Home » සුසිල් ප්‍රේමරත්න ගැන සුසිල් ප්‍රේමරත්න කතා කරයි

සුසිල් ප්‍රේමරත්න ගැන සුසිල් ප්‍රේමරත්න කතා කරයි

by Thanushika
March 27, 2025 11:39 am 0 comment

” අපේ ගීත කෝකිලාව ලතා වල්පොල මහත්මිය ගායන ලොවට කැන්දාගෙන ආවෙත්…එතුමියට ලතා කියන නම යෙදුවෙත් සුසිල් ප්‍රේමරත්න මහත්මයා තමයි…”

“ඉතාම කරුණාවන්ත හදවතක් තිබුණු එතුමා දුම්වැටියෙන් පවා තොරවූ බොහොම තැන්පත් සාමකාමි හොඳ පවුල් ජීවිතයක්ද ගතකළ ආදර්ශවත් කලාකරුවෙක්…”

මෙවර මුණගැසෙන්නේ මධුර රසභාව පෝෂණය කරන සුලු සිය ගැයුම් සිරිත සිරිමත් කළ ….දශක කිහිපයකට පෙරාතුව චිත්‍රකතා ලොව මුදුන්මල්කඩක් බඳු වූ සිය තෙලිතුඬින් මවනා සිතුවමින් රටක් වසඟකළ අපූර්වතම රසවතෙකි…තම මුවින් ගායන සිරිතද තම අතකින් සිතුවම් සිරිතද මොනවට විදහාලූ හෙතෙම සිය කුසලතාවන් නිසාම ජනතා ආදර ගෞරවාදරයටම පාත්‍ර වූයේය…එදා මෙන්ම අදටත් ඔහු පිළිබඳ මතකය තවමත් රසික සන්තානයෙන් ඈතට ගොස් නැතැයිද හැඟේ..

අපේ මේ සොඳුරු කතා නායක තෙමේ ජන්මලාභය ලැබූයේ කොළඹ ..මාලිගාවත්තේය.සිය චිත්‍ර කුසලතාව නිසාම ඉමහත් ගෞරවාදරයටම බඳුන් වූ ඔහුගේ පියාණන් ලොවක් පරසිදු චිත්‍ර ශිල්පියෙකි…

අහඹුව අද දක්නට ලැබුණිද අතීතයේ සෑම නිවසකම පාහේ ආලින්දයේ හෝ බරාඳයේ බිත්ති මත රාමු කරන ලද බුදු සිරිතේ විවිධ අවස්ථා දැක්වෙන සිතුවම්හි චිත්‍ර ශිල්පියා වූයේ එම්. සාර්ලිස් මාස්ටර් ය.. තම පියාණන්ගේ අඩිපාරේ යමින් කීර්තිමත් චිත්‍ර ශිල්පියකු වූ කතා නායකයා නමින් සුසිල් ප්‍රේමරත්නයන්ය..

1925ක්වූ අප්‍රේල් මස 05 වනදා උපත ලද සුසිල් ප්‍රේමරත්නයන් පළමුව දෙමටගොඩ.. සෙම්රොක් විද්‍යාලයෙන්ද පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබීය..ඔහුගේ මුල්ම රැකියාව වූයේ එවක ලංකාදීප පුවත්පතේ චිත්‍ර ශිල්පියකු ලෙසිනි…

තම පියාණන් වෙතින් ලද ආභාසය නිසාවෙන් ඔහුටම ආවේණික චිත්‍ර සම්ප්‍රදායකින් සමතකු වුවද ඔහු තුළ ඔහුටම නොදැනීම මෝදු වෙමින් තිබුණේ සංගීතය පිළිබඳව උපන් ආත්මීය බැඳීමකි…ඒ තම සිත උපන් අපේක්ෂාව ඔහු සපුරා ගන්නට වූයේ ඔහුට වයසින් අවුරුදු 18 දීය..එනම් 1938 වසරේදීය..

ප්‍රේමණීය කතා නායක සුසිල් ප්‍රේමරත්නයන් පිළිබඳව කතාබහ කරන්නට දැන් මා සමීපයේම පසුවන්නේ අපේ ඔහුගේ ඥාති පුත්‍රයෙකි…ඔහුද නමින් සුසිල් ප්‍රේමරත්න ය…

” මගේ තාත්තා සහ එතුමා අතර ඥාතීත්වයක් තිබුණා..අපේ තාත්තා එතුමාට වඩා වයසින් බාලයි…දෙන්නා අයියයි..මල්ලියි..ඉතිං අපෙ තාත්තා එතුමාට වගේම එතුමාගෙ ගීත ගායනයටත් හරිම ආසයි…එතුමාට ඇති ආදරය නිසාම වෙන්නැති මගේ තාත්තා එතුමාගෙ නම මටත් දමන්න ඇත්තෙ.. අපෙ තාත්තා මට හරිම ආදරෙයි…මාවත් එක්කගෙන යනව එතුමාගෙ ගෙදරට…එතුමා ගීත ගයනව මම අහගෙන ඉන්නකොට මගෙ හිතේ තිබුණු ගායනයට ඇති ආශාව තවත් වැඩිවුණා…ඒ බව දැනගත්ත අපේ තාත්තා සංගීතය..ගායනය ඉගෙන ගන්නට මාව නිතර එතුමා⁣ ළඟට යැව්වා…මම එතුමාගෙ ගී හඬටයි ගීතවලටයි පුදුම විදිහට වසඟ වුණා…එතුමයි මමයි සුසිල් ප්‍රේමරත්න වීමත් හිතට ලොකු සතුටක්…”

මා කළ විමසුමකදී ඒ ටික කීවේ මා සමග සංලාපයේ පසුවන කතා නායකයාගේ ඥාති පුත්‍ර සුසිල් ප්‍රේමරත්නය…

අපේ විශිෂ්ටයාණෝ පත්තර කන්තෝරුවේ චිත්‍ර ශිල්පී රස්සාවේද නිරත වෙමින් චිත්‍ර ඇන්දේය…

අපේ සරසවිය පාඨකයාටද අදටත් මතක ඇතැයි හැඟෙන එදා එතුමා අතින් නිර්මාණය කෙරුණු බිලි පූජාව…ලන්දේසි හටන…රන් දූපත…උමංදු…මහහේනේ ඊරි යකා…ආදී රට පරසිදු ඔහුගේ සිතුවමින් සිරිමත් වූ චිත්‍රකථා පොත් අතරින් ඉන් කිහිපයකි…

රන් දූපත චිත්‍රකතාව පසුකලෙක චිත්‍රකතා පොතක් ලෙසින් එළිදැක්වීමෙන් ලංකාවේ පළමු චිත්‍රකථා පොත ලෙසින්ද එය ඉතිහාසයට එකතු විණි…

මේ වනවිට අපේ සුසිල් ප්‍රේමරත්නයන් ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් විශිෂ්ට ශ්‍රේණියේ ජනප්‍රිය ගායන ශිල්පියකු බවට පත්ව සිටියේය…

මේ අතරේදී රීටා ජෙනිට් ප්‍රනාන්දු නමැති යුවතියක් කතෝලික දේවස්ථානයේ ගීතිකා ගායනයෙහි පසුවන්නට වූවාය..ඒ බැව් දත් අපේ කතා නායක තෙමේ ඇයගේ නිවහනට ගියේ ඇය හමුවන්නටය.

“අපේ සුසිල් මහත්මයා ඇයගේ ගෙදරට ගියාම සංගීතයට ගායනයට තම දරුවන් සම්බන්ධ වෙනවාට කොහෙත්ම කැමැත්තක් නොතිබුණු ඇයගේ තාත්තා සුසිල් ප්‍රේමරත්න ව එළවා දමල තියෙනවා..මේ පැත්ත පලාතෙ එන්ඩ එපා…මං ඕවට කැමති නැහැ කියලා..”

මා සමීපයේ පසුවන සුසිල් ප්‍රේමරත්න එසේ කියන්නේය..

කෙසේ හෝ වේවා ගැයුම් ලතාවෙහි සමත් රීටා ජෙනිට් ප්‍රනාන්දු මෙනවිය ගායන ලොවට කැඳවා පැමිණි අපේ කතා නායකයා ඇයගේ කටහඬ පරීක්ෂාවට භාජනය කරනු පිණිස ඇයට ගීතයක් ගායනා කරන ලෙසට ඉල්ලීමක් කරන්නට වූයේය…ඇය එහිදී ගායනා කළේ ලතා මංගේෂ්කාර් මහත්මිය ගැයූ හින්දි ගිතයකි..ඇයගේ හඬ භාරතීය ලතාගේ හඬට සමානමැයි පවසමින් අපේ සුසිල් ප්‍රේමරත්නයන් රීටා ජෙනිට් ප්‍රනාන්දු නාමය වෙනුවට ඇයට ලතා ප්‍රනාන්දු යනුවෙන් නම් ක⁣ළේය..පසුකලෙක ඕ තොමෝ රටක් ලොවක් දන්නා ගායන ශිල්පිනියක ලෙසින්ද ප්‍රකට වූයේ ලතා වල්පොල නමිනි.

නොඑසේනම් රීටා ජෙනිට් නම් නවක ගායිකාව ලතා ප්‍රනාන්දු නමින් ගී ලොව අභිෂේක කරවනු ලැබුවේ අපේ සුසිල් ප්‍රේමරත්නයන් ය..පසුකලෙක ඕ විවාහවීමෙන් ලතා වල්පොල නම් වූවාය..

එකල සුසිල් සහ ලතා සුසංයෝගයට ගුවන් විදුලි රසික තෙමේ වසඟ වූහ.

තවත් අන් අයකුට නැති අසාමාන්‍ය හඬකට නෑකම් නැති හඬකින් හෙබි අපේ කතා නායකයාණෝ මෙරට ගීත ලෝලීන්ගේ ආදරයටම බඳුන් වූහ..

ලතා වල්පොල සමඟින් චෝඩ් ගයේ බාලම් නමැති හින්දි ගිතයේ තනුව ඇසුරින් නිර්මාණය වූ “ශෝක නැගේවී..දැන් ” යුග ගීතය ගායනා කිරීමෙන් පසුව වඩාත් ඉල්ලුමකට පාත්‍ර වූ සුසිල් ප්‍රේමරත්නයන් ” රූ රැසේ අඳීනා ලෙසේ අත්..ලෙලැ දිදී විදුලිය පබා ..” නම් කාව්‍යය ගීතයකට බඳුන්කොට ලතා සමඟින් ගැයුවේය…

ආදරේ මට නෑ කියා…කෝ අද මැණිකා කොහෙද මගේ..නාරං දොඩම් අඹ…මල් ⁣රේණු නටලා..වැහි බිංදු වැටිලා…මිහිර සුවඳ විහිදවා…සොඳුරු කෝමල බඳ සලා..රන්වන් කරලින් පැසිලා…වෙල්යායම පැසිලා…කළු කැලණි නදී…ඈත නිල්පාට මල්…මනහර ගීත ගයාලා…නංවමු ශ්‍රී ලංකා…ආදී තවත් ජනකාන්ත ගීත රැසක් ඔහු හඬින් ගීතවත් වූ අතර…

සොම්නස හෝ සන්තාපය හමුවේ.. සිහිවේ..සිහිවේ අම්මා …” ගීතයට අදටත් හිමිව ඇත්තේ නොදෙවැනි ආදරයක්මය..

රටක් සුපතළ අපේ සොඳුරු සුසිල් ප්‍රේමරත්නයන්ගේ ජිවන සහකාරිය වූයේ අම්බලන්ගොඩ විමලා වීරසිරි මෙනවියය..ඒ වනවිට ඔහුට වයසින් අවුරුදු විස්සකි. එම විවාහයෙන් එම දෙපළට පුතුන්ම තිදෙනකු තිළිණ විණි..ජයවන් ප්‍රේමරත්න ඔහුගේ වැඩිමහල් පුතුය..ඔහු හොංකොං මෙනින් පෝස්ට් පුවත්පතේ සේවය කරන්නෙකි..දෙවැන්නා නයනජිත් ප්‍රේමරත්නය.. පියාණන්ගේ චිත්‍ර ශිල්පය පරිගණක තාක්ෂණයට මුසුකරමින් එය රැකගැනීමට පෞද්ගලිකව නිරත ව සිටී…මනෝජ් ප්‍රේමරත්න තෙවැන්නාය..ඔහු එංගලන්තයේ රැකියාවකය.

මා සමඟ තවමත් සංලාපයේ පසුවන සුසිල් ප්‍රේමරත්න කියන්නේ තමන්ගේ ඥාතිවරයකු නිසා කියන්නක් නොව එතුමා මනුස්සකමින් පිරිපුන් සංවේදී චරිතයකට හිමිකම් කී ආදරණිය මිනිසෙකු බවමය…

” එතකොට මට වයස අවුරුදු 16ක් විතර ඇති. දැන් මමත් සුසිල් බාප්පාගෙන් ගායනය ඉගෙන ගන්න ගෙදරට යනවනෙ…මට ගායනය කියාදිදී ඉන්දැද්දි කාරෙකින් බැහැල සුසිල් බාප්පා හමුවෙන්න ආවෙ ගාමිණී ෆොන්සේකා මහත්තයා..ආපු ගමන් සුසිල් බාප්පා ගාමිණීට වාඩිවෙන්න කිව්වා…මා ළඟින් වාඩිවුණේ. සුසිල් බාප්පා පාන් කෑල්ලක් ගාමිණීට දුන්නා..ගාමිණී ඒකෙන් මටත් පාන් කෑල්ලක් දීලා කන්ඩ පුතා කියලා එයත් කෑවා..ගාමිණී මහත්තයා කෙතරම් නිහතමානිද කියලා මට තේරුම් ගියේ එදා තමයි..

එයා නිතර සුසිල් බාප්පාගෙ ගෙදරට ආවෙ බාප්පාගෙන් චිත්‍ර අඳීන්න ඉගෙන ගන්නයි…”

ගායකයකු සේම චිත්‍ර ශිල්පියකු ලෙසින්ද නමක් දිනූ අපේ කතා නායක සුසිල් ප්‍රේමරත්නයන්ගේ චිත්‍ර පිළිබඳව හදාරන්නට පැමිණි ගෝලයන් අතරින් පළමුවන ගෝලයා වන්නේ ගාමිණී ⁣ෆොන්සේකා බවද හෙතෙම පසුකලෙක කියා තිබුණා අපට මතකය.

පිළියන්දල..මඩපාත තම ඥාති පුත්‍ර සුසිල් ප්‍රේමරත්නට අපේ කතා නායක සුසිල් ප්‍රේමරත්නයන් ගීත ගායනය කියාදී ගුවන් විදුලියට කැඳවා ගියේය..

“මම ගායනයට වහවැටුනෙ සුසිල් බාප්පාගෙ ” ආදරේ මට නෑ කියා..” ගැයූ ගීතය නිසයි..සුසිල් බාප්පා අපේ ගෙදරට ආවාම අපෙ අම්මා තාත්තාට හොරෙන් කියනව එයාට අර සින්දුව..අර සින්දුව කියන්න කියලා කියන්න කියලා…මගේ ගායන ලොවට මට අතපොත් තැබුවෙ මගෙ සුසිල් ප්‍රේමරත්න බාප්පායි…මම දිගටම ගීත ගයනවා. 1967දි ගුවන් විදුලියේ ළමාපිටිය හඳමාමා වැඩ සටහනට ගයුවා…එවක හඳමාමා වැඩ සටහන නිවේදක වැඩ කලේ ලැම්බට් පෙම්මාවඩු…

සුමනා ජයතිලක දෙන්නයි. මගෙ ගායන හැකියාවන් බලල ඉන්පස්සේ ස්ටැන්ලි එම්.ප්‍රනාන්දු මහත්තයට මාව පැවරුණා.

මේ වනවිට අපේ කතා නායක අතදුන් ඥාති පුතු සුසිල් ප්‍රේමරත්නයන් ගුවන් විදුලියේ ගායන ශිල්පියෙකි. ඔහුගේ ගීතයක් මුල්වරට ප්‍රචාරය වූයේ 1967දී පමණය..” බාලේ සිට මා ඇති දැඩිකළ මගෙ අම්මා” එම ගීතය ඔහුගේ ය..

” මේ වෙනකොට මගෙ වේග රිද්ම ගීත 34ක් සරල 8ක් සරල ගීත වගේම විරිදු…හා බයිලා තුන් අංශයෙන්ම ගුවන් විදුලි ක්ෂෙත්‍රයෙන්ම සමත් බව ලැබුවේ මම විතරයි..මගේ එකම බලාපොරොත්තුව ගායකයකු ලෙසින් ඉදිරියට යමින් රටට හොඳ නිර්මාණ ඉදිරිපත් කරන්නයි.”

ගී පද රචකයකු…තනු නිර්මාණකරුවකු ගායන ශිල්පියකු ලෙසින් ප්‍රකට අපේ විශිෂ්ටයාණෝ චිත්‍රපට ගායනයට එකතු වූයේ 1951 දී “සැඟවුණු පිළිතුර” චිත්‍රපටයෙනි. එම ගීතය වන්නේ “මා හදේ සෝක දේ..” ගීතයය.

අපේ ආදරණිය කතා නායකයාණෝ ගුවන් විදුලියට පැමිණියේ තම මෝටර් රථයෙනි. එදා ගුවන් විදුලි පරිශ්‍රයේම පිහිටි දැවැන්තව වැඩී ගිය මාරගසක අත්තක් කැඩී වැටුණේ ඔහු රිය මතටය…එය උහුලා සිටිනු බැරි වූ හෙතෙම තම රථයේ පලුදු තැන අතකින් පිරිමදිමින් කඳුළු සලන්නට වූයේය…මෙම දසුන දුටු ගායිකා මල්ලිකා කහවිට මහත්මියගේද නෙතට කඳුළු මතුවිණි..

චිත්‍ර ශිල්පයෙහි පුරෝගාමී සිත්තරෙකු වූ අපේ සුසිල් ප්‍රේමරත්නයන් පසුකලෙක වඩාත් ජනාදරයට පාත්‍ර වූයේ ගුවන් විදුලි හා චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසිනි..රුක්මණී දේවී..මල්ලිකා කහවිට..ලතා වල්පොල..රූපා ඉන්දුමතී…ආදී තවත් ජනප්‍රිය ගායන ශිල්පිනියන් හා එක්ව ඔහු යුග ගී ගැයුවේය..

දැන් අපේ කතා නායක තෙමේ වයෝවෘද්ධ සමයේය…තම දරුවන්ගේද සත්කාරයට බඳුන්ව පසුවූ සුසිල් ප්‍රේමරත්නයන්ට සිය දිවිසිරිතේ කෙළවර දක්වාම සුවපහසුව කල්ගෙවන්නට ඉඩහසර ලැබුණේ ඔහු බිරිඳ විමලා වීරසිරි (ප්‍රේමරත්න) මහත්මිය නිසාම බවද කියැවෙයි..

මා සමග පසුවන සුසිල් යමක් කියන්නට සැරසෙයි.

” එතුමාගේ ගීත තවදුරටත් ප්‍රචලිත කරවන්නට..ඒ සුසිල් ප්‍රේමරත්න යන නාමය තවදුරටත් පවත්වායන්නට මම මගේ ගීත නිර්මාණ වගේම එතුමාගෙ ගීත නිර්මාණත් ඉදිරියට රැගෙන යනවා..ඒ වගේම රෝගී අය ප්‍රතිකාර ලබන රෝහල් වෙත යමින් තෑගි බෝග ආහාරපාන පිරිනමමින් සංගීතයෙන් ඔවුන්ගේ මනස සුවපත් කරවන වැඩ සටහන්ද අපි කලෙක සිට කරගෙන යනවා…එහිදී අප වඩාත් මුල්තැන දෙන්නේ සුසිල් ප්‍රේමරත්නයන් එදා ගැයූ ගීතවලටයි..තවමත් වැඩිහිටි අයට එතුමාගෙ ගීත හොඳීන් මතකයි…සමාජය අතරත් තවමත් ජනප්‍රියයි…මේ මගේ වැඩ සටහන වෙනුවෙන් කැපවන පිරිසක්ද ඉන්නවා..ගායන කුසලතාවේ සමත් ගායිකාවන් කිහිපදෙනෙක්ද එතුමාගෙ ගීත නිර්මාණ සඳහා දායක වෙනවා…අපේ මේ සත්කාර වැඩ සටහනට හොඳ ප්‍රතිචාර ලැබෙනවා…” යැයි අපේ කතා නායකයාගේ ඥාති පුත්‍ර ගුවන් විදුලි ගායනවේදී සුසිල් ප්‍රේමරත්න කියන්නේය…

විශිෂ්ට සිත්තරකු ලෙසින් මහත් ජනාදරයට පාත්‍රවූ එම්.සාර්ලිස් මාස්ටර්ගේ එකම පුත් සිත්තරකු හා විශිෂ්ට ගායන ශිල්පියෙකු සංගීතඥයකු ලෙසින්ද ප්‍රකට අපේ සොඳුරු කතා නායක තෙමේ දැන් පසුවන්නේ 85 වන වියේය…වරින්වර රෝගාතුර වෙයි..බිරිඳ විමලා ඔහු අත ළඟමය..

තම දිවිසිරිතේ මෙතුවක් පැමිණි ගමන් මග දෙස පහන් සිතින් ආවර්ජනයක යෙදෙමින් සැඳෑ සමයේ පසුවූ අපේ කතා නායකයාණෝ නික්ම යන බව නොකියා නොදන්වාම යළි අවදි නොවනා දිගු නින්දකට වැටුණේය..

එනම් 2010ක්වූ පෙබරවාරි මස 10 වනදාය…

සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT