Home » කළගුණ දන්න කලාකරුවන් මේ රටේ ඉන්නේ අතේ ඇඟිලි ගාණට

කළගුණ දන්න කලාකරුවන් මේ රටේ ඉන්නේ අතේ ඇඟිලි ගාණට

- ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි කහවල

by Thanushika
May 2, 2024 12:31 am 0 comment

සිංහල සිනමාවේ නළු නිළි දත්ත ගබඩාව ලෙස බොහෝ දෙනා හඳුනන කලාකරුවන්ගේ ආදරය දිනාගත් ආදරණීය මිතුරකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිකහවල මහතා මෙවර තිස්පස්වන සරසවිය සම්මාන උලෙළේ දී 2019 වසර වෙනුවෙන් රණාපල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානයෙන් ඇගැයුමට පාත්‍ර විය.

82 වැනි වියේ පසුවන ඒ මහතා 1942 පෙබරවාරි 16 වැනිදා කළුතර දිස්ත්‍රික්කයේ අරකාගොඩ ග්‍රාමයේ උපත ලැබීය. සිනමා කලා ශිල්පීන් වෙනුවෙන් අනගි මෙහෙවරක නියැළෙන සිරිකහවලයන් කවදත් මෙරට කලාකරුවන්ගේ කලාකාරිනියන්ගේ උපන්දිනයට හා පුරා කියා අරුමැක්කේම සුබ පැතුම් එක්කරන්නේ. තමහට රාජකාරිමය ලෙස ලැබුණු නියමයක් පරිද්දෙනි. එපමණ ආදරණීය ළෙන්ගතු කමකින් කලාකරුවන්ට ආමන්ත්‍රණය කරන සිරිකහවලයන් උපන්දින සුබ පැතුම් සඳහා මුලපුරන්නේ 1980 දශකයේ ආතර් යූ. අමරසේන මහතා සංස්කරණය කළ සිත්සර පුවත්පතත් සමඟිනි.

මිල්ලෙනිය බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, හොරණ තක්ෂිලාව, පානදුර ශාන්ත ජෝන් පිරිමි විද්‍යාලය, පානදුර සිරිල් ජෑන්ස් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය තුළින් අධ්‍යාපනය හදාරන සිරිකහවලයන් කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක් ද වේ. කවදා හෝ දිනක පුවත්පත් කලාවේදියකු වීමේ දැඩි ආශාවකින් පසු වූ සිරිකහලයන් පාසල් අවධියේ පටන් පුවත්පත් කලාවට පෙම්බැන්දේය. වයස අවුරුදු දොළහේ පටන් දේශපාලනයට අසීමිත කැමැත්තක් දැක් වූ ඔහු මහජන එක්සත් පෙරමුණේ ඉදිරි ක්‍රියාකාරී වැඩකටයුතු වෙනුවෙන් ප්‍රමුඛ වී කටයුතු කළේය. මහජන එක්සත් පෙරමුණ පුවත්පතේ සෝදුපත් බලන්නකු ලෙසින් කටයුතු කරනු ලැබු සිරිකහවලයන් 1962 දී ආතර් යූ අමරසේන මහතා සංස්කරණය කළ චිත්‍රවාහිනී සඟරාවට මුල්වරට සිනමා ලිපියක් රචනා කරනු ලැබුවේ ආනන්ද විද්‍යාලයේ සිරිකහවල ලෙසිනි. ඒ වනවිට ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටි සිරිකහවලයන් තම ප්‍රථම සිනමා ලිපිය ලෙස ලියනු ලැබුවේ. හින්දි චිත්‍රපට නාමාවලිය සිංහල තේරුම අඩංගු ලිපියකි. ඉන්පසු විවිධ මාතාකෘ ඔස්සේ කලාසඟරාව, සිසු පෙරමුණ, සතිය මේලා, මනහර, සරසවිය, දීපශිකා, සුරතුර හෙළ බිම චිත්‍රවාහිනී ආදී පුවත්පත් සඟරා සඳහා ලිපි සම්පාදනය කරනු ලැබීය.

1973 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ සහකාර කථිකාචාර්වරයකු ලෙස ද සිරිකහවලයන් කටයුතු කරනු ලැබීය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ මිත්‍රයකු වූ සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතාගේ මාර්ගයෙන් ලේක්හවුස් ආයතනයට එක්වන ඔහු නිදහස් ලේඛයෙකු ලෙසින් 1965 වසරේ පටන් සරසවිය පුවත්පත හා අත්වැල් බැඳගත්තේය. සිරිකහවලයන් දීර්ඝ කාලයක් සරසවිය පුවත්පතේ විශේෂාංග ලේඛකයකු ලෙසින් කටයුතු කරනු ලැබීය. මේ වනවිට වසර හැටක පමණ කාලයක් සරසවිය පුවත්පත හා අත්වැල් බැදගෙන සිටින සිරිකහවල චිත්‍රපට රූපගත කිරීම් දර්ශන තලවල රසවත් සිදුවීම් ආදිය පිළිබඳ තිරය පිටුපස සිදුවීම් රසාලිප්තව මුල්වරට සරසවියට ලියනු ලැබීය. 1971 දී පොහොර සංස්ථාවේ ගබඩා පරිපාලන තනතුරක රැකියාවක් ලැබීමත් සමඟ තාවකාලිකව පුවත්පත් කලාවෙන් ඈත්වන ඔහු මුලින්ම සේවය සඳහා අනුරාධපුරයට යන අතර පසුව හම්බන්තොට, බදුල්ල, අම්පාර, ප්‍රදේශවල පොහොර සංස්ථා අලෙවි සම්බන්ධතා නිලධාරි ලෙස සේවය කරමින් සිටියදී ස්වේච්ඡා වන්දි ක්‍රමය යටතේ 1992 වසරේදී සේවයෙන් විශ්‍රාම ගනු ලැබීය.

යසපාලිත නානායක්කාරගේ නැවත හමුවෙමු චිත්‍රපටයේ දෙබස් රචනා කරමින් චිත්‍රපට දෙබස් රචනයට අවතීර්ණ වූ සිරිකහවල රෝසි, සුරනිමල, රන්දම්වැල්, චිත්‍රපට සඳහා දෙබස් රචනා කරනු ලැබීය. සම්මානනීය ඇගැයුම් ලැබූ සිරිකහවලයන් කතාබහට එක්වෙමින්.

රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානයෙන් ඇගැයුමට ලක්වීම ගැන ඔබට මොකද හිතෙන්නේ?

මට ගොඩක් සතුටුයි. මම සරසවිය පත්තරයත් එක්ක 1965 ඉඳලා සම්බන්ධ කෙනෙක්. වසර හැටක පමණ කාලයක් මම මේ පත්තරයත් එක්ක සමීපව කටයුතු කරන කෙනෙක්. ඉතිං මට මේ සම්මානය ලැබීම ඇත්තෙන්ම ගොඩක් සතුටු දනවන දෙයක්.

ලේඛනය පැත්තෙන් අපෙන් කලාවට වුණ සේවය මේ අයුරින් අගය කිරීම ඇත්තෙන්ම හොඳ දෙයක්. මේ අයුරින් අපේ ලේඛන කලාව ඇගැයීම ඇත්තෙන්ම අපිට කරන ලොකු දිරිදීමක්.

මේ අයුරින් ඇගැයීමක් ඔබ මීට කලින් බලාපොරොත්තු වී සිටියද?

නැතුවා නොවෙයි. මා තුළත් හීනයක් තිබුණා කවද හරි මටත් මේ සම්මානය ලබන්න තිබුණා නම් කියල. ක්‍රම ක්‍රමයෙන් ඒ හීනය දුරස්වෙනකොට මට හිතුණා ඒ වාසනාව මට නැතිද කියලත්. කොහොම හරි මට අවුරුදු 82 ක් වන මේ කාලයේ හරි ඒ සම්මානය මට ලැබීම ඇත්තෙන්ම ගොඩක් සතුටුයි.

මේ අයුරින් සම්මානීය ඇගැයුමක් ලබාදීම ලේඛකයෙක් හැටියට ඔබ දකින්නේ කොහොමද?

මෙවැන්නක් ලබාදීම ඇත්තෙන්ම ලොකු ධෛර්යක්. ලේඛකයෙකුට ඔහු හෝ ඇය සිනමාව වෙනුවෙන් කලාව වෙනුවෙන් ලේඛනය ඔස්සේ කළ අපරිමිත කැපකිරීම ඇත්තෙන්ම අගය කිරීම ගොඩක් වටිනවා. අප අතින් ඉටු වූ සේවයට මේ අයුරින් කෘතවේදී ඇගැයුමක් ලබා දීම සැබැවින්ම මේ සිනමා ලේඛන කලාවේ නියැළී සිටින අනෙකුත් ලේඛකයන්ටත්, දිරිගැන්වීමක් විධියටයි මම දකින්නේ.

කලාකරුවන්ගේ සමීප මිතුරෙක් ලෙස කටයුතු කරන ඔබට ඔවුන්ගෙන් මේ අයුරින් සම්මානනීය වීම ගැන මොනවගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?

කියන්න කණගාටුයි. ලැබුණු ප්‍රතිචාර නම් බොහොම මදි සමහර අවස්ථාවල කවුරුන් හෝ කලාකරුවෙක් කලාකාරියක් කිසියම් හෝ ඇගැයුමක් ලැබුවොත් මම ඔවුන්ට හමු වී කෙසේ වෙතත් දුරකථනයෙන් හරි සුබ පැතීමක් කළ අවස්ථා මගේ හිසේ කෙස්ගණනටත් වැඩියි. ඒත් මට සම්මානයක් ලැබිල ඇගැයුමක් ලබපු මේ වෙලාවේ ඒ මම අගයපු අයවත් අඩුම තරමින් කෝල් එකකින්වත් මට සුබපැතීමක් එක් කළේ නෑ. අපේ තියන ළෙන්ගතුකම මේ අය තුළ නෑ. සනත් ගුණතිලක, පී‍්‍රති රන්දෙණිය, අනුලා කරුණාතිලක, ගීතා කුමාරසිංහ, යශෝධා විමලධර්ම වගේ කීපදෙනෙක් පමණක් මට සුබ පැතුවා.

කලාකරුවන්ට උපන්දින සුබ පැතුම් එක්කරනා ඔවුන්ගේ තොරතුරු ගබඩාවක් වෙලා සිටින ඔබටත් ඔවුන්ගේ ප්‍රතිචාර ඔය ආකාරයෙන් නම් අන් අය ගැන කවර කතා ද?

අපේ රටේ කෙලෙහිගුණදන්නා කලාකරුවෝ ඉන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන් අනික් ඔක්කොම අවස්ථාවාදී පුද්ගලයෝ. ඒ දේට ගැහැනු පිරිමි කියල භේදයක් නෑ. කවුරුත් එකයි. තමන්ගේ වැඩේ කරගන්නකන් තමයි ඔක්කොම. කුහකකන් ඊර්ෂ්‍යාවන් ගෙන් පිරුණු එකිනෙකා විවේචනය කරගන්නා වටපිටාවක් තමයි අපේ කලාක්ෂේත්‍රය තුළ වුණත් දකින්න තියෙන්නේ. එහෙම වටපිටාවක් තුළ රංග ශිල්පීන් නොවුණු ලේඛකයන් වූ අපි ගැන කවර කතාද. අද වගේ සමාජ මාධ්‍ය නොතිබු යුගයක කලා ශිල්පිනියකගේ ශිල්පීයකුගේ තොරතුරක් සමාජ ගතවුණේම අපි වැනි ලේඛකයන් හරහා. අපි ඔවුන් ගැන ලියන ලිපියකින් තමයි. ඒ අය තමන්ගේ රසික ප්‍රජාව හා සමීප වුණේ. පත්තරයක තමන් ගැන ලිපියක් යනවා කියන්නේ කලා ශිල්පියෙකුට ලොකු දෙයක්.

ඔබ අතින් බොහෝවිට ලිපි ලියවුණේ හින්දි නළු නිළියන් ගැන. ඇයි අපේ කලාකරුවන් ගැන ඒ තරම්වත් ඉඩක් ඔබ අතින් වෙන් නොවුණේ?

ඒකට හේතුවකුත් තිබුණා. මම අපේ කලාකරුවන් ගැන ලිපි ලිව්වා. නමුත් එක්තරා සිද්ධියකින් පසු මට ඒ දේ එපා වුණා. ජයවිලාල් විලේගොඩගේ මරණයත් සමඟ අපේ කලාකරුවන් පිළිබඳ ලිපිලියන එක මට එපා වුණා. ජයවිලාල් විලේගොඩ කියන්නේ අපේ සිනමාවේ නැඟී සිටීමට සුවිශාල සේවයක් කළ නළු නිළියන්ගේ දක්ෂතා අගයපු සිනමා ලේඛකයෙක් වගේම අපේ නළු නිළියන් වෙනුවෙන් අභීතව පෑන මෙහෙය වූ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක්. නමුත් එතුමාගේ මරණයට සහභාගීවෙන්න කොහුවල කනත්තට ආවේ. කේ.ඩබ්ලිව් පෙරේරාත්, ටයිටස් තොටවත්තත්, අනුලා කරුණාතිලකත් වගේ කීප දෙනෙක් විතරයි. එතනදී මට ඇති වුණේ මහාකලකිරීමක්. එදා මම හිතාගත්තා කෙලෙහි ගුණවත් නොදන්න අපේ කලාකරුවන් කලාකාරියන් ගැන මම ලියන්නේ නෑ කියලා. නමුත් ටික කාලෙකට පස්සේ ඒ මගේ රැඩිකල් තීරණය වෙනස් වුණේ මානව හිතවාදී විජය කුමාරතුංගයන් නිසා. ඔහු තුළ තිබු ශ්‍රේෂ්ඨ ගතිගුණ නිසාම තමයි මම ආයෙත් පත්තරවලට නළු නිළියන් ගැන ලියන්න පෙලඹුණේ.

වයස අවුරුදු 16යේ පටන් හින්දි නිළියකට පෙම්කළ කළ තැනැත්තෙක් නේද ඔබ?

ඔව්. මේ වෙනකොට මගේ වයස අවුරුදු 16යි. 1958 මට සිංහල දෙබස් කවපු ශෝභා චිත්‍රපටය නරඹන්න ලැබුණා. එහි රඟපෑ නිළිය වූ වෛජයන්ති මාලා සමඟ සිතින් පේ‍්‍රමයෙන් බැදුණා. වෛජයන්තිමාලාට සිතින් පේ‍්‍රම කරන නිසාම හින්දි භාෂාව ඉගෙන ගැනීමේ ආශාවක් මට ඇති වුණා.

ඔබ හින්දි භාෂා විශේෂවේදී උපාධිධාරීයෙක් නේද?

හින්දි භාෂාව ගැන ලියපු පොත පත පරිශීලනය කළා. බඹරුන්දේ සිරිසීවලී හිමියන් ලියූ හින්දි භාෂාව පොත මා පරිශීලනය කළා. චිත්‍රා විද්‍යාලය මඟින් තැපැලෙන් කළ හය මාසික හින්දි පාඨමාලාව. අධ්‍යයනය කළා. ඊට පසුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ 1965 දී මම හින්දි භාෂාව විශේෂ උපාධියක් ලෙස හැදෑරීමක් සිද්ධ කළා. චන්ද්‍රසිරි පල්ලියගුරු, රවිලාල් විමලධර්ම මගේ හින්දි භාෂා ගුරුවරු වුණා. මට මතකයි මගේ හින්දි භාෂාව පිළිබඳ පරීක්ෂණයක් කළ රවිලාල් විමලධර්ම මහතා මට හින්දි ඉංගී‍්‍රසි ශබ්ද කෝෂයක් පරිත්‍යාග කළා.

වෛයිජයන්ති මාලාට පෙම්කරමින් හින්දි භාෂාව ඉගෙන ගත් ඔබ ඇය හමුවන්නට ඉන්දියාවටත් ගියා ද?

නෑ. ඒ වෙනකොට මගේ උමතුව යම් අයුරකට පහව ගිහින්. ඉන්දියාවට ගිහින් මම මුලින්ම සරසවියට ලිව්වේ සින්දුවක් රෙකෝඩ් කරන සිද්ධියක්. ශංකර් ජයක්‍රිෂන් සංගීත අධ්‍යක්ෂණය කළ මොහොමඩ් රාෆි, ආශා බෝස්ලේ ගීතවත් කළ ගීත පටිගත කිරීමක් සම්බන්ධ ලිපියක් හින්දි නළු නිළියන් හමුවීමට මට උදවු කරන්න බෙනඩික් පෙරේරා නම් වූ මගේ යාළුවෙක් පොරොන්දු වී හිටියා. ඒත් ඒ දේ හරි ආකාරව සිද්ධ වුණේ නෑ. මට ඕනෙ කළේ නළු නිළියන් හමු වී සරසවියට ඔවුන් ගේ ලිපි ලිවීම. ඒ අනුව මම ගීතා දත්, සී රාම්චන්ද්‍ර, මහේන්ද්‍ර කපූර්, මදන් මෝහන්, වසන්ත් දේසායි, කල්යාන්ජි ආනන්ජි ආදී බොහොමයක් අය හමු වී ඔවුන් පිළිබඳ ලිපි සකසා, මා සරසවියට එව්වා. ඒවා සරසවිය පත්තරයේ සති පතා පළ වුණා. මාස දෙකක පමණ කාලයක් මම ඉන්දියාවේ ගත කළා.

සිරි කහවල කියන්නේ හින්දි කලාකරුවන්ට සිංහල ගීත ඉගැන්වූ පුද්ගලයෙක්ද?

ඔව්. මොහොමඩ් රාෆි, මහේන්ද්‍ර කපුර් ලංකාවට ආපු වෙලාවේ ඔවුන් දෙදෙනාට සිංහල ගීත ඉගැන්නුවේ මම.

සිනමා ලිපි සම්ප්‍රදානය හැරුණු කොට ග්‍රන්ථකරණයටත් ඔබ පිවිසුණා නේද?

1973 දී ඔබේ ගීත මගේ කඳුළු නමින් මගේ පළමු කවි පොත එළි දුටුවා. ඊට පස්සේ මම කවි ලිව්වා. ඒත් පොතක් හැටියට පළ වුණේ නෑ. වයස අවුරුදු 16 දී මම මුලින්ම නවකතාවක් ලිව්වා. දූපතේ මාරකය නමින්. ඒත් ඒක පොතක් හැටියට පළ කරගන්න මට බැරිවුණා. හින්දි පරිවර්තනයක් කළා ‘ගයිඩ්’ නමින් ඒකත් පොතක් වශයෙන් එළි දැක්කේ නෑ.

මුලින්ම උපන්දින සුබ පැතුම් ගැන අදහසක් ඔබට එන්නේ කොහොමද?

මාධුරි ඇතුලේ තිබුණා ජියෝ හසාරෝසාල් (අවුරුදු දහසක් ජීවත් වේවා) හින්දි කලාකරුවන්ගේ පින්තුර සමඟ ලිපිනයන් සමඟ උපන්දිනයත් පළ කළා. ඒ ආභාසය තුළින් තමයි මට ඒ අදහස ලැබුණේ.

කලා ක්ෂේත්‍රයේ නිල නොලත් විවාහ හා මරණ රෙජිස්ට්‍රාර් ඔබ නොවේද?

මගේ පුරුද්දක් තිබුණා විශේෂිත පුද්ගලයන්ගේ මියගිය දිනයන්, විවාහ වූ දිනයන්, උපන් දිනයන් එකතු කිරීමේ පුරුද්දක් අද වුණත් මම මේ කටයුත්ත කරනවා. අද මම කලා ක්ෂේත්‍රයේ නිල නොලත් විවාහ උපත් මරණ රෙජිස්ටාර් කෙනෙක් කියලත් සමහරුන් මාව හඳුන්වනවා. ටවර් හෝල් රඟහල පදනමේ මම උපදේශකයෙක් ලෙස 2006 සිට 2013 වසර දක්වා කටයුතු කළා ඒ අවධියේ ඒ ආයතනය සැලසුම් කළා. කලාකරුවන්ගේ උපන් දිනයට සුබ පැතුම් පතක් අරින්න. ඊට පස්සේ මගේ සේවයෙන් පස්සේ මගේම වියදමෙන් කාඩ් පතක් මුද්‍රණය කර මම උපන් දිනය දවසට ඒ හැම කෙනෙක්ගේම ගෙදරට සුබ පැතුම් කාඩ් එකක් ඇරියා. නමුත් තැපැල් ගාස්තුව වැඩි වීමත් සමඟ දැනට ඒ කාර්ය මම නතර කරලා තියෙන්නේ. ඒ කාලේ ඒ සඳහා විතරක් මට රුපියල් හත්දහසක් විතර ගියා මාසයකට. මේ හැම දෙයක්ම මම කරන්නේ මගේ ආත්ම තෘප්තියට අද මම කරන්නේ මගේ වියදමින් ඒ හැම කෙනාටම දුරකථනයෙන් සුබපැතීමක් විතරයි.

ඔබටම විශේෂිත වූ මේ අපූරු විනෝදාශයට ඔබෙන් පසු කුමක් වෙයි ද?

කොච්චර නම් මම මේ කාර්ය වෙනුවෙන් කැප වෙලාද කියනවා නම් මගේ අම්මා නැති වුණ දවසේත් අම්මාගේ දේහය ගෙදර තියාගෙනත්. මම උපන් දින තිබුණ අයට කතා කරල සුබ පැතුවා.

අද මේ රටේ ඕනෑම කලාකාරයෙක් ගැන තොරතුරක් දැනගන්න මාධ්‍ය ආයතනයක් වුණත් ඉස්සෙල්ලාම කතා කරන්නේ මට. මගෙන් තමයි තොරතුරු සත්‍ය අසත්‍යතාවය හරියටම දැන ගෙන වැඩි විස්තරත් සමඟ අදාළ කටයුත්තට මුල පුරන්නේ. මම මේ කටයුත්ත සිද්ධ කරන්නේ බොහොම කැමැත්තෙන්. කිසිදු කෙනෙක්ගෙන් චෝදනාවක් නම් තවම නෑ. සමහරු මගේ සුබ පැතුම එනකන් බලාගෙන ඉන්න අයත් ඉන්නවා. උදෙන්ම සුබ පැතුම ලැබුණේ නැති වුණාම ඇයි අද ප්‍රමාද වුණේ කියලත් අහන අය ඔය අතරේ ඉන්නවා.

මට හැකියාවක් තිබෙනතාක් මේ කාර්යය මෙලෙසින්ම සිද්ධ වෙයි. හැබැයි මගේ අභාවයත් සමඟ මේ වැඩෙත් නිහඬ වෙයි.

ඔබ හින්දි චිත්‍රපට සඳහා සිංහල උපසිරැසි යෙදීමේ දිගු කාලයක පටන් නියැළෙනවා නේද?

1992 දී ස්වාධීන රූපවාහිනිය ආරම්භ කළ හින්දි චිත්‍රපට විකාශයේ සිංහල උපසිරැසි යෙදීම මට භාර වුණා. චිත්‍රපට 150කට පමණ සබ් ටයිටල් දැමීම මගේ අතින් ඉටුවුණා. අදටත් ලැබෙන ආරාධනා අනුව මගේ දායකත්වය නොඅඩුව ලබා දෙනවා.

රැගුම් පාලක මණ්ඩලයේ දීර්ඝකාලීන සාමාජිකයෙක් ලෙසත් ඔබ කටයුතු කරනවා නොවේද?

2006 වසරේ තමයි මම මුලින්ම මේ සඳහා පත් වුණේ. 2010 වසරේදී මාව එම මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලැබුවා. ඉන්පසු මට ටෙලි බදු කොමිටියේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන්න ලැබුණා. නැවත 2020 වසරේ සිට මේ දක්වා රැඟුම් පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් ඉන්නවා.

සරසවිය පුවත්පත ඔබේ ජීවිතය හා බැඳුණු අමරණීය සිහිවටනයක් නේද?

සරසවිය පත්තරයේ පාඨකයෙක් වූ මගේ බිරිය කලාවට ගොඩක් පි‍්‍රයකළ කාන්තාවක්. දේශපාලනික වශයෙනුත් කලාකාමී අදහසත් වලිනුත් ඇයගේත් මගේත් හැඟීම් බොහොම සමීපයි. මල්ලිකා කහවල නම් වූ ඇය මම සරසවියට ලියන ලද හින්දි ලිපි බොහොම ආශාවෙන් කියවපු කෙනෙක්. මගෙන් හින්දි පවා තැපෑලෙන් ඉගෙන ගත් කෙනෙක්. අපි අතර ආදර සම්බන්ධය ලිපි මඟින් හුවමාරු වෙමින් කාලයක් ගෙවී ගියා. ඒ හඳුනාගැනීම පසුව විවාහයෙන් කෙළවර වුණා.

 

සේයාරූ – මාලන් කරුණාරත්න/ නිශ්ශංක විජේරත්න

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT