කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිනමාකරණය හැදෑරූ තරුණයින් තිදෙනෙක් ‘ගම් මැද්දේ බයිස්කෝප්’ නමින් අලුත්ම වැඩසටහනක් හඳුන්වාදෙමින් ගමින් ගමට ගොස් කෙටි චිත්‍රපට පෙන්වීමේ අලුත්ම කලාවක යෙදී සිටින්මෝය. තමන් හැදැරූ සිනමාකරණය ඔස්සේ ඔවුන් විසින්ම අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපට 06ක් ගමින්ගමට ගොස් ප්‍රදර්ශනය කරමින් ඒ තුළින් සිනමා කතිකාවන් ඇතිකිරීමත් ගම්වල ජනයාට සිනමා රසවින්දනය ලබාදීම මෙන්ම සිය ප්‍රශ්න විසඳාගැනීමටත් කෙටි චිත්‍රපට යොදාගැනීම මෙහි එක් අරමුණක් ද වෙයි. සංජීව දේවප්‍රිය, සොඳුරු ලොකුපෝතාගම, නුවන් නන්දික යන මෙම තරුණයෝ තිදෙනා සිය ‘ගම් මැද්දේ බයිස්කෝප්’ සංකල්පය පිළිබඳවත් සිය කෙටි චිත්‍රපටකරණය පිළිබඳවත් සිය අදහස් දැක්වීමට සරසවිය හා මෙසේ එක්වූහ.
කෙටි චිත්‍රපටකරණයේ ආරම්භය පිළිබඳ සංජීව දේවප්‍රිය නම් තරුණයා මෙසේ හඬ අවදිකළේය.
මේක අපි පටන්ගත්තේ පාසලෙන් කිව්වොත් හරි. ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයේ පාලිත ලොකුපෝතාගම සර්ගේ නාට්‍ය කණ්ඩායමෙන් තමයි අපි කලඑළි බැස්සේ. අපි තුන්දෙනාම ඒකියන්නේ මමයි සොඳුරු ලොකුපෝතාගම මල්ලියි, නුවන් නන්දිකයි පාලිත සර්ගේ ගෝලයෝ. නාට්‍ය කරලා ඉන්පසුව සිනමාව කියන මාතෘකාව වෙත අපි යොමුවුණා. නාට්‍ය කලාව විෂය නිර්දේශයට අමතරව එයින් පිටත බොහෝ දේත් ඉගෙනගත්තා. සුධම්ම එස්. පහළගම කියලා සර් කෙනෙකුත් පාසලට ආවා.ඔහුත් නාට්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ගුරුවරයෙක්. අපි නාට්‍ය කලාවෙන් එහාට සිතන්න යොමුවුණා. පාලිත සර් නිතරම කිව්වා අපි හැමදාම එකම දේ කරන්න ඕනේ නැහැ , වෙනස් දේවල් කරන්න ඕනේ.කියලා .ඉන්පසු කෙටි චිත්‍රපටකරණයට ක්‍රමයෙන් යොමුවුණා. මුලින්ම අපි තනිතනියෙන් වෙනවෙනම කළත් අවශ්‍ය තැනදී අපි එකතුවුණා. අපි වෙනවෙන අරමුණුවලින් නිකමට වගේ කෙටි චිත්‍රපට කළා
කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට මූලික දැනුම ලබාගත් ආකාරය ගැන සංජීව දේවප්‍රිය තරුණයා මෙසේ අදහස් දැක්වීය…️
මම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. එහිදී මම ඡායාරූපකරණ කලාව (Image Art) විෂයය තෝරාගන්නවා. මේ විෂයයත් එක්ක රූපවාහිනී හා සිනමාකරණයත් සමාන්තරව ගමන් කළා. මේක විශේෂවේදී උපාධියක්. අවුරුද්දටම හත්දෙනයි තෝරාගත්තේ. විශ්වවිද්‍යාලයේ ලද අධ්‍යාපනයත් මේ කෙටි චිත්‍රපට නිර්මාණයට වැදගත්වුණා.
විශ්වවිද්‍යාලයෙන් ලද අධ්‍යාපනය එක්ක සිනමාවට තිබූ කැමැත්ත තවත් වැඩිවුණා . කැලණිය විශ්වවිද්‍යාලයේ දී ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂ ඩී.බී. නිහාල්සිංහයන්ගෙනුත් සිනමාකරණය ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. සර්ව අපිට අහුවුණේ අවුරුදු 2යි. ඒ තුන්වැනි සහ අවසන් අවුරුද්දේ .
“ගම් මැද්දේ බයිස්කෝප්” කියලා ඔබලා ගමට ගේන අලුත්ම සංකල්පය මොකද්ද මේ……?
අපේ මේ සිනමාකරණය හැදෑරීම තමයි වෙනස්ම විදිහකට ගමට ගෙනාවේ. අපි තුන්දෙනාගේ තිබ්බේ යම් දෙයක් පිළිබඳ දකින එක් එක් දෘෂ්ටිකෝණ. ඒ අපේ දෘෂ්ටිකෝණ චිත්‍රපට බවට පත්කරන්න පටන්ගත්තා. ඒක වෙනමම ඒපබ එකක් වුණා. ගමට සිනමාව ගෙනයාමයි අපේ අරමුණ වුණේ.අපි තුන්දෙනාගෙම සම්මාන ලැබූ කෙටි චිත්‍රපට 06ක් තමයි මේ ගම් මැද්දේ බයිස්කෝප් ප්‍රදර්ශනයට තෝරාගත්තේ….මේක ගම්මුන් අතරට ගෙනිහින් ඔවුන් තුළින් පැහැදිලි සිනමා කතිකාවක් ඇතිකිරීමයි අපේ මූලික අරමුණ වුණේ. මේකට තවත් චිත්‍රපට එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ගමේ මිනිස්සුන්ගේ මානසිකත්වය යම් තලයකට ගෙනඒමත් මෙහි අරමුණක්.
“ගම් මැද්දේ බයිස්කෝප්” ප්‍රදර්ශනයෙන් පසුව සිදුවෙන කතිකාව ගැන නුවන් නන්දික නම් කෙටිචිත්‍රපට නිර්මාණකරුවා මෙසේ අදහස් දැක්වීමට එක්වූයේය.
මගේ “යාතිකා” නමැති කෙටි චිත්‍රපටයකුත් මේ ගම් මැද්දේ බයිස්කෝප් ප්‍රදර්ශනයට ඇතුළත් වෙනවා. එහි අපේ මිථ්‍යා දෘෂ්ටිය ගැනයි කතා කරන්නේ. මිනිස්සුන්ගේ අදූරදර්ශී නුවණ, මිථ්‍යා දෘෂ්ටියේ මිනිසා ඇලීසිටීම වගේ දේවල් මේ කෙටි චිත්‍රපටයෙන් කතා වෙනවා. ඒ ගැන කතිකාවක් ඇතිවීමෙන් එහි යථාර්ථය මිනිසුන් දකිනවා. ගම් මැද්දේ බයිස්කෝප් තුළින් වෙන්නේ චිත්‍රපට පෙන්වීමම නෙවෙයි. මේ චිත්‍රපට පෙන්වීමෙන් හොඳ සංවාදයක් ඇති කරවනවා. අපි සංවාදය හදන්නේ නැහැ. අපේ ප්‍රකාශය චිත්‍රපටවල තිබෙනවා. මිනිස්සු විසින්ම එහිදී සංවාදයක් ඇතිකරවනවා. මෙයින් ආකල්පයම වෙනසක් ද සිදුවෙනවා. ප්‍රේක්ෂකයා සහ අපි අතර සංවාදයක් ගොඩනැඟෙනවා එයාලා අපෙන් ප්‍රශ්න කරනවා. මිථ්‍යා දෘෂ්ටිය නැතිකරන සමාජ මෙහෙවරක් ද මෙයින් සිදුවෙනවා.චිත්‍රපට පෙන්වීමෙන් ඇතිවන කතිකාව තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒකයි අපේ මූලික අරමුණ වෙන්නේත්.. චිත්‍රපට ටික ප්‍රදර්ශනය කළාම ප්‍රේක්ෂකයා පැටලෙනවා. අපි ඔවුන්ව ඒ පැටලැවිල්ලෙන් ලිහලා ගැනීමක් මේ සංවාද තුළින් සිද්ධවෙන්නේ. අපේ චිත්‍රපටවල අපිත් නොදකින පැති ප්‍රේක්ෂකයා වෙනවෙන කෝණවලින් අපිටම පෙන්වලා දෙනවා.
“ගම් මැද්දේ බයිස්කෝප්” අදහස ඇතිවූ ආකාරය පිළිබඳ සොඳුරු ලොකුපෝතාගම තරුණයා මෙසේ සිය අදහස් දැක්වීය..
මීට වසර 2,3කට කලින් අපි තුන්දෙනා සහ තව එක්කෙනෙක් එකතුවෙලා ෂෝට් ෆිල්ම්ස් ටිකක් පෙන්නුවා අපේ ගිරිඋල්ල ගමේ. ලොකු තිරයක්න් ගහලා ෂෝට් ෆිල්ම්ස් 07ක් පෙන්නුවා. විනාඩි 10,15 වගේ කෙටි චිත්‍රපට ඒවා. අපේ මුල්ම කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය ඒ විදිහට සිද්ධවුණේත් අපේ ගිරිඋල්ල ගමේමයි. වේදිකා නාට්‍යවලට වඩා හරිම සියුම් මාධ්‍යයක් තමයි මේ කෙටි චිත්‍රපට කියන්නේ. ඒවා අපට කරන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ . කෙටි චිත්‍රපට කියන්නේ චිත්‍රපට ගැන පුහුණුවක් නෙවෙයි කියලයි මමනම් හිතන්නේ. කෙටි චිත්‍රපට කියන්නේ වෙනමම කලාවක්. ඒක හරිම අමාරුයි .මේ කෙටි චිත්‍රපට කියන්නේ ජීවිතයේ පොඩි කොටසක් කියන්නත් පුළුවන් . විනාඩි 05, 10කදී පොඩි සිද්ධියක් කියනවා කියන්නේ හරිම අමාරු කාර්යයක්. මම මුලින්ම කෙටි චිත්‍රපටයක් කළේ විශ්වවිද්‍යාලයේ පළමු වසරේදී. අපි තරඟවලට ඉදිරිපත් කළ කෙටි චිත්‍රපට එකතුවක් අපි තුන්දෙනා ළඟම තිබ්බා. අපි තුන්දෙනා ජීවිතය දකින හැටි , අපේ දෘෂ්ටි කෝණ, අපේ දේශපාලන දැක්ම වගේ ඒ දේවල් තුන්පැත්තට තිබ්බේ. ගම් මැද්දේ බයිස්කෝප්” ප්‍රදර්ශනයේදී අපි කෙටි චිත්‍රපට 06ක් පෙන්නුවා . ඒ චිත්‍රපට 06 ඇත්තෙන්ම දෘෂ්ටි කෝණ 06ක්. ඒ චිත්‍රපට සියල්ල එක්කර එක වැඩක් කිරීමේ ආසාවක් අපට තිබ්බා .මෙහිදී අපි කළ චිත්‍රපට කෙසේ හෝ පෙන්වගන්න අපට ඕන වුණා.ඒකට කදිම වේදිකාවක් වුණේ ගම් මැද්දේ බයිස්කෝප් සංකල්පයයි. මෙතෙක් අපි කළේ චිත්‍රපට කරලා ඒවා තරඟවලට දාලා සම්මාන ගන්න එකයි. එතැනින් වැඩේ ඉවරයි නේ. එතැනින් එහාට මේ වැඩේ ඉදිරියට ගෙනියන්න වැඩපිළිවෙළක අවශ්‍යතාව අපි තුන්දෙනාටම තිබ්බා . සිනමාශාලාවකට ගිහින් චිත්‍රපට බලන සංස්කෘතිය දැන් තියෙන්නේ කොළඹනේ. ගම්වල ඒ සංස්කෘතිය දැන් ඇත්තෙම නැහැනේ. ගමේ ජනතාව සිනමාව අල්ලගෙන නැහැ. ගමට සිනමාව දෙන්න ඕන කියන සංකල්පයත් එක්කයි අපි “ගම් මැද්දේ බයිස්කෝප්” එක්ක ගමට යන්න හිතුවේ. පසුගිය දෙසැම්බර් 27 වැනිදා එළිමහන් තියටර් එකක මේ කෙටි චිත්‍රපට ටික පෙන්නුවේ. දැනට අපි තුන් හතර වතාවක් “ගම් මැද්දේ බයිස්කෝප්” පෙන්වලා තියෙනවා . දැනටමත් කළුතරින් , මාතරින් , මීගමුවෙන් එහෙම කතා කරලා තියෙනවා ගම් මැද්දේ බයිස්කෝප් අරන් ඒ ප්‍රදේශවල ගම්වලටත් එන්න කියලා. මුහුණුපොත හරහා තමයි මේ වැඩසටහන ගැන දැනුම්වත් කිරීම් කරන්නේ.
ගම් මැද්දේ බයිස්කෝප් සඳහා ගම් මට්ටමේ ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳ සංජීව දේවප්‍රිය තරුණයා මෙසේ කීය…
“ගම් මැද්දේ බයිස්කෝප්” දෙවැනි වැඩසටහනේදී ඒ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට පිටපත් රචනය, රංගනය ආදිය පිළිබඳ වැඩමුළු පවත්වන්න කියලත් ඒ ජනතාවගෙන් ආරාධනා ආවා. සමහරු කියනවා අපේ දරුවෙක් ඉන්නවා එයාව බලලා දක්ෂනම් අපේ වැඩවලට සම්බන්ධ කරගන්න කියලා. අපේ කෙටි චිත්‍රපට 06පෙන්වලා ඒ ගැන කතාබහ කරලා ආවම එම ස්ථානයේ හෝ අදාළ ගමේ ඒ පිළිබඳ කතිකාවක් ඇතිවෙනවා. ඒක හොඳ දෙයක්. අපටත් මෙහෙම සංකල්පයක් තිබ්බා නම් හොඳයි වගේ හැඟීමක් ඔවුන්ගේ සිතට එනවා. හැම තිස්සේම පරම්පරාව යාවත්කාලීන වෙනවා . අපේ ඉන්නවා අවුරුදු 50,60 වගේ නළුවන් දෙතුන් දෙනෙකුත්. අවුරුදු 40මට්ටමේ 35, 25,20,15, 12 වගේ වයස්වල පිරිසත් අපි එක්ක ඉන්නවා . පරම්පරා 3,4ක පිරිස අපේ වැඩේත් එක්ක එකතුවෙනවා.
ගම් මැද්දේ බයිස්කෝප්හි ඉදිරි පියවර ගැන නුවන් නන්දික තරුණයා මෙසේ කීය……
ඉදිරි කාලයේදී ප්‍රදේශ රැසකින්ම ගම් මැද්දේ බයිස්කෝප් පෙන්වන්න කියලා අපට ආරාධනා රැසක්ම ලැබී තියෙනවා. ඒ වගේම එක තැනක ගම් මැද්දේ බයිස්කෝප් පෙන්වපුවහම එතැන ඉන්න කෙනෙක් තවත් කණ්ඩායමක් හදාගෙන තවත් තැනක පෙන්වන්න එන්න කියලා අපට ආරාධනා කරනවා. එහෙම භාරගන්න ඒවා 4,5කට වඩා කරලා තියෙනවා. ගම් මැද්දේ බයිස්කෝප් පෙන්වන්න අලුතින්ම වෙනම ප්‍රේක්ෂකාගාරයක් හැදෙනවා. අපේ අරමුණ මේක ගම් මැද්දට ගෙනියන්න . සුළු පිරිසක් ආරාධනා කළත් අපි ආරාධනය භාරගන්නවා
සිනමාවට නැඹුරුවෙන්න ආභාසය ලැබුණු ආකාරය ගැන සොඳුරු ලොකුපෝතාගම තරුණයා සිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.
ඉස්සර අපේ ගෙදර ච්ඍච් ඵඩධන එකක් තිබ්බා. ඒකට තාත්තා කොළඹින් හෝ පිටරට ගියාම හෝ ඒ රටවලිනුත් චිත්‍රපට ගේනවා. මම හැදුණු වැඩුණු ගෙදර එහෙම පසුබිමක් තිබුණේ. තාත්තා , අම්මා චිත්‍රපට බලද්දී කුඩා කාලයේ ඉඳන්ම මමත් ඒ චිත්‍රපට බලන්න පුරුදු වුණා…කිම්කි දුක්, ආන්ද්‍රේ තර්කොව්ස්කි, ඉන්ග්මාර් බර්ග්මාන් වැනි සිනමාකරුවන්ගේ උසස් චිත්‍රපට කුඩාකල සිටම මට නරඹන්න ලැබුණා. පාලිත ලොකුපෝතාගම මගේ පියා කවදාවත්ම මට මේක කරන්න අරක කරන්න කියලා බලපෑම් කරලා නැහැ. කුඩා කල ගෙදර තිබූ සිනමා පරිසරය මගේ සිනමාකරණ දිවියට විශාල බලපෑමක් ඇතිකළා කිව්වොත් හරි.
නුවන් නන්දික කලාව සිනමාව පිළිබඳ අධ්‍යයනය කළ අයුරු මෙසේ විස්තර කළේය.
මමත් කලාවට එන්නේ පාලිත ලොකුපෝතාගම සර්ගේ වේදිකා නාට්‍යවලින් ඒ 2000 වසරේදී වගේ. ඔහුගේ නාට්‍ය කණ්ඩායමේ ඉඳගෙනයි මම කලාව ඉගෙනගත්තේ. 2012දී තමයි කෙටි චිත්‍රපටකරණයට ආවේ . මම වේදිකා නාට්‍ය රඟපාලා, අධ්‍යක්ෂණය කරලා සම්මාන ලබාගෙන තිබුණා..ඒ වෙද්දී මගේ ඇඟේ කලාව කියන දේ තිබ්බා. කෙටි චිත්‍රපටවලට එද්දී ඒ ගැන කිසිම දැනුමක් මට නම් තිබ්බේ නැහැ . ඒත් කලාව ඇඟේ තිබ්බා. කෙටි චිත්‍රපටවලට ආවේත් අහඹුවක් විදිහට. අපේම යාළුවෙක් අදහසක් දැම්මා කෙටි චිත්‍රපට තරඟයක් තියෙනවා ඒකට මොනවාහරි කරමුද කියලා . එතැනදී චිත්‍රපට උළෙලේ තේමාවට අදාළ යම් රූප රාමු ටිකක් පරිකල්පනයෙන් මගේ ඔළුවට ආවා. ඒත් මෙහි තාක්ෂණික පැත්ත ගැන දැනුමක් තිබ්බේම නැහැ .ඒ දැනුම ලබාගත්තේ මේ අපේ සංජීව දේවප්‍රිය අයියාගෙන්….කෙටි චිත්‍රපට තරඟය ගැන සංජීව අයියාට මම කිව්වා. අපි කරමු කියලා ඔහු මට ශක්තියක් දුන්නා. චිත්‍රපටවල තාක්ෂණික පැත්ත වටහාගන්න මම නම් කළේම චිත්‍රපට නරඹපු එකමයි. මේකට පළමු පෙලඹවීම වුණේ කෙටි චිත්‍රපට තරඟයි. එසේ චිත්‍රපට නැරඹීමත් හොඳ කියවීමක් නේ. ඉන්පසුව කෙටි චිත්‍රපට කිහිපයක් කරලා තරඟවලට යොමුකරමින් තමයි කෙටි චිත්‍රපටකරණයට මම ආවේ
මුල්ම කෙටි චිත්‍රපටයට ජූරියේ සම්මානය සමඟ තවත් සම්මාන 02ක් මට ලැබෙනවා . ඉන්පසු ටික කාලයකට මම රට ගියා රැකියාවකට. රට ගියාට ඒක මට හරිගියේ නැහැ. ඇඟේ තිබ්බේම කලාවනේ. ඒ නිසා ආපසු ලංකාවට ඇවිත් කලාවටම බැස්සා.
මම අදටත් වේදිකා නාට්‍ය නළුවෙක්..වේදිකා නාට්‍ය කරන ගමන් තමයි විනෝදාංශයක් විදිහට කෙටි චිත්‍රපටවලට යොමුවුණේ
පැය ගණනක දේශනයකින් දෙන්න බැරිදෙයක් විනාඩි 5කින් 10කින් මිනිස්සුන්ගේ හදවතට, බුද්ධියට ආමන්ත්‍රණය කරන්න පුළුවන්, දැනෙන්න කතා කරන්න පුළුවන් හොඳ කලාවක් තමයි මේ කෙටි චිත්‍රපටකරණය කියන්නේ . ඒ කලාව තුළ අපි ඉන්නවා . ඒ තුළින් උපරිම තෘප්තියකුත් අපි ලබනවා.
සංජීව දේවප්‍රිය තරුණයා සිය ගම් මැද්දේ බයිස්කෝප් සංකල්පය ක්‍රියාත්මක කිරීමේ ආරම්භක අවධිය ගැන මෙසේද විස්තර කිරීමට අමතක කළේ නැත.
මුල් කාලයේ මේකට අවශ්‍ය කැමරා ආම්පන්න යාළුවන්ගෙන් සොයාගත්තා. නැත්නම් කුලියටත් ගත්තා. එහෙම කැමරා සොයාගෙන අපි අපේ නිර්මාණ කළා. එහෙම ප්‍රාථමික මට්ටමින් තමයි මේ “ගම් මැද්දේ බයිස්කෝප්” සංකල්පයට ආවේ. අපි ෆිල්ම්ස් හදන්න පටන්ගත්ත කාලයේ ලංකාවේ සිනමා සහ ඡායාරූපකරණය පිළිබඳ නොයෙක් තරඟ පැවැත්වුවා. ඒවාටත් අපි ඉල්ලුම් කළා. ඒවායින් ද යම් යම් ජයග්‍රහණත් ලැබුණා. ඒ ජයග්‍රහණයත් එක්ක අපිට මේ වැඩේ තවත් රසවත් වුණා. එහෙම ආව ගමන තමයි අද “ගම් මැද්දේ බයිස්කෝප්” දක්වාම ආවේ.
“ගම් මැද්දේ බයිස්කෝප්” ප්‍රදර්ශන ක්‍රියාවලියේදී මූල්‍යමය පැත්ත ආවරණය කරගත් ආකාරය පැහැදිලි කළේ සොඳුරු ලොකුපෝතාගම නමැති තරුණ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයායි…
“ගම් මැද්දේ බයිස්කෝප්”වලදී අපි අපිම මූල්‍යමය පැත්ත බලාගන්නවා. මුලින්ම අම්මා, තාත්තා අපට උදව් කළා. හැමකෙනෙක්ගේම ශක්තිය අපිට ලැබෙනවා . මූල්‍යමය පැත්තෙන් විතරක් නෙවෙයි ප්‍රායෝගිකවත් සහයෝගය බොහෝ දෙනෙක්ගෙන් ලැබෙනවා .
සොඳුරුගේ අදහස් දැක්වීමට ඌනපූර්ණයක් එකතු කරමින් සංජීව දේවප්‍රිය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයාත් මෙසේ කතාවට එක්විය.
අපේ රංගන ශිල්පීන්ට කෑම බීම, ඉඳුම් හිටුම් වගේ දේවල් අපි යහළුවන්ගෙන් කවර් කරගත්ත අවස්ථා තිබෙනවා. කාස්ටින් එකත් යාළුවන් යාළුවන් අතරේම කරගත්ත අවස්ථා තිබ්බා.අපි එක්ක ඉන්නවා දැනට ටෙලිනාට්‍යවල රංගනයේ යෙදෙන පිරිසකුත්. ඔවුන්ගෙන් අපි නිකං වැඩගන්නේ නැහැ. ඔවුන්ට යම් මුදලක් අපි ගෙවනවා. ඒවගේම ඔවුන්ගෙන් අපට නළුනිළියන් සොයාගැනීම, දර්ශනතල සොයාගැනීම, කැමරා උපකරණ සොයාගැනීම ආදියට විශාල සහයක් ලැබෙනවා . ඒ නිසා අපට ලොකු පිරිවැයක් යන්නෙන් නැහැ. සමහර කෙටි චිත්‍රපටවලට ලක්ෂ 02කට බජට් කළාට අවසානයේ ලක්ෂ 4 1/2ක් විතර වියදම් වෙන අවස්ථා තියෙනවා . කොහොමත් 50,000ක සීමාවට නිර්මාණයක් කරන්න පුළුවන් අපට . ඒ සම්පත් දායකත්වය අපට ලැබෙන නිසා.
නැවතත් අදහස් දැක්මට සොඳුරු එක්වූයේ මෙලෙසිනි.
කෙටි චිත්‍රපටවලින් අපට නැවත ප්‍රතිලාභයක් නැති නිසා නිෂ්පාදකවරුන් ඉදිරිපත් වෙන්නේ නැහැ . මේ දේවප්‍රිය අයියා මේ වැඩේදී අපට ලොකුම සම්පතක්. කැමරාකරණය , සංස්කරණය , සංගීත නිර්මාණය වගේ ඕනෑම දෙයකට සහාය දෙනවා දේවප්‍රිය අයියා. පිටතින් නිෂ්පාදනය කරන්න ගියොත් ලොකු වියදමක් යන නිසා අපි අපේම අවට සම්පත්වලින් ඒ වියදම් උපරිමයෙන් පිරිමහ ගන්නවා.
තිරරචනා කලාව ගැන සොඳුරුගේ අදහස් දැක්වීම මෙසේයි.
මම දැනුත් තිරරචනා ලියන්න කැමැතියි. කෙටි චිත්‍රපටවල තිරරචනයට ආසාව ආවේ මම උපාධිය කරන්න ගියාට පස්සේ. මට නාමල් ජයසිංහ අයියවත් කොළඹදී හමුවෙනවා.ඔහු තමයි තිරරචනා කලාවට මගේ ලොකුම පෙලැඹවීමක් කළේ. විශාල දැනුමක් ඔහුගෙන් ලබාගන්න පුළුවන්. ඒවගේම ආචාර්ය තිස්ස අබේසේකර මහතාගේ තිරරචනා පොත් කියවන්න මම හරිම කැමැතියි . “වැලිකතර” තිරරචනය නම් අති විශිෂ්ටයි. ආචාර්ය තිස්ස අබේසේකර සහ නාමල් ජයසිංහ දෙදෙනාගේ තිරරචනා කලාවට මම හරිම කැමැතියි . අපි තුන්දෙනා ටෙලිනාට්‍යයකට සූදානමකිනුයි ඉන්නේ. සමන්ත පරණ ලියනගේ කියන රංගන ශිල්පියා අපේ ටෙලිනාට්‍යයක තිරරචකයා. ඒ ටෙලිනාට්‍යයේ පළමු කොටස් 10 ලියා අවසන්. නිෂ්පාදකවරයෙක් සොයමින් ඉන්නවා. අධ්‍යක්ෂණය අපිමයි කරන්නේ…රංගන ශිල්පීන් තෝරාගැනීම කරමින් ඉන්නේ. මේකම චැනල් කිහිපයකිනුත් භාරගන්න සූදානමින් ඉන්නවා. මම වෙනම තිරරචනයක් ලියමින් ඉන්නවා ටෙලිනාට්‍යයකට.
සංජීව දේවප්‍රිය, නුවන් නන්දික සහ සොඳුරු ලොකුපෝතාගම යන මේ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරුන් තිදෙනාගේ එකතුවෙන් අලුත්ම වැඩක් සිදුකරන බව ඔවුන්ම සඳහන් කරනවා…ඒ පිළිබඳ සංජීව දේවප්‍රිය කීවේ මෙවැනි කතාවකි.
“අපි තුන්දෙනාම එකතුවෙලා අලුත්ම වැඩක් කරනවා. මම අලුත්ම වස්තුබීජයකින් අලුත් කතාවක් ගෙතුවා.ඒකේ විශේෂත්වයක් තියෙනවා .එහි මුල, මැද, අග කොටස් 3න් මුල කොටස නුවන්ටත් අග කොටස සොඳුරුටත් දෙනවා. මම දන්නේ නැහැ මුල, මැද, අග මොකද්ද කියලා.මට තියෙන්නේ මැද කොටස. මම මැද කොටස මෙයාලට කියනවා. නුවන් ඒකේ මුල කොටස ගොඩනඟනවා. සොඳුරු අග කොටස ගොඩනඟනවා.අපි තුන්දෙනා එකතුවෙලා ඉන්පසුව කතාව වෙලාගැනීමක් කරනවා. මෙහි තිරරචනය හැදිලා අවසන්.තුන්දෙනා ළඟම වෙනවෙනම ඒ තිරපිටපත් තුන තියෙන්නේ .එය තනි පිටපතක් බවට පත්කරලා අපි තුන්දෙනාම වියදම් කරලා අපි තුන්දෙනාගේ කොටස් 3 අධ්‍යක්ෂණය කරනවා. එහිදී අපේ කැමරා කෝණ වෙනස්වේවි. මගේ කතාවේ අග මට හිතාගන්න බැහැ .අග සොඳුරුට දුන්නා.මුලකුත් මේ කතාවට ඕන කියලා හිතලා ඒ කොටස නුවන්ටත් දුන්නා.මම මැද කොටස කිව්වා. මේ දෙන්නා මුල සහ අග ගොතලා තියෙනවා .
මොවුන් තිදෙනාගේ අධ්‍යක්ෂණය කාර්යයෙහි වෙනස්කම් ගැනත් සඳහන් කරන්න ඔහු අමතක නොකළේය
මගේ අධ්‍යක්ෂණයේදී ගොඩාක් සමීප රූපවලට නැඹුරු ගතිය වැඩියි.මම වැඩියෙන්ම කැමැති ඛ්තධඵඥභනවලටයි. නුවන්ගේ දිගරූප තියෙන්නේ. එයාගේ ෂොට්ස් ගොඩක් දිගයි.සොඳුරුගේ තියෙන්නේ මානුෂීය පැතිකඩ ඉස්මතු වෙන විදිහේ රූපකෝණ. සමාජයේ ප්‍රශ්නවලින් මිරිකුණු චරිත තමයි සොඳුරුගේ නිර්මාණකරණයේ තිබෙන්නේ . අපි තුන්දෙනාගේ කලර් ග්‍රේඩ් එකත් වෙනස්.
මොවුන් තිදෙනා වෙනත් රැකියාවන් කරන අතරතුරදී කෙටි චිත්‍රපටකරණයට සහ “ගම් මැද්දේ බයිස්කෝප්” සඳහා යොමුවී තිබෙන බවද පැවැසූ අතර ඔවුන් තිදෙනාගේ රැකියාවන් පිළිබඳ සංජීව දේවප්‍රිය මෙසේ කීය..
අපි තුන්දෙනාම වෙනත් රැකියා කරන ගමන් තමයි මේ කෙටි චිත්‍රපටකරණයට යොමුවුණේ…කලාව කොහොමත් අපේ ඇඟේ තියෙන දෙයක්නේ. සොඳුරු ඉම්ක ආයතනයේ රැකියාවක් කරනවා. මම බාහිර සංස්කාරකවරයෙක් විදිහට රැකියාව කරනවා. නුවන් ගිරිඋල්ලේ ස්ටුඩියෝ එකක ඡායාරූපකරණ ශිල්පි සහ ඡායාරූප සංස්කාරක කෙනෙක් ලෙස රැකියාව කරනවා.
නුවන් නන්දික තරුණයාද ඒ අතරේ මෙසේද කීය.
අපි තුන්දෙනා “ගම් මැද්දේ බයිස්කෝප්” සමඟ එකට වැඩ කරනවා. ඒත් අපි තුන්දෙනාට වෙනම නිර්මාණ භාවිතයක් තිබෙනවා
දැනට අපේ වේදිකා නාට්‍යවලින් “අමර ගියා දිවිය ලෝකේ ” ළමා නාට්‍යයයි “ඔබ වෙනුවෙන් මල් පිපේවි”නාට්‍යයයි මේ දිනවල වේදිකාගත වෙමින් රට වටා යනවා. කෙටි චිත්‍රපට නිසා වේදිකාවේ වැඩ නතර කරලා නැහැ . ඒවාත් කරගෙන යනවා.
සොඳුරු ලොකුපෝතාගම සිය වෙනත් මිත්‍ර කණ්ඩායමක් ගැන මෙසේ කීය
මගේ තියෙනවා ” ඊඩඪදඬ ඊචදඬ” කියලා මගේ ටීම් එකක්. ඒකේ මියුසික් විඩියෝ , ප්‍රඩක්ෂන්ස් වැඩ ආදියත් සිදුකෙරෙනවා . එහෙම සෙට් එකක් මට ඉන්නවා . සංජීව දේවප්‍රිය අයියාටත් , නුවන් නන්දික අයියාටත් එහෙම වෙනමම කණ්ඩායම් ඉන්නවා . ඒ ටීම් එක්ක අපි තුන්දෙනා වෙනමම ගමනකුත් යනවා. වැඩමුළු ආදියත් ඒවායින් කෙරෙනවා
නුවන් නන්දික සිය විෂුවල් නිර්මාණ ගැන කීවේ මෙවැන්නකි
දේවප්‍රිය අයියා එක්ක මම අවුරුදු 8ක් විතර ඡායාරූපකරණය, විෂුවල්වල රූගතකිරීම් වගේ දේවල් කරනවා. පසුවයි ස්ටුඩියෝවේ රැකියාව තෝරාගත්තේ. මියුසික් වීඩියෝ දිගටම කරනවා. දැනට 12ක් වගේ කරලා තියෙනවා.
සංජීව දේවප්‍රිය ද නුවන් නන්දිකගේ කතාවට මෙසේ එක්විය.
දුමාල් වර්ණකුලසූරියගේ, මීනා ප්‍රසාදිනීගේ විෂුවල්ස් අපි කරලා තිබෙනවා. දුමාල්ගේ මියුසික් වීඩියෝ එක කෙටි චිත්‍රපටයක් එක්කයි කළේ. මියුසික් වීඩියෝවයි කෙටි චිත්‍රපටයයි දෙකම බලන්න ඕන කතාව සම්පූර්ණ වෙන්න නම්.
සංජීව දේවප්‍රිය මෙසේද කීය.
අපි තුන්දෙනාටම පුළුවන්කම තිබෙනවා කතා ගොඩනැඟීම, ෂූට් කිරීම ආදියේ එකතුවෙන් යූ ටියුබ් කොමඩි චැනල් එකක් ආරම්භ කරන්න. ඒත් අපි ඒක කරන්නේ නැහැ . අපේ අරමුණ ඒකනෙවෙයි. අපේ ගමන සිනමාවත් එක්ක නිසා කොමඩි පැත්තට යන්න අදහසක් නැහැ.
මෙම තරුණයන්ගේ සිනමාකරණය අන්තර්ජාතික මට්ටමට ගෙනයාම පිළිබඳ කළ කතාබහේදී ඒ පිළිබඳව ද සිය අදහස් මෙසේ දැක්වූයේ සංජීව දේවප්‍රිය තරුණයායි.
දැනටමත් අපේ නිර්මාණ කිහිපයක් අන්තර්ජාතික චිත්‍රපට උළෙලවලට ලබාදී තියෙනවා . අන්තර්ජාතික ජපන් සිනමා උළෙලක් වන “ඩිජිකොන්” උළෙලට සොඳුරු මල්ලිගේ “උදඤඥප එචබඥප” චිත්‍රපටය යැව්වා. ලංකාවේ හොඳම කෙටි චිත්‍රපට තෝරලා ජපානයට යවනවා. “ඩිජිකොන්” චිත්‍රපට උළෙල කියන්නේ ආසියානු කලාපයේ රටවල් 12ක් අතර තිබෙන සිනමා උළෙලක්. එක්වරක් එහි සොඳුරු මල්ලිගේ ෆිල්ම් එකකට සිල්වර් අවෝර්ඩ් ලැබෙනවා . ගෝල්ඩන් අවෝර්ඩ් එක දෙන්නේ ඇනිමේෂන් ෆිල්ම්ස්වලට විතරයි. ඩිජිකොන් උළෙලේ අපි තුන්දෙනාටම ජයග්‍රහණ ලැබී තිබෙනවා .මම ඇනිමේෂන් ෆිල්ම් එකක් කරන්න පෙලඹෙන්නේම ඩිජිකොන් චිත්‍රපට උළෙල ටාගට් කරලමයි. මගේ ෆිල්ම් එක ඩිජිකොන් උළෙලට දාපු අවස්ථාවේ පළමු ස්ථානයට ආව චිත්‍රපටය එක්ක බලද්දී ඒ පළමු ස්ථානය ආව චිත්‍රපටය පළමු තැනට ගන්න බැහැ . ඇනිමේෂන් වීඩියෝ එකක් ඒක. එයාලා තැන දෙන්නේ ඇනිමේෂන් එකට නිසා ඒකට ගෝල්ඩන් අවෝර්ඩ් එක ලැබිලා මගේ චිත්‍රපටයට සිල්වර් අවෝර්ඩ් එක ලැබුණා . සිල්වර් සම්මානය නියෝජනය කරන එක ජපානයට යනවා. ජපානය ඇතුළේ දිනන එක අමාරුයි. තරඟකාරීත්වය වැඩියි.
සොඳුරු ලොකුපෝතාගම ද සිය සිනමා නිර්මාණ පිළිබඳත් තම මිතුරන් දෙදෙනාගේ නිර්මාණ පිළිබඳවත් මෙසේ කීය.
“ධ්ද ඊඩච ඕධය” මගේ පළමු කෙටි චිත්‍රපටය. ඒකත් තරඟයකට නිර්මාණය කළේ. මෙහි පෙන්වන්නේ වැඩ කරන ජනතාවක්. ඔවුන් ප්‍රතිමාවක් හදනවා ළමයෙක්ගේ වගේ එකක්. වැඩකරන අයයි ඒක හදන්නෙ. අනාගත දරුවාවයි එයින් පිළිබිඹු කරන්නේ. ඒ පිළිමය ඡන්ද කොළයක් නිසා එක්තරා අවස්ථාවක විනාශවෙනවා. එහි අදහස අනාගතය කරන්නේ අපි නම් අපිමයි ඒක ආපසු හරවන්න ඕනෙ කියලා. හෝල් එකක් අරගෙන වෙනම පසුබිම කළුපැහැ කරලා එය පෙන්වූයේ. නුවන් නන්දික අයියගේ විශේෂ හැකියාවක් තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික කතා කරන්න හොඳම විදිහට. දේවප්‍රිය අයියා කරන්නේ ඒක පොඩ්ඩක් සංවේදී පැත්තට නැඹුරු කරවීමයි. ඔහු එහිදී සංවේදීත්වය ඉස්මතු කරවනවා. මම කැමැතියි ෆැන්ටසි දේවල්වලට යොමුවෙන්න. සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ෆැන්ටසි ආකාරයට පෙන්වන්න. කිම් කී දුක්ගේ ආභාසය කිව්වොත් හරි.
සිය කෙටි චිත්‍රපට නිර්මාණකරණයට සහ “ගම් මැද්දේ බයිස්කෝප්” සංකල්පය ක්‍රියාවට නැංවීමේදීත් සහය දුන් පිරිස ගැන මතක් කිරීමටද ඔවුන් අමතක නොකළේය. සංජීව දේවප්‍රිය ඒ පිළිබඳ මෙසේ පැවැසීය.
මම ඉස්සර කෙටිකතා ලියනවා. උසස්පෙළට ගණිතය අංශයෙන් කරන්න ගියේ. පාලිත ලොකුපෝතාගම සර් එවිට කිව්වා “ඔයා ගණිතයට දක්ෂයි , ඒත් ඔයාට ලිවීමේ හැකියාව තියෙනවා .ඒ පැත්තෙන් ගියොත් හොඳ ගමනක් යන්න පුළුවන් “කියලා. ඒක මගේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. අපි තුන්දෙනාටම එහෙම හැරවුම් ලක්ෂ්‍ය තියෙනවා . එහි එක් චරිතයක් තමයි පාලිත ලොකුපෝතාගම සර්. සුනිල් දයානන්ද කෝණාර සංගීත ගුරුතුමා ඒ වගේ තවත් චරිතයක්. සුධම්ම එස්.පහලගම වගේ පිරිසවත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා.ඊට අමතරව අපේ ගිරිඋල්ල ගම පැත්තේ ඉන්න යාළුවෝත් අපට අතහිත දුන්නා. මුහුණු පොතේ පිරිසත් ආශීර්වාද කරනවා. ඔවුන් බොහෝ දෙනෙක්ව මට ජීවිතයට හමුවෙලත් නැහැ .
නුවන් නන්දික ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.
මමත් පාලිත ලොකුපෝතාගම සර්ගේ ආභාසය තමයි ලැබුවේ. දැනුත් එහෙමයි.සොඳුරුගේ අම්මයි තාත්තයි දෙන්නාගේම ආභාසය මට ලැබිලා තියෙනවා . පාලිත සර් වගේම ලංකා කුමාරි මහත්මියවත් (සොඳුරුගේ අම්මා) මතක් කරනවා. ඒවගේම යාළුවෝ සහ ගෙදරිනුත් හොඳ සහයක් ලැබෙනවා . ඒ වගේම වයිෆ්වත් මතක් කරනවා. එයා තමයි මට නිතරම මේ වැඩවලට තල්ලුව දෙන්නේ. මුකුත් කළේ නැද්ද, තිරරචනයක් ලිව්වේ නැද්ද වගේ දේවල් ඇය අහනවා.
සොඳුරු ලොකුපෝතාගම ද ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.
අම්මා, තාත්තා වගේම යාළුවෝත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඒවගේම කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනීකරණ පාඨමාලාවේ පිරිසත් එම ඒකකයත් විශේෂයෙන් මතක් කරනවා. එහි ආචාර්ය මණ්ඩලය , එය ආරම්භ කළ ආචාර්ය ඩී.බි. නිහාල්සිංහ මහතා ඇතුළු පිරිස මතක් කරන්න කැමැතියි .ගිරිඋල්ල අවට අපට වෙනම පිරිසක් ඉන්නවා මොන වැඩේ කළත් බලන්න එන පිරිසක් එයාලා. ගාමිණී සූරියආරච්චි කියලා දැන් අවුරුදු 75ක විතර කෙනෙක් ඉන්නවා . එයා තමයි පැරණිම ගෝලයා. එයත් ගිරිඋල්ලේ. එයා අපේ හැම වැඩකටම ඉන්නවා. රංගනයෙන් විතරක් නෙවෙයි සෙසු වැඩවලටත් එයා දායකත්වය දෙනවා. අපේ නිර්මාණවලට දායක වූ නළුනිළියන් , කාර්මික ශිල්පීන් ඇතුළු පිරිස දෙන සහයෝගය ඉතාමත්ම වටිනවා. ඒක මිල කරන්න බැහැ . ඒ අතර විශ්වවිද්‍යාල සහෝදර සහෝදරියෝ පිරිසකුත් ඉන්නවා.
අවසන් වශයෙන් “ගම් මැද්දේ බයිස්කෝප්” පිළිබඳ සොඳුරු ගේ සොඳුරු අදහස් මෙසේ ගෙනහැර දැක්වීය.
“ගම් මැද්දේ බයිස්කෝප්” ටිකට් ගහලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි . මෙහි මූලිකම දේ ගමට ඇමතීමයි. මිනිස්සුන්ගේ චින්තනය යම් තැනකට ගේන්නයි අපට අවශ්‍ය වෙන්නේ. පනස් දෙනෙක් “ගම් මැද්දේ බයිස්කෝප්” බැලුවත් අපි කියන්නේ නැහැ ඒ පනස් දෙනාම වෙනස්වෙලා යනවා කියලා. එයින් සමහරවිට දෙන්නෙක් වෙනස්වෙලා යන්නත් පුළුවන් . ෆිල්ම් ටික බලලා මේක මරු වැඩක් කියලා යනවාට වඩා අවසනයේ ඇතිවෙන කතිකාවයි , සංවාදයයි මෙහිදී වැදගත් වෙන්නේ. ඔවුන්ගේ චින්තනය අපේ චින්තනය එක්ක ගැටෙනවා කියන්නේ ඒ ගැටුම කතිකාවකින් ලිහන්න පුළුවන්
මනෝජ් රුක්මල් කුමාරසිංහ