Home » සෝලෝටවුන් තරුණ සංගීත කණ්ඩායමක් වටා ගෙතුණු ලස්සන කතාවක්

සෝලෝටවුන් තරුණ සංගීත කණ්ඩායමක් වටා ගෙතුණු ලස්සන කතාවක්

නවක නළු නොනිම් හෂන්ත රවිහාන්

by Thanushika
December 26, 2024 12:30 am 0 comment

නොනිම් එහි එක් සාමාජිකයෙක්. ඔහු පෙනුමින් ඉතා අහිසංකයි. සෝලෝටවුන් සංගීත කණ්ඩායමට ආදරය කරන චරිතයක් .නොනිම් ගේ චරිතය සඳහා පණ පොවන නවකයාගේ සැබෑ නමත් නොනිම් . නොනිම් හෂන්ත ශවිහාන්. ඔහු මේ වන විට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිසුවෙක් . තම දෙමව්පියන්ගේ සංගීතට ඇති හැකියාව ඔහුටත් හරි අපූරුවට පිහිටා තිබීම විශේෂත්වයක්. නොනිම් ගේ හීනය තමයි කවදා හෝ කලාකරුවෙක් වෙන එක. ඒ හීනය සැබෑ කර දුන් සෝලෝටවුන් ගැනත්, ඔහු ගැනත් අපි ඔහුගෙන්ම අසා දැනගමු.

සෝලෝටවුන් ඔබේ පළමු චිත්‍රපටයද?

ඔව් මේක තමයි මම මුලින්ම රඟපෑ චිත්‍රපටය.

මේ වනවිට ලැබුණ ප්‍රතිචාර කොහොමද ?

ඇත්තටම කියන්න සතුටුයි ලැබෙන ප්‍රතිචාර ඉහළයි. සෝලෝටවුන් කියන්නේ සංගීතමය චිත්‍රපටයක්. ඒ නිසා බොහෝ දෙනෙක් ආසාවෙන් බලනවා.

සෝලෝටවුන් චිත්‍රපටයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද ?

අපේ සංගීත කණ්ඩායමේ නමත් සෝලෝටවුන්. කාලයක ඉදන් අපි එකට වැඩ කරනවා. ඉතින් අපිට අවශ්‍ය වුණා අපේ බෑන්ඩ් එකේ නම පවතින වැඩක් කරන්න. චතුරංග අයියාත්, උදිත අයියාත් එකතු වෙලා සෝලෝටවුන් නමින් ෆිල්ම් එකක් කරන්න ගත්ත තීරණයක් මේක. සෝලෝටවුන් බෑන්ඩ් එකේ ඉන්න කට්ටිය තමයි ෆිල්ම් එකෙත් ඉන්නෙ.

ඔබ සංගීතය ඉගෙන ගෙන තියෙන කෙනෙක් ද?

ඔව්. මම පාසැල් ගියේ වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලට. පුංචි කාලේ ඉදන් මම සංගීත ඉගෙන ගත්තා. මගේ අම්මා තාත්තා දෙන්නම ගුවන් හමුදා බෑන්ඩ් එකේ ඉන්නවා. ඒ උරුමයෙන් එන හැකියාවත් මට පිහිටලා ඇති. මම සමස්ත ලංකා තරඟ වලටත් සහභාගී වෙලා තියෙනවා. උසස් පෙළ සමත් වෙලා මම දැන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා.

සෝලෝටවුන් චිත්‍රපටය ඔබට දැනුණේ කොහොමද ?

මම පුංචි කාලේ ඉදන්ම ආස කලේ ආර්ටිස්ට් කෙනෙක් වෙන්න . හිතේ තිබුණ හීනයක් ඒක . මුලින්ම ඒ හීනය සැබෑ වුණේ සෝලෝටවුන් නිසා. ඉතින් මට මේ චිත්‍රපටය ගොඩක් හිතට සමීපයි. ෆිල්ම් එක බලද්දී දැනුණ හැඟීම් ගැන නම් මට විස්තර කරන්න බැහැ. වචන මදි ඒ ගැන කියන්න.

සෝලෝටවුන් අධ්‍යක්ෂක සහ නිෂ්පාදක ගැන ඔබට මොනවා ද කියන්න තියෙන්නේ ?

ඒ දෙන්නා නිසා තමයි සෝලෝටවුන් ලස්සන වුණේ. චතුරංග අයියාගේ පළමු සිනමා අධ්‍යක්ෂණය. ඔහු හරිම සහයෝගයෙන් කා එක්කත් වැඩ කරන කෙනෙක්. ඒ නිසා නවකයන් විදිහට අපිට ගොඩක් පහසු වුණා වැඩ කරන්න. ඒ වගේම තමයි උදිත අයියාත්. නිෂ්පාදනය පැත්තෙන් එයා දායක නොවුනා නම් සෝලෝටවුන් සිනමාවට රැගෙන එන්න බැරි වෙනවා. ඒ දෙන්නම අපිට නිදහසේ වැඩ කරන්න ඉඩ දුන්නා.

සමාජයට දෙන පණිවිඩය කුමක්ද මෙම චිත්‍රපටයෙන්?

සෝලෝටවුන් චිත්‍රපටය සංගීතය සපිරි චිත්‍රපටයක්. සංගීතය කියන දේ ජීවිතයට අවශ්‍යයි. සංගීතයෙන් පුළුවන් මිනිස්සුන්ගේ මනස සුවපත් කරන්න. මේ ෆිල්ම් එකෙත් එහෙම සිද්ධියක් තියෙනවා . පිළිකා රෝගයෙන් පීඩා විඳීන කුඩා දැරියක් ගොඩාක් ආස කරනව සෝලෝටවුන් බෑන්ඩ් එකට. එයාගෙ හිත සතුටින් තියාගන්නේ සෝලෝටවුන් බෑන්ඩ් එක නිසා. ඉතින් රෝගියෙක්ට බෙහෙතක් වගේ තමයි සංගීතය. ඒ පණිවිඩය රැගෙන එන අතර කණ්ඩායමක් ලෙස ඉන්න කොට තිබිය යුතු සමඟිය ගැනත් කියවෙනවා.

සෝලෝටවුන් රූගත කරද්දී අමතක නොවන සිද්ධීන් නැවතත් මතක් කළොත් ?

ඒ වගේ සිද්ධීන් ගොඩක් තියෙනවා. අපි හරි එකමුතුවෙන් විනෝදෙන් තමයි හිටියෙ එක පවුලක් වගේ. ඉතින් ඒ හැම දවසක්ම අමතක කරන්න බැහැ. ෆිල්ම් එකේ ෂූටිං තිබුණේ කොළඹ සහ මිරිස්සේ. එළිවෙනකං ෂූටිං කරපු දවස් තිබුණා. ඒ නිසා ඒ හැම දවසක්ම ජීවිතයේ ලස්සන මතකයන් වේවි.

මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු ?

උසස් අධ්‍යාපන කටයුතු හොඳීන් කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම සංගීතය පැත්තෙන් අලුතින් නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම සිංදුත් ලියනවා. ඒ අතරේ ෆිල්ම්ස්, ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබුණොතින් ඒවටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

ප්‍රේක්ෂකයන්ට මොනවද ඔබට කියන්න තියෙන්නේ ?

ආදරෙන් කියනව සෝලෝටවුන් බලන්න එන්න කියල. ඔබේ ප්‍රතිචාර තමයි අපිට වටින්නේ. සෝලෝටවුන් සංගීතය මුසු වූ ලස්සන චිත්‍රපටක්. හැමෝම ඇවිත් බලන්න. වෙනස ඔබට වැටහේවි. මෙතෙක් සෝලෝටවුන් බලපු අයට ගොඩක් ස්තුතියි.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

 

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT