නිවස සංවාද ‘ජීවිත මහ පොත’ ට කවුරුත් එකතු වුණේ සල්ලි ගැනවත් හිතන්නේ නැතිවයි

‘ජීවිත මහ පොත’ ට කවුරුත් එකතු වුණේ සල්ලි ගැනවත් හිතන්නේ නැතිවයි

-රංගන ශිල්පිනී නයනි මහේෂිකා -ඇඳුම් නිර්මාණ ශිල්පී සිසිර අමරබන්දු

by Thanushika
May 16, 2024 12:30 am 0 comment

කලක් මෙරට ජනප්‍රියතම නිළියක ලෙස පුංචිතිරයේ, සිනමාවේ වැජඹුණු නයනි මහේෂිකා පසුගිය සමයේ නිහඬව සිටියාය. ඇගේ සැමියා වන ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පී සිසිර අමරබන්දු ද ඇඳුම් නිර්මාණකරණයේ යෙදී සිටියි. නයනිගේ නිහැඬියාව පිළිබඳවත් සිය සැමියාගේ ඇඳුම් නිර්මාණකරණය පිළිබඳවත් කතා කිරීමේ අරමුණින් එම යුවළ සරසවිය හා මෙසේ එක්වූහ.

නයනි මහේෂිකා මෙසේ සිය අදහස් දැක්වූවාය.

එක්තරා කලෙක ඔබ ජනප්‍රියත්වයේ ඉහළින්ම සිටි රංගන ශිල්පිනියක්. පසුගිය සමයේ නිහඬව සිටීමට හේතුව මොකද්ද …..?

එහෙම විශේෂ හේතුවක් නැහැ . 1998, 1999 වගේ මම රංගනයට පිවිසියේ. එහෙම ඇවිත් ටෙලිනාට්‍ය , වෙළෙඳ දැන්වීම්, චිත්‍රපටවලට දායක වුණා. 2000දී මගේ විවාහය සිදුවුණාට පස්සේ යම් කාලයක් රංගනයෙන් ඉවත්වුණා. අපේ ව්‍යාපාරවල සහ පුතාලා දෙන්නාගේ වැඩත් එක්ක කාර්යබහුල වීම නිසා කලා නිර්මාණවලට දායකවීමට නොහැකි වුණා. 2006දී අපි “අරුංගල්”ටෙලිනාට්‍යය නිෂ්පාදනය කළා.. එහි සාමාන්‍ය චරිතයක් මම රඟපෑවා. පසුකාලීනව ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ වෙනස්කම් එක්ක මෙගා ටෙලිවලට මට කතා කළා.ඒවාට සම්බන්ධ වෙන්න මම අකැමැති නිසා ඒ නිර්මාණවලට දායකවුණේ නැහැ. එවැනි හේතු නිසා මම රංගනයේ නිහඬ කාලයක් ගතකළා.

ඔබේ රංගන දිවියේ ආරම්භය සිදුවුණේ කෙසේද….?

1988-89 කාලයේ සරසවිපායේ තිබූ කුලසිරි බුදවත්ත මහතාගේ නැටුම් පන්තිවලට සහභාගි වුණා. එතැනදී වෙළෙඳ දැන්වීම් සඳහා බොහෝ අය තෝරාගැනීමට පිරිසක් එතැනට ආවා. වෙළෙඳ දැන්වීමකට දායකත්වය ලබාදෙන්න මටත් එහිදී අවස්ථාව ලැබුණා. ඉන්පසු තිර පරීක්ෂණවලට, පුවත්පත් මුල් කවරවලට කතා කළා. එයින් තමයි අධ්‍යක්ෂවරුන් මාව දැනගත්තේ. එතැනින් රංගනයේ ආරම්භය සිදුවුණා..කුලසිරි බුදවත්ත මහතාට ස්තුතිවන්ත වෙනවා ඔහුගේ පන්ති නිසානේ මට රංගනයට අවස්ථාව ලැබුණේ.

කැමරාවක් ඉදිරියේ ඔබේ පළමු අත්දැකීම සිහිකළොත් …..?

කලින් කිව්වා වගේ නැටුම් පන්ති යන අතරේ තිර පරීක්ෂණ (Screen Test)  වලට එක්වෙන්න ලැබුණා..සරසවිය පුවත්පතේ හිටපු කර්තෘ අරුණ ගුණරත්න මහතා මාව දැකලා ඔහුගේ “සූර්ය විංසති” ටෙලි ෆිල්ම් එකේ සුළු කොටසක රඟපෑමට කතා කළා. ඒකතමයි රංගනයේදී කැමරාවකට මුහුණදුන් ප්‍රථම අවස්ථාව . ඔහු නිසා තමයි පළමුව කැමරාවකට මුහුණදුන්නේ.

පාසල් අවධියේත් කලා කටයුතුවල නිරතවුණාද…..?

පාසල් කාලයේ යම් යම් නිර්මාණවලට දායකවුණා . සමස්ත ලංකා තරගවලට එහෙම ගියා. අපේ පල්ලියේ විවිධ නාට්‍ය තරග තිබුණා . ඒවාටත් සහභාගි වුණා .විවිධ ප්‍රසංගවලටත් යොමුවුණා

සිනමාව තුළ ඔබේ භූමිකාව පැහැදිලි කළොත් …..?

සිනමාවේදී චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණත් මට ගැළපෙන චරිත ඒවාගේ නොවුණු නිසාත් අත්දැකීම් නොතිබුණු නිසාත් ඒවාට සහභාගි වුණේ නැහැ. වසන්ත ඔබේසේකර මහතාගේ “සලෙලු වරම” චිත්‍රපටයට දායක වුණා. එය මගේ පළමු සහ අවසාන චිත්‍රපටය.

1990 දශකයේ බිහිවූ විශිෂ්ට ටෙලිනාට්‍ය සහ අද බිහිවන මෙගාරැල්ලේ ටෙලිනාට්‍ය අතර වෙනස ඔබ දකින්නේ කෙසේද …..?

ඉතාම පැහැදිලි වෙනසක් මේ අතර මම දකිනවා. 90 දශකයේ ටෙලිනාට්‍යවල සමාජයට යම් පණිවිඩයක් ගැබ්ව තිබුණා. සංස්කෘතිකමය වශයෙන් ඉතාමත් හොඳ තැනක ඒ ටෙලිනාට්‍ය තිබුණා. ඒවායේ හොඳ බරකුත් තිබුණා .දැන් බිහිවන ටෙලිනාට්‍යවල ඒ කිසිදෙයක් නැහැ. දරුවන් සමඟ නරඹන්නට සුදුසු දෙබස් නෙවෙයි දැන් ටෙලිනාට්‍යවල තියෙන්නේ . ඒවා ව්‍යාපාරික මට්ටමින් කරන ටෙලිනාට්‍ය වෙන්න ඕන. මේවායේ ගතයුත්තක් ඇත්තෙම නැහැ .සමාජයට පණිවිඩයක් , රසවින්දනයක් ලැබෙන කිසිවක් මේ ටෙලිනාට්‍යවල නැහැ. අනික මේ ටෙලිනාට්‍යවල මුල, මැද, අග කිසි සම්බන්ධයකුත් නැහැ .ගුණාත්මක බවින් පිරිහුණු ටෙලිනාට්‍ය කලාවක් අද තිබෙන්නේ. ඒ අතර හොඳ නිර්මාණත් අතරින් පතර බිහිවෙනවා. ඒවා මෙගා රැල්ලට ගිය ඒවා නෙවෙයි.

ඔබ වේදිකාවට ගොඩවූයේ නැද්ද……?

ආරාධනා ලැබුණට වේදිකා නාට්‍යවලට සහභාගි වුණේ නැහැ. පාසල්, දහම් පාසල් යන කාලයේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා ජයග්‍රහණත් ලබාගෙන තිබෙනවා. කාලය පිළිබඳ ප්‍රශ්නය නිසා පුහුණුවීම්වලට යෑමට වේලාවක් නැහැ .ඒ හේතුවෙන් වේදිකා නාට්‍ය භාරගත්තේ නැහැ

මෙරට රංගන විෂයය හැදෑරීමට තිබෙන රංගන පාසල් , පාඨමාලා පිළිබඳ සෑහීමකට පත්වෙන්න පුළුවන් ද…..?

මම එවැනි පාඨමාලාවලට සහභාගී වී නැති නිසා ඒ ගැන හරිම අදහසක් දෙන්න බැහැ. රංගනය කියන්නේත් එක් විෂයක්, ක්ෂේත්‍රයක්නේ. වෛද්‍ය වෘත්තිය වගේම මේකත් වෘත්තියක්.ඒ නිසා රංගනය පිළිබඳ යම් හැදෑරීමක් අපට තිබිය යුතුයි.අලුතින් ක්ෂේත්‍රයට එන අයටත් මම කියන්නේ රංගනය නමැති විෂයය හොඳීන් හදාරන්න කියලයි..මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න නම් යම් හැදෑරීමක් අනිවාර්යයෙන් තිබිය යුතුයි

අද වෙද්දී ඔබ ව්‍යාපාරික අංශයට යොමුවී සිටිනවා නේද.? ඒ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළොත් …..?

“ක්ලැසික් පින්තාරු” නමින් අපේ ආයතනයක් තිබෙනවා. ඒ ආයතනයෙන් සිදුකරන්නේ මනාලියන්ගේ ඇඳුම් නිර්මාණයයි. ඒ ව්‍යාපාරයේ මමයි මගේ සැමියා වන සිසිරයි යෙදී ඉන්නවා. සිසිර තමයි එහි ඩිසයින් පාර්ට් එක කරන්නේ. ආයතනයේ අනෙකුත් සේවාවන් ගැන මම සොයා බලනවා…

නැවත රංගනයට යොමුවීමේ අදහසක් නැද්ද…..?

ඔව්, රංගනයට යොමුවීමේ අදහසක් තිබෙනවා. රංගනය කියන්නේ මම කැමැතිම ක්ෂේත්‍රයක්..මම නියැළී සිටින කාර්යයන් සහ මගේ වයස අනුව මට ගැළපෙන චරිත ලැබුණොත් රඟපානවා.

මෝස්තර නිරූපණ ශිල්පය තුළ ඔබේ වපසරිය කොතරම්දැයි විස්තර කළොත් …..?

මම ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ මෝස්තර නිරූපණ ශිල්පයට දායකත්වය ලබාදුන්නා. පැෂන් ෂෝවලට සහභාගී වුණා. හැරිස් විජේසිංහ මහතාගේ මනාලියන් මෝස්තර නිරූපණයට දායකත්වය ලබාදුන්නා. මෝස්තර නිරූපණයේදී විවිධ දෑ සඳහා මගේ දායකත්වය ලබාදුන්නා.

කලාව තුළ මේ තාක් ආ ගමන්මඟේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති..? රඟපෑ චරිතවලින් වඩාත් කැමැත්තක් දක්වන චරිතයක් හෝ නිර්මාණයක් වේද…..?

අමතක නොවන සිදුවීම් ගොඩාක් තිබෙනවා. කලාව තුළ ආ ගමන්මගේ සියලුම දේ මට මතකයි. කිසිවක් අමතක වෙන්නේ නැහැ. මම රඟපෑ චරිතත් හොඳට මතකයි. ඒවා මට ජීවිතයේ හොඳ අත්දැකීම් වුණා. හර්බට් රංජිත් පීරිස් මහතාගේ “හිරු තනිවෙලා” ටෙලිනාට්‍යයේ මම රඟපෑ “ඉන්දීවරී අමිත්‍රචාපා බුලන්කුලම” චරිතය මම ඉතා ආසාවෙන් රඟපෑ චරිතයක් . “දාමිණී” ටෙලිනාට්‍යය සහ සුදත් රෝහණගේ “අඹු දරුවෝ” ටෙලිනාට්‍යයේ චරිතවලටත් කැමැත්තක් තියෙනවා

ලේඛන කලාවට යොමුවූයේ නැද්ද …..?

ලේඛන කලාවට යොමුවූයේ නැහැ. ඒත් මට ලියන්න පුළුවන්. ලේඛන කලාවට සුදුසු මානසිකත්වයක් අවශ්‍යයි. මම සිටින ව්‍යාපාරික ක්ෂේත්‍රයත් එක්ක ලේඛනයට යොමුවෙන්න අපහසුයි.

ඔබේ පවුල් ජීවිතය පිළිබඳ කීවොත් සහ පවුලේ අයගෙන් ඔබේ ගමනට ලැබෙන සහය මොනවගේද …..?

දැනට කලා ක්ෂේත්‍රයට කිසිම දායකත්වයක් මම දෙන්නේ නැහැ. ඒත් ව්‍යාපාරික පැත්තෙන් දායකත්වයක් දී තිබෙනවා. මගේ ගමනට පවුලේ අය දෙන සහයට වඩා මම ඔවුන්ගේ ගමනට දක්වන සහය වැඩියි. දරුවන්ගේ අධ්‍යාපනයට, සිසිරගේ ව්‍යාපාරයට දක්වන මගේ සහය ඉහළින්ම තිබෙනවා

නයනි මහේෂිකාගේ සැමියා වූ ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පී සිසිර අමරබන්දු සරසවිය හා මෙසේ එක්විය …

ඔබ වෘත්තියමය වශයෙන් ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් ලෙස නමක් දිනාගෙන සිටිනවා. “සිසිර අමරබන්දු” නමැති ඇඳුම් නිර්මාණ ශිල්පියාගේ භූමිකාව පැහැදිලි කළොත් …..?

වර්තමානයේ අපේ “ක්ලැසික් පින්තාරු” ආයතනයේ මම කරන්නේ මංගල ඇඳුම් නිර්මාණය සහ මංගල උත්සව සැලසුම් කිරීම. එය අපි ඇඳුම්වල සිටම කරන ප්‍රධානම දෙයක්. ඊට අමතරව පෞරුෂ කේන්ද්‍රීයය ඇඳුම් නිර්මාණයත් (Personality Dress Cording)  සිදු කරනවා. එහිදී මම ඉස්සර සිටම ප්‍රකට කලාකරුවන්ගේ, (අමරදේව, වික්ටර් රත්නායක, අමරසිරි පීරිස්, මාලිනී ෆොන්සේකා, ජයලත් මනෝරත්න වැනි) දේශපාලනඥයන්ගේ, ජනපති ආර්යාවන්ගේ ඇඳුම් නිර්මාණය කර තිබෙනවා. පෞද්ගලිකවත් ඒ චරිත ගැන අපේ සිතට එන දේ අනුව ඔවුන්ගේ පෞද්ගලික ගමන්වලට සුදුසු ඇඳුමුත් නිර්මාණය කර තිබෙනවා. ලංකාවෙන් මොවුන් පිටරටකට යද්දී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාව ඉස්මතු වන ලෙස ඇඳුම් නිර්මාණය කරනවා.

ඔබේ ව්‍යාපාරික ආයතනයේ ආරම්භය සිදුවූයේ කෙසේද…?

1998, 1999 වගේ අපේ “ක්ලැසික් පින්තාරු” ආයතනය ආරම්භ කරන්නේ. ඒ කාලයේ මේවා ලංකාවට ගෙන්වූයේ කවුද කියා මම සොයාබැලුවා. එහිදී දැනගන්නට ලැබුණා ඒ කිරිබත්ගොඩ ඔල්ගා ස්ටුඩියෝ එක කියලා. එහි රංජිත් ද සිල්වා තමයි මේ ප්ලේන්ටින් ගෙන්වන්නේ. අමෙරිකන් ප්ලේන්ටින් තමයි ඒ කාලයේ හොඳ කොලිටියට තිබ්බේ. එතැනට ගිහින් බලද්දී එතැන තිබ්බේ බටහිර අදහස්. ඒ ඒ රටවලට ගැළපෙන ඒ නිෂ්පාදන. ඒවා හරිම කොලිටියි. අපි ඒ ඇඳුම් ලංකාවට උචිත විදිහට අත්හදා බලමින් ඇඳුම් නිර්මාණය කළා. ඒ දවස්වල නුගේගොඩ අපේ ෂොප් එකක් තිබ්බා ව්ඥයබ කියලා. ප්ලේන්ටින් වැඩකරද්දී බොහෝ අය එය හදාරන්න ගත්තා..අපෙන් ඒ පිළිබඳ බොහෝ අය ඉගෙනගත්තා. ජාතික රූපවාහිනියේ , සිරසේ, ස්වර්ණවාහිනියේ මම ඇඳුම් නිර්මාණකරණය පිළිබඳ වැඩසටහන් එහෙමත් කළා. “ෆැබ්රික් ප්ලේන්ටින්” කලාව ගැනළ

මෙරට ප්‍රමුඛපෙළෙ කලාකරුවන්ට සහ දේශපාලනඥයන්ට ඔබේ සේවය ලබාදී තිබෙනවා ….ඒ පිළිබඳ මතකාවර්ජනය කළොත්…..?

ඔව්, අමරදේවයන්ට, වික්ටර් රත්නායකට, අමරසිරි පීරිස්ට, මාලිනී ෆොන්සේකාට, ජයලත් මනෝරත්නයන්ට වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියට, ශිරන්ති රාජපක්ෂ ජනපති ආර්යාවට වගේම අනුර කුමාර දිසානායක මහතාටත් ඇඳුම් නිර්මාණය කළා. පෞරුෂ කේන්ද්‍රීය ඇඳුම් නිර්මාණයයි මම කරන්නේ. ඒක මගේ තාත්තාගෙන් ඉගෙනගත්තේ.

රූප රචනා සහ රූපවාහිනී වැඩසටහන් සඳහා ද ඔබ ඇඳුම් නිර්මාණකරණයේ යෙදෙනවා. ඒ ගැන කීවොත් ……?

සිරසේ මුල් කාලයේ විකාශය වූ “අහන්න ආසයි ගයන්න”වැඩසටහනට, “තුරුණු ශක්ති” වැඩසටහනට ඇඳුම් නිර්මාණය කළා ..”ෆැන්ටසි ඇවනිව්” ටෙලියට, “විජය කුවේණි” චිත්‍රපටයට, ‘”විජයබා කොල්ලය” චිත්‍රපටයට වගේම ස්වර්ණවාහිනියේ “සහශ්‍රය” වැඩසටහනටත් මගේ දායකත්වය ලබාදුන්නා.. “විජය කුවේණි “අපි මුහුදේ නැවක් එහෙම නිර්මාණය කර ඉතාම මහන්සි වෙලා කළ වැඩක්.

මෙරට ඇඳුම් නිර්මාණකරණයේ ප්‍රමිතිය ඔබ දකින්නේ කෙසේද ….? එහි ඔබේ මිනුම්දඬු කවරාකාර ද …..?

ඇඳුම් නිර්මාණකරණයේ ප්‍රමිතිය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. අද වෙළෙඳපොළේ එක් එක් ප්‍රමිතීන්ට ඇඳුම් තිබෙනවා. මම පෞද්ගලිකව කැමැතියි අද තාක්ෂණයම පාවිච්චි කරලා අඳීන ඇඳුමක් අඳීන්න. ‘”වොෂ් ගාමන්ට්” කියන්නේ ඒකටයි. එවැනි ඇඳුම් තමයි නිර්මාණය විය යුත්තේ..බතික් ලස්සනට කළාට එහි මහන පාර්ට් එක අත හැරුණොත් එය සාර්ථක ඇඳුමක් නෙවෙයි. ගාමන්ට් ක්ෂේත්‍රය ගත්තොත් සියල්ල විදේශයෙන්නේ එවන්නේ.ලංකාවේ ක්‍රමය පමණයි ලබාගන්නේ. ඇඳුමේ සියලුම තාක්ෂණික පැත්ත අන්තර්ජාතික ප්‍රමිතියට යටත්වයි සිදුකරන්නේ. අපේ ඇඳුම් නිර්මාණයේදී මේ දේවල් ගළපවාගන්න ඕනේ. නැත්නම් අද ලොව පවතින ප්‍රමිතීන්ට අපේ ඇඳුම් සමකරගන්න අපහසුයි. එය ඉතා වගකීමෙන් විසඳාගත යුතු ප්‍රශ්නයක්

මෙරට ඇඳුම් නිර්මාණකරණය අන්තර්ජාතික මට්ටමේ තිබෙන ස්ථානය පිළිබඳ ඔබේ දෘෂ්ටිය කවරාකාර ද….?

මෙය ප්‍රධානතම හොඳ ප්‍රශ්නයක්.. මමළඟදී ඉන්දියාවේ ප්‍රකට ඇඳුම් නිර්මාණ ශිල්පියකුගේ ස්ටුඩියෝවකට ගියා. එතැන කාජල් වැනි නිළියකගේ ඇඳුමක් කරනවා.එය ලක්ෂ 20ක 30ක පමණ ඇඳුමක්. මෙය ඉන්දියානු සිනමාව හරහා ජනතාවට පෙන්වනවා. ඒ පිටුපස ඉන්දියාවේ දැවැන්ත කර්මාන්තයක් තිබෙනවා. අපේ රටේ පුරුදුවී සිටින්නේ එක් එක් රටවලින් කොටස් අරගෙන ඇඳුම් නිර්මාණය කරන්නනේ. ඉන්දියාවේ ඇඳුම්වල සෑම කොටසක්ම නිර්මාණය වෙන්නේ ඉන්දියාවේ. මෑතකාලයේ අපි මිස් වර්ල්ඩ්, මිසිස් වර්ල්ඩ් ඇඳුමක් ලංකාවේ ලක්ෂ 05ට කරද්දී ලක්ෂ 50කට ලන්ඩනයේ ඇඳුමක් නිර්මාණය කළා. අපට එතැනදී එහෙම වෙළෙඳපොළක් නිර්මාණය වෙලා නැහැ .අපේ මුතුන් මිත්තන් ඉතිරි කළ දැවැන්ත නිර්මාණ රටා තිබෙනවා. අපි ඒවාට පණදීලා ඒවා අන්තර්ජාතික මට්ටමට ගෙනඒමයි කළයුත්තේ.

“ක්ලැසික් පින්තාරු” ආයතනය විදෙස් රටවල් සමඟ පවතින සබඳතාව කුමනාකාර ද…..?

ලංකාවේ බහුතරයක් අද විදෙස්ගත වෙලා.ඔවුන්ට ඇඳුම් අවශ්‍යයි. චොයිස් එකක් තියෙන අය වෙනත් රටක සිටියත් ඔවුන්ගේ මුල් තියෙන්නේ මෙහේ…අපේ ආයතනයෙන් වැඩියෙන්ම කෙරෙන්නේ මේ දිනවල විදේශයන්ට ඇඳුම් නිර්මාණය කර යැවීමයි.ඉදිරි කාලයේදී යම් රටක අපේ නිර්මාණ දක්නට ලැබේවි. මේදිනවල එහි කටයුතු සිදුකරගෙන යනවා. අපේ ශාඛාවක් විදෙස් රටක පවත්වාගෙන යාමටත් සැලසුම් සකස් කරමින් ඉන්නේ.

කලාකාමී සිතක් ඇති ඔබ ගායකයකු ද වෙනවා. “සිසිර අමරබන්දු ” නම් ගායන ශිල්පියාගේ උපත සිදුවන්නේ කෙසේද …….?

මම සංගීතය හැදෑරුවා. අමරසිරි පීරිස් , නලින් අල්විස් යන අය මගේ ගුරුවරුන් වෙනවා. මම වොයිස් ට්‍රේනින් (Voice Traning)  එහෙමත් කළා. නිරෝෂා විරාජිනී සමඟ ඩුවට් එකක් කළා. ඇගේ “සීගිරි ගීයක්”‘ නමැති සීඩී එකේ “මල්නටුවේ කටු” ගීතයට මම යුග ගායනයෙන් එක්වුණා . ලක්ෂ්මන් වීරසිංහ නමැති මගේ හිතවතෙක් එය ලිව්වේ. සංගීත් වික්‍රමසිංහ සංගීත අධ්‍යක්ෂණය කළා. එය විටෙන්විට මාධ්‍යයෙන් ප්‍රචාරය වෙනවා. 2000වසරේ මුල ස්වර්ණවාහිනියේ “ආයුබෝවන් ශ්‍රීලංකා” නමින් ගීතයක් කළා. එය මමයි ඉන්දිකා උපමාලියි ගායනා කළේ…එය රෑ 12ට විකාශය වුණේ. මෑතකාලයේ ගීත රැසක්ම කළා. ඒවගේ වැඩකටයුතු තවම අවසන් නැහැ. ලතා වල්පොල ඇන්ටිත් නිතරම මට බණිනවා “හඬක් තියාගෙන නිර්මාණයක් කරන්නේ නැහැනේ ” කියලා.

ඉකුත්දා එළිදැක්වූ “ජීවිත මහ පොත” ගැන සඳහන් කරනවානම්….?

ඔව්. ශානි අංජලිකා නමැති මගේ හිතවතියකගේ අදහසකට අනුවයි “ජීවිත මහ පොත” ගීතය කළේ. එය ඇගේ පෞද්ගලික අත්දැකීමක්. ශානි විශාල කැපකිරීමක් මේ වෙනුවෙන් කළා. එහි රූප රචනයත් ශානිමයි කළේ. එය රචනා කළේ නිලාර් එන්. කාසිම්. මහින්ද බණ්ඩාර සංගීත අධ්‍යක්ෂණය කළේ. එහි යුග ගායනයට ධම්මිකා වල්පොල එක්වුණා. මේ ගීතයට මගේ හිතවතුන් උදව් කළා. ප්‍රියන්ත මලවිගේත් මෙයට උදව් කළා. මේ කවුරුත් තමන් සිටින ස්ථානය ගැන පවා නොසිතා සාමූහිකව එකමුතුව “ජීවිත මහ පොත”ට දායකත්වය දුන්නා. මුදල් ගැන එහිදී කවුරුත් සිතුවේ නැහැ. මහින්ද බණ්ඩාරගේ යූ ටියුබ් චැනලයේ තමයි මෙය එළිදැක්වුවේ.

ඔබේ ගීත අතරින් වඩාත්ම කැමැත්තක් දක්වන ගීතයක් තිබේද……?

මෑතක කළා ඩෙනිම් පිළිබඳ ගීතයක්..එය සික්ස් එයිට් එකක්. හැඟීම්බර ගීතයක් නෙවෙයි. එහෙත් එය මගේ ජිවිතයට සම්බන්ධයි කියා සිතනවා. එය ෆැෂන් (Fashion)  ගැන කියවෙන්නක්. ගීතය ලිව්වේ චන්ද්‍රදාස ප්‍රනාන්දු මහතා. මහින්ද බණ්ඩාරයන් සංගීතවත් කළා. ඔහුත් මෙහි ගායනයට දායක වුණා. ඒවගේම “පැංචියේ” ගීතයටත් මම කැමැතියි. එය දේශපාලනය තවරලා කළ ගීතයක්. නදීක ගුරුගේ ඒක කළේ. චාමින්ද රත්නසූරිය ගීතය රචනා කළේ…”පැංචියේ” ගීතයත් ළඟදීම එළිදක්වනවා.

ටෙලිනාට්‍ය, චිත්‍රපට නිෂ්පාදන අර්ථපතියකු ලෙස ඔබව අපට අනාගතයේ දැකගන්න ලැබේවි ද…..? දැනටමත් වෙළෙඳ දැන්වීම් කරනවා.. ළඟදී ඉමාෂි ප්‍රකාශන පොතක් පිළිබඳ කොමර්ෂල් එකකුත් කළා. ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ “අරුංගල්” ටෙලිනාට්‍යය අපියි නිෂ්පාදනය කළේ. එහෙත් නිෂ්පාදන කාර්යය දිගටම ඒ මොහොතේ කරගන්න බැරිවුණා…

ඔබේ බිරිඳ නයනි මහේෂිකා කලක් මෙරට ජනප්‍රියම නිළියක් . ඇගේ නිර්මාණ දිවිය ඔබ දකින්නේ කෙසේද…..? සහ ඇගෙන් ඔබේ ඇඳුම් නිර්මාණකරණයට ලැබෙන සහය විස්තර කළොත් …..?

නයනි කාලයක් බොහෝ නිර්මාණවලට රංගනයෙන් දායක වුණා. ඇය දක්ෂ නිළියක්. රඟපෑමේ තදබල අවශ්‍යතාවක් ඇයට නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් රංගනයෙන් දායකවෙනවා කියන මානසිකත්වයක ඇය ඉන්නේ…අපේ ව්‍යාපාරික ආයතනයට ඇගෙන් විශාල සේවයක් සිදුවෙනවා. පරිපාලන , මූල්‍යමය අංශයන් ඇය ඉතා කාර්යශූරව සිදුකරනවා.

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT