මෙවර සම්මානලාභීන්
ජෝ දේව් ආනන්ද්
ගීතා කුමාරසිංහ
අග්‍රා සජීවනී
මැණික් කුරුකුලසූරිය
ඉන්ද්‍රානි පෙරේරා
සුනිල් එදිරිසිංහ
ප්‍රියංකර පෙරේරා
චන්දි රසිකා
ජයන්ත ධර්මදාස
පද්මසිරි කොඩිකාර
දිනේෂ් ප්‍රියසාද්
ගිවන්ත අර්ථසාද්
ජයසේකර අපොන්සු
රිචඩ් වීරක්කොඩි
ලලිත් ගුණවර්ධන
ජී.නන්දසේන
නිමල්සිරි රෝසා
බන්දුල ගලගෙදර
ලෙස්ලි සිරිවර්ධන
සිසිර කුමාරතුංග
ලලිත් ධර්මවර්ධන
ඩොනල්ඩ් ජැත්සන්
ගුණසිරි සිල්වා
රූපසේන සිල්වා
කලාවට හිතැති මිනිසුන් බිහිවන්නේ කලාතුරකිනි. තමන්ගේ ජිවන අපේක්ෂාවන් පසෙකලා කලාව වෙනුවෙන්, කලාකරුවන් වෙනුවෙන් යමක් කරන්නට ප්රයත්න දරණා මිනිසුන් සමාජයේ අපට නිතර දක්නට නොලැබෙයි. එහෙත් ඉඳ හිට හෝ අප අතර එවන් මිනිසුන් සිටිනා වග ලියා තැබීම අප විසින් කල යුතුය.
මෙරට සුවහසක් වු කලාකරුවන් වෙනුවෙන් ඇගැයුම් සම්මාන පිරිනැමිම මෙන්ම, ඔවුනට අවැසි වු බොහෝ උපකාර වෙනුවෙන් පෙනීසිටින සිල්වර් ස්ක්‍රින් සිනමා සම්මාන මෙවර පිරිනමනුයේ සිව්වැනි වතාවටය. මෙවන් භාරදූර කාර්යයක් තනිව සිදුකළ නොහැකි බව කවුරුත් දන්නා කරුණකි. තනි පුද්ගලයෙකුගේ සිතේ උපන් බලාපොරොත්තුවක් මල්ඵල ගන්වන්නට කණ්ඩායමක් එකතුව සිදුකළ මෙකී ක්‍රියාව කලාකරුවන් වශයෙන් කාගේත් අවධානයට ලක්විය යුතු කාරණාවකි.
සිල්වර් ස්ක්‍රීන් සම්මාන උලෙළ බිහිවීමේ මුලාරම්භය සහ එහි අනාගත දැක්ම පිළිබඳ මෙම මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කරන්නට යෙදුණේ එහි සභාපතිත්වය දරන ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු සහ එහි ලේකම් ධූරය හොබවන ප්‍රවීණ සිනමා නිළි සනෝජා බිබිලේ විසින්ය.
සුනිල් ටී. ප්‍රනාන්දු මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වනුයේ සනෝජා ගේ ඇරැයුමෙනි. නිරන්තරයෙන් සිනමා ක්ෂේත්රයේ සක්‍රීයව සිටින ඔහු මේවන විට අපේ සිනමා ඉතිහාසයේ වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනය කළ නිෂ්පාදකවරයා වශයෙන් ඉතිහාස ගතවීද හමාරය. ‘චණ්ඩි පැටව්’ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිනමාවට පිවිස ඔහු බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට රාශියක් මෙරට සිනමාවට දායාද කළේය. එසේම එදා මෙදා තුර ඔහු මෙරට සිනමා ක්ෂ්ත්රයේ නළු නිළි කාර්මික ශිල්පින් රාශියක් සමඟ කටයුතු කළ පුද්ගලයෙකි. බොහෝවිට ඔවුන් කාලයක් සමඟ සිනමාවෙන් කලාවෙන් ඈත්වෙන මොහොතේ, ඔවුන් පිළිබඳ සොයා බලන්නට කෙනෙක් නොමැති වන අවස්ථා බොහෝය. සමහර කලාකරුවන් ජිවිතයේ සැදැ සමයේ අසරණ වන අවස්ථාද ඕනෑ තරම්ය.
සිල්වර් ස්ක්‍රීන් සම්මාන උලෙළින් සිදුවනුයේ මෙකි කලාකරුවන් පිළිබඳ සොයා බලා ඔවුන් ඇගැයිමකට ලක්කිරීම සහ මුදල් ත්‍යාග ඇතුළු තවත් බොහෝ ත්‍යාග පිරිනමමින් ඔවුන් සතුටට පත් කිරීමයි. ඒ වෙනුවෙන් කැපවෙමින් කටයුතු කරන්නට මෙහි සභාපතිත්වය දරමින් සුනිල් ටි ඉදිරිපත් වී සිටියි.
සිල්වර් ස්ක්‍රින් සම්මාන බිහිවීමේ මූලික පුරෝගාමිත්වය ලැබෙනුයේ ප්‍රවීණ රංගන ශිල්පිණී සනෝජා බිබිලේ ගේ පරපුරෙනි. ඒ පිළිබඳ සනෝජා කි කතාවයි මේ.
“ඇත්තටම සිල්වර් ස්ක්‍රින් සම්මාන උලෙළ ආරම්භ වෙන්නේ මගේ පියා විසින් මගෙන් ඉල්ලන ලද ඉල්ලීමක් ඉෂ්ට කර ගන්න. මගේ පියා සුමිත් බිබිලේ ඒ කාලයේ හිටපු ඉතාම ලස්සන, දක්ෂ රංගන ශිල්පියෙක්. නමුත් ඔහුට සිනමාවේ, කලාවේ බොහෝ දුරක් ඉදිරියට යන්න ලැබුණේ නෑ අපේ අම්මා ඒකට වැඩි කැමැත්තක් දැක්වුයේත් නෑ. ඒ වගේම තමයි මම සිනමාවට එනවටත් අම්මගෙන් සහයෝගයක් තිබුණේ නෑ. මම කලාවට සම්බන්ධ වුණු බව දැනගත්ත මුල්ම දවසේ මාව ගෙදරින් එළියට දාල දොර වැහුවා. මම කොච්චර අඩා වැලපුණත් ඇය නොවෙයි දොර ඇරියේ. අන්තිමේ මම කලාවෙන් අයින් වෙනවා කියලා පොරොන්දු වුණාට පස්සේ තමයි ගෙදර දොර මට ඇරියේ. නමුත් මම පස්සේ කාලෙක කොහොම හරි කලාවට සම්බන්ධ වෙනවා. දෛවය මට උරුම කරලා දීලා තියෙන්නේ කලාව. කලාවට සම්බන්ධ වුණා වගේම මම අධ්‍යාපනය පැත්තෙනුත් ඉස්සරහට ගියා හොද රැකියාවක් කළා.
අපේ තාත්තා නිතර මට කියපු කාරණයක් තමයි රඟපපා ඉන්නවට වඩා වැඩි යමක් කලාව වෙනුවෙන් කරන්න ඕන කියලා. ඇත්තටම මට ඒ දවස්වල තාත්තා මට කරන්න කියන්නේ මොකක්ද කියලා හරි තේරුමක් තිබුණේ නෑ ඔය අතරේ තමයි තාත්තා හදිසියේ අසනිප වුණේ. තාත්තාගේ අවසන් හුස්ම ටික යත්දිත් ඔහු මගෙන් ඉල්ලපු අවසන් ඉල්ලීම වුණේ කලාව වෙනුවෙන් යමක් කරන්න කියන එකයි. තාත්තගේ ඒ ඉල්ලිම ඉටු කරන්නේ කොහොමද කියලා හිතමින් ඉන්නකොට තමයි හිතුණේ අපේ සිනමාව වෙනුවෙන් මුළු ජිවිත කාලයම කැප කරපු සිනමා කලාකරුවන් වෙනුවෙන්, ඔවුන් ඇගයීමකට ලක් කළොත් හොඳයි කියලා. ඒ අවස්ථාවේ තමයි මේ වැඩේ මට තනියම කරන්න බැරි නිසා සුනිල් ටී. ප්‍රනාන්දු මහතාවත් සම්බන්ධ කරගෙන සිල්වර් ස්ක්‍රින් උපහාර සම්මාන උලෙළ පටන් ගත්තේ. ඇත්තටම මුල්ම සම්මාන උලෙළ සඳහා මුදල් යොදා ගත්තේ අපේ තාත්තට ලැබුණු ග්රැටිවිටි එකෙන් කොටසක් යොදවලයි.
කලාකරුවන් කියන කොට්ඨාසයට විශ්‍රාම ගියාට වැටුපක් ලැබෙන්නේ නෑ. ඔවුන් ජිවිත කාලය පුරාම හම්බකරන මුදල් එදිනෙදා වියදම් සඳහා වැයවෙනවා. ජිවිතයේ අවසාන භාගයේ ඔවුන්ට ජිවත්විම සඳහා ප්‍රමාණවත් යමක් ඉතිරි කර ගන්නේ එහෙමත් කෙනක් තමයි. රජයේ රැකියාවක් කරන කෙනකු නම් විශ්‍රාම වැටුපක් හිමි වෙනවා. එසේත් නැතුව ආයතන ගතව සේවය කරන කෙනෙක් නම් ඒ ඒ ආයතන විසින් හරි ඔවුන්ව බලා ගන්නවා. නමුත් අපේ රටේ කලාකරුවන් අසරන වුණාම බලාකියා ගන්න කෙනෙක් නැ. පසුගිය අවුරුදු තුන පුරාම අපි විවිධ දශකවල අපේ රටේ සිනමාවට කලාවට අපිරිමිත දායකත්වයක් ලබා දුන්න, කිසිදා ඇගයිමකට ලක්නොවුණ කලාකරුවන් රැසක් මේ මේ සිල්වර් ස්ක්‍රීන් උපහාර උලෙළෙදි උපහාර පිදුවා.
මෙවර සිල්වර් ස්ක්‍රින් උපහාර උලෙළින් උපහාරයට පාත්‍ර වන්නේ 1970-75 වසරවලදී සිනමාව වෙනුවෙන් සිය දායකත්වය පිරිනැමූ කලාකරුවන් පිරිසකුයි. මේ සියලු දෙනාම අපි තෝරා ගන්නේ දිවයිනේ සිනමාව පිළිබඳ මනා දැනුමක් ඇති විද්වත් විනිශ්චය මණ්ඩලයක් හරහායි.
එළඹෙන මැයි 30 වැනිදා සවස 6.00ට කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී මේ සම්මාන ප්රදානය සිදු කරනු ලබනවා.”
වෙසක් මාසය යනු පුණ්‍යවන්ත මාසයකි. සනෝජා ඇතුළු සිල්වර් ස්ක්‍රීන් කණ්ඩායමද මේ සූදානම් වන්නේ වෙසක් මාසයේ තවත් මහා පුණ්‍යකර්මයක් සිදු කරන්නටය. මින් පෙර සිල්වර් ස්ක්‍රීන් සම්මානලාභීන්ද ඔවුන් ලද ඇගයුම් වෙනුවෙන් කළ ස්තුතිවන්ත වීම් අපි දැක ඇත්තෙමු. තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන්, යමක් කොට, අනුන්ගේ සිත් සතුටු කොට සතුටු වන්නට සමත් මිනිසුන් අප අතර සිටිනවාය යන්නද වාසනාවකි.
සනෝජා දියණියක වශයෙන් සිය පියාගේ අවසන් කැමැත්තට අති මහත් සාධාරණයක් ඉෂ්ඨ කොට තිබේ. සම්මානලාභීන්ගේ තුටු මුහුණු තවත් බොහෝ කාලයක් අනුන් වෙනුවෙන් යමක් කරන්නට ඔබට තව තවත් ශක්තිය, ධෛර්යය හා වාසනාව රැගෙන ඒවි. මේ සියල්ල දෙස බලමින් කොහේ සිට හෝ ඔබේ පියා ඔබට සදාකාලික ආශිර්වාද එකතු කරනු ඇත.
හේමාලි විජේරත්න