නිවස සංවාද ජනප්‍රිය නළුවන් අතරට මාත් නිර්දේශ වුණා

ජනප්‍රිය නළුවන් අතරට මාත් නිර්දේශ වුණා

රංගන ශිල්පී චමීර සිල්වා

by Mahesh
May 23, 2024 12:30 am 0 comment

– මම නිතරම හිතන්නෙ චරිතයක් ඇතුළෙ සිටිය යුත්තේ චමීර සිල්වා කියන කෙනා නොවෙයි
– ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහාය මට ලොකු ශක්තියක්
– නිවැරැදි දේ කරගෙන හිටියොත් මේ ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න පුළුවන්

මම කලාවට ආවේ ‘උරුමයක අරගලය’ කියන ටෙලි නාට්‍යයෙන්. ඒක ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සනත් අබේසේකර මහත්මයාගේ ටෙලි නිර්මාණයක්. එහි මම ‘සුට්ටා’ කියන චරිතය තමයි කළේ. ඊට පස්සේ ටෙලි නාට්‍ය ගණනාවකට රංගන දායකත්වය ලබා දුන්නා. ඊට අමතරව චිත්‍රපට වේදිකා නාට්‍ය, වෙළඳ දැන්වීම් ගීත රූප රචනා ගණනාවක් සඳහා මගේ කලා ජීවිතය තුළ ඉඩ ලබාගෙන තිබෙනවා.

ඉදිරියේදී ඔබේ රංගන දායකත්වය දැකගන්න පුළුවන් චිත්‍රපට මොනවාද?

‘සාරි ගප්පි’ චිත්‍රපටය, ‘සුපර් හීරෝ’ චිත්‍රපටය සහ ඔරායන් ටෙලි චිත්‍රපටය ඉදිරියේදී නිදහස් වෙන්න නියමිතයි.

මේ දිනවල ප්‍රේක්ෂක අවධානය වැඩිපුරම ලැබෙන්නේ?

මේ දිනවල ‘හපන්නු අපි ගමේ රාජ්ජේ’ නාට්‍යයට ඉමහත් ප්‍රතිචාර ලැබෙනවා.

එහි ‘නපුරු සතා’ (කළු බෝලේ) කියන චරිතය තමයි මම නිරූපණය කරන්නේ. වෙනස් අදහසක් සහිත ලස්සන කතාවක් මේක. බුද්ධික ලොකුකැටිය කියන අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක්. මම ලොකු වෙහෙසක් උපරිම කැපවීමක් දරා කළ චරිතයක්. නමුත් ඊට ලැබෙන ප්‍රතිචාරවලින් මගේ මහන්සිය නිවී යනවා. එය උපරිමයෙන් කළා යැයි හැඟෙද්දී ලොකු සතුටක් දැනෙනවා. මේ චරිතයට ගොඩක් අය ආදරෙයි. මේ වනවිට ඊට ප්‍රේක්ෂකයන්ගෙනුත් උපරිම ප්‍රතිචාරයක් මට ලැබෙනවා.

මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න බලපෑ කාරණා සිහිපත් කිරීම සුන්දර වේවි.

මම පුංචි කාලෙ ඉඳන්ම රංගනය ගැන අවබෝධයක් ලබාගන්න ලොකු කැමැත්තක් දැක්වුව කෙනෙක්. පුංචි කාලේ රූපවාහිනිය ඉදිරියේ ඉඳගෙන නාට්‍යයක් බැලුවත් ඒ රංගන ශිල්පීන් රංගනය කුමනාකාරවද සිදු කරන්නේ කියන එක දිහා හොඳ අවධානයකින් බලන්න මම පුරුදු වෙලා හිටියේ. පාසල් වේදිකාවෙත් මගේ රංගන හැකියා මම ඉදිරිපත් කරලා තියෙනවා. මම අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබුවේ බෝධිරාජ ජාතික පාසලේ. අපොස උසස් පෙළ හැදෑරුවේ කිරිඳීවැල ජාතික පාසලේයි. මේ ක්ෂේත්‍රයට යොමු වන්න පාසල් යුගයේ ලද අත්දැකීම් හා පසුබිමත් ගොඩක් බලපෑවා.

ක්ෂේත්‍රයේ මුලින්ම මුණගැසුණු අධ්‍යක්ෂකවරයා කවුද?

සනත් අබේසේකර මහත්මයාව තමයි මුලින්ම හඳුනා ගත්තේ. ඒ හඳුනා ගැනීම ඔස්සේ තමයි ඔහුගේ ‘උරුමයක අරගලය’ ටෙලි නාට්‍යයේ ‘සුට්ටා’ගේ චරිතයට මාව තෝරාගනු ලැබුවේ.

රංගන කාර්යයේදී මොනවාද මතුවන අභියෝග?

ඇත්තටම තමන් හරි විදිහට නිවැරදි දේ කරගෙන හිටියොත් මේ ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න පුළුවන්. ඒ වගේම අපි මේ ක්ෂේත්‍රයේ කටයුතු කරද්දි නිරන්තරයෙන් අධ්‍යයනය කළ යුතුයි. මේ වනවිට මම ටවර් හෝල් පදනම මඟින් පවත්වනු ලබන රජයේ අනුමැතිය ලත් ලංකාවේ ප්‍රථම රංගන පාඨාමාලාව හදාරා නිමකර සිටින්නේ.

මේ ගමනේදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහාය මට ලොකු ශක්තියක්.

ඇත්තටම ප්‍රවීණයන්ගේ සිට ආධුනිකයන් තෙක් මේ ක්ෂේත්‍රයේ සිටින්නන්ගෙන් මට ලැබෙන සහය ඉමහත්. ඒ වගේම විශාල ශක්තියක්. ඒ සහයත් එක්ක හොඳ නිර්මාණවලට සම්බන්ධ වී සාර්ථක ගමනක් යන්න තමයි අපේක්ෂා කරන්නේ.

රංගන ශිල්පියකු කොයි වගේ විය යුතුයි කියාද ඔබේ අදහස?

පොඩි කාලෙ ඉඳන්ම රංගනයට යොමු වෙලා තිබුණ නිසා අවබෝධයක් තිබුණා රංගනය කියලා කියන්නේ බැරෑරුම් දෙයක් කියන එක.

රංගනයේදී ඒ චරිතය ඇතුළෙ ඉන්නෙ තමා නොවෙයි. ඒ චරිතයට අදාළ කෙනායි. පිටපතේ චරිතයක් ලැබුණු පසු අපි ඊට අනුකූල විය යුතුයි. එය අධ්‍යයනය කළ යුතුයි. ඒ වගේම ඒ චරිතය වටා ගෙතුණු අනිත් චරිත හා පසුබිම් ආදි ගැන පවා අධ්‍යයනයක් කළ යුතුයි.

මම නිතරම හිතන්නෙ චරිතයක් ඇතුළෙ සිටිය යුත්තේ චමීර සිල්වා කියන කෙනා නොවෙයි ඒ චරිතයට අදාළ හැසිරීම් රටා දක්වන වෙනත් කෙනෙකුයි කියන එකයි. මෙය අපට ප්‍රේක්ෂකයා ඉදිරියේ පෙන්නුම් කළ හැකි නම් එය සැබෑ ජයග්‍රහණයක්. ප්‍රේක්ෂකයා එතනදි ඒ චරිතය තුළින් චමීර සිල්වාව නොදැක, ඒ චරිතයට ඒ මොහොතේ මනසින් සමීප වීමයි වැදගත්.

ඒ නිසා ඇත්තටම මේක බැරෑරුම් කාර්යයක්. සාර්ථක වෙන්න මහන්සි විය යුතුයි.

රංගනයක් කියන්නේ කැමරාවක් ඉදිරියේ වචන හැසිරවීමක් පමණක් නොවෙයි කියන එක අවබෝධයෙන් කටයුතු කිරීමයි ඇත්තටම වැදගත්.

අනාගත බලාපොරොත්තු මොනවාද?

ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න විශේෂයෙන් විවිධ චරිත ඔස්සේ ආදරණීය ප්‍රේක්ෂකයන් අතරට යන්න තමයි ලොකුම බලාපොරොත්තුව.

2023 හා 2024 වසරේ ඔබ ලංකාවේ ජනප්‍රිය නළුවන් සත්දෙනා අතරට පැමිණියා ඒ ගැනත් කතා කරමු.

ඔව්. 2023 හා 2024 රයිගම් ටෙලි සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවන් දසදෙනා අතරට මමත් නිර්දේශ වුණා. එය මට මගේ රංගන ජීවිතයට ලැබුණු හොඳ දිරි ගැන්වීමක්.

ඊට අමතරව මගේ රංගන ජීවිතයේ ලැබූ අනෙක් ජයග්‍රහණය වන්නේ 2022 ලංකාවේ හොඳම සිය දෙනා තේරීමේ (ඊධන 100) සම්මාන උලෙළේ සම්මානලාභියකු ලෙස සම්මානයට පාත්‍ර වීම.

ඒ වගේම 2021 ජාතික රූපවාහිනිය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කර පැවැත් වූ “ගමට එළිය” කලා අවුරුදු උලෙළේ” කැපී පෙනෙන කඩවසම් කුමරා බවට පත්වීම.

ඊට අමතරව මේ වන විට මම මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු ලෙස ද පත්වීම් ලබා කටයුතු කරනවා.

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT