නෑ. නමුත් නර්තනයට ආසයි. ගායනයට වැඩිය නර්තනයට මගේ පොඩි හැකියාවක් තියනවා. ඉඳල හිටලා ප්‍රෝග්‍රෑම් එකකට ෂෝ එකකට ගියහම ගායනයත් කරනවා.

සිනමාවේ ජනපි‍්‍රය තරුවක් වෙමින් බබලන ඔබ තුළින් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන්නේ මොනවගේ චරිත නිරූපණයක් කියල ද ඔබට හැඟෙන්නේ?

පසුගිය කාලයේ මගේ විවිධ චරිත රංගනයන් කීපයක් ආවා. එක වහලක් යට කියලා මම මිනි සීරියස් එකක් කළා. ඒකේ මම ප්‍රේක්ෂකයෝ හිතපු නැති මට්ටමේ චරිතයක් ලැබුණා. ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. විසල් ආදරේ තුළ වුණත් මම යුත් ෆුල් චරිතයක් කරන්නේ. පෙම්වතියක් ලෙසින්ම මාව පේ‍්‍රක්ෂකයෝ දකින්න බලාපොරොත්තුවක් නෑ කියලයි මට හැඟෙන්නේ.

රංගනයේදී ඔබ පිපාසයෙන් සිටි චරිත මේ වනකොට ලැබිල තියනවද?

මට විශේෂ වූ චරිත තවම නෑ. ලැබෙන උපරීම අවස්ථාවේ දී මට ලැබෙන චරිතයට මම රංගනයෙන් උපරීම දායකත්වය එක් කරනවා. කවුරුන් හෝ චරිතයක් මට ඔෆර් කළොත් ඒකට කැපවෙලා ඒ දේ කරන්න තමයි මම උත්සාහ කරන්නේ.

ඔබ තුළ හීන තියනවාද මේ රටේ අහවල් අධ්‍යක්ෂකගේ නිර්මාණ වෙත දායක වෙන්න තිබුණා නම් කියලා?

එහෙම අය නැතුවා නොවෙයි. ගොඩක් ඉන්නවා නම් වශයෙන් කියන්න අමාරුයි. දැනට අපි පිළිගත්ත හොඳ අධ්‍යක්ෂවරු කියන අයගේ නිර්මාණ වලට දායක වෙන්න කැමතියි. ඒත් ඕනෙම රංග ශිල්පියෙක්ගේ හීනයක් එහෙම ආරාධනා ලැබුණොත් මම සතුටින් බාරගන්නවා.

ප්‍රවීණ හා නවක නිර්මාණකරුවන් කියා ඔබ රංගනයේදී යම් නිර්මාණයක් බාරගන්න දෙවරක් හිතනවද?

නෑ. දැනට මම වැඩකරල තියන ගොඩක් නිර්මාණකරුවෝ අලුත් අය. සමහරවිට ඔවුන්ගේ පළමු නිර්මාණය. මම ක්ෂේත්‍රයට එනකොට මම නවකයෙක්. ඒ වෙලාවේ මාව කවුරුවත් වැඩකට ගත්තේ නැත්නම් මම අද මෙතන නෑ. ඉතිං මම ඒ දේ හිතලා අලුතින් එන කෙනෙක්ට සහයෝගයක් ලෙස ගොඩක් වැඩ කරල තියනවා. අලුත් ද පරණ ද කියල නෑ. තමන් කරන වැඩේ ගැන කොතරම් යාවත්කාලීන වෙලා ද කියන එකයි වැදගත්. අපි අප්ඩේට් වෙන්නැතුව කොපමණ වැඩ කළත් වැඩක් නෑ.

කාලෙකදී නිර්ිමාණ ගලාගෙන එනවා. තවත් කාලෙක එවැනි තත්ත්වයක් බැහැර වෙනවා. මේ තත්ත්වය ඔබ බැලන්ස් කරගන්න උත්සාහ ගත්තේ කොයි ආකාරයෙන් ද?

කන්දක් නැග්ගට පස්සේ පල්ලමකුත් තියනවා. ඒවගේ තමයි ස්ටාර් කෙනෙක්ගේත් තත්ත්වය. ඉතිං අපි දැනගන්න ඕනේ අවබෝධයෙන් ප්‍රේක්ෂකයාට එපා නොවී ඔවුන් සමඟ සුහදත්වයෙන් මේ ගමන යන්න.

ස්ටාර්ට පල්ලමකුත් තියනවා කියල දන්නම නිසාම ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්න තැනැත්තියක් ද ඔබ?

තියන කාලවේලාව තුළ හැමදෙයක්ම ලැබුණට භාරගන්න බෑ. එතකොට එකක්වත් හරියට කරන්න බෑ. ලැබෙන හොඳ නිර්ිමාණයකට අවස්ථාව දීලා තන්හාව තිබුණට තව තවත් භාරගෙන හරියට කරගන්න බැරි වුණොත් පැවැත්මක් නෑ. එක නිර්මාණයකට ඉලක්ක කරල ඒක ඉවර කරල තමයි තව එකකට යන්න මගේ කැමැත්ත.

පුංචි තිරයෙන් ඩිනක්ෂි මේ වෙනකොට බැහැර වෙලා ද?

මේ වෙනකොට මම රඟ පෑ ටෙලි නාට්‍ය විකාශය වෙලා අවසන්. අලුත් නිර්මාණයකට දායක වෙලා ඉන්නවා හසුන් සමීර අධ්‍යක්ෂණය කරන අලුත් ටෙලි නාට්‍යයක. ඊට අමතරව අනුෂ්ක රසාංජනගේ කෙයා කියලා අලුත් ටෙලි නාට්‍යයකත් මම මේ දවස්වල රඟපාමින් ඉන්නවා.

මෙගා රැල්ලේ නිර්මාණවලට ද ඔබ කැමැති?

නෑ. ටික දවසක් මෙවැනි දේක රඟපෑම තුළ එපාවීමක් දැනෙනවා. නමුත් දැන් හැදෙන ටෙලි නාට්‍ය කොටස් සීය දක්වා යනවා. කොටස් සීයක් වගේ නම් භාර ගන්නවා ඊටත් අඩුනම් තවත් හොඳයි. නිර්මාණයක් හොඳ වටිනාකමකින් ගුණාත්මකභාවයකින් කරනවා නම් කොටස් දෙසීයක් වුණත් කමක් නෑ. නිර්මාණයේ කොටස් ගණන වැඩිවීම නොවෙයි ප්‍රශ්නය නිර්මාණය ඇතුළේ තියන කතාව මුළු කොටස් ගණන පුරා පැතිරී තියනවාද කියන එකයි වටින්නේ.

ස්ක්‍රිප්ට් එකක් නැතුව රඟපාන කට වචනයෙන් කියන දේ අහල රඟපාන තැනක නේද අද බොහෝ ටෙලි නිර්මාණ හැදෙන්නේ?

මම වැඩ කළ හුඟාක් නිර්මාණවලදී මට ස්ක්‍රිප්ට් එක හම්බවෙලා තියෙනවා කලින්. කොටස් සීය ගියත් දෙසීය ගියත් මුල් කොටස් විසිපහේ ස්ක්‍රිප්ට් එක මට හම්බවෙලා තියෙනවා. නමුත් වැඩේ පටන්ගත්තට පස්සේ ෂෙඩුල් එක්ක වැඩකරනකොට ඒ කාලෙට ස්ක්‍රිප්ට් එක මගේ අතට පත්වෙලා තියෙනවා.

ස්කි‍්‍රප් එක කියවල රඟපානම නිළියක් ඔබ?

මම සමඟ වැඩ කළ කොයි අධ්‍යක්ෂවරුත් මට ස්කි‍්‍රප්ට් එක දුන්නා. සමහරවිට මම ඒ දේ පුන පුනා කියන නිසාද දන්නෑ එහෙම ටීම් එකක් එක්ක තමයි මම මෙතෙක් වැඩ කරල තියෙන්නේ.

බිරිය වගේම සැමියත් රංගනයේ නියැළීම තුළ කොහොමද ඔබ ගෙදර ජීවිතය සමබර කරගන්නේ?

අමාරුයි තමයි බබත් එක්ක. ඒත් අම්මාගේ තාත්තාගේ සහය ගෙදර සමබරතාවයට ගොඩක් හයියක්. ඒ අයගේ උදවුව නිසා සාරංගත් මමත් බොහොම සැහැල්ලුවෙන් කලා කටයුතු වල යෙදිල ඉන්නවා. අම්ම තාත්තා වුණත් කැමැතියි අපි දෙන්නා මේ වගේ ගමනක් යනවට. ඒ නිසාම ඒ අය අපි දෙන්න වෙනුවෙන් ඒ අයගේ ජීවිත කැපකරලා තවමත් අපේ වැඩවලට මුල් තැන දෙනවා.

මේ වන විට චිත්‍රපට කොපමණ ප්‍රමාණයක රඟපාල ඇතිද?

මම මුලින්ම සිනමාට එන්නේ තාත්තාගේ දිනේෂ් පි‍්‍රයසාද්ගේ අපායේ තත්පර අසූහාරදහා චිත්‍රපටයේ රංගනයත් එක්ක. ඒ 1992 වසරේ එදා මෙදා තුර සිනමා නිර්මාණ විස්සක් විතර ඇති මම රඟපාපුවා.

ඒ චිත්‍රපට නිර්මාණ විස්ස අතරින් ඔබට රංගනයේ අභියෝගයක් වුණේ මොන සිනමා නිර්මාණද?

මේ වගේ ආදරයක්. මේ චිත්‍රපටය තමයි මට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ලැබුණු මුල්ම නිර්මාණය. ඊට පස්සේ විසල් ආදරය චිත්‍රපටය තේජා ඉද්දමල්ගොඩගේ දැනට නමක් දමා නැති චිත්‍රපටයත් මට අභියෝගාත්මක වුණා.

සිනමා නිර්මාණකරුවකු විධියට ඔබේ පියා අද දියණියන් තිදෙනාගේ දක්ෂතා පිළිබඳ ආපසු හැරිල බලන කොට මොනවගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ?

තාත්තා තමයි අපි මේ ක්ෂේත්‍රයේ ඉන්නවාට වැඩියෙන්ම සතුටු වන පුද්ගලයා. තාත්තා ආදරය කරපු ක්ෂේත්‍රයක්. ඒ සඳහා අපිව යොමු කරන්න තාත්තා ගොඩක් උත්සාහ කළා. අද අපි ඉන්න තැන දැකලා තාත්තා ගොඩක් සතුටු වෙනවා.

ඩිනක්ෂි කුඩා අවධියේ පටන් නිළියක් වෙන්න සිහින මැව්වද?

කොහෙත්ම නෑ. අධ්‍යාපනය ලබමින් තමයි මම හිටියේ. මම නිළියක් වුණේ අහම්බෙන්. මගේ නංගිට ටෙලි නාට්‍යයක ලැබුණු චරිතයකට ඇය බෑ කිව්ව නිසා තමයි මට මේ චරිතය ලැබෙන්නේ. 2009 වසරේ තමයි මට ටෙලි නාට්‍ය රංගනයට එන්නේ වස්සානයේ සිහිනය ටෙලි නාට්‍යය තමයි මගේ මුල්ම ටෙලි නාට්‍ය රංගනය. මෙහි මගේ නංගි ශේෂාද්‍රි රඟපාන්න බැහැ කිව්ව නිසා ඒ චරිතය මට ඔෆර් කළා. දෙරණ නාළිකාවේ තමයි එය විකාශය වුණේ.

නංගි බෑ කිව්වා අක්කා හා කිව්වා?

නංගි ශේෂාද්‍රි ටෙලි නාට්‍යය වල රඟපාන්න කැමැති නෑ. එයා කැමති චිත්‍රපටවල රඟපාන්න. ඒක නිසා නංගි බෑ කිව්වා. මම හා කිව්වා.

 

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT