නිවස විශේෂාංග ආදරණීය රවී…

ආදරණීය රවී…

-ජනප්‍රිය ලේඛිකා, රංගන ශිල්පිනී, ගේය කාව්‍ය රචිකා ප්‍රීති රන්දෙණිය

by Thanushika
May 30, 2024 1:46 pm 0 comment

ඔබේ සිනමා ජීවිතයේ අඩ සිය වසක් ගෙවුණු තැන, අද ඔබ මේ රටේ සිටින ජ්‍යෙෂ්ඨතම, ප්‍රවීණතම රංගවේදියෙක් වශයෙන් උපහාර ලබනවා. ඔබ වෙනුවෙන් පිදෙන මේ උපහාරය සත්‍ය වශයෙන්ම මින් පෙර ඔබට ලැබිය යුත්තක්. ඒ ඔබ සිනමාව වෙනුවෙන් කළ මහඟු මෙහෙවර පිළිබඳ මා හොඳීන්ම දන්නා බැවින්. උපහාර සම්මාන කෙසේ වෙතත් මට අවැසි වනුයේ සැමදා ඔබ සතුටින් සිටිනු දැකීමටයි. ඔබ සිනමාවට කෙතරම් ආදරය කළාදැයි දන්නේ මා පමණක් නොවෙයි. ඔබත් සමඟ එක්ව ක්ෂේත්‍රයේ වැඩ කළ බොහෝ පිරිස් ඒ සඳහා සාක්ෂි සපයනු ඇතැයි මගේ විශ්වාසයයි. හැමදාමත් ඔබේ ජිවිතයේ පළමු තැන ලැබුණේ සිනමාව වෙනුවෙනුයි..

ජීවිතයේ බොහෝ වගකිම් කරපින්නාගත් මිනිසෙකු වශයෙන් ඔබට එසේ කළ හැකිදැයි මට සිතුණු වාර අනන්තය. එහෙත් ඔබ ප්‍රතිපත්ති ගරුක මිනිසකු වශයෙන් සැමදාමත් පළමු තැන සිනමාවටම ලබා දුන්නේය. වර්තමානයේ, ගෙවුණු පනස් වසර දෙස ආපසු හැරී බලද්දී, ඔබේ කැපකිරීම්වල ප්‍රතිඵල ඔබ කොතෙකුත් සිනමාව වෙනුවෙන් ඉතිරි කර ඇත්ද යන්නට උදාහරණ අපේ සිනමා ඉතිහාසය පුරා තරු කැට මෙන් දිදුලන්නේය.

ඔබ ඔබේ සිනමා දිවියේ පනස් වසර සම්පූර්ණ කරද්දි මම ඔබ හා විවාහ වී, ඔබේ පතිනිය ලෙස පනස් වසර සම්පූර්ණ කරන්නේය. ගෙවුණු කාලය අඩසිය වසක් වුවද, ඒ අතීතය අද මෙන්ම මගේ මතකයේ සදාකාලික සිහිවටන ලෙස තැන්පත්ව පවතින්නේය. ‘දෑස නිසා’ චිත්‍රපටයේ රංගනයට පැමිණ හමුවු අප දෙදනා, මේ සා දුරක් එකට ඇවිද යතැයි එදා ඔබවත්, මමවත් සිතන්නට නැතුව ඇති. එහෙත් දෛවය අපට ඉඩදි ඇත්තේ, ඔබ පසුපස මේ ගමන මෙසේ එන්නටය.

අප විවාහ වනවිට ඔබ රඟපෑ එකදු චිත්‍රපටයක් වත් තිරගත වී තිබුණේ නැත. ඔබේ තිරගතවු ප්‍රථම චිත්‍රපටය වන ‘තරංගා‘ තිරගතවන විටද අප විවාහ වී ය. මගේ සිනමා ගමන අපේ විවාහයෙන් කෙළවර වුවද, ඔබ මේ මාවතේ ඇවිද ගිය අයුරු මා ඔබේ පසුපස සිට බලා සිටියෙමි. අලුත විවාහ වූ තරුණ ගැහැනියක වූ මට ඔබ චිත්‍රපට රංගනය සඳහා දවස් ගණන්, මාස ගණන් මගෙන් දුරස්ව සිටිම කෙසේ වත් දරාගත නොහැකිවිය. ඔබේ දුරස්ථ භාවය මට මහා තනිකමක්, පාළුවක්, හුදකලා බවක් ගෙන දුන්නේය. එහෙත් ඒ සියල්ල ඉවසන්නට, දරාගන්නට මට දෙවියෝ ඉවසිලිවන්ත හදවතක් දී ඇතැයි දැන් මට සිතෙන්නේ මේ මාවත තුළ අප දෙදෙනා තවමත් එක්ව ඇවිද යන බැවිණි.

බොහෝ අවස්ථාවන්වල මට මේ පාළුව, තනිකම දරා ගැනීමට නොහැකිව හැඬූ අවස්ථා, අප රණ්ඩු කළ අවස්ථා කොතෙකුත් ඇති. මගේ අඬවැඩියාව ඔබට කරදරයක් වූ අවස්ථාත් කොතෙකුත් ඇති. එහෙත් ඒ දුෂ්කර අවස්ථා පසුකර දැන් අපි මේ මාවතේ බොහෝ දුරක් ඇවිද විත් හමාරය.

මගේ තනිකම පාළුවට හොඳම උත්තරයක් ලෙස ඔබ මට තිළිණ කළ මගේ දෙනෙත් වන් සමාන දරු තිදෙනා නිසා මගේ වේදනාවන් යම්තාක් දුරකට තුරන් විය. එහෙත් ගැහැනියක් වශයෙන් ඔබේ ආදරය, සෙනෙහස, රැකවරණය මම නිරන්තරයෙන් අපේක්ෂා කළෙමි. දරුවන් තුන්දෙනා නිසා මම නිවසේ අතිශයින්ම කාර්ය බහුල වීම නිසා ඔබ පිළිබඳ මතකයෙන් නිරන්තරයෙන් කාලය ගතකිරීමට ඉඩ නොලැබීම එක් අතකින් හොඳ දෙයක් වුණා. මට නිවසේ සිට කිරීමට මහා ලොකු රාජකාරියක් පැවරුණ නිසා. ඒත් දරුවන්ගේ වැඩ, නිවසේ වැඩ ඇතුළු මේ කාර්ය බහුලත්වය සමඟ මට තනියෙන් දරාගත නොහැකි වැඩ ප්‍රමාණයක් එනවිට මට දුක නොහිතුණු අවස්ථා නැත්තේ නොවේ. එසේම අද කාලයේ වගේ දුරකථන පහසුකම් නොතිබුණ නිසා සමහර අවස්ථාවල මාස ගණන් යනතුරු ඔබේ කටහඩ අහන්නටවත් අවස්ථාවක් නොලැබුණු බව ඔබ දන්නවා. ඉස්සර ඔබ එක් චිත්‍රපටයක දර්ශන ගැනීම අහවර කොට නිවෙසට පැමිණෙන විට අනෙක් චිත්‍රපටයට රැගෙන යෑමට නිවසට වාහනය පැමිණ තිබුණා. ඒ තරමටම ඔබ කාර්යය බහුලයි. ඒ දිනවල. මම වගේම ඒ කාලයේ දරුවනුත් ඔබ නිවෙසට පැමිණෙන තුරු බලාගෙන සිටියා. ඔබට දරුවන් සමඟ ගත කිරීමට තිබුණේ ඉතාම සීමිත කාලයක්. සිනමාවේ විවිධ චරිත ඔබේ නිර්මාණ ගොන්නට එක් රැස් වෙත්දි දරුවෝ ඉක්මනට ලොකුවුණා.

කොහොම වුණත් ඔබේ සිනමා දිවිය නිසා ඇතිවුණ මගේ හුදකලා බව තව පැත්තකින් මට ආශිර්වාදයකුත් වුණා. හුදකලාව නැති කර ගන්න මම ලේඛනයට හුරුවුණා. මම කවිකාරියක් වුණේ, මම ගීත රචිකාවියක් වුණේ, මම නවකතා , කෙටි කතා ලියන්න පෙළඹුණේ ඒ හුදකලාව නැති කර ගන්නයි. ඒ නිසා මාව නිර්මාණකාරියක් කළේ ඔබයි රවී..

දරුවන් සමඟ සමීපව කටයුතු කරන්නට ඔබට වෙලාවක් නොමැති වුවද, ඔබ ඉතා හොඳීන් දරුවන්ට යුතුකම් ඉටුකළ පියෙක්. ඒ වටිනාකම මගේ දරුවන්ට ලබා දුන්නට , මගේ ආදර , ගෞරවය මේ මොහොතේ පිළිගන්න. ඔබ දරුවන්ට හොඳීන් අධ්‍යාපනය ලබා දුන්නා.ඔවුනට ජිවත් වෙන්නට අවැසි ගුණ යහපත්කම්, ආචාර ධර්ම, හැදියාව කියලා දුන්නා. එක්තරා වයසකට ඔවුන් එළඹි පසු ඔබ ඔවුන්ට අවැසි නිදහසද ලබා දුන්නා. ඔවුන් කිසිදිනක ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන නොගත් බව ඔබත් මමත් දෙදෙනාම දන්නවා. ඔබේ ගෞරවයට හෝ අපේ පවුලේ ගෞරවයට හෝ හානියක් වෙන කිසිදු දෙයක් ඔවුන් අතින් අද මේ වනතුරුවත් සිද්ධවී නොමැත. ඔබ නිතර නිවසේ නොසිටි නිසා දරුවන් හැමදාමත් විවෘත වුණේ, හැදී වැඩුණේ මා තුරුලේම තමයි. එහෙත් ඔවුන් තිදෙනාම ඔබට දක්වන ආදරය, සෙනෙහස කොයි තරම්ද කියල මට වචනයෙන් විස්තර කරන්න නොහැකියි. ඔවුන්ට ඔබ ආඩම්බරයක්. ඔවුන් අද එවැනි ආකාරයෙන් ජිවත්වනුයේ ඔබ හොඳ පදනමක් ඇතිව ඔවුන්ව හැදු නිසයි. දරුවන්ගේ අම්මා ලෙස හැමදාමත් මම ඔබට ඒ වෙනුවෙන් ණය ගැතියි.

ඇත්තටම මට අද වගේ මතකයි ඔවුන් පුංචි කාලේ, ඔබ නිවසේ නොමැති අතර, රණ්ඩු සරුවල් කෝටියයි. නිවස අපිළිවෙළ කිරිමද කෙළවරක් නෑ. ඒත් ඔබ නිවෙසට පැමිණෙන ආරංචියට, වාහනේ හෝන් සද්දය එනවිට ඔවුන් තිදෙනාම එක සීරුවට පොත් පත් පිළිවෙළ කරමින් , නිවෙස අස්පස් කරමින් හොඳ ළමයින් ලෙස ඉන්න උත්සාහ දරපු විදිය . ඔබ ළඟ තිබුණු ඒ විනය ගරුක භාවය නිසා මට දරුවන් හදා ගන්නත් ලේසි වුණා. අද ඔවුන් උස් මහත් වී, විවාහ වී දරුවන්ගේ සුරතල් බලන තාත්තලා වුණත් එදා තිබුණු ඒ විනය ගරුක භාවය අදටත් එසේමයි. අද ඔබ සීයා කෙනෙක් ලෙසින් ඔවුන්ගේ දරුවන් සුරතල් කරන දෙස ඔවුන් බලා සිටින්නේ මහත් සෙනෙහසකින්.

කොහොම වුණත් රවි, ඔබේ සිනමා ගමන් මඟට මගෙන් විශාල අත් උදව්වක් ඔයාට නොලැබෙන්න ඇති. හුඟාක් වෙලාවට මම එයාට කරදර කරන්න ඇති. නමුත් මම දරුවන්ගේ වැඩ බලාගනිමින් මැසිවිලි කියකිය හෝ ගෙදර වැඩ බලාගැනීම නිසා ඔබට සිනමාවේ චරිත නිරූපණයට කිසියම් පහසුවක් ලැබෙන්න ඇති. මම මගේ යුතුකම් ටික නොපිරිහෙළා කරපු නිසා ඔබට ඔබගේ ගමන යන්න පහසුවෙන්න ඇති කියලා මට හිතෙනවා. එහෙම අනියමින් එය උදව්වක් වුණාට හිතා මතා මම උදව්වක් කරලා නැතිව ඇති.ඒ හින්ද මම හිතනවා මම නොදැනුම්වත්වම ඔබට සිනමාවේ චරිත මවන්න මම සහයෝගයක් දෙන්න ඇති කියලා. මොකද ඔබ සිනමාවේ මවපු ඒ බැරෑරුම් චරිත මවන්න ඔබේ හිත නිදහසේ තියෙන්න ඕන. ඒ චරිත ඔබ ඉතාම සාර්ථකව කරලා තියෙන්නෙ ඒ හිතේ නිදහස ඔබට තිබුණු නිසයි.

ඔබේ රංගන ජිවිතයේ ඔබ මෙරට සිනමාවට ඉතිරි කරපු චරිතාංග රංගන අතර මගේ සිත් ගත් චරිතත් රාශියක් තිබෙනවා. මේ රටේ බහුතරයක් විචාරකයන් හා ප්‍රේක්ෂකයන්ගේ අවධානයට පාත්‍රවුණු ඔබ රඟපෑ ‘ගුරුගෙදර, සිරිපාල සහ රන්මැණිකා, සිරිමැදුර , අනන්ත රාත්‍රිය, , දඩයම වැනි චිත්‍රපටවල ඔබ කළ රංගනයන් මගේත් සිත් ගත්තා. ඇත්තටම ඒ දවස්වල මම කැමැති වුණේ ඔබ චරිතාංග රංගනයේ පමණක් යෙදනවාටයි. ඒ කාලේ මල් ගස්වටේ දුවන, රස්තියාදු චරිත කරනවට මගේ කැමැත්තක් තිබුණේම නෑ. ඔබට නොකිව්වට මම එහෙම හිතාගෙන හිටියා. නමුත් අර ‘අහල්ලා’ වගේ සින්දුවක් දැන් අහනකොට ඒක කොයි තරම් වෙනස්ද? ඒක කරපු එක කොච්චර හොඳද කියලත් හිතෙනවා. මේ මෑතකදි ඔබ රඟපාපු ‘ටියර් ඩ්‍රොප්ස්‘ කියන චිත්‍රපටයේ ඔබේ චරිතයට මම පුදුම තරම් කැමැතියි.

සිනමා ජිවිතයේ ඔබ බොහෝ දේවල් ළඟාකර ගත්තෙක් රවී. ඔබ සිනමාවේ කර ඇති චරිතාංග රංගනයන්ට කිට්ටු වෙන්න හැකි වෙනත් ආදර්ශකයක් ඇතැයි මට හිතෙන්නේ නැහැ. රවීන්ද්‍ර රන්දෙණියලා ලංකාවටම ඉන්නේ එක්කෙනයි. රංගන ශිල්පියෙක් වශයෙන් පමණක් නොවෙයි, සිනමාව වෙනුවෙන් මැදිහත් වී, එය නඟා සිටුවීම වෙනුවෙන් අපිරිමිත කාර්යභාරයක් කරපු කෙනෙක් විදියටත් ඔබ ගෞරවයට පාත්‍ර වෙනවා. සිනමා දිවියේ පනස් වසරක් සම්පූර්ණ කරන ඔබට නිදුක් නීරෝගි සුවය සමඟ චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා.

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT