ත්‍රාසය, භීතිය හා කුතුහලය මුසුවූ ක්‍රියාදාම ස්වරූපයේ සිනමාපට සිරිලක සිනමාවට නිරතුරුවම එක් නොවේ. මෙයට තුඩු දෙන ප්‍රමුඛතම හේතුවක් සේ පෙනී යන්නේ එබඳු සිනමාපටයක විශ්වාසනීයත්වය වෙනුවෙන් භාවිත කළ හැකි සම්පත් ප්‍රමාණවත්ව සපයා ගැනීමට සිරිලක සිනමා නිපැයුම් පාර්ශ්ව අසමත් වන අවස්ථා හෝ සූදානම් නොවන අවස්ථා තවදුරටත් වාර්තා වීමයි. සැබැවින්ම මෙය දශක ගණනාවක දිගු ඉතිහාසයකට උරුමකම් කියන සිරිලක සිනමාවේ එක්තරා පසුබෑමක් සේ හඳුනා ගත හැක්කකි. අතීතයේ ලෙනින් මොරායස්, නීල් රූපසිංහ, ජේ.සෙල්වරත්නම්, මාලිනී ෆොන්සේකා වැනි සිනමාකරුවන් හා සිනමාකාරියන් හැකි අයුරින් මෙම අභියෝගය ජය ගනු පිණිස උත්සුක වූ බව පැහැදිලිය. සිනමාව රසික ජීවිත පරිඥානය වඩවන අන්දමින් හසුරුවාලීමට සපැමිණෙන බොහෝ සිරිලක සිනමාකරුවන් මෙබඳු සිනමාපට නිර්මාණයට යම් මැළිකමක් දක්වන වගද මෙහිලා සඳහන් කළ යුතුය.
සිනමා අධ්‍යක්ෂණයට අලුතෙන්ම එක්වන ශාන් ජයරත්න මෙම තතු කෙරෙහි යම් සැලකිල්ලක් දක්වා ඇති වග දත හැක්කේ සිරිලක සිනමාවේ විවිධත්වය යන අවශ්‍යතාවටද අදාළවයි. ලොව බොහෝ සිනමා අර්බුද පසුපස පවතින මුල් පෙළේ හේතුවක් වනුයේ විවිධත්වය යන්න ප්‍රමාණවත්ව සාක්ෂාත් කර ගත නොහැකි වීමය. මෙය සිරිලක සිනමා ඉතිහාසයේ වාර්තා වූ බොහෝ අර්බුද පසුපසද පවතින්නකි. අද මේ අර්බුදය තරමක නිහඬතාවක් පළ කරයි. එනමුදු කවර මොහොතක හෝ මෙහි පුපුරා යාමක් සිදුවීමට ඇති ඉඩකඩ සුළු පටු නොවේ.
‘සෝණා’ රසිකයන් විෂයෙහි දනවන්නේ සුලබ හැඟීමක්ය යන්න පැහැදිලිය. එනම් ඔවුන් ‘සෝණා’ බඳු සිනමාපට මීට පෙරාතුව නරඹා තිබෙන බවයි. වෙසෙසින්ම සමකාලීන ඉන්දියානු දමිළ හා මලයාලම් සිනමා ධාරා වෙතින් ‘සෝණා’ සිහිගන්වන සිනමාපට නිශ්චය කර ගැනීම පහසුය. එසේම ක්‍රියාදාම මාදිලියේ බටහිර සිනමා ධාරා වෙතින්ද ‘සෝණා’ සිහිගන්වන සිනමාපට හඳුනා ගැනීමට වැඩි වෙහෙසක් දැරිය යුතු නොවේ. අනුකාරක සිනමාව සපුරා බැහැර කළ යුතු අගතිගාමී පිළිවෙතක් සේ හංවඩු ගැසීමට වඩා වෙනස් කාරණයක් මෙහිලා අදහස් කෙරේ. එනම් අනුකරණය නිර්වචනයට නව ක්‍රමවේදයක් සකසා ගත යුතු බවය. එසේම යම් අනුකාරක ලකුණු සමුච්චයක් නිසා සිනමාපටයක් නොවිමසා බැහැර නොකළ යුතු බවය.
සිනමාපටය පුරාම විහිදුණු සටන් ජවනිකා නිර්මාණයේදී ශාන් වෙත වසන්ත කුමාරවිල ලබා දුන් සහය තීරණාත්මක යැයි උපකල්පනය කිරීම අනුචිත නොවේ. වසන්ත මෙහි සටන් ජවනිකා නිර්මාපක ලෙස දැක්වේ. මෑත කාලීන සිරිලක සිනමාපට කිහිපයකම ආ සටන් ජවනිකා වෙත ජවයක් හා ප්‍රවේගවත් බවක් එක්කරලීමට වසන්ත සමත්වූ වග සිහිකටයුතුය.
නවක නිළියක සේ පැමිණෙන මියෝනා ද සිල්වා සටන් ජවනිකා විෂයෙහි දුර්මුඛ වන අවස්ථා අවම කිරීමට ශාන් මෙන්ම වසන්ත කුමාරවිලද දරා ඇත්තේ තරමක වෙහෙසකි. එසේම සිනමාපටය කිසිදු යටි පෙළ අරුතක් නොපවසන හෙයින් මියෝනාගේ සටන්කාමිත්වයට ඇතුළාන්තයක් එක්කරලීමට ඔවුහු උනන්දු නොවෙති.
‘සෝණා’ බඳු ක්‍රියාදාම ස්වරූපයේ සිනමාපටයක යම් යටි පෙළ අරුතක් තිබිය යුතුමය යන්න මෙතැනදී අවධාරණය නොකෙරේ. කෙසේ වුවද සිනමාපටයේ රූපරාමු මත ත්‍රාසය, භීතිය හා කුතුහලය සනිටුහන් කරලීමේදී උචිත විශ්වාසනීයත්වයක් සහතික කර ගැනීමේ අභියෝගයට වඩා සවිමත්ව මුහුණ දීමටයි නිර්මාණකරුවනට සිදුවන්නේ. සිනමාපටයේ යම් අගයක් තිබේනම් එය හඳුනා ගත හැක්කේද මෙතැනදීයි.
සටන් ජවනිකා නිර්මාණයේදී සුලබ ලකුණු මතම රැඳී සිටින්නට ශාන් හා වසන්ත තීන්දු කර ඇති බවද පෙනේ. එනම් වීරයා හෝ වීරවරිය සියල්ල අවසන සතුරු බලමුළු පරදවා ජය ගැනීම යන්නම නොවේ. මේ සඳහා එළඹෙන ආකාරය ඔස්සේය. සටන් ජවනිකා සඳහා වීරයන්ගේ පක්ෂයෙන් ඉදිරිපත්වන මියෝනා, වසන්ත හා සෙස්සන් හැම විටෙකම පාහේ තනිවම එන සතුරන් සමඟම සටන් වදිති. එක පොකුරට අවි දරමින් පැමිණෙන සතුරු පිරිස ඔවුන් වෙත කඩා පනින්නේ අනුක්‍රමයෙනි. එක තැනකදී පැමිණෙන සතුරන් සංඛ්‍යාව තිස් හතළිස් දෙනෙකුගෙන් පමණ සමන්විතය. එහෙත් ඔවුනට වීරයා හෝ වීරවරිය පරදවාලීමේ හැකියාවක් නොලැබේ. මෙසේ වීරයන් හා වීරවරියන් අතිශයෝක්තියට නැංවීමද, සතුරන් සෞම්‍ය කිරීමද නිසා සිනමාපටයේ විශ්වාසනීයත්වය අනතුරේ වැටෙන බව පෙනේ.
‘සෝණා’තිරගත කෙරෙන්නේ ඇතැම් සිරිලක සිනමාපට ඉමහත් රසික ප්‍රතිචාර ලබමින් සිනමාශාලා සක්‍රිය කරවන පසුබිමකය. නිසැකවම මේ ‘රාණි’, ‘නෙලුම් කුලුන’ හා ‘වාලම්පුරි’යන සිනමාපටයි. මේ හා එක්වන නවතම සිනමාපටය ‘දේවි කුසුමාසන’ ය. ඉමහත් රසික ප්‍රතිචාර ලබනු ඇතැයි සිතූ සිනමාපට දෙක තුනක් අඩු රසික ප්‍රතිචාර ලද වගද වෙසෙසින් සඳහන් කළ යුත්තකි. මේ ‘අයිස් ක්‍රීම් ’ හා ‘කපුටු කොහෝ’ ය. ‘සෝණා’ මේ හැම සිනමාපටයකටම වඩා වෙනස් ආකාරයක් ගනී. පෙර කී පරිදිම ‘සෝණා’ට මේ මොහොතේදී අභියෝගයක් වී ඇත්තේ ‘සෝණා’ මය. මේ විශ්වාසනීයත්වය පිළිබඳ නොඑකඟතා උත්සන්න කරන සුලබ සටන් ජවනිකා නිසාවෙනි. එමෙන්ම ත්‍රාසය, භීතිය හා කුතුහලය උද්දීපනය කරන බටහිර ක්‍රියාදාම සිනමාපට සිනමාශාලා කරා මඳ වශයෙන් වුව පැමිණීමද ‘සෝණා’ මුහුණ දෙන අභියෝගයකි. ආසන්නතම නිදසුන ‘මිෂන් ඉම්පොසිබල්’ සිනමාපටයයි. ‘මිෂන් ඉම්පොසිබල්’ බඳු ලොව පළමු පෙළ ක්‍රියාදාම සිනමාපටයක් සමඟ ‘සෝණා’ සැසඳීම සුදුසු නොවේ. එනමුදු එබඳු සිනමාපට සමඟ සිය රසිකාගාරය තුළ තරග වැදීමේ සමත්කම් වගා කර ගැනීමේ වගකීම ‘සෝණා’ ට තිබෙන බව නොසැඟවිය යුතුය. මෙවැනි අභියෝග සැලකිය යුතු තරමින් හා මඳ පමණින් ජයගත් සිනමාපට කිහිපයක්වත් සිරිලක සිනමාව සතුව ඇත. ‘සෝණා’ අබියස පවතින මීළඟ අභියෝගය වනුයේ ලොව මුල් පෙළේ ක්‍රියාදාම සිනමාපට නිවෙස් තුළදීම නැරඹීමට ඇති හැකියාව පුළුල් වෙමින් පැවතීමයි.
මෙම අභියෝග ජය ගත යුතු නම් තාර්කික හා නිරවුල් තිරනාටක ඉවහල් කර ගැනීම වැදගත් බව පෙනේ. එසේම එම තිරනාටකම වඩවාලමින් ඒ ඒ රූ ගත කිරීම් සිදුකරලීමට සිනමාකරුවන් සේම ක්‍රියාදාම අවස්ථා සකසන ශිල්පීන් සැලකිලිමත් වීමද වැදගත්ය. ‘සෝණා’මෙම පාඩම කිසිදු අවහිරයකින් තොරවම නිර්මාපකයනට සේම රසික ප්‍රජාවටද කියා දෙයි.
තුසිත ජයසුන්දර