1947 ජනවාරි 21 වැනිදා ‘ කඩවුණු පොරොන්දුව තිරගත කිරීමෙන් සිංහල කථානාද සිනමාව ලංකාවේ ආරම්භ කළ බව සඳහන් වේ. එදා මෙදා තුර හෙළ සිනමාවේ තැනුණු සිනමාපට දහස් ගණනකි. විවිධ ශානරයන්ට අයත් නිර්මාණ ඒ අතර වේ. සිංහල සිනමාවේ බිහිවූ අතිවිශිෂ්ට නිර්මාණ අනාගත පරපුරටද නැරැඹීමට මඟ හෙළිකර දිය යුතුයි. එහෙත් සිංහල සිනමාව සතුව තිබූ ඉතා වටිනා සිනමා නිර්මාණ සමහරක් මේ වනවිට විනාශයට යමින් පවතී. යුනෙස්කෝ සංවිධානය විසින් රටක සතු සිනමා නිර්මාණ ජාතික උරුමයන් සේ සැලකිය යුතු බව ප්‍රකාශයට පත්කර ඇතිබව වාර්තා වේ. සිංහල සිනමාවට දිගු ඉතිහාසයක් පවතී. තවමත් ආඩම්බරයෙන් කතා කළ හැකි අතීත සිනමාවක් ලක්මෑණියන් සතුව ඇත. තවත් පරම්පරා ගණනකට සිනමාව රැකගෙන යාමට නම් අතීත සිනමාපට නිසි ක්‍රමවේදයක් යටතේ සංරක්ෂණය වියයුතුය. මේ වන විට සිනමා ලෝලීනට, සිනමා නිර්මාණකරුවන්ට සතුටු වියහැකි තත්වයක් උදාවී ඇත. සංරක්ෂණය පිළිබද ලෝකයේ පවතින ඉහළම තාක්ෂණික පුහුණුව ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාව සහ ප්‍රංශ රජය මැදිහත් වී ඇත. ඒ අනුව එළඹෙන 7, 8, 9 දිනයන්හී සිංහල චිත්‍රපට සංරක්ෂණය වෙනුවෙන් කෙරෙන විශේෂ වැඩමුළුව පිළිබද දැනුම්වත් කිරීමට ප්‍රකට රංගන ශිල්පී, අධ්‍යක්ෂ දම්මිත් ෆොන්සේකා මහතා සරසවිය සමඟින් එක්විය.
සිංහල සිනමාපට සංරක්ෂණය සඳහා ඔබ උනන්දු වූයේ ඇයි?
අතීත සිංහල සිනමාවේ නිර්මාණය වූ විශිෂ්ට ගණයේ චිත්‍රපට රාශියක් තිබෙනවා. ඒවා අපට පසු පරම්පරා ගණනාවකට නැරැඹීමට ඉඩහසර සලසා දිය යුතුයි. ඒ නිසා අපේ සිංහල චිත්‍රපටවලට හානියක් නොවී ඒවා රැකගත යුතුයි කියන සිතුවිල්ල මගේ සිතේ තැන්පත් වී තිබුණා. අපේ සිනමා උරුමය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීමට අවශ්‍යයි.
සිනමා සංරක්ෂණය වෙනුවෙන් ඔබ අඩිතාලම දැම්මේ කෙසේද?
මට සිනමා සංරක්ෂණය යන සිතුවිල්ල පහළ වූ දා සිට මා ඒ පිළිබද උනන්දු වුණා. එය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ මා සොයා බැලුවා. එසේ සොයා බලමින් සිටින අතරතුර මට දැනගන්නට ලැබුණා ඉන්දියාවේ අන්තර්ජාතික මට්ටමින් සිනමාව පිළිබද වැඩමුළුවක් සංවිධානය වන බව. මම ඒ ගැන උනන්දු වුණා. ඒ පිළිබද තොරතුරු සොයා ගත්තා. Film Heritage Foundation of India මඟින් අයදුම්පත් කැඳවීම් කරල තිබුණා. මමත් එම වැඩමුළුව සඳහා සාමාන්‍ය විදිහට ඉල්ලුම් කළා. එහි නිර්මාතෘ විදිහට කටයුතු කළේ ශිවේන්ද්‍ර සිං දුර්ගප්පූර් මහතා. ඔහු මගේ අයදුම්පත්‍රය පරීක්ෂා කරල මට ඒ වැඩමුළුව සඳහා සහභාගීවීමට අවස්ථාව ලබා දුන්නා. ඔහු විශේෂයෙන් පරීක්ෂා කර තිබුණේ සිනමාව පිළිබද අපේ තිබෙන කැපවීම සහ උනන්දුව.
එම වැඩමුළුව පැවැත්වූයේත් ඉන්දියාවේද?
ඔව්. මම එයට සහභාගීවීම සඳහා ඉන්දියාවට ගියා. 2015 වසරේදී. මට ඒ වසරේදී International Federation of Film Archives ( FIFA) වෙතින් මට ශිෂ්‍යත්වයක් පිරිනැමුවා. එමඟින් මට සංරක්ෂණය පිළිබද දැනුමත් ලබා ගැනීමට හැකිවුණා.
එම වැඩමුළුවෙන් පසුව ඔබ සිනමාපට සංරක්ෂණය වෙනුවෙන් සිදුකළ කටයුතු මොනවාද?
වැඩමුළුව පවත්වන කාල වකවානුවේ නිධානය චිත්‍රපටය සංරක්ෂණය කරමින් තිබුණේ වසරක් පාසා එම වැඩමුළුව පැවැත්වීමට නියමිතව තිබුණා. කොවිඩ් සමයේ එක් වසරක් හැරෙන්නට හැම වසරකම එය ක්‍රියාත්මක වුණා. ඒ සෑම වැඩමුළුවකටම මම සහභාගී වුණා. මා ඉහත සඳහන් කළා ඒ වකවානුවේ නිධානය සංරක්ෂණය කරමින් තිබූ බව. ඒ සඳහා ශිවේන්ද්‍ර සිං දුන්ගප්පුර් මහතාද ඒ කටයුත්තට සම්බන්ධ වෙලා සිටියා. මා මුලින් සිතා සිටියේ මගේ පියා, ගාමිණී ෆොන්සේකා රංගනයෙන් දායක වූ චිත්‍රපට පහක් සංරක්ෂණය කරන්න. ඒත් පසුව මා ඒ අදහස ඉවත්කර ගත්තා. චිත්‍රපට පහක් නොව සිංහල සිනමාවේ තැනුණු විශිෂ්ට චිත්‍රපට සියල්ල රැක ගතයුතුයි කියන අදහස මගේ හිතට ආවා. ඒවා විනාශ වන්නට ඉඩහැරිය යුතුනැති බව මම තීරණය කළා.
ඒ අනුව 2017 දී මම ශිවේන්ද්‍ර සිං දුන්ගප්පූර් මහතාට මා ආරාධනා කළා ලංකාවට පැමිණෙන ලෙස ආරාධනාව අනුව ඔහු ලංකාවට පැමිණියා. ඔහු පැමිණි විට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් නමින් දේශනයක් පැවැත්වූවා. ඒ සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය සුමිත්‍රා පීරිස් සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ එවකට හිටපු සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා ඇතුළු සංස්ථාවේ එකමුතුවෙන් එය සංවිධානය කළා. එතනින් තමයි චිත්‍රපට සංරක්ෂණය පිළිබද මූලාරම්භය ලබා ගත්තේ. ඒ අනුව වසරක් පාසා ඉන්දියාවේ පැවැත්වෙන එම වැඩමුළුව සඳහා අපි පිරිසක් පිටත්කර හැරියා.
ඉන්දියාවේ පවත්වන එම වැඩමුළුව සඳහා සහභාගී කරවන පිරිස තෝරාගන්නේ කෙසේද?
එම වැඩමුළුව සඳහා තෝරාගන්නේ සීමිත පිරිසක් පමණයි. සිනමාපට සංරක්ෂණය පිළිබද උනන්දුව සහ ඒ අදාළ ආයතනවල චිත්‍රපට සංරක්ෂණයෙහි දැනුම ඇති පිරිසක් තමයි ඒ සඳහා තෝරාගන්නේ. ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ චිත්‍රපට අංශයට සම්බන්ධ පිරිස අපි තෝරා ගන්නවා.
චිත්‍රපට සංරක්ෂණය සම්බන්ධව ඉදිරියේදී සිදුකරන විශේෂ කටයුත්ත ගැන සඳහන් කළොත්?
මෙම අප්‍රේල් මස 07, 08, 09 දිනයන්හී චිත්‍රපට සංරක්ෂණය පිළිබද විශේෂ වැඩමුළුවක් ලංකාවේ පැවැත්වෙනවා. ඒ සඳහා අපිට ප්‍රංශ රජයෙනුත් අසල්වැසි ඉන්දියාවෙනුත් සම්පත් දායකත්වය ලැබෙනවා. ඒ අනුව සිනමාව සම්බන්ධව ප්‍රංශ විශේෂඥයෙක් සහ ඉන්දියාවෙන් තවත් තිදෙනෙකුත් සහභාගී වීමට නියමිතයි. මෙය සංවිධානය කරන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ එකමුතුවෙන් මෙම වැඩමුළුව සඳහා සහභාගී කරවීමට හැකිවන්නේ සීමිත පිරිසකට පමණයි. ඉහත සඳහන් කලා මෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ , ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ චිත්‍රපට අංශයට සම්බන්ධ පිරිසක් පමණයි මෙයට සම්බන්ධ වෙන්නේ.
මෙවැනි සංරක්ෂණ කටයුතු සිදුකිරීමට සඳහා අපට ගැලපෙන තාක්ෂණයක් ශ්‍රි ලංකාව සතුද?
මම ඒ පිළිබද මෙසේ පැහැදිලි කරන්නම්. අපි නිතරම පාවිච්චි කරන්නේ සංරක්ෂණය කියන තනි වචනය පමණයි. එහෙත් එම වචනය කොටස් තුනකින් සමන්විත වෙනවා. Preservation, Restoration, Conservation යන අංශ එකමුතු කරල තමයි චිත්‍රපටයක් සංරක්ෂණය කෙරෙන්නේ. විශේෂයෙන් සඳහන් කළොත් අපට ඉහත කී මූලික අදියරවත් තිබුණේ නැහැ. Preservation කියන දෙයින් අදහස් කරන්නේ තිබෙන චිත්‍රපටය ආරක්ෂා සහිතව හොඳ තත්වයට පත්කිරීම. ඒ නිසා තමයි මම කිව්වේ අපේ චිත්‍රපටවල ඒ තත්වයවත් තිබුණේ නැහැ කියලා. අපේ චිත්‍රපට තිබුණේ තහඩු තැටිවල. පසු කාලයේ හොඳීන් වාතාශ්‍රය තිබෙන ප්ලාස්ටික් කෑන්ස්වල තැන්පත් කළා. එයින් චිත්‍රපටය කල්තියා ගැනීමට පුළුවන් වගේම චිත්‍රපටය Preservation තත්වයට පත්කරන්න රුකුලක් වෙනවා.
පුළුල් තිරයේ චිත්‍රපට සංරක්ෂණය කිරීමේදී ඉහත සඳහන් අදියර තුනම අනුගමනය කළ යුතුයි. මෙම මූලික කාරණාවලින් පසුව තමයි Digital තාක්ෂණය හරහා Restoration එකක් කෙරෙන්නේ එහිදී Audio tracks, Music tracks පැත්තකට අරගෙන පසුව Visual හදලා නැවතත් Audio, Music tracks සම්බන්ධ කරල අලුත් තාක්ෂණය යටතේ DCP එකක් හදනවා.
ලෝකයේ තිබෙන චිත්‍රපට සංරක්ෂණාගාර සඳහා උපදෙස්, තත්ව ප්‍රමිතිය පවත්වාගෙන යන ආකාරය වැනි අවශ්‍ය පුහුණුව ලබා දෙන්නේ (FIFA) International Federation of Film Archives. ඉදිරියේදී ලංකාවට පැමිණි වැඩමුළුව පවත්වන්නේ ඉහත කී ආයතනය මඟින් පුහුණුව ලැබූ අය.Film Heritage foundation of India වෙතින් තමයි අපට මේ අවස්ථාව ලැබෙන්නේ. අපේ රටේ මෙම වැඩමුළුව පවත්වන්න සංවිධානය වන මේ මොහොතේ විශේෂ කටයුත්තක් සිදුවෙනවා. ඉතාලියේ Cinetica රසායනාගාරයේදී. අපේ රටේ අතිවිශිෂ්ට සිනමා අධ්‍යක්ෂිකාව වූ සුමිත්‍රා පීරිස් මහත්මියගේ ” ගැහැනු ළමයි චිත්‍රපටය මේ වන විට ඉතාලියේ Cinetica රසායනාගාරයේදී ඉතා ඉහළ මට්ටමක සංරක්ෂයක් සිදුකෙරෙනවා. එහි සම්පූර්ණ බරපැන දරන්නේ ප්‍රංශ රජය. එයට ශ්‍රි ලංකා තානාපති කාර්‍යාලයත් සම්බන්ධ වී සිටිනවා.
මෙම වැඩමුළුව සඳහා සිනමා සංරක්ෂණය සඳහා උනන්දු වන අයට සම්බන්ධ විය හැකිද?
එහෙම අවස්ථාවක් ලබා දීමට නොහැකියි. සීමිත පිරිසකට පමණයි මෙය වෙන්වෙලා තිබෙන්නේ. ආරක්ෂක හේතුන් මත සම්බන්ධ කරගන්නේ සුළු පිරිසක් පමණයි. මුලින් සඳහන් කළා වගේ චිත්‍රපට සංස්ථාවේ, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහ චිත්‍රපට කර්මාන්තයේ නියැළී සිටින සුළු පිරිසකට පමණයි මෙහි පුහුණුව ලැබෙන්නේ.
පසුව අපි වැඩපිළිවෙළක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා සිනමාව ගැන උනන්දුව ඇති අයට සිනමාව හදාරන අයට විශ්වවිද්‍යාල සිසුන්ට මේ පුහුණුව ලබන්න.
චිත්‍රපට සංස්කරණයේදී පැන නගින නීතිමය ගැටළු මොනවාද?
චිත්‍රපටවල මූලික අයිතිය තිබෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවට. චිත්‍රපටයක් සංස්කරණය කිරීමේදී එහි නිෂ්පාදකගෙන් අනුමැතිය ලබා ගන්නවා. නිෂ්පාදකගේ අනුදැනුම ඇතිව තමයි චිත්‍රපටය සංරක්ෂණය කරන්නේ.
සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැණු ළමයි චිත්‍රපටය සංස්කරණය කිරීමේදි සුමිත්‍රා ලෙස්ටර් ජේම්ස් පීරිස් පදනමෙන් අවසර ලබා ගත්තා. අදවන විට රටක නිර්මාණය වන චිත්‍රපට එහි ජාතික උරුමයක් සේ සැලකීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර තිබෙනවා. මෙවැනි කටයුතු කරගෙන යාමේදී නීතිමය ගැටළු පැන නඟිනවා. ඇතැම් චිත්‍රපටවල අයිතිකරුවන් නැහැ. එවැනි චිත්‍රපට සංරක්ෂණය කිරීමේදි ජාතික සංස්ථාව සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මැදිහත් වෙනවා.
චිත්‍රපටයක් සංරක්ෂණය කරන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. එය ඉතා පුළුල් අසීරු සහ ඉතා විශාල මුදලක් වැයවන කාර්යයක්. ච්ඍච් එකක් සකසනවා වගේ අඩුවියදමකින් කරන්න බැහැ.
වර්තමානයේ කරන සංරක්ෂණය සිදුකරන්නේ අන්තර්ජාතිකව සිදුකරන තත්ව ප්‍රමිතියට අනුව. එයින් ලෝකයේ ඕනෑම ප්‍රේක්ෂකාගාරයකට නැරැඹිය හැකිලෙස චිත්‍රපටය උසස් digital තාක්ෂණය යටතේ පරිවර්තනය කෙරෙනවා. චිත්‍රපටයක් සංරක්ෂණය කරන්න ඇමරිකානු ඩොලර් 25000, 35000ක් පමණ වැය වෙනවා. නිධානය යුනෙස්කෝ අරමුදල් යටතේ. එහෙත් නීතිමය ගැටලු නිසා නිධානය පෙන්වන්න බැරි තත්වයට පත්වෙලා තිබෙනවා. එහෙත් ඒ ගැටලු පියවරෙන් පියවර විසඳාගත යුතුයි. මේ ගමන පහසු ගමනක් නෙවෙයි.
සිංහල චිත්‍රපටවල ඉංග්‍රීසි උපසිරස නොමැති වීම ගැටලුවක් නේද ? ඒ ගැන ඔබේ අදහස?
අපේ චිත්‍රපටවලට ඉංග්‍රීසි උපසිරැසි යොදන එකත් මෙම වැඩමුළුවේම එක් අංගයක්. අපි මෙම වැඩමුළුව පවත්වන්නේ දින තුනක කෙටි කාලයක් නිසා විෂයයන් දෙකකට වෙන්කරල තිබෙනවා. ඉංග්‍රීසි උපසිරැසි යෙදීමත් එයටම අයිති කොටසක්. සිංහල චිත්‍රපටවල ඉංග්‍රීසි උපසිරැසි නොමැති වීම විශාල අඩුපාඩුවක්.
මේ වන විට ලංකාවේ මෙවැනි වැඩමුළු කොපමණ ප්‍රමාණයක් දැනට පවත්වා තිබෙනවාද?
මේ වනවිට වැඩමුළු හතරක් පවත්වා තිබෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ සුමිත්‍රා පීරිස් මැතිනිය ජිවත්ව සිටින කාලයේ මෙවැනි වැඩමුළු දෙකක් පැවැත්වූවා. එහිදී චිත්‍රපට සංරක්ෂණය ගැන පමණක් නෙවෙයි ඡායාරූප, පුවත්පත් ලිපි සංරක්ෂණය වන හැටි පුහුණුකළා. එය ඉතා සාර්ථක පවත්වන්න අපට හැකිවුණා.
මෙම දැවැන්ත කාර්යය පිටුපස සිටින පිරිස ගැනත් සඳහන් කරන්න.
මෙම වැඩමුළුවේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ Film Heritage Foundation of India. ඔවුන් තමයි ලංකාවේ පුහුණු වැඩමුළුව සඳහා සහභාගී වන අයට සියලු අනුග්‍රාහකත්වය සහ යටිතල පහසුකම් සපයන්නේ. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතුයි ප්‍රංශ තානාපති කාර්‍යාලය හරහා ප්‍රංශ රජය මේ සඳහා දක්වන දායකත්වය ගැන. මෙය සාමූහික කර්තව්‍යයක්. “ගැහැනු ළමයි” චිත්‍රපටයට සංරක්ෂණය කිරීමට සමගාමීව ප්‍රංශ රජය මේ සඳහා මැදිහත් වීම ඉතා අගය කොට සැලකිය යුතුයි. ඒ වගේම ජාතික චිත්‍රපට සංස්ථාව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, රජයේ චිත්‍රපට අංශය එක්ව සංවිධානය කරන මේ භාරදූර කාර්යය සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන් සිදුකරන්නක්. මම මේ කාර්යය පිටුපස සිට සහයෝගය දෙන කෙනෙක්. ස්වේච්ඡාවෙන්ම. සියලු සම්බන්ධිකරණ කටයුතු සිදුකරමින් මා මේ සඳහා දායකත්වය ලබා දෙනවා. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයක් කරා ගෙන යන්නට වෙර වීරිය දුන් මගේ පියා, ගාමිණී ෆොන්සේකා ඇතුළු අතීත සිනමා විරුවන්, වීරවරියන්, සිනමා නිර්මාණකරුවන් මම මේ අවස්ථාවේ ආදරයෙන් සිහිපත් කරනවා. ඔවුන් රැකදුන් සිංහල සිනමාව තවත් පරම්පරා ගණනාවකට උරුමකරදීම අප සතු යුතුකමක් සහ වගකීමක්.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
නයනාංජලි දෙහිපිටිය