Home » හරවත් ගී පද පෙළකින් යහපත් මිනිසුන් බිහිකළ හැකියි

හරවත් ගී පද පෙළකින් යහපත් මිනිසුන් බිහිකළ හැකියි

ගීත රචිකා යුනානීී රේණුකා රත්නසූරිය

by Thanushika
October 30, 2025 11:01 am 0 comment

තමා වඩාත් ප්‍රිය කරන කටයුත්තක නිරත වීමට වයස පිළිබඳ සිතීමට අවශ්‍ය නැත. එම කටයුත්තෙන් තමාට සතුටු විය හැකිනම් එය ජීවිතයේ සාර්ථකත්වයට හේතුවක් වනු ඇත. එසේ සාර්ථක වූ චරිතයක් හඳුනාගැනීමට සරසවියට හැකිවිය. ඇය ගීත රචිකාවකි. හඬ කැවීමේ ශිල්පිනියකි. ඒ සෑම දෙයකටම වඩා ඇය දරු දැරියන් දහස් ගණනකගේ නැණස පෑදූ ගුරු මාතාවකි. ඇය යුනානී රේණුකා රත්නසූරියයි. ගීත රචනා කලාවට පෙම්බැඳී ඇය සරසවිය සමඟ එක් වූයේ තම අත්දැකීම් බෙදා හදා ගන්නටය.

මම දැන් විශ්‍රාමික ගුරුවරියක්. 2024 වසරේදී මම ගුරු සේවයෙන් විශ්‍රාම ගත්තා. අවසන් වරට සේවය කළේ පොරමඬුල්ල මධ්‍ය විද්‍යාලයේ. මම ශාස්ත්‍රපති උපාධිධාරිනියක්. විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. පශ්චාත් උපාධි ඩිප්ලෝමාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තා. මම ද්වීතික අධ්‍යාපනය ලබා ගත්තේ රත්නපුර නුගදණ්ඩ විද්‍යාලයෙන්. එම පාසලෙන් කැලණිය විශ්වවිද්‍යාලයට තේරීපත් වූ පළමු ශිෂ්‍යාව වුණේ මමයි. මම ගීත රචනය සඳහා යොමු වුණේ උසස් පෙළ අවසන් කර නිවසේ රැඳී සිටි කාලයේ. ඒ කාලේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්‍රචාරය කළ ‘ පසන් නිවස’ වැඩසටහනට මම ගීත , කවි ලිව්වා. ඒවා ගුවන් විදුලියේ නිතර ප්‍රචාරය වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පසු මගේ ගීත රචනා කලාව තවත් ඔප මට්ටම් වුණා. 1986 දී විශ්වවිද්‍යාලීය කලා උලළෙදී ගීත රචනා තරඟයෙන් මට ප්‍රථම ස්ථානය හිමිවුණා. විශ්වවිද්‍යාලයේ පැවති ප්‍රසංග වලදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, ආචර්ය නන්දා මාලිනි වැනි චරිත මට මුණ ගැසුණා. ඒ අය මට ඇසුරු කරන්නට අවස්ථාව ලැබුණ නිසා ගීත ලියන්න, කෙටි කතා ලියන්න තිබූ උනන්දුව තවත් වැඩිවුණා.

ගුරු සේවයේ සිටි කාලයේ මම නිතර ගීත ලියන්න අවස්ථාවන් සැලසුණා. මට පළමු පත්වීම ලැබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දියතිලක මහා විද්‍යාලයට. වසර අටක් එහි සේවය කිරීමෙන් පසුවයි මට පොරමඬුල්ල මධ්‍ය විද්‍යාලය ලැබෙන්නේ. එහි සුන්දර වටපිටාවක් තිබුණා. මගේ නිර්මාණ කටයුතු වලට එය උදව්වක් වුණා. පාසලේ පැවති උත්සව සහ විශේෂ අවස්ථාවන් සඳහා මම ගීත ලියා දුන්නා. සමරු ඵලක සඳහා වදන් ලිව්වා. ඒ නිසා පාසලේ කවුරුත් මාව හඳුනා ගත්තා. මගේ හැකියාව හඳුනා ගත්තා. ඉන්පසු මට අවට පාසල්වල පාසල් ගීත ලියන්නත් ආරාධනා ලැබුණා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ විද්‍යාකර මහා විද්‍යාලයට, දෙණිකේ කනිෂ්ඨ විද්‍යාලයට , සඳ එළිය පෙර පාසලට පාසල් ගීත ලියැවුණේ මා අතින්. ඒ අතරතුරේ පාසල් සමාප්ති ගීතයත් රචනා කරදෙන ලෙස පොරමඬුල්ල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමාගෙන් මට ආරාධනාවක් ලැබුණා. එවැනි සමාප්ති ගීත පාසල්වල ඊට පෙර තිබුණේ නැහැ. පාසල් අවසානයේ ගාථා කියා තමයි ළමුන් පාසලෙන් පිටවුණේ. නමුත් විදුහලපතිතුමාට අවශ්‍ය වුණා සමාප්ති ගීතයක් පාසල අවසානයේ ළමුන් ලවා ගායනා කරවන්න. ඒ නිසා මේ සමාප්ති ගීතය මගේ අතින් ලියවුණා. එය අදටත් පාසල අවසානයේ ගායනා කරනවා. එහි මුල් කොටස ලියවුණේ මෙන්න මේ විදිහට.

මේ බිම හැම වැලි කැටයක් ගානේ
මේ තුරුලිය අග දළුකොළ ගානේ
මට දුන් සෙවණට අම්මා වාගේ
පින් දෙමි පාසල් මෑණිට මාගේ.

2009 වසරේදී පොරමඬුල්ල මධ්‍ය විද්‍යාලයේ කලා සහ වාණිජ අංශ එක්ව ‘ මියැසි අරුමය’ නමින් ගීත ප්‍රසංගයක් සංවිධානය කළා. ඒ සඳහා මා ලියූ ගීත ගණනාවක් තෝරා ගත්තා ගායනා කිරීම සඳහා. එහිදී මට වටිනා ඇඟයීමක් ලැබුණා.

සංගීත ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් මගේ ගීත ගායනා කර තිබෙනවා. ඒ කාලේ තිබුණේ කැසට්. ඒ සඳහා ප්‍රසිද්ධිය ඉසිලුවේ නිල්වලා ආයතනය. එම ආයතනය මට උදව් කළා. ඔවුන් මගේ ගීත නිර්මාණ භාර ගත්තා. ලංකාවේ ජනප්‍රිය ගායකයන් දෙපළක් වූ අසංක ප්‍රියමන්ත පීරිස් සහ දමිත් අසංකට මම ගීත රචනා කර තිබෙනවා. අසංක ප්‍රියමන්ත පීරිස්ගේ කඳුළු සමනළී කියන කැසට් පටයට මා ඔහුට ලියූ ‘ ළිප ගිනි නිවිලා සහ කෑල තුරු අරා ගීත ‘ දෙක අඩංගු වුණා. ඒ වගේම දමිත් අසංකට ලියා දුන් ‘ සොර බොර වැව’ ගීතය ඔහුගේ ප්‍රථම ආදරේ කියන කැසට් පටයේ අඩංගුයි. ඒ වගේම නිතිලා ඉලේසිංහගේ නුඹ සඳ මගේමැයි කැසට් එක සඳහා ‘සඳුන් ඉර මඬලේ ‘ ගීතයත් , මුතු අහුර කැසට් පටයට ‘ තරු මෙතරම් අහසේ’ ‘ තරප්පු පෙළ පාමුල’ යන ගී දෙකත් මා අතින් තමයි ලියවුණේ.

මම මුලින්ම සඳහන් කළා ගුවන් විදුලියටත් මා ගීත ලියූබව. ගුවන් විදුලියට මම ළමා ගී වගේම සරල ගීතත් ලිව්වා. ගායිකා නිර්මලා රණතුංග ගායනා කළ ‘තුන්පත් ඈදා වියූ පැදුර’ වේවැල් මාමා, පුංචි දළඹුවා සහ ගායිකා නිර්මලා ප්‍රියන්ති ගායනා කළ සිරස තබා ගීතයත් මගේ අතින් ලියවුණේ. ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කළ ‘ මුදලිහාමි’ ගීතය මම රචනා කරදුන් හරි අපූරු ගීතයක්. අපෙන් සමුගත් නීලා වික්‍රමසිංහ ගායිකාවත් මගේ ගීතයක් සංගීතවත් කර තිබෙනවා. ඒ ගීතය තමයි ‘ පාර මතකද ‘ කියන ගීතය. එය ගායනා කළේ සුහානි ආකර්ෂා. ගායක අරවින්ද ජයනාත් ආරියරත්න ගායනා කරන තාරකා වසන්තෙර්, රෑ කළුවර දෙගොඩතලා, දකින්නට ආසයි, මල් සුවඳක් සේ ගීත යූ ටියුබ් නාලිකාවල ප්‍රචාරය වෙනවා.

මගේ ගීත රචනා කිරීම කිහිපවතාවක් ඇඟයීමට ලක්වුණා. එය මගේ ගීත ලිවීමට දිරිමත් කිරීමක් වුණා. මා අධ්‍යාපනය ලැබූ පොරමඬුල්ල මධ්‍ය විද්‍යාලයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් මට ඇගැයුමක් හිමිවුණා. 1984 දී චිත්‍රා කුමාරි යාපා බණ්ඩාර මහත්මිය විසින් මට ආරාධනා ලැබුණා මාධ්‍ය සාකඡාවකට. ගුවන් විදුලියේ ‘ පසන් නිවස’ වැඩසටහනට. එයත් මට ලැබුණ ඇඟයුමක් ලෙසයි මා දකින්නේ. ඒ වගේම 2018 දී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්ත්මේන්තුවෙන් ‘ ශිල්පාභිමානි හරසර’ සම්මානයෙන් මම පිදුම් ලැබුවා.

ගීත රචනයට මෙන්ම හඬ කැවීමටත් මට හැකියාව තියෙනවා. එක්දහස් නවසිය ඇසූ ගණන්වල මම පාසල් වේදිකාවේ විවිධ හඬ මැව්වා. ඒ දක්ෂතාවය නිසා මම ගුවන් විදුලියට ඉල්ලුම් පත්‍රයක් දැම්මා. හඬ කැවීමේ ශිල්පිනියක් වෙන්න තිබූ ආසාව නිසා. පරීක්ෂණ දෙකකින් මම සමත් වුණා. ඉන්පසු නාට්‍යවේදී සුගතපාල ද සිල්වා ගේ ගුවන් විදුලි රඟඬලට හඬ කවන්න මට අවස්ථාව හිමිවුණා. අදටත් මා දෙරණ , ස්ටාර් ටීවී සහ හිරු නාලිකාවල හඬ කැවීමේ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා. එය මා ඉතා සතුටින් කරන කටයුත්තක්.

විශ්‍රාම සුවයෙන් ගත කරන අතරම මට හැකිතාක් කල් කලා ක්ෂේත්‍රයේ නියැළී සිටිනවා. ගුණාත්මක ගීත රචනා කරමින් ප්‍රමිතියකින් යුක්ත ගීත සමාජයට තිළිණ කිරීම මගේ එකම අරමුණයි. අද ගී ලියන ඇතැම් අයගේ ගීතවල හරවත් බව් ගිලිහී ගිහින්. හරවත් ගීත ලිවීමෙන්, ගායනා කිරීමෙන් මිනිසුන්ගේ හිත්වල ආකල්ප සහ ගුණ ධර්මවල වෙනසක් ඇති කරන්න පුළුවන්. ආදරය, මෛත්‍රිය, කරුණාව මුසු ගීත අපි නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා වත්මන් තරුණ පරපුරට මඟ පෙන්විය යුත්තේ අපිමයි. ඒ වගේම එයට මඟ පෙන්වීමක් කිරීමට පාසලෙනුත් හැකියාව තිබෙනවා. මව්පියන්ටත් හැකියාව තිබෙනවා ඔවුන්ට නිසි මඟ පෙන්වා දෙන්න.

අද මම මේ විදිහට ගීත රචිකාවක සහ කලාකාරිනියක වී සිටින්නේ මගේ මව්පියන් මට නිසි මාර්ගය පෙන්වා දුන් නිසා. මේ අවස්ථාවේ මම ඔවුන්වත් ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම මගේ සෑම කටයුත්තකටම මට සහය දෙන මගේ ස්වාමිපුරුෂයා ඈපා ජයරත්නත්, මගේ ආදරණීය පුතුන් දෙදෙනා වන සිවිසල් ජයරත්න සහ විසල් ජයරත්නත් මම ආදරෙන් මතක් කරනවා. විශේෂයෙන් මා ස්තූතිවන්ත වෙනවා කලාවට කවදත් අතහිත දෙන සරසවිය පුවත්පතට . මා අතින් ලියවුණු මේ ආදරණීය වදන් පෙළ ඒ වෙනුවෙන්.

මානව හදවත්වල සැඟවුණු වසන්තයේ චමත්කාරජනක ආශ්චර්යය පුබුදුවා විකසිත කරන්නිය සරසවියයි.

තරුවකින් තරුවකට කැඳවාගෙන යමින්

ජීවිතයේ අසිරිමත් කලාත්මක රිද්මය සනිටුහන් කරන රසාංජනය “සරසවියයි.”

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT