Home » හැමෝම පරිසරයට ආදරය කරන්න

හැමෝම පරිසරයට ආදරය කරන්න

ළමා රංගන ශිල්පී චාෙහල් රගීත් ෙකා්න්කඩුව

by Mahesh
May 16, 2024 12:30 am 0 comment

– ගොඩක් දක්ෂ රංගන ශිල්පී මාමලා නැන්දලා සමඟ තමයි මට ඒ චිත්‍රපටයේ රඟපාන්න තිබුණේ
– උදයකාන්ත වර්ණසූරිය මාමාගෙන් වටිනා අත්දැකීම් ගොඩක් ලබාගන්න පුළුවන් වුණා
– සංගීතය හදාරන්නත් ගොඩක් කැමැතියි

නූතන සමාජයේ අවධානය යොමු විය යුතු ඉතා වැදගත් කතා තේමාවක් සාරයෙන් තැනුණු චිත්‍රපටයක් ලෙස රිදී සීනු චිත්‍රපටය හඳුනාගත ගත හැකිය. කුඩා දරුවන්ගේ මනසේ ඇඳෙනා අව්‍යාජ වූද ඉතා වටිනා වූද සිතුවිල්ලක් මහා සමාජයක් ඉදිරියට කෙසේ ගෙන යා හැකිද යන්න සිතන්නට රිදී සීනු චිත්‍රපටය අපට ඉඩක් නිර්මාණය කර දෙයි.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය වූ රිදී සීනු චිත්‍රපටය ප්‍රේක්ෂකයාගේ අවධානයට යොමු වන්නේ සුවිශේෂ කරුණු ගණනාවක් නිසාය. එහිදී එම චිත්‍රපටයේ අපූරු චරිතයක් ඔස්සේ අවධානය දිනා ගන්නාසුලු රංගනයක නිරත වන ළමා නළු චාහෙල් රගීත් කෝන්කඩුව රිදී සීනු චිත්‍රපටයට දායක වූ ආකාරය පිළිබඳ දැක්වූ අදහස් බලමු.

ඉතා වටිනා පණිවිඩයක් රැගත් චිත්‍රපටයක ඔබ සුවිශේෂ රංගනයක යෙදෙනවා රිදී සීනු චිත්‍රපටයේ රංගනයට දායක වෙන්න ලැබුණු අවස්ථාව ගැන මොනවාද චාහෙල්ට දැනෙන්නේ ?  

මට සතුටුයි. රංගන ක්ෂේත්‍රයේ ගොඩක් ප්‍රවීණ නැන්දල මාමලා එක්ක මේ ලස්සන ඒ වගේම ගොඩක් දෙනෙක් කතා කරන ලොකු පණිවිඩයක් තියෙන මේ මේ ලස්සන චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණ නිසා.

චාහෙල්ගෙ පාසල ගැනත් කතා කරමු නේද ?

මගෙ පාසල කොළඹ කේරි විද්‍යාලය. මම හත වසරෙ ඉගෙන ගන්නෙ. සංගීතය හදාරන්නත් ගොඩක් කැමැතියි. සැක්සෆෝනය වාදනය කරන්න තමයි ගොඩක් නැඹුරු. ඊට අමතරව පාසලේ ගීතිකා කණ්ඩායම නියෝජනය කරමින් එහි සාමාජිකයකු විදියටත් කටයුතු කරනවා.

චාහෙල් කොහොමද රිදී සීනු චිත්‍රපටයට සම්බන්ධ වුණේ ?

රිදී සීනු කියන්නෙ මගේ පළවෙනි චිත්‍රපටය. ඊට කලින් මම දෙරණ හා හිරු අවුරුදු කුමරා බවට පත්වෙලා තිබුණා. ඒ 2018 හා 2019 වර්ෂවල. ඊට පස්සෙ තමයි ‘සිහින ගෙනෙන කුමාරියේ’ නාට්‍යයට මාව තෝරා ගත්තෙ. ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර මාමා තමයි මාව ඒ නාට්‍යයට තෝරා ගත්තේ. ‘සිහින ගෙනෙන කුමාරියේ’ නාට්‍යයේ සනුක කියන ළමයාගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ

ඒ නාට්‍යයෙන් පස්සෙ උදයකාන්ත වර්ණසූරිය මාමා ඔහුගේ රිදී සීනු චිත්‍රපටයට මාව තෝරා ගත්තා. ඉසුරු ලොකුªහෙට්ටිආරච්චි මාමා තමයි මාව උදයකාන්ත මාමට හඳුන්වල දුන්නෙන්. ඒ චිත්‍රපටයේ අක්කා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි මූලික වන කතාවක් සමඟ තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ.

ගොඩක් දක්ෂ රංගන ශිල්පී මාමලා නැන්දලා සමඟ තමයි මට ඒ චිත්‍රපටයේ රඟපාන්න තිබුණේ

අපේ සමාජයට ම ඒ සමාජයේ මිනිසුන් හැමෝටම ගොඩක් වැදගත් වන කතා තේමාවක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ.

අපේ පුංචි සිතුවිල්ලක් කොහොමද මුළු සමාජයටම බලපෑමක් වුණේ කියන කතාවක් තමයි රිදී සීනු චිත්‍රපටයේ තියෙන්නේ.

ඔබේ විශේෂ බලාපොරොත්තු මොනවාද ?

මම පරිසරයට හරිම ආසයි පරිසරය ගැන සොයන්න ඉගෙන ගන්න තමයි ගොඩක් ම ආස. අනාගතයේ විද්‍යඥයකු වෙන්න යි ඕන. රංගනයටත් තව යොමුවෙන්න ආසයි ඉදිරියේ දී. රංගන ක්ෂේත්‍රයේ ප්‍රවීණ නැන්දලා මාමලා එක්ක වැඩ කරල අත්දැකීම් ලබන්න මම ගොඩක් ආසයි.

චාහෙල්ගෙ විනෝදාංශ මොනවාද ?

මම පාපන්දු ක්‍රීඩා කරන්න ගොඩක් ආසයි. ක්‍රිකට් ගහනවා බැඩ්මින්ටන් ක්‍රීඩා කරන්නත් ආසයි. ඊළඟට සින්දු අහන්නත්, පොත් කියවන්නත් ගොඩක් ආසයි.

චාහෙල්ට උදවු කරන්නෙ කවුද ?

අම්මා තාත්තා මුලින්ම. ඒ වගේම ආච්චියි සීයයි. විශේෂයෙන් මගෙ අත්තම්මා මල්ලිකා දිසානායක අත්තම්මා තමයි මාත් එක්ක නිතරම හිටියේ.

ඊළඟට උදයකාන්ත වර්ණසූරිය මාමා, නිවන්ත ප්‍රසාර මාමා, කසුන් තරින්ද්‍ර, ඩොනල්ඩ් ජයන්ත මාමා ආදී අයත් ගොඩක් ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරනවා.

උදයකාන්ත වර්ණසූරිය කියන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයා එක්ක වැඩ කරද්දී මොනවාද චාහෙල්ට දැනුණේ ?

ගොඩක් සතුටුයි. වටිනා අත්දැකීම් ගොඩක් ලබාගන්න පුළුවන් වුණා. ඒ වගේම උදයකාන්ත වර්ණසූරිය මාමා සැරත් නැහැ. අපි ට හරි ආදරෙයි.

විද්‍යාඥයකු වන්නයි කැමැති කිව්වෙ නේද ?

ඔව්. ඇත්තටම මම කැමැති හැමෝම මම වාගෙ හිතනවා නම්. ඒ කියන්නෙ පරිසරයට ආදරය කරනවා නම්. ප්ලාස්ටික් වගෙ දේවල් පරිසරයට මුදා නොහරිනවා නම්. මම ආසම විෂය විද්‍යාව. විද්‍යාව ඉගෙන ගනිද්දී මට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම මෙතෙක් අපේ රටේ කවුරුත් සොයා නොගත් අලුත් සත්ත්ව විශේෂයක් සොයා ගන්නත් මම හරි ආසයි. ඒ වගෙ දේවල් තමයි මගෙ අනාගත බලාපොරොත්තු.

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT